ගින්නෙන් උපන් මිනිසා | Page 2 | සිළුමිණ

ගින්නෙන් උපන් මිනිසා

 

කම්කරුවකු ලෙස ලංකා විදුලිබල මණ්ඩලයට බැඳී හතළිස් වසරක සේවා කාලයකින් පසු පොත් බැඳුම්කරුවකු ලෙස සේවයෙන් විශ්‍රාම ගිය ගලගමඅච්චිගේ අමරවංශ ගුණසේන පෙරේරා හෙවත් G.A.G පෙරේරා විදුලිබල මණ්ඩලයේ සියලු සේවකයන් අතර ප්‍රකටව සිටියේ ‘ජැග්’ පෙරේරා නොහොත් ‘පෙරේරා අයියා’ යන ආදර නාමයෙනි. හැත්තෑව දශකයේදී විදුලිබල මණ්ඩලයේ පැවති සේවක සභාව නියෝජනය කළ, වාමාංශික දේශපාලන නැඹුරුවක් සහිත සමාජශීලී, කාටත් උදවු කරගෙන ජීවත් වූ හිත හොඳ මිනිසකු වූ ඔහුගේ සිතේ එක් අහිංසක බලාපොරොත්තුවක් තිබිණ. ඒ සිය පුතුන් සිවුදෙනාගෙන් වැඩිමහල් පුතු රන්ජන් ජයලාල් දිනෙක විදුලිබල මණ්ඩලයේ විදුලි අධිකාරිවරයකු වනු දැකීමය. අයුක්තිය, ආධාරණය හමුවේ කිපෙන, ඒ වෙනුවෙන් අරගල කරන සිය යොවුන් පුතු වෘත්තීය සමිති නායකයකු හෝ දේශපාලන චරිතයක් වනු දැකීමට පෙරේරා කිසිසේත් අපේක්ෂා නොකළේය. එහෙත් ඒ බලාපොරොත්තු නොවූ අපේක්ෂාව සඵල වෙමින් ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිතියට නව පණක් දීමට ජී.ඒ.ජී. පෙරේරාගේ පුතු රන්ජන් ජයලාල් ට හැකිවිය. මෙවර අපේ කථානායකයා ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් ය. පියාගේ මතකය තුළින්ම අතීත මතක හෙළි කරන්නට අපි ඔහුට ඇරයුම් කළෙමු.

“මගේ තාත්තා හරි අපූරු සරල සුන්දර ගතිගුණ තිබුණ පුද්ගලයෙක්. තාත්තගේ තාත්තා ලී මෝල් හිමියෙක්. ඔහු මියගොස් තිබෙන්නේ මගේ තාත්තා කුඩා කාලයේදී. අම්මා වෙනත් විවාහයක් කරගැනීමත් සමඟ තාත්තාට ඔහුගේ ජීවිතය තනිව ගොඩනඟා ගැනීමට සිදුව තිබෙනවා. මට මතක කාලේ වෙද්දි විදුලිබල මණ්ඩලයේ තාත්තාගේ වැටුප රුපියල් 97ක්. ඒ මුදලින් තමයි තාත්තා අම්මවත් මාවත් මල්ලිලා තුන්දෙනාවත් ජීවත් කළේ. කාලයක්ම අපි කුළී ගෙවල්වල හිටියේ. පසුකාලයක තාත්තා රුපියල් හාරදාහකට කොරතොටින් ගත්ත කුඩා ඉඩමක මම විදුලිබල මණ්ඩලයේ වැඩ කරන කාලේ අඩි 10ක් දිග අඩි 15ක් විතර පළල කටුමැටි ගහපු ගෙදරක අපි ජීවත් වුණා. අඩුපාඩු තිබුණත් තාත්තා එක දවසක්වත් අපිව බඩගින්නෙ තිබ්බෙත් නැහැ. තාත්තා හැමදාම උදේ හවස කිලෝ මීටර් තිහ හතළිහක් පාපැදියෙන් වැඩට යනවා.“

1963 අප්‍රේල් 27 වැනිදා හංවැල්ල පහත්ගමදී උපන් රන්ජන් ජයලාල් දැඩිගම කනිටු විදුහලෙන් ඉගෙනුම ආරම්භ කළද කොරතොට ශ්‍රී සෝමානන්ද විද්‍යාලය, හංවැල්ල රාජසිංහ මහා විද්‍යාලය, මායාදුන්න මහා විද්‍යාලය සහ පහත්ගම රෝමානු කතෝලික විද්‍යාලය යන පාසල්වල ද ඉගෙනුම ලබා ඇත. පාසලින් පාසලට ගිය ඒ ගමන ගැන ද ඇත්තේ අපූරු කතාය.

