ජන මඬල | සිළුමිණ

ජන මඬල

කොහොමද මෙහෙම වෙන්නෙ වගකිවයුත්තෝ නිදි ද?

හොරණ - කොළඹ මාර්ගය, කොළඹ නගරයට පිවිසෙන ප්‍රධානතම මාර්ගවලින් එකකි. ඊට සමඟාමීව දුම්රිය මාර්ග පද්ධතියක් හෝ නොමැති හොරණ - කොළඹ මාර්ගයේ දිනකට ගමන් කරන රථවාහන සංඛ්‍යාව ද අතිවිශාලය.

වසර 30කට පමණ පසුව එම මාර්ගයේ ඉදිකිරීම් කටයුතු පසුගියදා සිදුවිණි. මේ වන විට ගෝනපොළ සිට පැපිලියාන දක්වා දෙපසට ද්විත්ව මංතීරු ලෙස මාර්ගය මනා සේ සකසා අවසන්ය. ඒ පිළිබඳ රජයට ප්‍රදේශවාසීන්ගෙන් නොමඳ ප්‍රශංසාව හිමි වේ.

එහෙත් බිලියන ගණනක් වැයකොට ඉදිකර ඇති එම මාර්ගයෙහි දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව පිවිසුම අසල අමුතුම ආකාරයේ මාර්ග සැලැස්මක් දක්නට ලැබේ. එය විමතිය දනවන දසුනකි. එම සැලැස්ම නෙත ‍ගැටෙන්නේ කොළඹ සිට හොරණ දෙසට දිවෙන මංතීරුවේය. එසේම කොට්ටාව දෙසින් අධිවේගයෙන් පැමිණියහොත් කහතුඩුව පිවිසුමෙන් පිටවී හොරණ දෙසට මීටර් පහක්වත් ගමන් කළ යුතු නොවේ.

දෙපසට ද්විත්ව මංතීරු මාර්ගයෙහි හොරණ දෙසට එම ස්ථානයෙහි තනි මංතීරුවක් හෝ නොමැති තරමට කුඩා වී තිබෙන්නේ එකී උභතෝකෝටික මාර්ග සැලැස්ම විදහා දක්වමිනි.

මාර්ගය යාබද එම ස්ථානයෙහි කර්මාන්ත ශාලාවක් පිහිටා ඇත. එම කර්මාන්ත ශාලාවේ තාප්පයෙහි එක් කොණක් පිහිටා ඇත්තේ හොරණ දෙසට යන මංතීරු දෙකම වැසෙන පරිදිය. එලෙස මීටර් කිහිපයක දුරක් දක්නට ලැබේ. වර්තමානයෙහි එම ස්ථානයෙහි මාර්ගය ඉදිකිරීම් සිදු කර ඇත්තේ ප්‍රතිවිරුද්ධ දිසා වෙන්කරන කොන්ක්‍රීට් තීරුව ඉදිනොකරමිනි. ඒ අනුව හොරණ දෙසට ඇදෙන රථවාහනවලට ද කොළඹ දෙසට ගමන් කරන මංතීරුව යම් පමණක භාවිත කිරීමකට හැකි වන ලෙස සකසා ඇත.

එබැවින් බිලියන ගණනක් වැය කර වසර 30කින් පමණ පසු ඉදිකළ එම මාර්ගයෙහි අධිවේගී පිවිසුම අසල මරු කපොල්ලක් බවට එම ස්ථානය පත්වී ඇත. ඒ එම ස්ථානයෙහි පිහිටි කර්මාන්ත ශාලාවේ තාප්පය අසලින්ම අතුරු මාර්ගයක් ද පිහිටා තිබෙන හෙයිනි. එම අතුරු මාර්ගයෙන් පැමිණෙන රථවාහන කොළඹ දෙසට හැරවීමේදී බොහෝ අවදානමකට මුහුණ දෙති. එම කර්මාන්ත ශාලාවෙන් ඉඩම් අත්පත්කර නොගෙන එම ස්ථානයෙහි මාර්ගය පුළුල් නොකළේ මන්ද යන්න එම දසුන නෙත ගැටෙන සැවොම හට පවතින්නේ ඉමහත් ප්‍රහේලිකාවකි.

