
ඇත්ත පුවත්පතේ ආරම්භය සලකා බලන විට එය සැබැවින් ම අදීන හා අභීත පියවරක් ලෙස හැඳින්විය හැකි ය. 1964 දී සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය ලංකා සමසමාජ පක්ෂයේ එකතුවෙන් පිහිටුවනු ලැබූ සභාග රජය පත්තර පනතක් ගෙනෙන්නට සූදානම් විය. එවකට පුවත්පත් මුද්‍රණය කළ ලේක්හවුස්, ටයිම්ස් සහ ගුණසේන සමාගම් ඒකාබද්ධව ඊට විරෝධය දක්වමින් ආණ්ඩුවට එරෙහිව කටයුතු කරන්නට විය. මේ වනවිට ප්‍රගතිශීලී අදහස් දැක්වීමටත් පත්තර ආයතන තුනකින් නඟන හඬට පිළිතුරු දීමටත් පුවත්පතක් තිබුණේ නැත. ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය ප්‍රගතිශීලී අදහස් පළ කිරීම සඳහා පුවත්පතක් පටන් ගැනීමට තීරණය කළේ එබැවිනි. එය 1964 දෙසැම්බර් 06 වැනිදා තීන්දු කළ අතර 1964 දෙසැම්බර් 14 වැනි දින ‘ඇත්ත’ පුවත්පතේ මංගල කලාපය නිකුත් විය. එවන් යුගයක් නියෝජනය කළ ‘ඇත්ත‘ පුවත්පත මෙම දෙසැම්බර් 14 වැනි දිනට (ලබන අඟහරුවාදා) සපුරන්නේ 57 වැනි සංවත්සරයයි.
එකල බී. ඒ. සිරිවර්ධනගේ කතු වැකිය කියවන්නටම පත්තරේ බලන පාඨක පිරිසක් ද ඇත්ත පුවත්පත වටා එක් රොක්වී සිටියහ. ජෙෆ්රි යූනුස්ට මැර ප්‍රහාරයකට ලක්වීමට සිදුවූයේ ඇත්ත පුවත්පතට අඳිනු ලැබූ කාටුනයක් නිසා ය. බොහෝ පුවත්පත් අපක්ෂපාතී පුවත්පත් ලෙස හැඳින්වෙද්දී ඇත්ත පුවත්පත පමණක් පක්ෂපාතී පුවත්පතක් විය. එහෙත් එය පක්ෂපාතී වූ බව ජනතාවට ය. ඇත්ත පුවත්පත හඳුන්වනු ලැබුවේ ‘ජනතාවට පක්ෂපාතී පුවත්පත’ යනුවෙනි. ‘අවංකයි අදීනයි අභීතයි’ ඇත්ත පුවත්පතේ තේමා පාඨය විය.
“ඇත්ත පත්තරේ පටන්ගන්න විට හරියට තැනක් තිබුණේ නැහැ. කොටා පාරේ තිබුණු කොමියුනිස්ට් පක්ෂ කාර්යාලයේ තමයි පත්තරේ පටන් ගත්තේ. ඇත්ත පත්තරේ ප්‍රථම කර්තෘ වූයේ එච්. ජී. එස්. රත්නවීර. ඒ වනවිට ලංකාවේ ප්‍රගතිශීලී පුවත්පතක් නොතිබුණු නිසා ඇත්ත පත්තරයට හොඳ ඉල්ලුමක් තිබුණා. එදා දැන් වගේ තාක්ෂණයෙන් දියුණු මැෂින් තිබුණේ නැහැ. පොඩි මැෂිමකින් තමයි පත්තර මුද්‍රණය කළේ. ඒ නිසා සමහර දවස්වලට දවල් 12.00 ටත් පත්තරේ ගැහුවා. කට්ටිය පෝලිමේ ඉඳලා පත්තර අරං ගියා” යනුවෙන් අතීතාවර්ජනයක යෙදුණේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී දයා ලංකාපුර ය.
