
- පකිස්තානය මිත්‍රත්වය පළුදු කර නොගත යුතුය
- ප්‍රියන්ත විවාහ වුණේ ප්‍රේම සම්බන්ධතාවකින්
- ඔහු මදුරුවෙක්වත් නොමරන අහිංසක පුද්ගලයෙක්
- පේරාදෙණිය සරසවියේ ඉංජිනේරු උපාධිය ලැබූ ප්‍රියන්ත සරසවියේ ඉගෙන ගන්න කාලයේ ඔහුගේ කොම්පියුටරය හැමෝටම දුන්නා
පසුගිය 08 වැනි බදාදා හිරු සැඟවී යන හෝරාවේ ප්‍රියන්ත කුමාරගේ නිසල දේහය පොල්හේන සුසාන භූමියේ මිහිතලය මත සැඟවී යන අයුරු ඈ බලා සිටියේ වේදනාබර දෑසිනි. ඒ වනවිට ඇගේ දෙනෙතේ කඳුළු උල්පත් සිඳී ගොස් තිබුණේ 03 වැනි සිකුරාදා පටන් නොකඩවා ගලා හැළුණු කඳුළු ගංගාව සාගරය පැරදවූ නිසා ය. ඈ දීර්ඝ සුසුමක් හෙළුව ද එයින් හදවතේ බර සැහැල්ලු කර ගැනීමට ඇයට හැකි වූයේ නැත. සිය සැමියාගේ දේහය මහ පොළොවේ මිහිදන් වුව ද ඇගේ වේදනාව මිහිදන් කිරීමට ඇයට හැකියාවක් ලැබුණේ නැත. එහෙත් ඈ සිය දරු දෙදෙනා වෙනුවෙන් ගල් කුළක් සේ නොසැලී සිටියාය.
ඈ නිලූෂි දිසානායක ය. ප්‍රියන්ත කුමාර දියවඩනගේ ආදරණීය බිරිය ය. මේ වනවිට ප්‍රියන්ත කුමාර දියවඩන මුළු ලෝකය ම කම්පාවට පත් කළ චරිතයක් වී අවසාන ය.
ප්‍රියන්ත කුමාරට ජාත්‍යන්තර අවධානය යොමු වූයේ 03 වැනි සිකුරාදා පාකිස්තානයේ සියොල්කොට් රාජ්කෝ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවයේ යෙදී සිටියදී ම්ලේච්ඡයන් පිරිසකගේ අමානුෂික පහරදීමෙන් මරණයට පත් වීමත් සමඟිනි. පහරදීමෙන් මිය ගිය පසුව ප්‍රියන්තව පුළුස්සා දැමීමට තරම් ඔවුහු කුරිරු වූහ. අවසානයේදී සිදුවූයේ නිලූෂිටත් දරු දෙදෙනාටත් ප්‍රියන්තගේ දේහය දැක බලා ගැනීමටවත් අවස්ථාවක් නොමැති වීමයි. ප්‍රියන්ත කුමාරගේ සිරුරේ අවශේෂ කොටස් පාකිස්තානයේ ලාහෝර් නුවර සිට විශේෂ ගුවන් යානයකින් මෙරටට රැගෙන එනු ලැබුවේ 06 වැනි සඳුදා පස්වරුවේ ය. මීගමුව රෝහලේ පශ්චාත් මරණ වෛද්‍ය පරීක්ෂණ කටයුතු සිදු කිරීමෙන් අනතුරුව මුද්‍රා තැබූ දේහය අඟහරුවාදා දිනයට එළිවෙද්දී ගනේමුල්ල කැන්දලියැද්දපාළුවේ පිහිටි ඔහුගේ නිවසට රැගෙන එනු ලැබීය.
අප ඔහුගේ නිවසට ළඟා වනවිට කැන්දලියැද්දපාළුව ගම ම මළගමක් බවට පත්වී තිබිණි. සුදු කොඩි ඇද බැනර්වලින් මඟ දෙපස සරසා ප්‍රියන්ත කුමාරගේ අකල් වියෝව වෙනුවෙන් ශෝකය පළ කර තිබිණි. පොලිස් නිලධාරීන් සහ කොමාන්ඩෝ භටයන් මඟ දෙපස යොදා ආරක්ෂාව තර කර තිබෙන අයුරු ද අපට දැකගත හැකි විය. කොවිඩ් වසංගතය පහව නොගියත් මුව ආවරණ පැලඳගත් ජනතාව වැල නොකැඩී නිවසට පැමිණියේ රුදුරු මරණයකට ගොදුරු වූ ප්‍රියන්ත කුමාරට අවසාන ගෞරවය දැක්වීමට ය.
අප එහි යනවිට දී දේශපාලනඥයෝත්, ආගමික නායකයෝත් ප්‍රියන්තගේ මෘතදේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණ සිටියහ.
“කොරෝනා වසංගතය නිසා මහත්තයාට අවුරුදු දෙකකින් ලංකාවට එන්න බැරි වුණා. ඒත් අපිට නිතරම කතා කරනවා. දරුවන්ගේ අධ්‍යාපනය ගැන හොයලා බැලුවා. අම්මලා ගැන පවුලේ අය ගැන හොයලා බැලුවා. එයා නැතිවෙන්න ඉස්සෙල්ලා දවසේ අපි එක්ක පැය එක හමාරක් විතර කතා කර කර හිටියා. එයාට වැඩ කරන තැන කරදරයක් තිබෙන බව කවදාවත් කිව්වෙ නැහැ. මගේ මහත්තයා අවුරුදු 11 ක් ඉස්ලාම් ආගම අදහන රටක, ඒ අයගේ සංස්කෘතියත් සමඟ අපූරුවට කටයුතු කළ කෙනෙක්. ඉස්ලාම් අන්තවාදීන් සමඟ ගැටුමක් ඇති කරගන්න තරම් එයා මෝඩ නැහැ. ඒ නිසා ෆැක්ටරිය ඇතුළේ පෝස්ටර් ඉවත් කරන්න කටයුතු කළා කියලා මම නම් විශ්වාස කරන්නේ නැහැ.” යනුවෙන් ප්‍රියන්තගේ දයාබර බිරිය නිලූෂි පැවසුවාය.
