රට වනසන අල්ලසට වැට | සිළුමිණ

රට වනසන අල්ලසට වැට

- වසර 10ට අල්ලස් පැමිණිලි 30,834ක්
- මිලියන 125ක් ඉල්ලූ අල්ලසක් ගැනත් පැමිණිලි

නතාවට කාර්යක්ෂම හා ගුණාත්මක සේවාවක් සැපයීම රාජ්‍ය නිලධාරියාගේ වගකීම වන්නේය. මෙහිදී ගුණාත්මක සේවාව යන්නට නීත්‍යානුකූල බව හෙවත් නිසි ක්‍රමවේදයෙන් යුක්තව එම සේවාව ලබා දීමද අයත් වන්නේය. බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් අපට රාජ්‍ය සේවය ලබා දුන්නේ ජනතාවට විධිමත් හා ගුණාත්මක සේවාවක් ලබා දීම පිණිස වුවත් අපට නිදහස ලැබීමෙන් පසුව යම් යම් කාර්යයන් කර ගැන්මට ඇතැම් රාජ්‍ය නිලධාරීන් සතුටු කරවන්නට සිදු වූ බවක් පෙනේ. රාජ්‍ය පාලන සමයේ පවා ඇතැම් දොරටු පාලකයන්ට සන්තෝෂම් දී යම් යම් කාර්යයන් කර ගත් ඇමැතිවරුන් ගැනද අප අසා තිබේ.

එහෙත් වර්තමානයේ සිදු වන්නේ ඊට වඩා හාත්පසින්ම වෙනස් වූ ක්‍රියාදාමයකි. ඒ අනිවාර්යෙන්ම සන්තෝෂම් දී තම රාජකාරි කටයුත්ත කර ගන්නට සිදුව තිබීමය. ආරම්භයේදී තමන් විසින් සතුටින් දුන් නිසා එයට සන්තෝෂම් යන්න යෙදුණද පසු කලෙක එය ලබන්නා විසින් අදාළ සේවාලාභියා අපහසුතාවට පත් කර ලබා ගන්නට යෙදුණු නිසා ‘ජරාව‘ හෙවත් පගාව යන්න ව්‍යවහාරයට එක් විය.

මේ තත්ත්වය ඔඩු දුවන්නට පටන් ගත් විට එය වැළැක්වීම පිණිස ආයතනයක අවශ්‍යතාවය මතු විය. ඒ අනුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්ථාපිත කෙරිණි. 

කෙසේ වෙතත් මේ වන විට සක්‍රීය දායකත්වයකින් යුක්තව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් කටයුතු කිරීම නිසා බොහෝ දෙනෙක් කොමිසමට පැමිණිලි කිරීමට පවා පෙලඹී සිටී.

එහෙත් අපට පෙනෙන අයුරින් අල්ලස් ගැනීමේ අඩුවක් නම් පෙනෙන්නට නැත. පළාත්පාලන ආයතනයක නිවාස සැලසුමක් අනුමත කර ගැනීමට අතමිට මෙළවිය යුතුම තත්ත්වයකට පත්ව තිබේ. එමෙන්ම වරායෙන් භාණ්ඩ නිදහස් කර ගැනීමට අනිවාර්යෙන්ම වාප්පු ලිපිකරුවන් හරහා අදාළ නිලධාරීන්ගේ අතමිට මෙළවිය යුතුමය. ඒවා නීති ගත අල්ලස් බවට ම පත්ව තිබේ. එසේ කියන්නේ මා ඇසින් දුටු දර්ශනයක් නිසාමය.‍

