විදුලි අර්බුදය ගැන රජය, සජබ සහ ජවිපෙට සිළුමිණෙන් ප්‍රශ්න 5ක් | Page 2 | සිළුමිණ

විදුලි අර්බුදය ගැන රජය, සජබ සහ ජවිපෙට සිළුමිණෙන් ප්‍රශ්න 5ක්

1. විදුලි බිඳ වැටීමේ නිරන්තර සිදුවීමට හේතු කාරණා ලෙස ඔබ දකින්නේ කවරක්ද? 
2. විදුලිය සැපැයීම හදිසියේ අඩාළ වීම කඩාකප්පල්කාරී ක්‍රියාවක්ද?
3. නිරන්තර විදුලි බිඳවැටීම රටේ ජාතික ආරක්ෂාවට යම් තර්ජනයක් විය හැකි බව ඇතැමුන්ගේ මතයයි. ඒ පිළිබඳව අදහස කුමක්ද ?
4. විදුලි උත්පාදනයට වෙනත් විකල්ප ක්‍රමවේදයක් අවශ්‍යයි නේද? මේ සඳහා යෝජනා නොව ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ යුතු වැඩපිළිවෙළ කුමක්ද?
5. නිරන්තර විදුලිය බිඳ වැටීම නිසා ගමනාගමනය ප්‍රවාහනය ඇතුළු අංශ ගණනාවක් අඩාළ වීමෙන් එයින් ජාතික ආර්ථිකයට ඍජු බලපෑමක් සිදු වන්නේ ද?

බලශක්තිය ජාතික ආරක්ෂාවේ අතිශයින්ම තීරණාත්මක සාධකයක්
- ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය

1 ඒ සඳහා හේතු කාරණා රැසක් තියනවා. එහි ප්‍රධාන හේතුවක් නම් අපේ විදුලිය සැපයෙන විදුලි බලාගාර කිහිපයක් නිරන්තරයෙන් අකර්මණ්‍ය වීමයි. විශේෂයෙන් නොරොච්චෝලයේ විදුලි බලාගාරය හැමදාම ගැටලු.

ඒ නිසා විදුලිය බිඳ වැටෙන්න අරුම පුදුම හේතු නැහැ. ඉල්ලුමට සාපේක්ෂව අපේ සැපැයුම් ප්‍රමාණවත් නොවන ප්‍රශ්නය විශාල වශයෙන් තියෙනවා. ඒ මෙන්ම තාක්ෂණික බිඳවැටීම් නිතරම සිදුවෙනවා. මේ වන විට විදුලි ඉංජිනේරුවරුන් අකුරට වැඩකිරීමත් නවත්තලා තියෙන්නේ. ඒ අය සැලසුම් සහගතව විදුලිය බිඳ වැට්ටවීමේ අරමුණෙන් මේ අකුරට වැඩ කිරීම කළේ නැහැ. මෙය අපේ විදුලිය නිෂ්පාදන ක්‍රියාවලියේ තියෙන ප්‍රශ්නයක්. නොරොච්චෝල බලාගාරය පිළිබඳව එදා ඉඳලම ගැටලු තියෙනවා.

2 මම නම් හිතන්නේ නැහැ එය කඩාකප්පල්කාරි ක්‍රියාවක් කියලා. එය ආණ්ඩුව කියන කතාවක් මිසක වෙන අය කියන්නේ නැහැ. ආණ්ඩුව හැම වෙලාවෙම වෘත්තිය අරගලවලට කියන්නේ කඩාකප්පල්කාරී ක්‍රියා කියලානේ. මේ වගේ විදුලිය බිඳ වට්ටන්න වෘත්තිය සමිති සංවිධානය වෙලා හිටියේ නැහැ. ආණ්ඩුවේ නොහැකියාව වහගන්න නිර්මාණය කරන ලද කතාවක්.

