කොළඹ යළි කැලඹෙයි: පාතාලය ඇවිස්සෙයි | සිළුමිණ

කොළඹ යළි කැලඹෙයි: පාතාලය ඇවිස්සෙයි

ෆවාස් ඝාතකයන් පැමිණි මෝටර් රථය

කොළඹ නගරය තුළ පසුගිය කාලයේ පාතාල ලෝකයේ නිහඬතාවක් දක්නට විය. විශේෂයෙන්ම කොළඹ නගරයේ ප්‍රධානතම පාතාල කල්ලි වන පුකුඩුකන්නා සහ බුම්මා කල්ලිය, කුඩු සෙල්විගේ පුතුන් තිදෙනාගේ කල්ලිය මෙන්ම කෙසෙල්වත්තේ දිනුකගේ කල්ලියද මේ දිනවල අඩපණව ඇත්තේ දිගින් දිගටම ආරක්ෂක අංශද සිදුකරන මෙහෙයුම් නිසාවෙනි.

එසේම පුකුඩුකන්නා සහ බුම්මා ඉන්දිය අත්අඩංගුවට පත්වීමත් සෙල්විගේ පුතුන් බන්ධනාගාරගතව සිටීමත් ඉකුත් මාර්තු මාසයේ කෙසෙල්වත්තේ දිනුක ඉන්දියාවේදී හෘදයාබාධයකින් මිය යාමත් එකී පාතාල කල්ලි නිහඬ වීමට තවත් හේතුවකි.

එහෙත් පසුගිය 4 වැනි සෙනසුරාදා රාත්‍රියේ කොළඹ නගරයේ පාතාල ලෝකයේ නිහඬ බව බිඳිමින් පාතාල ඝාතනයක් සිදු විණි. එදින රාත්‍රී 11.30ට පමණ එම ඝාතනය සිදු වූයේ කෙසෙල්වත්ත පොලිස් වසමේ පරණ යොන් වීදිය අංක 147 දරන බවා හෝටලය ඉදිරිපිටයි. සුදු පැහැති ෆ්‍රියස් වර්ගයේ මෝටර් රථයකින් පැමිණි පස්දෙනෙකු විසින් කඩුවලින් පහර දී ඝාතනය කෙරුණේ කෙසෙල්වත්තේ පරණ යොන් වීදිය, අංක 134/05/17 ලිපිනයේ පදිංචිව සිටි මොහොමඩ් කාමිල් මොහොමඩ් ෆවාස් හෙවත් කෙසෙල්වත්තේ ෆවාස් නමැති පාතාල අපරාධකරුයි.

33 හැවිරිදි ෆවාස් පරණ යොන් විදීයේ පා ගමනින් යමින් සිටියදී ඔහු පසුපස ඝාතකයන් පස්දෙනා පන්නා ගොස් කඩුවලින් පහරදී අමානුෂික ලෙස ඝාතනය කරන ආකාරය අසල සීසීටීවී කැමරාවක ද මනාව සටහන් වී තිබිණි.

එම ස්ථානයේදීම ඝාතනය වූ ෆවාස්ගේ ඝාතනය කෙසෙල්වත්ත පොලිසියට සැලවීමත් සමඟින් විමර්ශන ආරම්භ කෙරුණේ බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු ප්‍රදේශය බාර උසස් පොලිස් නිලධාරින්ගේ උපදෙස් මතයි.

ඒ අනුව විමර්ශන සඳහා කොළඹ නගරයේ පාතාල මර්ධනයට සුවිශේෂ දායකත්වයක් සපයන කොළඹ අපරාධ කොට්ඨාසයද (CCD) එක්වූයේ එහි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජනක නන්දනගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරි නෙවිල් සිල්වාගේ අධීක්ෂණයෙන් වැඩබලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රත්නායකගේ මෙහෙයවීමෙන් අපරාධ බුද්ධි ඒකකයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක දුනුසිංහ ඇතුළු කණ්ඩායමයි.

අනතුරුව ඝාතකයන් පිළිබඳව කොළඹ අපරාධ කොට්ඨාසයේ කොස්තාපල් අමිලට තොරතුරක් ලැබී තිබුණේ ෆවාස් ඝාතනය වී පැය තුන හතරක් ගතවෙද්දී එනම් පසුදා අලුයමයි.

තොරතුරෙන් හෙළි වී තිබුණේ ඝාතකයන් කෙසෙල්වත්තේ මදාවි ෆ්ලැට්හි ස්ථානයකට රැස් වී සිටින බවත් ඔවුහු ප්‍රදේශයෙන් පලා යාමට තැත් කරන බවත් සඳහන් කරමිනි.

ක්ෂණිකවම ක්‍රියාත්මක වූ සීසීඩීහි නිලධාරිහු එම තට්ටු නිවාසය සොයා ගියහ. ඝාතනයට එක්වූ සිවුදෙනෙකු කොටුකර ගැනීමට හැකි වූයේ පලා යාමට තැත් කිරීමේදීයි.

එලෙස අත්අඩංගුවට ගැනුණේ කෙසෙල්වත්තේම පදිංචිකරුවන් වන 26 හැවිරිදි මොහොමඩ් රිසාඩ් හෙවත් කඩා, 23 හැවිරිදි මොහොමඩ් උමාර් හෙවත් මෝල්, 22 හැවිරිදි කාවින්ද විස්මිත හෙවත් කවී සහ 31 හැවිරිදි දෙනුවන් චතුරංග යන පිරිසයි. සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී එකී තට්ටු නිවාසයේම තරප්පු පෙළ යට සඟවා තිබි ඝාතනයට යොදාගත් ලේ පැල්ලම්ද සහිත කඩු 4ක්ද සොයා ගැනීමට පොලිස් නිලධාරින්ට හැකි විය.

