රට ම අඳුරේ හෙළුෑ විදුලියේ අර්බුදය | සිළුමිණ

රට ම අඳුරේ හෙළුෑ විදුලියේ අර්බුදය

සුගිය දිනවල හදිසියේම රට පුරා විදුලිය බිඳවැටීමට ලක්විය. විවිධ පාර්ශ්ව මාධ්‍ය ඔස්සේ මේ සම්බන්ධයෙන් අනෙකුත් පාර්ශ්ව වෙත චෝදනා කළේය. එහෙත් කිසිවකු එහි වගකීම බාරගන්නා බවක් නොපෙනුණි. රටක ආර්ථිකය ශක්තිමත්ව හා ක්‍රියාකාරීව පවත්වාගෙන යෑම සඳහා බලපාන ප්‍රමුඛ සාධකයක් ලෙස විදුලිය හඳුන්වා දිය හැකිය. පසුගිය දශකය කොයිහැටි වෙතත් කොරෝනා තත්ත්වය සමඟ රට මුහුණදී තිබෙන අර්බුදයෙන් ගොඩ ඒමට උත්සාහ කරන මෙවන් අවධියක විදුලිබලය අඛණ්ඩව පැවතීම අත්‍යවශ්‍යම වූ සාධකයකි. එය රට ක්‍රියාකාරිව පවත්වාගෙන යාමට මෙන්ම ජන ජීවිතය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමටද අත්‍යවශ්‍යය. ශක්තිමත් බලශක්ති පද්ධතියක් තිබීම හා එම පද්ධතිය දවසේ කොපමණ පැය ප්‍රමාණයක් සක්‍රියව පවතිනවාද යන කරුණ රටක යටිතල පහසුකම් සම්පූර්ණ වීමට බලපාන අනිවාර්ය සාධකයකි. එසේම රටේ බලශක්ති පද්ධතිය ජාතික ආරක්ෂාව විෂයෙහි ගසට පොත්ත මෙන් ඉතා සමීප සම්බන්ධතාවක් දක්වයි. මෙනිසා විදුලිය බිඳ නොවැටී අඛණ්ඩව පවත්වාගෙන යාම අවශ්‍යම වූ කාරණාවකි. මේ එම සිදුවීම පිළිබඳ කෙරෙන විමසුමකි. 

කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ සියයට හතළිහක කොටස් සහ එල්.එන්.ජී. ඒකාධිකාරය ඇමෙරිකානු සමාගමකට ලබාදීමට එරෙහිව විදුලිබල මණ්ඩල ඉංජිනේරුවන් ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අතරතුර දෙවතාවක් හදිසියේම විදුලි බලය ඇණ හිටිණි. මෙහිදී විවිධ පාර්ශ්ව මඟින් මෙම ක්‍රියාව පිටුපස ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය සිටින බවට ඇඟිල්ල දිගු විය. මෙහි උච්චතම අවස්ථාවට පැමිණියේ පසුගිය 06 වැනිදා ලංකා විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ විදුලි ඉංජිනේරු සංගමය විසින් කළ අදහස් දැක්වීමත් සමඟය. ඔවුන් ප්‍රකාශ කර සිටියේ නොවැම්බර් මස 29 වැනිදා සහ දෙසැම්බර් මස 03 වැනිදා සිදු වූ විදුලිය බිඳවැටීම පිටුපස ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමයේ මැදිහත්වීමක් ඇතැයි සැකයක් පවතින බවය. එහිදී ජ්‍යෙෂ්ඨ විදුලි ඉංජිනේරු සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නන්දික පතිරගේ කියා සිටියේ

