අස්වාභාවික කාන්තා මරණවල සුල මුල පර්යේෂණයකින් හෙළි වෙයි | සිළුමිණ

අස්වාභාවික කාන්තා මරණවල සුල මුල පර්යේෂණයකින් හෙළි වෙයි

ස්වාභාවික කාන්තා මරණ සම්බන්ධව ලංකාවේ පමණක් නොව අග්නිදිග ආසියානු කලාපයේම මේ වනතුරුත් පුළුල් විධිමත් සමාජ පර්යේෂණයක් සිදුකර තිබුණේ නැත. ඒ විසල් හිදැස විශාල දැනුම් ප්‍රමාණයක් සමඟ පූරණය කරමින් වර්ෂ 2013 සිට 2015 දක්වා ලංකාවේ පළාත් පහක සිදු වූ අස්වාභාවික කාන්තා මරණ ලෙස ගැනෙන හදිසි අනතුරු , සියදිවි නසාගැනීම් සහ ස්ත්‍රී ඝාතන පිළිබඳ ප්‍රමාණාත්මකව හා ගුණාත්මකව කළ විද්‍යාත්මක විශ්ලේෂණයකින් අනතුරුව පර්යේෂණය කෘතියක් එළි දක්වා තිබේ. එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ විසින් සපයන ලද ප්‍රතිපාදන මත කැලණිය විශ්විද්‍යාලයීය පර්යේෂණ කණ්ඩායමක් විසින් සිදු කළ මෙම පර්යේෂණයෙන් මේ රටේ කාන්තාවගේ සැබෑ සමාජ ජීවිතයේ දුර්වර්ණ වූ පැතිකඩක් විවර කර තිබේ.

පර්යේෂණයෙන් හෙළිදරවු වන සමහර දත්ත ගොනු අපව කම්පා කරන්නේය. ලංකාවේ කාන්තාවන්ගේ අස්වාභාවික මරණ අතර ඉහළම අගය සිය දිවි හානිකර ගැනීම්ය. එසේ සිය දිවි හානිකර ගන්නා අයගෙන් 41% සිට 46% දක්වා වයස අවුරුදු 21 -40 අතර සිටිනා සමාජ වගකීමක් දැරීමේ නිශ්චිත වගකීම් සහිත පිරිස්ය. මේ සිය දිවි නසා ගන්නා කාන්තාවන් අතරින් 60%ක් විවාහක කාන්තාවන්ය.

අප නොසිතන මානයක් හෙළි කරන දත්ත සමුච්චය එළි දකින්නේ කාන්තා ඝාතන සම්බන්ධවය. ශ්‍රී ලංකාවේ කරන ලද මෙම අධ්‍යයනයෙන්, ස්ත්‍රී ඝාතනවලින් 84%ක් සිදුවන්නේ ඔවුන් දන්නා හඳුනන සමීපතමයන් අතිනි. එයින් 75%ක් සිදුවන්නේ නිවෙස් තුළය. මේ මිනී මැරුම්වලින් 47% සිදුවන්නේ මහ දවල්ය. මෙම ඝාතන ප්‍රමාණයෙන් 62%ක් සිදුකර ඇත්තේ ස්වාමි පුරුෂයන් හෝ පවුලේ සහ තමන්ගේ සමීපතමයන් විසිනි.