හැමදාම වෘත්තිය සමිතිවලට කඩාකප්පල්කාරීන් කියලා දොස් කියලා වැඩක් නැහැ. ආණ්ඩුවේ අසමත්භාවයයි මෙයින් ප්‍රදර්ශනය වෙන්නේ. මේ විදෙස් බලශක්ති සමාගම් සමඟ ඩීල් ගහන්න හදනකොට ආණ්ඩුව හුඟාක් ලොකු ප්‍රයත්නයක යෙදුණා වෘත්තිය සමිති භේදභින්න කරන්න.

යම්තාක් දුරකට එය කරන්න ආණ්ඩුවට පුළුවන් වුණා. ආණ්ඩුවේ කොමිස් ආරක්ෂා කර ගැනීමටයි; මේ සියලු මැදිහත්වීම් කරන්නේ. එතකොට කඩාකප්පල්කාරීකාරීත්වය කියන්නෙත් මේ ලොකු කොමිස් කතාවේම කොටසක් තමයි.

3 ජාතික ආරක්ෂාව ගැන කතා කරපු ගමන් අපි හිතන්නේ ආරක්ෂක හමුදාව ගැනයි. ආරක්ෂක හමුදාවක් සිටිනවාද නැද්ද කියන කාරණාව මනින්න බැහැ. ඒ ශක්තියෙන්ම පමණක් නොවෙයි. ආහාර, විදුලි, බලශක්ති, සෞඛ්‍ය විශේෂ හේතුවක් වෙලා තියෙනවා මේ වසංගතයක් වෙලාව නිසා. අපි මේ දේවල්වලට මුහුණ දෙන්නේ කොහොමද? ජාත්‍යන්තර සම්බන්ධතා සියල්ලම ජාතික ආරක්ෂාවකට සම්බන්ධයි. ඒ සියලු කාරණා අතරින් බලශක්තියට සුවිශේෂ තැනක් හිමිවෙනවා.

බලශක්තිය ජාතික ආරක්ෂාවේ අතිශයින්ම තීරණාත්මක සාධකයක්. අපේ රටේ බලශක්ති ක්ෂේත්‍ර එන්න එන්නම විදෙස් ව්‍යාපාරවලට මත යැපෙන තත්ත්වයකට පත් වෙලා.

මෙය අපේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් සියලු බලය ලබාදීමකට හා සමානයි. අද වන විට අපේ රට විදෙස් සමාගම්වලට අවුරුදු ගානකට බැඳිලා ඉන්නවා.

4 විදුලි උද්පාදනය සම්බන්ධයෙන් මේ ගැටලුව මතුවෙන්නේ බලශක්තිය පිළිබඳව අපිට ප්‍රතිපත්තියක් නැතිවීම නිසයි. ඉදිරියේදී මේ බලශක්ති උත්පාදනය සම්බන්ධ ගැටලුව ගෝලීය අර්බුදයකට යන ක්ෂේත්‍රයක්. එයට හේතුව මේ වන විට ලෝකයේ බොහෝ රටවල් එක්තරා මට්ටමකින් විවිධ බලශක්ති ක්‍රමවේදයන්වලට යොමු වෙමින් පවතිනවා.

එමෙන් සූර්යය බලශක්තිය වැනි තාක්ෂණික විකල්පයන් අත්‍යවශ්‍ය කාලයක් ඉදිරියේ දී මතුවෙනවා. අපි විදෙස් ආයෝජන ගැන කතා කරන විට විදෙස් ආයෝජන ලබා ගන්න අවශ්‍ය වන්නේ මේ රටට ගැළපෙන තාක්ෂණයක් අනුවයි. ඉදිරියේදී ගෝලිය වශයෙන්ම බලපාන හේතු සාධකයන් අනුව විකල්ප බලශක්ති ප්‍රභවයන්ට අපි යොමු විය යුතුයි.

කෙටිකාලීන කොමිෂන් ගහන ක්‍රමවේදයන් සොයලා වැඩක් නැහැ. මෙතෙක් කල් අපේ රටට ආයෝජකයන් ගෙන්න ගත්තේ කෙටිකාලීන කොමිස් ගහන්න පුළුවන් වැඩපිළිවෙළ සඳහායි. එසේ නැතිනම් ජාතික ප්‍රතිපත්තියක් සහ ජාතික අවශ්‍යතාවක් අනුව නොවෙයි. මෙච්චර කල් මේ දේවල් කළේ කොමිස් ගහන කෙටි ක්‍රමවේදයන් ලෙසයි.

