ගාලු කොටුවේ මුහුදු කරණම්කරුවන් දෙලොවක් අතර | සිළුමිණ

ගාලු කොටුවේ මුහුදු කරණම්කරුවන් දෙලොවක් අතර

‘මේ තාප්පය බැඳීමෙන් මහජනතාවට ආරක්ෂාවක් සැලසෙන්නෙත් නැහැ. එ් ස්ථානයේ සිට සෙල්ෆි ගහනවා. ආරක්ෂාවට ගහපු තාප්පය නිසා ජිවිත හානි වෙන්නත් පුළුවන්’ 
- ගාලු උරුමය පදනමේ සභාපති පරාක්‍රම දහනායක

‘ලෝක බැංකු ආධාර යටතේ ගාලු කොටුවේ සංරක්ෂණය වෙනුවෙනුයි බැම්ම බැඳෙන්නේ. ඒත් කරණම්කරුවන්ට සාධාරණයක් ඉටුවිය යුතුයි’
- දකුණු පළාත් සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂිකා වසන්ති අලහකෝන්

සර 15ක් පමණ ගාල්ල කොටුව කොඩිගල සිට ත්‍රාසජනක ලෙස මුහුදට පනින ක්‍රියාවේ නිරත වූ තරුණයන්ට කොඩිගල සිට මුහුදට පනින අඩි 03ක පමණ කොටස පුරාවිද්‍යා සංරක්ෂණ කටයුතු හේතුවෙන් ගල් බැම්මකින් ආවරණය කිරිම නිසා ඉකුත් දෙසැම්බර් 10 සිට එම ක්‍රියාවේ නිරතවිමට නොහැකිව ඇත. මේ එහි ගිය සිළුමිණ මාධ්‍යවේදියා අදාළ පාර්ශ්ව සමඟ සාකච්ඡා කර සැකසූ ලිපියකි. 

ගාලු කොටුවට ගොස් අසංක ගැන ඇසුවිට ඔහු ගැන නොදන්නා කෙනෙක් නැත. කොටින්ම කිවහොත් අසංක ජනප්‍රිය පුද්ගලයෙකි. හේ තම දරු පවුලේ බඩවියත රැකගැනීම සඳහා ගාලු කොටුපවුර මත සිට කරණම් ගසමින් මුහුදට පනියි. අසංක විසින් දිවි පරදුවට තබා කරනු ලබන මෙම පැනීම නිසා ඔහු දෙස් විදෙස් සංචාරකයන් අතර ජනප්‍රිය චරිතයක් බවට පත්වි ඇත. සැබවින්ම අසංක ජිවිතය ජයගැනීම සඳහා සිදුකරන්නේ අවදානම් හා ත්‍රාසජනක රැකියාවකි. ගාලුකොටුපවුර මත පිහිටි ඉපැරණි ප්‍රදිපාගාරය අසල කොඩිගල මත සිට අසංක, චතුර බුද්ධික හා ලක්ෂිත යන මිතුරන් තිදෙනා කරණම් ගසමින් මුහුදට පනිති. අසංකලා මුහුදට පනිනු ලබන ස්ථානය දෙස් විදෙස් සංචාරකයන් අතර ජනප්‍රිය ස්ථානයකි. මෙකී ස්ථානය කොඩිගල යනුවෙන් මිට පෙර හැඳින්වුවද මේ වනවිට එම ස්ථානය ගාලු කොටුවේ ජම්පින් සෙන්ටර් යනුවෙන් වැඩිදෙනෙකු හඳුන්වති.

අඩි 42ක උසක සිට කරණම් ගසමින් අසංකලා කරනු ලබන මෙම පැනිල්ල දැක බලා ගැනීම සදහා දෙස් විදෙස් සංචාරකයන් දක්වන්නේ දැඩි කැමැත්තකි. ඒ විතරක් නොව විදේශිය රටවල හමුදා ප්‍රධානින් ඇතුළු ප්‍රභුවරු ද අසංකලාගේ මෙම පැනීම දැකබලා ගැනීම සඳහා ගාලුකොටුපවුර මතට පැමිණ තිබේ. පවුලේ බඩවියත ගැට ගසාගැනීම සඳහා අසංකලා කරනු ලබන මෙම පැනිල්ල අවදානම් වුවත් එය අසංකලාට නම් ත්‍රාසජනක හෝ අවාදානම් දෙයක් නොවේ. අසංකලා පැනීමට හොඳ පළපුරුදුකාරයන්ය.

