ගෑස් කාන්දුවෙන් වන පිපිරීම් ගැන සිළුමිණෙන් ප්‍රශ්න 5ක් | Page 2 | සිළුමිණ

ගෑස් කාන්දුවෙන් වන පිපිරීම් ගැන සිළුමිණෙන් ප්‍රශ්න 5ක්

1ගෑස් කාන්දුවීම නිසා සිදුවන පුපුරා යෑම් පිළිබඳව වගකිව යුතු පාර්ශ්වයන් නිසි පියවරගෙන නොමැති බවට ජනතාවගෙන් චෝදනා නැඟෙනවා නේද?

2 ගෑස් වැනි අවධානම් සහිත පාරිභෝගික භාණ්ඩයක් වෙළෙඳපොළට නිකුත් කිරිමේදී නිසි අධික්ෂණය නොවීම පුපුරා යෑමට හේතුවක් විය හැකි ද?

3 ගෑස් කාන්දුවෙන් වන පිපිරීම්වලට හේතුව සංයුතිය වෙනස් කිරීම යැයි ඇතැමුන් සඳහන් කරනවා. වගකිවයුතු පාර්ශ්වයන්ට දැනුම්දීමකින් තොරව ගෑස් සංයුතිය වෙනස් කළ හැකිද?

4 වෙළෙඳපොළට නිකුත් වන ගෑස් සිලින්ඩර කාන්දු නොවන බවට වගකිව යුතු පාර්ශ්වයන් කිසිදු සහතිකයක් ලබාදී නැති තත්ත්වයක ජනතාව මේ ගැටලුවට මුහුණ දෙන්නේ කොහොමද?

5 ගෑස් සිලින්ඩර පුපුරායෑම්වලින් හානියට පත් ජනතාවට යම් සහනයක් ලබාදීමට වගකිවයුතු පාර්ශ්වයන් නිසි පියවර ගෙන නැති බවට චෝදනා නැඟෙනවා නේද?

ප්‍රමිතිය පරික්ෂා කිරීම සඳහා රසායනාගාර යාවත්කාලීන කළ යුතුයි 
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති සහ නීතිඥ සුසිල් ප්‍රේම්ජයන්ත්

1 එය සාධාරණ චෝදනාවක්. කොප් කමිටුවේ හිටපු සාමාජිකයෙකු ලෙස මම දන්නා කරුණක් නම් අප්‍රියෙල් මාසයේ අදාළ සමාගමේ විගණන වාර්තාව රජයේ විගණකාධිපතිටවත් විගණනයට අවසර දුන්නේ නැහැ. ඊට එරෙහිව සුප්‍රිම් උසාවිය දක්වා යෑමට අදාළ පාර්ශ්වයන් කටයුතු කළා. කෝප් කමිටුවේ ප්‍රශ්න කිරීමේ ප්‍රතිඵලයක් ලෙස හිටපු බලධාරීන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළා. මේ ගැටලුව දැන් තියෙන්නේ මතුපිටින් පේන ගෑස් කාන්දුවේ ගැටලුවයි. මෙය කොතැනින්ද ආරම්භ වුණේ යන කාරණාව පිළිබඳව මෙහි ඇතුළාන්තය සෙවීමට නම් මෙහි විගණන විමසුම් කිරීම, විගණන කිරීමට අදාළ සමාගම් අවසර නොදුන් කාලය, ඒ අදාළ කාලයේ ගෑස් ආනයනය පිළිබඳ තොරතුරු සහ අදාළ කාලයේ සංයුතියන් ප්‍රතිශතියන් වෙනස් කිරීමක් සිදුවුණාද යන්නයි සොයා බැලිය යුතුයි. එවිට මෙහි සැබෑ වගකිව යුතු පාර්ශ්වයන් සොයා ගැනීමට හැකියාව ලැබෙනවා.

