‘කාලට’ අත නොත­බනු පුව­ත­කට එහා ගිය පුව­තක් | Page 3 | සිළුමිණ

‘කාලට’ අත නොත­බනු පුව­ත­කට එහා ගිය පුව­තක්

 

දිනෙදා කුමක් හෝ කුලී වැඩක් කර ඉන් ලැබෙන ආදායමෙන් අරක්කු කාලක් ගෙන සුරා අලෙවිසැල අසල සිට පානය කරන හෝ සාක්කුවේ දමාගෙන හෝ යන පුද්ගලයන් ඔබ ඇස ගැටී ඇතුවාට සැකයක් නැත. එලෙසින්ම මෙලෙස පානය කර හිස්වන බෝතල් අවිධිමත් අන්දමින් බැර කර තිබෙණු ද ඔබ දැක ඇතුවාට සැක නැත. මෙනිසා කාලයක පටන් මෙම නිප් බෝතල තහනම් කිරීමට 2020 වසරේ සිට පිඹුරුපත් සැකසෙමින් තිබුණි. එහි උච්ඡතම අවස්ථාව වූයේ පරිසර අමාත්‍යාංශය විසින් සිදු කළ සමීක්ෂණ වාර්තාවක් අනුව එක් සමාගමකට අයත් කාලේ බෝතල් වසරකට කෝටි හතකට ආසන්න ප්‍රමාණයක් අවිධිමත් ලෙස පරිසරයට මුදා හරින බව තහවුරු වීමත් සමඟ ය.

 

මෙය දීර්ඝකාලීනව බලපාන පාරිසරික ගැටලුවක් බව අවබෝධ කරගත් අමාත්‍යවරයා 2021 වසරේ ජනවාරි මාසයේ සිට මාස හයක් ඇතුළත කාල බෝතල් සම්බන්ධයෙන් විධිමත් ක්‍රියාමාර්ග ඉදිරිපත් කරන ලෙසට අදාළ මත්පැන් නිෂ්පාදනාගාර හිමියන්ට දැන්වීය. ඊට එකඟ ව කිසියම් ක්‍රියාමාර්ගයක් නොගතහොත් අනිවාර්යයෙන්ම කාල අරක්කු බෝතල් තහනම් කිරීමට පියවර ගන්නා බව පරිසර අමාත්‍යවරයා අදාළ සමාගම දැනුම්වත් කළේය. එහෙත් ඒ සඳහා ගත් විධිමත් ක්‍රියාමාර්ගයක් නම් නොවුණි. පසුගියදා කාල බෝතල් පිළිබඳ සම්බන්ධ කතිකාවක් කරලියට ආවේ ඒ අනුවය.

අමාත්‍ය මහින්ද අමරවීර 2018 වසරේ සමීක්ෂණ වාර්තා උපුටමින් සඳහන් කළේ 2018 දී මෙරට ජනයා පානය කර ඇති අරක්කු අරක්කු බෝතල් ප්‍රමාණය කෝටි විස්සකට (20,12,21,181) වැඩි වන බවයි. එයින් කෝටි දහයාමාරකට (10,55,32,169) වැඩි ප්‍රමාණයක් කාලේ බෝතල් බවයි. මෙය සමස්ත අරක්කු බෝතල් ප්‍රමාණයෙන් සියයට පනස් දෙකක් වන බවය.

කාලේ බෝතල් පාවිච්චියෙන් පසු අක්‍රමවත්ව බැහැර කිරීම නිසා පාරිසරික ගැටලු රාශියක් මුතු වී තිබෙන බව පැවසූ හෙතෙම බෝතල් එකතු කරන උදවිය පවා මේවා මිලදී ගැනීමට කැමැත්තක් නොදක්වන බවත් පැවසීය.