විදේශයකින් එවන ලද භාණ්ඩ තොගයක් නිදහස් කර ගැනීම පිණීස වාප්පු ලිපිකරුවෙක් හරහා එහි ගිය ඇණවුම්කරුවෙක් වාප්පු ලිපිකරු හරහා එක් එක් අංශයන්ගෙන් අනුමැතිය ලබා ගෙන යාමේදී අදාළ නිලධාරියකුගෙන් අත්සන ලබාගෙන යම් මුදලක් ඔහු අතට දුන්නේය. අදාළ නිලධාරියාගේ මුද්‍රාව තබා ගත යුතු වූයේ කාර්යාල කාර්ය සහායකයාගෙනි. ඒ සඳහා මුද්‍රාව තැබූ කාර්යාල කාර්ය සහායකයාට රුපියල් 50.00ක මුදලක් දිය යුතු විය. රුපියල් 100ක් අදාළ වාප්පු ලිපිකරු දුන්විට එය මාරු කර රුපියල් 50.00ක් ආපසු දෙන්නට තරම් මේ අල්ලස් ක්‍රමය කැළෑ නීතියක් බවට පත්ව තිබේ.

කෙසේ වුවත් මේ වන විට රට පුරා අල්ලස් මෙහෙයුම් ක්‍රියාත්මක වීම නිසා පොලිස් ස්ථාන හරහා මෙන්ම අල්ලස් කොමිසම හරහාද ඍජුව ඒ සඳහා මැදිහත් ව කටයුතු කරන බව පෙනේ.

රජයේ කාර්යයක් සිදු කර ගැනීමේදී අනුගමනය කළ යුත්තේ අනුමත මුදල පමණක් ගෙවා කාර්ය කර ගැනීම පමණකි. එයින් ඔබ්බට ගොස් එය අනිසි ලෙසින් කඩිනම් කරනා ගන්නට යාම නීති විරෝධීය. එසේ කරන්නේ නම් සේවය ලබා දෙන්නා මෙන්ම සේවය ලබන්නාද වැරැදිකරුවන් වේ.

පසුගිය වසර 10ක පමණ කාලයේදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් මාධ්‍ය හරහා සිදු කළ ප්‍රචාර හේතුවෙන් අල්ලස් ඉල්ලීම තරමක් අඩු වුවත් අදටත් සැලකිය යුතු මට්ටමේ මේ සිදුවීම් ක්‍රියාදමය සිදු වේ. විශේෂයෙන්ම 1954 ක්ෂණික දුරකථන අංකය හරහා මෙන්ම ජනතාව දැනුම්වත් වීම නිසා අල්ලස් ඉල්ලීම යම් පමණකට අඩුව තිබේ.

එහෙත් දශක දෙක තුනකට පෙර සුළු මුදලක් අත මිට මොළවා කර ගත හැකි වූ කාර්යය දැන් විශාල මුදලක් දක්වා වර්ධනය වී ඇත. එමෙන්ම ඇතැම් විට ඉඩම්කඩම් රථවාහන දක්වා එය ඉහළ ගොස් ඇත.

එමෙන්ම මෑතක සිට ආ අලුත්ම අල්ලස් ඉල්ලීම වූයේ ‘ලිංගික අල්ලස්ය‘ ලිංගික අල්ලස් ඉල්ලූ හෝමාගම ප්‍රදේශයේ විදුහල්පතිවරයකු නිතියේ රැහැනට හසු කර දෙන්නට ඉල්ලීමට භාජන වූ කාන්තාව විසින් කටයුතු කළාය.

ඒ දැනුම්වත් අයයි. මේ ලිපියේ අරමුණ වන්නේද සියලු දෙනා දැනුම්වත්භාවයෙන් කටයුතු කර කිසිදු ආකාරයක අල්ලසක් නොදී තම කාර්යයක් සිදු කර ගැනීමට අවශ්‍ය පසුබිම සකස් කර දීමය.

එමෙන්ම ලැබුණු පැමිණිලි හා නීතිය හමුවට ගෙන ආ පුද්ගලයන් සම්බන්ධව තොරතුරු හෙළි කිරීමය.

