
- ලංකාවේ දෛනික බිත්තර පරිභෝජනය ලක්ෂ 65-70 ක්
- සත්ත්ව ආහාර අමුද්‍රව්‍ය හිඟකම මිල ඉහළ යාමට ප්‍රධානම හේතුවයි
- නත්තල වන විට තවත් මිල ඉහළ යා හැකියි
එදත් අදත් අපේ බත්පතින් පරිප්පු අත් හැරුණේ නැත. ඒ අඩු මුදලකට, ප්‍රෝටීන් බහුල, ගුණදායක රසවත් ආහාරයක් බවට පරිප්පු පත්ව ඇති නිසාය. පරිප්පු සමඟ බත්පතට බිත්තර හෝ කුකුළු මස් එකතු වූයේ අනිකුත් ආහාරවලට සාපේක්ෂව එහි අඩු මිල හා ඉහළ ගුණාත්මක බව නිසාය. වර්තමානයේ වෙළෙඳ පොළේ එළවළු මෙන්ම මාළු මිල අධික ලෙස ඉහළ යාම තුළ කුකුළු මස් හා බිත්තර සඳහා හොඳ වෙළෙඳ පොළක් නිර්මාණය වී තිබුණද මේ වන විට බිත්තර මෙන්ම කුකුළු මස්ද බත් පතට නොදැනී මිල අහස උසට නැඟ ඇත.
ලංකාවේ දෛනික බිත්තර පරිභෝජනය ලක්ෂ 65-70 කි. කුකුළු මස් පරිභෝජනය දෛනිකව මෙට්රික් ටොන් 500 ක් වන අතර මාසිකව මෙට්රික් ටොන් 18,000 ක් රටට අවශ්‍ය වෙයි. ඉදිරියේදි එළැඹෙන්නේ නත්තල් උත්සව සමයයි. මෙවර නත්තල් උත්සව සමයේ දෛනිකව කුකුළු මස් ප්‍රමාණය මෙට්රික් ටොන් 600 ක් වන බව ගණන් බලා ඇත. එසේම නත්තල් උත්සව සමයේ අවශ්‍ය දෛනික බිත්තර ප්‍රමාණය ලක්ෂ 80 ක් දක්වා වැඩි වෙයි. ඒ නත්තල වෙනුවෙන් කේක් ඇතුළු ආහාරපාන සකස් කිරීම නිසාය. කොවිඩ් සෞඛ්‍ය රෙගුලාසි යම් පමණකට ලිහිල් වීමෙන් අනතුරුව දැන් දැන් විවාහ, දානමාන කටයුතු සිදුවෙයි. අද කුකුළු මසින් තොර විවාහ මංගල්‍යයක් නොමැති තරම්ය.
කොවිඩ් ලංකාවට පැමිණීමට පෙර බිත්තර සඳහා හොඳ වෙළෙඳ පොළක් නිර්මාණ වී තිබුණි. කුකුළු මස් සඳහා ද රජය විසින් පාලන මිලක් නියම කර තිබූ නිසා මෑතක් වනතුරුම කුකුළු මස් කිලෝවක් විකිණූයේ රුපියල් 460 ක් වැනි දැරිය හැකි මිලකටය. 2020 මාර්තු මස රට ලොක්ඩවුන් කිරීමට ප්‍රථම බිත්තර අතිරික්තයක් තිබුණද රට වැසීම නිසා බිත්තර වෙළෙන්දෝ ඒ අතිරික්තය විකුණා ගත්තේ ඇඳිරි නීති සමයේ පාරක් පාරක් ගානේ ගොස් රුපියල් 6-10 ත් අතර මිලකට විකිණීමෙනි. කොවිඩ් හේතුවෙන් බිත්තර නිෂ්පාදනය ද සම්පූර්ණයෙන්ම බිඳ වැටුණු අතර නිෂ්පාදනය අඩු වීම නිසා වරින් වර බිත්තර මිල ඉහළ ගියේ නිශ්පාදන ගැටලු මතු වූ නිසාය. එහෙත් මෙවර බිත්තර මිල වෙළෙඳ පොළේ අසීමිතව ඉහළ ගොස් ඇත්තේය. බොහෝ තැන්වල සිල්ලරට රුපියල් 20-25 ටත් බිත්තරයක් විකිණෙන අතර, සුපර් මාර්කට්වල පැකට් කළ බිත්තරයක් රුපියල් 30-35 ක් වැනි ඉහළ මිලකට විකිණෙයි. බිත්තර මේ ආකාරයට අහස උසට මිල ඉහළ ගියේ ඇයිද? එළවළු, මාළු මෙන් නොව බිත්තර මිල ඉහළ ගොස් ඇත්තේ සත්ත්ව ආහාර අමුද්‍රව්‍ය හිඟකම නිසා බව මේ ක්ෂේත්‍රයේ අයගේ අදහසයි. රජය විසින් අඩු මිලට මෙම සත්ත්ව ආහාර ලබා දෙන්නේ නම් පාරිභෝගිකයන් අපහසුතාවට පත් නොකරමින් මෙතරම් ඉහළ මිල ගණන් යටතේ කුකුළු මස් හා බිත්තර මිල ඉහළ
