ජනතාව බැටකන දොස්තර වර්ජනේ | Page 2 | සිළුමිණ

ජනතාව බැටකන දොස්තර වර්ජනේ

ජයේ රෝහල් තුළ ක්‍රියාත්මක කෙරෙන වෛද්‍යවරුන්ගේ වැඩ වර්ජනය හේතුවෙන් මේ වනවිට දිවයින පුරා රෝහල් රැසක වැඩකටයුතු අඩපණ වී තිබේ. රෝහල් තුළ සිදු කෙරෙන බාහිර රෝගී ප්‍රතිකාර කටයුතු සහ සායන කටයුතු සිදු නොවීමෙන් රෝගීන් දැඩි අසීරුතාවට පත්වී ආපසු නිවෙස් කරා ගියේ ඉතා අසරණ අයුරිනි.

දීප ව්‍යාප්තව අරඹා තිබෙන වෛද්‍යවරුන්ගේ වැඩ වර්ජනය ක්‍රියාත්මක කරනු ලබන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසිනි. පසුගිය 20 වැනි දින මන්නාරම, ත්‍රිකුණාමලය, නුවරඑළිය, රත්නපුර සහ පොලොන්නරුව යන දිස්ත්‍රික් පහ තුළ පමණක් ආරම්භ කළ වෛද්‍යවරුන්ගේ සංකේත වැඩ වර්ජනය 21 වැනිදා සිට දීප ව්‍යාප්තව ආරම්භ වූයේ ඉල්ලීම් 7 ක් මුල් කර ගනිමිනි. මෙම ඉල්ලීම් මතු දැක්වේ.

1. නීත්‍යානුකූල වෛද්‍ය මාරු මණ්ඩලවල අනුමැතියෙන් තොරව විශේෂඥ වෛද්‍යවරුන්ගේ පත්වීම් ලැයිස්තු සැකසීම.

2. වෛද්‍ය මණ්ඩලවල අනුමැතියෙන් තොරව ශ්‍රේණි වෛද්‍යවරුන් අනුයුක්ත කිරීම.

3. 2022 වාර්ෂික ස්ථාන මාරු ලැයිස්තුව ප්‍රකාශයට පත් නොකිරීම.

4. රාජිත සේනාරත්න සෞඛ්‍ය අමාත්‍ය ලෙස සිටියදී වෛද්‍ය පරිපාලන ශ්‍රේණියේ නිවැරැදි ක්‍රමවේදයෙන් තොරව සිදු කළ කාරණා නිවැරැදි කිරීමට ලබාදුන් කැබිනට් අනුමැතිය ක්‍රියාත්මක නොකිරීම.

5. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නිලවරණයට අදාළ ගැසට් පත්‍රය නිකුත් නොකිරීම.

6. ජාතික වැටුප් ප්‍රතිපත්තිය උල්ලංඝනය කිරීම.

7. සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ලගේ ලිපි ශීර්ෂ භාවිත කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ කාණ්ඩ අතර ගැටලු ඇතිවන ලෙස වැටුප් සම්බන්ධ ප්‍රතිපත්ති උල්ලංඝනය කිරීම.

“22 වැනිදා රාත්‍රියේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ සෞඛ්‍ය අමාත්‍යවරයා සමඟ දීර්ඝ සාකච්ඡාවක් පැවතුණා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්‍, නියෝජ්‍ය ලේකම් සහ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් යන අයත් මෙම සාකච්ඡාවට සහභාගි වුණා.

