පාවහන් කර්මාන්තය අනතුරේ | සිළුමිණ

පාවහන් කර්මාන්තය අනතුරේ

පාවහන් යනු ශ්‍රී ලංකාවේ වාර්ෂිකව රුපියල් බිලියන 60 ක විශාල වෙළෙඳපොළක් ඇති කර්මාන්තයකි. ඊට අමතරව බෑග් සහ බෙල්ට් වැනි සම්භාණ්ඩ ක්ෂේත්‍රය ද එකතු වූ විට එය රුපියල් බිලියන 100 ක වෙළෙඳපොළක් ඇති අති දැවැන්ත දේශීය කර්මාන්තයකි. ශ්‍රි ලංකාවේ පාවහන් සහ සම් භාණ්ඩ කර්මාන්තය තුළ සෘජු ව සහ වක්‍ර ව නියැළෙන පිරිස 500,000 ඉක්මවයි. මහා පරිමාණ සමාගම් 10 ක්, මධ්‍ය පරිමාණ සමාගම් 30 ක් සහ සුළු පරිමාණ නිෂ්පාදකයන් 3,000ක් ඒ අතර වේ. සම්භාණ්ඩ කර්මාන්තයේ සම් නිෂ්පාදන කර්මාන්තශාලා 6ක් පමණ ඇති අතර, සම්භාණ්ඩ නිෂ්පාදන කර්මාන්තශාලා 8ක් සහ සංචාරක කර්මාන්තය අරමුණුකොට සම් භාණ්ඩ නිෂ්පාදනය කරන සුළු කර්මාන්තකරුවන් 1,000ක් පමණ සිටිති .

කෙසේ වෙතත් තමන් මුහුණ දී සිටින තත්ත්වය සහ කර්මාන්තයේ උන්නතිය උදෙසා ගත යුතු පියවර පිළිබඳ, ශ්‍රී ලංකා පාවහන් සහ සම් භාණ්ඩ නිෂ්පාදකයන් ගේ සංගමයේ සාමාජිකයන් කිහිපදෙනකු සමඟ අප කතාබහ කළෙමු.

එම සංගමයේ සභාපති සහ පී.ජී.මාටින් කර්මාන්තායතනයේ සභාපතිවරයා වන, පී.ජී.ඩී.නිමලසිරි ඒ පිළිබඳ දැක්වූයේ මෙවැනි අදහසකි.

"කාන්තා පාවහන්, කැන්වස් සපත්තු බූට්ස්, ක්‍රීඩා පාවහන්, ආරක්ෂක පාවහන්,පාසල් පාවහන්,රබර් සෙරෙප්පු ආදී විවිධ පරාසයක පවතින නවීන පාවහන් විවිධ අමුද්‍රව්‍යයන් යොදා ගෙන අපේ රටේ නිපදවනවා. රටේ පාවහන් අවශ්‍යතාව යුගල සෙරෙප්පු 60ක් පමණ වන අතර රබර් සෙරෙප්පු මිලියන 25ක් පමණ නිෂ්පාදනය කෙරෙනවා. අද වනවිට දේශීය නිෂ්පාදකයන් මෙම කොටසෙන් 75% ත් පමණ නිෂ්පාදනය කරන අතර ඉතිරි 25% ආනයනික පාවහන්.

කොවිඩ් වසංගත කාලය තුළ රටේ රෝහල්වලට අවශ්‍ය බුට් සපත්තු සැපයුයේ දේශීය කර්මාන්තකරුවෙක්. පාසල් පාවහන්වල අවශ්‍යතාව යුගල මි.4.5 වන අතර එය සම්පුර්ණයෙන්ම සැපයූවේ දේශීය කර්මාන්තකරුවන්. අද මේ සියලු දෙනා අමුද්‍රව්‍ය නැතිකමින් විශාල අර්බුදයකට මුහුණ පාලා. සංචාරක කර්මාන්තය බිඳ වැටිමත් සමඟ ඒ හා සම්බන්ධව පැවති සුළු සම් භාණ්ඩ නිෂ්පාදනයත් කඩ වැටිලා.