"ඉතාම අමානුෂික ඉල්ලීම්වල තමයි ඒ අය ඉන්නේ. ඊට පස්සේ ‍වෙන වෙන ඉල්ලීම් ගොඩාක් දාගෙන ඒ ගොල්ලෝ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වෙනවා. ඒ ගොල්ලොම දන්නේ නෑ ඒ ගොල්ලෝ ඉල්ලන ඉල්ලීම් මොනවාද කියලා. අද එකක් ඉල්ලනවා හෙට එකක් ඉල්ලනවා. තම තමන්ගේ වෘත්තිය හෑල්ලු කරන්නේ කොහොමද කියන එක අපිට ගැටලුවක් තියෙනවා. විදුලි බිඳවැටීම් යථා තත්ත්වයට පත් කරන්නේ නෑ කිව්වා. ඒ ගොල්ලෝ ස්ට්‍රයික් කරනවා කිව්වා. අකුරට වැඩ කරනවා කිව්වා. ලයිට් යැව්වොත් හරි කියන මතයට අන්තිමට ඒ ගොල්ලෝ ලඝු වෙනවා. වැස්සකුත් නෑ, අකුණු ගහන්නෙත් නෑ, කාලගුණික විපර්යාස නෑ, ගස් කඩා වැටෙන්නෙත් නෑ එහෙම වෙලාවක මෙහෙම බිඳවැටීමක් සිදුවෙන්න පුළුවන්ද කියලා ඒකේ විශේෂඥයෝ තේරුම් ගනිවී. අපිට ඒ ගැන සැකයක් තියනවා. ඒකයි අපි කියන්නේ අපක්ෂපාති පරීක්ෂණයක් තියන්න කියලා ".

මේ චෝදනාව සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු ප්‍රකාශ කර සිටියේ " විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ ඉන්ජිනේරුවන් අටසිය හතළිහක පමණ පිරිසක් සිටිනවා. ඉන් අටසිය තිහක් කටයුතු කරන්නේ ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය සමඟයි. නමුත් මෙතන සිටින්නේ දහදෙනකු පමණයි. මේ කීප දෙනා එකතුවෙලා තමන්ට අවශ්‍ය න්‍යායපත්‍රයක ඉඳගෙනයි කටයුතු කරන්නේ. විදුලිබල මණ්ඩලයේ ක්‍රියාකාරීත්වය හා විදුලිබල පද්ධතියේ බිඳවැටීම සම්බන්ධයෙන් ඔවුන් දක්වන අදහස්වලින්ම පෙනෙනවා ඔවුන්ට ඒ සම්බන්ධයෙන් තිබෙන දැනුම කොතරම්ද කියන කාරණය. අනෙක් අතට මේගැන අපක්ෂපාතී පරීක්ෂණයක් කරන්න කියල ඒ අය ඉල්ලනවා. මේවනවිටත් ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ඒ ගැන සොයාබලන්න මේ ක්ෂේත්‍රය පිළිබඳව පුළුල් අවබෝධයක් තිබෙන විද්වත් කමිටුවක් පත් කර තිබෙනවා. ඊට පේරාදෙණිය ඉංජිනේරු පීඨයේ මහාචාර්ය ලියන්ත සමරනායක, ආචාරය තිලක් සියඹලාපිටිය, විදුලිබල මණ්ඩලයේ උපසභාපති එන්.එස්. ඉලංගකෝන් සහ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවරුන් සහ අමාත්‍යංශ ලේකම්වරු දෙදෙනකු මෙම කමිටුවට අයත්. මෙම කමිටුව නිදහස් තීරණය ගැනීමට හැකි කමිටුවක්. ඒනිසා එයට අප පූර්ණ සහය දක්වනවා. පසුගිය දිනවලත් මෙම කමිටුවට ගොස් අප සංගමයේ පිරිස් සාක්ෂි ලබා දුන්නා. ඔවුන් අපෙන් ඉල්ලන සියලු තොරතුරු අප ඔවුන්ට ලබාදුන්නා. ගබඩාවී ඇති දත්ත පිළිබඳව ඒ අයට අවබෝධයක් තියෙනවා. රටක විදුලිබල පද්ධතිය තුළ ආරක්ෂණ පද්ධතියක් තිබෙනවා. එය කාර්මික ස්වයංක්‍රීය පද්ධතියක්. ඒවා අපි ගෙවල්වල පාවිච්චි කරන කම්පියුටර් වගේ නෙමෙයි. ඒවයේ දත්ත ගබඩා වී තිබෙනවා, ඒවා ලෙහෙසියෙන් කෙනකුට මකන්න බැහැ. ඒ අය කියනවනේ ගෙදර ඉඳන් සම්බන්ධ වෙලා මේවා කරයි කියලා. මේ පද්ධතිය පිළිබඳව තියෙන නොදැනුවත්කම තමයි ඔවුන් මේ පෙන්නුම් කරන්නේ. මේ පිළිබඳව නොදන්න ජනතාව නොමඟ යවන්න තමයි ඔවුන් මේ දේ ප්‍රකාශ කරන්නේ. එහෙම කවුරු හරි කළත් ඒක සිදු වුණේ කොහොමද කියන එක දත්ත පද්ධතිය මඟින් දැනගත හැකියි. ඒ දත්ත ගබඩාවෙනවා. ඒවා හඳුන්වන්නේ සිදුවීම් ලොගය (Event log)ලෙසයි. බලාගාරවල පද්ධති පාලන අංශය සතුව පවතින මෙම පද්ධති තුළින් සිදුව ඇත්තේ කුමනාකාරයේ බිඳවැටීමක්ද යන්න පැහැදිලිව සොයාගත හැකියි. අපට චෝදනා එල්ල කරන ජ්‍යෙෂ්ඨයින් ලෙස පෙනී සිටින සංගමයේ මාධ්‍ය ප්‍රකාශකවරයා ඉන්නේ විදුලිබල මණ්ඩලයේ නෙවෙයි. ඔහු සේවය කරන්නේ ශ්‍රී ලංකා එනජීස් ආයතනයේ. ජාතික විදුලිබල පද්ධතිය පරිගණකගත කර ඇති නිසා මෙම විදුලිය බිඳවැටීම සිදු වුණේ කොහොමද කියන කාරණය සොයාගන්න පුළුවන්. අප වෘත්තිය ක්‍රියාමාර්ගයකට අවතීර්ණව සිටියදී මෙවැනි කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදු වුණේ කොහොමද කියනදේ අපටත් දැනගන්න අවශ්‍යයි. ඒ සඳහා අවශ්‍ය පූර්ණ සහය අපි ලබාදෙනවා. ජනාධිපතිවරයා පත් කළ සියලු දෙනා වෘත්තිමය නිපුණත්වයක් ඇති අය. එනිසා සාධාරණ විනිශ්චයක් ඉන් ලැබෙයි කියා අප විශ්වාස කරනවා" යැයි ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේසභාපති සෞම්‍ය කුමාරවඩු පැවසීය.