“අසාධාරණයට විරුද්ධව පාසල් කාලේ ඉඳලම අසංවිධාත්මකව යම් යම් දේවල් කළා. ඒ නිසාම අවුරුද්දක් වගේ තමයි එක ඉස්කෝලෙක හිටියේ. රාජසිංහ මහා විද්‍යාලයේ 6 වසරේ ඉගෙන ගන්න කාලේ විදුහල්පතිවරයාට විරුද්ධව ඉහළ පන්තිවල සිසුන් සංවිධානය කළ වර්ජනයට මමත් සහභාගි වුණා. ඒ නිසාම මට ඒ පාසලෙන් ඉවත් වෙලා කොරතොට සෝමානන්ද මහා විද්‍යාලයට එන්න සිදු වුණා. සාමාන්‍යපෙළින් මම අධ්‍යාපනය අවසන් කළා. ඒ කාලේ අඟහිඟකම් තිබුණ කාලයක්. 1979 වෙද්දි ඔරුගොඩවත්තේ වානේ සංස්ථාවේ දෙවැනි අදියරේ වැඩ පටන් ගෙන තිබුණා. ඒකේ කොන්ත්‍රාත් බාරව හිටියේ බණ්ඩාර බාස් කියලා කෙනෙක්. එතැන ඉලෙක්ට්‍රිකල් සෙක්ෂන් එකට රුපියල් අටේ පඩියට මම වැඩට ගියා. ඕ.ටී පැයට රුපියල් 1.50ක් ගෙව්වා.”

රන්ජන් ජයලාල් නමැති වයස අවුරුදු 18වත් සම්පූර්ණ නොවූ තරුණයා වාමාංශික දේශපාලනයට හුරුවන්නේ ඒ රැකියාවත් සමඟය. රුසියානු රජයේ පරිත්‍යාගයක් වූ ඔරුගොඩවත්තේ වානේ සංස්ථාවේ කොන්ත්‍රාත් පදනම මත එකල වැඩිවශයෙන් සේවය කළේ ඒ වන විට වසාදමා තිබූ පූගොඩ පෙහෙකම්හලේ සේවකයන්ය.

“ ‘අම්මා’ සහ ‘වානේ පන්නරය ලැබූ හැටි’ වගේ පොත් කියවන්න මට අවස්ථාව ලැබුණේ ඔවුන්ගෙන්. එතෙක් අසංවිධානාත්මකව පැවති තත්ත්වය විධිමත් වෙන්න එය ප්‍රධාන හේතුවක් වුණා. අපිත් එක්ක වැඩකළ වැඩි පිරිසක් ඒ වෙද්දි වහලා තිබුණු පෙහෙකම්හලේ සේවකයෝ. ඒ කාලේ මිනිස්සුන්ගෙන් වැඩගත්තේ වහලුන්ගෙන් වගේ. අවුරුදු 18ටත් අඩු මම කොන්ත්‍රාත්කරුවන් භාරව සිටි බණ්ඩාර බාස්ට විරුද්ධව ඔවුන්ව සංවිධානය කළා. තාත්තට ඕනවුණේ මට අවුරුදු 18 වුණ ගමන් විදුලිබල මණ්ඩලේට මාව බන්ඳවගන්නයි. තාත්තා මට නිතරම කිව්වේ කම්කරුවෙක් විදිහට ඇවිත් කාර්යාල කටයුතුවලට සම්බන්ධ වෙන එක අපරාධයක්, කාර්මිකයෙක් විදිහට තාක්ෂණික අංශයට සම්බන්ධ වෙන කෙනෙක්ට හොඳ අනාගතයක් තියෙනවා කියලයි. විදුලිබල මණ්ඩලයේ තිබුණු උසස්වීම් පටිපාටිය අනුව සාමාන්‍ය පෙළ තියෙන කෙනෙකුට ඉංජිනේරු දක්වා යන්න පුළුවන්. මට වයස අවුරුදු 18 සම්පූර්ණ වුණ ගමන් තාත්තා කිව්වා “උඹව විදුලිබල මණ්ඩලේට දාලා දෙන්නම් මගෙත් නම්බුව බේරගෙන මිනිහෙක් වෙන්න බලපන්” කියලා. මම මණ්ඩලේ රස්සාවට එද්දි වයස අවුරුදු 18යි මාසයයි දින 3යි. කොළඹ මහරෝහලේ තියෙන විදුලිබල මණ්ඩලේ ඩිපෝ එකට මාව අනුයුක්ත කළා. මගේ අංකය ජේ.එල් 171. ඒකේ තේරුම ජූනියර් ලේබර් කියන එක වෙන්නත් ඇති. නොවෙන්නත් ඇති. ඒ මොනා වුණත් මම ඒකට දාගත්ත නම ‘ජනාධිපති ලේබර්’.