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී දයා ලංකාපුර පත්තර කලාවට අතපොත් තැබුවේ ‘ඇත්ත’ පුවත්පතෙනි. ඒ ගිංතොට ප්‍රාදේශීය වාර්තාකරුවෙකු වශයෙනි. 1965 දී ඔහු දිනපතාම ඇත්ත පත්තර 50 ක් ගිංතොට බෙදා හැරීමට ද කටයුතු කළේය. ඔහු සරසවි අධ්‍යාපනය ලැබීම සඳහා කොළඹට පැමිණීමත් සමඟ කොටා පාරේ පිහිටි ඇත්ත පත්තර කන්තෝරුව සමඟ සමීප සබඳතා පැවැත්වීමට ඔහුට හැකි විය. එමෙන් ම ඇත්ත පුවත්පතේ නිදහස් ලේඛකයකු ලෙස ද කටයුතු කළේ ය. විශ්වවිද්‍යාල අධ්‍යාපනය නිමා වීමෙන් අනතුරුව ඔහු කර්තෘ මාණ්ඩලිකයකු ලෙස 1968දී පුවත්පතට පූර්ණ කාලීනව සම්බන්ධ විය. 1982 දී දිවයින පුවත්පත ආරම්භ වන තෙක් මාධ්‍යවේදී දයා ලංකාපුර කටයුතු කළේ ඇත්ත පුවත්පතේ ය.
“මම පත්තර ජීවිතය පටන් ගත්තේ හරිම සුන්දර තැනකින්. 1964 දෙසැම්බර් 14 ඇත්ත පත්තරය පටන් අරං ටික දවසකින් මත ගැටුම් නිසා දවස පත්තරෙන් 10 දෙනෙක් විතර අයින්වෙලා ඇත්ත පත්තරේට සම්බන්ධ වුණා. බී. ඒ. සිරිවර්ධන, සිරිලාල් කොඩිකාර, ස්ටැන්ලි සමරසිංහ, බුද්ධි කීර්තිසේන ඇතුළු පිරිසක් තමයි එදා ඇත්ත පත්තරේට පැමිණියේ. ඒ අය සම්බන්ධ වුණාට පස්සෙ තමයි ඇත්ත පත්තරේ වඩාත් පිළිවෙළට ක්‍රමවත්ව සකස් වුණේ.” යනුවෙන් මතකය අවදි කළේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී දයා ලංකාපුර ය.
1965 දී ඇත්ත පුවත්පතේ ප්‍රධාන කර්තෘත්වය හෙබවූයේ බී. ඒ. සිරිවර්ධන ය. සිරිලාල් කොඩිකාර විශේෂාංග කර්තෘ වූ අතර ජැක්සන් සේනාරත්න ප්‍රවෘත්ති කර්තෘ විය. මේ වකවානුව වනවිට රටේ පැවැතියේ යූ. ඇන්. පී. ආණ්ඩුවකි. ඇත්ත පුවත්පත කටයුතු කළේ යූ. ඇන්. පී. විරෝධී පුවත්පතක් ලෙසිනි. ඒ නිසා ම 1966 ජනවාරි 08 වැනි දින ඇත්ත පත්‍ර කාර්යාලයට සීල් තැබිණි. මාස 4 ක් 5 ක් ඇත්ත පත්‍රය නැවතිණි. ශත 12 ට අලෙවි වූ පුවත්පත ශත 15 දක්වා ශත 3 කින් මිල ඉහළ දැමුව ද ඇත්ත පත්‍රයට පාඨකයන් අඩු නොවුණේ එහි තිබූ රසවත් භාවය සහ නිර්මාණශීලිත්වය නිසා ය. එමෙන් ම පවතින රජය කුමක් වුව ද ආණ්ඩුවේ දූෂණ වංචා හෙළි කිරීමට නොබියව නොපැකිළව ඉදිරිපත් වූයේ ඇත්ත පුවත්පතයි. 1970 බලයට පත්වූ ආණ්ඩුවට ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය ද එකතුවී සිටියත් කිසිම දිනෙක ආණ්ඩුව විවේචනය කිරීම නවතා දමන ලෙස ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයෙන් ඇත්ත පුවත්පතට බලපෑමක් එල්ල වූයේ නැත. ඒ නිසා ම එදා ඇත්ත පත්‍රයට සම්බන්ධ වී සිටි පුවත්පත් කලාවේදීන්ට නිදහසේ සිය රාජකාරිය කරගෙන යෑමට හැකි විය.