මෙහිදී අප විශේෂයෙන්ම සඳහන් කළ යුතු කරුණ වන්නේ පසුගිය වසර 10ක පමණ කාලය තුළදී වැඩිම අල්ලස් පැමිණිලි සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ 2015 වසරේදී බව පෙන්වා දීමය. එය සංඛ්‍යාත්මකව 3913කි. ඒ යහපාලන රජය සමයේය. එහිදී පදනමකින් තොරව පැමිණිලි කර තිබෙන බවද බහුතරයක් දේශපාලන ඉලක්ක බවද අපට පෙනී ගොස් තිබේ. එයට හේතුව වන්නේ එම පැමිණිලිවලින් 2028ක්ම විමර්ශනය නොකිරීමට කොමිසම තීරණය කිරීමයි.

2010 වර්ෂයේදී කොමිසමට ලද පැමිණිලි සංඛ්‍යාව 1636කි. එය 2011 වසරේදී 2537ක් දක්වා ඉහළ නැඟ තිබුණි. 2012 වසරේදී එම සංඛ්‍යාව දැක්වුණේ 3163ක් ලෙසිනි. එහිදී 1232ක් පමණක් විමර්ශනය කිරීමට තීරණය කළ අතර 1931ක් විමර්ශනය නොකිරීමට තීරණය කර තිබේ. කොමිසම එම පැමිණිලි විමර්ශනය නොකිරීමට තීරණය කර ඇත්තේ කිසිදු පදනමකින් තොරව එම පැමිණිලි ඉදිරිපත් කර තිබීමය.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට අල්ලස් ලබා ගැනීමේ සිදුවීම්වලට අමතරව අයුතු ලෙස වත්කම් ඉපැයීම් ගැනද පැමිණිලි කළ හැකි වන්නේ එය තමාට නීත්‍යානුකූලව හිමි නොවන රජයේ වත්කම් හෝ රජයේ සේවාව හෝ නිලය හෝ බලය භාවිත කරමින් උපයන ලද්දක් වීම නිසාය.

2013 වසරේදී 3124ක් වූ පැමිණිලි සංඛ්‍යාවෙන් කොමිසම විභාග කරන ලද්දේ 929ක් පමණකි. එයින්ද 2195ක් විභාග නොකිරීමට තීරණය කරන ලදී.

2014 වසරේදි ලද පැමිණිලි 2345න් අල්ලස් හෝ දූෂණය සම්බන්ධයෙන් පැමිණිලි 775ක්ද අයුතු වත්කම් සම්බන්ධයෙන් පැමිණිලි 118ක්ද වූ අතර කොමිසම හරහා සිදු කළ වැටලීම් 72ක් ද එයට අයත් විය. ඒ අනුව සමස්ත සංඛ්‍යාව 965ක් වූ අතර එහිදීද විභාග නොකිරීමට තීරණය කළ පැමිණිලි සංඛ්‍යාව 1380කි.

2016 දී ලැබුණු පැමිණිලි 3450න් අල්ලස් හෝ දූෂණ පැමිණිලි 1968ක් විය. එහිදී අයුතු වත්කම් ඉපැයීම් පැමිණිලි 467ක්ද වැටලීම් 88ක්ද එහිදී සිදු කෙරිණි. ඒ අනුව සමස්ත පැමිණිලි සංඛ්‍යාව 2523ක් විභාග කිරීමට පියවර ගත් අතර විභාග නොකිරීමට කොමිසම තීරණය කළ සංඛ්‍යාව 927කි.

2017 වසරේ ලද පැමිණිලි 2768න් අල්ලස් හෝ දූෂණ පැමිණිලි 1400ක් වූ අතර අයුතු වත්කම් ඉපැයීම් පිළිබඳ පැමිණිලි 173කි. අතර වැටලීම් සංඛ්‍යාව 79කි. එම වසරේ විභාග කිරීමට ලක්කළ පැමිණිලි සංඛ්‍යාව 1652ක් වූ අතර විභාග නොකිරීමට තීරණය කළ පැමිණිලි සංඛ්‍යාව 1116කි.