ඒ අතරේදී සිය බාල පුතුගේ දේහය පෙන්වන ලෙස පවසමින් ඔහුගේ මව වන ඩී. එම්. කිරිඇල්ල මාතාව නඟන විලාපය අසා සිටීමට නොහැකි තරම් ය.
ප්‍රියන්ත කුමාර ඝාතනය කිරීමට තුඩු දුන් හේතුව තවමත් හෙළිදරව් වී නොමැත. ඉස්ලාම් අන්තවාදීන්ගේ පෝස්ටර් ඔහු සේවය කළ රාජ්කෝ ඇඟලුම් කම්හලේ අලවා තිබූ බැවින් ඒවා ඉවත් කිරීමට නියෝග දීම නිසා අන්තවාදීන් විසින් ඔහු ඝාතනය කළ බව ඇතැම්හු පවසති. ඔහුගේ වැඩිමහල් සොහොයුරු කමලසිරි සඳහන් කරන්නේ කර්මාන්ත ශාලාවේ පවිත්‍රතා සේවකයකුට ප්‍රියන්ත බැණ වැදීම නිසා එම සේවකයා අන්තවාදීන් සමඟ එකතු වී ඔහුට පහර දීමට සැලසුම් කළ බවයි. සියොල්කොට් රාජ්කෝ ඇඟලුම් කම්හලේ වැටුප් නොගෙවීම හේතුවෙන් වැඩ වර්ජනයක් තිබූ බව ද පැවසේ. කෙසේ නමුත් සිකුරාදා යනු මුස්ලිම් බැතිමතුන්ගේ වන්දනාමාන (ජුම්මා) කරන දිනයයි. මුස්ලිම් අය සාමාන්‍යයෙන් වැඩ වර්ජනය කරන්නේ එවැනි සිකුරාදා දිනවල ය.
“මල්ලී වැඩ කරපු ෆැක්ටරියේ තත්ත්වය පරීක්ෂා කිරීමට විගණන පරීක්ෂණයක් තියන්න තිබුණා. ඒකට එන්නේ යුරෝපීය රටවල්වල නිලධාරීන්. ඊට කලින් කර්මාන්ත ශාලාව පිළිවෙළට තියන්න ඕනෑ. නැතිනම් කර්මාන්ත ශාලාවට දෙන්න තිබෙන මිලියන ගණනක ඇණවුම් සේරම අත්හිටුවනවා. ඒත් පවිත්‍රතා අංශයෙන් අදාළ දිනය වනවිට ඔවුන්ගේ කටයුතු අවසන් කර තිබුණේ නැහැ. ඒකට මල්ලි ඒ පවිත්‍රතා සේවකයාට දොස් කියලා තිබුණා.” යනුවෙන් ප්‍රියන්තගේ සොයුරු කමලසිරි ශාන්ත කුමාර සඳහන් කළේ ය.
ගනේමුල්ල කැන්දලියැද්දපාළුව ග්‍රාමයේ උපන් දියවඩනගේ දොන් නන්දසිරි ප්‍රියන්ත කුමාර දරුවන් හයදෙනෙකුගෙන් යුක්ත පවුලක බඩපිස්සා ය. ඔහුගේ වැඩිමහල් සොහොයුරන් දෙදෙනාම සේවය කරන්නේ පාකිස්තානයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවලය. මෙරට ආයතන කීපයකම සේවය කළ ප්‍රියන්ත කුමාර 2011 දී පකිස්තානයේ පයිසල්බාද් හි පිහිටි ඇඟලුම් කම්හලක කාර්මික ඉංජිනේරුවරයකු ලෙස රැකියාවට පිටත් වූයේ තම වැඩිමහල් සොහොයුරන්ගේ මාර්ගයෙනි. මීට මාසයකට පෙර කමලසිරි ශාන්ත කුමාර ලංකාවට පැමිණියේ ය. 2012 දී වහබ් නසීර්ට අයත් රාජ්කෝ ඇඟලුම් කම්හලේ සේවයට පැමිණි ප්‍රියන්ත එය වැඩි දියුණු කිරීමට මූලිකව ක්‍රියා කළේ ය. 2012 දී යන්ත්‍ර 500 ක් පමණක් තිබූ රාජ්කෝ කම්හල දැන් යන්ත්‍ර 2500 ක් සතු ආයතනයක් වූයේ ප්‍රියන්ත කුමාරගේ මඟ පෙන්වීම හා ඇප කැපවීම නිසා ය. ප්‍රියන්ත මිය යන විට එහි සාමාන්‍යාධිකාරි තනතුර දැරීය.
“දැන් සේරම ඉවරයි. මගේ ෆැක්ටරි සේරම ඉවරයි.” යනුවෙන් රාජ්කෝ කම්හලේ අධිපති, ප්‍රියන්තගේ මරණය සැලවූ මොහොතේ එසේ පවසමින් හඬා වැටුණේ එම නිසා ය. ප්‍රියන්ත ඝාතනය වනවිට රාජ්කෝ අධිපති වහබ් නසීර් සිටියේ ජර්මනියේ ය. වහාම පාකිස්තානය බලා පැමිණි ඔහු ප්‍රියන්තගේ බිරිය අමතා දරු දෙදෙනා වෙනුවෙන් ප්‍රියන්තගේ වැටුප අඛණ්ඩව ලබාදීමට පොරොන්දු විය. ඔහු හැකි ඉක්මනින් ලංකාවට පැමිණෙන බව ද දන්වා තිබේ.
