
කෘෂිකර්මයෙන් නිසි ප්‍රයෝජන ගනිමු
අප රටේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සුළු අපනයන බෝග දෙපාර්තමේන්තුව, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව ආදි වශයෙන් ආයතන රැසකින් සමන්විතය. බතලගොඩ, අම්බලන්තොට වී පර්යේෂණ ආයතනවලින් රටට අවශ්‍ය නව වී වර්ග නිෂ්පාදනය කරති. මහඉලුප්පල්ලම පර්යේෂණ ආයතනය ගොඩ බෝග සඳහා නව ප්‍රභේද නිපදවයි. තලවකැලේ තේ, අගලවත්ත රබර්, ලුණුවිල පොල් ආදිය ප්‍රධාන බෝග සඳහා පර්යේෂණ කටයුතු සිදුකරන ආයතනයි. සත්ත්ව පාලනය ද කෘෂිකර්මයේ වැදගත් අංගයකි. එය නිසියාකාරව නොකරන නිසා විශාල මුදලක් ඒ සඳහා පිටරටට ඇදී යයි.
කෘෂිකර්මය පිළිබඳ උගතුන්ගේ අඩුවක්ද නැත. විශ්වවිද්‍යාලවලින් වසරකට කෘෂිකර්මය පිළිබඳ උපාධිධාරීන් රැසක්ම රටට බිහි වේ. ඊට අමතරව කෘෂිකර්ම විද්‍යාලවලින් කෘෂිකර්ම ඩිප්ලෝමාධාරින් ලෙස බොහෝ පිරිසක් නික්ම යයි. කෘෂිකර්ම විෂයය ඉගැන්වීම සඳහා ගුරු පුහුණු අධ්‍යාපන පීඨ ද ඇත. සෑම පාසලකම පාහේ උසස් පෙළ පන්තිවලට ද විෂයයක් ලෙස කෘෂි විද්‍යාව උගන්වයි. නමුත් ඒ ගැන ප්‍රායෝගික දැනුමක් නැත. ඊට හේතුව අපට ජීවත්වීමට අත්‍යවශ්‍ය වූ ආහාර සපන්නේ කෘෂිකර්මාන්තයෙන් බව නොදන්නා නිසාවෙනි.
අපේ රටේ කෘෂිකර්මය පිළිබඳ උගතුන් බලාපොරොත්තු වන්නේ රජයේ රැකියා පමණි. දැනට මෙරට කෘෂිකර්ම උපාධිධාරින් වැඩි පිරිසක් විෂය දැනුමට අදාළ නොවන සංවර්ධන නිලධාරින් ලෙස සේවය කරයි. රජය විශාල මුදලක් වැයකර කෘෂිකර්ම උගතුන් බිහි කළත් වැඩි දෙනෙකුගෙන් රටේ නිෂ්පාදන ක්‍රියාවලියට දායකත්වයක් නොලැබේ. අපේ රට ස්වාභාවික සම්පත් පිරුණු වාසනාවන්ත රටකි. එම නිසා ඒවා ප්‍රයෝජනයට ගෙන ඉක්මනින් කටයුතු කළ යුතු කාලයක් උදා වී ඇත.
මෙකී කරුණු සැලකිල්ලට ගෙන වගකිවයුත්තන් විසින් කෘෂිකර්ම විෂය පාසල් විෂය නිර්දේශයට ප්‍රධාන විෂය ධාරාවක් ලෙස ඇතුළත් කිරීම අපේ රටට කරන ලොකුම යහපතක් ලෙස පෙනේ. එමඟින් අනාගත දරු පරපුර තමන්ට ජීවත්වීමට අත්‍යවශ්‍යම ආහාර සපයන කෘෂිකර්මය ගැන මනා අවබෝධයක් ඇතිකරගන්නවා නිසැකය.
ඒ. සී. වික්‍රමාරච්චි, මාතර
------------------------------
කුඩා තේ වතු හිමියා රැකගනිමු
මෙරට තේ නිෂ්පාදනයෙන් සියයට 80ක පමණ දායකත්වයක් ලබා දෙන්නේ කුඩා තේ වතු හිමියන්ය. වර්තමානය වන විට කුඩා තේ වතු හිමියෝ ගැටලු රැසකටම මුහුණ දී සිටිති. ඉතිහාසය පුරාම කුඩා තේ වතු හිමියා රටට බරක් නොවී තම දෛනික ආදායම ඔස්සේ ජීවනෝපාය මාර්ගය සලසා ගත් පිරිසකි. කිසිවකුටත් අත නොපා ජීවත්වූ කුඩා තේ වතු හිමියන් මේ වන විට ණය බරින් මිරිකී සිටි.
කුඩා තේ වතු හිමියන් හට නිෂ්පාදනය ඉහළ නංවා ගැනීමට තේ පොහොර නොමැති වීම මේ වන විට පවතින ප්‍රධානතම ගැටලුව වී තිබේ. එසේම තේ ගසට විවිධ ලෙඩ රෝග බෝවීම, ගොවිතැනට හිතකර පණුවන්, කෘමින් වැනසී යෑම, පස බුරුල් වී වගා භූමි සෝදා පාළු වීම වැනි අතුරු ප්‍රශ්න ද රැසක්ම මේ වන විට මතුව ඇත.