2018 වසරේදි 3465ක් වූ සමස්ත පැමිණිලි සංඛ්‍යාවෙන් 2157ක් විභාගයට ගත් අතර එයින් වැටලීම් 71ක්ද අයුතු වත්කම් ඉපැයීම් 91ක් හා අල්ලස් හෝ දූෂණ පැමිණිලි 1995ක් විය. 2019 වසරේදි 3305ක් වූ පැමිණිලි සංඛ්‍යාවෙන් විභාග කිරීමට තීරණය කෙළේ පැමිණිලි 2095ක් පමණි. විභාග නොකිරීමට තීරණය කළ සංඛ්‍යාව 1210කි.

එහිදී අල්ලස් පැමිණිලි 1895ක් හා අයුතු වත්කම් ඉපැයීම් 125ක්ද වැටලීම් 75ක්ද විය.

2020 වසරේ පැමිණිලි 2764න් අල්ලස් පැමිණිලි 1857ක් වූ අතර අයුතු වත්කම් පැමිණිලි 52ක්ද වැටලීම් 108ක්ද විය. එකතුව 2017ක් වූ අතර විභාග නොකිරීමට තීරණය කළ සංඛ­්‍යාව 747කි.

මේ වසරේ ඔක්තෝබර් 30 දක්වා කාලය තුළ පමණක් පැමිණිලි 1632ක් ලැබී ඇති අතර සැප්තැම්බර් 30 දක්වා ලද පැමිණිලි 1440න් 898ක් විභාග නොකිරීමට තිරණය කර ඇත. අල්ලස් පැමිණිලි 438ක් හා අයුතු වත්කම් ඉපැයීම් 58ක්ද වැටලීම් 46ක්ද වූ අතර එම එකතුව 542කි.

පසුගිය මාස දෙක තුන ඇතුළත වූ විශේෂ අල්ලස් ඉල්ලීම් කිහිපයක් ගැන මෙහිදී සිහි කළ යුතුය. ඒ අතර පසුගිය ඔක්තෝබර් 28 වැනිදා කාන්තාවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ වනාතවිල්ලුව පොලිසියේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට පත් විය. එමෙන්ම ඊට පෙර ඔක්තෝබර් 12 වැනිදා මහකුඹුක්කඩවලදී බීට්ටු වන නිලධාරියෙක් රුපියල් 20,000ක අල්ලස් මුදලක් ලබා ගැනීමට උත්සාහ කරද්දී අත්අඩංගුවට පත් විය.

ඔක්තෝබර් 5 වැනිදා කලුදාවලෙයි ප්‍රාදේශීය සභාවේ ආදායම් පරීක්ෂකවරයකු රුපියල් ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලා එයින් රුපියල් 25,000ක අත්තිකාරමක් ලබා ගනිද්දී අත්අඩංගුවට පත් විය.

තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරියක නොවැම්බර් 17 වැනිදා රුපියල් 10,000ක අල්ලසක් ලබා ගනිද්දී අත්අඩංගුවට පත් විය.

ඊට අමතරව පසුගිය දිනෙක බෙන්තොට මිරිස්වත්ත ප්‍රදේශයෙදී ගොවිජන සංවර්ධන නිලධාරියකු රුපියල් 25,000ක මුදලක් ගොවියකුගෙන් ලබා ගනිද්දී අත්අඩංගුවට පත් විය.

මේ ආසන්න සිදුවීම් කිහිපයකි. මේ තත්ත්වය තවත් උඩු දුවන්නට ඉඩ නොදිය යුතුය. ඒ අනුව 2018, 2019 දෙවසරව වඩා පැමිණිලි අඩුවෙන් 2020 හා 2021 වසරේ මේ දක්වා ලැබී ඇත. එය එක් අතකින් කොවිඩ් 19 ව්‍යාප්තියේ පසුබිම තුළ සිදු වූවක් වන්නට පුළුවන.