2 ගෑස් වැනි අවධානම් සහිත පාරිභෝගික ද්‍රවයන් වෙළෙඳ පොළට නිකුත් කිරීමේදි ටැංකිය සීල් කරන්න අවශ්‍යයි. මෙහි සංයුති ප්‍රතිශතයන් සහ ප්‍රමිතීය පිළිබඳව පැහැදිලිව සටහන් කළ යුතුයි. ඕනෑම ඖෂධයක් ගත්විට ඒවායේ ප්‍රමිතිය පිළිබඳ සඳහන් වෙලා තියෙනවා. මේ ගෑස්වල එසේ සිදුවෙන්නේද යන්න ගැටලුවක්. එමෙන් ම නවීන තාක්ෂණය අනුව මෙවැනි දේවල් පරික්ෂණය කිරීම සඳහා අදාළ උපකරණ සහිත විද්‍යාගාරයක් අපිට නැහැ. මම විද්‍යා තාක්ෂණ ඇමැති කාලයේ අයිටිඅයි ආයතනයේ අලුත්ම පරියේෂණාගාරයක් සැකසීමට කටයුතු කරමින් සිටියා. විශේෂයෙන් හයිඩ්‍රෝකාබන් සම්බන්ධයෙන් පරික්ෂා කිරීම වෙනුවෙන් එය ඉදි කිරීම සිදු කළේ.

අදාළ කටයුතු කරමින් සිටියදී ඒ ඇමැති ධූරයෙන් ඉවත් වීම නිසා එය අවසන් කිරීමට නොහැකි වුවත් මෙවැනි අංශයක් පිහිටුවීම ඉතාමත් වැදගත්. පරියේෂණාගාරයක වැදගත්කම අපිට මේවනවිට ඉතා පැහැදිලිව පේනවා. ප්‍රමිතිය පරීක්ෂා කිරීමට මෙවැනි රසායනාගාර යාවත්කාලීන කළ යුතුයි. මේවා යාවත්කාලීන නොවීම ඉතාමත් ගැටලුවක් බව මෙවැනි සිදුවීම්වලින් ඉතාමත් පැහැදිලිව පේනවා. දැන්වත් මේ විෂයයට අදාළ සියලු පාර්ශ්වයන් මේ සඳහා ක්‍රියාත්මක විය යුතුයි. විද්‍යාව තාක්ෂණය දියුණු ලෝකයක වර්තමානයේ තියෙන්නේ. එසේ නම් අදාළ අංශ දැනුම්වත් කරලා මේ විද්‍යාගාර සහ උපකරණ සකස් කර නිසි අධීක්ෂණයක් කළ යුතුයි.

මේ ගෑස් ද්‍රව මට්ටමින් ආනයනය කිරීම සිදුවෙන්නේ. ආනයනය අතරමඟදී කිසිදු වෙනසක් වීමට නොහැකියි. ඕනෑම භාණ්ඩයක් ආනයනය කිරීමේදී අදාළ රටින් ණයවර ලිපියක් නිකුත් කළාම ඒ ණයවර ලිපිය සමඟ ප්‍රධාන ලියවිලි කිහිපයක් තියනවා. අදාළ භාණ්ඩවල සම්භවය පිළිබඳව ඇති සහතිකයේ මේ සියලු ම දේවල් අන්තර්ගතයි. අපිට පරික්ෂා කළ යුතුව තියෙන්නේ අපි ඇනවුම් කළ භාණ්ඩයේ සම්භවය හා ප්‍රමිතිය පිළිබඳ සහතිකය ඇතිද යන්න පමණයි. ඇණවුම් කළ සහතිකයේ ඇති ප්‍රමිතියට අදාළව ඇණවුම් භාණ්ඩය නැතිනම් අපිට එය නැවත බාරදිය හැකියි. අපි ඇණවුම් කළ ප්‍රමිතිය හරියට තියනවා; නම් ඇණවුම් කිරීමේදියි වරද සිදුවී තියෙන්නේ.

3 ඇත්ත වශයෙන් ම එයත් ප්‍රමිති ආයතනයන විසින් සහ අදාළ පරියේෂණාගාරවලදී සිදුවිය යුතු දෙයක්. මෙවැනි අනතුරුදායක භාණ්ඩ සම්බන්ධයෙන් විද්‍යාගාරවල රසායනාගාරවල ප්‍රමිතීන් පිළිබඳව පර්යේෂණයන්ට ලක් කළ යුතුයි. එවැනි පරියේෂණාගාර ජාත්‍යන්තර මට්ටමින් තිබිය යුතුයි. මේ ගෑස් සම්බන්ධයෙන් පර්යේෂණයට භාජනය වුණාද කියලා අපි කියන්න දන්නේ නැහැ. නමුත් එසේ විය යුතුයි. දැන් රටේ ජනතාවට ගෑස්වලින් පරිස්සම් වෙන්න විතරයි හැකි වෙලා තියෙන්නේ; වෙන කරන්න දෙයක් නැහැ. ජනතාවට වන මේ ව්‍යාසනය සම්බන්ධයෙන් ආයතනයන් බාර නිලධාරීන් සහ අදාළ පාර්ශ්වයන් සියල්ල මේ සම්බන්ධයෙන් කටයුතු කළ යුතුයි. මේ අදාළ ගෑස් සමාගමත් රජයේ කොටස් තියන මහජන මුදලින් හැඳුන ආයතනයක්. එසේ නම් අදාළ නිලධාරින් රජයේ ආයතනයක් ලෙස වගකීමෙන් කටයුතු කිරීමට වග බලා ගත යුතුයි.