5 බලශක්තිය රටේ සියලු ක්ෂේත්‍රයන්වල කේන්ද්‍රීය අවශ්‍යතාවයක්. ජාතික ආර්ථිකය බලශක්තියට ඉතාමත් වැදගත් දෙයක්. එය හරියට කළමනාකරණය කරන්න බැරි නම් ඉදිරියේදී එය විශාල ගැටලුවක් වෙනවා. ඇත්ත වශයෙන්ම රටක් ලෙස මෙවැනි ආර්ථික අවපාතයක ඉන්න අවස්ථාවක විශාල වශයෙන් බලපානු ලබන දෙයක්. වර්තමාන ආණ්ඩුව කරන්නේ රටේ තියන සියලු දේවල් විකුණා දමන එකයි. රටක් ලෙස නැඟි සිටින්න නම් රටට ගැළපෙන කාලීන ආර්ථික සැලසුම් තිබිය යුතුයි.

නුදුරු අනාගතයේදී අපේ රටට බලශක්ති අපනයනය කළ හැකියි
- බලශක්ති ඇමැති නීතීඥ උදය ගම්මන්පිල

1 විදුලි පද්ධතියේ අසමතුලිත භාවයක් නිසා විදුලිය බිඳ වැටුණ බවට ඉජිනේරුවන් පවසනවා. එය කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවට විදුලි බල මණ්ඩලයේ පාලකයින් පවසනවා. මෙවැනි සිදුවීම් මීට පෙර සිදුවී තියෙනවා. ඒ වගේම අකුරට වැඩකිරීමේ යෙදී සිටි විදුලි ඉංජිනේරුවන් මේ විදුලි බිඳවැටීම් සමඟ අකුරට වැඩකිරීමත් නතර කළා. මෙය කඩාකප්පල්කාරි ක්‍රියාවක් වීමට ඇති ඉඩකඩ අඩුයි. ඒ පිළිබඳව විමර්ශනයක් සිදු කෙරෙනවා. ඒ විමර්ශන වාර්තා ලැබෙනතුරු අපි බලා සිටිනවා.

2 කඩාකප්පල්කාරී ක්‍රියාවක්ද යන්න පිළිබඳව අපිට කියන්න අපහසුයි. ඒ නිසා ඒ පිළිබඳව විමර්ශනය කර වාර්තාවක් එනතුරු අපි බලාගෙන ඉන්නවා.

3 අනිවාර්යෙන් විදුලිය බිඳවැටීමෙන් රට අඳුරට යනවා; ඒවගේම රට අක්‍රීය වෙනවා. එය ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙනවා. විදුලි ඉංජිනේරුවන් අකුරට වැඩ කිරීම සිදු කෙරුණේ විදෙස් විදුලි සමාගමක් සමඟ ආණ්ඩුව එළඹෙන්නට නියමිත ගිවිසුමට විරෝධය පළ කිරීමටයි; මාගේ විශ්ලේෂණය අනුව එම සමාගම සමඟ ඇති කර ගැනීමට යන ගිවිසුම විදුලිය බිඳ වැටීමෙන් සිදුවනවාට වඩා ජාතික ආරක්ෂාවට තර්ජනයක්.

