කොල්ලුරේ සහෝදරයාගේ මතක වත | සිළුමිණ

කොල්ලුරේ සහෝදරයාගේ මතක වත

මාජය වෙනුවෙන් අසීමිත බරක් තබා ස්වකීය ජීවිත කාලයෙන් දශක හයකට වඩා ලාංකේය වාමාංශික දේශපාලනය වෙනුවෙන් ක්‍රියාකාරීව කැප වුණු රාජා කොල්ලුරේ දෙසැම්බර් 07 දා දැයෙන් සමු ගත්තේය. ඒ කොවිඩ් ආසාදිතව කොතලාවල ආරක්ෂක රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීය. . 

ඩැරල් චන්ද්‍ර රාජා කොල්ලුරේ ඉපදුණේ බියගමය. උපත 1938 ජූනි මස 03 දාය. පසුව ඔහුගේ මවුපියෝ වැල්ලවත්තේ පදිංචි වූහ. ඔහු අධ්‍යාපනය ලබන්නේ කොළඹ ආනන්ද විද්‍යාලයෙනි. පේරාදෙණිය විශ්විද්‍යාලයට ඇතුළු වී උපාධිය හදාරා අනතුරුව නීති විද්‍යාලයෙන් නීතිඥයෙක් විය. කොල්ලුරේගේ සමකාලීන කොමියුනිස්ට් සගයා ලාංකේය දේශපාලනයේ ප්‍රභාමත් නීතිවේදියා වූ සරත් මුත්තෙට්ටුවේගමය.

පනහ දශකයේ (1959) දී සම සමාජ පක්ෂයෙන් දේශපාලනයට ප්‍රවේශ වූ ඔහු සමාජවාදී ජනතා පෙරමුණේ ලේකම් ලෙසද කටයුතු කළේය.

හැටේ දශකයේ මුල් භාගයේ සිටම ඔහු කොමියුනිස්ට් පක්ෂ දේශපාලනයට පූර්ණ කාලීනව කැප විය. වර්ෂ 1972 දී ඔහු මධ්‍යම කාරක සභාවට පත් වූයේය. අනතුරුව පක්ෂයේ ප්‍රධාන ලේකම් හා සභාපතිවරයා ලෙස වගකීම් දැරීය. වර්ෂ 2014 දී විද්වත් වෘත්තිකයන්ගේ සංගමයේ (OPA) ලේකම්වරයා ලෙස ද , රාජ්‍ය භාෂා කොමිසන් සභාවේ සභාපතිවරයා ලෙස ද කටයුතු කළ ඔහු සිවිල් සාමාජ ක්‍රියාකාරිකයෙක් ලෙස ජීවිතයේ හැමදාම පුළුල් සමාජ සුබසාධන කටයුත්තක නිරත වූයේය. ඔහු සමුගෙන යනවිට 83න් විය සපුරා සිටියේය. එය මනුෂ්‍ය ජීවිතයේ ආයු පූර්ණවන වයසක් බව සැබෑය. එහෙත් මේ විකල් රෝගය ඔහු පැහැරගෙන නොයන්නට ඔහුගේ ජවාධික දේශපාලනය තවත් කාලයක් මේ සමාජය වර්ණනය කරන්නට ඉඩ තිබුණ බව අපගේ හැඟීමය.

අසූ තුන්වන විය පසුවුව ද ඔහු රාජා කොල්ලුරේ සහෝදරයාය. ලංකා සම සමාජ පක්ෂයෙන් දේශපාලනයට පිවිස දශක ගණනක් කොමියුනිස්ට් පක්ෂයේ ලේකම්වරයා ලෙස කටයුතු කර පසුව පක්ෂයේ සභාපතිවරයා වූ කොල්ලුරේ දිවි සැරියෙන් සමුගන්නා විට වයඹ පළාත් ආණ්ඩුකාරවරයාය. වර්ෂ 2019 නොවැම්බරයේ දී ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙසත් පසුව වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙසත් කටයුතු කළේය. 

ඒ පැමිණි ගමනේ ඇඳී තිබුණු මනුෂ්‍යත්වයේ විචිත්‍ර හැඩතල කොමියුනිස්ට් පක්ෂයේ ඔහුගේ සගයෝ සිහි කරති. හැට - හැත්තෑව දශයක මේ රටේ ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරය බලසම්පන්න ලෙස ගොඩ නැඟුණු අවධිය ය. ඊට අත්තිවාරම වැටුණේ ලංකා ජාතික ශිෂ්‍ය සංගමය ය. ලංකා ජාතික ශිෂ්‍ය සංගමය කොටස් දෙකකින් යුතු වූයේය. එක් අංශයක් ද්විතීය පාඨශාලා අංශයය. අනෙක විශ්වවිද්‍යාල අංශයය. හැටේ දශකයේ මුල් අවධියේ ලංකා ජාතික ශිෂ්‍ය සංගමයේ විශ්වවිද්‍යාල අංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළේ දිවංගත ධර්මසිරි සේනානායකය. ද්විතීය පාඨශාලා අංශයේ ආරම්භක ලේකම්වරයා රාජා කොල්ලුරේය.