මීට අමතරව පාකිස්තානු ව්‍යාපාරික ප්‍රජාව විසින් ප්‍රියන්තගේ පවුලට රු. කෝටි 2 ක (ඇමරිකන් ඩොලර් 1,00,000) මුදලක් පිරිනැමීමට කටයුතු යොදා තිබේ. මෙරට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සේවක සුබසාධක අරමුදලින් රුපියල් මිලියන 2.5 ක් ප්‍රියන්තගේ පවුලට ලබාදීමට පියවර ගෙන තිබෙන්නේ කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාගේ මැදිහත්වීමෙනි.
එහෙත් කෝටි ගණනින් මුදල් හිමි වුව ද දරුවන්ට ආදරණීය පියකු හිමි වන්නේ නැත. පියකුගේ ආදරණීය උණුසුම, රැකවරණය ඔවුන්ට දිවි ඇති තුරාවට ලැබෙන්නේ නැත. සිය පියාට පහරදී අමානුෂික වදහිංසා පමුණුවා ගිනි තබන වීඩියෝ දර්ශන පුංචි සිත් තුළ තැන්පත් වී තිබෙන්නේ මොන ආකාරයට දැයි අවිනිශ්චිත ය. එය ඔවුන්ගේ අනාගතය කෙරෙහි බලපාන්නේ මොන ආකාරයට දැයි තීරණය කළ නොහැකි ය.
“එදා රෑ රූපවාහිනියේ ප්‍රවෘත්තිවලින් පාකිස්තානයේ සිද්ධිය ගැන පෙන්වන ගමන් මගේ මහත්තයාගේ ඡායාරූපය දාන කොට මට උන්හිටි තැන් අමතක වුණා. මම කෑගහලා හැඬුවා. රූපවාහිනිය ඕෆ් කරලා දැම්මා.” යනුවෙන් සඳහන් කළේ ප්‍රියන්තගේ බිරිය නිලූෂි දිසානායක ය.
නිලූෂි දිසානායක රාගම ප්‍රදේශයේ හැදී වැඩුණු අයෙකි. බොරැල්ල ගෝතමී බාලිකා විදුහලෙන් අධ්‍යාපනය ලැබූ ඇය බ්‍රැන්ඩික්ස් ආයතනයේ ගිණුම් අංශයේ රැකියාවක නිරත වූවා ය. එම කාලයේදී ප්‍රියන්ත කුමාර බ්‍රැන්ඩික්ස් ආයතනයේ ඉංජිනේරු සහකාර ලෙස රැකියාවක යෙදුණේ ය. එහිදී දැන හඳුනාගත් දෙදෙනා අතර ඇතිවූ ප්‍රේමයේ මල් ඵල ගැන්වීමක් ලෙස දෙදෙනා විවාහ වී එක වහලක් යටට වූහ. විවාහයෙන් පසුව රැකියාවට සමු දුන් නිලූෂි දරු දෙදෙනා සහ සැමියා වෙනුවෙන් මුළු ජීවිතය ම කැප කළා ය. ප්‍රියන්ත සහ නිලූෂිගේ වැඩිමහල් පුතු වන ගමිත් ගෙනුක දියවඩන ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ 9 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන 14 වියැති සිසුවෙකි. පොඩි පුතු ලිතුල ලෙසාන් දියවඩන වැලිපිල්ලෑව කනිෂ්ඨ විද්‍යාලයේ 4 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන 9 වැනි වියේ පසුවන දරුවෙකි.
“මගේ මුනුපුරන් දෙදෙනා තාත්තා එනතුරු ආසාවෙන් මඟ බලාගෙන හිටියේ. ප්‍රියන්ත පුතා කොරෝනා වසංගතයට පෙර සෑම අවුරුද්දක් පාසාම ලංකාවට ආවා. ඒ ආවාම පවුලම එකතු වෙලා විනෝද ගමන් යනවා. දරුවන් දෙදෙනා එක්ක සෙල්ලම් කරනවා. දැන් ඒ මුකුත් නැහැ. අඩු ගණනේ එයාලාට දකින්න මිනියවත් නැහැ. මගේ මුනුපුරන් දෙදෙනාගේ අනාගතය ගැන බලන්න ඕනෑ. අනාගතයේදී අපිට අලුත් ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිද්ධ වේවි.” යනුවෙන් සඳහන් කළේ නිලූෂිගේ පියා වන එස්.එම්. දිසානායක ය.
නිලූෂිගේ පවුලේ ඇයට වැඩිමහල් සොහොයුරෙක් සහ බාල සොයුරියක් සිටියි. එහෙත් ඇගේ නැඟණිය ඇයට වඩා බාල වන්නේ විනාඩි 3 කට පමණි. ඒ නිලූෂි සහ නැඟණිය නිවුන් දැරියන් වී සිටීමයි.
ප්‍රියන්ත කුමාරගේ මාමණ්ඩිය වන එස්.එම්. දිසානායක තවදුරටත් පැවසුවේ බෑනා මත්පැන් බිඳක් තොල නොගාන කුරා කුහුඹුවකුටවත් කරදරයක් නොකරන, මදුරුවකුවත් නොමරන ඉතා අහිංසක තැනැත්තකු බව ය. බැණ වැදුණත් සිනාසෙමින් සිටින සරල, නිර්ව්‍යාජ පුද්ගලයකුට මෙවැනි අමානුෂික වධ හිංසාවලට ගොදුරු වී මරණයට පත්වීමට සිදුවීම දැඩි වේදනාවක් බව ඔහු පැවසුවේ ය.
