බැංකු සේවකයන්ගේ විශ්‍රාම ගැටලුවට සහන් එළියක් | සිළුමිණ

බැංකු සේවකයන්ගේ විශ්‍රාම ගැටලුවට සහන් එළියක්

ලංකා බැංකු සේවක සංග­මය සිය විශ්‍රාම වැටුප් හිමි­කම ලබා­ගැ­නීම වෙනු­වෙන් දියත් කළ උද්ඝෝ­ෂණ ව්‍යාපා­රය

විශ්‍රාම වැටුප යනු වයස් ගතවූ අයකුට මහත් අස්වැසිල්ලකි. එසේම දරුදැරියන්ගේ ඥාති හිතමිත්‍රාදීන්ගේ සැලකුම් ලැබීමට මෙන්ම අසරණ නොවී මහලු විය ගත කිරීමට ලැබෙන සම්පතකි. එහෙත් මෙරට සියයට හැත්තෑපහකට අසූවකට පමණ විශ්‍රාම වැටුපක් නොලැබේ. ඔවුන් බොහෝදෙනකුට ඉතිරිකර ගත් කිසිවක් නොමැති නම් සිය ජීවිතයේ අවසන් සමය ඉතා අසරණව ගෙවීමට සිදු වේ. එනිසා තමන්ට හිමිව තිබූ විශ්‍රාම වැටුප කිසිවකු විසින් අහිමි කරන්නේ නම් එය කිසිවකුත් ඉවසා සිටින කාරණයක් නොවේ. ඔවුන් ඒ වෙනුවෙන් මාරාන්තික අරගලවල නිරත වීම සාමාන්‍යය.

වර්ෂ 1996 දී එවක පැවති ආණ්ඩුව විසින් රජයේ සේවකයන් ඇතුළු එතෙක් විශ්‍රාමය හිමි වූ බැංකු සේවකයන් සියලුම දෙනාගේ විශ්‍රාම ලැබීමේ අයිතිය අහිමි කළේය. බැංකු සේවකයකු විශ්‍රාම ගන්නේ අවුරුදු 55නි. එසේ වුව වයස අවුරුදු 60 දක්වා සිය කැමැත්ත ඇතිව ඔවුන්ට සේවය කළ හැකිය. හැට උපරිම වයස් සීමාව වන අතර හැටෙන් පසුව කිසිවකුට සේවයේ රැඳී සිටිය නොහැකිය. මෙලෙස විශ්‍රාම යාමේදී විශ්‍රාම වැටුප් හිමි වූයේ ලංකා බැංකුව, මහජන බැංකුව සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුවල සේවකයන් සඳහා පමණි. ප්‍රාදේශීය සංවර්ධන බැංකුව, නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුව සහ රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව ආදී රාජ්‍ය බැංකුවල සේවකයන්ට විශ්‍රාමය කෙදිනකවත් හිමි නොවුණි.

මෙවන් පසුබිමක් තුළ ලංකා බැංකු සේවක සංගමය අහිමි කළ විශ්‍රාම වැටුප නැවත ඉල්ලා දිගින් දිගටම සටන් කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂයන් 2005 ජනාධිපතිවරයා වශයෙන් පත් වූ අවස්ථාවේ එම ඉල්ලීම් සලකා බලා නැවත විශ්‍රාම වැටුප් ලබාදීමට පොරොන්දු විය. නමුත් කුමන හෝ හේතුවක් නිසා එය ද ක්‍රියාත්මක නොවුණි. නැවත ඒවෙනුවෙන් අරගල කිරීමට බැංකු සේවකයන්ට සිදු විය. පසුව අවස්ථා ගණනාවක සාකච්ඡා වට කිහිපයක් පැවැත්වීමෙන් අනතරුව 2012 වසරේ දී මහජන බැංකුවේ සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේත්, 2014 දී ලංකා බැංකුවේත් නැතිවී ගිය විශ්‍රාමය වෙනුවට ප්‍රතිලාභ යම් පමණකට සීමා කළ විශ්‍රාමයක් ලබාදීමට හෙතෙම කටයුතු කළේය.