රට පුරා විදුලිය බිඳවැටීම සම්බන්ධයෙන් විදුලිබල අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන කියා සිටියේ රාජ්‍ය ප්‍රතිපත්තිය වන්නේ විදුලි පාරිභෝගිකයින්ට අඛණ්ඩව විදුලිය සැපයීම බවත් එම අවශ්‍යතාව ඉහළින් ඉටු කිරීම තම ආයතනයේ අරමුණ බවය. එවැනි අරමුණකින් කටයුතු කළ ද අඛණ්ඩව විදුලි සැපයුම බාධාවන හේතු කාරණා ද ඇති බව හෙතෙම පෙන්වා දුන්නේය. ඇතැම් අවස්ථාවල සම්ප්‍රේෂණ මාර්ගවල සහ බෙදාහැරීමේ මාර්ගවල නඩත්තු කටයුතු සඳහා විදුලි පද්ධතිය නවතා දැමීමට සිදු වේ. එවැනි අවස්ථාවල සමහර ප්‍රදේශ තුළ පමණක් විදුලිය කප්පාදු කිරීමක් සිදු කරයි. එමෙන් ම පද්ධතියේ බිඳවැටීමක් නිසා ද විදුලිය ඇණ හිටිය හැකිය. එවිට රටපුරා විදුලිය විසන්ධිවී යයි.පසුගිය තුන්වැනිදා වාර්තා වූයේ එවැනි සිදුවීමකි. එය සම්ප්‍රේෂණ පද්ධතියේ සිදු වූ තාක්ෂණික දෝෂයක් නිසා සිදුවූවක් බව වාර්තා වී තිබුණි. ඊට හේතු වූයේ ඒ වනවිට ලක්විජය ගල් අඟුරුබලාගාරයේ ක්‍රියාකාරීව පැවතියේ ජනන යන්ත්‍ර දෙකක් පමණක් බැවිනි. එක් ජනන යන්ත්‍රයක් පද්ධතියේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුතු සඳහා ඉවත් කර තිබුණි. මෙය වළක්වා ගැනීමට කෙරවළපිටිය විදුලිබලාගාරයේ ධාරිතාවය යොදාගත හැකිව තිබුණද එයද අත්‍යවාශ්‍ය නඩත්තු කටයුතු සඳහා පද්ධතියෙන් ඉවත් වී තිබුණි. මේ නිසා අඩුවන ධාරිතාව එමඟින් සම්ප්‍රේෂණය කර මෙම බිඳවැටීම වළක්වාගැනීමට කටයුතු කිරීමට නොහැකිවී ගියේය. මේ හේතුව නිසා පසුගිය මස 29 වැනිදා හා 3 වැනිදා වැනිදා විදුලිය බිඳවැටීම් සිදු වූ බව විදුලිබල අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන පෙන්වා දුන්නේය. මෙවැනි තත්ත්වයක් ඇති වූ විට ඊට අවශ්‍ය කරන ධාරිතාව සක්‍රීයව පවතින බලාගාර මඟින් පවත්වාගෙන යෑම සාමාන්‍ය ක්‍රමවේදයයි.

