රථවාහන තදබදයට ගුවනින් උත්තර | සිළුමිණ

රථවාහන තදබදයට ගුවනින් උත්තර

දිනකට කොළඹ නගරයට ඇදී එන වාහන සංඛ්‍යාව ලක්ෂ 6කට අධිකය. මේ අධික රථ වාහන සංඛ්‍යාව නිසා කොළඹ නගරයේ පමණක් වසරකට අපතේ යන ඉන්ධනවල වටිනාකම රුපියල් බිලියන ගණනකි. එමෙන්ම අපතේ යන මිනිස් පැය ගණන මෙන්ම වාහන ක්ෂය වීමද එසේමය. මේ තත්ත්වයට විසඳුමක් ලෙස මහා මාර්ග පළල් කිරීම, එක් පසෙකට පමණක් වාහන ධාවනය කිරීමේ මංතීරු සැකසීම වැනි විසඳුම් ලබා දුන්නද ඒ කිසිවකින් සාර්ථක ප්‍රතිඵල අත් වී නොමැත.

කොළඹට ආසන්න ගුවන් පාලම්වලින් පවා එතරම් ප්‍රගතියක් අත්ව ඇති බවක්ද නොපෙනේ. හොඳම උදාහරණය රාජගිරියයි. රාජගිරියේ ගුවන් පාලමෙන් වුවද සැලකිය යුතු තරම් ප්‍රගතියක් ලැබී නොමැත. දෙහිවල, නුගේගොඩ ගුවන් පාලම්ද තවත් වසර කිහිපයක් යනවිට පෙර පරිදිම අධික රථවාහන තදබදයකට පත්වන බවට මේ වන විටත් පසක් කර අවසානය. 

මේ සම්බන්ධව අවධානය යොමු කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් පසුගිය 23 වැනිදා අඟහරුවාදා පැවැති ආරක්ෂක මණ්ඩල රැස්වීමේදී ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණට විශේෂ උපදෙසක් දුන්නේය. ඒ ගුවන් හමුදාව සතු ගුවන් ශක්තිය ප්‍රයෝජනයට ගෙන කොළඹ නගරය හා අවට රථවාහන තදබදය අවම කිරීමට කටයුතු කිරීමට දායක වන ලෙස ය.

ඒ අනුව එදිනම ගුවන් හමුදාපතිවරයා විසින් ගුවන් හමුදාවේ ගුවන් බුද්ධි අධ්‍යක්ෂ එයාර් කොමඩෝර් තුෂාර වීරරත්න වෙත මේ සඳහා අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස දැනුම් දුන්නේය. එය පසු දින එනම් නොවැම්බර් 24 වැනිදා සිටම ක්‍රියාත්මක කරන්නට ගුවන් හමුදාව විසින් කටයුතු කරන ලදී.

ගුවන් හමුදා මූලස්ථානයේ ගුවන් ආවේක්ෂණ මැදිරිය ඒ වෙනුවෙන් සකස් කෙරිණි. කොළඹ නගරයට ආසන්නව අධික රථවාහන ඇතිවන ස්ථාන සම්බන්ධව අවධානය යොමු කර ප්‍රධාන කලාප තුනකට ඒ ස්ථාන බෙදා වෙන් කර ගන්නා ලදී.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ගුවන් බුද්ධි අධ්‍යක්ෂ එයාර් කොමඩෝර් තුෂාර වීරරත්න පැවසුවේ එම කලාප දකුණු උතුරු හා නැඟෙනහිර යනුවෙන් වෙන් කරගත් බවයි.

‘‘අපි පළමුවෙන්ම ඒ කලාප 3ට අදාළව ප්‍රධාන තදබදය පවතින මංසන්ධි 3ක් බැගින් වෙන් කර ගත්තා. ඒ අනුව කොළඹට උතුරු දෙසින් රථවාහන ඇතුළු වන කැලණි පාලම අසල, මරදාන, හා නෙළුම් පොකුණ තෝරා ගත්තා.

