ආණ්ඩුවේ දෙවසරක ශේෂ පත්‍රය | Page 2 | සිළුමිණ

ආණ්ඩුවේ දෙවසරක ශේෂ පත්‍රය

කොළඹ විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යනාංශයේ මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි, කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය සිරිමල් අබේරත්න,  දේශපාලන විශ්ලේෂක, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මිල්ටන් රාජරත්න සහ දේශපාලන විශ්ලේෂක දීප්ති ළමාහේවා

රටේ වාසනාවට මේ ආණ්ඩුව ජනප්‍රිය ආණ්ඩුවකි. ජනප්‍රිය නොවන ආණ්ඩුවක් තිබුණා නම් මේ වන විට ආණ්ඩුව බිඳ වැටී තිබීමටද පුළුවන. ඒ නිසා ආණ්ඩුව උත්සාහ කළ යුත්තේ මේ අර්බුද පහව යන තෙක් අල්ලාගෙන  සිටීමය. 
-  මහාචාර්ය  නිර්මාල් රංජිත් දේවසිරි

මේ රට මුහුණ දී ඇති ගැටලුව අපේ රටට සීමා වූවක් නොවන බව බොහෝ දෙනා දන්නා කාරණයකි. තමන්ට කිසිසේත් මේ ගැටලුව මීට වඩා හොදින් කළමනාකරණය කළ නොහැකි බව ද ඔවුහු දනිති. බලය තිබුණා නම් තමන් කෙතරම් අපහසුතාවට පත්වනවාද යන්න ඔවුහු හොඳින් දනිති. 
- දේශපාලන විශ්ලේෂක  දීප්ති ළමාහේවා

වත්මන් ආණ්ඩුව බලයට පත්ව වසර දෙකක් අවසන්ය. ජනාධිපතිවරණයේ ජයග්‍රහණයෙන් අනතරුව මාර්ග දෙපස සිතුවම් ඇඳි, පුරන් කුඹුරු අස්වැද්දීමට උරදුන් තරුණ තරුණියන් පාස්පෝට් පෝලිම්වල සිටින්නේ ඇයි දැයි සොයා බැලීය යුතු බව අගමැතිවරයා පසුගිදා ප්‍රකාශ කළේය. බඩු මිල අහස උසට නැඟ ඇත. ආණ්ඩුවට තුනෙන් දෙකක බහුතර බලයක් හිමි වුවද කඩා වැටී තිබුණු ආර්ථිකය සහ හදිසියේ පැමිණි කොවිඩ් වසංගතය හා ඊට ප්‍රතිචාර දැක්වීමට ආණ්ඩුවට සිදු වීම මේ සියලු සිදුවීම් පිටුපස ඇති තිත්ත ඇත්තය. මේ යථාර්ථය කුමක් වුව ආණ්ඩුවේ වසර දෙකක ශේෂ පත්‍රය පිරික්සීමේදී අධික ණය බරක් හා උද්ධමනකාරී වාතරණයක් තුළ ආණ්ඩුව පිළිබඳ නොසතුටක් මතුව තිබීම අහඹුවක් නොවේ. එසේ වුව තවමත් හදවතේ කොනක ආණ්ඩුව පිළිබඳ සුබවාදී බලාපොරොත්තුවක් ජනතාව තුළ ඇති නිසාය. ගෙවී ගිය දෙවසරක කාලය පිළිබඳව මධ්‍යස්ථ විද්වතුන්ගේ අදහස් විමසා බැලීමට තීරණය කළේ එනිසාය.

