ජනමඩල | සිළුමිණ

ජනමඩල

කාබනික වගාවට තිත නොතබමු

ජනාධිපතිතුමන් විසින් මෙරට කාබනික වගාව තුළින් වසවිස නැති ආහාර වේලක් ජනතාවට ලබාදීමට මහත් වෙහෙසක් ගන්නා ආකාරය පසුගිය දිනවල දක්නට ලැබිණි. එහෙත් කාබනික පොහොර යොදා කරන වගාවෙන් හා කෘමිනාශක, වල්නාශක ‍නොයොදා කරන වගාවෙන් තම අස්වනු අඩුවී ආදායම ද අඩුවනු ඇතැයි උපකල්පනය කළ ගොවීහු ඊට එරෙහිව පාරට බැස්සාහ.

යම් පමණකට හෝ රසායනික පොහොර ද කෘමිනාශක හා වල්නාශක ද ගොවිනට ලබාදීමට එකඟ වීමට රජයට සිදු විය. දැන් උද්ඝෝෂණ අවසන්ය. යූරියා පොහොර කිලෝග්‍රෑම් පනහක මිටියක නව මිල රුපියල් දස දහසකට ආසන්න වේයැයි අනාවැකි පළ වී ඇත. ගොවියා රුපියල් දස දහසකට පොහොර මිටිය මිලට ගත්තද රජය ඩොලර්වලින් එය ගෙවා දැමිය යුතුය.

ඩොලර් හිඟයකට රට මුහුණපා ඇති විටෙක රුපියල් දස දහසක මිලකට සමාන ඩොලර් ප්‍රමාණයක් ගෙවමින් රටින් පොහොර ගෙන්වීම ද දිගින් දිගට කළ හැකි දෙයක් නොවේ. එහෙත් රජය එකී දුෂ්කර කාර්යය කිරීමට පසුබට නොවනු ඇත. ඒ ගොවින්ගේ ආදායම පෙර පැවැති මට්ටමට පවත්වා ගැනීමේ අවශ්‍යතාව මතය. කෙසේ හෝ මේ තත්ත්වය මත ඉදිරියේදී ගොඩමඩ දෙකෙහිම ගොවිතැන් කිරීමට ගොවින්ට ද මහත් පිරිවැයක් දැරීමට සිදුවනු ඇත. එම නිසාවෙන් සහල් සහ එළවළු මිල ද ඉහළ යා හැකිය.

ජනාධිපතිතුමාගේ වසවිසෙන් තොර ආහාර වේලක් ලබාදීමේ වැඩසටහන ද මෙවැනි වටපිටාවක් මත යථාර්ථයක් නොවනු ඇත. එම නිසා කළ යුත්තේ ගොවින්ගේ වගාවට ඉඩදී දිවයිනෙහි සෑම ගෙවත්තකම කාබනික වගා ක්‍රමවේදය ඇති කිරීමයි. කලකට පෙරදී පැවැති 'අපි වවමු රට නඟමු' වැඩසටහන යළි පණගැන්වීමක් ලෙසින් එය ක්‍රියාත්මක කළ හැකිය. එවැනි ගෙවතු වගා දසලක්ෂයක් රටපුරා ඇතිකළහොත් අවම වශයෙන් එකී ගෙවතුවල හෝ සිටින අයවලුන් වසවිසෙන් තොර ආහාර සපයා ගනී. ජනාධිපතිතුමන්ගේ සංකල්පය ද සියයට පනහකින් හෝ ක්‍රියාවට නැඟෙනු ඇත.

 

*********************

රෝගි දරුවා සුවපත් කිරීමට පිහිටක් වෙමු

 අගලවත්ත, බෙරගම වෙසෙන කවිඳු ලක්ෂාන් දරුවා වසර හතක පමණ සිට දරුණු ස්නායු රෝගයකින් පෙළේ. 3 වැනි ශ්‍රේණියේ ඉගෙනුම් කටයුතු කරමින් සිටියදී හටගත් ස්නායු ආබාධය නිසාවෙන් කවිඳු ලක්ෂාන් වසර හතරක පමණ කලක් දැඩි සේ අසාධ්‍ය තත්ත්වයෙන් පසු විය. මේ වන විට දරුවා ක්‍රමයෙන් සුවපත් වෙමින් සිටින බව වෛද්‍ය නිර්දේශය වී තිබේ.