ඔහු ඒ මතක සිහි කරන්නේ සිනාසෙමිනි. විදුලිබල මණ්ඩලයේ සේවයට එක්වූ රන්ජන් තරුණයාට 1981,1983 රටේ පැවති භීෂණ තත්ත්වයන් ද දෑස්වලින් දැකගන්නට ලැබිණ. 1983 වසරේදී ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනයට සම්බන්ධ වන ඔහුගේ පළමු දේශපාලන ගුරුවරයා වන්නේ රංජිත් පෙරේරාය.

“රටේ තිබුණු තත්ත්වෙත් එක්ක දේශපාලනය කරනවට ගෙදරින් ලොකු බලපෑමක් එල්ල වුණා. ඒ නිසා මම දේශපාලනය කළේ රහසින්. තාත්තා මගේ පොත්පත් පවා පිච්චුවා. මම දේශපාලනය කරන එක වළක්වන්න තාත්තා කරන්න පුළුවන් හැමදේම කළා. ඒ කාලේ මට මාරුවීම් දුන්නේ විදුලිබල මණ්ඩලයෙන් නෙවෙයි, තාත්තා තමයි උසස් නිලධාරින්ට කියලා මාව මාරු කළේ. 1985දී මාව කුරුඳුවත්ත වැඩපළට දැම්මා මෝටර් එතීම ඉගෙන ගන්න. එතකොට තාත්තා වැඩ කළේ විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේ. තාත්තා නිසා ලංකාවේ ඕනෑම මෝටරයක් ඔතන්න පුළුවන් දැනුම, පළපුරුද්ද මම ලබාගත්තා. ඒ කාලේ සාමාන්‍ය පෙළ තියෙන කෙනෙක් ලංවිම කාසල්රී අභ්‍යාස විද්‍යාලයේ (හැටන්) වසරක පාඨමාලාව කළාට පස්සේ විදුලි බල මණ්ඩලයේ 3 වැනි ශ්‍රේණියේ සේවකයෙක් විදිහට අවුරුද්දක් වැඩකළාට පස්සේ විදුලි අධිකාරි තනතුරට බඳවා ගැනීම සඳහා පවත්වන විභාගයෙන් සමත් වුණොත් ඒ තනතුරට බඳවා ගන්නවා. තාත්තට වුවමනාව තිබුණේ මාව එතැනට යවන්නයි. මට මතකයි තාත්තා පරණ ප්‍රශ්න පත්‍ර, පොතපත හොයාගෙන ඇවිත් මට ගොඩක් උදවු කළා. තාත්තා ඒ වෙද්දි පොත් බැඳුම්කරුවෙක් විදිහට වැඩ කළේ. 1988 මැයි 16 වැනිදා මම කාසල්රී පුහුණුවට ගියා.”

දේශපාලන වශයෙන් උණුසුම් වාතාවරණයක් පැවති එකී කාලය රන්ජන් ජයලාල් සිහි කළේ මෙලෙසය.