ඒ විතරක් නොව මොවුහු දක්ෂ කිමිදුම්කරුවෝය. නරඹන්නන් පිනවීම සඳහා අසංකලා මේ කාරිය සිදුකරන්නේ දැනට වසර 14ක කාලයක සිටය. ජම්පින් කිරිමට ආවාට ගියාට කළ නොහැකිය. ඒ සඳහා පුරුදු පුහුණු විය යුතුය. ගාල්ල මාගාල්ලේ පදිංචි අසංක කුඩා කාලයේ සිටම මහ මුහුද සමඟ ඔට්ටු වූ අයෙකි. අසංකලාගේ ජිවිතයත් මහ මුහුදත් අතර ඇත්තේ වෙන් කළ නොහැකි තරමේ සමීප බැඳියාවකි. කෙසේවුවද අසංකලා සිය හැකියාව රැකියාවක් බවට පත්කරගෙන තිබේ. අසංකලා සිදුකරනු ලබන මෙකී අභියෝගාත්මක කාර්යයට තවමත් වටිනාකමක් ලැබී නැත. විවිධ ප්‍රභුවරු පැමිණ අසංකලාට විවිධ පොරොන්දු ලබා දී යති. එහෙත් එවා පොරොන්දුවලට පමණක් සිමා වී තිබේ.

කොරෝනා වසංගතය නිසා සංචාරක කර්මාන්තයේ නිරත වූවන්ට පමණක් නොව අසංකලා‍ට ද යන එනමං නැතිව තිබේ. කොරෝනා වසංගතය අසංකලගේ පැනීමටද වැටකඩොලු දමා තිබුණි. කොවිඩි වසංගතයත් සමඟ රට වසා දැමූ කාලයේ දි අසංකලා කොටු පවුර මත සිට ත්‍රසජනක පැනීමෙන් තාවකාලිකව ඉවත් වී ජීවන අරගලය ජය ගැනීම සඳහා මුහුදු රක්ෂාවේ නිරතව සිටියහ. රට විවෘත කිරීමත් සමඟ මේ දිනවල දෙස් විදෙස් සංචාරකයන් කණ්ඩායම් වශයෙන් ගාලුකොටුපවුර නැරඹීමට පැමිණෙමින් සිටිති.

ගාලුකොටුපවුර නැරඹීම සඳහා පැමිණෙන විදේශිය සංචාරකයන්ගෙන් බහුතරයක් අසංක ඇතුළු පිරිවර කරණම් ගසමින් මුහුදට පනින අයුරු දැකබලා ගැනිමට අමතක නොකරති. එහෙත් මේ වනවිට අසංකලා කොටුපවුර මත සිට මෙකී ත්‍රසජනක රැකියාව කරගෙන යාමේ දී ගැටලුවකට මුහුණ දී සිටිති. ගාලු කොටුපවුර සංරක්ෂණ කිරිමේ ව්‍යාපෘතිය යටතේ මොවුන් මුහුදට පනින ස්ථානය වටා අඩි තුනක පමණ උස තාප්පයක් බැඳීම නිසා අසංකලාට දිව ගෙනවිත් කරණම් ගසා මුහුදට පැනීමට නොහැකි වී ඇත. සැබවින්ම විවිධ වූ අභියෝගවලට මුහුණ දෙමින් මෙකී ත්‍රාසජනක රැකියාවේ යෙදෙන හේනවලගේ අසංක (32) ඇතුළු නඩය ගාලුකොටුපවුරට මෙන්ම මහ මුහුදට ද පෙම් බඳිති. අසංක තිස්දෙහැවිදිවියේ පසුවන දෙදරු පියෙකි. හේ අතීත සිද්ධි ද සිහිපත් කරමින් කතාබහට වැටුණේය.

‘දැනට වසර 18ක කාලයක සිට මේ ත්‍රසජනක රැකියාව කරනවා. මේ ස්ථානයේ තාප්පය බැඳීම නිසා අලංකාර ලෙස අපිට අපේ ෂෝ එක විදේශිකයින්ට පෙන්වීමට නොහැකි වෙලා තියෙනවා. බලධාරීන් කියන්නේ අනාරක්ෂිත බව නිසා මිනිසුන්ගේ ආරක්ෂාවට තමයි තාප්පය බැන්දේ කියලා.