4 ඇත්ත වශයෙන් මේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් අවබෝධය ඇත්තේ විදුලිබල අමාත්‍යවරයාට සහ පුනර්ජනනි විදුලි බලය පිළිබඳ රාජ්‍ය ඇමැති දුමින්ද දිසානයක ඇමැතිවරයාටයි. එසේ වුවත් පරිසරවේදියකු ලෙසත් බලශක්තිය පිළිබඳව යම් අවබෝධයක් ඇති ඇමැතිවරයකු ලෙසත් අදහස් දක්වන්නේ නම් 2015 වසරේ දී පැරිස් සමුළුවේදි 2050 වසර වන විට ශ්‍රී ලංකාව ද කාබන් විමෝචනය නැවැත්වීමට එකඟ වී තියෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකාවේ විදුලි ජනනයට ගල් අඟුරු ඩීසල් දැවි තෙල් පමණක් නොව අවම වශයෙන් ගෑස් භාවිත කිරීමට හැකියාවක් නැහැ; එවැනි පසුබිමක අපිට විදුලිය නිපදවීමට හැකියාව ලැබෙන්නේ හිරු එළිය ජලය වැනි පුනර්ජනනිය ප්‍රභවයන්ගෙන්. ශ්‍රී ලංකාවේ පුනර්ජනීය ශක්‍යතා අධ්‍යයනය කළ ජාත්‍යන්තර විශේෂඥයන් පවසන්නේ අතිරික්ත පුනර්ජනීය විදුලිය හරිත හයිඩ්‍රජන් බවට පරිවර්තනය කිරීමෙන් ශ්‍රී ලංකාව බලශක්ති අපනයන කරන රටක් ලෙසට නුදුරු අනාගතයේ පත් විය හැකි බවයි. එතෙක් අපි ගල්අඟුරු පෙට්‍රල් ඩීසල් ආනයනය කරන රටක් වෙයි.

පුනර්ජනනි බලශක්ති යුගයේදී ශ්‍රී ලංකාව බල ශක්තිය අපනයනය කරන රටක් බවට පත් වීමට හැකියාව ලැබෙන බව එම විශේෂඥයන් පවසනවා. ඒ අනුව ජනාධිපතිවරයා විසින් මෙරට සමස්ත විදුලි නිෂ්පාදනයෙන් 70%ක් වසර 2030 වන විට පුනර්ජනනීය ප්‍රභවයන්ගෙන් ලබා ගැනීමට තීරණය කර තියෙනවා.

ඒ සඳහා මේ වනවිට විදුලිබල මණ්ඩලය විසින් දිගුකාලීන ජනන සැලැස්මක් සකස් කරමින් තිබෙනවා. ඒ බලාපොරොත්තුව ඉටු කර ගැනීමට හැකියාව ලැබුණහොත් මේ රටේ විදෙස් විනිමය අනුපාතයට පවා දැවැන්ත බලපෑමක් ඇති කරාවි යැයි විශ්වාසයක් තියෙනවා. දැනට අපේ ආනයනය වියදමින් 25 -30% වැය කර කරන්නේ ඉන්ධන ආනයනය සඳහායි.

රුපියල ඩොලරයට සාපේක්ෂව වේගයෙන් අවප්‍රමාණය වෙමින් පවතින්නේ ඒ නිසයි. පුනර්ජනනීය යුගයකට ගමන් කළහොත් එයින් ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වී ආනයනික භාණ්ඩ අඩු වි රටේ සියලු ආර්ථික සාධකයන් ඉහළ යාමට ඉඩ ප්‍රස්ථා ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා.

5 අනිවාර්යයෙන් ම විදුලිය බිඳ වැටීම ප්‍රවාහනය ගමනාගමනයට පමණක් නොවෙයි සමස්ත ආර්ථිකයට මෙන්ම සෞඛ්‍යයට ද බලපෑම් කළ හැකියි. කොවිඩ් තත්ත්වයත් සමඟ පවතින සෞඛ්‍ය හේතු මත සහ මරණාසන්න රෝගීන්ගේ ජිවිත බේරා ගැනීමට මේ නිසා යම් අභියෝගයක් බවට පත්වෙනවා.