නොදමන බව ඔවුන්ගේ තර්කයයි. “ බිත්තර, කුකුළු මස් නිෂ්පාදනයෙන් 70% ක වියදමක් යන්නේ සත්ත්ව ආහාරවලට. එදා සත්ත්ව ආහාරවලට අවශ්‍ය අමුද්‍රව්‍ය අඩුමිලට ලැබුණා. රයිස් පොලිස්, සුනු සහල් ලාභයට ගන්න තිබුණා. බඩ ඉරිඟු කිලෝ 1 රුපියල් 55-60 ක මිලකට ගන්න තිබුණා. නමුත් හාල් හිඟකම නිසා සුනු සහල් සත්ත්ව ආහාරවලට ගැනීම තහනම් වුණා. සෝයා පුන්නක්කු නම් ප්‍රෝටීන සංයෝගය සත්ත්ව ආහාර කිලෝ එකක් නිෂ්පාදනයට 25%-30% ප්‍රමාණයක් අවශ්‍යයයි. මේවා ගේන්නේ ඇමරිකාව, යුක්රේනය හා ඉන්දියාව වැනි රටවලින්. මීට මාස තුනකට පෙර කිලෝ එකක් රුපියල් 120 ට තිබුණේ. අද එය රුපියල් 240 ක් වෙලා. එසේම මේවායේ ජාත්‍යන්තර බෙදා හැරීමේ ජාල බිඳ වැටිලා. සෝයා ටොන් එකක මිල ඇමරිකානු ඩොලර් 450- 500 ක් වෙනවා. අද මෙය 600 ක් වෙලා. මේ ක්ෂේත්‍රයේ 10% ක් පමණ ඉන්න මහ පරිමාණ ව්‍යාපාරිකයින්. ඔවුන් කලින් ඇණවුම් කරන නිසා වැඩිවන මිල දරන්න සිදු වන්නේ නැහැ. නමුත් 60% ක් පමණ ඉන්නේ මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන්. ඔවුන්ට මේ වැඩිවන මිල දරන්න සිදු වෙනවා. එසේම ඇමරිකාව වගේ රටවල් මේවා කුඩා ප්‍රමාණවලින් ආනයනය කරන්න දෙන්නේ නැහැ. එසේම ණයවර ලිපි විවෘත කිරීමට ඩොලර් ප්‍රශ්නය බලපානවා. ඒ වගේම සමහර විදේශ සමාගම් ණයට මේ ද්‍රව්‍ය ලබා දෙන්න කැමැති නැහැ. මේ නිසා සුළු පරිමාණ ව්‍යාපාරිකයින්ගේ කුකුළු ව්‍යාපාර වැසී ගියා“ඒ සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකරය. එදා දේශීයව සත්ත්ව ආහාර නිෂ්පාදනය කළද අද එසේ කරන්නට නොහැකිය. සත්ත්ව ආහාර අමුද්‍රව්‍ය සොයා යාමේදී බඩ ඉරිඟු ගැටලුවද ඔවුන්ට මතුවූ ප්‍රධාන ප්‍රශ්නයකි. ලංකාවේ සත්ත්ව ආහාර සඳහා වසරකට බඩ ඉරිඟු මෙට්රික් ටොන් ලක්ෂ 6 ක් අවශ්‍යය. ලංකාවේ දේශීයව නිශ්පාදන කරන්නේ මෙට්රික් ටොන් ලක්ෂ 3 ක් පමණි. ඉතිරිය විදේශයෙන් ආනයනය කළ යුතු වුවත්, රජය පසුගිය කාලයේ රජය දැනුම් දුන්නේ මේවා ලංකාවේම වගා කළ යුතු බවකි. මේ සඳහා අවශ්‍ය භූමි පහසුකම් ලබා දුන්නද අවාසනාවකට මෙන් පොහොර, වල් නාශක හා කෘමි නාශක තහනම හරහා බොහෝ දෙනෙක් මහ කන්නයේ වගා කරන්නට පෙලඹුණේ නැත. මේ හේතුවෙන් මහා කන්නයේ ආදායම අඩුවීය. බිත්තර කුකුළු මස් ව්‍යාපාරිකයින් මුහුණ දී ඇති මේ අවාසනාවන්ත තත්ත්වය නිසා විදේශයෙන් තිරිගු මෙට්රික් ටොන් ලක්ෂ 2 ක් ගෙන්වීමට අවසර හිමි විය.එසේම තාවකාලිකව බඩ ඉරිඟුද ගෙන්වා ගැනීමට අවසර හිමි වුව ද, ණයවර ලිපි නිකුත් කිරීමේ හා ඩොලර් ප්‍රශ්නය නිසා එය ද ඇණ හිට තිබේ.