දේශපාලන විශ්ලේෂක, කොළඹ විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයනාංශයේ මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරිගේ අදහස මෙසේය

කිසියම් කෙනකු විසින් ස්වෙච්ඡාවෙන් නොකරන දෙයක් බාහිර සාධකයක බලකිරීමකින් සිදු වන්නේ නම් එතැන ඇත්තේ අධිකාරී බලයකි. රටක මෙලෙස ක්‍රියා කිරීමේ දේශපාලනමය අධිකාරී බලය ඇත්තේ ආණ්ඩුවටය. යම් තැනැත්තකු මෙම අධිකාරී බලයට යටත්ව ඒ මත ක්‍රියාත්මක වීමේදී අතෘප්තියක් නැතිනම් අසහනයක් ජනිත කරයි. එය සාමාන්‍ය දෙයකි. නමුත් මෙම අසහනය දිගින් දිගටම වර්ධනය වන විට පවතින අධිකාරී ව්‍යුහයට විනාශකාරී ප්‍රතිඵල ළඟා කරයි. ජනතා නැඟී සිටිම්, කැරලි කොලාහල, විරෝධතා ආදීය ලෙස මතුවන්නේ මේවාය. මෙවැනි තත්ත්වයක් ඇති වූ විට කිසියම් බල අධිකාරීයකට එය දිගුකාලීනව පවත්වාගෙන යා නොහැකිය. මන්දයත් මර්දන ක්‍රියාමාර්ගවලින් එය දිගින් දිගටම පාලනය කළ නොහැකි බැවිනි. ඒ සඳහා විශාල වියදමක් ද දැරීමට සිදු වේ. එනිසා අධිකාරී බලයට යටත්වන පිරිසගේ එකඟතාවය මෙහිදී වඩා වැදගත්වේ. ඒ සඳහා වැඩි අතෘප්තියකින් තොරව අධිකාරී බලය පවත්වාගෙන යෑම අවශ්‍යය. එසේ කිරීමට නම් අධිකාරී බලය ජනප්‍රිය කළ යුතුය. එනම් එම අධිකාරී බලය මහජනයා අතර පිළිගැනීමට ලක්විය යුතුය. එනිසා ජනප්‍රිිය ආණ්ඩුවක් යනු මිනිසුන්ගේ මානසික සමාජීය චර්යාව සමඟ සමීප සම්බන්ධයක් ඇති කරගෙන තිබෙන ඒමත මෙහෙයවිය හැකි සංස්කෘතියකි. එවැනි වූ ආණ්ඩුවකට ජනතාව අසහනයට පත් නොකර පැවතිය හැකිය.

මේ වන විට ලංකාවේ පවතින තත්ත්වය වන්නේ විවිධ පැති ගණනාවකින් මේ අසහනය වර්ධනය වී තිබීමය. කොවිඩ් වසංගතය, නැව ගිලීයෑම, ගෑස් අර්බුදය, බඩුමිල ඉහළ යෑම, ආර්ථික අර්බුදය, දේශපාලන අර්බුදය, නාය යාම්, ගංවතුර, විදුලිය බිදවැටීම වැනි දේට ආණ්ඩුව ඍජුවම වගකිව යුතු නැති වුවද (පසුගිය වසර දෙක තුළ සිදු වූ බොහෝ දේ මේ ආණ්ඩුව නිසා සිදු වූ දේ නොවේ. එය වසර ගණනාවක් තිස්සේ වර්ධනය වෙමින් ආ තත්ත්වයන්ය.) එමඟින් ජනිත කරන අසහනයේ බලවත්ම ගොදුර බවට පත්වන්නේ වත්මන් ආණ්ඩුවය. මෙවැනි වාතාවරණයක ආණ්ඩුවක් පවත්වාගෙන යාම අතිශය දුෂ්කර වූ කාර්යයකි. මෙවැනි දුෂ්කර තත්ත්වයක් යටතේ වුව ආණ්ඩුවක් දීර්ඝකාලීනව පැවතීමට නම් එය ජනප්‍රිය ආණ්ඩුවක් විය යුතුය. එසේ වුවත් එය සාමාන්‍ය ජනප්‍රියතාවක් තිබූ පමණින් කළ නොහැකිය. එනම් “මේ මොන ප්‍රශ්න තිබුණත් ආණ්ඩුව මොනවහරි කරයි” වැනි විශ්වාසයක් භක්තියක් පැවතිය යුතුය. රටේ වාසනාවට මේ ආණ්ඩුව එවැනි ජනප්‍රිය ආණ්ඩුවකි. ජනප්‍රිය නොවන ආණ්ඩුවක් තිබුණා නම් මේ වන විට ආණ්ඩුව බිඳ වැටී තිබීමටද පුළුවන. ඒ නිසා ආණ්ඩුව උත්සාහ කළ යුත්තේ මේ අර්බුද පහව යන තෙක් අල්ලාගෙන සිටීමය. හදිසියේ ආණ්ඩු පෙරළුනා කියා මේ තිබෙන ප්‍රශ්නවලට විසඳුම් ලැබෙන්නේ නැත.

