නානුඔයෙන් නුවරඑළියට එන මාස 18න් ක්‍රියාත්මක කේබල් කාර් | Page 2 | සිළුමිණ

නානුඔයෙන් නුවරඑළියට එන මාස 18න් ක්‍රියාත්මක කේබල් කාර්

- සුපිරි විදේශීය තාක්ෂණය
- සංචාරකයන්ගෙන් ලොකු ආදායමක්
- රජයට බරකුත් නෑ පරිසරයට හානිත් නෑ

පේ රටට කේබල් කාර් පිළිබඳව විවිධ මත පළවූයේ දැනට වසර 20 – 30 කට පමණ පෙරය. විවිධ රජයන් යටතේ මෙරටට කේබල් කාර් ව්‍යාපෘති ආරම්භ කරන බවට සාකච්ඡා පවත්වා හා අදහස් පළවූවත් මෙරට ඉදිවූ කේබල් කාර් පද්ධතියක් නැත. එය සිහිනයක් පමණක් විය. 

නමුත් ඒ සිහිනය සැබෑ කරමින් වත්මන් රජයේ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ලෙස අගමැති මහින්ද රාජපක්ෂයන්ගේ උපදෙස් මත මෙරටට මෙවර ස්ථිර ලෙසම නව කේබල් කාර් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම දැන් අරඹා ඇත. මාස 18 ක් තුළ සම්පූර්ණයෙන් ම ක්‍රියාවට නංවන මෙම ව්‍යාපෘතියේ නාගරික සංවර්ධන අධිකාරිය ස්විඩන් විදේශීය ආධාර යටතේ මෙහෙයවයි. මෙම කේබල් කාර් ව්‍යාපෘතිය මඟින් රටේ ආර්ථිකයට මෙන් ම සංචාරක කර්මාන්තයට සුවිශේෂී දිරිගැන්වීමක් සිදු කෙරේ. නුවරඑළිය නගර සංවර්ධනය යටතේ මෙම කේබල් කාර් ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙයි.

නානුඔය සිට නුවරඑළිය දක්වා අදියර 2 කින් ක්‍රියාත්මක වන කිලෝමීටර් 4 ක් දිවෙන මෙම කේබල් කාර් ව්‍යාපෘතිය මඟින් නුවරඑළියේ පුංචි එංගලන්තයේ චමත්කාරය ඉහළ අහසේ සිට විඳ ගැනීමටත් විවිධ කෝණවලින් නුවරඑළියේ සුන්දර ස්ථාන සමඟ අවට ප්‍රදේශ ඉහළ සිට නැරඹීමටත් මේ කේබල් කාර් මඟින් අවස්ථාව ලැබෙන බව වන සංරක්ෂණ හා වනජීවී ඇමැති හා නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සී.බී. රත්නායක පවසයි.

“තව වසර දෙකකින් මහනුවරට අධිවේගයක් එනවා. එතකොට සංචාරකයන්ට නුවරඑළියට එන්න ලෙහෙසියි. ඒ කාලෙදි නුවරඑළිය සංචාරක පාරාදීසයක් වෙයි. ඒ සමඟම තමයි මේ කේබල් කාර් අරඹන්නේ.

මේ ව්‍යාපෘතිය දේශීය විදේශීය ආයෝජකයන් දෙදෙනකුගේ එකතුවක්. මේ හරහා විදේශීය සංචාරකයන් සහ ආයෝජකයන් වැඩිපුර අපේ රටට ගෙන්වා ගැනීම අපේ බලාපොරොත්තුව වෙනවා. එමඟින් අපේ රටේ වැටුණු ආර්ථිකය දියුණු කරන්න පුළුවන්. එමෙන් ම මේ වැඩපිළිවෙළ මඟින් කඩා වැටී ඇති සංචාරක ව්‍යාපාරයට ඉමහත් රුකුලක් ලැබෙන බව ද සී.බී. රත්නායක ඇමැතිවරයා පවසයි. ශ්‍රී ලංකාවේ මෑතකාලීන සංවර්ධනය නව මාවතකට යොමු කිරීමේ අරමුණින් ක්‍රියාත්මක විශේෂ සංවර්ධන ව්‍යාපෘති අතර මේ කේබල් කාර් ව්‍යාපෘතිය පෙරමුණ ගන්නා බව ද ඇමැතිවරයා පවසයි. අද ලොව සංචාරක ආකර්ෂණය දිනාගත් සියලු රටවල කේබල් කාර් ව්‍යාපෘති තිබේ. ඉතා භයානක ස්ථානවලට යාමට අපහසු ස්ථානවලට ඉහළින් ගොස් සිරි නැරඹීමට මේ මඟින් අවස්ථාව ලැබේ. ඒ මඟින් පහළ ඇති සුන්දර ස්ථාන ත්‍රිමාණ ලෙස දකින්නට අවස්ථාව ලැබේ. ඒ අනුව කේබල් කාර් තිබෙන රටවලට සංචාරක ආකර්ෂණය නිරන්තරයෙන් ම වැඩි වෙමින් පවතී.