අද පාරිසරික සංචාරක කර්මාන්තය පිළිබඳ විද්වතෙක් වූ ආචාර්ය පාලිත ගුරුසිංහ මෙම ශිෂ්‍ය ව්‍යාපාරය හා ක්‍රියකාරී වී රාජා කොල්ලුරේ සමඟ සමීප දේශපාලන ඇසුරක් පැවැත්වූ ඉතිහාසයක් ඇත්තෙකි.

ඔහු කොල්ලුරේ සමඟ ගත කළ දේශපාලන දිවි සැරිය පිළිබඳ සිහි කළේ මෙසේය.“ මා කොල්ලුරේ සහෝදරයා ඇසුරු කරන්න පටන් ගන්නේ වර්ෂ 1960 දි. ඒ වනවිට ඔහු නීති විද්‍යාලයේ. මගෙ ගම අම්බලන්ගොඩ. මා ශිෂ්‍යයෙක්ව සිටි කාලෙදි කොල්ලුරේ එනවා ශිෂ්‍ය සංගම් වැඩවලට. බස් එකේ ඇවිත් තියන දෙයක් කාලා විශාල කැපවීමකින් යුතුව ඒ කටයුතු කරලා යන මේ තරුණ කොමියුනිස්ට් වාදියා පාසල් ශිෂ්‍යයෙක් විදිහට මගේ හිතේ තදින්ම ඇඳුණා.

මමත් ශිෂ්‍යයෙක් විදිහට ඒ කාලයේ ශිෂ්‍ය සංගමයත් එක්ක හිටියා. ඒ කාලයේ ලුමුම්බා විශ්වවිද්‍යාලයට ශිෂ්‍යයන් යැව්වේ කොමියුනිස්ට් පක්ෂය හරහා.

මේ වෙනකොට සමාජවාදී රටවල්වල ඉගෙන ගන්නා ශිෂ්‍යයන්ගෙ සංගමයෙ අනුශාසක ලෙස කටයුතු කළෙත් කොල්ලුරේ සහෝදරයා. මේ කාලයේ ඔහු ශිෂ්‍ය අයිතීන් වෙනුවෙන් සෑහෙන වැඩ කොටසක් කළා. ඒ කාලෙ ජාත්‍යන්තර ශිෂ්‍ය සංගමය තිබුණේ චෙකොස්ලෝවැකියාවෙ. ශ්‍රී ලංකා ශිෂ්‍ය ව්‍යාපාරය ජාත්‍යාන්තරය එක්ක සම්බන්ධ කරන්න ඔහු මහා කැපවීමක් කළා.මගෙත් එක්ක එකට කොමියුනිස්ට් පක්ෂයට බැඳුණු දේශපාලන සගයා තමයි රෝහණ විජේවීර. අපි දේශපාලනිකව එකට බැඳිලා කටයුතු කරන කාලෙ කොල්ලුරේ සහෝදරයා තමයි අපේ ජ්‍යෙෂ්ඨ සහෝදරයා වුණේ. පසු කාලෙක දී මතුවුණ න්‍යායාත්මක ගැටුමක් නිසා රෝහණ විජේවීර, ජනතා විමුක්ති පෙරමුණ ගොඩනගාගෙන පක්ෂයෙන් ඉවත් වෙලා ඔහුගේ දේශපාලන ගමන ගියා. අනතුරුව මේ ශිෂ්‍ය ව්‍යාපාරයේ සම්භාව්‍ය අවධියේ දේශපාලන පරිචයන් සහිත නායකත්ව බිහි වුණේය. එස්. බී දිසානායක, ඉම්තියාස් බකීර් මාකර් පසුකාලීනව ලංකා ජාතික ශිෂ්‍ය සංගමයේ නායකත්වය දැරු අයය. අනතුරුව විකාශනය වුණු ශිෂ්‍ය ව්‍යාපාරය සෙවණ කළ වෘක්ෂයක් වූයේ රාජා කොල්ලුරේය. “කොල්ලුරේ සහෝදරයා අවංක සරල මනුෂ්‍යයෙක්. තමන් එළඹි අරමුණ වෙනුවෙන් අවංකව කැපවීම ඔහු සතු විශිෂ්ටත්වයක්. කවදාවත් ලාබ ජනප්‍රියත්වය පස්සෙ ගියෙ නෑ. වර්ෂ 2000 -2004 කාලයේ දී ඔහු පාර්ලිමේන්තුව නියෝජනය කළා. ඒ වකාවානුවෙදි ඔහු පාර්ලිමේන්තුවේ කළ කතා පරිශීලනය කරන්න පුළුවන් නම් ඒවා අපේ තරුණ ජනතා නියෝජිතන්ට කදිම පාඩම් වේවි. ඉලක්ක ගත කාරණා මුල්කරගෙන කළ සම්භාව්‍ය සංවර්ධනාත්මක විවේචනයක් ඔහු ඉදිරිපත් කළා.“ අතීත පාර්ලිමේන්තුවේ කොල්ලුරේ භූමිකාව සම්බන්ධව අපට කියන්නේ ඒ වකාවනුව තුළ පාර්ලිමේන්තුව ආවරණය කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී අජිත් ජයසිංහය. 