කෙසේ වෙතත් අමුදුව්‍ය උපාංග ආනයනයකරුවන්ට ඇතිවී තිබෙන දුෂ්කරතා නිසා ඒවා ආනයනය ද නැවතිලා. රටේ නිෂ්පාදනය නොකරන අමුද්‍රව්‍ය සහ උපාංග අනිවාර්යෙන් ම ආනයනය කරන්න වෙනවා. නමුත් ආනයනකරුවන්ට බැංකු විසින් ඩොලර් නිකුත් නොකිරිම නිසාත්, අදාළ ලියකියවිලි බැංකු විසින් අනුමත නොකිරීම නිසාත්, ආනයනකරුවන් ආනයනයෙන් ඉවත්වීම පටන් අරන්. මේ තත්ත්වය නිසා ඉදිරියේ පාවහන් නිෂ්පාදනය අඩාළ වන අතර පාවහන් ආනයනය කිරිමට සිදු වෙනවා.

මේ වන විට පාවහන් නිෂ්පාදනයේදි අත්‍යවශ්‍ය ශ්‍රී ලංකාවේ නිපදවන්නේ නැති අමුද්‍රව්‍ය සහ උපාංග අනිවාර්යෙන් ම ආනයනය කළ යුතුයි. නමුත් කිහිප වතාවක්ම මෙම ද්‍රව්‍ය සඳහා ආනයන බදු ඉවත් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටියත් එය තවම සිදු වූයේ නැහැ. පාවහන් ආනයනය සීමා කර තිබියදි පවා දේශීය වෙළෙදපොළ ආනයනික පාවහන්වලින් පිරී තිබෙනවා. මේවා ආනයනය කරන්නේ කොහොමද? එවැනි පසුබිමක මෙම ද්‍රව්‍ය ආනයනය කිරිමට අනුමැතිය ලබා ගැනීමේදි ඇති වන ප්‍රමාද නිසා, කබලෙන් ලිපට වැටි සිටින නිෂ්පාදකයන්ට ලක්ෂ ගණනින් ප්‍රමාද ගාස්තු ගෙවීමටත් සිදුව තිබෙනවා. එසේ නොහැකි සුළු සහ මධ්‍ය පරිමාණ නිෂ්පාදකයන් බොහෝ දෙනෙක් කර්මාන්ත වසා දමලා.

ඒ විතරක් නෙවෙයි අපේ රටේ සමහර උසස් නිලධාරීන්ට පවා සන්නාම සහිත පාවහන් පැලඳීමට ඇත්තේ පුදුම ආශාවක්. ඒ නිසාම ඔවුන් සෑම විටම තීන්දු තීරණ ගන්නා ස්ථානවලදී දේශීය පාවහන් නිෂ්පාදනයට අකුල් හෙළනවා. නමුත් සාමාන්‍ය ජනතාවගෙන් 99%ක් ම පලඳින්නේ දේශිය පාවහන්.

මේ වන විට දේශීය නිෂ්පාදකයන් ඉතා උසස් තත්ත්වයේ පාවහන් නිෂ්පාදනය කරන නිසාම විදේශිකයන් පවා ඒවා මිලදි ගැනිමට පෙලඹෙනවා.

සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් කිසි විටෙක රජයෙන් වෙනත් වරප්‍රසාද ඉල්ලන්නේ නැහැ. ඉල්ලන්නේ තම කර්මාන්තය කරගෙන යෑමට අවශ්‍ය අමුද්‍රව්‍ය ලබා දෙන ලෙස පමණයි"

කාන්තා පාවහන් ක්ෂේත්‍රයේ දැවැන්ත පෙරළියක් කළ, ඩයනා ෂූස් සමාගම අද මුහුණ පා සිටින තත්ත්වයද එබඳුම ය. එහි සභාපති, ප්‍රේමරත්න පතිරණ දැක්වූයේ මෙවැනි අදහසකි.