අලුත් ව්‍යාපෘතිය නිසා දැන් අපේ රටට ද ඒ රටවල් සමඟ තරග කරමින් විදේශ ආදායම සංචාරක ආකර්ෂණය වැඩි දියුණු කර ගැනීමට හැකිවනු ඇතැයි නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.ඒ අනුව අපේ ආර්ථිකයට මෙන් ම සංචාරක කර්මාන්තයට සුවිශේෂී ආයෝජනයක් ලෙස මෙරට ප්‍රථම කේබල් කාර් ව්‍යාපෘතිය සඳහා නාගරික සංවර්ධන හා නිවාස ඇමැතිවරයා ලෙස අගමැති මහින්ද රාජපක්ෂයන්ගේ උපදෙස් පරිදි ගිවිසුම් අස්සන් කර ඇත. මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස් පරිදි නාගරික සංවර්ධන රාජ්‍ය ඇමැති නාලක ගොඩහේවාගේ අධීක්ෂණය මත මෙම නව ව්‍යාපෘති ක්‍රියාත්මක වෙයි. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා පවසන්නේ මේ ව්‍යාපෘතිය ඇරඹීම නිසා රටට සුබ කාලයක් උදාවන බවයි. 

“මෙම ව්‍යාපෘතිය ඇමෙරිකානු ඩොලර් මිලියන 55 ක දැවැන්ත ව්‍යාපෘතියක් මේ ව්‍යාපෘතියේ සියලු හවුල්කරුවන් මේ පිළිබඳව ලොකු පළපුරුද්දක් තිබෙන විද්වත් අය. මේ ව්‍යාපෘති අපි සැලසුම් කළේ වත්මන් ජනාධිපතිතුමා ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කරන කාලයේ. නමුත් පසුගිය රජය මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සිදු කළේ නැහැ. ඒ නිසා ලොකු විදේශ විනිමයක් රටට අහිමි වුණා.

අපේ රටේ සංවර්ධන කටයුතු ක්‍රමානුකූලව වේගවත්ව ඉදිරියට ගමන් කරනවා මේ මොහොතේ ශ්‍රී ලංකාව කෝවිඩ් 19 ගැටලු මධ්‍යයේ වුව ද සංවර්ධනය කරා ගමන් කරමින් පවතිනවා. ඒ අනුව නාගරික සංවර්ධන අධිකාරියේ වගකිවයුත්තන් කැපවීමෙන් හා උනන්දුවෙන් මෙම ව්‍යාපෘති නිවැරැදි ඇරඹුම මෙන් ම අවසානය පිළිබඳවත් සියලු කටයුතු කරන බව ස්ථිරයි. නිවැරැදි තීරණ ඉතාමත් ඉක්මනින් ගැනීමටත් එලෙසම ක්‍රියාත්මක කිරීමටත් අපි කිසිවිටෙකත් පසුබට වෙන්නේ නැහැ.” ලේකම් සිරිනිමල් පෙරේරා පවසයි. මේ ව්‍යාපෘතිය පිළිබඳ අවබෝධතා ගිවිසුම පසුගියදා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේදී අස්සන් කරනු ලැබූහ.

මේ පිළිබඳව අදහස් දැක්වූ නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් වරලත් ගෘහ නිර්මාණ ශිල්පී ප්‍රසාද් රණවීර පවසන්නේ මෙම ව්‍යාපෘතිය මේ රටේ අධ්‍යාපනය ලබන දරුවන්ට ඉතා ප්‍රයෝජනවත් එකක් බවයි.

“මෙම ව්‍යාපෘතිය ලංකාවේ සංචාරක ව්‍යාපාරය ද ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ඔසවා තබන ව්‍යාපෘතියක්. මේ ව්‍යාපෘතිය රටේ භාණ්ඩාගාරයට බරක් නොවෙයි. විදේශීය ආයෝජකයන් ගෙන්වා ගන්න වැඩක්. සංචාරක ප්‍රවර්ධන අධිකාරිය හා සංචාරක අමාත්‍යාංශය තමයි මේ ව්‍යාපෘතිය ආරම්භ කරන්නේ. නාගරික සංවර්ධන අධිකාරිය පාර්ශ්වකරුවකු හැටියටයි සම්බන්ධ කරගන්නේ. මේ අනුව නුවරඑළිය ප්‍රදේශයේ පරිසරය සුරැකමින්, වාහන ගමනාගමනය අඩු කරමින්, නුවරඑළියට අලුත් දෙයක් එකතු කරමින් නානුඔය සිට නුවරඑළියට කිලෝමීටර් 4 ක් දුර කේබල් කාර් ව්‍යාපෘතියක් අපි පටන් ගන්නවා. මාස 18 ක් වැනි කෙටි කාලයකින් මෙය සම්පූර්ණ ලෙස ඉදිකිරීම අරමුණයි.

මෙහිදී නුවරඑළියේ පවතින පරිසරයට කිසිම හානියක් කරන්නේ නැහැ. තිරසර ව්‍යාපෘතියක් ලෙස මෙය ක්‍රියාත්මක වෙනවා” අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර පවසයි. මේ අනුව ඉදිරි වසර 1 ½ ඇතුළත මෙරට ප්‍රථම කේබල් කාර් අත්දැකීම අපටත් විඳගන්නට ඉඩ හසර ලැබෙනු ඇත. එතෙක් ඒ සංවර්ධන වැඩකටයුතුවලට අත හිත දීම අපේ යුතුකමයි.

Comments