මේ ස්ථානය විතරද අනාරක්ෂිත. ගාලුකොටුවේ අනාරක්ෂිත ස්ථාන ඕන තරම් තියෙනවා. එහෙනම් කොටු පවුර වටා තාප්ප බඳින්න වෙනවා. කොටු පවුර නැරඹීමට පැමිණෙන අය මේ තාප්පය මත වාඩිවෙලා සෙල්පි ගහනවා. ඉදිරියේ දි ලොකු අනතුරු වෙන්න පුළුවන්. නමුත් අපි මේ පනින ස්ථානයේ කවදාවත් අනතුරු වෙලා නැහැ. කොටුවේ වෙනත් ස්ථානවල නම් අනතුරු වෙලා තියෙනවා. මිනිස්සු මුහුදට වැටිලා තියෙනවා. දුප්පත් මිනිහාට තැනක් නැහැ. මෙහි වැසිකිළියක් නැහැ. වතුරබෝතලයක් ගන්න ඕන රුපියල් 100ක් දීලා. විශාල වියදමක් දරලා තණකොළ අල්ලලා තියෙනවා. නමුත් වැඩක් නැහැ. ගාලුකොටුවේ කියලා හැමදෙයක්ම මිල අධික කරන්න හදන්නේ. ඇත්තටම අපේ ජම්ප් එක බලන්න විදේශිකයින් විශාල පිරිසක් එනවා. මේ තාප්පය නිසා අපේ බඩට තමයි වැදුණේ. මේ ස්ථානය හඳුන්වන්නේ කොඩිගල කියලා. නමුත් මේ ස්ථානය ජම්පින් ප්ලෙස් කියලා තමයි ප්‍රසිද්ධ. අපිට සාධාරණත්වය ඉටුවිය යුතුයි. ඒ ගැන බලධාරින්ගේ අවධානය යොමුවිය යුතුයි‘

හේ ජීවිත පරදුවට තබා තම හැකියාව රැකියාවක් බවට පත්කරගත් ආකාරය ගැනද අප සමඟ පැවසීය..

අපිට ඉස්සෙල්ලා අයියලා කිහිපදෙනකු කොටුපවුර මතින් පැනලා ඒ ත්‍රාසජනක අත්දැකීම් නරඹන්නන්ට ලබා දුන්නා. දැන් ඒ අය මේ කාර්යය කරන්නේ නැහැ. ඒ කාලයේ කොටුපවුර මතින් පනින එක මෙතරම් ප්‍රසිද්ධ වුණේ නැහැ. දැන් අපි කරන දේ දෙස් විදෙස් සංචාරකයන් අතර ඉමහත් ප්‍රසිද්ධියට පත්වෙලා තියෙනවා. මගේ ගම මාගල්ලේ. මම පවුලේ හතරවැනියා. මාගාල්ල සුදර්මාවිද්‍යාලයෙන් තමයි මම ඉගෙනුම ලැබුවේ. පාසල් යන කාලයේ හවසට මුහුදේ නාන්න යනවා. එතකොට මගේ වයස අවුරුදු 15ක් විතර ඇති. එහෙම ගිහින් තමයි ටික ටික කොටු පවුර මතින් පැනලා මේක රැකියාවක් විදියට කරන්න පුරුදු වුණේ. කොහොම හරි අපේ ජම්ප් එක හැකියාවක් බවට පත්වෙලා දැන් රැකියාවක් බවට පත්වෙලා තියෙනවා. ජිවන අරගලය ජය ගන්න තමයි මේක කරන්නේ.

අපේ ජීවිත මහ මුහුද සමඟ හැඩගැහිලා තිබුණේ. ජම්ප් එක දමන්න නම් වසරක් විතර පුරුදු වුණා. මුලින්ම අපි කොඩිගල මත සිට පහළට බහින්න පුරුදු වුණා. අඩි 10න් 15 ටවගේ නැවතිලා පහලට බහින්න පුළුවන්. ඇත්තටම බහින කොට සිරුරේ සමබරතාව ආරක්ෂාකරගන්න ඕන. වදින්න නැතිවෙන්න පනින්න ඕන. පාසල් අවදියේ සිට තමයි කොටුපවුර මතින් පනින්න පුරුදුවුනේ. අඩි 42ක උස සිට තමයි කරණම් ගසමින් මුහුදට පනින්නේ. අපි පනින ස්ථානයේ අඩි 04ක උසට තමයි ජලය තියෙන්නේ. යට කොරල්පර තියෙනවා. හිස වදින්නේ නැති වෙන්න පැනලා කරණම ගහන්න ඕන.