ඒ අනුව සේවකයකු විශ්‍රාම ගන්නා අවස්ථාවේ ලබන වැටුපෙන් 80% ලැබීමට තිබූ අවස්ථාව අහෝසි වී තිබුණි. ඒ වෙනුවට සේවය කළ වසර ගණන ගණනය කර එහි ප්‍රතිශතය සලකා අවමය සියට දහයේ සිට උපරිමය සියයට හැට දක්වා වන පරිදි සකස් කළ විශ්‍රාම ක්‍රමයක් හිමි විය. (වසර දහයක සේවා කාලයක් සම්පූර්ණ කළ අයකුට අවසන් වැටුපෙන් සියයට දහයක විශ්‍රාමයක් හිමි වූ අතර සේවාකාලය වැඩිම කෙනෙකුට හිමි වූයේ අවසන් වැටුපෙන් සියයට හැටකි.) අවස්ථාව අනුව ලංකා බැංකු සේවක සංගමය ඊට එකඟ වූව ද එය විශ්‍රාමිකයකුට කිසිසේත් ප්‍රමාණවත් නොවුණි. අනතුරුව සිදු වූ දේශපාලන පෙරළියෙත් සමඟ යහපාලන ආණ්ඩුව බලයට පත් විය. ඔවුන් සමඟ සාකච්ඡා කළ ලංකා බැංකු සේවක සංගමය 2014 දී ස්ථාපිත කළ විශ්‍රාම වැටුප් ක්‍රමය වර්ධනය කරන මෙන් ලෙස ඉල්ලා සිටි අතර, ඔවුන් විසින් සිය පාලන කාලය අවසන් වීමට ප්‍රථම මේ සඳහා කමිටුවක් ද පත් කළේය. එලෙස ඔවුන් කටයුතු කරමින් සිටින අතරතුර ඒ ආණ්ඩුවද බිඳ වැටුණි.

වත්මන් ආණ්ඩුව බලයට පත් වීමට ප්‍රථම අග්‍රාමාත්‍යවරයා, ජනාධිපතිවරයා, විපක්ෂ නායකවරයා ඇතුළු සියලු පක්ෂ නායකයන් හමු වී ලංකා බැංකු සේවක සංගමය තම විශ්‍රාම වැටුප් ගැටලුව පිළිබඳ සාකච්ඡා කළේය. ඒ අනුව රාජ්‍ය බැංකු සේවකයින්ට පැරණි විශ්‍රාමය ම නැවත ලබාදෙන බවට වගන්තියක් ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ ඇතුළත් කර ගැනීමට ඔවුන් සමත් විය. එමෙන්ම මෙය නිවැරදි කරන බවට හෙතෙම පොරොන්දුවක් ද ලබා දුන්නේය. පසුව ආණ්ඩුව බලයට පත් වුවද එම පොරොන්දුව ඉට කරන බවක් පෙනෙන්නට නොතිබුණි. එනිසා 2020 වසරේ විවිධ වෘත්තිය ක්‍රියාමාර්ගවලට යාමට ලංකා බැංකු සේවක සංගමයට සිදු විය. එවිට මුදල් අමාත්‍යවරයාව සිටි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂයන් වෘත්තිය සමිති නිලධාරීන් කැඳවා නැවත යහපාලන ආණ්ඩුව සමයේ ඇති කළ ආකාරයේ කමිටුවක් එස්.ආර්. ආටිගලගේ ප්‍රධානත්වයෙන් ස්ථාපිත කළේය.