සෞඛ්‍ය අමාත්‍යවරයා පිළිතුරු දීමට පැය 24 ක කාලයක් ඉල්ලා සිටියා. එහෙත් අපට තවමත් සාධනීය පිළිතුරක් ලැබුණේ නැහැ. ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් සැපයීමේ වගකීම තිබෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයටයි. රටේ ජනතාවට හොඳ සෞඛ්‍ය සේවාවක් ලබාදීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය මැදිහත් වෙයි කියලා අපි විශ්වාස කරනවා.” යනුවෙන් සඳහන් කළේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම්, වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු ය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකත්වය දරන වෛද්‍යවරුන් 20,000 ක් පමණ සිටින බවත් මේ වනවිට ඔවුන් සියලු දෙනා වැඩ වර්ජනයට එකතු වී සිටින බවත් පැවසූ වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු, රිජ්වේ ආර්යා ළමා රෝහල, කාසල් කාන්තා රෝහල, ද සොයිසා කාන්තා රෝහල, මහරගම අපේක්ෂා රෝහල සහ වකුගඩු ප්‍රතිකාර රෝහල යන රෝහල් වැඩ වර්ජනයට සම්බන්ධ නොවී ජනතාව වෙනුවෙන් අඛණ්ඩවම සේවාවන් සපයන බව ද පැවසීය.

මීට අමතරව කොවිඩ් ප්‍රතිකාර කටයුතු සහ එන්නත්කරණය සඳහා අවශ්‍ය වෛද්‍යවරුන්ගේ සේවය අඛණ්ඩව ක්‍රියාත්මක වන බව ද ඔහු සඳහන් කළේ ය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකත්වය දරන වෛද්‍යවරුන් වැඩ වර්ජනය ක්‍රියාත්මක කරනු ලැබූව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය, විශේෂඥ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, සමස්ත ලංකා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, රජයේ වෛද්‍ය වෘත්තිකයන්ගේ සංගමය, රජයේ වෛද්‍ය පරිපාලකයන්ගේ සංගමය මෙම වැඩ වර්ජනයට සම්බන්ධ වී නොමැත. එහෙත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකත්වය දරන පිරිස විශාල අගයක් ගන්නා නමුදු මෙම සියලු සංගම් තුළ සාමාජිකත්වය දරන වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව අතළොස්සකි. වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් ඉමහත් දුෂ්කරතාවලට මුහුණදී සිටින බව දැකගත හැකි වන්නේ එබැවිනි.

“බාහිර රෝගීන්ගේ ප්‍රතිකාර සේවා සහ සායනික කටයුතුවල යම් පසුබෑමක් තිබුණත් නේවාසික රෝගීන්ගේ ප්‍රතිකාර කටයුතු අඛණ්ඩවම සිදු වෙනවා. කළුබෝවිල, කුරුණෑගල, රත්නපුර, මහනුවර වගේ රෝහල් රාශියක වෛද්‍යවරුන් ඉතා සාර්ථකව රෝහල් කටයුතු පවත්වාගෙන යනවා. වැඩ වර්ජනය ආරම්භ කළ පළමු දවසේ නම් වෛද්‍යවරුන් හුඟක් දෙනා වර්ජනයට එකතු වුණා. ඒත් දෙවැනි දවසේ යම් ප්‍රමාණයකට අඩු වුණා.

තුන් වැනි දවසේ වෙනකොට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකත්වය දරන වෛද්‍යවරුනුත් සේවයට පැමිණියා. අද වර්ජනයේ නිරත වී සිටින වෛද්‍යවරුන්ට ඉල්ලීම් ගැන අවබෝධයක් නැහැ. සංගමය වැඩ වර්ජනය කරන නිසා වර්ජනය කරනවා.

මේ වනවිට ගොඩාක් වෛද්‍යවරුන් දන්නවා මේ ඉල්ලීම්වල තියෙන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ආධිපත්‍ය තහවුරු කර ගැනීමේ ඉල්ලීම් මිසක් වෛද්‍යවරුන්ගේ සුබසාධනය නොවන බව. රජය සහ රාජ්‍ය නොවන සංවිධානයක මාෆියාවක් අතර අරගලයක් මෙතන තියෙන්නේ.” යනුවෙන් සඳහන් කළේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති, වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන ය.

කවුරුන් අතර කුමන බල අරගලයක් තිබුණ ද අවසානයේදී බැට කන්නේ මහජනතාව බව මහජන බදු මුදල්වලින් වෛද්‍ය උපාධිය ලැබූ වෛද්‍යවරුන් අවබෝධ කර ගැනීම වටී.

ඡායාරූප - කැලුම් ලියනගේ

Comments