කොමියුනිස්ට පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා විශේෂඥ වෛද්‍ය ජී.වීරසිංහට රාජා කොල්ලුරේ යනු එක් වකවානුවක ප්‍රතිරූප චරිතයකි. ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරයේ එක් අංශයක පදනම දැමූ ආරම්භක ලේකම්වරයා ගැන පාසල් අවධියේ සිට දැනගෙන සිටියත් ඔහු සමඟ සම්බන්ධයක් ඇතිවී එක්ව දේශපාලනයට පිවිසෙන්නේ වර්ෂ 1988න් පසුය.“ ඔහු මාක්ස්වාදී න්‍යාය සම්බන්ධව ලෝකයේ සිටි ප්‍රාඥයෙක්. මා 1988 දි සොවියට් සංගමයේ අධ්‍යාපනය ලබා එනවිට ඔහු සමාජවාදයේ න්‍යායත්මක ප්‍රකාශනය වූ සමාජවාදී න්‍යාය ගැන ප්‍රකාශිත සඟරාවේ කර්තෘ මණ්ඩලය නියෝජනය කරන්න ඔහු ප්‍රාග්වලට ගිහින් හිටියෙ.“

“ ඔහු සිය දීප්තිමත් වෘත්තිය ජීවිතය පක්ෂය වෙනුවෙන් කැප කළා. පූර්ණ කාලීනව දේශපාලනය කරමින් ඉහළම මාක්ස්වාදී න්‍යායාචාර්යවරු එක්ක ගනු දෙනු කළා. තමන්ගෙ ජීවිත කාලයම නිර්ධන පන්ති ව්‍යාපාරය වෙනුවෙන් කැප වුණු බුද්ධිමතෙක්. ඔහුට තිබුණා ඕනෑම පීඩනයකට මුහුණ දීමේ හැකියාවක්. අප වැනි දේශපාන ව්‍යාපාරයකට පුළුවන් වෙන්න ඕන බාහිර පීඩනවලට මුහුණ දෙමින් ඒ තුළ ඉන්න. විවිධ සංවාද විසංවාද මැද්දෙ දේශපාලන තීන්දුවක් ගත් පසු ඒ බහුතරයේ තීරණය වෙනුවෙන් පෙනී ඉන්න එක මේ දේශපාලන සංදර්භය තුළ තියෙන දෙයක්. කොල්ලුරේ සහෝදරයාට ඒ තුළ ඒ විශිෂ්ටත්වය තිබුණා.“

වයඹ ගුරු ප්‍රශ්නය මතු වූ අවස්ථාවේ දී ආණ්ඩුකාරවරයා ලෙස කොල්ලුරේගේ භූමිකාව ප්‍රගතිශීලි ව්‍යාපාරය තුළම විවේචනයට ලක්වන්නේත් මේ පෞරුෂ ලක්ෂණය නිසාය. පසුගිය ඔක්තොම්බර් 24 දා ඔහු කොමියුනිස්ට පක්ෂ සභාපතිත්වයෙන් ඉවත් කරනු ලැබුව ද පක්ෂයේ දේශපාලන මණ්ඩලයෙන්, පක්ෂයේ මධ්‍යම කාරක සභාවෙන් ඉවත් නොවුණු බව කොමියුනිස්ට පක්ෂ වත්මන් ප්‍රධාන ලේකම්වරයා අවධාරණය කරන්නේය.“ දේශපාලන ව්‍යාපාරයක දී පක්ෂයක නිලතලවලින් ඉවත්වීම සහ පත්වීම සාමාන්‍ය දෙයක්.

අවස්ථානුකූලව ගනු ලබන දේශපාලන තීන්දු පුද්ගලයන්ගෙ වටිනාකම් ප්‍රශ්න කරන්නෙ නෑ.“ ඔහු පෙන්වා දෙයි. මේ ලෝකය ඔහුව දකින හැටිය. දේශපාලකයෙක් ලෙස, වාමාංශික දේශපාලන ව්‍යාපාරය මේ පොළොවේ වැපිරවීමට ක්‍රියාකළ අයෙක් ලෙස රාජා කොල්ලුරේගේ වෙන්වීම එකකි. මිය යන විට කොල්ලුරේ දෙදරු පියෙකි. බිරිය චන්ද්‍රාය. දියණිය උදිතා කොල්ලුරේ නීතිඥවරියකි. පුතු සංදීප් කොල්ලුරේ මෘදුකාංග ඉංජිනේරුවරයෙකි.

Comments