එහෙත් දරුවාගේ අසනීප තත්ත්වයත් සමඟින් කවිඳුගේ මව අන්ත අසරණ තත්ත්වයට පත්ව ඇත්තේ ඇගේ සැමියා ද දරු පවුල තනිකොට පවුලෙන් ඉවත්ව යෑම නිසාවෙනි. මේ වන විට කවිඳුගේ වැඩිමහල් සහෝදරයා ද මනා ලෙස අධ්‍යාපන කටයුතු සිදු කරමින් ලබන වසරේ උසස් පෙළ විභාගයට ද මුහුණ දීමට නියමිතව සිටී. කවිඳු සුවපත් කරගැනීමට ද මහත් වෙහෙසක් දරන අතරේ වැඩිමහල් දරුවාගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ද කවිඳුගේ මව

ඉමහත් වෙහෙසක් දරමින් සිටිති.

කිසිදු හව්හරණක් නොමැතිව පිය සෙනෙහස ද අහිමිව ගොස් ඇති අසරණ කවිඳු සුවපත්

කරගැනීමටත් වැඩිමහල් පුත්‍රයාගේ අධ්‍යාපන කටයුතු සඳහාත් කවිඳුගේ මව පරිත්‍යාගශීලීන්ගේ සහාය පතයි. රෝගී දරුවා සුවපත් කරගැනීමට මෙන්ම වැඩිමහල් පුත්‍රයාගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් පරිත්‍යාගයක් කිරීමට කැමැති අයෙක් වෙත් නම්, 077 1714725 අංක දරන දුරකථනය ඇමැතීමෙන් හෝ මතුගම, කොමර්ෂල් බැංකුවේ 8960008250 දරන ගිණුම් අංකයට මුදල්

පරිත්‍යාග කොට ඔබටත් දායක විය හැකිය.

*********************

කර්තෘ ප්‍රකාශක කබලෙන් ළිපට

 කොරෝනා වසංගතය නිසා 2020 සහ 2021 වසරවල සාහිත්‍ය උත්සව පැවැත්වූයේ නැත. රාජ්‍ය, පළාත්, දිස්ත්‍රික්, ප්‍රාදේශීය කිසිදු සාහිත්‍ය උත්සවයක් නොවීය. නමුත් දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට සාහිත්‍ය මාසය වෙනුවෙන් ප්‍රතිපාදන වෙන්කර තිබේ. එසේ වෙන් කරන ලද ප්‍රතිපාදන දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය සාහිත්‍ය උත්සව හා ඊට අදාළ කිසිදු කටයුත්තකට වැය වූයේ ද නැත.

මේ වන විට කර්තෘ ප්‍රකාශකයන් සිය කෘති අලෙවි කරගැනීමට නොහැකිව මහත් අපහසුතාවකට පත්ව සිටී. පොත් වෙළෙඳ සැල්හි ඔවුනගේ පොත් අලෙවිය සඳහා බාර ගන්නේ ද නැත. පුස්තකාල තවමත් වසා දමා ඇත. පුස්තකාල සේවා මණ්ඩලයෙන් ද මුද්‍රිත පොත් මිලට ගැනීමේ ව්‍යාපෘතිය මේ වසරේ සහ පසුගිය වසරේ ක්‍රියාත්මක කර නැත. සාහිත්‍ය උත්සව ප්‍රාදේශීය මට්ටමෙන් හෝ නොපැවැත්වීම නිසා කර්තෘ ප්‍රකාශකයන්ට එම උත්සවවලට සමඟාමීව පොත් සල්පිල් පැවැත්වීමට ද මඟක් නොවීය.

මේ නිසා දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට ද ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට ද සාහිත්‍ය උත්සව හා ඊට අදාළ කාර්යය සඳහා වෙන් කළ මුදලින් ඒ ඒ දිස්ත්‍රික්කයන්හි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ස්ථිර පදිංචිය සහිත කර්තෘ ප්‍රකාශකයන්ගේ පොත් මිලදී ගැනීමට කටයුතු කරන්නේ නම් එය මහත් උපකාරයකි.

 

 සමන් චන්දන කුමාරසිංහ, හොරණ

*********************

ජනසන්නිවේදන උපාධි ලබයි

 ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මාධ්‍ය නිලධාරි එදිරිවීර ගුණසේකර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ජනසන්නිවේදනය පිළිබඳ උපාධිය හිමිකර ගෙන ඇත.