“ඒ කාලේ පොලිසි පහකින් ඇවිත් මාව හොයලා තිබුණා. ඒ කාලේ මගේ සේවා ස්ථානය වුණේ කුරුඳුවත්ත ඩිපෝව. එතැන විදුලි අධිකාරි විදිහට හිටියේ බාලසුබ්‍රමනියම් කියලා මහත්මයෙක්. එයයි මමයි නිතරම වාද විවාද කරගන්නවා. එකපාරක් මම ජවිපෙ පත්‍රිකා වගයක් හංඟලා තිබ්බා මාළිගාවත්තේ වැඩකරන තැන සිවිලිමේ. උදේ වැඩට එද්දි මීයෝ අර පත්‍රිකා ටික සේරම බිමට ඇදලා දොරේ තිබුණ හිලකින් එළියටත් තල්ලු කරලා. මම එද්දි ඒ පත්‍රිකා සේරම එකතු කරලා විදුලි අධිකාරි මහත්තයාගේ මේසේ උඩ තියලා තිබුණා. සුබ්‍රමනියම් මහත්තයා මට හරියට දොස් කිව්වා. අන්තිමට ඔහු කිව්වා මේක හරියන්නෙ නෑ. මම පෙරේරා අයියට කතා කරලා මේ ටික දෙනවා කියලා.

මම කිව්වා පොලිසියට දුන්නත් කමක් නෑ තාත්තට නම් දෙන්න එපා කියලා. සී.අයි.ඩී එකෙන් ගිහින් මාව අහද්දි ඔහු කියලා තියෙනවා රන්ජන් මෙහේ වැඩකළා. දැන් ඔහු මෙහේ නැහැ. කොහෙද ඉන්නෙ කියලා මම දන්නෙත් නැහැ කියලා. සුබ්‍රමනියම් මහත්මයා දැනගෙන හිටියා මම කාසල්රී ඉන්නවා කියලා. නමුත් පාවාදුන්නෙ නැහැ. එකපාරක් මම පොලිස් අත්අඩංගුවට පත්වුණා. නමුත් චෝදනා ඔප්පු වුණේ නැති නිසා නිදහස් වුණා. කාසල්රී පුහුණුවෙන් පස්සේ මාව බටහිර දකුණු තැනීම් ඩිපෝවට අනුයුක්තව අරංගල වැඩබිමට යොමු කළා.

තාත්තා බලාපොරොත්තු වුණ විදිහට කාසල්රී ගිහින් ඇවිත් විදුලි අධිකාරි තනතුර දක්වා යන්න ඒ වෙද්දි මගේ හිතේ අකමැත්තක් තිබුණේ නැහැ. මම විභාග ලිව්වා. ඒත් එතැනින් එයාට යන්න තිබුණු දේවල් මට මඟහැරුණා. විදුලි අධිකාරි විභාගයේ එක විෂයක් ලියන්න තිබුණ දවසේ මගේ විභාග ශාලාව තිබුණේ රාමක්‍රිෂ්ණා ශාලාවේ.

මම ඒකට යන්න එනකොට පක්ෂයෙන් කතාකරලා කිව්වා හෝමාගම රැලියේ ඉන්න විමල් වීරවංශව හවස 4ට තලංගම කොස්වත්තේ තියෙන රැලියට සහභාගි වෙන්න එක්ක එන්න කියලා. යතුරුපැදියේ පිටිපස්සේ නංවගෙන පරිස්සමින් එක්ක එන්න ඕනේ. පක්ෂයෙන් දීපු වගකීම ඉටු කරන්න ඕන නිසා මම විභාගේ පැත්තකින් තියලා ඔහුව හරියට වෙලාවට ආරක්ෂිතව එක්කගෙන ආවා. අන්තිමට මම තීරණය කළා විභාග ලියන්න අවශ්‍ය නැහැ. උපාධි තියෙන ඉදිරිපෙළ නායකයොත් ඒවා පැත්තකින් තියලා පක්ෂය වෙනුවෙන් කැපවෙලා ඉන්නවා. ඒ නිසා මම පක්ෂය වෙනුවෙන් ඉන්නවා කියලා. ප්‍රාදේශීය සභා මන්ත්‍රීකමත් මට අලුත් අත්දැකීමක් වුණා. ගමේ මරණාධාර සමිතියකවත් නිලතල දරපු නැති මාව විශ්වාස කරලා පක්ෂය ඒ අවස්ථාව ලබාදුන්නම පොඩි තිගැස්මක් ඇතිවුණා. ”