4 මෙය විශාල ගැටලුවක්. සාමාන්‍යයෙන් මේ රටේ සංඛ්‍යා ලේඛන අනුව ජනතාවගෙන් 35% ගෑස් පරිභෝජනය කරනවා. ගෑස් කියන්නේ බල ශක්තියක්. ගෑස් මේ රටට එන්න කලින් අපි දර භාවිත කළා. නාගරික ප්‍රදේශවල මිනිසුන් විශාල අර්බුදයකට පත් වෙලා. නාගරික ජනතාවට නිවසේ පොඩි හරි ඉඩක් නැතිනම් දර ලිපක් හදාගන්න මොකක්ද කරන්නේ. දැන් මිනිසුන් භූමිතෙල් ලිප් පවා මිලදී ගන්න පටන් අරගෙන. කාන්තා පක්ෂය නිතරම කුස්සියේ ඉන්නේ; නිවසේ දරුවෝ ඉන්නවා. මෙය දැන් මානසික භීතියක් බවට පත්වෙලා. මානසික පීඩනයකින් ඉන්නේ සියලු දෙනාම. දරුවන්ට මෙය එතරම් හොඳ අත්දැකීමක් නොවෙයි. මේවා දිර්ඝකාලීන මානසික ගැටලු බවට පත්වෙන්න පුළුවන්. මෙවැනි ගැටලුවලට ක්ෂණික ව විසඳුම් දෙන්න අවශ්‍යයි. එහෙත් තවම විසඳුම් නැහැ. ප්‍රමිතිය නැහැ කියලා ගෑස් ආපසු හරවා යවන විට වෙන්නේ නැවත ගෑස් හිඟ වෙනවා. මෙයත් ජනතාවට අර්බුදයක්.

5 මේ සඳහා අනිවාර්යෙන්ම බලධාරීන් වගකිව යුතුයි. එසේම හානියට පත් ජනතාවට අදාළ සමාගම්වලට වන්දි නඩු දැමිමෙන් වන්දි ලබා ගන්න පුළුවන්. මේ සමාගම්වල බලධාරීන් මේ සම්බන්ධයෙන් ක්‍රියා කළ යුතුයි. සමාගම්වලින් හානියට පත් ජනතාවට සහ දේපොළ වෙනුවෙන් යම් සාධාරණයක් කරන්න ඕන. අධිකරණය මේ ගැටලුව විසඳන්න ගත් විට ඒ අය මේ සිදුවූ ව්‍යසනයේ බරපතළකම තේරුම් ගනිවී.

සිදුවූ හානියට වගකිවයුතු පාර්ශ්වයන්ට දඬුවම් ලැබිය යුතුයි
 සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න

1 මේ සම්බන්ධයෙන් වගකිව යුතු පාර්ශ්වයන් මෙතෙක් නිසි පියවර අරගෙන නැහැ. අදාළ ගෑස් සමාගම රජයට යම් සම්බන්ධයක් තියෙනවා. එසේ නම් රජයත් මේ සඳහා වගකිව යුතුයි. එසේම ප්‍රමිති ආයතනය සහ පාරිභෝගික ආරක්ෂක අධිකාරියත් මේ සඳහා වගකිව යුතුයි. මේ කාටවත් මේ වගකීම පැහැර හරින්න බැහැ. ප්‍රමිතිය පිළිබඳව සහතිකයන් සහ ඇණවුම් කළ ප්‍රමිතියට භාණ්ඩ ලැබී තියෙනවාද කියන සහතිකයන් අදාළ ආයතනයන් සතුවිය යුතුයි. ඒ අයගේ වගකීමක් මේ සංයුති පරික්ෂා කිරීම. එසේ ම මොකක්ද වෙලා තියෙන්නේ කියලා අදාළ සමාගම සොයා බැලිය යුතුයි; අදාළ ආයතය පාරිභෝගිකයන් ආරක්ෂා කළ යුතුයි. එසේ නොවන්නේ නම් අදාළ අමාත්‍යංශයේ නිලධාරීන් සහ ඇමැතිවරයා මේ සඳහා මැදිහත්වී සමාගමට නිසි උපදෙස් ලබාදිය යුතුයි. භෞතික සම්පත්වලට වූ හානිය ගණනය කර වන්දි ලබා දිය යුතුයි. නමුත් මිනිස් ජීවිතවලට වූ හානිය ගණනය කළ නොහැකියි. මේ සම්බන්ධයෙන් අදාළ නිවැසියන්ට යම් වන්දියක් ලබාදිය යුතුයි.

