රණ බිම ඇත් රජකු වගේ | සිළුමිණ

රණ බිම ඇත් රජකු වගේ

අචිරවතී ගඟ අසබඩ ධීවර ගම්මානයක් විය. ඒ ගමේ නායකයා ගේ පුතා යසෝජ ය.

ඔහු සිය මිතුරන් සමඟ ලොකු දැලක් ගෙන ගඟට ගියේ ය. දැල දියට දමා බලා සිටියේ ය.

මොහොතකින් දැලට මහා බරක් දැනිණ. යසෝජ සහ ඔහු ගේ මිතුරෝ දැල ගොඩට ඇදගත්හ.

එහි මහා මාළුවෙක් විය. ඌ රන් පැහැති ය. රන් රැස් යසෝජලාට පෙනිණ.

“මෙහෙම මාළුවෙක් අපි කවරදාවත් දැකලා නැහැ අහලාත් නැහැ.“

යසෝජ විස්මයට පත්විය.

“මේ මාළුවාට අපි මොකක් ද කරන්නේ?“

මිතුරෙක් යෝජනාවක් කෙළේ ය.

“මේ අපූරු මාළුවා අපි කොසොල් රජතුමාට පෙන්නමු.“

සියලු දෙනා ම ඊට එකඟ වූහ.

“මේ මාළුවා ගැන විස්තර දැනගන්න පුළුවනි බුදුරජාණන් වහන්සේ ගෙන්. අපි ජේතවනාරාමයට යමු.“ රජු යසෝජට කී ය.

ඔවුහු රජු සමඟ ජේතවනාරාමයට ගියහ.

බුදුරජාණන් වහන්සේ මාළුවා දැක මෙසේ වදාළහ.

“මොහු කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ගේ ශාසනය පිරිහෙන කාලේ පැවිදි වුණා. සිල් රැක්කේ නැහැ. වැරැදි පිළිවෙත් අනුව ජීවත් වුණා. ඔහු ගේ කටයුතු නිසා සංඝයා පිරිහුණා. දායකයන් ගේ අපහාසයට ලක්වුණා. ඔහු මරණයෙන් පසු නිරයේ උපන්නා. ඉන් පසුව අචිරවතී ගඟේ මාළුවකු වශයෙන් ඉපදුණා. ඒ භික්ෂුවගේ සහෝදරියන් ද නිරයේ ඉපදුණා.“

මේ කතාව ඇසූ යසෝජ මහත් කම්පාවට පත්විය.

‘සසර ගමන බිහිසුණුයි. අනතුරු සහිතයි. වැරදි හැසිරීමෙන් අපාගත වෙනවා. දැක්කනේ ඉස්සර භික්ෂුවක්, දැන් මාළුවෙක්, දැලට හසුව මිය ගියා. ඉක්මනින් මේ සසර ගමන නතර කරන්න ඕනෑ. බුදුරජාණන් වහන්සේ අපට හමුවුණා. සසරෙන් මිදෙන මඟ සොයා ගැනීමට උන්වහන්සේ අපට උදව් කරනවා.‘

මෙසේ සිතූ යසෝජ ජේතවනාරාමයේ දී පැවිදි විය. ඔහු ගේ මිතුරෝ ද පැවිදි වූහ.

යසෝජ හිමි සහ මිතුරු හිමිවරු මහණ දම් පුරමින් එක් ආරාමයක විසූහ. දිනක් යසෝජ හිමියෝ මිතුරු හිමිවරුන් පිරිවරාගෙන බුදුරජාණන් වහන්සේ දක්නට වැඩියහ.

ඒ භික්ෂූන් ගේ පැමිණීමත් සමඟ ආසන පැනවීම් ආදි කටයුතු නිසා ජේතවනාරාමයේ මහා ඝෝෂාවක් ඇති විය.

ඒ ඇසූ බුදුරජාණන් වහන්සේ යසෝජ හිමි ඇතුළු පිරිස එළවාදමන්නැයි අනෙක් භික්ෂූන්ට කී හ. යසෝජ හිමියෝ සිය පිරිසත් සමඟ මහත් සංවේගයෙන් යුතුව වග්ගුමුදා ගං තෙරට වැඩියහ.

ගංතෙර ආරාමයක නැවැතී විදසුන් වඩන්නට වූ යසෝජ හිමියෝ වැඩි කලක් නොගොස් ෂඩ් අභිඥාලාභිව රහත් බවට පත් වූහ.

සියලු ධූතාංග ධර්ම සමාදන්ව සිටි උන්වහන්සේ ඒ නිසා ම ඉතා කෘශ, අඳුරු පැහැති, රළු සිරුරක් ඇත්තෙක් විය.

දිනක් බුදුරජාණන් වහන්සේ යසෝජ රහතන් වහන්සේ ඇතුළු පිරිස ජේතවනාරාමයට කැඳවූහ.

යසෝජ හිමියන් ගේ පරම අල්පේච්ඡතාව ඇගැයීමට ලක් කළ බුදුරජාණන් වහන්සේ ගාථා දෙකක් දෙසූහ.

පසු කලෙක යසෝජ රහතන් වහන්සේ සිය උදානය වශයෙන් පළ කෙළේ ද ඒ ගාථා දෙක ම ය.

කෙට්ටුයි ඔහු, ඔහු ගේ අත් පා

කළුවැල් පුරුක් වගෙයි.

නහර වැල් ද ඉල්පී ගොස්.

සිය අහරේ පමණ දන්න

ඔහු අදීන පුරුෂයෙක් ය.

බවුන් වඩද්දී අරණේ

මදුරු පිරිස් වට කරගෙන

ලේ බොන විට ඉවසයි ඔහු

රණ බිම ඇත් රජකු වගේ.

තනිව වෙසෙන විට බඹකු වගේ වෙයි.

දෙදෙනකු වූ විට දෙවියන් මෙන් වෙයි.

තිදෙනකු වූ විට ගමක් වගේ වෙයි.

ඊට වැඩි වුණොත් එතැන සටනම යි.

Comments