මධ්‍යසාර නිෂ්පාදන සමාගම්ද මේවා එකතු කිරීමට ක්‍රමවත් වැඩපිළිවෙළ ක්‍රියාත්මක නොකරන බව පැවසූ හෙතෙම, මෙම කාලේ බෝතල් තහනම් කරන ලෙස විවිධ පාර්ශ්ව විසින් තමා හමු වී ඉල්ලීමක් කළ බවද පැවසීය. විශේෂයෙන් පරිසර සංවිධානවලින් හා ගොවියන්ගෙන් මේ ඉල්ලීම් සිදුවන බව පැවසූ හෙතෙම කියා සිටියේ ඇතැමුන් කාලේ බෝතල් බී ඒවා කුඩු කර කුඹුරුවල දමා යන බවට පැමිණිලි ලැබී ඇති බවයි. එවැනි ගැටලු නිසා මේ කාලේ බෝතලේ තහනම් කිරීමට සාකච්ඡා වට කිහිපයක් පැවැත්වුවත් කිසිදු ආයතනයකින් මෙතෙක් ධනාත්මක ප්‍රතිචාරයක් නොලැබුණු බවත් අමාත්‍යවරයා සිහිපත් කළේය.

එසේම මින් සියයට පහක් ප්‍රතිචක්‍රීකරණය නොකරන බවත්, ඒවා ආපසු එකතු කිරීමක් ද සිදු නොවන බවත් පැවසූ හෙතෙම ඒ නිසා ජනයා පානය කරන අරක්කු කාලේ බෝතල්වලින් සියයට සියයක් පරිසරය විනාශයට හේතු වී ඇති බව පෙන්වා දුන්නේය. 2018 වර්ෂයේ අරක්කු භාගේ බෝතල් කෝටි හතරකට (4,31,15,920) වැඩි බෝතල් ප්‍රමාණයක්ද, මිලි ලීටර් 750 සම්පූර්ණ බෝතල් කෝටි පහකට (5,25,68,092) වැඩි ප්‍රමාණයක්ද විකිණි ඇති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

අමාත්‍යවරයා එසේ සඳහන් කළ ද මෙම කාලේ බෝතලය හඳුන්වා දීම පිටුපසද දේශපාලන කතාවක් තිබේ.

එවක සමඟි පෙරමුණු ආණ්ඩුවේ සිටි ප්‍රබලයකු වූ සමසමාජ පක්ෂයේ නායක ආචාර්ය එන්.ඇම්. පෙරේරා විසින් 1975 වසරේ දී මිලිලීටර් 180 ප්‍රමාණයේ මධ්‍යසාර අඩංගු කාලේ බෝතලය හඳුන්වා දෙනු ලැබීමය. ඊට හේතු වූයේ නිසි ප්‍රමිතියකින් තොරව පෙරන බලපත්‍ර නොමැති මධ්‍යසාර බී මිනිසුන් වැඩි වශයෙන් මියයෑමත්, සාමාන්‍ය ජනයාට ලොකු මුදලක් දී බෝතලයක් ලබා ගැනීමට තිබූ නොහැකියාවත් සැලකිල්ලට ගෙනය.

මෙම කාලේ බෝතලය නිෂ්පාදනය සඳහා නොම්මර 110, නොරිස්කැනල් පාරේ පිහිටි හෙක්ටර් අභයවර්ධන පවුලට අයත් බීම සමාගම රජයට පවරා ගැනුණු අතර මේ තුළ කිසිදා නොසිඳෙන වතුර ළිං දහයක් ඉදි කර තිබුණි. එකල මෙහි නිෂ්පාදිත කාලේ බෝතලය හඳුන්වනු ලැබූවේ නිප් (nip bottle sizes) නමිනි. මෙම බෝතලය පාවිච්චියෙන් පසු නැවත බාරගන්නා ක්‍රමවේදයක් ද ක්‍රියාත්මක විය. මධ්‍යසාර පිර වූ නිප් ප්‍රමාණයේ බෝතලයක් රුපියල් 1.25 පමණ මුදලකට අලෙවි විය.