ප්‍රියන්ත කුමාර දියවඩන විශ්වවිද්‍යාලයේ ගත කළ අවදිය ගැන සිහිපත් කළ සමකාලීන සගයකු වන ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ වත්මන් සභාපති ඉංජිනේරු විජිත හේරත්, ඔහු ඉතා අහිංසක මෙන් ම නිහඬ පුද්ගලයකු බව සඳහන් කළේ ය. ජාති ආගම් භේදයකින් තොරව සැමට එක සමානව සැලකූ ප්‍රියන්ත කුමාරට අත්වූ ඉරණම ගැන දැඩි සංවේගය පළ කළ විජිත හේරත්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ E 93 කණ්ඩායම වෙනුවෙන් ප්‍රියන්ත කුමාරගේ ඝාතනය හෙළා දකින බව සඳහන් කළේය.
“අපි කැම්පස් ඉන්න කාලේ කොම්පියුටර් තිබුණේ හරිම අඩුවෙන්. ප්‍රියන්ත උසස් පෙළින් පස්සේ කැම්පස් යනතුරු රැකියාවක් කරලා ඒ සල්ලිවලින් කොම්පියුටරයක් අරන් තිබුණා. අපේ බැච් එකේ හැමෝම පාවිච්චි කළේ ප්‍රියන්තගේ කොම්පියුටරය. අනේ එයා කිසිම පැකිළීමක් නැතුව හැමෝටම කොම්පියුටරය දුන්නා. ප්‍රියන්ත නැවතිලා හිටියේ අක්බාර් නේවාසිකාගාරයේ. එයා එක්ක කාමරේ නැවතිලා හිටපු යාළුවාට උදේම තේ හදලා දීලා අවදි කළේ ප්‍රියන්ත.” යනුවෙන් විස්තර කළේ සමකාලීන සගයකු වන ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ වත්මන් සභාපති ඉංජිනේරු විජිත හේරත්ය.
ප්‍රියන්ත කුමාර දියවඩන පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළු වූයේ 1995 වර්ෂයේදී ය. ඔහු සරසවි වරම් ලැබුවේ කැලණිය ධර්මාලෝක විදුහලෙන් අ.පො.ස. උසස් පෙළ හැදෑරීමෙන් අනතුරුවය. ඔහු ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයේ 9 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන කාලයේ, ඔහුගේ දයාබර පියා වන ජයවර්ධන දියවඩන මිය ගියේ ය. ඉන් අනතුරුව ඔහුගේ වැඩිමහල් සොයුරිය ඉගැන්වූ මාතර රාහුල විද්‍යාලයට බාල මල්ලීව ඇතුළත් කරනු ලැබීය. ඇය මාරුවක් ලබා ගම්රටට පැමිණෙන විට ප්‍රියන්ත කැලණිය ධර්මාලෝක විදුහලට ඇතුළත් විය. ප්‍රියන්ත කුමාර ඉංජිනේරුවකු ලෙස උපාධිය ලබන්නේ 1999 දී ය.
1972 දෙසැම්බර් 30 වැනිදා උපත ලැබූ ප්‍රියන්ත කුමාර මිය යනවිට 48 වැනි වියේ පසු විය. තවත් දින කීපයකින් එළඹෙන ඔහුගේ 49 වැනි උපන් දිනය සැමරීමට ඔහු ජීවතුන් අතර නැත.
වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත...
වන සිවුපාවන් වැනි මිනිසුන් මැද දෙවිදේවතාවුන් වැනි මිනිසුන්ද සිටින බව අපි පසුගිය දිනවල දැත තෙත් කළ වීඩියෝ දර්ශන ඔස්සේ හොඳින්ම තහවුරු කර ගතිමු. ඒ සියල්කොට්හි දී සිදුවූ ප්‍රියන්ත දියවඩන ඝාතනයේදී එක් පකිස්තාන ජාතිකයකු ක්‍රියා කළ අන්දම මඟිනි. ඔහු මලික් අද්නාන් නම් පුද්ගලයෙකි. ඔහු පකිස්තාන මාධ්‍ය හමුවේ පවසා ඇති අන්දමට ඔහු ප්‍රියන්ත දියවඩනගේ සහයකයෙකි. නැතහොත් මිතුරෙකි. එමෙන්ම සිදුවීම සිදුවූ කර්මාන්ත ශාලාවේ සේවකයෙකි.
එම සිදුවීම සිදුවන අවස්ථාවේ දහසක් පමණ සෙසු සේවකයන් වියරුව කෑ ගසද්දී සිහිබුද්ධියෙන් කටයුතු කළ එකම මිනිසා ලෙස ඔහු හඳුන්වා දිය හැකිය. සෙසු සේවකයන් ප්‍රියන්ත දියවඩන අල්ලා ගැනීමට උත්සාහ දරන අවස්ථාවේදී මලික් අද්නාන් ඔහු වහලයේ සඟවා බේරා ගැනීමට උත්සාහ කර තිබේ. පසුව ඔහු සෙසු සේවකයන්ගේ ඇස ගැසුණු පසු මලික් අද්නාන් උත්සාහ දරන්නේ කෙසේ හෝ ප්‍රියන්ත දියවඩන ව ආරක්ෂා කර ගැනීමටය. එහිදී වියරු වැටුණු ඝාතකයන් ප්‍රියන්ත දියවඩන ඇදගෙන යෑමට උත්සාහ දරන විට මලික් අද්නාන් ඔහුව තම සිරුරෙන් ආවරණය කර ගනිමින් ඝාතකයන් විසින් දියවඩන ව ඇදගෙන යෑමෙන් වළක්වාලීමට උත්සාහ දරන වීඩියෝ දර්ශන සමාජ මාධ්‍යවල සංසරණය වෙමින් තිබේ. එමෙන්ම එදිනම පකිස්තාන රූපවාහිනී නාළිකා රැසක්ද එම දර්ශන රටපුරා ජනතාවට දැක ගැනීමට සැලැස්වූයේ එරට බහුතරයක් ජනතාව සෙසු ඝාතකයන්ගේ හැසිරීම ප්‍රතික්ෂේප කරන නිසාවෙන්ම විය හැකිය.