ජනතා විමුක්ති පෙරමුණ සීනුව ලකුණ යටතේ තරග කළ පළමු මැතිවරණයේදීම කඩුවෙල ආසනයෙන් මන්ත්‍රී ධුර දෙකක් හිමිකරගත් අතර ඉන් එක් මන්ත්‍රී ධුරයක් රන්ජන් ජයලාල්ට හිමි විය. එතැන් සිට වසර 16ක් ඔහු කඩුවෙල ප්‍රාදේශීය සභාව නියෝජනය කළේය. එහෙත් දේශපාලනයටත් වඩා රන්ජන් ජයලාල් ඇලුම් කළේ වෘත්තිය සමිති ව්‍යාපාරයටය.

“ලංකා විදුලිබල මණ්ඩලයේ සියලුම වෘත්තිය සමිති එකතු කරලා එක සංගමයක් හැදීමේ ලොකු වුවමනාවක් මට තිබුණා. 1996දී විදුලිබල මණ්ඩලයේ පැය 72ක වර්ජනයක් සිදුවුණා. ඕස්ට්‍රේලියානු සමාගමක් ආවා විදුලිබල මණ්ඩලය මිලදී ගන්න. ඒ වෙද්දි වෘත්තිය සමිතියක් ගොඩනඟාගන්න මම අසමත් වෙලා වුණත් මම ලංවිම කාසල්රි පුහුණුවූවන්ගේ සංගමයේ විධායක කමිටුව නියෝජනය කළා. ඒ තුළින් මම ක්‍රියාකාරී වැඩ කොටසක් කරලා තිබුණු නිසා විදුලිබල සේවකයන් තුළ මා කෙරෙහි යම් විශ්වාසයක් තිබුණා. නමුත් ඒ වර්ජනය සිදුවුණේ පරිපාලන ක්‍රමයටයි. සාමාන්‍යාධිකාරි සිට පහළම සේවකයා දක්වා වර්ජනය කරන්න තීන්දුවක් ගත්තා. අන්තිමට පරිපාලනය ඉස්සෙල්ලාම වැඩට ගියා. පරිපාලන වැඩ වර්ජනය අසාර්ථක බව මම එයින් තීරණය කළා. 1996 නොවැම්බර් මාසේ දවසක පංචිකාවත්ත ජවිපෙ කාර්යාලයේ සොල්දරයේ උඩ පැදුරක් දාගෙන ලංකා විදුලි සේවක සංගමය හැදුවා. සභාපති මම. ජවිපෙ සහෝදරයෙක් ලේකම් වුණේ. පත්‍රිකාවක් ලියන හැටිවත් මම දැනගෙන හිටියේ නැහැ. වුවමනාව සහ අවශ්‍යතාව පමණයි තිබුණේ. පක්ෂයෙන් අපිව පුහුණු කළා. ඒ වෙද්දිත් මම ප්‍රාදේශීය සභා මන්ත්‍රී. 88,89 භීෂණය දැකලා වෘත්තිය සමිති ගැන සේවක උනන්දුව නැතිවෙලා තිබුණේ. විදුලි සේවක සංගමය හදන්න අපි රට පුරා ගියා. වතුර බෝතලයක් බෑග් එකේ දාගෙන බස්වල නැඟලා ඩිපෝ එකෙන් ඩිපෝ එකට ගිහින් සේවකයන්ට කතා කළා. පළමු වතාවට බෙදීම් නැති හැමෝටම එකට ඉන්න පුළුවන් වෘත්තිය සංගමයක් අපි හැදුවා. ඒක ලංකා විදුලිබල සේවකයෝ හැමෝටම අලුත් අත්දැකීමක් වුණා.”

දුෂ්කර ගමනක මතක සටහන් රන්ජන් ජයලාල් අද සිහිපත් කරන්නේ තෘප්තිමත් හැඟීමෙනි.

