ආගමික හා දේශපාලන අන්තවාදය මනෝමූලික ගැටලුවක් | Page 4 | සිළුමිණ

ආගමික හා දේශපාලන අන්තවාදය මනෝමූලික ගැටලුවක්

කරාපිටිය ශික්ෂණ රෝහලේ මනෝ වෛද්‍ය විශේෂඥ රූමි රූබන්

ජාතික ආගමික හෝ දේශපාලනික ප්‍රචණ්ඩත්වය සමාජයක විවිධාකාරයෙන් මතුවිය හැකියි. ඇතැම් විට පුද්ගල ප්‍රචණ්ඩත්වය සිදුවන අතර ඇතැම් විට කණ්ඩායම් ප්‍රචණ්ඩත්වය වන අවස්ථා සිදුවෙයි. විශේෂයෙන් කණ්ඩායම් ප්‍රචණ්ඩත්වය සමාජයට විශාල හානිදායක තත්ත්වයක් ඇති කරයි. මේ ප්‍රචණ්ඩත්වය සඳහා විවිධ මනෝවිද්‍යාත්මක කාරණා වෙයි. එහිදී කණ්ඩායම් ප්‍රචණ්ඩත්වය ඇති වීමට බලපාන ප්‍රබල හේතුව නම් මේ ප්‍රචණ්ඩත්වය සමාජයෙන්ම ලැබූ අත්දැකීම් මත ඇතිවීමයි.

එහිදී කුඩා කාලයේදී සමාජ ප්‍රචණ්ඩත්වය දැකීමෙන් මේ ඉගෙන ගැනීමක් සිදු වෙයි. ළමා කාලයේ මේ ප්‍රචණ්ඩත්වය ඉගැනීම මනෝවිද්‍යාවේ හඳුන්වන්නේ ‘සමාජය බලා ඉගෙන ගැනීමේ න්‍යාය’ ලෙසයි. යම්කිසි සමාජයක ප්‍රචණ්ඩත්වය සමාජයෙන් සහ සමාජ මාධ්‍යයෙන් ප්‍රදර්ශනය වේ නම් දරුවන් සාමාන්‍ය එවැනි දේ ඉගන ගැනීමට පෙලඹෙයි. සමහර ප්‍රචණ්ඩකාරී තත්ත්ව උත්ගතවූ රටවල සමාජය හැදෑරීමේදී ප්‍රචණ්ඩකාරී ක්‍රියාකාරීත්ව ආගමික හෝ ජාතිකත්වය හෝ වෙනයම් කාරණා පදනම් කරගනිමින් ප්‍රසිද්ධියේ සමාජය ඉදිරියේ සිදු කරනු ලබයි.

මේවා දරුවන් දැකීමෙන් සහ දරුවන් සමඟ එකතුවී නැරඹීමෙන් කුඩා කල සිට පහර දීම යහපත් දෙයක් බවට තේරුම් ගනිති. පුද්ගල සහ සතුන්ට හිරිහැර කිරීම මාධ්‍යවලින් නැරඹීමට ද දරුවන්ට අවස්ථාව හිමි වෙයි. මේ සාමාන්‍යකරණය මාධ්‍යවලින් පරිගණක ක්‍රිඩාවලින්, වීඩියෝ මඟින් හෝ සමාජයේ සැබැවින්ම දැකීමෙන් සිදුවිය හැකියි. දරුවන්ට කුඩා කල සිට හිංසාව මෙවැනි අත්දැකීම්වලින් සාමාන්‍ය කරණයක් බවට පත්වෙයි.

සමාජයේ යහපත වෙනුවෙන් ප්‍රචණ්ඩ වීම සුදුසු බව දරුවන්ගේ මනස තුළ මතවාදයක් ගොඩනැඟෙයි. පොදුවේ සලකා බැලූ විට එම දරුවන්ට කුඩා කාලයේ සිට ප්‍රචණ්ඩත්වයේ අවසාන බලාපොරොත්තුව සමාජ යහපතක් ලෙස වටහා ගැනීමට මේ මඟින් ඔවුන්ගේ මනස හුරුවෙයි. මෙවැනි මානසික වටපිටාවක හැදුණු පුද්ගලයන් වැඩිමහල් කළ කණ්ඩායම් ප්‍රචණ්ඩත්වයට වඩා නැඹුරු විය හැකිය.