නැවත වරක් අසන්නට ඇත්තේ බිලියන ගණනක් වැය කළ මාර්ගයකට මෙසේ වන්නේ කෙසේද කියාය. බලධරයිනි, අනතුරුවලට ද අත වනන මේ පිළිබඳ වහා සොයා බලා නිසි පියවර ගන්නා ලෙස ඉල්ලමු.

චන්දන වික්‍රමසිංහ 
කහතුඩුව


රාජ්‍ය සේවය සහ යතුරුපැදි ලබා දීම

රාජ්‍ය සේවය රටක හදවත බඳුය. රාජ්‍ය සේවය නතර වූ කල සමස්ත පරිපාලන ව්‍යුහයම නතර වෙයි. රාජ්‍ය සේවය, රජයේ සේවකයාට සේම මහජනයාට ද ඍජුව වග කියනු ලබයි. එබැවින් මේ අංශ දෙකෙහිම සමබරතාව රැකගැනීම අත්‍යවශ්‍ය වේ. රජය මඟින් සැපයෙන සුබසාධක යෝජනා ක්‍රම මහජනයාට ගලා යන්නේ රජයේ සේවකයා මඟිනි. එසේනම් පළමුකොටම රජයේ සේවකයා තෘප්තිමත් කළ යුතුය. ඒ සඳහා පාලන බලයේ සිටි සෑම රජයක්ම විවිධ වැඩසටහන් හඳුන්වා දුන්හ. මේ අතරින් හිටපු ජනාධිපති සහ වත්මන් අගමැති මහින්ද රාජපක්ෂයන් ආරම්භ කළ රාජ්‍ය සේවකයන් සඳහා යතුරුපැදි ලබාදීමේ ව්‍යාපෘතිය අගය කළ යුතුය. මෙවර අයවැයෙන් ද එම ව්‍යාපෘතිය නැවත බලගන්වා ඇත. පෙරදී යතුරුපැදි ලබාදීමේදී ඇතිවූ බරපතළ විෂමතා මෙවර ඇති නොවේයැයි අපි කල්පනා කරමු. සත්‍ය වශයෙන්ම ක්ෂේත්‍රගත නිලධාරීන් සහ පෙර වැඩසටහන්වලදී යතුරුපැදි ලබා දුන් අය හඳුනාගෙන යතුරුපැදි අවශ්‍යම පිරිසට පමණක් ලබා දීම කාලෝචිතය.

චන්දන වන්නිආරච්චි 
දෙහිඅත්තකණ්ඩිය


සම්මානයෙන් පිදුම් ලබයි

ලංකා මැණික් ව්‍යාපාරිකයන්ගේ හා පතල්කරුවන්ගේ සංගමයේ උප ලේකම් දීමන්ත කුමාරසිරි හට ධර්ම ශක්ති සමාජ සේවා පදනම මඟින් "ව්‍යාපාර විභූෂණ කීර්ති ශ්‍රී දේශමාන්‍ය ලංකා පුත්‍ර සම්මානය" පිරිනමා ඇත. සම්මාන උලෙළ ඉකුත්දා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

රත්නපුර ශාන්ත ඇලෝසියස් විද්‍යාලයේ ආදී ශිෂ්‍යයකු වන දීමන්ත කුමාරසිරි පළාතේ ආගමික ශාසනික හා සමාජ සේවා රැසක නියැළී සිටින්නෙකි. එසේම ඔහු 306 සී රත්නපුර සිංහ සමාජයේ ක්‍රියාකාරී සාමාජිකයකු ලෙස ව්‍යාපෘති රැසක් දියත් කිරීමට සිය දායකත්වය දක්වා ඇත.

තුෂාර හෙට්ටිආරච්චි 
- කහවත්ත


අක්මා බද්ධයට පිහිට වෙමු

බත්තරමුල්ල, පැලවත්ත, පාර්ලිමේන්තු පාරේ, අංක 83A නිවෙසෙහි වෙසෙන සී. එස්. ඒ. ගුණරත්නගේ රෝගී තත්ත්වය සමනය කිරීම සඳහා හැකි ඉක්මනින් අක්මාවක් බද්ධ කිරීමට අවැසි යැයි රාගම රෝහලේ අක්මා බද්ධ කිරීමේ ඒකකයේ විශේෂඥ වෛද්‍යවරු නිර්දේශ කරති.

මූල්‍ය ආයතනයක ගණකාධිකාරිවරයකු ලෙස සේවය කරන විවාහකයකු ද වන ගුණරත්න හට අක්මාවක් පරිත්‍යාග කිරීම කැමැති පරිත්‍යාගශීලියකු සිටී නම් 078 6062127 දුරකථන අංකය අමතන මෙන් දන්වා සිටිමු.