දේශපාලන විශ්ලේෂක, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මිල්ටන් රාජරත්න දරන අදහස මෙසේය

2019දී ගෝඨාභය රාජපක්ෂයන් ජනාධිපතිවරයා ලෙස පත්වනවිට ශ්‍රී ලංකාවේ ආර්ථිකය පැවතියේ එතරම් සුබදායී තත්ත්වයක නොවේ. 2015 වනවිට සීයට පහමාරක ආර්ථික වර්ධන වේගයක් පෙන්නුම් කළ රට වෙනත් කිසිදු බාහිර ප්‍රශ්නයක් හෝ අභ්‍යන්තර ප්‍රශ්නයක් හෝ නැතිව 2019 වන විට ආර්ථික වර්ධනවේගය දෙකයි දශම තුනකට පහළ බැස තිබුණි. ඒත් එක්කම විදේශ ණය ඩොලර් බිලියන හතේ සිට දහතුන දක්වා වර්ධනය වී තිබුණි. මෙය දළ දේශීය නිෂ්පාදිතය ලෙස සලකා බැලුවහොත් 2015 වන විට සියයට හැත්තෑවක තිබූ රාජ්‍ය ණය 2019 වන විට සියයට අනූ නවයද දක්වා වර්ධනය වී තිබුණි. ගෝඨාභය රාජපක්ෂයන් මේ රටේ ජනාධිපතිවරයා බවට පත්වන්නේ එවැනි වාතාවරණයකය. එසේ වුවත් ඒවන විට වැටුප් වැඩි කර, බඩු මිල ඉතාම අඩු ජීවත්වීම ඉතාම පහසු තත්ත්වයක පැවතියේය. නමුත් රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කර බඩු මිල අඩුවීම නිසා දෙපැත්තකින් ආර්ථික අර්බුදයක් නිර්මාණය කර තිබුණි. මීට අමතරව අනවශ්‍ය ලෙස රථවාහන ආනයනය කර රටට දරාගත නොහැකි ආර්ථික අර්බුදයක් නිර්මාණය වී තිබුණි. ඒ සමඟම නොසිතූ ලෙස කොවිඩ් වසංගතය ලොවපුරා වර්ධනය ‍ෙවමින් අපේ රටද ගිලගත්තේය. දරුණු ආර්ථික අඩියක සිටි රට තවත් ප්‍රපාතයට ඇද දමමින් ඊට අවශ්‍ය කරන එන්නත් සහ ඖෂධ වර්ග ගෙන්වීමට විශාල මුදලක් වියදම් කිරීමට ආණ්ඩුවට සිදු විය. මෙම වසංගතයේ ප්‍රතිඵලයක් ලෙස විශාල ලෙස විදේශගතව සිටි ශ්‍රමිකයන්ගේ රැකියා අහිමිව ගියේ. සංචාරක කර්මන්තය මුළුමනින්ම බිඳ වැටිණි. අපනයන අතිශයින් සීමා විය. මෙනිසා මෙරටට ඩොලර් බිලියන ගණනක් අහිමිව ගියේය.