ඇතැම් විට අවසාන බලාපොරොත්තුව ආගමික සහ ජාතික මතවාද ජයග්‍රහණය කිරීම විය හැකිය. දිව්‍ය ලෝකය වැනි හොඳ ස්ථානයක උත්පත්තිය ලැබීමට විවිධ වරප්‍රසාද ළඟා කරගැනීමට මෙවැනි ක්‍රියා කිරීම යහපත් බවත් හැඟවෙන අවස්ථා වෙයි. විශේෂයෙන් ආගම, ජාතිකත්වය සහ දේශපාලන අරමුණු වෙනුවෙන් ජිවිතය පූජා කිරිමෙන් වඩා යහපත් තැනකට යා හැකි බව කුඩා කාලයේ සිටම ආකල්පමය වශයෙන් ඒ අයට ඇතුළු කර ඇති අදහස් ව‍ෙයි. පොදුවේ අනෙක් පාර්ශ්ව හොඳ මිනිසුන් බවට පත් කිරිමට මෙවැනි ප්‍රචණ්ඩකාරි ක්‍රියා සිදු කරන බවට සාධාරණීකරණයක් ඇතැම් සමාජවල වෙයි. සමජයේ යහපත් මතවාදයක් ඇති කිරීමට නම් එම සමාජයේ ආකල්ප හරහා සිදුවන ක්‍රමවේද ද යහපත් විය යුතුයි. යහපත් අරමුණු ළඟා කර ගැනීමට යන ක්‍රමවේදයේ ජනතාව පීඩාවට පත්වන තත්ත්වයක් ඇති වේ නම්; එහි කොතරම් සමාජය යහමඟට ගැනීමේ අරමුණක් ඇතිව සිදු කළ ද එවැනි කාරණා යහපත් සමාජයක් අනුමත නොකරන ක්‍රියාවලියකි. උදාහරණක් ලෙස වරදක් කරන ලද පුද්ගලයකු ප්‍රසිද්ධියේ මරා දැමීමෙන් සමාජයට ලැබෙන ආදර්ශය යහපත් නොවෙයි. මෙවැනි ප්‍රචණ්ඩකාරී ක්‍රියා සිදුකරනු ලබන අන්තවාදි පිරිස් දෙස බැලීමේ දි කුඩා කාලයේදිම ඒ අයගේ හිත්වලට අධ්‍යපනයෙන්ම හෝ සමාජයෙන් මෙවැනි ක්‍රියාවන් සිදුවන්නේ යහපත් අරමුණු වෙනුවෙන් බවත්; එහිදී ඕනෑම කැප කිරීමක් කිරීම සුදුසු බවත් ආදී මතවාදීමය ආකල්පයන් කුඩා කාලයේදීම හුරු කරයි.

තවත් පිරිසක් මරාගෙන තමන්ගේ ජිවිතය නැති කර ගන්නා පිරිස් වෙයි. ඒවා යහපත් අරමුණු බව නව යෞවන වියේදීම ඒ අයගේ මනසට ඇතුළු වෙයි. නමුත් එයින් සමාජයට ඇතිවන අහිතකර විපාක හඳුනා ගැනීමට නොහැකි වෙයි. ඒ අනුව ජිවිතය පුජා කිරීම එනම් සියදිවි නසා ගැනීම සේම, ඒ අය අනෙක් පිරිස් ඝාතනය කිරීමෙන්ද යහපත් තැනක උත්පත්තිය ලැබීමට හේතුවන බව මනසට ඇතුළු වීම කුඩා කාලයේ සිදුවී ඇත.

මෙවැනි පිඩාකාරී ක්‍රියාවන්ට මඟපාදන සහ උත්තේජනය ලබාදීම පහසු වන්නේ විශේෂයෙන් සමාජයේ පිඩාවට පත් වූ පිරිස්වලටය. මෙවැනි පිරිස් බොහො විට ජාතිවාදී දේශපාලන හා ආගමික කණ්ඩායම් ගැටුම්කාරී තත්ත්වයන්ගෙන් පිඩාවට පත්වූවන් වෙති.

