ගෑස් පිපිරීම් ගැන ජනතාව කියන කතා | සිළුමිණ

ගෑස් පිපිරීම් ගැන ජනතාව කියන කතා

දර පෝරණු ලිපේ උයන නිසා සැනසීමයි 
- හෙන්රි සරත් (66) ඌරුපිටිය - ව්‍යාපාරික

මේ මෑතක ඉඳලා ලංකාව පුරාවටම ගෑස් ටැංකි හා ගෑස් ලිප් පුපුරලා බොහෝ දෙනෙක් අනතුරුවලට ලක්වුණා. දෙන්නෙක් විතර මිය ගියා. මේක හරිම භයානකයි. අපි ගම්වල ජීවත්වන නිසා දර පෝරණු හා ලිප් තමයි වැඩිපුර භාවිත කරන්නේ. ඒක වියදම් අඩුයි. ආරක්ෂාකාරියි. උයන කෑමවල පවා රස ගුණත් රැකෙනවා. ඒත් හැමෝටම එහෙම නෑනේ. ඒ නිසා මේ ප්‍රශ්නෙට රජය හා ගෑස්වලට සම්බන්ධ ආයතන මැදිහත්වෙලා ජනතාවට සහන සලසා දිය යුතුයි. ගෑස් ලිප්, සිලින්ඩර් වෙනුවට විකල්ප ඉන්ධන හඳුන්වාදීමට කාලය ඇවිත්.

ගෑස් සමාගම් මීට වඩා ජනතාව ගැන සිතිය යුතුයි
ප්‍රදීපා නිමාලි තෙන්නකෝන් (57) ගාල්ල - ගෘහණියක්

ලේසිය හා පහසුව නිසා කාලයක් තිස්සේ ගෑස් තමයි අපිත් ඉවුම් පිහුම්වලට භාවිත කරන්නේ. දැන් අපි හරිම බයෙන් තමයි මුළුතැන්ගෙයි කටයුතු කරන්නේ. ගෑස් සමාගම් හා ගෑස් සිලින්ඩර් නිපදවන සමාගම් මිනිසුන්ගේ ජීවිත ගැන නොසිතා එයාලගෙ වාසිය ගැන පමණක් හිතලා වැඩ කරනවා. ගෑස්වලට පුරුදු වෙලා දර ලිපේ, භූමිතෙල් ලිපේ උයන්නත් බෑ. ඇත්තටම මේ සිදුවන ජීවිත හා දේපළ හානිවලට ගෑස් සමාගම් වගකිව යුතුයි. එයාල සිදුවූ හානිපූරණය කළ යුතුයි.

ගෑස් ති‍ෙයන ගෙදරක ඉන්න වෙන්නෙත් බයෙන්
රාජේන්ද්‍රන් මලර් (39) හැටන් - ගෘහණියක්

අපිත් ගෑස්වලට පුරුදු වෙලා තියෙන්නේ. මේ විදිහට රට පුරා ගෑස් පුපුරන්න ගත්තේ ගෑස් මිල වැඩි වෙලා, ගෑස් හිඟයක් ඇතිවුණාට පස්සෙයි. ඊට කලින් මෙවැනි දේවල් වාර්තා වුණේ බොහොම කලාතුරකින්. ඇත්තටම ගෑස් ටැංකියක් තියෙන ගෙදරක ජීවත් වෙනවා කියන එකත් දැන් හරි අවදානම්. කොයිවෙලේ පුපුරයිද ගිනිගනීද කියලා සැකෙන් බයෙන් ජීවත් වෙන්න වෙලා තියෙන්නේ. තාමත් මේ ප්‍රශ‍්නෙට විසඳුමක් නෑ. වගකිවයුත්තන් අනිත් අයට ඇඟිලිදික් කරමින් චෝදනා කරමින් තමන්ගේ වගකීමෙන් මිදෙන්න උත්සාහ කරනවා.

වගකිවයුත්තන්ගේ අවධානය යොමුවිය යුතුයි
යමුනා ජයසූරිය (47) දොම්පේ දෙකටන - ගෘහණියක්

ගමේ නගරයේ බහුතර පිරිසක් අද ගෑස්වලට හුරු වෙලා. බලාපොරොත්තු විරහිතව මේ වගේ දේවල් වෙද්දි හැමෝම අපහසුතාවට පත්වෙනවා. ගෙවල්වල විතරක් නෙමෙයි තරුපහේ හෝටල්, රෝහල්, විශාල කර්මාන්තශාලා හා තවත් මහා පරිමාණ ව්‍යාපෘතිවල ගෑස් භාවිත කරනවා. රට වටේම ගෑස් ටැංකි, ගෑස් ලිප් පුපුරනවා. වගකිවයුත්තන් මේ ගැන ගැඹුරින්ම සොයා බැලිය යුතුයි. ඒ වගේම තමයි ගෑස් කර්මාන්තයට අදාළ පාර්ශ්ව මීට වඩා මානුෂීයව අන් අය ගැන සිතිය යුතුයි. තමන්ට ලාභ ලැබීමේ පටු අරමුණුවලින් මිදිලා රජයට සහාය දිය යුතුයි. ඔවුන්ගේ ව්‍යාපාර වුණත් සාර්ථක වෙන්නේ එතකොටනේ.

ගෑස් ගෙදරට ගේන්නෙ බෝම්බයක් ගේනවා වගේ
එස්.ඩී. ධම්මිකා (54) මාතර - රෝහල් සේවිකා

දැන් නම් ගෑස් ගෙදරට අරන් එද්දි හරියට බයයි. බෝම්බයක් ගේනවා වගේ. දැන් ලංකාවෙත් බහුතරයක් ගෑස්වලට හුරුවෙලා. අනික අපිට ගෑස් ආයතන දෙකට අමතරව විකල්පයකුත් නෑනේ. මෙච්චර කල් කවදාවත් එකදිගට මේ වගේ ගෑස් පිපිරීම් වුණේ නෑ. සාමාන්‍ය ජනතාව තමයි මේ හැම දේකින්ම අන්ත අසරණ භාවයට පත්වෙලා තියෙන්නේ. මේ ගැන විධිමත් පරීක්ෂණ කරලා ජනතාවට හිතේ නිදහසින් ගෙදර උයාගෙන කන්නවත් සලසා දීම බලධාරීන්ගේ යුතුකමක්.

ගෑස් වෙනුවට විකල්ප ඉන්ධන ගන්න කාලය ඇවිත්
මොහොමඩ් කාසිම් ෆාරුක් (62) නාවල - ව්‍යාපාරික

මීට කලින් කවදාවත් ගෑස් සම්බන්ධ එකදිගට මෙහෙම පිපිරීම් වුණේ නෑ. කඩාකප්පල්කාරී ක්‍රියා කියන්නත් බෑ සිදුවීම් ගැන හොයා බලද්දි. දැන් ගෙදර තියන දෙයක් රත්කරගෙන කාල සැනසීමෙන් ගෙදර ඉන්නත් බෑ. ජනතාව හරිම අසරණ වෙලා. ටැංකි පුපුරලා ගිනි ගනීද කියලා පපුව පිච්චි පිච්චි තමයි ජීවත්වෙන්න වෙලා තියෙන්නේ. ගෑස් වෙනුවට ඒ කාලේ තිබූ දර ලිප්, කුඩු ලිප්, භූමිතෙල් ලිප් වගේම අලුත් නිර්මාණ ගැනත් හිතන්න සිදුවෙලා තියෙන්නේ.

Comments