ඒ වගේම දකුණු ප්‍රදේශයට අයත් ස්ථාන ලෙසින් දෙහිවල මංසන්ධිය, නුගේගොඩ මංසන්ධිය හා කිරුළපන යොදා ගත්තා.

නැඟෙනහිර ලෙසින් යොදා ගත්තේ පොල්දූව හන්දිය, කියන්නෑම් හන්දිය හා රාජගිරිය ආයුර්වේද හන්දියයි.

අපි පළමුවෙන්ම කොළඹ උතුරු හා නැඟෙනහිර කලාපයන්ට ඩ්‍රෝන යානා හා දකුණු කලාපයට බෙල් 212 හෙලිකොප්ටර් යානයක් යොදා ගත්තා. ඒත් පසුව අපට වැටහී ගියා හෙලිකොප්ටරයක් යොදා ගැනීම නිසා නාගරිකව ගැටලු ඇති වන බව. විශේෂයෙන්ම පාසල්, අධිකරණ, රෝහල් මෙන්ම විවිධ සංවේදී ස්ථානවලට පහතින් හෙලිකොප්ටර යානා ගමන් කිරීමෙන් ගැටලු මතුවන බව අපට පෙනී ගියා. ඒ වගේම ආර්ථික අතිනුත් එයට විශාල පිරිවැයක් දරන්නට සිදු වෙනවා. එම නිසා සියලු ස්ථානයන්හි සිට ඩ්‍රෝන යානා ගුවන් ගත කර ඒවායින් ලබා ගන්නා වීඩියෝ දර්ශන තුළින් රථවාහන තදබදය පවතින ස්ථාන හඳුනා ගත්තා. අපගේ ආවේක්ෂණ මැදිරියේ ඒ වෙනුවෙන්ම පුළුල් තිර සහිත දර්ශන තල 9ක් හා විශේෂ දර්ශන තලයක්ද ඒ වෙනුවෙන් අප සකස් කළා. ඒ අනුව අප ඩ්‍රෝන යානා ගුවන් ගත කරන ස්ථාන 9හිම දර්ශන ක්ෂණයකින් අපට ලැබෙනවා. මේ ආවේක්ෂණ මැදිරියේ ගුවන් හමුදාවට අමතරව පොලිසියේ නිලධාරීන් දෙදෙනෙක් රාජකාරි කටයුතු සිදු කරනවා. ඔවුන්ට ක්ෂණිකව අදාළ ස්ථානයන්ට ගුවන් විදුලි පණිවිඩ ලබා දීමට හැකියාව එමඟින් සැලසී තිබෙනවා.

දැනට මේ විශේෂ ආවේක්ෂණ කටයුතු සිදු කරන්නේ අධික රථවාහන තදබදය පවතින පෙරවරු 6.00 සිට පෙරවරු 9.30 දක්වා හා පස්වරු 3.30 සිට රාත්‍රී 7.00 දක්වා පමණයි.

සති අන්තයේ හා විශේෂ නිවාඩු දිනවල ඒ කටයුතු සිදු කෙරෙන්නේ නැහැ.‘‘

මේ වන විට අපට වාර්තා වන්නේ කොළඹ නගරයේ රථවාහන තදබදය 25%කටත් අධික ප්‍රමාණයකින් අඩුව තිබෙන බවයි.

ගුවන් ආවේක්ෂණ කටයුතු තත්ත්පරයෙන් තත්පරය බලා සිටිමින් ගුවන් හමුදා නිලධාරීන් මෙන්ම පොලිස් නිලධාරීන්ද අවශ්‍ය කටයුතු සිදු කරන්නට පියවර ගෙන තිබේ.

යම් ස්ථානයක අධික මාර්ග තදබදයක් දක්නට ලැබුණහොත් ක්ෂණයකින් ඒ වෙනුවෙන් අවධානය යොමු කරන්නට කටයුතු කෙරේ. ඒ වෙනුවෙන් පොලිසිය නිරතුරුවම සූදානමින් සිටින බව කොළඹ නාගරික රථවාහන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.ඩබ්ලිව්. බණ්ඩාර පවසයි.