කෙසේ වුව ද වියරු වැටුණු දහස් ගණනක් මිනිසුන්ට එරෙහිව තනි මිනිසකුට ක්‍රියා කළ නොහැකි වූ බැවින්ම මලික් අද්නාන් පරාජය වන්නේ ඝාතකයන් විසින් දියවඩන ව මලික්ගේ ග්‍රහණයෙන් ඉවතට ඇද ගැනීමත් සමඟිනි. එතැන් සිට සිදුවූදේ ඉතා කනගාටුදායකය.
කෙසේ වුවද මුළු ලොවක් ඉදිරියේ පකිස්තානුවන්ගේ හොඳ නම විනාශ වන විට එය යම් තරමකින් හෝ ආරක්ෂා කිරිමට මලික් අද්නාන් නම් වන මේ තනි මිනිසාට හැකියාව ලැබුණු බව කිව යුතුය. එය එලෙසින්ම
වටහා ගත් පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන්, මලික් අද්නාන්ට එරට සිවිල් වැසියන් සඳහා පුදදෙන උසස්ම සම්මානයක් වන ‘තම්ග්හා ඉ ශුජාත්’ යනුවෙන් එරට බසින් හැඳින්වෙන වීරත්වයේ සම්මානය පුදදීමට තීරණය කළේය. ඔහු සිදුවීමෙන් දින දෙකකට පසුව ට්විටර් පණිවිඩයක් මගින් ප්‍රකාශ කර සිටියේ මලික් අද්නාන් සම්මානයෙන් පිදීමට තමන් තීරණය කළ බවයි.
ඒ අනුව පසුගිය හත් වැනිදා මලික් අද්නාන් අගමැතිවරයාගේ නිවසට කැඳවනු ලැබූ අතර උදෑසන සිට ඔහුට එහි අමුත්තකු ලෙස රැඳී සිටීමේ අවස්ථාව හිමි වී තිබිණි. පසුව සවස් කාලයේ දී අගමැතිවරයා විසින් මලික් අද්නාන් වෙත මේ වීරත්වයේ සම්මානය පුද දෙනු ලැබුණේ යහපත් දේ සහ නිවැරදි දේ කිරීමට පකිස්තානුවන් පමණක් නොව සමස්ත ලෝකයේ ම ජනතාව දිරි ගැන්වීමක් වශයෙනි .
කෙසේ වුවද තමන්ට එරෙහිව එන වියරු වැටුණු දහස් ගණනන් නොමිනිසුන් හමුවේ තමන් ආරක්ෂා කිරීමට තම සිරුරම පළිහක් සේ යොදා ගත් මලික් අද්නාන්
ශ්‍රී ලංකික ප්‍රියන්ත දියවඩනට මරණයට පෙර එක් මොහොතකට හෝ සිතට සැනසිල්ලක් ඇති කිරීමට සමත් වූ බවට සැක නැත. එබැවින් ම මලික් අද්නාන් යනු වීරයෙකි. ඔහුට ඒ වීරත්වයට හිමි සම්මානය ලැබිය යුතුමය.
පකිස්තානය මිත්‍රත්වය පළුදු කර නොගත යුතුය
ප්‍රියන්ත දියවඩන ඝාතන සිදුවීම ශ්‍රී ලාංකික අප සැමගේ සිත් දුකටත්, කලකිරීමටත් පත්ව තිබේ. එම ඝාතනයට වගකිවයුතු පකිස්තාන ජාතිකයන් සම්බන්ධව අප සැමගේ සිත් තුළ ඇත්තේ කෝපයකි. කනගාටුවකි. පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් මේ සිදුවීම හෙළාදකිමින් රටම ලැජ්ජා විය යුතු බව පවසන අතර; පකිස්තාන ආරක්ෂක ඇමතිවරයා පවසන්නේ තරුණ පිරිස් ආවේගශිලී වූ විට මෙවැනි ඝාතන සිදුවිය හැකි බවයි. එය යුක්තිය ඉටුවන තුරු බලා සිටින ශ්‍රී ලාංකික අපට නම් පුදුම උපදවන කතාවකි. පකිස්තාන ආරක්ෂක ඇමතිවරයා වැනි වගකිවයුතු චරිතයක් එවැනි ප්‍රකාශයක් සිදු කළේය යන්න විශ්වාස කිරීමට නොහැකි තරම්ය. එහෙත් මුල් සිද්ධියෙන් දින තුනකට පසුව ආරක්ෂක ඇමැතිවරයා “ඝාතනයට ලක්වූ ශ්‍රී ලාංකිකයා ම්ලේච්ඡ ලෙස ගොදුරුකර ගැනීම මම තරයේ හෙළා දකිමි. මෙම සිද්ධිය පාකිස්තානය පිළිබිඹු නොකරයි. පාකිස්තානය සියලු අන්තවාදය හෙළා දකී. වගකිවයුත්තන් නීතිය ඉදිරියට පමුණුවනු ඇති” යනුවෙන් ට්විටර් සටහනක් තබා ඇත..