විශේෂයෙන් ත්‍රස්තවාදි කණ්ඩායමකට බඳවා ගනු ලබන පිරිස් ත්‍රස්තවාදි කණ්ඩායමකින්, සමාජ ආගමික හෝ වෙනත් සමාජ ක්ණ්ඩායමකින් පීඩාවට පත් වූ පිරිස්වෙයි. මේ අයට යම් උත්තේජනයක් ලබා දීමෙන් ඕනෑම ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන්ට පොලඹවා ගැනීමට හැකියාව ඇත. අන්තවාදී කණ්ඩායම් මෙවැනි පුද්ගලයන්ගේ මානසික පිඩා තමන්ගේ අන්තවාදි අදහස් මුඳුන්පත් කරගැනීමට උපයෝගි කර ගනු ලබන්නේද ඒ අයට යම් උත්තේජනයක් ලබා දීමෙනි. මෙය ආගමික ජාතික සමාජ වෛරයක් විය හැකි අතර ඒ අය මානසික පිඩාව පිට කරන්නේ සමාජයට හානි කිරීමෙනි. මෙවැනි අයගේ ප්‍රචණ්ඩත්වය කණ්ඩායම ලෙස එකතු වීමෙන් වැඩිවශයෙන් සිදුවෙයි. කණ්ඩායමක් ලෙස එකතු වීමෙන් තනි පුද්ගලයෙකු ලෙස නොව කණ්ඩායම් හැඟීමෙන් කටයුතු කිරිමේ දි ප්‍රචණ්ඩත්වය විශාල වශයෙන් පිටාර යෑමක් සිදුවෙයි. සාමුහික තීන්ඳු ගැනීමක් සිදුවන අතර තනිව සිතාබලා කටයුතු කිරීම සිදු නොවෙයි. තනි පුද්ගලයකු විසින් යම් ප්‍රචණ්ඩත්වයක් කිරිමට පෙර සමාජයේ යහපත අයහපත මානව අයිතිය සම්බන්ධයෙන් සිතා බැලීමක් කරයි.

නමුත් කණ්ඩායමක් ලෙස ක්‍රියාකිරීමේදි බොහෝ විට කණ්ඩායමේ පොදු මතය ඉදිරිපත් කරයි. තර්කානුකූලව කටයුතු කිරිම අඩුවෙයි. ආරම්භයේදී යහපත් අරමුණකින් කටයුතු කළත් කාලයක් ගත වන විට ඒ කණ්ඩායම්වලට විෂම අදහස් අහිතකර අදහස් ඇති වෙයි. බොහෝ වෙලාවට කණ්ඩායමේ බහුතර මතයට විරුද්ධව යහපත් අරමුණක් ඇති සුළුතරය කතා කිරීම සිදු නොවෙයි.

