
පසුගිය අඟහරුවාදා රාත්‍රී 12 සිට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඛනිජ තෙල් මිල ඉහළ දැම්මේය. මේ මිල ඉහළ දැමීම සමඟ පෙට්‍රල් 92 ඔක්ටේන් ලීටරයක් රුපියල් 157 සිට රු. 177 දක්වා රු. 20කින් වැඩි විය. ප්‍රතිශතයක් ලෙස එම වැඩිවීම සියයට 12.7කි. පෙට්‍රල් 95 ඔක්ටේන් ලීටරයක් රුපියල් 184 සිට රුපියල් 207 දක්වා රුපියල් 23කින් ඉහළ ගියේය. ප්‍රතිශතයක් ලෙස එම වැඩිවීම සියයට 12.5කි. ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් දහයකින් වැඩි වූයේය. රුපියල් 111 තිබූ ලීටරය දැන් 121කි. සුපර් ඩීසල් 144 සිට රුපියල් 159 දක්වා රුපියල් 15කින් ද භූමිතෙල් ලීටරයක් 77 සිට රුපියල් 87 දක්වා රුපියල් 10කින් ද ඉහළ ගියේය.
ඉන්ධන මිල යනු සමස්ත ජීවන වියදම් දර්ශකය සොලවා දමන පදනම් සාධකයකි. මේ මිල සංශෝධනය සිදුවන්නේ ආර්ථික වශයෙන් බිහිසුණු අවපාතකයට ලක්වෙමින් ඇති සමාජයකය.
කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පසුගිය අඟහරුවාදා පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී රටේ යථාර්ථය පැහැදිලි කළේය. මේ මොහොතේ රටේ ඩොලර් සංචිතය ඩොලර් බිලියන 1.5 තෙක් පහළ බැස තිබේ. ඉන්ධන මිල වැඩි කිරීම සම්බන්ධව ජනප්‍රිය නොවන සුවිශේෂී තීරණය ගෙන තිබුණේ මහ බැංකුව, මුදල් අමාත්‍යාංශය ඇතුළු රටේ සියලු වගකිවයුතු ආයතන එකතු වී බව කැබිනට් ප්‍රකාශකවරයා කීවේය. ඔහුට අනුව එය විදේශ සංචිත කඩා වැටීම වැළැක්වීමේ එක් කෙටිකාලීන විසඳුමකි.“හැම මාසෙම ඉන්ධන ආනයනය වෙනුවෙන් පමණක් ඩොලර් මිලියන 350 -400 අතර ප්‍රමාණයක් වැය වෙනවා. මහබැංකු අධිපතිතුමා පවසන විදිහට මේ මිලදී ගැනීම් නිසා සංචිත ඉතා වේගයෙන් ක්ෂය වෙලා තිබෙනවා.“ ඇමතිවරයා ප්‍රකාශ කළේය.
මේ සංවාදය අතර මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මෙම තීන්දුව ගැනීමට ඉහවල් වූ ආර්ථික යථාර්ථය මාධ්‍ය ඉදිරියේ පැහැදිලි කළේය. මහබැංකු අධිපතිවරයා කීවේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ස්ථායීභාවයත්, රටේ ඩොලර් සංචිත රැක ගැනීමත් ඇතුළු කරුණු රාශියක් සලකා බලා මෙම ජනප්‍රිය නොවන තීන්දුව ගත් බවය. “මේ මිල වැඩිකිරීමෙන් අපේ තෙල් පරිභෝජනය අඩු කරගැනීමට පුළුවන් නම් එය වැදගත්. අපේ තෙල් මිල මාසෙකට ඩොලර් මිලියන සීයකින් වැඩි වී තිබෙනවා. මාසෙකට ඉන්ධන සඳහා ඩොලර් මිලියන 300 - 400ක් අතර වැය වෙනවා. එය ඩොලර් මිලියන 250ක් දක්වා අඩු කරගන්න පුළුවන්නම් මේ ප්‍රශ්නය අපට සෑහෙන දුරට කළමනාකරණය කරගත හැකියි.“ ජීවන වියදම වැඩිවීම සම්බන්ධව ඇතිවන තත්ත්වය තමන් පිළිගන්නා නමුත් යථා තත්ත්වාවබෝධය සඟවා කටයුතු කළ නොහැකි බව ඔහු පෙන්වා දුන්නේය. මහ බැංකු අධිපතිවරයා ප්‍රශ්න කළේ රටක් ලෙස ණය ප්‍රමාණය දිගින් දිගටම වැඩි වී ගෙවා ගත නොහැකි තැනකට පැමිණියහොත් රටට කුමක් වන්නේද යන්නය. ඔහුගේ ආර්ථික විග්‍රහයෙන් ප්‍රකාශ වන්නේ ඉන්ධන මිල වැඩිකිරීම හරහා පරිභෝජනය අවම කර ඉන්ධන සඳහා වැය කෙරෙන ඩොලර් ප්‍රමාණය ඉතිරි කර ගැනීමය.