2 යම් භාණ්ඩයක් ආනයනය කිරීමේදී ම එම අදාළ භාණ්ඩයේ නිසි ප්‍රමිතිය පිළිබඳව සොයා බැලිය යුතුයි. ඒ පිළිබඳව නිසි අධීක්ෂණයක් තිබිය යුතුයි. මේ කාන්දුව සම්බන්ධයෙන් අදාළ සමාගම් වගකිව යුතු සේම කාන්දුවීමක් තියනවාද, සංයුතිය පිළිබඳ ගැටලු තියනවාද කියලා ප්‍රමිති ආයතනය සහ පාරිභෝගික අධිකාරිය නිසි අධීක්ෂණය කර එහි ප්‍රමිතිය පිළිබඳව යම් සහතියක් නිකුත් කළ යුතුයි. එහෙත් මේ කිසිවක් වී නැති බවයි අපිට පේන්නේ. එසේ වූවා නම් මෙවැනි ව්‍යාසනයක් වෙන්නේ නැහැ. මෙය අනතුරුදායක මෙන්ම නිවෙස්වල භාවිත කරන දෙයක් නිසා ජනතා ආරක්ෂාව වෙනුවෙන් අදාළ රජයේ පාරිභෝගික ආයතනයන් ඒ වෙනුවෙන් ක්‍රියා කළ යුතුයි. අනිවාර්යෙන් මේ සම්බන්ධයෙන් අධීක්ෂණයක් තිබිය යුතුයි. ගෑස් ආනයනික අදාළ ආයතනයේ කෙරෙන අධීක්ෂණයක් අනිවාර්යෙන් තිබිය යුතුයි. ප්‍රමිතීන් සංයුතීන් පිළිබඳ සමාගම අභ්‍යන්තරයේ සහ බාහිර විගණනයක් අධීක්ෂණයක් කළ යුතුයි. මෙයට හේතුව කුමක්ද කියලා සෙවිම ඉතා කඩිනමින් කළ යුතුයි.

3 එය අපි නිෂ්චිතව නොදන්නා කරුණක් වුවත් මෙසේ කරන්නට හේතුව ලාබ පරමාර්ථය හෝ වෙනත් හේතු විය හැකියි. මෙය රජය මිල පාලනය කිරීමට මිනිසුන් රැවටීමට කරන ලද වෑයමක් කියලා ඇතැමුන් කියනවා. අදාළ සියලු ආයතනයන් සහ රජය මෙයට වගකියන්න ඕන. මෙය ව්‍යාංගයෙන් මිනිමැරීමක් වැනියි. ජනතාව අවධානමට ලක් කරලා තියනවා. මේ සම්බන්ධයෙන් නිසි විද්‍යාත්මක කළමනාකාරීත්වයක් නැහැ. මේ ව්‍යාපාරය කෙබඳු ව්‍යාපාරයක්ද එහි ස්වභාවය කුමක්ද කියන දේවත් තේරුම් ගැනීමට නොහැකි අය ව්‍යාපාරයන් කරන්නේ කොහොමද? පාරිභෝගිකයන් ගැන සිතා බලා කටයුතු කිරීම වෙළෙඳ ව්‍යාපාරයක අනිවාර්යෙන් තිබිය යුතු ලක්ෂණයක්. රජය මේ සම්බන්ධයෙන් වගකිව යුතුයි. මේ සිලින්ඩරයන් සියල්ල එකතු කර සියලු පාර්ශ්වයන් කැඳවා ජනතාවට විස්වාසයක් ඇති වෙන ආකාරයට වෙළෙඳ පොළට ගෑස් නිකුත් කිරීමට රජය මැදිහත් විය යුතුයි.

