
ශ්‍රී ලාංකේය ජනතාව යුද්ධය නිසා විවිධාකාරයෙන් බැට කෑහ. යුද්ධය අවසන් කිරීම ගැන විවිධ දේශපාලන පක්ෂ සහ කණ්ඩායම විවිධාකාර යෝජනා ඉදිරිපත් කළ අතර, රටටත් ජනතාවටත් ජයග්‍රහණ රැසක් අත්පත් කරදුන් පක්ෂයක් ලෙස මහජන එක්සත් පෙරමුණ ආරම්භයේ සිටම සුවිසල් මෙහෙවරක් ඉටු කළේය. විශේෂයෙන් රටේ ඒකීය භාවය සුරැකීම එම පක්ෂයේ මූලික අරමුණ විය. කොටි ත්‍රස්තවාදය විටින් විට පසු බසිමින් ද යළි යුද වැදෙමින් ද යුද්ධය පවත්වාගෙන ගියේ ශ්‍රී ලාංකික රණවිරුවන් දහස් ගණනින් ඇස්, ඉස්, මස්, ලේ සහ ජීවිත බිලි ගනිමිනි. කුරිරු යුද්ධය අවසන් කිරීමට නම් යුද්ධය යුද්ධයෙන් අවසන් විය යුතු බව ප්‍රථම වතාවට ප්‍රකාශ කළේ මහජන එක්සත් පෙරමුණ ය. දේශපාලන විසඳුමකට යා යුත්තේ ඉන්පසුව බව ද ඔවුහු අවධාරණය කළහ.
ඒ අනුව මීට වසර 27කට පෙර රට රකින රණවිරුවන් සුරකිමින් මවුබිමේ ඒකීය භාවය රැක ගැනීම වෙනුවෙන් කතරගම ඓතිහාසික කිරිවෙහෙර චෛත්‍ය රාජයාණන් අභියසදී, මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රමුඛ ජාතික සංවිධාන සත්‍යක්‍රියාවක් ආරම්භ කළහ.
එතැන් සිට අඛණ්ඩව යුද ජයග්‍රහණය ලැබීම දක්වා පවත්වාගෙන ආ මේ සත්‍යක්‍රියාව මේ දක්වාම කරගෙන යනු ලබයි.රට වෙනුවෙන් ඉදිරියේදී අත් කරගත යුතු තවත් ජයග්‍රහණ බොහෝය. ඉකුත් දෙසැම්බර් 4 වැනිදා මහජන එක්සත් පෙරමුණේ නායක අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනයන්ගේ ප්‍රධානත්වයෙන් ඓතිහාසික කිරිවෙහෙර චෛත්‍ය රාජයාණන් ඉදිරියේදී ප්‍රතිඥා දෙනු ලැබුවේ එම ජයග්‍රහණ වෙනුවෙනි.
එම ප්‍රතිඥාව මඟින් අපේ මුතූන් මිත්තන් විසින් දිවි දෙවැනි කොට පරම්පරාවෙන් පරම්පරාවට රැකදුන් මවුබිමේ ඒකීය රාජ්‍යයත්, භෞමික අඛණ්ඩතාවයත්, ස්වෛරී ස්වාධීනත්වයත්, උරුමයන් සහ සම්පත් ආරක්ෂා කිරීමට කැපවන බවටත් ප්‍රජාතන්ත්‍රවාදී සමාජය ශක්තිමත් කිරීම වෙනුවෙන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඇති කිරීමට කැපවන බවටත් ප්‍රතිඥා දී ඇත. එමෙන්ම උතුම් සම්බුද්ධ ශාසනයත් මහා සංඝරත්නයත් ආරක්ෂා කොට සුරැකීමට හා චිරස්ථිතිය පිණිස කැපවන බවටත් වෙහෙර විහාර පුරාවස්තු පූජනීයත්වයෙන් ආරක්ෂා කොට සුරැකීමට කැපවන බවටත් ප්‍රතිඥා දුන්හ. එමෙන්ම ජාතික ආරක්ෂාව තුළ යුධ හා හානිකර ගිවිසුම්වලට යටත් නොවන සක්‍රිය