‘‘අපිට මේ කාර්යය සාර්ථක කර ගැනීමට ගුවන් හමුදාවෙන් විශාල දායකත්වයක් ලැබෙනවා. උප පොලිස් පරීක්ෂකවරයෙක් ඇතුළු අපේ නිලධාරීන් දෙදෙනෙක් මේ ස්ථානයේ සිටිනවා. කොළඹ නගරයේ ස්ථාන 20ක අපි යතුරු පැදි සහිත නිලධාරීන් දෙදෙනා බැඟින් රඳවා තිබෙනවා. ඒ කියන්නෙ යතුරු පැදි 40ක්. යම් ආකාරයක රථවාහන තදබදයක් ගැන වාර්තා වුණොත් ඔවුන් වහාම එම ස්ථානයට ළඟා වී අදාළ තදබදයට හේතුව විමසා බලා අනතුරක්, වාහනයක් ආපදාවකට ලක්වීමක් හෝ වෙනත් හේතුවක් නම් එම ස්ථානයට සුදුසු පරිදි කටයුතු යොදා මාර්ග තදබදය ඉවත් කරනවා. එමෙන්ම වාහන අධික රථ වාහන මංතීරු සඳහා වැඩි ගමන් කාලයක් ලබා දෙනවා. මේ වන විට මේ විශේෂ වැඩපිළිවෙළ ක්‍රියාවට නංවා සතියක පමණ කාලයයි ගතව තිබෙන්නේ. ඉතාම සාර්ථකයි කියන්න පුළුවන්.

ඒ වගේම ගුවන් විදුලි සංඥා සහිත පොලිස් මෝටර් රථත් අප ස්ථාන ගත කර තිබෙනවා. මේ වන විට කොළඹ නගරයේ දෛනිකව උදෑසන 6.00 සිට රාත්‍රී 10.00 දක්වා පොලිස් නිලධාරීන් 800ක් පමණ රථවාහන රාජකාරි කටයුතු පිණිස පමණක් යොදවා තිබෙනවා. ‘‘

අදාළ ඩ්‍රෝන යානා ඉහත දැක්වූ ස්ථාන 9 හි සිට ගුවන් ගත කිරීම උදෑසන සිට ම ආරම්භ කෙරේ. එම ස්ථානයේ ගුවන් හමුදාවේ ඩ්‍රෝන ක්‍රියාකරුට අමතරව සහායට නිලධාරියෙක් හා තාක්ෂණික ශිල්පියෙක් ලෙස නිලධාරීන් තිදෙනකු යොදවා ඇත. එමෙන්ම අවශ්‍ය අවස්ථාවලදී පොලිස් නිලධාරීන් ද සහායට සිටී.

අදාළ ඩ්‍රෝන යානා මඟින් කිලෝමීටර් 2.5ක් පමණ මාර්ගයේ ඉදිරියට හා පසුපසට වන්නට අධීක්ෂණය කළ හැකිය. එම නිසා මේ වන විට කොළඹට රථවාහන ඇතුළු වන ප්‍රධාන මාර්ග සියල්ලම දැඩි අධීක්ෂණයකට යොමු කළ හැකිව තිබේ. භූමියේ සිට රථවාහන හසුරුවන පොලිස් නිලධාරීන්ද මේ ආවේක්ෂණ කටයුතු නිසා වඩාත් කාර්යක්ෂමව කටයුතු කරන බවක් ද පෙනෙන්නට තිබේ.

එමෙන්ම ඉදිරියේදී මංතීරු නීතිය කඩකරනු ලබන මෙන්ම රථවාහන නීති කඩ කරනු ලබන රියැදුරන්ට එරෙහිව නඩු දැමීමටද ශ්‍රී ලංකා පොලිසිය මේ ආවේක්ෂණ කටයුතු හරහා සිදු කරනු ඇත.