පාවිච්චියෙන් පසු එය නැවත ගෙනැවිත් දීමේදී ශත පහක් ලබාදීමට කටයුතු කළ හෙයින් ඒවා පාවිච්චියෙන් පසු පරිසරයට මුදා නොහැර නැවත ගෙනැවිත් දීමට පාරිභෝගිකයන් කටයුතු කළේය. ඒවා නැවත පුරවා වෙළෙඳපොළට පැමිණි හෙයින් ඉන් කිසිදු පාරිසරික ගැටලුවක් මුතු නොවුණි. අනෙක් අතට බිඳී ගිය බෝතල් මඟින් පාරිසරික හානියක් නොවුයේ ඒවා නැවත ප්‍රතිචකීයකරණය කර නිෂ්පාන සඳහා යොදාගැනීමට රත්මලානේ පිහිටි ග්ලාස් නිෂ්පාදන ආයතනය කටයුතු කළ නිසාය. එසේම ඇමිකෝ නමින් බෝතල් සඳහා මූඩි නිෂ්පාදනය කළ ආයතනයක්ද මෙකල විය. මේ සියල්ල දේශීය ආර්ථිකයක් ගොඩනැඟීම වෙනුවෙන් රට තුළ නිෂ්පාදන කර්මාන්ත ඇති කිරීමට සමඟි පෙරමුණ ආණ්ඩුව විසින් ගත් ක්‍රියාමාර්ගවල ප්‍රතිඵලය.

මෙලෙස රාජ්‍ය ස්කාගාර සංස්ථාව මඟින් කාලේ බෝතලය හඳුන්වා දීමත් සමඟ කසිප්පු වැනි ප්‍රමිතියෙන් තොර මධ්‍යසාර ප්‍රමාණාත්මකව අඩුවීමට පටන් ගත්තේය. පසුව 2004 බලයට පැමිණ ආණ්ඩුවේ අමාත්‍යවරයකු වූ ජයරාජ් ප්‍රනාන්දු පුල්ලේ විසින් ගෘහ කර්මාන්තයක් ලෙස කසිප්පු නිෂ්පාදනයට අවසර දෙන ලෙස ඉල්ලීමක් කළේය. ඊට ප්‍රධාන හේතුව වූයේ මෙම කාලේ මධ්‍යසාර බෝතල් නිසා දංකොටුව, මාරවිල ආදී ප්‍රදේශවල කසිප්පු වෙළඳාමට විශාල තර්ජනයක් වී තිබූ නිසාය.

මෙලෙස දීර්ඝ කාලයක් සංස්ථාව ඉතා හොඳ තත්ත්වයෙන් පවත්වාගෙන පැමිණියද ආණ්ඩුව විසින් මෙම ලාබදායී ව්‍යාපාරය මෙරට සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයකුට රුපියල් කෝටි 117ක කුණු කොල්ලයට පවරා දුන්නේය. ඒ ස්කාගාර සංස්ථාව රුපියල් කෝටි තුන්සිය විස්සක ආදායමක් ලබමින් තිබියදීය. එසේ ලබා දෙන විට එහි ගුදම්වල මධ්‍යසාර හා ඒවනවිට උපයා තිබූ ආදායමද විය. එය ලංකා ස්කාගාර සංස්ථාව නමින් බෞතීස්ම විය.

පසුව අයිඩීඑල්, මැණ්ඩිස් ආදී සමාගම් විසින් මෙම විදුරු බෝතල් වෙනුවට ප්ලාස්ටික් බෝතල් හඳුන්වා දුන්නේය. ප්ලාස්ටික් බෝතලය පාවිච්චියෙන් පසු නැවත බාර නොගැනීම නිසා පරිසර හානිය ඉහළ ගියේය. නමුත් මේ ව්‍යාපාර ඇතුළත ඇති වූ කිසියම් ගැටලුවක් නිසා නැවත ප්ලාස්ටික් බෝතල් වෙනුවට වීදුරු බෝතල් වෙළෙඳපොළට පැමිණියේය. මේ කාලයේදී සංස්ථාව පවරා දුන් ව්‍යාපාරිකයා විසින් තම ව්‍යාපාරය සඳහා අවශ්‍ය බෝතල් ග්ලාස් කම්පැනියෙන් ලබා නොගෙන ඒ සඳහා අවශ්‍ය බෝතල් හා මූඩි සිංගප්පූරුවෙන් ගෙනෙන්නට විය. (එමඟින් ඔහු විශාල ලාබයක් ඉපයූ බව පසුව අනාවරණය විය.)

කෙසේ හෝ මෙම තීරණය නිසා ග්ලාස් සමාගම පහළට ඇද වැටුණි.