එමෙන්ම දැඩි සත්කාර ඒකකවල පවතින උපකරණ පවා පාවිච්චි වෙන්නේ විදුලි බලයෙන්. සැත්කම්වලට යම් බාධා ඇතිවිය හැකියි. විදුලිය බිඳ වැටිමෙන් ප්‍රවාහනය ගමනාගමනය සෞඛ්‍ය වැනි ක්ෂේත්‍රයන් කඩා වැටීමට ලක්වෙනවා;

ඒ අනුව රටේ සමස්ත ආර්ථික පද්ධතියටම යම් බාධාවන් ඇති විය හැකියි. රට අඩපණ වීමක් සිදුවනවා මෙන්ම බලශක්තිය අපේ ශරිරය පුරා දුවන රුධිරය වැනි අත්‍යවශ්‍ය දෙයක්. ඒ නිසා බලශක්තිය නතර වෙනවා කියන්නේම සමස්ත ජාතියම අඩපණ කරනවා කියන කාරණාවයි.

මේ පිළිබඳව ඉදිරි වැඩසටහන් සහ වැඩපිළිවෙළ පිළිබඳ නිශ්චිතව ඉදිරිපත් කළ හැකි වන්නේ විදුලිබල මණ්ඩලයටයි.

 විදුලි බල මණ්ඩලයේ සියලු කොටස්වලට පාලනමය ප්‍රතිසංවිධානයක් අවශ්‍යයි
- සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු බලශක්ති ඇමති, ඉංජිනේරු පාඨලි චම්පික රණවක

1 විදුලිය බිඳවැටීම සම්බන්ධයෙන් ඉංජිනේරු සංගමය අකුරට වැඩ කරන ව්‍යාපාරයක සිටින අවස්ථාවක දී විදුලිය බිඳ වැටිම් ප්‍රශ්නයක් උද්ගත වෙයි කියලා ඒ අයම කිව්වා. ඒ ඉජිනේරුවන් නඩත්තු කටයුතුවලින් ඉවත් වෙන බව කිව්වා . ඉංජිනේරුවන්ගේ සහයෝගය නැතිව මේ දේවල් කරන්න අමාරුයි. මේ වන විට ඒ සම්බන්ධයෙන් විදුලි ඉංජිනේරුවන් යළිත් රාජකාරි කටයුතු ආරම්භ කර තියනවා. ස්වභාවෙන් විදුලි බිඳ වැටිම් වැනි දේවල් සිද්ධ වෙනවා. විශේෂයෙන් වෝල්ටීයතාවය වැඩිවිමෙන් අඩුවිමෙන් සහ සංඛ්‍යාත වැඩිවීමෙන් සංඛ්‍යාත අඩුවීමෙන් ගස් කඩා වැටීම, අකුණු ගැසීම් වැනි ප්‍රශ්න මේ ක්ෂේත්‍රයේ නිතර සිද්ධ වෙනවා. එහිදි ඒවා ප්‍රතිස්ථාපනය කරන්න ඉංජිනේරුවන් අවශ්‍යයි ඒ අය නැති වුණාම ප්‍රශ්න දුර දිග යනවා. ජනාධිපතිවරයා ඉංජිනේරුවන්ගේ ගැටලුව පිළිබඳව සාකච්ජාවක් පැවැත්වුවා. මේ විදුලිබල මණ්ඩලයේ පාලනාධිකාරියේ ලොකු ප්‍රශ්නයක් තියනවා මේ දේවල් වෙනස් වියයුතුයි.

විදුලිබල සම්පතට සාකච්ජාවකින් තොරව ගිවිසුම් ගහලා තව අවුරුදු හතළිහකටවත් බේරගන්න බැරි ආකාරයට විකුණා දැමීමකට විදුලිබල මණ්ඩලයේ බලධාරීන් දෙදෙනකු කටයුතු කර ගෙන යනවා. එයත් සමඟ විදුලි බල මණ්ඩලයේ අභ්‍යන්තර ගැටුම් ඇති කරන්න වෙනත් පැත්තකට අවධානය යොමු කරවන්න විශ්‍රාමික වයස වැනි වෙනත් බාහිර ප්‍රශ්න මතු කරනවා. ඒ කාරණා වලට පරිපාලනය වග කියන්න ඕන. වැඩකරන්න පුළුවන් වාතාවරණයක් නිර්මාණය කරන්න ඒ අය දැනගන්න ඕන. සේවකයන්ට නිලධාරීන්ට වැඩකරන්න බැරි පරිසරයක් නැතිවෙලා තියනවා. කිසිම සාකච්ජාවකින් තොරව වයඹ වෙරළේ තියන සුරක්ෂා සූර්ය බලශක්තිය වෙනත් සමාගමකට විකුණන්න හදනවා. එවැනි ක්‍රියාවන්ට විරුද්ධව ඉජිනේරුවන් නැඟී සිටියාම එහි අවසාන ප්‍රතිඵලය එන්නේ ජනතාවට. අනෙක් කාරණාව මේ දේවල් කිරිමෙන් ජාත්‍යන්තර වශයෙන් ගැටලු ඇති වෙලා තව අවුරුදු හතළිහකටවත් මේ ගැටලු විසඳන්න නොහැකි වීම මෙහි ඇති බැරෑරුම් තත්ත්වය.