කණ්ඩායම් තුළ බහුතරයකගේ ප්‍රචණ්ඩත්වය පවති නම් ඒ ප්‍රචණ්ඩත්වය කණ්ඩායමේම වර්ධනය වෙයි. මේ සියලුදෙනාම මානසික ආතතියෙන් සිටින අතර ඒ ආතතිය තුළ එක් අයෙක් වෛරයෙන් සිටියද එය මෙන් ප්‍රචණ්ඩත්වයක් ලෙස පැතිර යයි. සියලුදෙනාම සමූහික හැඟිමෙන් කටයුතු කරයි. එවිට පුද්ගලයකුට තර්කානුකූලව සිතිමේ හැකියාව නැතිවී යයි. සාමූහිකව ජිවත්වීම අපි පරිණාමයෙන්ම හුරුවීම නිසා සමූහිකත්වය රැකගැනීමට කටයුතු කිරීම එහි ලක්ෂණයකි. ඒ අනුව සාමුහිකයෙන් ජීවත්වීම වඩා වැදගත් යන අදහස මනසට ඇති වෙයි. ඕනෑම සමාජයක සමාජ විරෝධි පෞරුෂත්ව ඇති පිරිසක් වෙයි. මේ පිරිසට බොහෝ දුරට ළමා කාලයේ දී සිදුවූ සිදුවීම් මේ අදහස්වලට බලපානු ලබයි. කුඩා කල අපචාරයන්ට බිඳුණු පවුල්වල තාඩන පීඩනයන්ට ලක්වූ , ආදරය කරුණාව අහිමි වූවන්ට සමාජ විරෝධි පෞරුෂත්ව ඇති වීමට වැඩි නැඹුරුතාවක් ඇති වෙයි. විශේෂයෙන් මේ අයට අනෙකාගේ දුක නොදන්නා අතර අනෙක් අය තළා පෙළා පීඩනයන්ට ලක් කර සතුටු වෙයි; හොරකම් කිරීමෙන්, සතුන්ට හිරිහැර කිරීමෙන් සතුටු වෙයි. පාතාලයන්ට එකතු වීම සිදුවන්නේද මේ අයයි. මේ අය සමාජයේ දී මෙවැනි සාමුහික කණ්ඩායම්වල නායකත්වට පත්වී අනෙක් අයට හිරිහැර කිරීම්වලට පීඩනයට පත් කිරීමේ දී නායකත්වයට පත්වෙයි. ආකල්පමය වශයෙන් යම් ආගමික මතවාද පදනම් කරගැනීම මෙන්ම ප්‍රචණ්ඩත්වයට හේතුව අනෙකාගේ අදහස්වලට ගරු නොකිරීමයි. ලෝකයේ පැවැත්මට අවශ්‍ය තමා විශ්වාස කරන දේ බව ඇතැම් ආගමික සහ දේශපාලනික කණ්ඩායම් වල අදහස වෙයි. උදාහරණ ලෙස ඉතිහාසයේ පෝස්ටර් ඉරා දැමූ අය මරා දැමීමක් මෙරටින් අපි දුටුවෙමු. ඒ මරාදැමීම තුළ පවතින්නේ ඔවුන්ගේ අදහසට විරුද්ධ අය ජිවත් නොවිය යුතුයි යන්නයි. ප්‍රචණ්ඩත්වය එවැනි අවස්ථාවලදී පිට වන්නේ ඒ අයට විරුද්ධ වන අය මැඬ පැවැත්වීමටයි. ඇතැම් විට ආගම දේශපාලනීකරණ වීමෙන් මෙවැනි ප්‍රචණ්ඩකාරී ක්‍රියා වෙයි. එමෙන්ම දේශපාලන බලය පවත්වා ගැනීම සඳහා ආගම යොදා ගැනීමක් ද ඇතැම් විට සිදු වෙයි; එහිදී ආගම්වල ඇති ආකල්පයන් රටේ නීතිය බවට පත්වී ඇති අවස්ථාද දැක ගත හැකි වෙයි. සමස්තයක් ලෙස ජනතාව රටේ නීතියට ගරු කිරීමට අවශ්‍ය බව වටහාගෙන සිටිති. අන්තවාදී මතවාදවල සිටින පිරිස් ආගම නීතිය බවට හැරවී ඇති අවස්ථාවලදී රටේ නීතියට එරෙහිව යන්නේ නම් අය මරා දැමීම වුවත් සාධාරණය යන කාරණාව එතැනදි ජනතාවගේ ආකල්පය වෙයි.

මිනිමැරුම, ස්ත්‍රි දුෂණ කළ පුද්ගලයා ගල්ගසා මරාදැමිය යුතුයි වැනි මත ඇතැම් සමාජවල වෙයි. එසේ සඳහන් කිරීමට හේතුව ඒ රටේ නීතියට එය ඇතුළත් වී තිබීමයි. එමෙන් ම තමන්ගේ අදහසට විරුද්ධ අදහස් ඇති අය මරා දැමිය යුතුයි වැනි මතවාදයක් රටේ නීතිය බවට පත්වූවිට එයත් විශාල වරදක් ලෙස දකින සමාජ වෙයි. ඒ භාවිතයෙන් එවැනි අයෙක් ඝාතනය කිරීමේත් වරදක් නොවන බව එම සමාජයේ යම් ආකල්පමය මතවාදයන් ගොඩනැඟී ඇත. ආකල්පමය වෙනසක් මෙන්ම රටේ නීතිය සකස් කිරීමේදී ඉතාම වැදගත් වන කරුණ නම් මිනිසුන්ගේ ජිවත් වීමේ අයිතිය, භාෂණයේ අයිතිය අදහස් ප්‍රකාශ කිරිමේ අයිතිය වැනි මානව අයිතීන් තහවුරු කිරීමයි.