මේ සම්බන්ධයෙන් අප සමඟ අදහස් දැක් වූ දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති ආචාර්ය වෛද්‍ය සමාධි රාජපක්ෂ කියා සිටියේ තම ආයතනය මඟින් සිදු කළ සමීක්ෂණයකට අනුව කාල බෝතල් තහනමට අති බහුතරයක් දෙනා කැමැත්ත පළ කර ඇති බවයි. අදාළ සමීක්ෂණය සඳහා ඛාණ්ඩ හතරකට වර්ගීකරණය කළ පුද්ගලයන් සහභාගී කර ගත් බවයි. ඒ කාලයක සිට මධ්‍යසාර පානය කරන පුද්ගලයන්, වර්තමානයේ අරක්කු පානය සඳහා නැඹුරු වූවන්, ජීවිතයේ කවදා හෝ දවසක අරක්කු පානය කළ පුද්ගලයන් සහ කිසිදු දිනෙක අරක්කු පානය නොකළ පුද්ගලයන් වශයෙනි. එහිදී සමස්ත පුද්ගලයන්ගෙන් 72%ක් අරක්කු කාලේ බෝතලය තහනම් කළ යුතු බව පැවසූ බව හෙතෙම පවසයි.

ඒ අනුව දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ අරමුණ වන මහජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂා කළ යුතුයි යන්න අර්ථවත් කරමින් කාලේ බෝතල් තහනම් කරන ලෙස රජයෙන් ඉල්ලීමක් කිරීමට කටයුතු කළ බවය. ‍

සභාපතිවරයා එසේ පැවසුවද වර්තමාන තීරණයට පාදක වී ඇත්තේ අරක්කු බී ඉවතලන කාල බෝතල් නිසා පරිසරයට වන බලපෑමය. සමස්තයක් ලෙස ගත් කල කාල බෝතල් තහනම කිරීම යහපත් ක්‍රියාවක් වුව එය දේශීය ආදායම් තත්ත්වය තවත් පහළ හෙළීමට හේතුවනු ඇත.

මේ සම්බන්ධයෙන් අප සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කුපිල කුමාරසිංහ සමඟ ද කතා කළෙමු. ‘මෙය හොඳ අදහසක්, නමුත් එය තහනම් කරන්න යැයි කරන ඉල්ලීම ප්‍රායෝගික ව කළ හැකි ක්‍රියාවක්ද යන්න සැක සහිතයි. ලංකාවේ මධ්‍යසාර වැඩිම ප්‍රමාණයක් අලෙවි වන්නේ නිප්ස් කියන ප්‍රමාණයයි.

වැඩිම සුරාබදු ආදාමයක් ජනනය වන්නේ මෙමඟින්. නිප්ස් ප්‍රමාණයේ බෝතලය තහනම් කළ හොත් එය සමස්ථ සුරා බදු ආදායම මුළුමනින්ම අහිමි වීම හා සමානයි. මේ ආකාරයෙන් නීතිරීති ගෙනැවිත් මෙය පාලනය කිරීමට යෑමෙන් සිදුවන්නේ නීති විරෝධි මත්පැන් විශාල වශයෙන් වැඩි වීමයි‘. පරිසර අමාත්‍යාංශය කියන ආකාරයට පරිසර දූෂණය වැළැක්වීම සඳහා මීට වඩා හොඳ ප්‍රායෝගික වැඩ පිළිවෙළකට යාම උචිත බව සුරාබදු දෙපාර්තමේන්තුව යෝජනා කරයි.

මේ සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුවත්, මධ්‍යම පරිසර අධිකාරියත් සහ දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය දීර්ඝ කාලයක් තිස්සේ සාකච්ඡා කර ප්‍රායෝගික ක්‍රියාදාමයකට පැමිණ තිබුණ ද; ඊට යම් වියදමක් දැරීමට සිදුවන බැවින් කිසියම් පුද්ගලයකු විසින් පරිසරය දූෂණය කිරීමට කටයුතු කරන්නේ නම්, එකී දූෂකයා විසින් ඒ වියදම දැරිය යුතු බව එම සාකච්ඡාවලදී යෝජනා විය. මේ කටයුත්තේදී දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය සිය විරෝධය පළ කළේය.