නොබැඳි විදෙස් ප්‍රතිපත්තියකට කැප වීමටත් ගහකොළ, සතා සිවුපාවා, ගංගා ඇළදොළ, වැව් අමුණු, ජල මූලාශ්‍ර, වනාන්තර, අභයභූමි ආදියෙන් සුපෝෂිත ස්වාභාවික සම්පත ආරක්ෂා කොට කාලගුණ විපර්යාසයන්ට මුහුණ දෙන අහරින් ස්වයංපෝෂිත ආදර්ශමත් දේශය බවට අප රට පත් කිරීමට පොරොන්දු දී ඇත. එමෙන්ම රට ඒකජත්‍ර කිරීමට පෙරමුණ ගත් රණවිරුවන් ආරක්ෂා කර එම පවුල්වල සුබසිද්ධිය ඇති කිරීමටත් කාන්තාවගේ ගෞරවය හා ආරක්ෂාව සලසමින් තරුණ පරම්පරාව දැනුමෙන් ශක්තිමත් කරවන දියුණු රටක් ගොඩනැඟීමටත්, උගතුන්, බුද්ධිමතුන්, වෘත්තිකයන් එකතු කර ගනිමින්, නව රැකියා හා ජීවන උපාය මාර්ග සහතික කරන අනාගතයක් උදා කිරීමට කැපවන බවටත් ප්‍රතිඥා දී ඇත.
ඊට අමතරව එම ප්‍රතිඥාවේ ඇතුළත් කරුණු සැකවින් දක්වන්නේ නම් ජනතාවට වගකියන මහජන නියෝජිතයන් පාර්ලිමේන්තුවටත් පත්කරන නව මැතිවරණ ක්‍රමය ස්ථාපිත කිරීමටත් පූර්ණ එන්නත්කරණය මඟින් කොවිඩ් 19 වසංගතය මනාව කළමනාකරණය කොට එයින් පීඩාවට පත් සියලු ජනතාවගේ සුබසිද්ධිය සඳහා නව සංකල්පයන්ගෙන් හා නව උත්පාදනයන්ගෙන් පිරි වේගවත් ආර්ථික පුනර්ජීවනයක වෙනස සඳහා කැපවන බවත් සඳහන්ය. රුහුණු මාගම්පත්තුවේ අධිකරණ සංඝනායක කතරගම ශ්‍රී අභිනවාරාම විහාරාධිපති කතරගම පූජ්‍ය කපුගම සරණතිස්ස හිමි, සංඛපාල රජමහා විහාරයේ භාරකාර පුජ්‍ය කොකාවල කෝසල හිමි, කිරිවෙහෙර තේවාව බාර පූජ්‍ය තලගල ඥානින්ද හිමි, පැපිලියාන සුනේත්‍රා දේවි විහාරවාසී පුජ්‍ය මාලේවන ධර්මවිජය හිමි, හංවැල්ල ආටිගල ශ්‍රී සුගතබිම්බාරාමාධිපති පුජ්‍ය මඩවලතැන්නේ ජිනරතණ හිමි, කිඹුල්කැටියේ නාහිප්ත හිමි, කතරගම සද්ධාසෝම පිරිවෙන් විහාරාධිපති නවගමුවේ මෛත්‍රී හිමි, පුංචි සීගිරිය විහාරාධිපති බඹරවාන සද්ධාතිස්ස හිමි, පූජ්‍ය තංගල්ලේ ගෞතම හිමි ඇතුළු මහා සංඝරත්නය ද, රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන යදාමිනි ගුණවර්ධන, ජගත් පුෂ්පකුමාර, රුහුණු කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිශාන් ගුණසේකර, හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් වන සමන්මලී සකලසූරිය, සලෝචන ගමගේ, මහජන එක්සත් පෙරමුණේ පළාත් පාලන ආයතන ප්‍රධානීන් සහ සභිකයන් හා ක්‍රියාකාරීන්, ජාතික සංවිධාන නියෝජිතයින් රැසක් මෙම අවස්ථාවට එක්විය.