එසේ වුවත් වර්ෂා අධික කාලවල වැඩි ධාරිතාවක් ජල විදුලිබලාගාර වලින් ලබාගෙන අනෙකුත් බලාගාර නඩත්තු කටයුතු සඳහා යොමු කරයි. ඒ හේතුවෙන් මේ තත්ත්වය මඟහරවා ගැනීම වැළකී තිබේ. දෙසැම්බර් 9 වැනිදාවන විට නොරොච්චෝලේ නඩත්තු කටුතු සිදු කරමින් පැවති ජනන යන්ත්‍රය එම කටයුතු අවසන් වී පද්ධතියට එකතු වූ බැවින් විදුලි කප්පාදුව සම්පුර්ණයෙන්ම නවතා දැමීමට හැකියාව ලැබී ඇති බව විදුලිබල අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. විදුලිය බිඳවැටීම පිළිබඳව තමනට එල්ලවන චෝදනාව සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් ප්‍රකාශ කළේ " විදුලිය බිඳවැටෙනවා කියන කාරණය වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට ගියාම හැමදාම එල්ල වුණු චෝදනාවක්. එය සම්පූර්ණ අසත්‍යක්. අප වෘත්තිය ක්‍රියාමාර්ගවලට අවතීර්ණ නොවුණ කාලවලත් ඕනෑතරම් විදුලිය බිඳවැටී තිබෙනවා. විදුලිය බිඳවැටීම සඳහා මුහුණ දෙන්න තමයි බිඳවැටීම් සේවා පවත්වා ගෙන යන්නේ. මේ වනවිට ආණ්ඩුව මැදිහත්වෙලා දැනුම්දීම් කරලා සමහර පළාත්වල පැයෙන් පැය විදුලිය කප්පාදු කරනවා. ඒ අපේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය නිසා නෙවයි. රට තුළ පවතින ඩොලර් අර්බුදය නිසයි. නමුත් විදුලි බිල් පනතෙ සඳහන් වෙනවා ජනතාව විදුලි බිල ගෙවනවනම් අඛණ්ඩව සේවාව සැපයීමට රජය බැඳී සිටින බව. මේ පනතත් උල්ලංඝනය කරමින් පැයෙන් පැය විදුලිය කපන්නේ; ගල් අඟුරු ටෙන්ඩර් කළාම ගල් අඟුරු ගන්න ටෙන්ඩර් කමිටු ඉදිරිපත් වෙන්නෙ නෑ. තෙල් නැහැ. මේනිසා තාප බලාගාර අක්‍රීය වෙමින් යනවා. මේ සියල්ලටම හේතුව ඩොලර් හිඟයයි. දැන් මේ තත්ත්වයෙන් විදුලිය පවත්වාගෙන යන්නේ අධික වර්ෂාව පවතින නිසා කඳුකරයේ ජලාශ පිරිලා ඉතිරිලා තියෙන නිසයි. නමුත් සතියක් දෙකක් පෑව්වොත් මේ ජලාශ සිඳී යනවා. ඒ ඒවා නිසි ලෙස නඩත්තු කටයුතු සිදු කර නොමැති වීම නිසයි. ජලපෝෂක ප්‍රදේශවල රොන්මඩ ඇවිත් තැන්පත් වෙලා. ඒ පැමිණෙන රොන්මඩ ඉවත් කිරීමට මේ දක්වා කටයුතු කර නැහැ. එනිසා දින දෙක තුනක් වැස්ස නැති වුණොත් මේ තත්ත්වය දරුණු වෙන්න පුළුවන්. ඒ නිසා ජනවාරි මාසයේ මැද හෝ අවසානය වනවිට ඉතාම බරපතළ විදුලිබල අර්බුදයක් රට තුළ නිර්මාණය වේවි.