අනවසර පෙට්ටි කඩවලට තිත තබමු

ජනතාව කබලෙන් ළිපට වැටී ඇත. ගමේ කියමන් අනුව මහජනයා පැදුරෙන් ද බිමට වැටී ඇත. ලෝකයේ කිසිදු රටකට නොදෙවැනි අනවසර වෙළෙඳසැල් අප රට තුළ බිහිවී ඇත. මේ තුළින් ගම්‍ය වන සාධක කිහිපයකි. එනම් අන්ත දිළිඳුකම, ආර්ථිකය කෙරෙහි ඇති විශ්වාසය බිඳ වැටීම මෙන්ම නිදහස් රැකියාවලට ජනතාව ආකර්ෂණය වීම ආදී කරුණුය.

අද පෙට්ටි කඩයක්, එළවළු කඩයක් නැති මාවතක් නගරයක්, ගමක් සොයා ගැනීමට නොහැකිය. ඒ තරමටම අනවසර කඩ ඉදිවෙයි. මහාමාර්ග දෙපස ඉදිකිරීම් කිරීමට අවසර නොමැති බව දැන දැනත් මහ දවල් ඉදිකිරීම් සිදු කෙරේ. ප්‍රාදේශීය සභා, මහ නගර සභා නමට තිබුණද කිසිදු මහජන නියෝජිතයකු මෙම අනවසර ඉදිකිරීම්වලට විරෝධය නොදක්වන්නේ ඔවුනට හිමි ඡන්ද පදනම නැති වන නිසා වන්නට ඇත.

ඇතැම් අනවසර වෙළෙඳසැල් අනවසර වෙළෙඳසැල්දැයි කියා සිතා ගැනීමටවත් නොහැකි තරමටම අධි සුඛෝපභෝගි වෙළෙඳසැල්ය. රටක, මහනගර සභාවක, ප්‍රාදේශීය සභාවක ප්‍රතිපත්ති සැකසිය යුත්තේ ජනතා සුබසෙත වෙනුවෙන් විනා ඡන්ද ලබා ගැනීමට හෝ අල්ලස් ලබා ගැනීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීමට නොවේ. අප රටේ සෑම දෙයක්ම වණ වී කුණු වී ඕජස් ගලන මට්ටමට පත්වූ විට ගැටලුව කෙරෙහි අවධානය යොමු වීම සාමාන්‍ය තත්ත්වයක් වී ඇත. එතෙක් ඇස්කන් වසාගෙන සිටීමට සැවොම පුරුදුව සිටී. එම නිසා මෙවැනි ක්‍රම සහ විධි වෙනස් කිරීමට සැවොම පෙරට ඒමට කාලය එළැඹ ඇති බව පසක් කරමු.

ඩබ්ලිව්. ඒ. කේ. මොහාන් 
මහවැලි සී. කලාපය


අනතුරුවලට අත වනන මහබාගේ හන්දියට වර්ණ සංඥා ලබා දෙන්න

කොළඹ මීගමු පාරේ මහබාගේ හන්දිය යනු විශාල වාහන තදබදයක් ඇති ස්ථානයකි. රාගම දෙසින් කොළඹ දෙසට දිනකට විශාල වාහන සංඛ්‍යාවක් පැමිණෙති. මීගමු ප්‍රදේශයේ සිට කොළඹ දෙසට ඇදෙන වාහන ද කොළඹ සිට රාගම හා මීගමු දෙසට ගමන් කරන වාහන ද නිසා මහබාගේ හන්දියේ දැඩි වාහන තදබදයක් පවතී.

පදිකයෝ ද මාර්ගය හරහා ගමන් කිරීමට නොහැකිව විශාල ලෙස කරදරයට පත්වෙති.

මහබාගේ පොලිසියේ රථවාහන අංශයේ නිලධරියකු බොහෝ අවස්ථාවල එම ස්ථානයේ සිටියද එය ප්‍රමාණවත් නොවේ. මෙම ස්ථානයට එනම්, මහබාගේ හන්දියට වර්ණ සංඥා (Colour Lights) පුවරුවක් සවි කිරීම ඉතා වැදගත්

සහ කාලෝචිත ක්‍රියාවකි. ත්‍රිරෝද රථ සහ යතුරුපැදිකරුවන් සිය ගමන් ඉක්මන් කර ගැනීම සඳහා අස්සෙන් මුල්ලෙන් ඉදිරියට යෑමට තැත් කිරීම මෙකී ස්ථානයේ සුලබ දසුනකි. එය ඉතාම අනතුරුදායක තත්ත්වයකි.

