නත්තල් ගැන ජනතාව කියන කතා... | Page 2 | සිළුමිණ

නත්තල් ගැන ජනතාව කියන කතා...

නත්තල නිදහසේ සමරන්න පහසුකම් නැහැ... 
තරිඳු ගීත් සුරංග (25) ඌරුපිටිය - වැඩ පරීක්ෂක

මෙවර නත්තල අනිත් අවුරුදුවලට වඩා වෙනස්, කොරෝනා අර්බුදය එක පැත්තක පාස්කු ප්‍රහාරයට තාම විසඳුම් නෑ. එක රටක් එක නීතියක් කාර්යසාධක බළකාය නිසා තර්ජන තවත් පැත්තකින්. ක්‍රිස්තියානි ආගමට සම්බන්ධ මැති ඇමැතිවරු දේශපාලනයට මැදිහත්වීමක් නෑ. වෙනදා නත්තලට මාධ්‍ය ආයතන සම්බන්ධ වෙලා විවිධ දේ සිදු කළත් මේ සැරේ ඒවත් අඩුයි. උද්ධමනය වැඩි වෙලා. නත්තල නිදහසේ සමරන්න අවශ්‍ය පහසුකම් සම්පාදනය වෙලා නෑ.

නත්තල් එනවා ඒත් අපට උත්සවශ්‍රීයක් නෑ...
රොෂානි ද සිල්වා (49) බණ්ඩාරගම - ළමා නිවාස පාලිකා

ජීවන වියදම අහස උසට ගිහින්. හැමදේම මිල වැඩි වෙලා. ඊට සාපේක්ෂව පඩි වැඩි වෙන්නේ නෑනේ. නත්තල කොහොම සමරන්නද? ඉස්සර නම් ඇත්තටම මිනිසුන්ට නත්තල් තිබුණා. නත්තල් කිට්ටු වෙද්දී සැරසිලි භාණ්ඩ වැහි වැහැලා. හැම ගෙදරකම ගවලෙනක් හදනවා. කතෝලික දේවස්ථානවල විවිධ උත්සව සංවිධානය කරනවා. ගීතිකා ගයනවා. ඒත් මේ කොරෝනාත් එක්ක සේරම උඩු යටිකුරු වෙලා. අනිත් අතින් පාස්කු ප්‍රහාරය නිසා පල්ලිවලට රැස්වෙන්නත් බයයි. හුඟාක් අයගේ හිතේ සතුටකුත් නෑ. නත්තල් ආවා. ගියා පමණයි. උත්සව ශ්‍රීයක් නෑ.

නිවසේදී ආගම සිහි කරන්නයි වෙලා තියෙන්නේ... 
මලයප්පන් මහේෂ්වරන් (37) සූපවේදී - කුරුඳුවත්ත

පසුගිය වසරවල අපි කවුරුත් නත්තල සතුටින් සැමරුවා. පසුගිය වසර දෙක පුරාම කොරෝනා නිසා දුක් වින්දා. දැන් නම් අපිට පේන්නෙ කොරෝනා විකුණන් කනවා වගේ දෙයක්. නත්තල් සැරසිලි හරි ගණන්. නත්තල් කෑම බීම දෙගුණයක් මිල වැඩියි. ලොකු අයට තියා පොඩි අයට ඇඳුමක් ගන්න බෑ ඒවත් මිල වැඩියි. පල්ලියට යන්නත් බෑ. එකතුවෙලා උත්සව, සැණකෙළි පවත්වන්නත් බෑ. කොරෝනා නිසා මිනිස්සු වෙන කවරදාකටත් වඩා මේ වකවානුවෙ හැම අතින් ම අසරණවෙලා. ගෙදර ඉඳලා ආගම සිහිකරලා හිත හදාගන්නයි දැන් වෙලා තියෙන්නේ.

නත්තල තවත් එක දවසක් පමණක් වෙලා...
එස්. ස්වර්ණාදේවි (45) ගෘහණියක් - වැල්ලම්පිටිය

හැම දෙයක් ම මිල අධිකයි. වෙනදට නත්තලට සැරසිලි භාණ්ඩ තෝර තෝර ගන්න තියෙනවා. දැන් ඒ තරම් නෑ. අනික තියන ටිකත් හරි ගණන්. පොදුවේ බැලුවොත් ලංකාවෙ විතරක් නෙමෙයි ලෝකෙටත් නත්තල් නෑ වගේ. කොරෝනා වසංගතය නිසා එකතුවෙලා සමරන්න බෑ. ආර්ථික ප්‍රශ්න නිසා ගෙවල්වලට වෙලා පවුලේ අයට විතරක්වත් නත්තල් සමරන්න බැරිවෙලා. මීට අවුරුදු තුනකට විතර කලින් නත්තල් සිරියෙන් මුළු රටම ඇලළුණා. දැන් නත්තල් එනවද කියලා කාටවත් කිසිම ගාණක් නෑ. අනිත් ආගම්වල උත්සව වගේ ම නත්තලත් තව දවසක් පමණක් වෙලා. ගෙවිලා යනවා.

වැලේ වැල් නැතුව ඉද්දි මොන නත්තල්ද?... 
ආශා සෙල්වරාජ් (23) කොටහේන - යන්ත්‍ර ක්‍රියාකාරිනී

පසුගිය අවුරුදු දෙකේම වගේ මේ සැරේ නත්තලත් නිකම්ම ගෙවිලා යනවා. පාස්කු ප්‍රහාරය හා කොරෝනා නිසා බහුතරයකට නත්තලේ සතුට සමරන්න බැරි වුණා. පාස්කු ප්‍රහාරයෙන් මියගිය අයගේ පවුල්වල අය තාමත් දුකින් කාලය ගෙවන්නේ. ඒ අතර කොරෝනා නිසාත් බොහෝ දෙනා මිය ගියා. ජාති, ආගම් භේදයෙන් තොරව, අනික මිනිසුන් ආර්ථික අතින් බොහෝ දුෂ්කරතාවලට පත්වෙලා. නත්තල් පමණක් නෙමෙයි, කිසිම උත්සවයක් සතුටින් රැස්වී සමරන්න නොහැකි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ. වැලේ වැල් නැතුව ඉන්නේ. ඉතින් මොන නත්තල් ද?”

නත්තල් සැරසිලි විකිණෙන්නෙත් ඉතා අඩුවෙන්... 
මොහොමඩ් මන්සුර් ඉරුෆාන් (31) මට්ටක්කුලිය - වෙ‍ෙළඳාම

මම අලෙවි කරන්නේ නත්තල් සැරසිලි. මේ සැරේ මිනිස්සු ඒවා දිහා හැරිලවත් බලන්නේ නෑ. ඒවා ගන්න තියා එදිනෙදා කන බොන දේවල් ගන්නවත් මුදල් නෑ. අනික අනික් හැමදේම වගේ ම නත්තල් සැරසිලිත් ගණන් ගිහින්, ඉස්සර නත්තල් කිට්ටු වෙද්දී ලොකු අලෙවියක් තිබුණා. මිනිසුන් හරි උනන්දුවෙන් සැරසිලි ගත්තේ ආගම් භේදයකින් තොරව. පසුගිය අවුරුදු දෙකෙත් නත්තල සමරන්න බැරි වුණා. පාස්කු ප්‍රහාරය හා කොරෝනා නිසා. අඩු ගාණේ පාරවල්, පල්ලි ආයතන සරසනවා තියා ගෙවල් සරසන්නවත් මිනිසුන්ට වුවමනා නැති ගාණයි.

Comments