එහෙත් මේ අපරාධ රැස අධිකරණ ක්‍රියාදාමයේ ඇති ව්‍යුහාත්මක දුර්වලතා හේතුවෙන් මෙන්ම අපරාධ යුක්ති විනිශ්චය පද්ධතියේ ඇති ප්‍රධානම අභියෝගය වන සෑම වසකරම තීන්දු නොදුන් නඩු ගොඩගැසීම හේතුවෙන් නොවිසඳී ඇති ආකාරයත් පර්යේෂකයන් හෙළිදරව් කරන්නේය. වර්ෂ 2015 -2017 වකවානුව තුළ රටේ සිදුවූ සමස්ත මිනීමැරුම්වලින් සියයට 95ක් පමණ වසරකට පසුවත් පද්ධතිය තුළ නොවිසඳී පවතින බව පර්යේෂකයෝ සිය නිරීක්ෂණ දක්වති. එමෙන්ම හදිසි කෝපය සහ මානසික රෝග පිළිබඳ නීතියේ පවතින නිර්වචන උපයෝගී කර ගනිමින් මෙවැනි සිදුවීම්වලදී ඝාතකයන් නිර්දෝෂී වීමේ පසුබිම ද පර්යේෂකයෝ පෙන්වා දෙති. කාන්තාවන්ගේ අස්වාභාවික මරණ සම්බන්ධව කෙරෙන වාර්තාකරණය බොහෝ විට ගැටලු සහතගත බවත්, ස්වකීය පාඨක ප්‍රජාව උත්තේජනය කිරීමේ අභිලාෂයෙන් සියලු සදාචාර අනුමිතීන් උල්ලංඝනය කරමින් කෙරෙන වාර්තාකරණය ඉහළ බව ද පර්යේෂකයෝ හෙළි කරති.

සමාජ සංවර්ධනය විෂයෙහි ප්‍රතිපත්ති සම්පාදනය සඳහා අත්‍යාවශ්‍ය දැනුමක් එක් කළ මේ අධ්‍යයනයට මූලික වන්නේ කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය අධ්‍යයනාංශයේ මහාචාර්ය අනුරුද්ධි එදිරිසිංහය. ඇය සමඟ එක්වන කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා විෂය ප්‍රාමාණිකයන් ඇතුළු වෘත්තිකයින් කණ්ඩායමක් එක්ව කළ පර්යේෂණ පත්‍රිකාවක් විධිමත් නිබන්ධනයක් දක්වා වැඩි දියුණු කරමින් එළිදැක්වූ මෙම පර්යේෂණය කෘතිය පිළිබඳ මහාචාර්ය අනුරුද්ධි එදිරිසිංහ සිළුමිණට මෙලෙස අදහස් දැක්වූවාය.

“ මම අධිකරණ වෛද්‍ය විශේෂඥවරියක්. මා මේ ක්ෂේත්‍රයට එන්නෙ 2000 දී. 2003 දී අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශාරද උපාධිය ගන්නවා. එඩිම්බරෝ සරසවියෙ කළ පුහුණුවීම්වලින් පස්සේ වර්ෂ 2006 දී තමයි මා ලංකාවට එන්නෙ.

අපේ අධිකරණ වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රයෙ කාන්තාවන් අඩුයි. එහි දී ස්ත්‍රී දූෂණය සහ ළමා අපයෝජනය වැනි සිදුවීම්වලදි පිරිමි වෛද්‍යවරයකුට කියන්නෙ නැතිව කෙරෙන මගහැරීම් සම්බන්ධව සිදු කළ මැදිහත්වීම්වලදී කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයේ ස්වරූපය මම හරියටම අත්වින්දා.

මේ වකවානුවෙදී තමයි අපි අධිකරණ වෛද්‍ය විද්‍යා සංගමය වශයෙන් එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල හා එක්ව ස්ත්‍රී දූෂණ සහ ළමයින්ගේ ලිංගික අපයෝජන පරීක්ෂාවේ දී අනුගමනය කළ යුතු නිර්දේශ සහිත ජාතික මාර්ගෝපදේශනයක් හදන්නේ. මේ අත්දැකීම් එක්ක කාන්තා හිංසනයට එරෙහිව කටයුතු කරන විවිධ පාර්ශ්ව සහ කණ්ඩායම් සමඟ සම්බන්ධකම් ගොඩනැඟුණා.

අස්වාභාවික කාන්තා මරණ සම්බන්ධව වෙන් වූ දත්ත සමුච්චයක් සහිත පර්යේෂණයක් කෙරී නැති බව මා දැනුම්වත් වන්නේ ඒ වකවානුවේදී. ඒ, කොළඹ විශ්වවිද්‍යලයීය නීති පීඨයේ පීඨාධිපතිනිය මෙන්ම කාන්තාව වෙනුවෙන් ක්‍රියාකාරීව කටයුතු කරන මහාචාර්ය සාවිත්‍රි ගුණසේකරගෙන්.ඇය තමයි මේ මූලික පෙලඹවීම කරනු ලබන්නේ.

