කොටදෙනියාව සසල කළ අතුරුදන් වූ දරුවන් දෙදෙනා | සිළුමිණ

කොටදෙනියාව සසල කළ අතුරුදන් වූ දරුවන් දෙදෙනා

අකිල දේදුණු සහ කවීෂ සඳ­කැ­ළුම්

කුත් සඳුදා දින පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වෙතින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කෙරුණේ අතුරුදන්ව ඇති ළමයින් දෙදෙනකු ගැන සඳහන් කරමිනි. ඒ සමඟ එම බාල වයස්කාර ළමුන් දෙදෙනාගේ ඡායාරූප දෙකක්ද එවා තිබුණේ දෙදෙනා සොයා ගැනීමට මහජන සහායද පතමිනි.

ඒ අනුව අතුරුදන්ව ඇත්තේ කොටදෙනියාව පොලිස් වසමේ අංක 136/03, වත්තේමුල්ල, බාදුරාගොඩ ලිපිනයේ පදිංචි 12 හැවිරිදි ජයසේකර මුදලිගේ අකිල දේදුණු සහ පස්සර, කොළබෝවත්ත, 2 වන සැතපුම් කණුව ලිපිනයේ වෙසෙන 10 හැවිරිදි දිසානායක මුදියන්සේලාගේ කවීෂ සඳකැළුම්ය. බාදුරාගොඩ නිවෙසේ සිටියදී ඒ දරුවන් දෙදෙනා ආගිය අතක් නොමැති බවට නොවැම්බර් 23 වැනිදා 119 පොලිස් හදිසි ඇමැතුම් අංකයට ලැබුණු තොරතුරක් ඔස්සේ අතුරුදන් අකිල දේදුණුගේ මව රුවිනි දීපානිගේ ප්‍රකාශ මත කොටදෙනියාව පොලිසිය විසින් විමර්ශන ආරම්භ කෙරිණි.පොලිසිය සිදුකරන ලද විමර්ශනවලදී අතුරුදන් වූ ළමුන් දෙදෙනා පිළිබඳව කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැති බව නිකුත් කළ මාධ්‍ය නිවේදනයේද සඳහන් විණි.

පොලිසිය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් ළමුන් දෙදෙනාගේ තොරතුරු සඳහන් වන්නේ මෙලෙසිනි. 

කවීෂ සඳකැළුම් උස අඩි 4ක් පමණැති තලෙළු, කොණ්ඩය කොටට කපා සිටියේය. ඔහුගේ මුඛයේ උඩ ඇන්දේ දෙපස දත් දෙකක්ද වැටි ඇති අතර කවීෂ අවසන් වරට ඇඳ සිට ඇත්තේ නිල් පැහැති ටී ෂර්ටයක් සහ කළු පැහැති කොටු සහිත කොට කලිසමකි.

අකිල දේදුණුගේ උස අඩි 4යි අඟල් 10ක් පමණ බවත් තලෙළු, කොණ්ඩය කොටට කපා සිටි අයෙකි. මුඛයේ උඩු ඇන්දේ දත් ඉදිරියට නෙරා ඇති අතර අවසන් වරට ඇඳ සිට තිබුණේ නිල් පැහැති කොලර් සහිත ටී ෂර්ටයක් සහ රතු පැහැති කොට කලිසමක් බවයි.