1971දී ඉමහත් ආන්දෝලනයක් ඇති කළ ප්‍රේමවතී මනම්පේරි ඝාතනය පිළිබඳව මුලින් ම හෙළි කළේ ඇත්ත පුවත්පත ය. ප්‍රේමවතී මනම්පේරි ඝාතන නඩුව ඇත්ත පුවත්පතට ආවරණය කළේ ස්ටැන්ලි සමරසිංහ ය. ඔහු දවස පත්‍රයෙන් ඉවත්වී ඇත්ත පුවත්පතට සම්බන්ධ වී අධිකරණ වාර්තාකරණය කළ පුවත්පත් කලාවේදියෙකි.
“මම තනියම හම්බන්තොට ගිහින් ප්‍රේමවතී මනම්පේරි නඩුව ලිව්වේ. සමහරු නම් කිව්වා මාවත් කැරලිකාරයෙක් කියලා අල්ලා ගනියි කියලා. ඒත් නීතිපති දෙපාර්තමේන්තුවේ මගේ යාළුවෝ හිටපු නිසා මම බය වුණේ නැහැ. හම්බන්තොටින් ගාල්ල මහ අධිකරණයට නඩුව ගෙනාවාට පස්සේ දයා ලංකාපුරයි මමයි දෙන්නාම ගියා. ඒ කාලේ ෆැක්ස්, ඊමේල් පහසුකම් මුකුත් නැහැනේ. ගාල්ලේ ඉඳලා වාර්තාව එවන්න තිබුණේ තැපැල් සේවාව විතරයි. මම දවසක් ගාල්ලේ ටවුමෙ ඇවිදින විට අපේ කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයෙක් මුණ ගැහුණා.
එයා සේවය කළේ දුරකතන දෙපාර්තමේන්තුවේ. මම එයා එක්ක කතා කරගෙන ප්‍රේමවතී නඩුව කොළඹට යැව්වා. අපි ගාල්ල උසාවියට යනකොට මාධ්‍යවේදීන්ට කියලා පුටු වෙන් කරලා තිබුණේ ලේක්හවුස්, දවස, ලංකාදීප මාධ්‍යවේදීන්ට විතරයි. අපි බංකුවල වාඩි වුණේ.
මම භාගෙට ලියපු වාර්තාව ගෙනියන්න මෝටර් සයිකලෙන් මගේ යාළුවා එනවා. ඒක ටෙලිෆෝන් එකෙන් ඇත්ත පත්තරේට කියවනවා. ඊට පස්සේ ඉතිරි භාගේ ලංකාපුර ලියාගෙන ඇවිත් කියවනවා. ඒ කාලේ කොළඹට ඍජු ඇමතුම් ගන්න බැහැ. ඒත් මගේ යාළුවා නිසා අපිට ගාල්ලේ ඉඳලා විස්තරය දෙන්න පුළුවන් වුණා. ප්‍රේමවතී මනම්පේරි නඩුව අනිත් පත්තරවල යන්නේ දවස් 2 කට පස්සේ. ඒත් ඇත්ත පත්තරේ පහුවැනිදාම පළවුණා. අනිත් පුවත්පත් කලාවේදීන්ට ලොකු ප්‍රශ්නයක් වුණා අපි කොහොමද යවන්නේ කියලා. අපි කිව්වා බස් එකක යවනවා කියලා. කොහොම හරි අධිකරණයේ බංකුවේ වාඩි වෙලා හිටපු අපි දෙදෙනාට ලොකු පිළිගැනීමක් ලැබිලා පුටුවට මාරු වුණා.” යනුවෙන් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ස්ටැන්ලි සමරසිංහ විස්තර කළේ ය.
ප්‍රේමවතී නඩුවට අමතරව එවකට පැවැති රජයේ දූෂණ වංචා හෙළි කිරීමට ඇත්ත පත්තරය පසුබට වූයේ නැත. ඒ නිසා ම ඇත්ත පුවත්පතට රජයෙන් හිමි වූ වෙළෙඳ දැන්වීම් නැවතිණි. දුම්රිය හා ලංගම බස් රථ මඟින් බෙදා හරිනු ලැබූ ඇත්ත පුවත්පත බෙදා හැරීම ප්‍රතික්ෂේප කෙරිණි. අවසානයේදී දුර බැහැර සිට පැමිණි නියෝජිතයන් පත්තර මිටි සිය උකුළ මත තබාගෙන දුම්රියෙන් ගම් රටට ගොස් පත්තර බෙදා හැරියේ අභියෝග ජය ගනිමිනි.