2 කඩාකප්පල්කාරි ක්‍රියාවක් කියලා කියන්නේ කලින් දැනුම්දීමකින් තොරව කු‍මන්ත්‍රණකාරී ක්‍රියාවක් සිදුකළහොත් පමණයි. විදුලි ඉංජිනේරුවෝ කලින්ම ඒ ගැන කිව්වා; ඒ අය නඩත්තු කටයුතු වලින් ඈත්වෙනවා කියලා කිව්වා. අත්දැකීම් තියන අය දැනගන්න අවශ්‍යයි මේ වගේ විදුලිය බිඳවැටීම වැනි දේවල් වෙනවා කියන කාරණාව. මමත් හිටපු ඇමැතිවරයෙක් ලෙස අදාළ විෂය දන්න නිසා මමත් කිව්වා මේ වගේ විදුලිය බිඳවැටීමක් වැනි දෙයක් වෙන්න පුළුවන් කියලා. පොඩි බිඳවැටීමක් වුණා කියලා රටේම විදුලිය කඩාකප්පල් වෙන්නේ නැහැ.

නමුත් ප්‍රධාන විදුලි සැපැයුම් ජාලයක 220 විදුලි පද්ධතියක හෝ ප්‍රධාන විදුලි සැපැයුම් යම් බලාගාර අක්‍රීය වීමක් වුවහොත් තීරණාත්මක අවස්ථාවකදි රටේ විදුලි බිඳ වැටෙනවා. පැලවත්තේ තියන පද්ධති මෙහෙයුම් මධ්‍යස්ථානය විසින් මේ විදුලිය බිඳවැටීමත් සමඟ ක්‍රියාත්මක වෙන්න ඕන; පද්ධති මෙහෙයුම් මධ්‍යස්ථානය ඉංජිනේරුවන්ගේ සේවාවන් කඩා වැටුණහොත් සමස්ත පද්ධතිය කඩාවැටෙන්න පුළුවන්

3 ජාතික ආරක්ෂාවට අද තියන ලොකුම ප්‍රශ්නය ගෑස් සම්පත සහ විදුලිය සම්පත රටකට විකිණිමයි. සුළං සහ සූර්ය බලශක්තිය තව රටකට විකිණීම සිදුවුණා. මේ රටේ ජාතික ආරක්ෂාවට තියන ලොකුම ගැටලුව මේ දේවල්.

ගෑස් පිළිබඳව බල අධිකාරිය වෙන රටකට දුන්නාම ඒ සමාගමට හමුදා පාලනයකින් තොරව මේ රට ඒ බලය ලබාදුන් රටට සම්පූර්ණයෙන් පාලනය කරන්න පුළුවන්. 2002දී ඇමරිකා එක්සත් ජනපදයේ එවැනි දෙයක් සිදු වුණා. කැලි‍ෆෝනියානු විදුලි මාෆියාව කියලා රටක් පාලනය කරන්න විදුලි බලය යොදා ගන්නේ මෙහෙමයි කියලා අදත් අපි ඒ ගැන කතා කරනවා.