මේ පිළිබඳව ඉකුත් බදාදා දින කොටදෙනියාව පොලිස් ස්ථානාධිපතිවරයා සිළුමිණට පැවැසූවේ, ළමයින් දෙදෙනා පිළිබඳව මෙතෙක් කිසිම තොරතුරක් නැති බවයි. පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ළමයින් සොයා පරීක්ෂණ සිදුකරන බවත් මේ වන විට අකිල දේදුණු දරුවාගේ මව ඇතුළු පනස් දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි. එසේම එකිනෙකාගේ ප්‍රකාශවල දක්නට ලැබෙන පරස්පරතා නිසාවෙන් දරුවන්ගේ අතුරුදන් වීම පිළිබඳව සිදුකරන විමර්ශන ඉතාම සංකීර්ණ වී ඇති බවත් හෙතෙම පැවැසීය. එහෙත් ළමයින් අතුරුදන්ව පොලිසියට පැමිණිල්ල ලැබී දින 20කට අධික කාලයක් ඉක්ම ගියද එකී දරුවන් දෙදෙනා පිළිබඳව මෙතෙක් කිසිදු තොරතුරක් සොයා ගැනීමට නොහැකි වීම පොලිස් විමර්ශනවල ගැටලුකාරි තත්ත්වයක්ද කියාපාන්නකි.දුරකථන ඇමැතුම් සහ සීසීටීවී දර්ශන ඔස්සේ පොලිසිය සිදු කළ විමර්ශනවලදී දරුවන් අතුරුදන් වී ඇති බවට කිසිදු සාක්ෂියක් අනාවරණය වී නොමැත. දරුවන් අතුරුදන් වන මොහොතේදී නිවෙසේ වැඩිහිටියන් මීරිගම නගරයට ගොස් සිටි බව සඳහන් කරති. පැමිණ සොයා බලද්දී දරුවන් නොමැති බව කියති. එම නිසා මෙකී ළමයින් දෙදෙනාගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් කිසියම් ආකාරයක සැකයක් ඇති බව විමර්ශන නිලධාරින්ගේද මතයයි.

අතුරුදන්ව සිටින අකිල දේදුණුගේ මව 49 හැවිරිදි රුවිනි දීපානිය. ඇයට ගැහැනු ළමුන් තිදෙනෙක් සහ පිරිමි දරුවන් සයදෙනෙකු ඇතුළුව දරුවන් 9 දෙනෙකි. අැගේ දෙවැනි දරුවා පැවිදි වී කුරුණෑගල ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ සිටී. ඇය මුලින් විවාහ වී සිට ඇත්තේ මීරිගම - දිවුලපිටිය බස් රථයක කොන්දොස්තර රැකියාවක නිරතව සිටි ලාල් නමැත්තෙකු සමඟිනි. ලාල් මීට කලෙකට පෙර මිය ගොසිනි. බඳුරාගොඩ - මඩතියවල මාර්ගයේ බඳුරාගොඩ පාසලට ආසන්න රජයට අයත් භූමියක පදිංචිව සිටි රුවිනි ඇතුළු දරුවන් පසුව බඳුරාගොඩ මංසන්ධියේ තැඹිලි වෙළෙඳාමද සිදු කර තිබේ. අකිලගේ වැඩිමහල් සහෝදරියක වන අප්සරා විවාහ වී සිටින්නේ පස්සර පුද්ගලයකු සමඟිනි. අතුරුදන්ව සිටින කවිෂ සඳකැලුම්, අප්සරා විවාහ වී සිටින පුද්ගලයාගේ පෙර විවාහයක දරුවෙකි.

එම දරුවාගේ මව යැයි පවසමින් පොල්ගහවෙල සිටින තැනැත්තියක ඉකුත් බ්‍රහස්පතින්දා දින මෙරට විද්යුත් නාළිකාවකටද කතා කර තිබුණාය.

අකිලගේ මව රුවිනි මෑතක සිට ජ්‍යොතිෂ කටයුතුවලද නියැළෙමින් සාස්තර කීම ආදියෙහි නිරත වන අතරෙහි නිවසේ දේවාලයක් ඇරැ

ඹීමට ද තැත්කර තිබුණාය. දරුවන් දෙදෙනාට වූයේ කුමක්ද යන්න සොයා ගිය මාධ්‍යය මුලදී මඟහැර සිටි අකිලගේ මව රුවිනි පසුගිය බදාදා මාධ්‍යයට ප්‍රකාශ කළේ,

