දුම්රිය වර්ජනයෙන් පීලි පැන්නේ මානුෂිකත්වය ද? | Page 3 | සිළුමිණ

දුම්රිය වර්ජනයෙන් පීලි පැන්නේ මානුෂිකත්වය ද?

දුම්රිය දෙපාර්තමේන්තුව නිරතුරුවම මහජනතාවගේ දෝෂ දර්ශනයට ලක්වන ආයතනයකි. එකවිටෙක දුම්රිය පීලි පැනීම්ය. තවත් විටක මාර්ග අවහිරතාය. නැත්නම් සංඥා දෝෂයන්ය. මේ සියල්ලටම වඩා දරුණු වන්නේ දුම්රිය වර්ජනයන්ය. ස්වභාවික උවදුරුද ඒ අතර නැතිවාම නොවේ. ස්වභාවික උවදුරු හෝ මාර්ග අවහිරතා වළක්වා ගන්නට නොහැකි වුවත් දුම්රියේ වර්ජන තර්ජන නම් වළක්වා ගත හැකිය. එහෙත් ඒවා වළක්වා ගන්නට ප්‍රවාහන බලධාරීන්ටද වුවමනාවක් නැති බවක් ද පෙනේ. දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ඇතුළු නිලධාරීන්ටද යා හැකි සීමාවක් තිබේ. ඒ සීමාව ඉක්මවා යන්නට ඔවුනටද හැකියාවක් නැත.

කරුණු කාරණා කෙසේ වුවත් ඇතැම් දුම්රිය වෘත්තීය සමිති, සේවකයන් තමන්ගේ සීමා ඉක්මවා ගොස් සිදු කරන්නා වූ කටයුතු නිසා අසරණ වන්නේ මඟියාය. එය තව දුරටත් පැහැදිලි කරන්නේ නම් උදෑසන සීසන් එක ගෙන රැකියාවට ආ සේවකයා නන්නත්තාරය බෙහෙත් ගන්න රෝහලට ගිය රෝගියා අතරමංය පාසල් බෑගය එල්ලාගෙන ආ සිසුවා උදෑසන ගත් ආහාරය සමඟ රාත්‍රී වන තුරු මහ මඟය. මුදල් අතේ තිබුණද යන්න එන්නට නොහැකිව සිසුවියන් අතරමංය. ඔවුන් අනාරක්ෂාකාරීය.

පසුගිය බදාදා මේ සිදුවීම් සියල්ල එකවර අපට දැකගත හැකි විය. වර්ජනය ආරම්භ කෙළේ දුම්රිය රියැදුරන්ය.

දහවල් 12.00 වන විට දුම්රිය වර්ජනය හිටිවනම ආරම්භ විය. ඒ වැටුප් විෂමතා මුල් කරගෙනය. ඒ අතර එදින උදෑසන සිදු වූ අනතුර ගැනද කතාවක් එළියට ආවේය. ඒ බලවේග කට්ටල දුම්රිය ධාවනය කිරීමට දුම්රිය රියැදුරන් වර්ජනය කළ කතාවකි. ආරක්ෂාව පිළිබඳ ගැටලුවක් එහිදී බලපානා බවට කරළියේ රැව් දුන්නේය. කෙසේ වුවත් වර්ජනය ආරම්භ වීමට බලපෑ ප්‍රධාන හේතුව වැටුප් ගැටලුවයි. දුම්රිය සේවයේ මේ දක්වා රියැදුරු, නියාමක, දුම්රිය ස්ථානාධිපති, දුම්රිය පාලක, ෆෝමන් තනතුරුවලට අදාළව වැටුප් කේත අංක පවා ලබා දී නැත. එම නිසා හැමදාම වැටුප් ගැටලුය. ඔවුන්ගේ වැටුප් සැකසීමේදී වෙනත් අංශයක පිරිස් වර්ජනයට මාන බලති.

ඒ අතර දුම්රිය ස්ථානාධිපතිවරුන් පසුගිය 13 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක නියැළෙන බවට අනතුරු අඟවා තිබුණි. එයට හේතු වශයෙන් ඔවුන් දක්වා තිබුණේ අබලන් දුම්රිය මැදිරි ධාවනයට යොදවා මගී ජීවිත අනතුරේ හෙළීම මුල් කරගත් ඉල්ලීම් කිහිපයකි. මරදාන දුම්රිය විදුලි පණිවිඩ හුවමාරු මධ්‍යස්ථානයේ කටයුතු වලින් ඉවත් වීමට ඔවුන් තීරණය කර තිබුණි.