වෙනත් රටවල කරන ජම්ප් යූටියුබ්වල තියෙනවා අපි දැකලා තියෙනවා. ගැඹුරු ජලයට තමයි ඒ අය පනින්නේ. පනිනකොට පාද තමයි වතුර යටට යන්නේ. නමුත් අපේ ජම්ප් එක එහෙම නෙමෙයි ගැඹුර අඩි 04ක් පමණ තියෙන ජලයට තමයි පනින්නේ. හිස යටට දමාගෙන තමයි පනින්නේ. ජම්ප් තුනක් දමලා තමයි පනින්නේ. අපිට නම් අවදානමක් නැහැ. එක අපේ හැකියාව හා දක්ෂතාව. වෙන අයකුට අවදානමක් වෙන්න පුළුවන්. අපේ ජීවන මාර්ගය මේක තමයි. කොරෝනාවෙන් පසු අපි අන්ත අසරණ තත්ත්වයට පත්වුණා. අපි දිහා කවුරුවත් අහැක් ඇරලා බැලුවේ නැහැ. අපේ ජිවිත හිතන තරම් සුන්දර නැහැ.

‘ජීවිතය හා මරණය අතර සටනක් අපි කරන්නේ ජීවත් වෙන්න. විනාඩි 05ක කාලයක් තමයි අපිට යන්නේ ජම්ප් එක දමලා උඩට එන්න. ඉන්දියාවේ හමුදාපති, පකිස්ථානයේ හමුදාපති, චිනයේ අගමැති, මාලදිවයිනේ ජනාධිපති ඇතුළු ප්‍රභුවරු රැසක් අපේ ජම්ප් එක බලන්න කොටුපවුර මතට ආවා. මේ වගේ දෙයක් කරන්න පුළුවන් අතළොස්සකට පමණයි. කිසිදු ආධාරයක් නැතිව තමයි අපි ගල දිගේ ඉහළට නගින්නේ.

ලංකාවේ ගොඩක් තැන් තියෙනවා ජම්ප් දමන්න පුළුවන් ස්ථාන. අපිට කවුරුහරි අතහිත දෙනවා නම් ගොඩක් වටිනවා. අපේ හැකියාවෙන් ප්‍රයෝජනයක් ගන්නේ නැහැ. මගේ ආශාවක් තියෙනවා; චෝපර් එකකින් ගිහින් කිසිදු ආධාරකයක් නැතිව අඩි 500ක පමණ උස සිට මුහුදට පනින්න. පුංචි ලෝකාන්තයෙන් බහින්නත් ආශාවක් තියෙනවා. මේ ගැන යුද හමුදාවේ මහත්තයකුට අපි කිව්වා. නමුත් පලක් වුණේ නැහැ. අපිට ඒ අභියෝගය ජයගන්න පුළුවන්. මට හිතෙනවා පුංචි ලෝකාන්තයෙන් විනාඩි 15කින් බහින්න පුළුවන් කියලා. ඒවගේ ටැලන්ට් එකක් මට තියෙනවා. නමුත් අපිට කවුරුවත් අත හිත දෙන්නේ නැහැ.

අපේ ජම්ප් එක බලන්න විදේශිකයකුගෙන් ඩොලර් 20ක් විතර අය කරනවා. නමුත් කොරෝනාවෙන් පසු කිසිදු ජම්ප් එකක් දමන්න බැරි වුණා. දැන් ජීවත් වෙන්න ක්‍රමයක් නැති නිසා මුහුදු රක්ෂාව කරනවා. අනික් දෙදෙනාගෙන් එක් අයෙක් පොඩි වෙළදාමක් කරනවා. අනික් එක්කෙනා ධිවර රක්ෂාව කරනවා. අපි තුන්දෙනා වෙන වෙනම තමයි ජම්ප් එක දමන්නේ. මුලින්ම ආපු එක්කෙනා මුලින්ම ජම්ප් එක දමනවා. ඒ විදියට තමයි ජම්ප් එක දමන්නේ.