මේ ආර්ථික පරිසරය තුළ පවතින ඩොලර් සංචිතය උපරිම ඵලදායී ලෙස කළමනාකරණය කරගැනීමේ කාර්යය රටේ මූල්‍ය විශේෂඥයන් වෙත පැවරී ඇත්තේය. ඒ සඳහා විසඳුම් අවශ්‍යය. එවැනි එක් ආදර්ශයක් ඉරානය හා ශ්‍රී ලංකාව අතර අත්සන් කළ අවබෝධතා ගිවිසුමකින් එළි දැක්කේය. ඒ ගිවිසුම්ගත කොන්දේසි අනුව ජාතික ඉරාන තෙල් සමාගම වෙත දිගුකාලීන ගෙවීමට ඇති ඩොලර් 250,925,169ක ණය පියැවීම සඳහා විශේෂ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක බව වැවිලි කර්මාන්ත ඇමතිවරයා කීවේය. ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩී. සුමිත් විජේසිංහය.
ඔහු අපට පවසන්නේ ඉන්ධන භාවිතය කළමනාකරණය සඳහා රටට අවශ්‍යවන සැලසුම් සහගත දීර්ඝ කාලීන විසඳුමකි. එය රටේ සමස්ත ආර්ථික පද්ධතිය නිරෝගී කරනු ඇතැයි ඔහු විශ්වාස කරන්නේය.
“මේ අර්බුදය තිබුණත් නැතත් ඉන්ධන ආනයනය අඩු කරගැනීම ප්‍රමුඛ අවශ්‍යතාවක් ලෙස අප තෝරාග ගත යුතු වෙනවා. විදුලිය නිෂ්පාදනයට ඉන්ධන භාවිතයෙන් ඉවත් වී පුනර්ජනනී බලශක්තිය වෙත ප්‍රවේශවීම, වැඩිපුරම ඉන්ධන භාවිත වන රථවාහන ගමනාගමනය ක්‍රමානුකූලව විදුලියට පරිවර්තනය කිරීම අනාගතය උදෙසා යහපත් ප්‍රවේශයක් වේවි.“ මන්නාරම් ද්‍රෝණියේ තෙල් සහ ගෑස් නිධි සම්බන්ධව ඇති සුබවාදී අපේක්ෂාව සමග සිය සංක්ෂිප්ත අදහස් දැක්වීම කරන සභාපතිවරයා බොහෝ දුර්ග කාල අවසානයේ දී වසන්තය පිළිබඳ ඇති අපේක්ෂා දල්වන්නේය.
මේ ඉන්ධන මිල වැඩිවීමේ ආදීනව ජන ජීවිතය මත පතිතවන්නේ නිතැතිනි. ඉන්ධන මිල ඉහළ යෑම සමස්ත භාණ්ඩ හා සේවා පද්ධතියම විකල් කරන්නේය. එම පීඩනය වැඩිවශයෙන් පතිත වන්නේ සමාජයේ අඩු ආදායම්ලාභී ප්‍රජාව මතය. කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රියන්ත දුනුසිංහයන්ට අනුව රටට ඩොලර් ඉතිරි කරගැනීමට ගත් මෙම තීන්දුවෙන් පීඩනයට පත්වන ජීවිත සම්බන්ධව ප්‍රායෝගික වැඩපිළිවෙළක් තිබිය යුතුය. ඔහු යෝජනා කරන්නේ මේ පිරිසෙහි මිලදී ගැනීමේ ශක්තිය වැඩි කළ හැකි බාහිර මැදිහත් වීමකි. එම මැදිහත්වීමෙන් ආනයනික භාණ්ඩ වෙත ඒ ජනකොටස් පෙලඹවීමක් නොවිය යුතු බව ඔහු කියන්නේය.
ආචාර්ය දුනුසිංහට අනුව මේ ඉන්ධන මිල වැඩිවීමේ ප්‍රතිඵල ප්‍රකට වනු ඇත්තේ කෙටිකාලීන මෙන්ම දිගුකාලීනව මතුව නැඟී එන රැලි කීපයක් වශයෙනි.
මේ වනවිට එහි කෙටිකාලීන රැලිවල ස්වරූපය ප්‍රකාශිතය. බස් ගාස්තු වැඩි වී ඇත. ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පසුගිය බදාදා ප්‍රවාහන අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව ප්‍රකාශ කළේ ලබන බදාදා සිට බස්ගාස්තු සංශෝධනයක් සඳහා අමාත්‍යවරයා ප්‍රතිපත්තිමය වශයෙන් යෝජනාව සාකච්ඡාවට ලක් කළ බවය. අන්තර් පළාත් පාසල් ළමුන් සේවා සංගමය පවසන්නේ සහනයක් නොලැබුණහොත් පාසල් ප්‍රවාහන සේවා සියයට 20ක ගාස්තු වැඩිකිරීමකට සිදු විය හැකි බවය .