දුම්රිය බලධාරීන් දුම්රියේ අනතුරුදායක තත්ත්වය අවම කර මෙඟී ආරක්‍ෂාව තහවුරු කිරීමට පියවර නොගන්නේ නම් මේ මස 26 වැනිදා සිට දුම්රිය ස්ථානාධිපතිවරු සේවයෙන් ඉවත් වීමට අදහස් කර ඇතැයිද ඔවුහු පැවසූහ.

දුම්රිය දෙපාර්තමේන්තුව තුළ ඉපැරැණි සංඥා පද්ධතියක් ක්‍රියාත්මක වන බවත් එහි ගැටලු බොහොමයක් තිබෙන බවද ඔවුහු පැවසූහ. විශේෂයෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුවේ නවතම අංශය වන සන්නිවේදන පද්ධතිය සම්බන්ධයෙන්ද විවිධ ගැටලු මතුව තිබුණි. එහිදී දුම්රිය මැදිරි සම්බන්ධ පූර්ණ වගකීම් තම කරපිටට ගැනීමට දුම්රිය ස්ථානාධිපතිවරුන්ට අවශ්‍ය නැත. මඟී දුම්රිය ධාවනය වන විටදී එහි ප්‍රධාන වගකීම දුම්රිය නියාමක වරුන් විසින් දරනු ඇත. මේ අටුවා ටීකා හරහා එන්නේ වැටුප් ප්‍රශ්නයක්ම පමණි. චීනයෙන් ආනයනය කළ දුම්රිය මැදිරිවල තිරිංග පද්ධතියේ දෝෂ සම්බන්ධ කතාව එදා සිටම මතු වන්නකි. ඒ සම්බන්ධයෙන් දුම්රිය රියැදුරන් නියාමකවරුන් විසින් කරුණු දක්වා තිබේ. එය වෙනමම කතාවකි. කෙසේ හෝ දුම්රිය ස්ථානාධිපති වර්ජනය සිදු නොවුණේ රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම හා පැවැති සාකච්ඡාව නිසාය.

එහෙත් දුම්රිය රියැදුරන් විසින් බදාදා දහවල් 12.00 සිට ආරම්භ කරන ලද වර්ජනය නිසා පාසල් ගිය දරු දැරියන් විශාල පිරිසක් අතරමං විය. ඔවුන්ගෙන් සැලකිය යුතු පිරිසක් අත තිබුණේ වාර ප්‍රවේශ පත්‍රය පමණි. දිවා ආහාරයද නොමැතිව ඔවුන් කුසගින්නේය. ඒ බව වර්ජකයන්ට නොපෙනීම නම් කනගාටුදායකය. අවම වශයෙන් දරු දැරියන් ගැන සිතන්නට තිබුණි. එහෙත් වර්ජනයේ නිරතව සිටියද රඹුක්කන, පොල්ගහවෙල, අලුත්ගම වැනි බාහිර ප්‍රදේශ කරා ගිය දුම්රිය ආපසු ගෙන ඒමට රියැදුරෝ කටයුතු කළහ. ඒ ලෙසින් අවම වශයෙන් පාසල් දුම්රිය හෝ මානුෂීය ලෙසින් ධාවනය කරන්නට ඔවුන්ට අවකාශ තිබුණි. උදෑසන කොළඹ හා රාගම රෝහල්හි සායන කරා පැමිණි රෝගීන් යන එන මං නොමැතිව අතරමං විය.

මනුෂ්‍යත්වය නොමැතිව ලබා ගන්නට උත්සාහ ගන්නා අයිතිය කුමක්ද යන්න අපට නම් ප්‍රශ්නයකි. දුම්රිය රියැදුරු නියාමකවරුන්ගේ අතිකාල සමඟ වැටුප අවම වශයෙන් රුපියල් 150,000ක් පමණ වන්නේය. ඇතැම් අයගේ මාසික ඉපැයීම 250,000ක් පමණ වේ. දුම්රිය ධාවනයට අත තැබීමටත් පෙර සිට අතිකාල මීටරය කැරකැවේ. එවන් පසුබිමක් තුළ සිට අසරණ ජනතාව විශේෂයෙන්ම රෝගීන්, පාසල් දරුවන් ඇපයට ගැනීම අනුමත කළ හැකිද?