" පාවහන්වලට අත්‍යවශ්‍ය, චීනයෙන් ගෙන්වන පීවීසී අමුද්‍රව්‍ය මීටරයක මිල තුන් ගුණයකින් ඉහළ ගිහින්. ඩොලර් හිඟකම නිසා සපත්තු අඩියට අවශ්‍ය පීවීසී ගෙන්වන එක සම්පූර්ණයෙන් නතර වෙලා. ලංකාවේ මිල අඩුම flat heel අඩිය හදන්න ගන්න පිවිසී 'ඩස්ට්' එක මෙතෙක් සපයා ගත්තේ දේශීයවයි. ඉස්සර ඒ 'ඩස්ට්' එක විකුණා ගන්න බැහැ. නමුත් දැන් ඒ වයර් කුඩු සියල්ල වැඩි මිලට ඉන්දියාවට පටවනවා. ලංකාවේ කර්මාන්තකරුවන් දැන් මාස ගාණක් පෝලිමේ බලා හිටියත් සපත්තුවලට අවශ්‍ය ඒ 'ඩස්ට්' එක ගන්න බැරි තත්ත්වයක් උදා වෙලා. මොකද, දේශීය වෙළෙඳපොළට දෙනවට වඩා වැඩි ඩොලර් ප්‍රමාණයක් උපයන්න පුළුවන් නිසා. ලංකාවේ කර්මාන්ත සඳහා දේශීය අමුද්‍රව්‍ය සපයලා අතිරික්තයක් තියෙනවා නම් පමණයි පිටරට යවන්න ඕනේ. මේ කරන වැඩෙන් ආනයන සීමා කරපු එකේ ඵලයත් නැහැ. අමුද්‍රව්‍ය ගෙන්වා ගන්නත් බැහැ. රජය මැදිහත් වෙලා මේ ඉවක් බවක් නැතුව දේශීය අමුද්‍රව්‍ය පිට රට යවන එක නවත්වන්න ඕනෙ. මේ විදියට ගියොත් තව දෙමාසයක් යන්න කලින් කර්මාන්ත වැහිලා යනවා..."

මෙරට සෞඛ්‍යාරක්ෂිත පාවහන් කර්මාන්තයේ යෙදෙන ප්‍රධානම ආයතනය වන, ඔලීමා කර්මාන්තායතනයේ සභාපති, එච්.කේ.අජිත් ප්‍රියදර්ශන දැක්වූයේ මෙවැනි අදහසකි.

" ඇත්තටම, මේ වසංගත තත්ත්වයත් සමඟ අපේ ආරක්ෂිත පාවහන්වලට හොඳ ඉල්ලුමක් ඇති වී තිබුණා. ආනයන සීමා කළ නිසාත් අපේ දේශීය 'ගන් බූට්' වලට හොඳ ඉල්ලුමක් ඇති වුණා. නමුත් දැන් තත්ත්වය ඉතාම බරපතළයි. බූට් සපත්තු නිෂ්පාදනයට අවශ්‍ය රෙක්සින් ෂීට්, ලෙදර්, ගම් සහ ගම් හදන රසායනික ද්‍රව්‍ය සෑම දේම ගේන්න ඕනි පිටරටෙන්. මහ බැංකුව කිව්වට දැන් බැංකුවලින් අපිට ඩොලර් දෙන්නේ නැහැ. මාසෙකට 'ගන් බූට්' 50,000ක් නිපදවීමේ අවශ්‍යතාව තිබුණත්, අපි දැන් 30,000කට සීමා වෙලා. මේ යන විදියට ගියොත් ලබන පෙබරවාරි අග වන විට අපේ කර්මාන්ත වැහිලා යනවා. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තශාලා වැහිලා ගියාම මහා පරිමාණ අයට පුළුවන් තමන් ගේ ඒකාධිකාරිය පවත්වා ගෙන යන්න. ඔවුන්ට ඩොලර් ගිණුම් තිබෙනවා. ඒ නිසා කොහොමටත් ප්‍රශ්නයක් නැහැ"

" කර්මාන්තකරුවන් හැටියට අපට තිබෙන ලොකුම ගැටලුව තමයි, ලෙදර් ලබා ගැනීම. හරක් හම් පදම් කිරීම මඟින් ලබා ගන්නා මේ සපත්තු ලෙදර්, දැන් බහුතරය ගේන්න වෙලා තියෙන්නේ ඉන්දියාවෙන් වැඩි මුදලට.