‘‘අපි පළමුවෙන්ම ගියේ අනුරාධපුරයට. සංගමයට බැඳෙන්න කියලා 60 දෙනෙක් විතර ඇප්ලිකේෂන් ගත්තට අපිට පුරවලා දුන්නේ තුන්දෙනයි. නිදහස් පක්ෂයේ කෙනෙක් ඒ රැස්වීමේදී චෝදනා කළා මම ජවිපෙ මන්ත්‍රී, මේ ජවිපෙ වෘත්තිය සමිතිය කියලා. මම කිව්වා මගේ මන්ත්‍රීකම තියෙන්නේ ප්‍රාදේශීය සභාව ඇතුළේ විතරයි. සමිතියට බැඳිලා, මේක ජවිපෙ පාරේ යනවා නම් ඒක නතර කරන්න කියලා ඔහුට කිව්වා. කැකිරාවේදි විදුලි අධිකාරිවරයකුට ඇමතිවරයෙක් පහර දීමක් කළාම අපි කැකිරාවේ කළ වැඩ වර්ජනය නිසා ඇමතිවරයා අත්අඩංගුවට ගන්න සිදුවුණා. ඒ සිදුවීමෙන් සේවකයන් අතර උද්යෝගයක් ඇතිවුණා. උතුරු මැද පළාතේ සියයට 90ක්ම විදුලි සේවක සංගමයේ සාමාජිකත්වය ගත්තා වගේම සංගමයේ වැඩිම සාමාජිකත්ව බලකඳවුර බවට පත්වුණෙත් උතුරු මැද පළාත.“

එසේ ඇරඹි වෘත්තිය අරගලය තුළ මේ දක්වා රන්ජන් ජයලාල් විදුලිබල මණ්ඩලයේ සේවකයන් වෙනුවෙන් ලබාදුන් ජයග්‍රහණ රැසකි. 1996 වසරෙන් පසු ලංකා විදුලිබල මණ්ඩලය කොටස් කිරීම සඳහා ගත් දෙවැනි ප්‍රයත්නය වන 2002 අංක 28 දරණ පනත ඉදිරිපත් කළ අවස්ථාවේ සිට එය ආපස්සට හැරවීම සඳහා හේ දැඩි කැපවීමෙන් කටයුතු කළේය.

”ලංකා විදුලිබල මණ්ඩලය කොටස් 8කට කඩන්න ගෙනාව ඒ පනත පාර්ලිමේන්තුවට ගෙනාව දවසේ අපි විදුලි සේවක සංගමයේ සාමාජිකයන් 17ක් ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට මිනී පෙට්ටියක් තියාගෙන විරෝධතාව දැක්වුවා. ඒ වෙලාවේ විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති රූපවාහිනි මැදිරියකට ගිහින් කියනවා මණ්ඩලය කොටස් 8කට කඩන්නෙ නැතුව ප්‍රතිව්‍යූහගත කරන්න බැහැ කියලා. ඒ වෙද්දි අපේ සංගමයේ සාමාජිකයෝ දාහක්වත් නැහැ. දවල් 2ට විතර අනෝරා වැස්සක් වැස්සා. ඒ වැස්සෙත් අපි 17 දෙනා අඛණ්ඩව විරෝධතාවයේ. ඒ වෙද්දි අපේ සේවකයෝ ටිකක් සංවේදී වුණා. ඔවුන් උඩ තට්ටුවල ඉඳලා අපිට සල්ලි දැම්මා මොනවාහරි කන්න බොන්න කියලා. හවස්වෙද්දි සේවකයෝ පහළට බහින්න පටන් ගත්තා. පොලිසිය ඒ වෙද්දිත් වළල්ලක් හැදිලා කාටවත් ඇතුළට යන්න පිටවෙන්න බැරිවෙන්න. හරිටයම හවස 4.15ට පාර්ලිමේන්තුවේදී ඒ පනත වැඩි ඡන්ද 8කින් සම්මත වුණා. ඒ වෙලාවේ මිනීපෙට්ටිය ගිනි තියලා අපි කිව්වා මේ ආණ්ඩුව අපි ගෙදර යවනවා, පනත සම්ත කළත් අපි ඒක කරන්න දෙන්නෙ නෑ කියලා. “