ඒවා වෙන්නේ වෘත්තිය ක්‍රියාමාර්ග නිසා නෙමෙයි. මේ ප්‍රශ්න නිසා ආණ්ඩුවට සිද්ධ වෙනවා ජනතාවට සපයන විදුලිය කප්පාදු කරන්න. දැනට ජලාශ උතුරා පිටාර යන නිසා ගැටලුවක් ඇති නොවුණත් ඉදිරියේදී තත්ත්වය අවදානම්" බවයි.

අප රට තුළ පවතින සමස්ථ විදුලි ධාරිතාවය මෙගාවොට් හාරදාස් හයසීයක් පමණ වේ. ඒ විශාල ප්‍රමාණයේ ජලවිදුලි බලාගාර මඟින් ලබාදෙන මෙගාවොට් එක්දාස් තුන්සිය අනූවක්ද, කුඩා ප්‍රමාණයේ ජල විදුලි බලාගාරවලින් මොගාවොට් හරසිය විසිහතක්ද, ලක්විජය ගල් අඟුරු බලාගාරයෙන් මෙගාවොට් නවසීයක්ද; කෙරවලපිටිය බලාගාරයෙන් මෙගාවොට් තුන්සීයක්ද; කැලණිතිස්ස බලාගාරයෙන් මෙගාවොට් එකසිය හැටතුනක්ද; කම්බයින් සර්කල් බලාගාරයෙන් එකසිය හැටතුනක්ද; බාජ්මවුන්ට් පවර් ප්ලාන්ට් බලාගාරයෙන් මෙගාවොට් හැටක්ද ඉතිරිය සපුගස්කන්ද හා පුනර්ජනණිය බලාගාරවලින් එකතුවේ.

රටේ සියලු කටයුතු සඳහා දිනකට වැය කරන විදුලිය ප්‍රමාණය දහවල් කාලයේදී මෙගාවොට් දෙදාස් එකසීයක් වන අතර රාත්‍රී කාලය සඳහා දෙදාස් හාරසීයත් පන්සීයත් අතර ප්‍රමාණයකි. පායන කාලයේදී මේ අගය දෙදහස් හත්සීයක් පමණ වේ. මේවන විට වර්ෂාව හොඳින් ලැබීම හේතුවෙන් රටට අවශ්‍ය සමස්ත ධාරිතාවයෙන් සීයට හැටක් හැටපහක් පමණ ලබාදෙන්නේ ජලවිදුලි බලාගාරවලවලිනි. ඉතිරිය තාප බලාගාරවලින් ලබාදේ.

Comments