ඉන්ධන මිල වැඩි කිරීම ගැන ජනතාව කියන කතා | සිළුමිණ

ඉන්ධන මිල වැඩි කිරීම ගැන ජනතාව කියන කතා

ප්‍රදීප් නිශාන්ත (52) 
ත්‍රීවීල් රැකියා - වැලිගම

දෙවැනි වතාවටත් පෙට්‍රල් විතරක් නෙමෙයි. භූමිතෙල්, ඩීසලුත් වැඩි කළා. ඒ විතරක් ද, අල පරිප්පු, හාල්, සීනි, කිරිපිටි, ගෑස් ආදී හැම දෙයක් ම ගණන් වැඩි කරලා. කොහොම ජීවත්වෙන්නද මන්දා. පවුලත් නඩත්තු කරන්නේ ත්‍රීවීල් රැකියාවෙන්. අපට ලීසිං සහන නෑ. පසුගිය කාලේ හයර් තිබුණෙත් නෑ. කොරෝනා ගැටලුව හින්දා බොහෝ වෙලාවට ත්‍රීවීල් එකේ ණය ගෙවා ගත්තෙත් හරි අමාරුවෙන්. ඒ මදිවට කොරේ පිටට මරේ කියලා පෙට්‍රලුත් වැඩි කළා. ත්‍රීවීල් ගාස්තු ඉහළ දැම්මත්, දැන් ලොකු ගාණක් හොයාගන්නත් බෑ.

මිනිස්සු හයර් එකක් යන්නෙත් ගණන් අහලා බලලයි.

ඉන්ධන වැඩි කිරීමෙන් අපේ සැලසුම් කඩාකප්පල් වෙනවා 
දුෂාන් ලහිරු (26) අලෙවි විධායක - බෙන්තොට

රාජකාරියේදී යතුරුපැදිය භාවිත කරන නිසා මාසිකව ලැබෙන වැටුප හා පෙට්‍රල්වලට වැයවන මුදල ගණනය කරනවා. පෙට්‍රල් ලීටරයකට රු. 20 ක් 23 ක් වැඩි කරලා තියෙන්නේ.

අපේ සම්පූර්ණ සැලසුම් කඩාකප්පල් වෙනවා. ලංකාවෙ විදේශ සංචිත නෑ. උද්ධමනයට සාපේක්ෂව ආදායම් වැඩි නෑ. හැමදේම විකුණනවා. ඒක පුද්ගල ආදායම වැඩිවෙන්නෙ නෑ. නිෂ්පාදන ආර්ථිකය දිරි ගන්වන්නේ නෑ. රස්සාවක් කරලා පඩියක් අරගෙන ජීවත්වෙන්නත් බෑ.

දිනපතා යතුරු පැදියෙන් වැඩට එන්න‍ දැන් විශාල මුදලක් වැයවෙනවා
- නිරංජලා පෙරේරා (46) කීට විද්‍යා නිලධාරී - ගම්පහ

ගම්පහ ඉඳලා කොළඹට වැඩට ආවෙ කෝච්චියෙන්. කොරෝනා නිසා සෞඛ්‍යාරක්ෂාව ගැන හිතලා යතුරු පැදියෙන් එන්න ගත්තා. මේ වසරේ දෙපාරක් ම පෙට්‍රල්, භූමිතෙල්, ඩීසල් ඇතුළු ඉන්ධන මිල වැඩි කළා. දැන් මට ගම්පහ ඉඳලා දිනපතා යතුරුපැදියෙන් වැඩට එන්න විශාල මුදලක් වැයවෙනවා. ඉන්ධන මිල වැඩිවීම හැමදේකටම වක්‍රාකාරව බලපානවා. ගෑස් නැති නිසා භූමිතෙල්වලින් ඉව්වෙ. ඒකත් වැඩි කළා. හැම පැත්තෙන් ම තට්ටු වෙන්නෙ අපේ පොකට් එකටමයි.

මේ ක්‍රමවේදය වෙනස් කළ යුතුයි.

හැමදේමත් මිල ඉහළ දැම්මා පෙට්‍රල්, භූමිතෙලුත් වැඩි කළා
- චන්දන වීරබද්දනආරච්චි (45) රංගන ශිල්පී ව්‍යාපාරික - මරදාන

පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල් දෙපාරක්ම මිල වැඩි කළා. එදිනෙදා මිනිසුන්ට වුවමනා කරන අත්‍යවශ්‍ය භාණ්ඩත් මිල වැඩියි.

අපේ පාර්ලිමේන්තුවෙ මැති ඇමැතිවරු ඇතුළු හොර නඩය, ඩොලර් හිඟයි කියා කොමිස් ගහනවා.

මේ දේවලින් අසරණ භාවයට පත්වෙන්නේ සාමාන්‍ය ජනතාවයි.

බදු බර, ජීවන වියදම වැඩිපුරම දැනෙන්නේ දුප්පත් ජනතාවට මිසක් සල්ලිකාරයින්ට නෙමෙයි.

මේවට කිසිම විකල්ප ඉදිරිපත් කරලත් නෑ. කවදා සැනසීමක් ලැබෙයි ද මන්ද?

මිල වැඩි කිරීම හරි අසාධාරණයි
- සුබ්‍රමනියම් රවින්ද්‍රන් (30) හපුතලේ - ත්‍රීවීල් රියදුරු

දරුවත් එක්ක පවුල නඩත්තු කරන ගමන් දෙමාපියන්ටත් බලන්නේ ත්‍රීවීල් රැකියාවෙන් හොයන මුදලින් තමයි. පෙට්‍රල් විතරක් නෙමෙයි ඩීසල් හා භූමිතෙලුත් මිල ඉහළ දාලා.

මේ වෙද්දී හාල්, පිටි, සීනි, ගෑස්, එළවළු, පලතුරු, මස්, මාළු, බිත්තර සමඟ හැමදේම

මිල ඉහළ ගිහින්.

ඒ මදිවට දැන් භූමිතෙල් පෙට්‍රල්, ඩීසලුත් වැඩි කරලා.

තියන මිනිහට නම් ගාණක් නෑ.

නැති බැරි කෙනා තමයි මේ හැමදේකින් ම පීඩා විඳින්නේ. සාමාන්‍ය ජනතාවට සහන සැලසිය යුතුයි.

පෙට්‍රල් මදිවට භූමිතෙලුත් වැඩි කිරීමෙන් කබලෙන් ලිපට වැටෙනවා
- නුවන් කුමාර (33) රියපාලක දෙමටගොඩ

වැඩට ඉක්මනට යන්න ඕනෙ නිසා යතුරු පැදියෙන් නැත්නම් ත්‍රීවීල් එකෙන් යනවා. ඒත් දැන් ආයෙත් ඉන්ධන මිල ඉහළ දැම්මා. රෑ නිදාගෙන ඉඳලා උදේ නැගිටිද්දි ගණන් වැඩි කරලා. දුප්පත් අපට ලොකු වාහන නෑ. මෝටර් සයිකලේ හරි, ත්‍රීවීල් එක තමයි. පෙට්‍රල් මිල වැඩි කළාම අපි කබලෙන් ලිපට වැටෙනවා. ඉස්සර සමෘද්ධි දුන්නා.

දැන් ඒකත් නෑ. දරුවන් ජීවත් කරන්නෙත් පවුල නඩත්තු කරන්නෙත් මා උපයන මුදලින් තමයි. දර හිඟ නිසා භූමිතෙල්වලින් උයන්නේ.

Comments