“පසුගිය 21 වැනිදා දරුවන් අතුරුදන් වුණේ... දරුවෝ හිර කරගෙන ඉන්නෙ. නැතිවෙච්චදා ඉඳන් අපි දේවාල ගානේ යනවා. දේවාල සිය දහස් ගණනක බැලුවා. දරුවන්ට එන්න විදියක් නැතිලු. ඉක්මනින් තොරතුරක් ලැබිලා දරුවන් එයි කියලා තමයි කියන්නෙ... පොලිසිය අවට සියලුම සීසීටීවී බැලුවා. කිසිම තොරතුරක් ලැබුණේ නෑ. හැබැයි වැඩි ඈතක නෙවෙයි දරුවෝ ඉන්නෙ... ඒත් අපිට එතැනට යන්න බැහැ. පොලිසියේ හතර දෙනෙක් ගියොත් තව දෙන්නෙක්වත් යන්න වෙනවා ඒ අය හොයන්න.... හැමෝටම වෙච්ච දෙයක් නැතිව යයි. ඇස්බැන්දුමක් කරලා තියෙන්නේ දේවාලෙන් දවස් දෙකක් ඉවසන්න කිව්වා. මම දේවාලය හදනවාට විරුද්ධ කවුරුහරි මීනී අළු ඉහලා. දේවාලයකට ගියාම මා ලවාම පුහුලක් කප්පලා දරුවන් යවලා තියෙන්නේ. මෙතැන පහන තියන්නෙත් මගේ නැතිවෙච්ච දරුවා. එයා තමා මෙතැනට එන නයා නාවන්නෙත්. දේවාලය දාගන්න හැදුවාට තරහට කළ දෙයක් තමයි මේක...“

ඇය පවසන දෑ අනුව එකී වැඩිහිටියන්ගේ බුද්ධි මට්ටම කෙසේද යන්න ගම්‍ය වේ. අකිලගේ මව එසේ කීවද අකිලගේ සහෝදරයකු වන කුරුණෑගල විහාරස්ථානයක වෙසෙන හිමිනම මාධ්‍යයට පවසා සිටියේ, ඉකුත් 22 වැනිදා තමන් වහන්සේ එම නිවෙසේ සිටි බවත් 23 වැනිදා දින කුරුණෑගල වැඩි පසු දෙදෙනා අතුරුදහන්ව ඇති බවයි. එහෙත් මව පවසන්නේ දරුවන් අතුරුද්වූයේ 21 වැනිදා බවයි. එය පරස්පරතාවකි. ඇය පවසන්නා සේම දරුවන් දෙදෙනා පිළිබඳව නොයෙක් කතා ඇසෙමින් තිබේ.

එක් දරුවෙක් තුන්කුලුඳුල් හෙයින් බිල්ලකට දීමට රැගෙන ගිය බවටත් ගම්වාසීහු පවසති. දරුවන් දෙදෙනා සිඟමන් යැදීමට යවා ඇති බවටත් පැවැසෙන්නේ මීට පෙරද අකිලගේ මව විසින් මීගමුව ප්‍රදේශයේ සිඟමන් යදිමින් සිටි කාන්තාවක නිවෙසට කැඳවා ගෙනවිත් එම කාන්තාව සමඟ සිය දරුවකුද සිඟමන් යැදීමටද යවා ඇති බවත් ගම්වාසින් හෙළි කරන හෙයිනි.

අප මේ පිළිබඳව පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ විමර්ශන දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිනී රේණුකා ජයසුන්දරගෙන්ද විමසීමක් කළාය.

“ළමා හා කාන්තා කාර්යාංශයෙනුත් දරුවන් දෙදෙනාගේ අතුරුදන් වීම පිළිබඳව විමර්ශනයක් ආරම්භ කරලා තියෙන්නෙ. ඒ වගේම කොටදෙනියාව පොලිස් ස්ථානයෙන් සිදු කෙරෙන විමර්ශනත් අපේ කාර්යාංශයේ අවධානය යොමු කරලා තියෙන්නෙ. කිසිදු ලෙසකින් විමර්ශන අඩාළ වීමක් හෝ පැහැර හැරීමක් පොලිසිය පැත්තෙන් සිදු වෙන්න ඉඩ තියෙන්නෙ නැහැ. පොලිසියෙන් කෙරෙන්න තියෙන සියලු දේම අපේ උපදෙස් මත සිදු වෙනවා. අපි මේ සඳහා මහජන සහායත් මේ මොහොතේ අපේක්ෂා කරනවා“ අතුරුදන්ව සිටින බාල වයස්කාර දරුවන් දෙදෙනාට සිදු වූයේ කුමක්ද යන්න සමාජයට අනාවරණය කිරීම පොලිසියේ පරම වගකීමයි. යම් ආකාරයකින් දෙමාපිය ඥාති හිතෛෂින් එක්ව දරුවන් දෙදෙනා කිසියම් ස්ථානයක සිර කරගෙන සිටින්නේ නම් නිසි දඬුවම් පැමිණවිය යුතුය. බාල වයස්කාර දරුවන් පිළිබඳ වගකීම දරන ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති, කථිකාචාර්ය උදයකුමාර අමරසිංහගෙන් දින 20කට අධික කාලයක් අතුරුදන්ව සිටින දරුවන් දෙදෙනාගේ වගකීම පිළිබඳ අප විමසීමක් කළේය. 