ඔහු මීට පෙරද කැලණිය විශ්වවිද්‍යාලයෙන් ජනසන්නිවේදනය පිළිබඳ දර්ශනපති උපාධියද, ශාස්ත්‍රවේදී විශේෂ උපාධිය ද හිමිකර ගෙන තිබේ. එදිරිවීර ගුණසේකර “රූපවාහිනී ප්‍රවෘත්ති න්‍යාය හා ව්‍යවහාරය, අන්තර්ජාලය හා නීතිය, ළමා අපරාධ වාර්තාකරණයේ ජනමාධ්‍ය භාවිත ප්‍රවේශය” ආදී ජනසන්නිවේදනය හා නීතිය විෂයන් පිළිබඳව ග්‍රන්ථ කිහිපයක්ම රචනා කර ඇත්තෙකි.

කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ බාහිර කථිකාචාර්යවරයකු ලෙසත් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ප්‍රවෘත්ති සංස්කාරකවරයකු ලෙසත් සන්නිවේදකයෙකු ලෙසත් හෙතෙම කටයුතු කරයි. ජනසන්නිවේදනය විෂය ක්ෂේත්‍රයේ මෙරට ළාබාලතම ආචාර්ය උපාධිධාරියා ලෙස සැලකෙන එදිරිවීර ගුණසේකර ගාල්ල මහින්ද විද්‍යාලයේ ආදි සිසුවෙකි.

*********************

විදේශ විනිමය රැක ගැනීමට පෙළ ගැසෙමු

 ඉංග්‍රීසින් අපට නිදහස ලබා දී ප්‍රජාතන්ත්‍රවාදී ලෙස බලය ලබා ගැනීමේ ක්‍රම‍වේදය කියා දී දැනට වසර හැත්තෑතුනක් ‍ගතවී ඇත. මේ කාලය තුළ රට පාලනය කළ ආණ්ඩු, අඩුවැඩි වශයෙන් රට දියුණු කිරීමට විවිධ සංවර්ධන ක්‍රියාමාර්ග අනුගමනය කළ බව නොරහසකි.

වසර දෙකක් පමණ කොවිඩ් අර්බුදය හේතුවෙන් රටේ සියලු කටයුතු අඩාළ වෙමින් පවතී. රජයේ එන්නත්කරණ ප්‍රතිපත්තිය හමුවේ රට ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් තිබෙන මොහොතක මෙතෙක් කළා වූ සියලු අනුවණ ක්‍රියා අත්හැර, ලොව දියුණු දේශයක් කරා රට මෙහෙය වීම රජයේත් සියලු පුරවැසියන්ගේත් බලවත් යුතුකමක් මෙන්ම වගකීමක් ද වනවා ඇත.

ඒ සඳහා කළ යුතු පළමු කාර්ය වනුයේ නිකරුණේ මෙරටින් විදේශයට ඇදී යන සියලු විදේශ විනිමය ගලා යන මාර්ග අහුරා දැමීම හා හැකිතරම් පිටරටින් මෙරටට විදේශ විනිමය ලැබෙන මාර්ග වැඩිදියුණු කිරීමයි. එසේම නව ක්‍රම හඳුනාගෙන ක්‍රියාත්මක කිරීමය. එවිට දැනටමත් අප රට ලබාගෙන ඇති ණය කන්දරාව හා පොලී ගෙවීමට ද පිටරටින් අප රටට අත්‍යවශ්‍යයෙන්ම ආනයනය කළ යුතු ඛනිජ තෙල්, ඖෂධ හා ඇතැම් යන්ත්‍රෝපකරණ අමතර කොටස් ආදිය ගෙන්වීමට අවශ්‍ය වි‍දේශ විනිමය ද රටට ලැබෙනු ඇත.

එමෙන්ම සීනී, කිරිපිටි මෙන්ම මෙරට වැවිය හැකි සියලු ආහාර බෝග රට තුළ වගා කිරීමටත් සියලු ශක්තිය යොදා කටයුතු කළ යුතුය.