පුනර්ජනනි බලශක්තිවලදී තව අවුරුදු 30 හෝ 40ක් යන තුරු ප්‍රයෝජනය ගන්න තියන දේවල් එක් රටක් යටතට දුන්නා ම අපිට අපේ භෞමික අඛණ්ඩතාව නැතුව යනවා. එක් රටක් කියන දේ නැතිවී යනවා. ජාතික ආරක්ෂාව නැති වෙලා යනවා. ජාතික ආරක්ෂාව කියන්නේ සෛවරීත්වය ආරක්ෂා කිරීමයි. සෛවරීත්වය ආරක්ෂා වෙන්නේ නැතුව ජාතික ආරක්ෂාවක් ආරක්ෂා කරන්නේ කොහොමද?

4 නව ක්‍රමවේදයන් ක්‍රියාත්මක කිරීම පිළිබඳව ලංකා විදුලිබල මණ්ඩලයේ දිගුකාලින සැලැසුම්වල තියනවා. ජාවාරම්කාරයෝ තුන් හතරදෙනා හැමදාම බාධා කරන නිසයි ඒවා ක්‍රියාත්මක කිරීම පිළිබඳව ගැටලු මතුවෙලා තියෙන්නේ;. එයට අමතරව අපේ රජය කාලයේ අපි දියත් කළා. සූර්යය බල ශක්ති පද්ධතිය 2010 වසරේදී අපි ඇති කළා. එය සාර්ථකව අද වන විට ගෙවල් 30000ක සාර්ථකව ක්‍රියාත්මක වීම සිදුවෙනවා. මෙගාවොට් 300කට අධික විදුලි බලයක් එයින් සැපයෙනවා. ඒ වගේම අද රටේ විදුලිය දවල්ට කැපෙන්නේ නැත්තේ ඒ නිසයි. අපේ ආණ්ඩුව කාලයේ අනුගමනය කළ අනෙක් කාරණාව ඉල්ලුම කළමනාකරණයයි.

ඉල්ලුමට බලාගාර හැදීම නොවෙයි කරන්න ඕන. ඒ අනුවයි අපිට 2012 වසරේ සිට විදුලිය කැපෙන එක නැවැත්වීමට හැකිවුණේ. නොයෙක් ක්‍රමවේදයන් මගින් කාර්යක්ෂමතාව ඉහළ නැංවිය යුතුයි. ඒ වැනි ක්‍රමවේදයන් ක්‍රමවත්ව ක්‍රියාත්මක කළාම සාර්ථක ප්‍රතිඵල නෙළා ගන්න පුළුවන්. විදුලි බල මණ්ඩලයේ මුල්‍ය, බලශක්ති සහ අනෙක් සියලු කොටස්වලට පාලනමය ප්‍රතිසංවිධානයක් අවශ්‍යයි.

එසේ නොමැතිව මේ දේවල් කරන්න බැහැ. පාලන අධිකාරියට පත්වෙලා ඉන්න අය දුෂිතයන්. දුෂණ චෝදනාවලට නඩු තිබුණ අය. ඒ වැනි හොරු එක්ක විදුලිබල මණ්ඩලය ගොඩනඟන්න බැහැ. එයයි මුලින්ම වෙනස් කිරීමට අවශ්‍ය වෙන්නේ.

5 ඔව්. ජල සැපැයුම් ගමනාගමනය ඇතුළු සියලු ක්ෂේත්‍රයන්ට බලපානු ලබනවා. මුළු රටේම ගෑස් සම්පත කිසිදු ප්‍රසම්පාදනයකින් තොරව ලබාදීමෙන් එයට එන ප්‍රතික්‍රියා ගැන කතා කරලා වැඩක් නැහැ.

මුලින් ක්‍රියාව ගැන කතා කරන්න අවශ්‍යයි. මුදල් අමාත්‍යාංංශයේ අයටයි විදුලි බලමණ්ඩලයේ ප්‍රධානින්ටයි පාර්ලිමේන්තුවට නොදන්වා ගිවිසුම් ගහන්න බැහැ; ඒ නීති විරෝධී ක්‍රියාව නිවැරදි කරන්නේ නැතුව ක්‍රියාව ගැන කතා නොකර ප්‍රතික්‍රියාව කතා කරලා වැඩක් නැහැ .

Comments