එසේම මානව අයිතීන් වෙනුවෙන් සැමට පොදු නීති සකස් කිරීම කළ යුතුයි. ලෝකයේ ගත්විට විවිධ රටවල විවිධ නීතිවෙයි. ඇතැම් රටවල ඇති නීතිවලින් මානව අයිතිවාසිකම් කඩවන අවස්ථා වෙයි. ඇතැම් දේශපාලන කණ්ඩායම්, ආගමික කණ්ඩායම් මේ නීති අද සමාජයට ගැළපෙන ලෙස වෙනස් කර ගනී. ඇතැම් රටවල ආගමික බලපෑම් මත ගොඩනැඟුණ ඇතැම් නීති ඒ රටට සාධාරණ වුවද වර්තමානයේ ශිෂ්ටාචාරයේ වැඩි දෙනෙක් විස්වාස කරන ඒ ශිෂ්ට සම්පන්න සදාචාරාත්මක මානව හිමිකම් ගරු කරන සමාජයක එවැනි නීති සාධාරණ නොවෙයි.

ඒ සමඟම වෙනස් නොවන සමාජ කණ්ඩායම් පොදු සමාජයේ සාම්ප්‍රදායික මතවාදයන් සමඟ ගත් විට යම් පසුගාමිත්වයක් පෙන්නුම් කරයි. පොදු සමාජයට ඉන් යම් හානියක් වෙයි. විවිධ රටවල මානව අයිතීන් ගැන කතා කරන්නේ සහ ඒ නීති වෙනස් විය යුතු බවට ප්‍රකාශ කරන්නේ බලවත් රටවල්වලට අවශ්‍ය දේශපාලනික කාරණා සඳහා පමණක් වීම කනගාටුවට කරුණකි.

අනෙක් කරුණ නම් පොදුවේ දේශපාලනික සහ ආගමික කාරණාවක් විස්වාස කරන අය අතර බහුතරයක් මානව හිතවාදි සහ අනෙකාට පිඩාවන් වනවාට අකමැති පිරිස්ය. මානව ජිවිතයට ගෞරවය කරන පිරිසක් බිහි කිරීම ජාතින් සහ ආගම් නියෝජන කරන අයගේ වගකීමයි. ඒවා වෙනස් කිරීම සහ ප්‍රතිසංස්කරණ කිරීමට ඒ රටවල ප්‍රගතිශීලි පිරිස් හඩ නැඟිය යුතුයි. ඒවා බාහිරින් සිදුවනවාට වඩා අදාළ පිරිස් විසින්ම විරුද්ධව හඩ නඟන්නේ නම් යම් වෙනසක් කිරීමට හැකිවෙයි. අද ලෝකය පුරා විවිධ හේතු අනුව ප්‍රචණ්ඩත්වය ඇතිවෙයි. මානෝ විද්‍යාත්මකව බැලූවිට මිනිසුන් තනි තනිව හෝ කණ්ඩායම් වශයෙන් ප්‍රචණ්ඩ වීම සම්පුර්ණයෙන් වැළැක්විය නොහැකියි. නමුත් ප්‍රචණ්ඩත්වය පාලනයකින් යුතුව සහ අවම කර ගැනීමට පියවර ගත යුතුවන්නේ ළමා කාලයේ සිටයි. දරුවන්ට විශේෂයෙන් දෙමාපියන් සහ ගුරුවරුන් ආදර්ශයට ගනිමින් තමන්ගේ පෞරුෂත්වය ගොඩනඟා ගන්නා අතර ඒ අය දරුවන්ට ආදර්ශයක් වන ලෙස කටයුතු කළ යුතුයි. එහිදී විශේෂයෙන් මේ වැඩිහිටියන් විසින් ඒ අයගේ ජීවන රටාව ප්‍රචණ්ඩත්වය අගය නොකරන සාමය අගයන ජිවන රටාවක් හුරුකළ යුතුයි.