එසේම පුනර්ජනනීය බලශක්තිය හැකිතරම් උත්පාදනය කර සූර්ය බලශක්තියෙන් ධාවනය වන ත්‍රීරෝද රථ හෝ නිපදවා ඉන්ධන සඳහා විදේශයට ඇදී යන විදේශ විනිමය ද යම් පමණක් හෝ අඩුකර ගැනීමට පියවර ගත යුතුය. රට දේශීය හා විදේශීය වශයෙන් දැඩි මූල්‍ය අර්බුදයකට ලක්ව ඇති අවධියක රාජ්‍ය සේවකයන් ඇතුළු සියලු පුරවැසියන් ද ඒ බව මනාව තේරුම්ගෙන කටයුතු කිරීම වඩාත් සුබදායි බව සිහිපත් කළ යුතුය.

 

 

ඩබ්ලිව්. එම්. ඩී. එල්. කේ. වනසිංහ, මාරස්සන

*********************

නීතිඥවරියක ලෙස දිවුරුම් දෙයි

රාගම, කැටගෙවත්ත, අංක 835/ඩී/1 ලිපිනයේ පදිංචි ඥෙයි මිනෝලි නළවංශ පසුගියදා ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥවරියක ලෙස දිවුරුම් දෙනු ලැබුවාය.

මුලින්ම ලංකා වරලත් පිරිස් කළමනාකරණ ආයතනයේ PQHRM - CIPM උපාධිය හදාරා අනතුරුව එක්සත් රාජධානියේ බකිංහැම්ෂයර් නව විශ්වවිද්‍යාලයේ (Buckinhamshire New University) මඟින් LLB (Hons) UK උපාධියද, ශ්‍රී ලංකා නීති විද්‍යාලයෙන් සිය නීතිවේදී අධ්‍යාපනය ද හදාරා ඇත.

ගම්පහ සිරි කුරුස සහ කොළඹ බිෂොප් විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක වන මිනෝලි නීතිඥ තුවාන් ජේ. නළවංශ සහ මරිනා නළවංශ යුවළගේ දියණියයි.

*********************

ජීව වායුවෙන් වැඩක් ගමු

 

වර්තමානයේ රට තුළ ගෑස් හිඟයක් පවතී. ප්‍රධාන ගෑස් සමාගම් දෙකෙන් එකක් අක්‍රිය තත්ත්වයේය.

ඊට අමතරව ගෑස් මිල ද දෙවරකදී ඉහළ නංවා ඇත. ගෑස් පෝලිම් ද නිර්මාණය වී තිබේ. මේ සියල්ලටම හේතුව කොවිඩ් තත්ත්වය හමුවේ අප රට මුහුණ දී සිටින විදේශ විනිමය හිඟය බව නොරහසකි.

එල්.පී ගෑස් හෙවත් ඉවුම් පිහුම් කටයුතු සඳහා යොදාගන්නා ගෑස් අප රටට ගෙන්වනු ලබන්නේ පිටරටිනි. මන්නාරමේ මෙකී ගෑස් නිධියක් ඇතැයි කීවද එය ගොඩ ගැනීමට ද තව කල් යනු ඇත. ඒ අනුව ගෑස් වෙනුවට විකල්ප මාර්ග සෙවීමට කාලය එළැඹ ඇත. ගෑස් වෙනුවට දර භාවිතයට ගත හැකි වුවද එය නාගරික සමාජයට ඔරොත්තු නොදේ. තව ද දර භාවිතාව ප්‍රචලිත වුවහොත් ඉතිරිව තිබෙන වන සම්පත ද ක්‍රමයෙන් විනාශ වීමට ඇති ඉඩකඩ බැහැර කළ හැකි නොවේ.

*********************

 

එසේනම් අපි කුමක් කරමුද?

ජීව වායු හෙවත් බයෝගෑස් ගැන සිහිවන්නේ එවිටය.

ගව පාලනය කරන නිවෙසකට පහසුවෙන් සාදාගත හැකි බලශක්තියක් ලෙස ජීව වායු හඳුන්වා දිය හැකිය. ගව ගාලට පහළ ප්‍රදේශයක භූගත ටැංකියක් බැඳ ඊට ගව ගාලෙන් දෛනිකව එකතු වන ගව මුත්‍රා හා ගොම දියර ලෙස පිරවිය හැකිනම් හා ඊට නිවසේ ඉවතලන එළවළු හා පලතුරු කොටස් ද එක්කළ හැකිනම් පහසුවෙන් ජීව වායුව නිපදවා ගත හැකිය.