විදුලි සංඥා පුවරුවක් ඇත්නම් ඊට අනුගතව සිය වාහන හසුරුවාගැනීමට සිදුවීම නිසැක බැවින් අනතුරු ද අඩුකරගත හැකිය.

එම නිසා රථවාහන අනතුරුවලට අත වනන මෙකී ස්ථානයට විදුලි සංඥා පුවරුවක් සවි කිරීම අත්‍යවශ්‍ය කරුණක් බව නැවත නැවතත් අවධාරණය කරමු. නිසි බලධරයිනි, වාහන අනතුරු වළක්වා ජනතාවගේ ආරක්ෂාව සඳහා සුදුසු පියවර ගන්නා මෙන් ඉල්ලා සිටිමු.

අයිලින් සෝවිස් 
වැලිසර, රාගම


මරණ වාර්තාව නොදීමෙන් ජනතාව අමාරුවේ

 දැනට පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව නිවසක මරණයක් සිදුවී පැය 24 ක් ඇතුළත එකී මරණයේ සියලු වැඩ කටයුතු අවසන් කළ යුතුය.

නමුත් හෝමාගම ඇතුළු ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ කිහිපයක ඇතැම් ග්‍රාම නිලධාරිවරු නිවසේ සිදුවන මරණවලට අදාළව රෙජිස්ට්‍රාර්වරයාට ලබාදීම සඳහා මරණ වාර්තාව නිකුත් නොකිරීම නිසා අදාළ මරණය ලියාපදිංචි කිරීමට නොහැකිව ඉමහත් ගැටලුවලට මුහුණ දී සිටිති.

ඒ හේතුවෙන් මරණය ලියාපදිංචි කිරීමට දේහය ප්‍රදේශයේ ප්‍රධානතම රෝහලකට රැගෙන යා යුතුව ඇත. ඒ සඳහා පොලිස් නිලධාරියකු, මහජන සෞඛ්‍ය පරික්ෂකවරයකු කැඳවාගෙන යා යුතුව ඇත.

අනතුරුව අදාළ ප්‍රධාන රෝහලේදී හදිසි මරණ පරීක්ෂණයක් කළ යුතුය. ඒ සඳහාද හදිසි මරණ පරීක්ෂකවරයකුට ගෙවීම් කළ යුතුය. අදාළ පොලිස් නිලධාරියාට ද ගමන් වියදම් ලබාදිය යුතුය.

එමෙන්ම දේහය රෝහලට ගෙන යෑමට මෙන්ම නැවත ගෙන ඒමට ද අවමංගල රථයකට අධික වියදමක් දැරිය යුතුය. මෙකී කටයුතු සියල්ල අවසානයට බොහෝ විට දිනක් ඉක්මවනු ඇත. එකී කටයුතු නිසා දේහය එම්බාම් කිරීමේ කටයුතු ද ප්‍රමාද වේ.

මේ නිසා අදාළ අවමංගල කටයුතු සංවිධානය කරන අයට බලවත් අපහසුතාවලට මුහුණ දීමට මෙන්ම අනවශ්‍ය වියදම් රාශියක් දැරීමට සිදු වේ.

අප වෙසෙන හෝමාගම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ වර්තමානයේ ඇතැම් ග්‍රාම නිලධාරිහු මරණ පිළිබඳ වාර්තාව නිකුත් නොකරති. මේ නිසා අදාළ ප්‍රදේශයන්හි අහිංසක ජනතාව ඉමහත් දුෂ්කරතාවලට මුහුණ දී සිටිති. මේ පිළිබඳ ඇමැති චමල් රාජපක්ෂ හා කොළඹ දිසාපති, හෝමාගම ප්‍රාදේශීය ලේකම් ආදි බලධාරින්ගේ කඩිනම් අවධානය යොමු විය යුතු බව පසක් කරන්නෙමු.