ඒ අනුව මා සහ අපේම පීඨයේ විශේෂඥ අධිකරණ වෛද්‍ය මහාචාර්යවරියක් වූ ඉන්දිරා කිතුල්වත්ත පර්යේෂණය ආරම්භ කළා. මුලින්ම රාගම අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයට එන තොරතුරු පදනම් කරමින් අස්වාභාවික කාන්තා මරණ ගැන අවුරුදු 3ක පමණ අතීතයට ගිය දත්ත ගොනු අධ්‍යයනය කරන්න පටන් ගත්තා. එම දත්ත ගොනුවලට හැමෝටම ප්‍රවේශවීමට නොහැකි වුණත් ජාතික අවශ්‍යතාවක් වෙනුවෙන් ඇරැඹු මේ මූලික අධ්‍යයනයට පහසුකම් සැලසුණා. ඒ පර්යේෂණ අත්දැකීම ඔස්සෙයි මේ කටයුත්ත ජාතික වශයෙන් කරන්න අපි සැලසුම් කළේ.

එය විශාල පිරිවැයක් සහිත පර්යේෂණ කාර්යයක්. එහෙත් අග්නනිදිග ආසියානු කලාපය තුළම සිදුවී නැති මෙම පර්යේෂණය සඳහා අප පර්යේෂණ යෝජනාවක් සකස් කර එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලට යොමු කළාම ඔවුන් මේ සඳහා අරමුදල් සපයන්න කැමැති වුණා. අධ්‍යයනය සඳහා තෝරා ගත්තේ පළාත් පහක්. අධිකරණ අමාත්‍යාංශයෙන් සහ පොලිස්පතිවරයාගෙන් ලද විශේෂ අවසරය මත එම දත්ත ගොනු අධ්‍යයනය කරන්න හැකි වුණා. කාන්තාවක් මරණයට පත් වු පසු ඇය මැරුණේ කොහොමද යන්න පමණක් හොයලා වැඩක් නෑ. අධිකරණ වෛද්‍යවරු ලෙස අපේ වගකීම තමයි උසාවියට අවශ්‍ය අයුරින් සිද්ධියට අදාළ විද්‍යාත්මක පදනමක් මත තොරතුරු ලබා දී, මරණයට හේතුව විද්‍යාත්මක කරුණු මත තහවුරු කිරීම. එහෙත් ඒ මරණයෙන් සිදුවන සමාජ ආර්ථික මෙන්ම මානසික ව්‍යසනයේ ගැඹුර සොයා යෑමයි මෙම පර්යේෂණයෙන් සිදු කළේ. ඒ වගේම මෙම කාන්තා මරණ මාධ්‍ය වාර්තා කරන ආකාරය ගැනත් අධ්‍යයනය කළා.