“එක වතාවක් අපිට ආරංචි වුණා. ඇත්ත පත්තරේට සීල් තියන්න එනවා කියලා. අපි ඊට පෙර පත්තර 3000 ක් විතර මුද්‍රණය කරලා කොහොම හරි පිට කර ගත්තා. සීල් තියන්න එනවිට අපි පත්තරේ මුද්‍රණය කරමින් තිබුණේ. ඒ අය පත්තරේ බ්ලොක්, ප්ලේට් සේරම අරං ගියා. එයාලා දැනගෙන හිටියේ නැහැ අපි පත්තර 3000 ක් වෙළෙඳපොළට දැම්මා කියලා. තවත් වතාවක් මම පත්තර කන්තෝරුවේ ඉන්න වෙලාවක සී. අයි. ඩී. එකෙන් ඇවිත් මට දොර අරින්න කියලා කිව්වා. මම කිව්වා මම මුරකරු නෙමෙයි. දොරවල් අරින්න, මම පුවත්පත් කලාවේදියෙක් කියලා. එදා රෑ මම පත්තර කන්තෝරුවේම නැවතුණා. එදා මම රෑට කෑමට ගත්තේ කොමියුනිස්ට් පක්ෂ කාර්යාලයේ සල්පිලකට ගෙනත් තියපු බොම්බයි ලූනු ගෙඩි 2 ක් .” යනුවෙන් ඇත්ත පත්තර කාර්යාලයේ සේවයේ නිරත වී සිටියදී මුහුණදුන් අභියෝග සහ දුෂ්කරතා විස්තර කළේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බෙනට් රූපසිංහ ය. ඔහු අද මවුබිම දිනපතා පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයා වේ.
ඇත්ත පුවත්පත දැඩි සේ ආණ්ඩුව විවේචනය කළේ ය. බරපතළ ප්‍රවෘත්ති, ආන්දෝලනාත්මක සිදුවීම් පළ කළේ ය. ආණ්ඩුවේ දූෂණ වංචා සහ අක්‍රමිකතා රටට හෙළි කළේ ය. ඒ නිසා ම ඇත්ත ප්‍රධාන කර්තෘවරයාට අධිකරණයට යෑමට සිදු වූවේ වරක් දෙවරක් නොවේ.
“එක වතාවක් අපිට විරුද්ධව නඩුවක් දැම්මා රජය අපහසුතාවට පත් කළා කියලා. ප්‍රධාන කර්තෘ බී. ඒ. සිරිවර්ධන තමයි උසාවි ගියේ. පත්තරය වෙනුවෙන් කතා කළේ නීතිඥ එස්. එල්. ගුණසේකර. එතනදී ඔප්පු කළා පත්තරේ ලියලා තියෙන්නේ ආණ්ඩුව ගැන මිසක් රජය ගැන නෙමෙයි කියලා. එයින් නඩුවෙන් නිදහස් වුණා.” යනුවෙන් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බෙනට් රූපසිංහ පැවසීය.
පක්ෂය කුමක් වුවත් කුමන රජයක හෝ අක්‍රමිකතා හෙළි කිරීමට ‘ඇත්ත’ පසුබට වූයේ නැත. ඒ නිසා ම ඇතැම් අවස්ථාවලදී ඇත්ත පුවත්පතට දොරටුව විවෘත වූයේ නැත.