පකිස්තානය බිහි වන්නේ ඉන්දියාව දෙකඩ කිරීමෙනි. එසේ දෙකඩ වූයේ බ්‍රිතාන්‍යයේ අවශ්‍යතාව නිසාවෙනි. එතැන් සිට ඉන්දියාව සහ පකිස්තානය නයි වෛර වූහ. ඉන්දියාව කලාපීය බලවතා ලෙස කලාපයේ සෙසු සෑම රටකම අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගසන විට ඒ රටවල හිත්වේදනා සංසිදවීමට පකිස්තානය ඉදිරිපත් විය. ඒ සඳහා හොඳම උදාහරණය ශ්‍රී ලංකාව මිස අනෙකක් නොවේ.
ඉන්දියාවේ මැදිහත්වීම සහ පහසුකම් සැපයීම මත ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය වර්ධනය වන විට අපේ සහයට පකිස්තානය නිරතුරුව ඉදිරිපත් විය. අපේ හමුදා භටයන් පකිස්තානයේ පුහුණුව ලැබූ අතර අවි ආයුධ ලබාදීමේදී ද පකිස්තානය පහසුකම් සැපයීය. එපමණක්ද නොව එක්සත් ජාතීන්ගේ සමුළුව වැනි අන්තර්ජාතික තර්ජන ශ්‍රී ලංකාව වෙත එල්ල වූ සෑම අවස්ථාවකම පකිස්තානය ශ්‍රී ලංකාවේ සහයට ඉදිරිපත් විය.ඒ අනුව පකිස්තානය යනු සැමදා ශ්‍රී ලංකාව අසල නොසෙල්වී සිටි හිත මිතුරාය.
පසුව ඉස්ලාම් අන්තවාදයේ රුදුරු හෙවණැලි පකිස්තානය වසා ගනිද්දී ඇමරිකන් සහයද අහිමි වූයෙන් පකිස්තාන ආර්ථිකය බින්දුව දක්වා පහළ ගියේය. මේ එහි අවාසනාවන්ත ප්‍රතිඵලවලට සෑම පකිස්තාන ජාතිකයකුටම එක සේ මුහුණ දීමට සිදුවිය. වරක් පකිස්තානයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ත්‍රස්ත ප්‍රහාරයකට මුහුණ දීමටද සිදුවිය. එහෙත් අප රටක් වශයෙන් ඒ සෑම අවස්ථාවකම පකිස්තානය තුළ සිටින අපගේ මිතුරා හඳුනා ගැනීමට තරම් බුද්ධිමත් විය.
අප රටේද ඉස්ලාම් භක්තිකයන් සමඟ ඇතිවූ මතගැටුම්වලදී ඉස්ලාමීය රටක රාජ්‍ය නායකයකු ලෙස ඉම්රාන් ඛාන් ඒවාට මැදිහත් වෙමින් ඒවා සමනය කර ගැනීමට සහය දැක්වූ බව අපට අමතක නැත. එබැවින් වගකිව යුතු නායකයකු ලෙස ඉම්රාන් ඛාන් කටයුතු කරන බවට ඔහු කෙරෙහි විශ්වාසය තබමින් බලා සිටීමට අප ඉවසිලිවන්ත විය යුතුය. සිදුවීමෙන් පැය කිහිපයක් ඉක්ම යෑමට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන්ගෙන් ඉල්ලා සිටියේ වරදකරුවන්ට නිසි දඬුවම් ලබා දෙන ලෙසයි. පකිස්තාන අගමැතිවරයා කිසිසේත් එම ඉල්ලීම පැහැර හැරිමට කටයුතු නොකරනු ඇති බව අපගේ විශ්වාසයයි.
ආගමික අන්තවාදීනි, ලැජ්ජා වන්න!
‘අද මුළු මහත් පකිස්තානයම ලැජ්ජාවට පත් වන දිනයකි’ යනුවෙන් පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් නිවේදනය කර සිටියේය. ඒ ශ්‍රී ලාංකික ප්‍රියන්ත දියවඩන ම්ලේච්ඡ ලෙස ඝාතනය කර පැය කිහිපයක් ඉක්ම යෑමට පෙරය. මේ අති අමානුෂික ඝාතනය අයත් වන්නේද මේ ලොව ඕනෑම තැනක කිසිදා සිදු නොවිය යුතු අන්දමේ සිදුවීම් අතරටය. එහෙත් දැන් මේ අවාසනාවන්ත සිදුවීම සිදුවී අවසන්ය. දැන් ඇත්තේ යළිත් එවැනි සිදුවීම් සිදු නොවීමට වගබලා ගැනීම සහ, එවැනි සිදුවීම් වීරත්වයෙන් ඉස්මතු නොවීම සඳහා වැරදිකරුවන්ට මුළු ලෝකයම ඉදිරියේ නිසි දඬුවම් ලබා දීමය.
මේ සිදුවීමේ තවමත් ලොවට හෙළිදරව් වන්නේ එක් පාර්ශ්වයක දෘෂ්ටිකෝණය පමණකි. එනම් ඝාතනය මෙහෙයවූවන්ගේ පාර්ශ්වයේ දෘෂ්ටි කෝණයයි. මධ්‍යස්ථ ලෙස පෙනී සිටිමින් සාක්ෂි ලබා දීමට එම කර්මාන්ත ශාලාවේ සාමාජිකයන් ඉදිරිපත්ව සිටියද ඔවුන් කිසිදා කලහකාරීන් අපක්ෂපාතීව වැඩි යමක් කියනු ඇතැයි විශ්වාස කළ නොහැකිය. සමාජය අනිවාර්යයෙන්ම දැන ගත යුතු වන සිදුවීමේ ප්‍රියන්ත දියවඩනගේ දෘෂ්ටි කෝණය කිසිදා ලොවට දැනගත නොහැකි වනු ඇත. එබැවින් දැන් ඉතිරිව ඇත්තේ සිදුවීමේ මූලාරම්භය පිළිබඳව අනුමාන ඔස්සේ තීන්දු ගොඩ නැඟීමය.