වර්ෂ 2015 දී පර්යේෂණ යෝජනාව ලිවීමෙන් අනතුරු 2016 දී දත්ත එකතු කිරීම පටන් ගත්තා. 2013 -15 යන වසර 03 තුළ සිදුවීම් තමයි අපේ අධ්‍යයන කාල පාරසය වුණේ. මූලික පර්යේෂණ පත්‍රිකාව 2018 දී එක්සත් ජාතීන්ගෙ ජනගහණ අරමුදල එක්ක ප්‍රකාශයට පත් කළා. මේ පර්යේෂණ කෘතිය එළි දැක්වෙන්නේ එම තොරතුරු තවත් යථාවත් කිරීමෙන් අනතුරුවයි. “මෙම අධ්‍යයනය ප්‍රමාණාත්මක සහ ගුණාත්ම වශයෙන් දියත් කර විශාල පර්යේෂණ සාහිත්‍ය අධ්‍යයනයක් සහිතව කරන්න අවශ්‍ය ශාස්ත්‍රීය සංවාදය මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ ප්‍රධානත්වයෙන් පිහිටුවනු ලැබූ ස්ත්‍රී පුරුෂ සමාජ භාවය පිළිබඳ අධ්‍යයන කේන්ද්‍රයේ වෘත්තිකයන් ලබා දුන් දායකත්වය ගැනද මහාචාර්යවරිය කියන්නීය. මහාචාර්ය අනුරුද්ධි එදිරිසිංහගේ ඒ පර්යේෂණ නිබන්ධනය මේ වනවිට අග්නිදි ආසියානු කලාපයටම නව දැනුමක් එක් කර තිබේ. කැලණිය විශ්විද්‍යාලයේ උපකුලපතිනිය ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා පවසන පරිදි මේ පර්යේෂණ පත්‍රිකාව අපට විවර කරන්නේ වෙනත් දැනුමකි. කාන්තා ඝාතන බොහොමයක් සිදු වෙන්නේ නිවෙස තුළය. දන්න සමීපතමයන් අතිනි. එසේ නම් ප්‍රශ්නය තිබෙන්නෙ නිවෙස තුළ ය. " මා හිතනවා විද්‍යාඥවරියක් ලෙස මීට සමගාමීවම පිරිමි අය ගේ අස්වාභාවික මරණ සම්බන්ධවත් විධිමත් විද්‍යාත්මක පරීක්ෂණයක් තිබුණා නම් වඩාත් උසස් විදිහට මේ දත්ත සමුච්ච සංසන්දනාත්මකව විශ්ලේෂණය කරන්න තිබුණා කියලා. මේ පර්යේෂණය අපට වැදගත් වෙන්නේ අපව නැවතත් පුළුල් සංවාද ක්ෂේත්‍රයකට යොමු කරලා තිබෙන නිසා.“ මහාචාර්ය නිලන්ති ද සිල්වා කීවාය.

ශ්‍රී ලංකා විවෘත විශ්විද්‍යාලයේ නීති පීඨයේ මහාචාර්ය කමේනා ගුණරත්න මේ නව විෂය දැනුම සම්බන්ධව මෙසේ කතා කළාය.

“ ලංකාවේ හෝ වෙන රටවල සිදු කළ පර්යේෂණ වලින් අප දැක තිබෙන්නෙ සාමාන්‍යයෙන් කාන්තා ඝාතන හෝ අතවර වෙන්නේ ඒ කාන්තාව හඳුනන කෙනකු අතින්. පිරිමි අය ඝාතනය වන්නෙ ආගන්තුකයන් අතින්. එහෙත් ඒ සම්බන්ධව ලංකාව තුළ කිසිම විද්‍යාත්මක අධ්‍යයනයක් කර තිබුණෙ නෑ. මේ පර්යේෂණයෙන් හෙළි වුණේ ඒ දැනුම වීම වැදගත්. මේ කෘතිය එළි දැක්වීමේ දී මා එංගලන්තයේ දී කළ අධ්‍යයනයක් ගැන මතු කළා. කාන්තා ඝාතන ගැන හැම උසාවියෙම විභාග වූවත් මේ හැම මරණයක්ම සිදුවන යම් රටාවක් තිබෙනවා. ඒ රටාව කිසිම කෙනෙක් හඳුනාගෙන නැහැ.මේ පර්යේෂණ කෘතියේ සඳහන් වෙන විශේෂ කාරණාවක් තිබෙනවා. සැකකරුවාට යම් කිසි නිදහසට කාරණාවක් ඉදිරිපත් කර නිදහස් වෙන්න පුළුවන්. වැඩියෙන්ම එසේ ඉදිරිපත් වෙන නිදහසට කාරණය හදිසි කෝපයයි. නිදහස සඳහා ඉදිරිපත් කෙරෙන ඒ කාරණාව මේ කාලයේ දී ප්‍රශ්න කරන්න වෙනවා. නෛතික හිදැස් අතරින් මේ ඝාතන සැකකරුවන් නීතියෙන් නිදහස් වෙනවා යන්න ඒ පර්යේෂණ නිගමන අතරෙ තිබෙනවා. පොදුවේ අපරාධ නීතිය ප්‍රතිශෝධනයක් කරා යා යුතුයි යන හැඟීම මට තිබෙනවා. නඩු ප්‍රමාද වීම මඟින් සිදුවන යුක්තිය ප්‍රමාද වීම වින්දිතයන්ට වගේම චූදිතයන්ටත් එක ලෙසම බලපාන බව අවබෝධ වෙන්න මේ පර්යේෂණයත් වැදගත්.“

ආචාර්ය සේපාලි කෝට්ටෙගොඩ කාන්තාව සහ මාධ්‍ය සාමුහිකයේ විධායක අධ්‍යක්ෂවරිය ය. සිය දැනුම සහ ශ්‍රමය ක්‍රියාකාරීව කාන්තා අභිවෘද්ධිය වෙනුවෙන් කැප කළ ආචාර්ය සේපාලි කෝට්ටෙගොඩ ද සිය අදහස් දැක්වූවාය.