සුද්දගේ කාලේ පටන් පිහිටුවා තිබෙන රාජ්‍ය ආයතනයක් වන DI ලෙදර් කෝපරේෂන්, මේ කර්මාන්තය ඉතා සාර්ථකව කළා. මට්ටක්කුලියේ අක්කර ගණනක විහිදී තිබුණු ඒ හම් පදම් කිරීමේ කර්මාන්තශාලාව අයිති පුද්ගලික අංශයට. දැන් මේ අයටත් සම් පදම් කිරීමේ කර්මාන්තය කරගෙන යන්න අපහසුයි. නවීන තාක්ෂණය යොදා ගෙන මේ කර්මාන්තය දියුණු කරන්න පුළුවන් අවශ්‍ය මුදල් ප්‍රතිපාදන පවා වෙන්ව තිබෙන බවයි ආරංචි. නමුත් තවම තැනක් නැති කමෙන් මේ කර්මාන්තය විනාශ වෙමින් පවතිනවා.

අනික මිනිස් සිරුරට අහිතකර නැති එකම සපත්තු අමුද්‍රව්‍ය වන්නේ හරක් හමයි. නමුත් කර්මාන්තයට අවශ්‍ය තරම් හරක් හම් ලැබෙන්නේ නැහැ. ලංකාවේ නීත්‍යානුකූලව දිනකට හරක් තුන් සියයක් පමණ මැරෙනවා. නීත්‍යානුකූල නොවන විදියට තවත් තුන් සියයක් පමණ මැරෙනවා. ඒ සම් ප්‍රමාණය ම විනාශ කෙරෙනවා. එක හමක් වර්ග අඩි පහළොවත් විස්සත් අතර ප්‍රමාණයක් විශාලයි. පදම් කළ වර්ග අඩියක මිල රුපියල් 350 සිට 600 දක්වා ඉහළ මිලකට විහිදෙනවා. ඒ අනුව දිනකට හරක් හම් වර්ග අඩි 4,000-6,000ක් අතර ප්‍රමාණයක් අපතේ යනවා. මේ එක හරක් හමකින් සපත්තු කුට්ටම් හතක් හදන්න පුළුවන්.

රටක් හැටියට එච්චර ප්‍රමාණයක් අපතේ යවන අපි ආපහු ඩොලර් දීලා පිටරටින් හරක් හම් ආනයනය කරනවා. මේ ඩොලර් හිඟ වෙලාවේ අවශ්‍ය නියමයන්ට යටත්ව අපතේ යන මේ හරක් හම් ටික සම්පතක් ලෙස ප්‍රයෝජනයට ගන්න විදියේ ක්‍රමවේදයක් සැකසීම රජයේ වගකීමක්..."

නම හෙළි කිරීමට අකමැති කර්මාන්තකරුවෙක් අප සමඟ එසේ පැවැසුවේ පවතින සැබෑ තත්ත්වය පිළිබඳවයි.

කෙසේ වෙතත්, කාර්මික සංවර්ධන මණ්ඩලයේ, සම්භාණ්ඩ නිෂ්පාදන හා පාවහන් සංවර්ධන මධ්‍යස්ථාන යේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, අමරනාත් විමලසිංහ පවසන්නේ මෙවැන්නකි.

" අපේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් දෙස රජයේ දැඩි අවධානය යොමු විය යුතු මොහොතක් මේ. මොකද ඔවුන්ට බැංකුවලින් ඩොලර් ලැබෙන්නේ නැහැ. බැංකුවලට ඩොලර් එනවටත් වැඩිය, අතරමැදියන් අතර වැඩි මිලට හුවමාරු වන අවස්ථාවක් මේ. ඔවුන්ට දින 90ක ණය කාලයකට විදේශයන්ගෙන් අමුද්‍රව්‍ය ගෙන්වා ගැනීමට අවසර ලැබුණත්, ඒ දුන් ණය දැන් ගෙවන්න කාලය උදා වෙලා. ඒවා වෙලාවට නොගෙව්වොත් ඒ අදාළ රටවලින් ශ්‍රී ලංකාව ආපහු බ්ලැක්ලිස්ට් කරනවා. මුදල් අමාත්‍යාංශයේ තීරණය දිහා මේ ව්‍යවසායකයන් මහත් බලාපොරොත්තු සහගතව බලා ඉන්නවා.

මේ වෙලාවේ ණය ගෙවීමේ කාලය දිගු කරනවාට වඩා, ඔවුන් ගේ පොලී කපා හරින්නට පුළුවන් නම්, දේශීය කර්මාන්ත ටික නොවැටී පවත්වාගෙන යන්න, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට විශාල ශක්තියක් වේවි..."

Comments