මෙරට ගවයන් ඇතිකරන නිවෙස් රාශියකි. ඒ සෑම නිවෙසකම දෛනික ආහාර වේල් සකසා ගැනීමට අවශ්‍ය ගෑස් මෙකී ජීව වායු ජනකය මඟින් ලබාගත හැකිය.

ඒ අනුව ගෑස් ප්‍රශ්නයෙන් පහෙන් එකක් හෝ විසඳී රටට විදේශ විනිමය ද ඉතුරු වනු නොඅනුමානය.

 කේ. එල්. ඩී. ජයසිංහ

*********************

පොතුවිල ආදාහනාගාරයට ජෙනරේටරයක් ලබා දෙන්න

 

බේරුවල ප්‍රාදේශීය සභාව මඟින් නඩත්තු කරනු ලබන පයාගල,

පොතුවිල ආදාහනාගාරයට විදුලි උත්පාදන යන්ත්‍රයක් හෙවත් ජෙනරේටරයක් නොමැති වීම විශාල ගැටලුවකි.

ඒ හේතුවෙන් විදුලිය විසන්ධි වූ අවස්ථාවලදී ආදාහනාගාරයට රැගෙන එන දේහයන් ආදාහනය කිරීමට නොහැකිව

ජනතාව දැඩි දුෂ්කරතාවන්ට මුහුණ පාති.

මෙකී ආදාහනාගාරය ජනතා අයිතියට පවරා

මේ වන විට වසර 4ක පමණ කාලයකි.

පසුගිය කාලය පුරාවට විදුලි උත්පාදන යන්ත්‍රයක් නොමැති හෙයින්

ජනතාව දේහයන් ආදාහනයේදී මුහුණ දුන් දුෂ්කරතා නිසා

ප්‍රදේශවාසීහු දැඩි කනස්සල්ලට පත්ව සිටිති.

එසේම මෙම ආදාහනාගාරය පිටුපස මායිම් තාප්පයක්

නොමැති හෙයින් අනවසර පිරිස් දිවා රෑ ආදාහනාගාරයට

ඇතුළුවීමෙන්ද ගැටලුකාරී තත්ත්වයක් මතුවී ඇත.

මෙකී කරුණු පිළිබඳව බේරුවල ප්‍රාදේශීය සභාවේ කඩිනම් අවධානය

යොමු වී ඉක්මන් විසඳුම් ලබා දෙතැයි අපේක්ෂා කරමු.

 

 මෛත්‍රී විජේසිංහ, පයාගල

*********************

තලංගම පොලිසියේ නව ස්ථානාධිපති

පසුගියදා තලංගම පොලිසියේ නව පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස ප්‍රධාන පොලිස් පරීක්ෂණ දිනේෂ් අන්තරගම පත් කෙරිණි. 1997 වසරේ පෙබරවාරි මස 15 වැනිදා උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස සේවයට බැඳුණු ඔහු මීට පෙරදී නවගමුව පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙස ද කටයුතු කෙළේය.

පොලිස් ස්ථාන රැසකම සේවය කර ඇති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිනේෂ් අන්තරගම ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයේ ආදි සිසුවෙකි.

*********************

ජ්‍යෙෂ්ඨ කාන්තාවන්ටත් අනත්දරු විශ්‍රාම වැටුප දෙන්න

 

 

වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් ක්‍රමය රාජ්‍ය සේවකයන්ගේ පවුල් සඳහා ඉමහත් මෙහෙවරක් සිදු කරන්නකි. එහෙත් වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් ක්‍රමයට මෙතෙක් දායක වීමට නොහැකි වූ රාජ්‍ය සේවයෙහි අගනා මෙහෙවරක් ඉටුකොට විශ්‍රාම ලබා සිටින ජ්‍යෙෂ්ඨ පුරවැසි කාන්තාවෝ රැසක් තවමත් සිටිති. ඔවුහු වර්ෂ 1983 අගෝස්තු මස 01 වැනි දිනට පෙර පත්වීම් ලැබූවෝය.

විශ්‍රාම වැටුප් චක්‍රලේඛ අංක 14/2009 සහ 2009 අගෝස්තු 25 දිනැති චක්‍රලේඛයේ අංක 4 වගන්තියට අනුව, "විශ්‍රාම ලබා ඇති නිලධාරිනියකගේ දායක මුදල් හා පොලිය, සමාන වාරික 180කින් අය කළ යුතුය" යන ප්‍රකාශය අනුව වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් ක්‍රමයට දායක වීමට අදාළ කණ්ඩායමට අවස්ථාව නොපමාව සලසා දෙන මෙන් ජනාධිපති, අගමැති, රාජ්‍ය පරිපාලන අමාත්‍යතුමා මෙන්ම විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජෙනරාල් තුමා ඇතුළු බලධරයන්ගෙන් ගෞරවාන්විතව ඉල්ලා සිටින්නෙමු.