4 භාණ්ඩයක් මිලදී ගැනීමේදී ඕනෑම භාණ්ඩයක එහි අන්තර්ගයේ ඇති සංයුතීන් මොනවාද කියලා පැහැදිලිව සඳහන් කළ යුතුයි. ගෑස් වැනි ද්‍රව්‍යවල අන්තර්ගතයේ ඇති දේවල් මොනවාද කියලා සාමාන්‍ය පාරිභෝගිකයෝ දන්නේ නැහැ. නමුත් පාරිභෝගික අධිකාරියේ සහ ප්‍රමිති ආයතනයේ අදාළ විශේෂඥයන් විසින් මේ පිළිබඳව සොයා බලා අනුමත කළ යුතුයි. ජනතාවට දැනුම් දීමට පමණක් නොවෙයි. ජනතාවට වන හානිය වළකාලන්නට ඒ අදාළ වගකිව යුතු ආයතනයන්ගේ සහතිකයක් ලබා දිය යුතුයි.

5 මේ හානිය ගෑස් සිලින්ඩරයකට හෝ ගෑස් ලිපකට සිදුවුණ හානියකට සීමා කරන්න කිරීමට නොහැකියි. මේ සිදුවූ හානිය ගණනය කරන්න බැහැ. මේ සම්බන්ධයෙන් මේ වනතුරු පියවර අරගෙන නැහැ.මෙයින් පීඩාවට පත් පිරිස්වලට ගෑස් සිලින්ඩරයක් දීලාවත් ලිපක් දිලාවත් වැඩක් නැහැ. භෞතික සම්පත්වලට වගේම මිනිස් ජීවිතවලට හානි වුණා. ඒ හානිවලට වන්දි ලබාදිය යුතුයි. මිනිස් ජීවිතවලට වන හානිය මිල කරන්න බැහැ. මේ වෙනුවෙන් මුදලින් හෝ සහනයක් දිය යුතුයි. තුවාල ලැබූ අයට සහ මිය ගිය අයට වන්දි සේම වගකිව යුතු පාර්ශ්වයන්ට දඬුවම් දිය යුතුයි. මෙය මිනිස් ජීවිතයක් අහිමි කළා වගේ ක්‍රියාවක්. මේ පිළිබඳව සුළුවෙන් තැකීමක් කළහොත් මිනිස් ජිවිතවල වටිනාකම අවම තත්ත්වයට පත්වෙනවා.

 ගෑස් කාන්දුවෙන් වන පිපිරීම් සම්බන්ධයෙන් ප්‍රායෝගික විසඳුමක් තවම ලැබී නැහැ
පෙරටුගාමි සමාජවාදි පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ

1 ගෑස් පුපුරායාම පිටුපස ඇති ප්‍රශ්නය අපි තේරුම්ගත යුතුයි. මෙය පැති දෙකකින් අපිට තේරුම් ගන්න පුළුවන්. ගෑස්වල සංයුතිය වෙනස් කළාද යන ගැටලුවත් මෙතනදී මතු වෙනවා. එමෙන්ම ගෑස් වෙ‍ෙළඳපොළේ වැඩි කොටසක් අත් පත් කරගෙන සිටින රාජ්‍ය සමාගම විනාශ කරලා දාලා; ඒ රාජ්‍ය සමාගමට සමාජයේ තියන අනුමැතිය නැති කරලා දාලා; මේ ගෑස් වෙළෙඳාම පුද්ගලීකරණය කිරීමටද මේ උත්සහා කරන්නේ යන ගැටලුවත් තියෙනවා. රජයේ මැති ඇමැතිවරුන්ගේ සිට මේ ව්‍යසනකාරී තත්ත්වයේ වගකීම බාර නොගැනීම ඇත්ත වශයෙන්ම ගැටලුකාරී තත්ත්වයක්. සමහර වගකිව යුතු පාර්ශව මේ ටැංකි පිපිරීම ජනතාවගේ වරදක් කියලා කිව්වා. සිලින්ඩර පිපිරීම සිදුවෙලා නැහැ. පුපුරන්නේ ලිප. ඒ නිසා මේ අය ලිප සහ රෙගියුලේටරයේ ගැටලුකාරී තත්ත්වයක් බව කිව්වා. ඇත්ත කතාව පිපිරීමට හේතු ගෑස්වල සංයුතිය වෙනස් කිරීමයි. තාපාංකය වැඩි ප්‍රොපේන්වල සංයුතිය වෙනස් කරලා තියෙනවා. ප්‍රොපේන් සංයුතිය වැඩි කිරීමෙන් ගෑස් ඉක්මනින් ඉවර වෙනවා. එවිට ජනතාවට ඉක්මනින් මිලදී ගැනීමට සිදු වෙනවා. ප්‍රොපෙන් ද්‍රවයක් බවට පත් කරන්න අධික පීඩනයක් යොදවන්න වෙනවා. එවිට සිලින්ඩරයේ පීඩනය වැඩි වෙනවා. බියුටේන්වල තාපාංකය ඝනත්වය වැඩියි. ඒ නිසා ද්‍රව බවට පත්කරන්න විශාල පීඩනයක් යොදන්න අවශ්‍ය නැහැ. මේ ප්‍රශ්නය සමාගමේ ලාබ අරමුණු සමඟ රැඳී තියෙන ප්‍රශ්නයක්. ගෑස් වෙළෙඳාමේ ඒකාධිකාරිය පුද්ගලික සමාගම් සතු කර ගන්න යනවාද කියන ගැටලුවද මතුවෙනවා.