“දවසක් මට යන්න තිබුණ ඩඩ්ලි සේනානායක අගමැතිතුමාගේ මාධ්‍ය හමුවකට. මම ප්‍රමාද වෙලා ගියේ. ඒ නිසා මට මාධ්‍ය හමුවට ඇතුළු වෙන්න දෙන්න බැහැ කිව්වා. කොහොමටත් ඒ අය ඇත්ත පත්තරේ සම්බන්ධ කරගෙන තිබුණේ නැහැ. මම ෂේප් එකේ ඇතුළට යන්න හිතාගෙන ආවේ. දැන් මොකද කරන්නේ. මම කලින් වැඩ කරපු දවස පත්තරේ පරණ හැඳුනුම්පත පෙන්නුවා. එතකොට මට යන්න අවසර දුන්නා. දවසේ හැඳුනුම්පතින් ඇතුළට ගිහින් ඇත්ත පත්තරේට ලිව්වා.” යනුවෙන් සඳහන් කළේ එවකට ඇත්ත පත්තරේ උප කර්තෘවරයකු ලෙස සේවය කළ බුද්ධි කීර්තිසේන ය. අද ඔහු ප්‍රකට බතික් ව්‍යාපාරිකයෙකි. 1966 ඇත්ත පුවත්පතට සම්බන්ධ වූ ඔහු 1970 දක්වා එහි සේවය කළේ ය. බී. ඒ. සිරිවර්ධන සිරිලාල් කොඩිකාර, සුරත් අම්බලන්ගොඩ, ජී. ඇස්. පෙරේරා වැනි ප්‍රවීණ පුවත්පත් කලාවේදීන් සමඟ කටයුතු කළ ඒ සුන්දර යුගය රසගුලාවක් ලෙස හැඳින්වූ බුද්ධි කීර්තිසේන, මී විතෙන් සප්පායම් වූ විට සිරිලාල් කොඩිකාර “සුළු ධනේශ්වරයා” යනුවෙන් ඔහුට විහිළු කළ බව ද සිහිපත් කළේ ය.
“ඇත්ත පත්තරේට මම සම්බන්ධ වුණේ නියෝජ්‍ය ප්‍රවෘත්ති කර්තෘ විදිහට. හැබැයි මම නියෝජ්‍ය ප්‍රවෘත්ති කර්තෘ කියලා පුටුව උඩට වෙලා ප්‍රවෘත්ති එනකම් බලාගෙන හිටියේ නැහැ. වාර්තාකරණයට ගියා. පාර්ලිමේන්තු වාර්තාකරණයටත් මම ගියා. අපේ රටේ ආර්ථිකය ගැන, කෘෂිකර්මය ගැන, අයවැය ගැන මම ඉගෙන ගත්තේ පාර්ලිමේන්තු වාර්තාකරණයෙන්. ඒ කාලේ හැන්සාඩ් වාර්තාව කියන්නේ විශ්ව විද්‍යාලයක්. මම වාර්තාකරණයට යෑමත් සමඟ ගොඩාක් සබඳතා ගොඩනැඟුණා. ඒ දවස්වල ඇත්ත පත්තරේ හොඳ කතාවක් පළවුණාම ඒක කියවන උසස් නිලධාරීන් එයාලා දන්න කතා අපිට කියනවා. මමත් ඒක තුන් හතර වතාවක් හොයලා බලලා තහවුරු කරගෙන පත්තරේට ගන්නවා. එතන හිටපු පිරිස සමඟ වැඩ කිරීමෙන් මම හොඳ පන්නරයක් ලැබුවා. ඇත්තටම මම වැඩ කරපු අවුරුදු 2 ක් වැනි සුළු කාලය වර්ණවත් අත්දැකීමක්.” යනුවෙන් පැවසුවේ අර්වින් වීරක්කොඩි ය. අද ඔහු ෆීනික්ස් ඔගිල්වි වෙළෙඳ ප්‍රචාරක ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂවරයා වෙයි.
90 දශකයෙන් පසු ඇත්ත පුවත්පතේ යම් පසුගාමී තත්ත්වයක් ඇති විය. පුද්ගලික රූපවාහිනී සහ ගුවන්විදුලි නාළිකා මෙරට ව්‍යාප්ත වීම ඊට බලපෑමක් වූවාට සැක නැත. ඊට අමතරව සෝවියට් දේශයේ බිඳ වැටීමත් සමඟ කොමියුනිස්ට් පක්ෂයට ලැබෙන ආධාර අහිමි වීම ද ඊට තුඩු දුන් තවත් සාධකයක් විය. දුෂ්කරතා කොපමණ පැමිණිය ද ‘ඇත්ත’ පුවත්පත අද දක්වා තිබීම ගැන අප සතුටුවන්නේ එයින් ඉටු වූ මහඟු සේවය අතිමහත් නිසා ය.