පසුගිය දෙවසර තුළ වත්මන් ආණ්ඩුවට කටයුතු කිරීමට සිදු වූයේ එවැනි ඉතාම අවාසනාවන්ත තත්ත්වයකය. ආණ්ඩුව බලයට පත්වන විට තාප්පවල සිතුවම් අඳිමින් පුරන්කුඹුරු වවමින් විශාල උද්යෝගයකින් ජනතාව පාලනය පිළිගත්තේ බලාපොරොත්තු ගොන්නක් හදවතේ තුරුලු කරගෙනය. එහෙත් මේ වාතා වරණයත් සමඟ ඒ බලාපොරොත්තු එකින් එක බිඳවැටෙන්නට පටන් ගත්තේය. එවැනි වාතාවරණයකදී ආණ්ඩුවක් තීන්දු තීරණ ගත යුත්තේ හොඳින් සිතාබලා ඉතාම ප්‍රවේශම්කාරී ලෙසය. නමුත් මේ ගැටලු දෙස මතු පිටින් බලා පැළැස්තර දැමීමක් විනා අප වැටී සිටින අර්බුදයෙන් ගොඩ ඒමට විශ්ලේෂී හා දූර දර්ශී වැඩ පිළිවෙළක් ආණ්ඩුවට ඇති බව පෙනෙන්නට නැත.

කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය සිරිමල් අබේරත්නගේ මෙසේය

සෞභාග්‍යයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය සැලකීමේදී මෙම ආණ්ඩුව වෙනත් කිසිදු ආණ්ඩුවකට වඩා බොහෝ දේ කළ හැකිව තිබූ ආණ්ඩුවකි. රටේ ප්‍රගතිය අප විසින් මැනිය යුත්තේ ඔවුන් විසින් බලාපොරොත්තු වුණු දේවල් කෙතරම් දුරට ඉටු කිරීමට සමත්වීද යන්න මතය. පසුගිය දෙවසරක කාලය සැලකිල්ලට ගැනීමේදී ලෝකයේ අනෙකුත් රටවල් මෙන් කෝවිඩ් වසංගත තත්ත්වය හමුවේ කිසියම් පසුබෑමකට ලක්වීමට අපට සිදු විය. එසේවුවද ඉන් අනතුරුව ආණ්ඩුව රටේ ආර්ථිකමය පසුබිම ගොඩනැඟීමට ක්‍රියා කළ ආකාරය ප්‍රශ්නාර්ථයක් මතු කරයි. අපේ සමීප රටවල් කොවිඩ් අර්බුදය සමඟ ආර්ථික අතින් පසුබෑමකට ලක් වුවද ඔවුන් මේ සමඟ මතු වූ නව අවස්ථා හොඳින් තේරුම්ගෙන එක් එක් අංශවලින් ඉදිරියට පැමිණ ආර්ථික වශයෙන් ශක්තිමත් විය. නමුත් අපේ ආර්ථිකය තවතවත් දුර්වල විය. එහෙත් එය අපට වළක්වාගත හැකිව තිබූ තත්ත්වයකි.