ඒ. ඒ. එස්. වීරසිංහ 
පාලගම


පිය සෙනෙහස අහිමිව ගිය දරුවන්ට පිහිටක් වෙමු

මාතලේ, විල්ගමුව, දේවගිරිය ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි එම්. ජී. ඩබ්ලිව්. කුමාරි තිදරු මවකි. නොසිතූ මොහොතක මීට මාස තුනකට පමණ පෙරදී ඇයගේ සැමියා වූ සුසන්ත කුමාර හෘදයාබාධයකින් මිය ගියේය. ඒ සමඟ ඇයගේ ජීවිතයට කණකොකා හඬලන්නට වූවාය. කුමාරි කුඩා දරුවන් තිදෙනා සහ අසනීපව සිටින සිය මව සමඟ මේ වන විට අන්ත අසරණව සිටින්නීය. දරුවන් තිදෙනාට හරිහැටි කුසට අහරක් දීමටවත් ඇඳුමක් පැලඳුමක් දීමටවත් නොහැකි තත්ත්වයකට පත්ව සිටී.

අවුරුදු හතරහමාරක් වයසැති වැඩිමහල් පුතු සහ අවුරුදු දෙකයි මාස අටක් වියැති නිවුන් දරුවන් සමඟ ගරාවැටුණු නිවෙසක වෙසෙන ඇය හට මේ වන විට දරුවන් උස්මහත් කිරීමට කිසිදු හව්හරණක් නොමැතිව පසුවන්නීය.

දරුවන් තිදෙනාගේ අධ්‍යාපනයට, ආහාරපානවලට මෙන්ම හිසට සෙවණක් සඳහා නිවසක් තනා ගැනීම වෙනුවෙන් මෙකී අසරණ පවුල වෙනුවෙන් සවියක් වීමට කැමැති පරිත්‍යාගශිලියකු වෙත්නම් 0761525629 දරන දුරකථන අංකයට හෝ ලංකා බැංකුව දෙහිඅත්තකණ්ඩිය ශාඛාවේ 78295580 දරන ගිණුම් අංකයෙන් දායක විය හැකිය.

කංචන ආරියදාස - සීගිරිය විශේෂ


කොරෝනා රෝගී පවුලෙන් තුති පිදීමක්

ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිත්‍ය සේවාවේ වසර 22ක සේවා කාලයකින් පසු විශ්‍රාමිකයකු වන මාගේ පවුලේ සියලු සාමාජිකයන්ට ඉකුත්දා කොරෝනා රෝගය වැලඳිණි. ඉන් අප සියලු දෙනා දැඩි ලෙස පීඩාවට පත් වූහ. නිදන්ගත රෝගියකු වන මා හට ද රෝගී තත්ත්වය උත්සන්න විය. මාගේ පවුලේ සාමාජිකයන් දින දින ක්‍රමයෙන් සුවය ලැබුවත් නිදන්ගත රෝගවලින් පෙළුණු මා හට සුවය ලැබීම ප්‍රමාද විය.

කෙසේ හෝ මා හට රෝගී තත්ත්වය බරපතළ වූ හෙයින් අයගම දිසා රෝහල වෙතින් නේවාසික ප්‍රතිකාර ලබා ගැනීමට ද සිදු විය. තත්ත්වය වැඩිදුරටත් බරපතළ වූ නිසාවෙන් ජීවිතයත් මරණයත් අතර සටනක නිරතවූ මා රත්නපුර මහ රෝහල වෙත ද මාරු කිරීමට තරම් අයගම ජීවකවරුන් යුහුසුලු වූහ.

ජීවිතයත් මරණයත් අතර සටනකින් සුවය ලැබූ මා ඇතුළු පවුලේ සැම වෙනුවෙන් දිව රෑ නොබලා වෙහෙසුණු රත්නපුර සහ අයගම රෝහල්හි වෛද්‍ය, හෙද ඇතුළු සියලු කාර්ය මණ්ඩලය මා ඇතුළු පවුලේ අයවලුන් අදටත් සිහිපත් කරනුයේ මිහිපිට සිටිනා දෙවිවරු ලෙසිනි. තවද මා ජීවත්වන අයගම ප්‍රදේශයේ මහා සංඝරත්නය, අසල්වාසින් මෙන්ම සියලු ඥාති හිතමිත්‍රාදින් ඇතුළු විශ්‍රාමික රාජ්‍ය නිලධාරිහු ද අපගේ සුවපත් වීමට විශාල රුකුලක් වූ බව සිහිපත් කරනුයේ ගෞරව පූර්වකවයි.