ඒ අනුව 2014 පිහිටු වූ විශ්‍රාම ක්‍රමය වර්ධනය කරමින් 2021 වසරේ අප්‍රේල් මාසයේ සිට අවමය සියයට හතළිහ දක්වාත් උපරිමය සියයට අසූව දක්වාත් වර්ධනය කර විශ්‍රාම වැටුප් ක්‍රමය ස්ථාපිත කිරීමට රජය පියවර ගත්තේය. ඒ අනුව ඉදිරියේදී ලංකා බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව සහ මහජන බැංකුවේ විශ්‍රාම වැටුප් හිමිවන සේවක සංඛ්‍යාව 15000කි. එසේම සේවකයකු විශ්‍රාම යන විට ලැබෙන විශ්‍රාම පාරිතෝෂිකය මෙතෙක් නොලැබී තිබුණ අතර එය නැවත ස්ථාපිත කර තිබේ. මීට අමතරව වැටුප් වැඩි වීමේදී යොදා තිබූ 6.5% සීමාව වසරින් වසර දශම පහ බැගින් වර්ධනය කර සියයට දහය දක්වා වැඩි කර දීමට එකඟ වූ බවත්, ඉදිරියේදී විශ්‍රාම වැටුප් අහිමි අනෙකුත් රාජ්‍ය බැංකුවලට ද මේ ප්‍රතිලාබ ලබාදෙන බවටත් රජය පොරොන්දු වූ බව ලංකා බැංකු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් සේනානායක පැහැදිලි කළේය.

මේවනවිට ලංකා බැංකු සේවක සංගමය නියෝජනය කරන සාමාජික සංඛ්‍යාව 28000ක් බව හෙතෙම පැවසීය.

ලංකා බැංකු සේවක සංගමය මුලින්ම ආරම්භ කෙරුණේ බැංකු ලිපිකරු සංගමය ලෙසය. ඒ 1943 වසරේ ඒ.ඊ ගුණසිංහගේ නායකත්වයෙනි. මෙම සංගමය 1944 වසරේ සැප්තැම්බර් මස පළමු වැනිදා ලියාපදිංචි සංගමයක් බවට පත් විය. මෙය ලංකා බැංකු සේවක සංගමය බවට පත් වන්නේ 1956 වසරේදීය. පෞද්ගලික බැංකු බොහෝමයක් පැවති එකල මෙම සංගමයේ සභාපතිවරයා ලෙස ඒ.ඊ ගුණසිංහයන් කටයුතු කළ අතර 1957 වසරේ දී ඔහු ඒ පදවියෙන් ඉවත් වී බැංකු සේවකයන්ටම මෙහි නිලධාරීන් ලෙස පත් වීමට අවශ්‍ය පසුබිම සැකසීය. ඒ අනුව හොංග් කොංග් බැංකුවේ සේවය කළ ඩබ්ලිව්.ඊ.වි. ද මැල් සහ කේ.ඒ.ඩි.ඒ ගුණරත්න නිලධාරීන් ලෙස පත් විය.

එකල ලංකා බැංකු සේවක සංගමයට මෙරට පැවති පෞද්ගලික බැංකු සියල්ලක්ම ඇතුළත් විය. මීට රාජ්‍ය බැංකුවක් ලෙස ලංකා බැංකුව මුලින්ම ඇතුළත් වන්නේ 1954 වසරේදීය. අනතුරුව 1962 වසරේදී මහජන බැංකුව මීට ඇතුළත් වූ අතර මේවනවිට රාජ්‍ය, පුද්ගලික, දේශීය හා විදේශීය බැංකු දහඅටක් මේ තුළ නියෝජනය වේ.