ඔවුන්ගේ ප්‍රතිඥාව යථාවත් කරමින් චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ පරිවාස ආණ්ඩුව ඒ පනත ඉවත දැමීය. 2004 දී බලයට පත් සන්ධාන ආණ්ඩුව විදුලිබල මණ්ඩලය විකිණීමේ යෝජනාවක් කැබිනට් මණ්ඩලට ගෙන ආ අවස්ථාවේදී ඉතිහාසයේ පළමු වතාවට කැබිනට් සාමුහිකත්වය බිඳිමින් ජනතා විමුක්ති පෙරමුණ ඊට විරුද්ධ විය. එහි ප්‍රතිඵලයක් ලෙස එම යෝජනාව ද ඉවත් කරගැනීමට ආණ්ඩුවට සිදුවිය. කලක් ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන්ට අහිමිව තිබූ දීර්ඝ සේවා තිළිණ ලාභීන්ගේ සටන ජයග්‍රහණය කිරීමට මෙන්ම 2016 ඔක්තෝබර් 17 වැනිදා මෑන්පවර් සේවකයන් 6,759කට ස්ථිර පත්වීම් ලබාදීමටත් 2015 වසරේදී විදුලිබල මණ්ඩලයේ සමෘද්ධි කොන්ත්‍රාත් පදනම මත සිටි සේවකයන් 1,375ක ස්ථිර පත්වීම් ලබාදීමටත් හැකිවීම තම වෘත්තිය අරගල තුළින් ලද ජයග්‍රහණ ලෙස රන්ජන් ජයලාල් සිහි කරන්නේ දැඩි ආත්ම තෘප්තියකිනි.

රන්ජන් ජයලාල්ගේ ප්‍රිය බිරිය ජයන්ති ආරියරත්නය. පුතු අමිල මධුසංඛ සහ දියණිය තරුෂි භාග්‍යා මෙන්ම පුතුගේ බිරිය මනාෂා නිල්නුවනි ඔහුගේ ජීවිතයේ සොඳුරු වත්කම්ය. පියා රන්ජන් පිළිබඳ දුටු සිහිනය සිහිනයක්ම විණිදැයි අප ඔහුගෙන් විමසුවේ විදුලිබල මණ්ඩලයෙන් විශ්‍රාම ලැබීමට තවත් ඔහුට ඉතිරිව ඇත්තේ වසර එකහමාරක පමණ කාලයක් වන නිසාය.

“ විදුලි අධිකාරිවරයකු බවට පත්වීම සඳහා සුදුසුකම් ලබා තිබුණත් වැඩ තහනම් කිරීම් ඇතුළු ක්‍රියාමාර්ග නිසා මම තවමත් පැමිණි තනතුරේම ඉන්නවා. මුල් කාලයේ මම දේශපාලනය කරනවාට සහ වෘත්තිය සමිති වැඩ කරනවාට තාත්තා තරයේම අකමැති වුණත් පසු කාලයේදී තාත්තා මම විදුලිබල මණ්ඩලයේ සේවකයන් වෙනුවෙන් කළ සේවය ගැන අවංකම සතුටු වුණා. ඔහුගේ සිහිනය ඉටුනොවීම ගැන මා කෙරෙහි අහිතක් තිබුණේ නැහැ. නොලැබුණු දේවල් ගැන මගේ හිතේ පසුතැවීමක් නැහැ. වෘත්තීය සමිති ජීවිතය නිසා ඉතාම කාර්යබහුල ජීවිතයක් ගෙවන මට ඒ සඳහා බිරියගෙන් සහ දරුවන්ගෙන් විශාල සහයෝගයක් ලැබෙනවා. කොයිතරම් කාර්යබහුල වුණත් වසරකට දින කිහිපයක් පවුලේ අය එක්ක විනෝද ගමනක් යන්න මම අතපසු කරන්නෙ නැහැ. ඒ අවස්ථාවලදීත් විදුලි සේවකයන් මා සොයාගෙන ඇවිත් ඔවුන්ගේ ප්‍රශ්න ඉදිරිපත් කරනවා.“ඔයාලගේ තාත්තා නිසා තමයි අපි අද බත් කටක් කාලා සැනසීමෙන් ඉන්නේ” බොහෝ දෙනෙක් මගේ දරුවන්ට එහෙම කියද්දි මට විශාල සැනසීමක් දැනෙනවා. මට හැකි උපරිමයෙන් විදුලි සේවකයන් වෙනුවෙන් මගේ වගකීම ඉටුකළා කියන ආත්ම තෘප්තිය මට සැනසීමක්”

 සුරේකා නිල්මිණි ඉලංකෝන්

ඡායාරූප- ගයාන් පුෂ්පික

 

 

Comments