පී. ඩබ්ලිව්. කේ. පතිරණ 
සරත්පුරය, අයගම


මාතලේ වේරගම මංසන්ධියට අවධානය යොමු කරන්න

පසුගිය දිනවල පැවැති අධික වර්ෂාවත් සමඟ මාතලේ, රත්තොට මාර්ගයේ, වේරගම හන්දියේ මාර්ගයේ එකතු වන ජලය අවට පිහිටි නිවෙස්වලට ගලා ඒම නිසා එම නිවෙස්වලට දැඩි ලෙස අලාභ හානි සිදුවිය.

එම වර්ෂාපතනය නිසාවෙන් වසර අටකට පමණ අධික කාලයකට පෙර ඉදිකර තිබූ ගල්බැමි පවා කඩා වැටිණි. මෙලෙස නිවෙස්වලට හානි පැමිණ වීමට ප්‍රධාන ලෙසටම බලපා තිබෙන්නේ මාර්ගයේ එක්රැස් වන ජලය නිසි පරිදි බැස යෑමක් සිදු නොවීමයි.

මාර්ගයේ එක්රැස් වන ජලය බැස යෑමට කානු පද්ධතියක් නොමැති වීම මේ සඳහා දැඩි ලෙස බලපා ඇති හේතුවයි. පෙර පැවැති කානු වසා නොයෙක් ගොඩනැඟිලි ඉදිවීමත් ජලය බැස යෑමට බාධකයක් වී ඇත.

මේ පිළිබඳව වගකිව යුතු අංශ කොතෙක් දැනුම්වත් කළද මේ වනතුරුත් කිසිදු පිළිසරණක් ලැබී නැත. එම නිසා මේ පිළිබඳ වගකිවයුතු අංශ පරීක්ෂාවට ලක්කර නිසි ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස ඉල්ලා සිටිමු.

ඩබ්ලිව්. ඒ. ජී. විමල් තෝරදෙනිය 
වේරගම - මාතලේ


සියදිවි නසා ගැනීම පාපයකි

සියදිවි නසා ගැනීමට පෙර ඊට පෙළඹෙන හේතු කීපයක් විමසා බැලීම වටී. දිළිඳුකම, විරැකියාව, අඹු-සැමි අාරවුල්, විභාගවලින් අසමත් වීම, ප්‍රේම සම්බන්ධතා බිඳ වැටීම ඉන් කීපයකි. බුදු දහම සේම සෙසු ආගම්වලට අනුව ද සියදිවි නසා ගැනීම පාපකර්මයකි. තමන්ට අයිති නැති ප්‍රාණයක් නැති කිරීම ප්‍රාණ ඝාතයකි. ඒ අනුව තමාගේ ජීවිතය වුවද නැති කරගැනීමේ අයිතියක් බලයක් බුදුදහමෙන් හෝ කිසිම ආගමකින් පවරා දී නැත. අනුන්ගේ ප්‍රාණය මෙන්ම තමන්ගේ ප්‍රාණය ද වටිනා වස්තුවකි. පරපණ නැසීම පළමු ශික්ෂාපදය කැඩීමක් වන්නා සේම තම පණ නසා ගන්නා පුද්ගලයා ද එම වරදට අයත් වූවෙකි. ඉතා අමාරුවෙන් ලබාගත් මනුෂ්‍ය ආත්මය විනාශ කරගැනීම බෞද්ධ විරෝධී වන්නේ එබැවිනි. අනුන්ගේ ජීවිතය විනාශ කර මරා දැමීමේදී බලපාන නීතියම තමාගේ ජීවිතය විනාශ කරගන්නා තැනැත්තාට ද බලපාන බව අධිකරණ නීතිය සංග්‍රහය විමසන විට පැහැදිලි වෙයි. තමාගේ ජීවිතය අඩුවෙන් තක්සේරුකොට මෙකී සමාජයට අනවශ්‍ය අවලංගු කාසියක් යැයි සිතා වටිනා ජීවිතයට ආයුබෝවන් කීම බොළඳ අමනෝඥ ක්‍රියාවකි. මිනිස් දිවියේ උපරිම ආයු කාලය විඳිමින් මිනිස් සමාජයට සේවයක් කිරීම අප හැමගේ යුතුකමකි; වගකීමකි. මහඟු සමාජ මෙහෙවරකි.

මුනිදාස සෝමතිලක, රාජගිරිය

Comments