කෙසේ වුවත් 2012 වසරේ සිට මේ දක්වා කාලය අල්ලස් ගැනීම් සම්බන්ධයෙන් වැඩිම පුද්ගලයන් සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් දෙපාර්තමේන්තුවෙනි. එම පුද්ගලයන් සංඛ්‍යාව 129කි.

විශේෂයෙන්ම ශ්‍රී ලංකා පොලිසිය 2012 වසරේ සිට 2020 වසර දක්වා (2015 හා 2016 වසරේ හැර) අනෙක් සියලු වසරවල අල්ලස් ගැනීම සම්බන්ධයෙන් වැඩිම පිරිසක් අත්අඩංගුව ගෙන ඇති රජයේ දෙපාර්තමේන්තුවයි. 2016 වසරේ පමණක් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේද 2021 වසරේ සැප්තැම්බර් 30 දක්වා වූ කාලය දක්වා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේද නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය දශකයක කාලය සලකා බැලීමේදී රාජ්‍ය නිලධාරීන් විසින් ඉල්ලා ඇති වැඩිම අල්ලස් මුදල රුපියල් මිලියන 125කි. ඒ රේගු නිලධාරීන් 5 දෙනකු විසින් 2015 වසරේදී ඉන්දියානු සමාගමකිනි.

එමෙන්ම පසුගිය දශකය තුළ ලිංගික අල්ලස් ඉල්ලා අත්අඩංගුවට ගෙන ඇති නිලධාරින් සංඛ්‍යාව 9කි.

මේ ඇතැම් සංඛ්‍යාවන් බැලූ බැල්මට සුළු සංඛ්‍යා ලෙස පෙනුණත් අප මේ සඳහන් කෙළේ කොමිසමට වාර්තා වූ හෝ පැමිණිලි කළ සංඛ්‍යාවන් පමණි.

එහෙත් ලිංගික් අල්ලස් ඉල්ලූ ප්‍රමාණය, හා අනෙක් අල්ලස් ඉ ල්ලූ පිරිස වාර්තා වී ඇති මේ සංඛ්‍යාවන්ට වඩා දහ දොළොස් ගුණයක් වැඩි විය හැකිය. වැටලීමක් පවා සිදු කෙරෙන්නේ පැමිණිල්ලක් ලැබුණු විට පමණි.

රජයේ බොහෝ දෙපාර්තමේන්තු පළාත් පාලන ආයතන ශ්‍රී ලංකා පොලිසිය, අධ්‍යාපන ආයතන ඇතුළු දෙපාර්තමේන්තු අල්ලස් ගුහාවන් බවට පත්ව තිබේ. ජනප්‍රිය පාසල්ද මේ අතර මුල් තැනක් ගෙන තිබේ. ඒ බොහෝ ආයතනවල ඉහළ සිට පහළටම සිදු කෙරෙන්නේ අල්ලසය. ඇතැම් නිලධාරීන්ගේ යාන වාහන නිවාස දෙස බලද්දී එවන් ඉපැයීමක් කෙළේ කෙසේද යන්න පවා සිතා ගත නොහැකිය.

කොළඹ නගර සභාවට පාපැදියෙන් පැමිණෙන නාගරික මන්ත්‍රීවරුන් අවුරුදු 5ක් ඉක්ම යද්දී කොළඹ සුපිරි මහල් නිවාස හිමිකවරුවන් බවට පත්ව ඇත්තේ කෙසේදැයි යන්න ගැන සෙවීමට අල්ලස් කොමිසම මෙන්ම අපරාධ පරීක්ෂ දෙපාර්තමේන්තුවද පැමිණිලි එනතෙක් බලා නොසිට කටයුතු කළ යුතුය. අදාළ පුද්ගලයන් ගේ වත්කම් බැරකම් ගැන අවධානය යොමු කළ යුතුය.