ඒ අනුව මෙකී කණ්ඩායමට වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් ක්‍රමයට දායක වීම සඳහා මනාපය පළ කිරීමට යළිත් වරක් අවස්ථාවක් ලබාදීම උදෙසා කටයුතු සලසන මෙන් ද කාරුණිකව අවධාරණය කරමු.

 

 

 

නාලනී තෙන්නකෝන්, උකුවෙල

 

*********************

55න් ගිය අයටත් 65 දක්වා ලබා දෙන්න

 

 මෙවර අයවැය යෝජනාවට අනුව රාජ්‍ය සේවයෙහි වයස අවුරුදු 65 දක්වා සේවය කිරීමට අවස්ථාවක් සලසා දී ඇත. ඒ පිළිබඳව රජයට ප්‍රශංසාව හිමි විය යුතුය. පොලිස් දෙපාර්තමේන්තුවේ සේවය කරමින් සිටි මා වයස අවුරුදු 55 සම්පූර්ණ වීමෙන් පසු 2018 වසරේ සේවයෙන් විශ්‍රාම ගිය අයෙකි.

කිසියම් හේතුවක් නිසාවෙන් 2018 වසරේ වයස අවුරුදු 55න් විශ්‍රාම ගොස් සිටින මා වැනි අයටත් තවත් අවුරුදු කිහිපයක් සේවය කිරීමට හැකියාව ඇති බව මාගේ අදහසයි. අයවැය යෝජනාව අනුව වයස අවුරුදු 65 දක්වා සේවය කිරීමට හැකියාවක් ඇත්තේ දැනට සේවයේ යෙදී සිටින අයට පමණක් බව

අප හට දැනගැනීමට ඇති කාරණාවයි.

එම නිසා තවත් වසර කීපයක් සේවය කිරීමට හැකි මා වැනි පිරිස් හට ද 65 දක්වා සේවාව දීර්ඝ කිරීම ඔස්සේ අවස්ථාවක් සලසා දෙන්නේ නම් තවදුරටත් සේවය කිරීමට

මනා ශරීර සුවයෙන්

සහ ඉතා කැමැත්තෙන් පසු වේ.

මේ සම්බන්ධව නීතිය, සාමය හා මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යවරයාගේ කාරුණික අවධානය යොමු කරන ලෙස

ඉල්ලා සිටිමි.

 

 

 එච්. එම්. චන්ද්‍රසේන, දඹුල්ල

 

*********************

විසල් පිරිස එන මිණිපුර නගරයට තැපැල් පෙට්ටියක් දෙනු බස් නැවතුමට

 

 ඇත්තේ එයට කාගෙත් හද පිරි පෙමය
ඉන්නේ දහස් ගණ­නක යන එන සැමය
වැඩි­පුර සෙනඟ ඇති තැන බස් නැව තුමය

නග­රෙට එද්දි රඳවා ලොකු බරක් සිත
එන උද­වි­යට කෙරු­මට වැ‍ඩ ගොඩක් ඇත
ලිපි­යක් දම­න්නට ගොස් ටික දුරක් වෙත
මධ්‍යම තැපැ­ල්හල මිස වෙන තැනක් නැත

නග­රය වෙතට එන දහ­සක් මගිය නට
මුද්දර ගසන ලද ලිපි­යක් හදිසි යට
දැමු­මට දුර නොගොස් ඇති ඉඩ පහසු කොට
දෙනු මැන තැපැල් කණු­වක් බස් නැවතු මට

මෙය අත වැසිම වන අඩු­පා­ඩු­වක් නියා
සලකා බලා හරි­හැටි සිය දෙනෙත් අයා
මෙම ඉල්ලීම ඉටු­ක­ළ­හොත් කලක් නොයා
වැජඹේ තැපැල් සේවය හොඳ නමක් තියා
 

 

කලාභූෂණ, තිලකරත්න වාහලතන්ත්‍රී, රත්නපුර

Comments