ත්‍රිරෝද රථ සංගම් දැනටමත් මූලික ගාස්තු වැඩිවීමක් ප්‍රකාශ කර ඇත. සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියැදුරන්ගේ සංගමයේ සභාපති ලලිත් ධර්මසේකර පවසන්නේ මූලික ගාස්තුව ලෙස පළමු කිලෝමීටරයට අය කළ ගාස්තුව රුපියල් 50 සිට රුපියල් 80 තෙක් වැඩිවිය යුතු ආකාරය තමන් විසින් ප්‍රකාශ කළේ පදනමක් සහිතව බවය. ඔහු පෙන්වා දෙන්නේ ත්‍රී රෝද රථ නියාමනයේ ඇති අවිධිමත් භාවය ගැනය. මේ වනවතුරු රටේ කිසිම තැනක ත්‍රී රෝද රථ කුලී රියැදුරන් සම්බන්ධව වූ නිශ්චිත සංඛ්‍යා ලේඛනයක් නැත. පෙට්‍රල් ලීටරයකින් කිලෝ මීටර 22ක් පමණ ධාවනය කළ හැකි ත්‍රී රෝද රථයක් ඉන්ධන මිල වැඩිවීම මත පදනම් වූ අවිධිමත් මිල වැඩිකිරීම අථාර්කික බවත් වසර විස්සක් තිස්සේ තමන් විසින් ඉල්ලා සිටින ගාස්තු මීටරය අනිවාර්ය කර විධිමත් නියාමනයක් තුළ ගාස්තු සමාලෝචන කමිටුවක් මඟින් මිල නියම කිරීමේ යෝජනාව ගැසට් තුනක් නිකුත් කිරීමෙන් පසුත් ප්‍රායෝගික වී නැති බවත්ය.
මේ වනතුරුත් අවම ගාස්තුව 50,60,70 මිල ගණන්වලට ධාවනය කරන ත්‍රීවිල් රථ ඇති බව පෙන්වා දෙන සභාපතිවරයා ඒ සියල්ල අරබයා රුපියල් 80ක ගාස්තුවක් යෝජනා කළේ ඉදිරියේ දී ඇතිවිය හැකි මිල වෙනස්වීම් සම්බන්ධව ද සලකමින් බව පවසන්නේය. ඔහු පෙන්වා දුන්නේ අවම ගාස්තුව රුපියල් 50 සහ දෙවන කිලෝ මීටරයේ සිට රුපියල් 40ක ධාවන මිල හඳුන්වා දුන්නේ පෙට්‍රල් මිල රුපියල් 117ට තිබුණු අවදියේ බවය. ඔහුට අනුව මේ මිල වැඩිවීම සම්බන්ධව ප්‍රකාශ කරන්නට සිදුවූයේ සෑම දේම මිල ඉහළ යනවිට ජීවත්වීම සඳහා ත්‍රී රෝද රථයක් පදවන පුද්ගලයකුට තම කුලී ගමනේ මිල ඉහළ නොදා සිටින්නට නොහැකි නිසාය.
සියලුම ආහාර ද්‍රව්‍ය මිල ඉහළ යමින් ඇත. ඉන්ධන මිල වැඩිවීම ප්‍රකාශයට පත් වූ වහාම සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය මෙතෙක් බේකරි කෑම සඳහා පොදුවේ කරන මිල ප්‍රකාශය අත්හැර දැම්මේය.
මෙතෙක් කල් බේකරි කෑම සඳහා නිශ්චිත මිලක් ප්‍රකාශ කිරීමේ වගකීම එකඟතාවකින් යුතුව පවරාගෙන තිබුණේ එම සංගමය. එම සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන අපට කීවේ වෙළෙඳපොළේ ආහාර ද්‍රව්‍ය සම්බන්ධව සිදුවන මේ තේරුම්ගත නොහැකි උච්ඡාවචනය මත නිශ්චිත මිලක් ප්‍රකාශ කිරීමට වඩා පාරිභෝගිකයාත් ආරක්ෂා කරගෙන මිලක් නියමකර ගැනීමේ වගකීම ඒ ඒ නිෂ්පාදකයන් වෙතම පැවරීම ප්‍රායෝගික බවය.
ගොවිබිම්වලින් ප්‍රවාහනය වන එළවළු පලතුරු ටිකට, මුහුදුකරයෙන් ප්‍රවාහනය වන මාළු ටිකට, කුඹුරේ සිට හාල් ටිකට අඳින වස්ත්‍රයට මේ වැඩිවන ඉන්ධන මිල බලපෑම් කරන්නේ මතුවන පළමු රැල්ලේදීමය.
එකිනෙකාට දෙස් දෙවොල් තබමින් මේ සුන්බුන් අතර වැළලීමට වඩා මේ අළු මතින් නැඟී සිටිය හැකි ප්‍රවේශයක් සොයා ගැනීම රටවැසියන් ලෙස අපේ සියලුදෙනාගේ වගකීමය.