කෙනෙකුගේ ජීවිතයට ගරු කිරීමට නම් වැඩිහිටියන් ආදර්ශවත් ලෙස එය ප්‍රායෝගිකව කළ යුතුය. අනාගතයේ දරුවන් ප්‍රචණ්ඩත්වය අවම කිරීමට එය උපයෝගී වෙයි. ත්‍රස්ත සංවිධානවල පිරිස් සම්බන්ධයෙන් කරන ලද අධ්‍යයනයන් වලින් පැහැදිලි වන කරණක් නම් ඒ අය ළමා කාලයේ ආගම ජාතිය වෙනුවෙන් ජිවිතය පුජා කරන ලද පිරිස වීරයන් බවට පත් කරන ලද විඩියෝ පුවත්පත් නැරඹීමටත් ඒ සඳහා සමාජයෙන්ද ප්‍රායෝගිකව උත්තේජනයක් ලැබූ අය බවටත් තහවුරු වී ඇති බවයි.

ඇතැම්විට ඝාතකයන් මාධ්‍යයෙන්ද වීරයන් බවට පත් කර ඇත. සියදිවි නසා ගැනීම, මරා දැමිම්, මරගෙන මැරීම වීරත්වයට නංවන මාධ්‍ය අවස්ථා මාධ්‍ය වැඩසටහන් සමාජයෙන් තුරන් කළ යුතුයි. සාමාන්‍ය ප්‍රචණ්ඩත්වය පෙන්වීම යහපත් සහ අයහපත් ආදර්ශයන්ට ගනු ලබන අවස්ථා වෙයි; සාමාන්‍ය ප්‍රචණ්ඩත්වය වුවත් එදිනෙදා ජිවිතයේ දි පෙන්වීම පිළිබඳ ව සැලකිලිමත් විය යුතුයි.

මනුෂ්‍ය ජීවිතයේ වටිනාකම සහ තව කෙනකුගේ මතවාද ගරු කිරීම ජිවිතයේ අගය අවිහිංසනය පිළිබඳ අදහස් ළමා කාලයේ සිටම සිත් වලට ඇතුළු කළ යුතුයි. තව කෙනෙක්ගේ ජාතික ආගමික දේශපාලන මතවාද වලට ගරුකිරීම ළමා කාලයේ සිටම හිතට ඇතුළු කළ යුතුයි. මෙලොව පැවැතිය යුත්තේ අපි විස්වාස කරන ආගම, දෙවියන්, දේශපාලනික මාතවාදයන් පමණක් බව සීතිමෙන් ම යම් ගැටුම් නිර්මාණය වෙයි. මේ මතවාදය වෙනස් විය යුතුයි. එය මානසික ඝට්ටනයක් වෙන අතර ඒ ඝට්ටනය තුළ මිනිසුන් යම් පෙලඹවීමක් සිදු වෙයි. ලෝකයේ විවිධ මතවාදවලින් යුතු විවිධ ආකල්පයන් සංස්කෘතිකමය අනන්‍යතාවයන්ගෙන් හෙබි මිනිසුන් ජිවත්වෙති. එවැනි සමාජයක මිනිසුන්ගේ සාරධර්ම යහපත් ගුණාංග මතවාදයන් වලට ගරු කළ යුතු බව කුඩා කල සිට දරුවන්ට හුරු කළ යුතුයි.

ඕනෑම සත්ත්වයකුගේ ජිවිතයක ඇති වටිනාකම වැඩි බව අපි ළමා කාලයේදි ම දරුවාගේ මනසට ඇතුළු කළ යුතුයි. ඇතැම් ආගමික සහ සමාජ පසුබිම්වල මිනිසුන්ගේ ජිවිතයට හික්මීම ලබා දෙන අතර විශේෂයෙන් යමෙක් තමන්ට හිංසාවක් වීමට අකමැති සේම අනෙකකුට හිංසා කිරීමෙන් ඒ තැනැත්තා පීඩාවට පත්වන බව වටහා ගන්නේ නම් මෙවැනි ප්‍රචණ්ඩත්වයන් නිසා සිදුවන මිනිස් ඝාතන ඇතුළු අපරාධ සිදුනොවෙයි.

Comments