2 ලෝකයේ රටින් රට භාවිත වන සංයුතියේ ප්‍රතිශතයන් වෙනස් වෙනවා. ලංකාවේ වැනි ඝර්ම කලාපීය රටවලට ප්‍රොපේන් ප්‍රතිශතය වැඩි කිරීම ඔරොත්තු දෙන්නේ නැහැ. මුළු ලෝකයටම අදාළ එක් ප්‍රමිතියක් නැහැ; මේ ගෑස් සංයුතියේ ඇති ප්‍රතිශතයන් ශීත රටවල අවම විය හැකියි. ලංකාවේ ප්‍රමිති කාර්යංශයටයි පාරිභෝගික ආරක්ෂක අධිකාරියටයි ජනතාව ගේ පාරිභෝගික භාණ්ඩ සම්බන්ධයෙන් වග කියන රාජ්‍ය ආයතනයන්. මෙහි වගකිම තියෙන්නේ ඒ ආයතනයන්ට. මෙතෙක් කල් ගෑස්වලට ප්‍රමිතියට අදාළ නීතියක් නැහැ කියලා ප්‍රමිති කාර්යංශය කියලා තියෙනවා. එහෙම නම් කවුද මේකේ වගකිම බාරගන්නේ. මේ ගෑස් කියන්නේ අනිවාර්යෙන්ම අවධානම් සහිත පාරිභෝගික භාණ්ඩයක්. මෙතෙක් කල් මෙයට නීතියක් නැත්තේ ඇයි කියලා බරපතල ප්‍රශ්නයක් තියනවා. එමෙන් ගෑස් සංයුතිය වෙනස් කරලා තියනවා කියලා මේ තරම් රාවය පැතිරිලා යද්දි අදාළ අංශ විසින් කිසිඳු පියවරක් නොගැනීම විශාල ගැටලුවක්. මේවාට අදාළ ආයතනයන් මේ සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම ගන්න ඕන. මෙයින් හානියට පත් වූ ජනතාව වෙනුවෙන් සමාගම පමණක් නොවෙයි රජයත් යම් වගකීමක් ගත යුතුයි.