අපේ ජම්ප් එක බැලීමට පැමිණි ඇතැම් ප්‍රභුවරු අපිට ගොඩක් පොරොන්දු දීලා ගියා. නමුත් එවා සිහින බවට පත්වුණා. අපිට මෙ ස්ථානයෙන් ගෞරවාන්විත විදියට මේ කටයුත්ත කරන්න අවස්ථාව උදා කරලා දෙන්න කියලා බලධාරින්ගෙන් ඉල්ලා සිටිනවා. දැනට වසර 14ක කාලයක සිට කොටුපවුර මත සිට ජම්ප් කරනවා. නමුත් අපිට කිසිදු කරදරයක් අනතුරක් වෙලා නැහැ. අසංක පවසයි.

පවුලේ බඩවියත රැකගැනීම සඳහා ගාලුකොටුපවුර මත සිට කරණම් ගසමින් මුහුදට පනින චතුර බුද්ධික (35) වලහන්දුව සුනාමි නිවාසවල පදිංචිකරුවෙකි. හේ දෙදරු පියෙකි.

අපි කලින් පදිංචි වෙලා හිටියේ ගාල්ල සතිපොළ තිබු ස්ථානයේ. සුනාමියට හසුවෙලා නිවාස විනාශ වුණා. දැන් පදිංචිවෙලා ඉන්නේ වලහන්දූව සුනාමි ගම්මානයේ. 98 වර්ෂයේ ඉදලා තමයි මේ රැකියාව පටන් ගත්තේ. ගාලු කොටුපවුර මත පිහිටි ඉපැරණි ප්‍රදීපාගාරය අසල කොඩිගල මත සිට තමයි මුහුදට පනින්නේ. දැන් එම ස්ථානයේ බැම්මක් බැඳලා තියෙනවා. අපිට මුලදි පොරොන්දු වුණා අපි පනින ස්ථනයේ අඩි තුනහමාරක පමණ ඉඩක් බැම්ම බඳින්න නැතිව ඉතිරි කරලා දෙනවා කියලා.

ඒ ස්ථානයේ ගේට්ටුවක් දමලා දෙන්නම් කියලත් කීවා. නමුත් ගේට්ටුව ගැළපෙන්නේ නැහැ කියලා. බැම්ම බැන්දා. දැන් අපිට දුවගෙන ගෙන ඇවිත් ජම්ප් එක දමන්න බැහැ. තාප්පය මත සිට තමයි ජම්ප් එක දමන්නේ. ඒ නිසා වෙනදා වගේ පහසුවෙන් ජම්ප් එක දමන්න බැහැ. අපි පොඩි මිනිස්සුනේ. අපිට ලොකු අයත් එක්ක හැප්පෙන්න බැහැ. අපේ බලාපොරොත්තු සුන්වෙලා කබලෙන් ලිපට වැටුණු වගේ වැඩක් වුණේ. මිනිසුන්ට පේන විදියට ජම්ප් එක දමන්න බැහැ.මේ නිසා අපිට ලොකු අසාධාරණයක් වෙලා තියෙනවා. අපේ දරුපවුල් නඩත්තු කරන්නේ මේ ත්‍රසජනක ක්‍රිඩාව කරලා ලැබෙන මුදලින්. දැනටත් අපි පැනීමේ කටයුතු කරනවා. එක නතර කරලා නැහැ. නමුත් තාප්පය බැඳීම නිසා වෙනදා වගේ මේ ක්‍රිඩාව කරන්න බැහැ යි බුද්ධික කීවේය.

මේ පිළිබඳ ගාලු උරුමයේ පදනමේ සභාපති පරාක්‍රම දහනායක පවසන්නේ මෙවැනි කතාවකි.

පසුගිය කළමනාකරණ කමිටු රැස්වීමේ දි ගත්තු තීන්දුව තමයි මෙම ස්ථානයේ සංවර්ධන කටයුතු කිරිමේදි මෙම ස්ථානයේ සිට මුහුදට පනින අයට යම්කිසි සාධාරණත්වයක් ඉටුවිය යුතුයි කියලා. දැනට සති දෙකකට පමණ ඉහතදී කොටුවේ සංවර්ධන ව්‍යාපෘතිය පිළිබඳ ලෝක බැංකුවේ නියෝජිත කණ්ඩායම සමඟ සාකච්ඡාවක් තිබුණා. එම සාකච්ඡාවේදි එම කණ්ඩායමේ නායිකාව මෙම ප්‍රශ්නය මතු කළා. තාප්පය බඳින්නේ මෙම ස්ථානයට පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව මත කියලා තමයි සඳහන් වුණේ. එහෙම වුණොත් මේ අයගේ ජීවන මාර්ගය නැතිවෙනවා. ඒ විතරක් නෙවෙයි; ඒ අයගේ හැකියාවන් ඉදිරිපත් කරලා තමයි ලෝක ප්‍රසිද්ධියට පත්වෙලා තියෙන්නේ කියා මා පෙන්වා දුන්නා.