“ පර්යේෂණයේ තිබෙන වැදගත්කම තමයි නෛතික, වෛද්‍ය විද්‍යාත්මක මෙන්ම මාධ්‍ය පැත්තෙන් කාන්තාව සහ දරුවන් කෙරෙහි ඇති වී තිබෙන ප්‍රචණ්ඩත්වය ගැන දත්ත එකතු කර විශ්ලේෂණය කරමින් පෙන්වා දීම සහ ඒ පර්යේෂණයෙන් කොයි විදිහට ද මේ අංශ ප්‍රතිචාර දක්වා තිබෙන්නෙ යන්න.

මෙතනින් අප විමසා දැනගත යුතු කාරණා බොහොමයි. කාන්තා ඝාතන වැඩි වශයෙන් සිදුවන්නේ තමන්ගේ සමීපතමයකුගෙන් පහර කෑම නිසා. එයට හේතු දක්වන්නේ හදිසි කෝපය. එසේ විය හැකි ද. මෙතැන තිබෙන ස්ත්‍රී පුරුෂ සමාජ භාවය සම්බන්ධ ගැටලුව විචක්ෂණව විමසිය යුතුයි. කාන්තාවන් හදිසි කෝපයෙන් මිනිස්සු මරන්නෙ නෑ. 

ඒ වගේම හදිසි අනතුරුවල දී මිය යන වයසක කාන්තා ප්‍රතිශතය වැඩියි. ලංකාව වයසක ජනගහනය වැඩි රටක්. ඇයි විශේෂයෙන්ම එහෙම වෙන්නෙ කියලා නැවත ප්‍රතිපත්ති සම්පාදකයන් විසින් විමසිය යුතුයි.

මේ පර්යේෂණයෙන් විශේෂ දැනුමක් සමාජයට ලබා දෙනවා. ඒ දැනුම සමාජ තුළ ප්‍රායෝගික කරගැනීමේ වගකීමක් පුරවැසියන්ට, සියලුම ප්‍රතිපත්ති සම්පාදකයන්ට තිබෙනවා. ඒකයි අප කියන්නෙ. මේ පිළිබඳ තිබෙන දැනුම්වත් බව මදි. ඒ සම්බන්ධව මේ රටේ මාධ්‍ය ඇතුළු සෑම පාර්ශ්වයක්ම වගකීමක් ගන්න ඕන. මීට වඩා ප්‍රබුද්ධ සංවාදයක් මේ සාමාජ කාරණා පිළිබඳ අවශ්‍යයයි. මේ විද්වත් වෘත්තිකයෝ සමාජට යමක් පෙන්වා දෙමින් සිටිති.

සොයා ගත් දැනුම ජීවිත තුළ ප්‍රායෝගික කර ගැනීමය. පීතෘ මූලික සංකල්පය මහා සංස්කෘතික ව්‍යාධියක් නොවේ. ගැටලුව වන්නේ ඒ සමාජයේ ඇති පසුගාමී විහීන ලක්ෂණ නඩත්තු කර පවත්වා ගැනීම කාන්තාව අතින්ම සිදුවීමය. වැඩිපුරම ගැහැනුන් මරා දැමෙන්නේ නිවෙස් තුළ සමීපතමයින්ගේ මුග්ධකම් නිසා බව විද්‍යාත්මක දත්තයක් ලෙස එළිදැක ඇත්නම් තමන්ට පහර දී නොමරා මරන මිනිසා සමඟ ජීවත් නොවීමේ තීන්දුව මරණයට පෙර ලබා ගැනීමේ පෞරුෂයක් නොතිබීම ආකල්පවල ඇති ගැටලුවකි.

Comments