දේශපාලන විශ්ලේෂක දීප්ති ළමාහේවා පැවසුවේ මෙවැන්නකි

මේ අවස්ථාවේ සමස්ත ලෝකයම ඇත්තේ අර්බුදකාරී වාතාවරණයකය. එය සෞඛ්‍ය ගැටලුවකින් ආරම්භ වී සමාජ ආර්ථික හා දේශපාලන අර්බුදයක් දක්වා වර්ධනය වී හමාරය. ඒ නිසාම භේදයකින් තොරව සියලු ආණ්ඩු විවේචනයට ලක්වීම ස්වාභාවිකය. එය මේ ආණ්ඩුව සම්බන්ධයෙන් පමණක් වෙනස් විය නොහැකිය. ප්‍රශ්නය වන්නේ දේශපාලන පක්ෂ, කණ්ඩායම් මේ ගැටලුව තේරුම් ගන්නා ආකාරයයි. මේ රට මුහුණ දී ඇති ගැටලුව අපේ රටට සීමා වූවක් නොවන බව බොහෝ දෙනා දන්නා කාරණයකි. තමන්ට කිසිසේත් මේ ගැටලුව මීට වඩා හොදින් කළමනාකරණය කළ නොහැකි බව ද ඔවුන් දනී. බලය තිබුණා නම් තමන් කෙතරම් අපහසුතාවට පත්වනවාද යන්න ඔවුන් ඉතා හොඳින් දනී. ඒත් ඒ සියල්ල අබිබවා ඔවුන්ට බලය ලබා ගැනීමට ඇති මහඟු අවස්ථාවක් ලෙස මෙය පෙනී ගොස් තිබේ. ඒ නිසාම මෙය ආණ්ඩුවේ අසමත්කමක්, කළමනාකරණයේ වැරැද්දක්, උපාය මාර්ගවල දෝෂයක් ලෙස අර්තගන්වන්නට උත්සාහ ගනියි. එය කනගාටුවට කරුණකි. දේශපාලනිකව සිතන්නේ නම්, මේ අර්බුදයට සාමූහිකව මුහුණ දීමේ තීරණයක් විපක්ෂය විසින් ගනු ලැබුවේ නම් ඔවුන්ට ලැබෙන සමාජ ප්‍රතිචාරය මීට වඩා යහපත් එකකි. එහෙත් එය දියුණු විපක්ෂයක් විසින් ගනු ලැබිය හැකි තීරණයක් වන අතර, අතිශය ප්‍රාථමික චින්තනයක් සහිත විපක්ෂයකින් අපේක්ෂා කළ නොහැක්කකි.

මීළඟට අප විමසිය යුත්තේ ආණ්ඩුවේ ජනප්‍රියභාවයයි. මේ අවස්තාව කිසිම ආණ්ඩුවකට තම ජනප්‍රියතාව ඉහළ මට්ටමකින් රැකගත හැකි වාතාවරණයක් නොවේ. සැබවින්ම මේ ආණ්ඩුවටද එය අදාළය. ඒ නිසාම දැඩි අපහසුතාවකට ලක්වී ඇති ජනතාවගේ දැඩි විවේචනයට ආණ්ඩුව ලක්වීම ස්වභාවිකය. ඒ අතරම ජනතාව තාර්කිකය. ඔවුන් ආණ්ඩුවට අප්‍රසාදය, නොසතුට පළ කරන අතරේම විපක්ෂයේ කාර්යභාරය අතිශය පිළිකුලෙන් හෙළා දකිති. ඔවුන් විපක්ෂයේ අසාර්ථක බව ප්‍රාථමික බව ප්‍රතිපත්ති විරහිත බව අත්දැක තිබේ. එනිසාම ආණ්ඩුව ජනප්‍රිය නොවුණත් මේ අර්බුදය කළමනාකරණය කළ හැක්කේත් ගෝඨාභය ජනාධිපතිතුමාට පමණක් බව ඔවුහු විශ්වාස කරති. ඒ විශ්වාසය නිසාම ජනතාව ආණ්ඩුව විවේචනය කරමින් ආණ්ඩුවට සහාය ලබා දෙයි. මෙය ඉතාම සංකීර්ණ තත්ත්වයකි. එක් පසෙකින් ආණ්ඩුවට විරුද්ධ කණ්ඩායම් වලට ආණ්ඩු විරෝධය ඉස්මතු කිරීමට හොඳ අවස්ථාවකි. අනෙක් පසින් ආණ්ඩුවට සහාය දුන් පිරිස් නිහඬව බලා හිඳින අවස්ථාවකි. එසේ වුව මේ කිසිදු කාරණයක් රටේ සමස්ත ජනමතයට විශාල වෙනසක් සිදු කරන්නේ නැත. හුදු විවේචකයන් තනි වේදිකාවකට කැඳවා තිබේ. එහෙත් ප්‍රේක්ෂකයන් මේ රංගනය බලා සිටින්නේ මනා අවබෝධයකින් යුතුවය. අප එය තේරුම් ගත යුතුය. ආණ්ඩුවද මෙය හොඳින් විශ්ලේෂණය කරගත යුතුය.

Comments