වරින් වර පත්වන ආණ්ඩු විසින් ලෝක බැංකුව ඇතුළු වෙනත් ජාත්‍යන්තර බැංකු මඟින් මූල්‍ය ප්‍රතිපාදන ලබාගැනීමේදී විවිධ කොන්දේසි මත මුළුමනින්ම හෝ කොටස් වශයෙන් රාජ්‍ය බැංකු පුද්ගලීකරණය කිරීමට ගත් උත්සාහයන් පරාජය කර රාජ්‍ය බැංකු පද්ධතිය ආරක්ෂා කර ගැනීමට හැකි වූයේ මෙම වෘත්තිය සමිති ව්‍යාපාරය නිසාය. එහි උච්ඡතම අවස්ථාවක් එළඹියේ 1998-2000 කාලය තුළ දීය. එහිදී පුද්ගලීකකරණය නොකර සිටීමට නොහැකි අවස්ථාවක් උදාවී තිබුණි. මෙහිදී වෘත්තිය සමිති ව්‍යාපාරය මැදිහත් වී ආණ්ඩුව සමඟ සාකච්ඡා කර බැඳුම්කර ලබාදී රාජ්‍ය බැංකු පද්ධතිය රැක ගැනීමට හැකි විය. මේවනවිට ලාබ ලබන තත්ත්වයට රාජ්‍ය බැංකු පද්ධතිය ඉදිරියට පැමිණ තිබේ.

1998 -2000 සමයට පසුව බැංකු පද්ධතිය තුළ දරුණුතම තත්ත්වයක් වූදා වූයේ පහුගිය ආණ්ඩු සමයේය. මුදල් අමත්‍යවරයා ලෙස කටයුතු කළ මංගල සමරවීර රාජ්‍ය බැංකු සතු කොටස්වලින් සියයට දහයක් කොටස් වෙළෙඳ පොළේ ආයොජනය කිරීමට අයවැය යෝජනාවක් ගෙන ආවේය. "රට කොයිබටද?" යන උදෘතය යටතේ පෙරමුණක් නිර්මාණය කර රැස්වීම් මාලාවක් රටපුරා දියත් කර ජනතාව දැනුවත් කර එකී යෝජනාව ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදී එය පරාජය කළේය. එවක විපක්ෂ නායකයා ලෙස කටයුතු කළ වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂයන් එම අවස්ථාවේ රාජ්‍ය බැංකු පුද්ගලීකරණය නොකරන බවට ප්‍රතිඥාවක් ද ලබා දුන්නේය. බැංකුවල කොටස් පුද්ගලික අංශයට විකිණීමට අයවැය යෝජනාවක් ගෙනා ප්‍රථම අවස්ථාව ලෙස එය ඉතිහාසගත වේ.

ලංකා බැංකු සංගමය ස්ථාපිත කිරීමට හේතු වූයේ සේවක අයිතීන් දීනා දීම හා ඒවා දිනාගැනීමට හැකි ශක්තිමත් වෘත්තිය සමිති ව්‍යාපාරයක් බිහි කිරීමය. මේ තුළ නියෝජනය වන බැංකු දහ අටේම සේවකයන්ට ඔවුන්ට හිමි වැටුප් සහ ප්‍රතිලාභ සම්බන්ධ සියලු කටයුතු සිදු කරන්නේ මෙමඟින් ක්‍රියාත්මක සාමූහික ගිවිසුමකිනි.

එම ගිවිසුම වසර තුනකට වරක් යාවත්කාලීන වන අතර ඒ අනුව රාජ්‍ය හා පුද්ගලික සියලු සේවකයන්ගේ වැටුප් හා ප්‍රතිලාභ වර්ධනය වීම ද සිදු වේ.

රාජ්‍ය බැංකු හයටම මෙම විශ්‍රාම වැටුප් ක්‍රමය ලබාදෙන ලෙස ඉල්ලා අරගල කළ ද 2021 අප්‍රේල් මස ඊට එකඟතාව හිමිවීමේදී ලංකා බැංකුව, මහජන බැංකුව සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුවට පමණක් එය හිමි වූ බවත් රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව සහ නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුවට එම වරප්‍රසාදය නොලැබුණු බවත් ජාතික ඉතිරි කිරීමේ බැංකු ශාඛා සංගමයේ ලේකම් චමින්ද ඇතුළත්මුදලි ප්‍රකාශ කර සිටියේය.