ලෝක බැංකු නායිකාව කිව්වා මෙම රැස්වීමේ දි ඒ ගැන තීන්දුවක් ගන්නේ නැහැ; මේ ගැන නැවත සලකා බලා වාර්තාවක් දෙන්න කියලා. පස්සේ ඒ තීන්දුව වෙනස් කරලා තියෙනවා; එක හොඳ දෙයක් නෙවෙයි. මේ තාප්පය බැඳීමෙන් මහජනතාවට ආරක්ෂාවක් සැලසෙන්නෙත් නැහැ. ඒ ස්ථානයේ සිට සෙල්ෆි ගහනවා ආරක්ෂාවට ගහපු තාප්පය නිසා ජිවිත හානි වෙන්නත් පුළුවන් යැයි ගාලු උරුමය පදනමේ සභාපතිවරයා කීවේය.

ගාල්ල මහනගරාධිපති ප්‍රියන්ත සහබන්දු මෙසේ කීවේය.

මේ ස්ථානයෙන් මුහුදට පනින අය කැඳවලා මා සාකච්ඡා කළා. ඒ අයගේ ජීවන මාර්ගය අහිමි වෙනවාද කියලා. නමුත් දුවගෙන ඇවිත් කරන ජම්ප් එක තමයි මේ අයට තාප්පය බැඳීම නිසා කරන්න බැරිවෙලා තියෙන්නේ. තාප්පය මත සිට පැනීමේ කටයුතු කරන්න පුළුවන්. මෙම ව්‍යාපෘතියට අනුව මෙම ස්ථානය තුළ බැම්ම බැඳිය යුතු වෙනවා. ජනතාවගේ ආරක්ෂාවට තමයි බැම්ම බැඳීම සිදු කරලා තියෙන්නේ. මේ අයට රැකියාව අහිමි වුවහොත් ඒ සඳහා විකල්ප මාර්ග ඇතිකරලා දෙනවා. කොටු පවුර නැරඹීමට එන ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් තමයි මෙම තීරණය ගත්තේ යැයි ද නගරාධිපතිවරයා සඳහන් කළේය.

දකුණු පළාත් සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂිකා වසන්ති අලහකොන්ගෙන් මේ සම්බන්ධව කළ විමසුමකදී ඇය මෙසේ කීවාය.

අතිතයේ ඉඳලා මෙම ස්ථානයේ බැම්මක් තිබිලා තියෙනවා. පසුව කොටසක් කැඩිගොස් තිබුණා. ඒ කඩා වැටුණු තැනින් තමයි මේ අය මුහුදට පැන්නේ. ලෝක බැංකු ආධාර යටතේ ගාලුකොටුවේ සංරක්ෂණ කටයුතු කරනවා. එම ව්‍යාපෘතිය යටතේ තමයි මෙකී ස්ථානයේ බැම්ම බැඳීම සිදු කළේ. ඒ විතරක් මෙම ස්ථානයේ කොඩ­ිගලේ පාදම් කිහිපයක් මතුවෙලා තියෙනවා. සංරක්ෂණ ක්‍රමවේදයකට අනුව තමයි මෙකී ස්ථානයේ බැම්ම බැඳලා තියෙන්නේ. පාසල් දරුවන් මෙන්ම දෙස් විදෙස් සංචාරකයන් මෙම ස්ථානයට පැමිණෙනවා.

ඒ අයගේ ආරක්ෂාව වෙනුවෙන් තමයි බැම්ම බැඳීමට තීරණය කළේ. කොඩිගල මත සිට මුහුදට පනින අයට දුවගෙන පැමිණ මුහුදට පනින එක විතරයි මඟ හැරෙන්නේ. ඒ අයටත් සාධාරණත්වයක් ඉටුවිය යුතුයි.

Comments