ෆවාස් ඝාතනයට පැමිණි පස්දෙනාගෙන් 24 හැවිරිදි අනුෂ්ක උදයංග නමැත්තාද කෙසෙල්වත්තේ මාරිස් ලේන්හිදී පසුගිය අඟහරුවාදා අත්අඩංගුවට ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාස නිලධාරින්ට හැකි වූයේය. ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී ඝාතනයට පැමිණි සුදු පැහැති මෝටර් රථයද කැලණිය පන්සල අසල නවතා තිබියදී පොලිස් බාරයට ගැනිණි.

එම මෝටර් රථය ඝාතකයන් පිරිස විසින් සිය හිතවතකුගෙන් එදින පැවැති උපන්දින සාදයක් සඳහා යාමට ඉල්ලාගෙන තිබුණේය. අනතුරුව සාදය අවසානයේ පිරිස එම රථයෙන් පැමිණෙමින් සිටියදී ෆවාස් මුණගැසී ඇත්තේ අහම්බෙනි. ෆවාස් දුටු රථයේ සිටි පිරිස ඉන් බැස අසල සෙබස්තියන් මාවතේ සඟවා තිබූ කඩු කිහිපයක් රැගෙනවිත් ෆවාස් පසුපස පන්නා ගොස් ඔහුට පහර දී ඝාතනය කෙරිණි. මීට පෙරද එකී පිරිස විසින් ෆවාස් ඝාතනයට කිහිප විටෙකදීම උත්සාහ කර තිබුණි. ඒ අනුව මීට දින කිහිපයකට පෙරදී අලුත්කඩේ අධිකරණ පැමිණි විටෙකදීද ෆවාස් ඝාතනයට තැත්කර තිබිණි.

ඝාතනය වූ ෆවාස්ද මිනිස් ඝාතන කිහිපයකටම අධිකරණවල නඩු පවතින අයෙකි. ඊට අමතරව කප්පම් ගැනීම්, කෙසෙල්වත්ත සහ පිටකොටුව ආපන ශාලාවලින් මුදල් නොදී ආහාර ගැනීම් ඇතුළු අපරාධ රැසකටම සම්බන්ධව සිටි අපරාධකාරයෙකි.

ෆවාස් සහ ඝාතකයන් එකම කණ්ඩායමක සිටි ගජමිතුරන්ය. ඔවුහු රාජපක්ෂ ආරච්චිගේ දිනුක මධුශාන් හෙවත් කෙසෙල්වත්තේ දිනුක ජීවත්ව සිටියදී එකම කණ්ඩායමේ සිටි පිරිසකි. දිනුක මරණයට පත්වීමත් සමඟ මේ වන විට ඔහුගේ පාතාල කණ්ඩායම මෙහෙයවන්නේ දනුක රොෂාන් හෙවත් කෙසෙල්වත්තෙ දනුක නමැති, කෙසෙල්වත්තේ දිනුකගේ ගජමිතුරායි. දනුක රොෂාන් මේ වන විට ඉන්දියාවට පලා ගොස් සිටී.

කෙසෙල්වත්තේ සිටින තවත් 'වැඩ්ඩෙක්' වන සමන්ත ප්‍රදීප් හෙවත් කෙසෙල්වත්තේ චානා නමැත්තාට සහ ඔහුගේ සහෝදරයා වූ මිලාන් සහ තවත් පුද්ගලයෙක් වූ කරුණාදාස නමැත්තාට කොටහේන, බිලින්වත්තේදී වෙඩි වරුෂාවක් එල්ල කළේ 2018 වසරේදියි. ඒ, එවකට ඉන්දියාවේ සිටි දිනුකගේ කීම මත දනුක රොෂාන් විසින් මෙහෙයවීමෙනි. එම වෙඩි තැබීමටද ෆවාස් ඝාතනයට එක්ව සිටින කවී නමැත්තාද එක්ව සිටි අතර ඔහු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගතව සිට ඇප මත නිදහස්ව සිටි අයෙකි.

චානා ඇතුළු කණ්ඩායමට එල්ල කළ වෙඩි ප්‍රහාරයත් සමඟ දනුක පලා ගියේ ඉන්දියාවටයි. ඉකුත් මාර්තු මාසයේදී හෘදයාබාධයකින් දිනුක මියයාමත් සමඟ ඔහුගේ පාතාල කල්ලිය මෙහෙයවීම සිදුවන්නෙ දනුක විසිනි. එහෙත් මේ වන විට දිනුකගේ කණ්ඩායමේ සිටියවුන් කණ්ඩායම් කිහිපයකට කැඩී ගොස් ඇත්තේ මත්ද්‍රව්‍ය ගනුදෙනු සහ දිනුකගේ දේපොළ ගැටලු නිසාවෙනි.

පසුගියදා ඝාතනය වූ ෆවාස්ද දිනුකගේ මරණයත් සමඟ එකී කණ්ඩායමෙන් ඉවත්ව මාලිගාවත්තේ ෆයිසර්ගේ කණ්ඩායමට එක්ව සිටියේ මෑතක සිටයි. පසුගියදා හෙරොයින් සහ ජීව අත්බෝම්බයක් ලඟ තබාගෙන සිටියදී කෙසෙල්වත්ත පොලිසියට කොටුවූ ෆවාස් රක්ෂිත බන්ධනාගාරගත විය. ඔහු ඇප මත නිදහස්ව පැමිණියේ ඉකුත් නොවැම්බර් 11 වැනිදායි. ෆවාස් ඇප මත නිදහස්ව එද්දී ඔහුගේ බිරියද ඔහුගෙන් වෙන්ව ගොස් සිටියේය.

Comments