ශ්‍රී ලංකා පොලිසිය හා ගුවන් හමුදාව විසින් එක්ව සිදු කරනු ලබන මේ විශේෂ ක්‍රියාන්විතය වඩාත් වැදගත් වන්නේ කිලෝමීටර් 400කටත් අඩු කොළඹ නාගරික මාර්ගවල දිනකට රථවාහන ලක්ෂ 7කට ආසන්න ප්‍රමාණයක් ධාවනය කරනු ලබන හෙයිනි. කොළඹට ඇතුළු වන හා කොළඹ නගරයේ රථ වාහන මෙලෙසින් අධික ලෙසින් මහා මාර්ගයේ ධාවනය කෙරෙන අතර ඒවා නවතා තැබීමට ස්ථාන නොමැති වීම නිසා මහා මාර්ගයේ තැන් තැන්වල නවතා තැබීම නිසා ද අධික රථ වාහන තදබද ඇති ව බවට කරුණු වාර්තා වී තිබේ.

විශේෂයෙන්ම කොළඹ නගරයේ පමණක් පදික මාරු 649ක් තිබෙන අතර එයින් පෙලිකන් පදික මාරු (වර්ණ සංඥා අනුව පදිකයා මාර්ගය හරහා යා යුතු) පදික මාරු 97ක් ස්ථාපිතය. එමෙන්ම පාසල් අසල දිනකට රථවාහන 90,000ක් පමණ නවත්වන බව ද අනාවරණය කර ගන්නට කොළඹ නාගරික රථවාහන පොලිසිය සමත්ව තිබෙන බව එහි ස්ථානාධිපතිවරයා පවසයි.

කාසල් රෝහල අාසන්නයේ ගැබිනි කාන්තාවන් මාර්ගය හරහා යන බැවින් ඔවුන්ට සාමාන්‍ය අයකුට වැය කරන කාලය මෙන් දෙගුණයක කාලයක් මාර්ගය හරහා යන්නට ගත වන බවත් රාජගිරිය ආයුර්වේද සිසුන්ට ආයුර්වේද විද්‍යාලයට හා ආයුර්වේද රෝහලට යාමට මාර්ගය හරහා යා යුතු හෙයින් දිනකට 1500කට අධික පිරිසක් අවස්ථා කිහිපයකදී මාර්ගය හරහා මාරු වීම් වැනි කටයුතු නිසාද මාර්ග තදබදය වැඩි වන බව හඳුනා ගෙන තිබේ. ඒ වෙනුවෙන් ස්ථිර විසඳුම් ලබා දීමට ද කටයුතු කෙරේ.

ගුවන් ආවේක්ෂණ කටයුතු නිසා මහාමාර්ගයේ රථවාහන හසුරුවන පොලිස් නිලධාරීන්ට මාර්ගය දෙස බලමින් වාහන හැසිරවීමට නොව ඉදිරියේ ඇති රථවාහන තදබදය ගැන හා අනෙක් ස්ථාන ගැනද තොරතුරු කඩිනමින් ලබා ගත හැකිය. වරින් වර ඔවුහු මෙහෙයුම් මැදිරියෙන් ඒ ගැන විමසති. එමෙන්ම ආවේක්ෂණ කටයුතු සිදු කරනු ලබන නිලධාරීන් ද අදාළ තොරතුරු මෙන්ම අනෙක් ස්ථානවල තොරතුරු ද ඔවුන්ට ලබා දීමට කටයුතු කරනු ලැබේ.

මෙරට නාගරික මාර්ග තදබදයට පිළියම් යෙදීමේ නියමු ව්‍යාපෘතියක් ලෙසින් ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ගුවන් හමුදාපතිවරයා විසින් ආරම්භ කරවන ලද මේ ව්‍යාපෘතිය ඉදිරියේදී වඩාත් කාර්යක්ෂම ලෙසින් හා ඵලදායි ලෙස සිදු කරන්නට මේ වන විටත් සැලසුම් සකස් කරමින් තිබේ.

Comments