දුම්රිය රියැදුරන් විශාල කාර්ය භාරයක් කරනා බව අපි දනිමු. ඔවුන්ගේ වගකීමද අතිවිශාලය. ඔවුන්ගේ රාජකාරියේදී ඇති වන අපහසුතා ගැනද අපි දනිමු. උදාහරණයක් ලෙස නාවලපිටියෙන් පෙරවරු 9.45ට පමණ දුම්රිය බාර ගන්නා රියැදුරු මහතා පස්වරු 4.06 වන තුරු එය බදුල්ල දක්වා ධාවනය කරන්නේ දිවා ආහාරය පවා ලබා ගැනීමට ක්‍රම වේදයක් නොමැතිවය. උදෑසන 5.35ට පමණ කන්කසන්තුරේ නගරාන්තර දුම්රියට ගොඩවන රියැදුරු මහතා කන්කසන්තුරය දක්වා එක දිගටම දුම්රිය ධාවනය කළ යුතුය. අවධානය යන්තම් ගිලිහුණහොත් විශාල අවදානමකි.

ඒ වෘත්තීය සේවාව අපි අගය කරමු. එහෙත් අමානුෂික ලෙස මඟියා ඇපයට තබා ගැනීම අපි අනුමත නොකරමු. ඔවුන් තම දූ දරුවන්ට එසේ වන්නට ඉඩ දී නිහඬ නොවනු ඇත. තමන්ගේ මව පියා රෝගීව සිට රෝහලකට ගොස් ඇත්නම් නිවසට යන ක්‍රමයක් සොයා බලා මිස කටයුතු නොකරනු ඇත. ඒ අයිතිය අනෙක් අයටද තිබිය යුතුමය. රාජ්‍ය සේවයේ විවිධ කමිටු වැටුප් වෙනුවෙන් පත් කෙරිණි. එහෙත් ඒ කමිටුවකට හෝ සංවෘත විවෘත දෙපාර්තමේන්තු නිසි ලෙසින් හඳුනාගෙන අදාළ දෙපාර්තමේන්තුවට, සේවාවට සරිලන වැටුප් ක්‍රමවේදයක් සකස් කරන්නට හැකියාවක් නොතිබුණි. අවසන් වශයෙන් දුම්රිය වැටුප් සකස් කිරීම වෙනුවෙන් පත් කළ රනුක්ගේ කමිටුවද වැඩේ අනා ගත්තේය. එහි ප්‍රතිඵල මෙසේ එළියට පැමිණෙමින් තිබේ.

සමස්ත රාජ්‍ය සේවාවම පොදු ව්‍යුහයක් කරා ගෙන යාමට 6/2006 චක්‍ර ලේඛන ගෙන ආවද එයින් සිදු වූයේ ගැටලු තවත් වර්ධනය වීමය.

ඒ කරුණු මොනවා වුවත් වර්ජනයක් යනු වෘත්තිකයන්ගේ අවසන් පියවර වේ. එහෙත් එය පළමුවෙන්ම ගෙන ඒමට කටයුතු කිරීම වෘත්තියට කරනු ලබන නිගරුවකි. එහි ගරුත්වයට කරනු ලබන අපහාසයකි. ගුරු වැටුප් ප්‍රශ්නය මුල් කර ගනිමින් කොවිඩ් අවදානම නොතකා සිදු කළ උද්ඝෝෂණ පෙළපාළි අපි දුටුවෙමු. දකුණු පළාතේ ගුරුවරියක් උද්ඝෝෂණය අතර ඇද වැටී මිය ගියාය. ඒ එක් ප්‍රතිඵලයකි. ඉල්ලීම් අයිතීන් දිනා ගත යුතුය.

එහෙත් එය දිනා ගත යුත්තේ වෘත්තීය ගරුත්වය රැක ගනිමිනි. එසේ නොමැතිව තමන්ගේ සේවාව ලබන්නා කබළෙන් ළිපට ඇද දැමීමෙන් නොවේ. අවම වශයෙන් පූර්ව දැනුම් දීමක් හෝ සිදු කළ යුතුය. එය යම් අයුරකින් හෝ මානුෂිකය. එහෙත් නගරයට, රෝහලට, පාසලට, කාර්යාලයට ජනතාව, රෝගීන්, සිසුන් ගෙනවිත් දමා ඔවුන් අතරමං කර ලබා ගන්නා වැටුප තමන්ට යා දෙන්නේදැයි යළිත් වරක් සිතා බැලිය යුතු නොවේද?

සේයාරූ- තුෂාර ප්‍රනාන්දු

Comments