“දරුවන් දෙදෙනාගේ අතුරුදන්වීම පිළිබඳ පැමිණිල්ලේ විශේෂ වාර්තාවක් පොලිසියෙන් කැඳවලා තියෙන්නෙ. ඊට අමතරව දරුවන් දෙදෙනා පිළිබඳ සිදුකරන විමර්ශනවල ප්‍රගතිය ගැන මා දැනුම්වත් කරන ලෙසට පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ අධ්‍යක්ෂ සහ නියෝජ්‍ය පොලිස්පතිනියටත් දැන්වූවා. කොටදෙනියාව පොලිසියෙන්ද මේ විමර්ශන ගැන වාර්තාවක් ඉල්ලා තියෙනවා. ඇත්තටම මේ වන විට සිදුවන විමර්ශනවල සතුටුදායක ප්‍රතිඵලයක් නැති බවයි පේන්න තියෙන්නෙ.

පොලිසියෙන් නිසි ක්‍රියාමාර්ග ගෙන විමර්ශන සිදු නොවෙනවා නම් මම ළමා රක්ෂක අධිකාරියේ සභාපති ලෙස මේ පිළිබඳ පොලිස්පතිවරයා දැනුවත්කොට විමර්ශන සීඅයිඩීයට හෝ බාර දීමට කටයුතු කරමින් ඒ පිළිබඳ පොලිස්පතිට පැමිණිලි කළා. මේ දරුවන්ගේ වැඩිහිටියන්ගෙන් ලබාගත් ප්‍රකාශවලින් බොහෝ පරස්පරතා දක්නට තියෙනවා. එම නිසා මෙකී විමර්ශන ඉතාම සංකීර්ණ වී තිබෙනවා.

එම වැඩිහිටියන්ගේ මේ විමර්ශන සඳහා කිසිදු සහායක් ලැබෙන්නෙ නැති බවක් පෙනෙන්න තියෙන්නෙ. ඒ පිරිස් යම් ආකාරයක මිථ්‍යා මතවල එල්බගෙනයි සිටින්නෙ... මේ පවුල්වල තියෙන පෞද්ගලික ආරවුල් ගැටලු අපිට අදාළ නැහැ. අපි පෙනී සිටින්නෙ දරුවන් වෙනුවෙන්. මම නැවතත් කියනවා පොලිසිය නිසි ලෙස රාජකාරිය ඉටු කරන්නේ නැතිනම් ළමාරක්ෂක අධිකාරිය මැදිහත් වීමෙන් හෝ දරුවන් දෙදෙනාට වූයේ කුමක්ද යන්න විමර්ශනයක් සිදු කරන බව...“

ඉකුත් බ්‍රහස්පතින්දා දිනය වෙද්දීත් ළමයින් දෙදෙනා පිළිබඳ විමර්ශන නිලධාරින්ට කිසිදු තොරතුරක් සොයාගත නොහැකි වී තිබිණි. යම් හෝඩුවාවක් වෙතොත් කොටදෙණියාව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පී. එස්. පුෂ්පකුමාරගේ රාජකාරිමය දුරකථනය වන 0718591634ට හෝ කොටදෙණියාව පොලිස් ස්ථානයේ 0332240050 සහ 0332272222 යන දුරකථනවලට අමතන ලෙසත් පොලිස් මාධ්‍ය නිවේදනයෙන් ජනතාවගෙන් ඉල්ලා සිටි.

ඡායාරූප කේ. පී. කුමාර - කොටදෙනියාව සමූහ

Comments