3 මේ සමාගම විසින් බර 12.5 කිලෝග්‍රෑම් වෙනුවට ලිටර් 18යි කියලා මේ අය වෙනසකට භාජනය කිරීමට උත්සහා කළා. ජනතාවයි එයට එදා විරෝධය පෑවේ. අදාළපාර්ශව එදත් නිහඬයි. ඒ තීරණය ගන්න නිකුත් කරපු ලිපියේ ඇති කරුණු අනුව අපි දන්නා ආරංචි මාර්ග පවසන්නේ ඒ තිරණය ගත්තේ ගෑස්වල සංයුතිය වෙනස් කිරීමෙන් පසුව බවයි. ජනතාව දන්නේ නැහැ ගෑස්වල සංයුතිය වෙනස් කළා කියන්නේ මොකක්ද කියලා. නමුත් ගැටලුව වෙන්නේ මේ සම්බන්ධනේ අදාළ රාජ්‍ය ආයතනයන්වල විශේෂඥයන් අනිවාර්යෙන් දන්නා කාරණයක් ගෑස් සංයුතිය වෙනස් කළාම මොකක්ද වෙන්නේ කියලා. එහිදි ඒ අය දැනගෙනත් ජනතාවගේ ජිවිත බිල්ලට දීමට ඉඩ දුන්නේ ඇයි කියලා ගැටලුවක් තියනවා. ගෑස් කාන්දුව නැවැත්විමට අවශ්‍ය ආරක්ෂිත උපකරණ සහ සංයුතිය පිළිබදවයි සැලකිලිමත් වීමයි කළයුතු වන්නේ. විසඳුම් ලෙස ගෑස් කාන්දු වුවහොත් ගඳ වැඩි කළ යුතුයි කියන තීරණය නොවෙයි විය යුත්තේ. තාමත් ගෑස් කාන්දුව වළක්වනවා කියන විශ්වාසය ජනතාවට දීලා නැහැ. රජය සහතික වෙන්නේ කාන්දු වුණොත් නහයට වඩා වැඩියෙන් ගඳ දැනීමට සැලසීම පිළිබඳවයි. පාරිභෝගික ජනතාව ලෙස අපිට අවශ්‍ය වෙන්නේ ගඳ දැනිලා මේ ව්‍යසනයන් වළක්වා ගන්න නොවෙයි. අපිට අවශ්‍ය ගෑස් කාන්දුවක් නොවන බවට සහතිකයක්. ජනතාව මේ වන විට ගෑස් පිළිබඳව කිසිඳු විශ්වාසයක් නැති තත්ත්වයට පත්වෙලා.

4 ඇත්තවශයෙන්ම විශාල අර්බුදයකට පත්වෙලා තියෙන්නේ ජනතාවයි. පවතින අර්බුදය තියෙන්නේ ජනතාවටයි. ඉහළ පුටුවල නිලධාරීන්ට නොවෙයි. එක් පැත්තකින් බඩු මිල ඉහළ ගිහින් අනෙක් පැත්තෙන් අමාරුවෙන් කන්න ගේන දේ උයන්නේ කොහොමද කියන ගැටලුව දැන් මතුවෙලා. ජනතාව සියලු අංශයන්වලින් පීඩාවට පත්වෙලා තියෙනවා. නිවසේ තිබුණ ගෑස් ඉවර වුණාම ගෑස් හිඟය නිසා ගෑස් එකක් ලැබෙයිද කියලා පසුගිය කාලයේ ජනතාව භීතියෙන් හිටියේ. දැන් ගෑස් එක ඉවර වුණාම අලුතින් ගෑස් එකක් ගෙට ගන්නේ කොහොමද කියන අර්බුදයේ ජනතාව ඉන්නවා. මිනිසුන් මේ ආණ්ඩුවට ඡන්දය දුන්නේ ජාතික ආරක්ෂාව තහවුරු කරන්න. තැන් තැන්වල බෝම්බ පුපුරන එක වළක්වා ගන්න. දැන් ජනතාව ඉන්නේ විශාල භීතියකින්. නිවසේ බෝම්බයක් තියෙනවා හා සමාන දෙයක් අද වෙලා තියෙන්නේ.

5 මේ වනවිට ගෑස් පිපිරීම් පන්සියයකට අධික ප්‍රමාණයක් සිදුවෙලා තියෙනවා. එහිදී භෞතික සම්පත් මෙන්ම ජීවිතවලට හානි සිදුවෙලා තියනවා. මේ දේවල් පියවා ගන්නේ කෙසේද කියන කාරණාව ඉතා වැදගත්. එයාට මෙයාට වගකීම් බාර නොදී ජනතාවට සාධාරණයක් ඉටු කරන්න අවශ්‍යයි. මේ දක්වා අදාළ අංශ කිසිදු පියවරක් අරගෙන නැහැ. එවැනි යුක්තියක් ඉටු කරන්න මේ රජය හෝ අදාළ සමාගම් ප්‍රායෝගික විසඳුම් මේ දක්වා ගෙන නැහැ. අපි ජනතාගෙන් ඉල්ලන්නේ අවම යුක්තියක් ඉටුකරගන්න හෝ මේ වෙනුවෙන් පෙළ ගැසෙන්න කියලා.

Comments