මේ ම්ලේච්ඡ ඝාතනය සඳහා මූලාරම්භය කෙසේ සැකසුණ ද යන්න තවමන් නිශ්චිතව ප්‍රකාශ වී නැත. කෝපයට පත්ව ජන රාශියක් ලෙස ඒකරාශී වූ කම්හල් සේවකයන් පවසන්නේ ඔවුන්ගේ ප්‍රධානියා ලෙස කටයුතු කළ ප්‍රියන්ත දියවඩන ශුද්ධ වූ පාඨ සහිත පෝස්ටරයක් ඉරා එය කසළ බඳුනට දැමූ බවයි. එහෙත් සැබවින්ම තමා එසේ කළාද යන්න පැවසීමට ප්‍රියන්ත දියවඩන ජීවතුන් අතර නැත.
පකිස්තානයේ පන්ජාබ් ප්‍රාන්තයේ සියල්කොට් නගරයේ වසිරාබාද් මාර්ගයේ පිහිටා ඇති මේ සිදුවීමට මූලික වූ කර්මාන්ත ශාලාව එම ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ කම්හලකි. එහි ප්‍රධාන වශයෙන් සිදු කෙරෙන්නේ අපනයන අරමුණෙන් යුක්තව ක්‍රීඩා ඇඳුම් නිපදවීමය. නිල වශයෙන් ප්‍රකාශ නොවූවද මේ කර්මාන්ත ශාලාව පාඩු ලැබූ බවද එහි හිමිකරු එය අත්හැර දමා තිබූ බවද, එය ඉතා ආසායයෙන් යුතුව ප්‍රියන්ත දියවඩන විසින් පවත්වාගෙන ගිය බවද දැනගන්නට තිබේ. කෙසේ වුවද සිදුවීම සිදුවන විට කම්හලේ සේවකයන් වැඩ වර්ජනයකට එක්ව සිටි බවක්ද පැවසේ. ඒ අතර තාප්පයක වර්ණ අාලේප කිරීමට ප්‍රියන්ත දියවඩනගෙන් සේවකයන්ට නියෝග ලැබුණු බවත්, එසේ කිරීමේදී එම තාප්පයේ අලවා තිබූ පුවරු ඉවත් කිරීමට ඔහු නියෝග කළ බවත්, එම පුවරු අතර ආගමික පාඨ සඳහන් පුවරුවක් තිබූ බවත්, එම පුවරුව ඉවත් නොකර තිබියදී ප්‍රියන්ත දියවඩන පැමිණ සේවකයන්ට දොස් පවරා එම පුවරුව ඉරා කසළ බඳුනට දැමූ බවත් සේවකයන් පවසා තිබේ. ඒ සමගින් සේවකයන් වහාම දියවඩනට එරෙහිව සංවිධානය වූ බවත්, කර්මාන්ත ශාලාව ඉදිරිපස ඔවුන් විරෝධතාවක් ආරම්භ කළ බවත්, පසුව කර්මාන්ත ශාලාව තුළට පිවිස දියවඩන අල්ලා ගෙනවුත් වධ දී මරා දැමූ බවත් පසුව මේ සේවකයන් පාපොච්ඡාරණය කර තිබේ.
මේ ප්‍රකාශ අතර කිසියම් පරස්පර බවක් සහ සේවකයන්ට කිසියම් පක්ෂග්‍රාහී බවක් දැකගත හැකිය. එනම් පකිස්තානය වැනි උග්‍ර ඉස්ලාම් භක්තියකයන් සිටින රටක ආගමික පාඨ සහිත පුවරුවක් ඉරා කසළ බඳුනට දැමුවාය යන්න පැවසීමත් සමඟ මුළු මහත් සමාජයම එම ඝාතනය සාධාරණීකරණය කරන බව අමුතුවෙන් පැවසිය යුතු නොවේ. අනික් අතට ඉතා දීර්ඝ කාලයක් පකිස්තානයේ සේවය කළ ප්‍රියන්ත දියවඩන මහතාට එරටේ ජනතාවගේ සිතුම් පැතුම් සහ ආගමට ඔවුන් ලබා දෙන ස්ථානය සම්බන්ධව අමුතුවෙන් තේරුම් කර දිය යුතු නැති බවට සැකයක් නැත. එසේ නම් මේ ආගමික පාඨ ඉරා දැමූ හේතුවෙන් ඝාතනය සිදුවූවාද නැතහොත් එය කම්හලේ වෙනත් මූල්‍යමය තත්ත්වයක් හෝ අස්ථාවර තත්ත්වයක් මත මේ ඝාතනය සිදුවූවාද යන්න ඉතා සියුම්ව විමර්ශනය කළ යුතුව ඇත. එය සියල්කොට් පොලීසියට බාරය. කෙසේ වුවද ආගමික පාඨ සහිත පුවරුවක් ඉරා දැමූ පමණින් එය ඉතා ම්ලේච්ඡ ලෙස ඝාතනය වීමට, ඝාතනය කිරීමට හේතුවක් වන්නේ නම් එහි ඇති සාධාරණය කුමක්ද යන්න වෙනම විමසා බැලිය යුතුය.