එසේම 1996 දී විශ්‍රාම වැටුප අහිමි කරන විට ජාතික ඉතිරි කිරීමේ බැංකුවට පමණක් නොතිබුණු වැන්දඹු හා අනත්දරු හිමිකමද මෙහිදී දිනා ගැනීමට හැකි වූ බවයි. එසේම 2014 දී මේ සඳහා අනුමැතිය හිමිවන විට වැන්දඹු හා අනත්දරු විශ්‍රාමයට දායකත්වයක් තමනට නොලැබුණු බවත් මෙවර ගෙන ගිය සටනේදී ඒ දේවල් දිනා ගැනීමෙන් හැකි වූ බවත් ඔහු පැහැදිලි කළේය. එමෙන්ම අනෙකුත් බැංකුවල හිමි නොවූ වරප්‍රසාද දෙකක්වන වාර්ෂික වැටුප් වර්ධකය 06.5 සිට 07% දක්වා වර්ධනය කර ගැනීමටත්, සියයට 74% උපරිමය 80% දක්වා වැඩි කර ගැනීමටත්, විශ්‍රාම පාරිතෝෂියක මේ දක්වා විශ්‍රාම ගිය අයටත් ලබාදීමටත් ජාතික ඉතිරි කිරීමේ බැංකු පාලනාධිකාරය සමඟ සාකච්ඡා කර ලබාදීමට තම සංගමයට හැකි වූ බව චමින්ද ඇතුලත්මුදලිගේ පැහැදිලි කළේය.

එසේ වුවද, විවිධ රාජ්‍ය බැංකු තුළ ප්‍රදානිත විශ්‍රාම වැටුප පවා ගණනය කිරීමේදී පවත්නා ගැටලුකාරී තත්ත්වයන් මේ දක්වා විසඳී නොමැති බව මහජන බැංකු ශාඛා සංගමයේ ලේකම් සමරනාත් එදිරිසිංහ පවසයි. හෙතෙම කියා සිටියේ පැරණි විශ්‍රාම වැටුප් ක‍්‍රමය හා සැසඳීමේදී නව විශ්‍රාම ක‍්‍රමයෙහි ප්‍රතිලාභ ජීවත්වීමට ප්‍රමාණවත් නොවීමත්, එක ම ආයතනයක සේවය කරන පිරිස් වෙත දෙයාකාරයකට දක්වනු ලබන සැලකීමත්, රාජ්‍ය බැංකු ලෙස රජයට ලාභ සහ බදු ලෙස වාර්ෂිකව බිලියන ගණනක දායකත්වයක් ලබා දෙන පිරිසක් ලෙස පවත්නා කණස්සල්ලත් යනාදී හේතු මත පැරණි සේවක පිරිස් වෙත ප්‍රදානය කොට ඇති විශ්‍රාම ප්‍රතිලාභ 1996 පසු බැඳුණු සේවක ප්‍රජාව වෙත ද ලබාගන්නා තුරු මෙකී විශ්‍රාම වැටුප් අරගලය තවදුරටත් ඉදිරියට පවත්වා ගෙන යන බවයි.

වාර්ෂික වැටුප් වර්ධනය 6.5% වුවද ඊට වැඩිවන වැටුප් වර්ධනයන් අනුව විශ්‍රාම වැටුප තීරණය වීම මින් අහෝසි කර ඇති බව ලංකා බැංකු ශාඛා සංගමයේ ලේකම් ධනංජය සිරිවර්ධන පෙන්වා දෙයි. මෙතෙක් වයස අවුරුදු 45 න් පසුව බැංකු සේවයට පැමිණි අයට විශ්‍රාමය හිමි නොවූ බව ද නව තත්ත්වය අනුව ඔවුන් වසර දහයක් සම්පූර්ණ කළ පසු අදාළ විශ්‍රාමය හිමිවන බවද ඒ සඳහා පසුගිය මාසයේ අනුමැතිය හිමි වුවද තවම බැංකුව විසින් චක්‍රලේඛනය නිකුත් කර නොමැති බවද ඔහු පවසයි.

Comments