මන්දයත් වක්‍රව එය මද්‍යසාර ආයතනවලට අයථා ලෙස යොදාගත හැකි ක්‍රියාමාර්ගයක් වන බැවිනි. නමුත් එවැනි දේ සිදුවීමට ඇති ඉඩ ප්‍රස්ථාව අවම බව සුරාබදු දෙපාර්තමේන්තුව විසින් එහිදී පෙන්වා දුන්නේය. නමුත් මෙහි තිබෙන වඩා බරපතළ කාරණය වන්නේ දූෂණය ඉහළ යාමය.

එනිසා වැඩි අවදානය යොමු කළ යුතු වන්නේ එකී ගැටලුවට බව හෙතෙම පවසයි. එසේ වුවත් පරිසර අමාත්‍යාංශය, සුරාබදු දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකර අධිකාරිය සහ දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය එක්ව ලබන වසරේ දී මේ සඳහා කිසියම් සාධනීය නිශ්චිත ප්‍රායෝගික වැඩ පිළිවෙළක් හඳුන්වාදීමට කටයුතු කරන බව නියෝජ්‍ය සුරාබදු කොමසාරිස්වරයා අප සමඟ පැවසීය.

කාලේ බෝතලය පරිසර හානියක් බව පවසමින් ගෙනයන මේ ප්‍රෝඩාකාරී ක්‍රියාමාර්ගය සිල්ලර අරක්කු වෙළෙඳ සැල් අයත් දේශපාලඥයන්ගේ ආදායම වැඩි කිරීම සඳහා ගෙනා යෝජනාවක් බව විශ්‍රාමික ස්කාගාර සේවක සංගමයේ හිටපු ජාතික සංවිධායක සිරිල් ලියනාරච්චිගේ අදහසය. හෙතෙම පවසන්නේ මෙයට වඩා පරිසර හානියක් බියර් කෑන්, ප්ලාස්ටික් බෝතල් හා පොලිතින් ඇසුරුම් මඟින් සිදුවන බවය. කිසියම් විදියකින් කාලේ බෝතලය අහෝසි වුව හොත් ඉදිරියේදී අරක්කු කාලේ ප්‍රමාණය වැඩිමිලට මධ්‍යසාර වෙළෙඳසැල් මඟින් ලබාදීමට කටයුතු කරනු ඇති බවයි.

හිස්වන කාලේ බෝතලය රුපියල් දහයක මුදලට නැවත ලබා ගැනීමට කටයුතු කළහොත් මේ කියන පරිසර හානිය පහසුවෙන් වළකාගත හැකි බව පෙන්වා දෙන හෙතෙම, මෙය සත්භාවයෙන් ගෙනා යෝජනාවක් නොව කෝවිඩ් කාලයේ තමන්ගේ අඩු වූ ආදායම සරිකර ගැනීමට ඇතැම් ව්‍යාපාරිකයන් ගන්නා ප්‍රයත්නයක් බව ද පැවසීය.

කාලේ මත්පැන් බෝතල් තහනම් කිරීම ප්‍රායෝගිකව කළ නොහැකි දෙයක් යැයි මත්පැන් සමාගම්වල ප්‍රධානීහු ද පෙන්වා දෙයි. මත්පැන් මත අයකරන සුරාබදු නිසා අරක්කු බෝතලයක් මිලදී ගැනීමට පවා අසීරු වී තිබෙන කාලයක කාලේ බෝතලයක් මිලදී ගත්නේ ද ඉතා අමාරුවෙන් බව එම සමාගම් ප්‍රධානීහු පවසයි.

මිලි ලීටර් 750 කින් සමන්විත අරක්කු බෝතල් මිලදී ගන්නට නොහැකි නිසා මත්පැන්ලෝලීන් කාලේ බෝතල් මිලදී ගන්නා බවත්, ඉහළ යන බඩු මිල නිසා ඊට වඩා මුදලක් වැය කිරීමට නොහැකි තැනට අද ඔවුන් ඇද වැටී සිටින බවත් ඔවුන් පෙන්වාදෙයි. එනිසා මෙම කාලේ බෝතල් තහනම විකාර මාධ්‍ය සංදර්ශනයක් පමණක් යැයි ද ඔවුන් කියා සිටිති.

 

Comments