“මේ සියලු අර්බුද මතුවුණේ සත්ත්ව ආහාර හිඟකම හා ලෝක වෙළෙඳ පොළ ඩොලර් හිඟකම නිසා. මේ නිසා සත්ත්ව ආහාර නිෂ්පාදන අඩුවුණා. බිත්තර කුකුළු මස් මිල වැඩුවුණේ විශාල මිල පරාසයකිනි. එය මෙතෙක් උත්සව සමයකදි වැඩි වූ විශාල මිල වැඩි වීමක්. මේ වන විට බිත්තර තොග මිල රුපියල් 22 සිට 22.50 ත් අතර වෙනවා. සිල්ලර මිල රුපියල් 24 සිට 25 ක්. නිශ්පාදකයාට ලැබෙන ලාභය රුපියල් 2 යි. පාලන මිල තියෙද්දි සම සහිත කුකුළු මස් කිලෝ 1 ක් විකිණූයේ රුපියල් 460 කට. සම රහිතව රුපියල් 500 යි. නමුත් නිශ්පාදනය අඩු වී මාස 6 කට පෙර කුකුළු මස් හිඟ වුණා. මේ නිසා නිෂ්පාදනය පවත්වා ගැනීමට පාලන මිල ඉවත් කළා.....“ ඒ සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමයේ ලේකම් එච්.එම් සුසිල් කුමාරය.
මේ වන විට කුකුළු මස් සඳහා පාලන මිලක් නැත. එහෙත් ව්‍යාපාරිකයන් පවසන්නේ අද සම රහිත කුකුළු මස් විකුණන්නේ කිලෝවක් රුපියල් 690 කට බවය. ලයිව් චිකන් නමින් හඳුන්වන සීත නොකළ කුකුළු මස් විකුණන්නේ රුපියල් 790 කටය. මෙසේ කුකුළු මස් මිල ඉහළ ගොස් ඇත්තේ බිත්තර මෙන්ම සත්ව ආහාර අමුද්‍රව්‍ය හිඟකම නිසාවෙනි. මේ නිසාවෙන් බොහෝ පිරිස් අද මේ ව්‍යාපාරයන්ට සමු දී ඇත්තේ සඳහට ම ය. එ නිසාවෙන් උත්සව සමයට හෝ ඉල්ලුමට සරිලන පරිදි සැපයුම ලබා දෙන්නට අද නොහැකි වී ඇත. “ අද මාසයකට සතත්ව ආහර සඳහා බඩ ඉරිඟු මෙට්රික් ටොන් 4500 ක් අවශ්‍යයි. අද බඩ ඉරිඟු මිල ඉහළ නැගලා. ආදේශක ලෙස ගන්නා සුනු සහල් ගැන සිතන්න අමාරුයි. නමුත් පසුගියදා රජය මහ පරිමාණ ආයතන සඳහා මෙට්රික් ටොන් 45,000 ක් ගෙන්න අවසර දුන්නා. මේ වන විට බඩ ඉරිඟු ගොවීන් කබලෙන් ලිපට වැටිලා. හයිබ්‍රිඩ් සීඩ්ස් සඳහා නයිට්‍රජන්, පොස්පරස් ආදිය පසට එකතු කළ යුතුයි. නමුත් කාමිනාශක හා වල් නාශක දැන් පිටරටින් ගෙන්වන්නේ නැහැ. මේ නිසා කුකුල් ආහාර දෙතුන් වරක් සියයට 7 බැගින් ඉහළ ගියා. ඒ වගේම ඩොලර් ප්‍රශ්නය නිසා සත්ත්ව ආහාර සඳහා සෝයා ගේන්න විදියක් නැහැ. මේ නිසා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් මේ ක්ෂේත්‍රයෙන් ඉවත් වෙලා. මේ නිසා ඉල්ලුමට සරිලන ආකාරයෙන් සැපයුමක් ලබා දීමට නොහැකි වෙනවා.
ඉදිරියේදි නත්තල් උත්සව සමය වන විට බොහෝ විට සම රහිත කුකුළු මස් කිලෝ එක් රුපියල් 800- 1000 දක්වා වැඩි විය හැකියි. බිත්තරයක් ඉදිරියේදි රුපියල් 25-27 ක් දක්වා වැඩි විය හැකියි......“ ඒ ශ්‍රී ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමයේ හිටපු සභාපති හා අනුශාසක මාතලි ජයසේකරය. අහස උසට නැඟි එළවළු, මාළු මිල හා සන්සන්දනයේදී ප්‍රෝටීන් අධික ලාභදායි ආහාරයක් වූ බිත්තය ද, කුකුළු මස්ද මේ වන විට බත් පතින් ඉවත්ව යන තරමට මිල ඉහළ ගොස් ඇත්තේය. ඉදිරියේදී සත්ත්ව ආහාර අමුද්‍රව්‍ය නොඅඩුව ලැබේනම් සාමාන්‍ය ජනයාගේ ප්‍රෝටින් අවශ්‍යතාව සැපිරෙන මේ ආහාර අඩු මිලට ලබා දිය හැකි බව මේ ක්ෂේත්‍රයේ නියැළෙන්නන්ගේ අදහසයි.