අල්ලස් කොමිසමේ ස්වාධීනත්වය ආරක්ෂා කරනු පිණිස ‍එහි සාමාජිකයින් පත් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ නිර්දේශ මත ජනාධිපතිවරයා විසින් සිදුකරනු ලබන අතර විෂමාචාරය හා නොහැකියාව යන කරුණු මත එම සාමාජිකයින් ධූරයෙන් පහ කිරීමේ බලය ඇත්තේ පාර්ලිමේන්තුවට පමණි.

වසර 5ක කාලයක් ඔවුන් තම ධූරය දරන අතර එම කොමසාරිස්වරුන් නැවත පත්කිරීම සිදුකළ නොහැකිය. පරිපාලන කාර්යයන් හැරුණු විට මෙම කොමිෂන් සභාව කිසිදු අමාත්‍යාංශයක් හෝ දෙපාර්තමේන්තුවක් යටතට අයත් නොවන අතර එහි කොමසාරිස්වරුන් හා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ජනාධිපති කාර්යාලය සමඟ සම්බන්ධීකරණ කටයුතු සිදු කරනු ලබයි. ඔවුන්ගේ වැටුප් ගෙවනු ලබන්නේ ඍජුවම ඒකාබද්ධ අරමුදලෙනි.

කොමිෂන් සභාව සඳහා ගණකාධිකාරීවරුන්, මිනින්දෝරුවරුන්, තාක්ෂණ විශේෂඥයන් ආදී විශේෂිත කාර්ය මණ්ඩලයක් බඳවා ගැනීමට හා විශේෂ බුද්ධි ඒකකයක් පිහිටුවීම වැනි කාර්යයන් සඳහා අවධානය යොමු වී ඇත.

කොමිසමට බොරු පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම වසර 10ක සිර දඬුවම් ලැබිය හැකි වරදක් බව පැමිණිලිකරුවන් දැන ගත යුතුය. පනින්නට පෙර සිතා බැලිය යුත්තේ එහෙයිනි. පසුගිය වසර 10 තුළදී (2011 වසරේ සිට 2020 දක්වා) කොමිසමට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 30834කි. එය සාමාන්‍ය වශයෙන් රාජකාරි දිනකදී පැමිණිලි 12ත් 13ත් අතර ප්‍රමාණයකි.

ලැබී ඇති පැමිණිලි අතුරින් වැඩිම පැමිණිලි පෙර කී ලෙස පොලිසියට හා අධ්‍යාපනයට සම්බන්ධ ආයතනවලටය. අප රටේ නීතිය රකින හා අධ්‍යාපනය ලබා දෙන ස්ථාන දෙකම මෙසේ අල්ලසට යටව ඇත්නම් අනාගත පරපුර ගැන කවර කතාද? රටේ නීතිය ගැන කවර කතාද? අල්ලසක් ඉල්ලූ විටක පෙර කී 1954 අංකය ඇමතීමෙන් ඉදිරි විස්තර දැන ගත හැකිය.

එසේම ජනතාවට කාර්යක්ෂම සේවාවක් ලබා ගැන්මට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, ආගමන විගමන දෙපාර්තමේන්තුව පුද්ගලයන් ලියාපදිංචි දෙපාර්තමේන්තුව වැනි ආයතන සේ එක් දින සේවාවන් ඇරැඹීම තුළින් අල්ලසට වැට බැදීමට හැකිවනු ඇත.

එවිට අල්ලස වෙනුවට එය මහජනතාවට කඩිනම් සේවාවක් වෙනුවෙන් රජයට ගෙවනු ලබන කඩිනම් සේවා ගාස්තුවක් පමණක් වන්නේය. මහජනතාව බොහෝ විට අල්ලස් ලබා දෙන්නේ තම කාර්යය කඩිනම් කර ගැනීමටය. ඒ සඳහා විසඳුම් රාජ්‍ය යාන්ත්‍රණයෙන්ම සකස් වන්නේ නම් අල්ලස් යන්න හුදෙක් වචනයටම සීමා වනු ඇත.

Comments