කෙසේ වුවද සියල්කොට් පොලීසියේ දිස්ත්‍රික් පොලිස් නිලධාරී උමාර් සයිද් මලික් පවසන්නේ පසුගිය 3වැනි සිකුරාදා උදෑසන 11.30ට පමණ වසිරාබාද් මහා මාර්ගය අසල කිසියම් කලහකාරී සිදුවීමක් සිදුවෙමින් පවතින බවට තමන්ට දැනගන්නට ලැබුණු බවයි. එබැවින් එම ස්ථානයට ආසන්නයේම පිහිටා ඇති පොලිස් ස්ථානය වන උගෝකි පොලිස් ස්ථානයට මේ බව දැනුම් දුන් බවත් එහි නිලධාරින් එම ස්ථානයට පිටත් කර යැවූ බවත්ය. එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරින් එම ස්ථානයේ පුද්ගලයකු ගිනි තබා මරා දමා තිබෙන බව දැනුම් දුන් බවත් ඔහු පවසා තිබේ. වහාම එම ගින්න නිවා දැමීමටත්, එහි දැවෙමින් තිබූ සිරුර ඉන් ඉවත් කිරිමට කටයුතු කළ බවත් පසුව එම සිරුර අසල පිහිටි ප්‍රාදේශීය රෝහලකට ගෙන යෑමට කටයුතු කළ බවත් උගෝකි පොලිස් ස්ථානයේ නිලධාරීන් දැනුම් දී තිබේ.
කෙසේ වුවද සියල්කොට් දිස්ත්‍රික් පොලිස් නිලධාරී සයිද් මලික් පවසන අන්දමට මේ සිදුවීම උගෝකි පොලිස් නිලධාරින් වෙතින් දැනගත් වහාම සියල්කොට්හි ප්‍රධාන පොලිස් නිලධාරින් වසීරාබාද් හි කර්මාන්ත ශාලාව අසලට පැමිණ ඇති අතර ඔවුන් කලහකාරීන් පාලනය කිරීමට කටයුතු කර තිබේ. පසුව ඔවුන් සීසීටීවී දර්ශන ඔස්සේ යමින් ඉතා ඉක්මනින් සිදුවිමට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට කටයුතු අරඹා ඇත්තේ පකිස්තාන රාජ්‍ය නායකයාගේද උපදෙස් අනුවය.
සිදුවීම සිදුවී පැය කිහිපයක් ඉක්ම යත්ම විමර්ශන කණ්ඩායම් දහයක් ස්ථාපිත කර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා යොමු කළ බවත්, සම්පුර්ණ සිදුවීම සඳහා පුද්ගලයන් 1122ක් පමණ සහභාගී වී ඇති බවත් ඒ අතරින් මේ ඝාතනය සිදුකිරිමට දායක වූ පිරිස සහ ඒ සඳහා ඔවුන් මෙහෙයවූ පිරිස හඳුනා ගනිමින් සිටින බවත් පොලිස් ප්‍රධානීන් පවසා තිබේ.
පසුගිය බදාදා දිනය වන විට සිදුවීම සඳහා ඍජු සම්බන්ධයක් ඇති පුද්ගලයන් 300කට අධික පිරිසක් අත්අඩංගුවට ගැනීමට සියල්කොට් පොලිස් නිලධාරීන් සමත්ව සිටි අතර ඒ අතරින් සිදුවීමට නායකත්වය දුන් පුද්ගලයන් 26 දෙනෙකු වැඩිදුර පර්යේෂණ සඳහා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට අධිකරණ අවසරය ලැබී තිබිණි. මේ අතරට සිදුවීමට නායකත්වය ලබා දුන්නේ යැයි පවසෙන ඉමිතියාස් අලියාස් බිල්ලි, ෆර්හාන් ඉද්‍රිස් වැනි පුද්ගලයන්ද අයත් බව වාර්තා වේ. විශේෂයෙන් මේ සිදුවීමට නායකත්වය ලබා දුන් පුද්ගලයා ලෙස ඉමිතියාස් අලියාස් බිල්ලි සැලකෙන අතර ඔහු ප්‍රදේශයෙන් පලාගොස් සිට ඇති අතර ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ රාවල්පිණ්ඩි හි දීය.
ප්‍රියන්ත දියවඩන ඝාතනයේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම ඉතා පහසු වී ඇත්තේ සමස්ත සිදුවීම පුද්ගලයන් රාශියක් විසින් ස්වකීය ජංගම දුරකථන ආධාරයෙන් වීඩියෝ කර තිබීමය. එම විඩියෝ ඔවුන් විසින්ම සමාජ මාධ්‍ය ගත කර ඇති අතර ඒ සමඟින් ඉතා පැහැදිලි සාක්ෂි සහිතව සිදුවීමට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබී තිබේ.
මේ සිදුවීම සම්බන්ධව තම දැඩි කනගාටුව ප්‍රකාශ කළ පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් සිදුවීම සම්බන්ධව සමස්ත පකිස්තාන ජනතාව ලැජ්ඡාවට පත් විය යුතු බව පවසා සිටියේය. වරදකරුවන්ට දැඩි දඬුවම් පමුණුවන බව පවසා සිටි අග්‍රාමාත්‍යවරයා අදාළ විමර්ශන කඩිනම් කරන ලෙසද තම නිලධාරින්ට උපදෙස් දී තිබේ.
ප්‍රියන්ත කුමාර ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන්ට නීතිඥ සහාය ලබා නොදීමට සියල්කොට්හි නීතිඥ සංගමය තීරණය කර තිබේ. මේ වනවිට එම ඝාතනය සම්බන්ධයෙන් කර්මාන්ත ශාලාවේ සේවකයන් 345 දෙනකු අත්අඩංගුවට ගෙන වෙන වෙනම ස්ථානවල රඳවා ඇත. ඉන් 34 ක් ත්‍රස්ත විරෝධී අධිකරණය වෙත ඉදිරිපත් කර බන්ධනාගාරගත කර තිබේ.
ටිරෝනි වෑවලගේ
ඡායාරූප - සමන්ත වීරසිරි / චින්තක කුමාරසිංහ