කුඩා තේ වතු හිමියාගේ අපේක්ෂාව නොමිලේ පොහොර ලබා ගැනීම නොවේ. අපට අවැසි වන්නේ සාධාරණ මිලකට නියම ප්‍රමිතියෙන් යුත් කුමනාකාරයේ හෝ අවශ්‍ය පමණට පොහොර ලබා ගැනීමටයි. වැවිලි කර්මාන්ත ක්ෂේත්‍රයේ බලධරයනි, රටේ ආර්ථිකයට නිහඬව ඉමහත් සේවාවක් සිදුකරන කුඩා තේ වතු හිමියා ආරක්ෂා කරමින් වගාවට අත්‍යවශ්‍ය පොහොර ලබාදීමට කඩිනම් පියවරක් ගන්නා ලෙස ඉල්ලා සිටිමු.
චමින්ද විජේසිංහ, දෙනියාය
---------------------------
පිළියන්දල බස් නැවැතුමට පිවිසුම් මාර්ග පුළුල් කරන්න
කොළඹ නගරය අවට පිහිටා ඇති ප්‍රධානතම නගරයක් ලෙස පිළියන්දල නගරය සැලැකේ. හොරණ, මතුගම, බුලත්සිංහල, ඉංගිරිය, බදුරලිය ආදි බොහෝ ප්‍රදේශවල ජනතාව කොළඹ නගරයට ගමන් කරන්නේ පිළියන්දල නගර මධ්‍යයෙනි.
පිළියන්දල නගර සංවර්ධනය ඔස්සේ කොළඹට ගමන් කිරීමට මංතීරු හතරකින් යුත් කැස්බෑවේ සිට ජයලියගොඩ දක්වා අතරමැදි මාර්ගයක් මෙන්ම පිළියන්දල ප්‍රධාන බස් නැවැතුම්පොළ ද මනා ලෙස ඉදිකෙරිණි. එම ඉදිකිරීම් ඉතාම අගනා සංවර්ධන ව්‍යාපෘති ලෙස පිළියන්දල ජනතාවගේ නොමඳ පැසසුමට ලක්වේ. එසේම මේ දිනවල පිළියන්දල නගර මධ්‍යයේ හොරණ - කොළඹ මාර්ගය ද පුළුල් කරමින් පදික වේදිකා ද සකසමින් ඉදිකෙරෙමින් පවතී.
පිළියන්දල නව බස් නැවතුම්පොළ ඉදිකිරීමත් සමඟ නගරයේ මාර්ග පද්ධතියේ සැබෑම වෙනසක් සිදු විණි. ඒ බස් නැවැතුමේ සිට කොළඹ දෙසට ගමන් කරන බස්රථ මෙන්ම කොළඹ දෙසින් බස් නැවතුමට ඇතුළුවන බස්රථ ද මහරගම පිළියන්දල මාර්ගයේ මීටර් දෙසීයක පමණ කෙටි දුරක් ගමන් කළ යුතුව ඇති හෙයිනි. එම දුර ප්‍රමාණය නිසි පරිදි බස් රථ දෙකක් මාරු වීමට හෝ නොහැකි තරමට ඉතාම පටුය.
එසේම බස් නැවැතුමේ සිට පිළියන්දල නගර මධ්‍යයට ගොස් කොළඹ දෙසට ගමන් කිරීමට ද එම මාර්ගයේ මීටර් 500ක පමණ දුරක් ගමන් කළ යුතුව ඇත. එම කොටස ද ඉතා පටුය. පිළියන්දල මහරගම මාර්ගයේ කිලෝමීටරයක් පමණ වන එම ප්‍රමාණයම හෝ නැතිනම් මිටර් දෙසීයක පමණ කොටස හෝ හැකි ඉක්මනින් පුළුල්කොට ඉදිකරන්නේ නම් බස් නැවැතුම්පොළ මෙන්ම අතරමැදි මාර්ගයෙන් ද ජනතාවට ලබාගත හැකි නිසි ප්‍රයෝජනය තවදුරටත් වැඩි වෙනවා නියතය. එම නිසා පිළියන්දල මහරගම මාර්ගයේ එම කුඩා කොටස කඩිනමින් ඉදිකර දෙන ලෙස වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටිමු.
ප්‍රියන්ත රත්නායක, පිළියන්දල
-------------------------------------------
පිහිටවන්න
හුණුමුල්ල, කැලෑපිටිමුල්ල, සීතලාගාරය, අංක 233/17/3 පදිංචි ඒ. ඒ. ජේ. එන්. අධිකාරි වකුගඩු ආබාධයකින් පෙළේ. ඔහු හට ඉතාම ඉක්මනින් ‘ඕ’ පොසිටිව් හෝ ‘ඕ’ නෙගටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව වෛද්‍ය නිර්දේශය වී තිබේ.
එම නිසා පරිත්‍යාගශීලියෙක් වෙත්නම් ඉහත ලිපිනයෙන් හෝ දුරකථන අංක 0712520512, 0778472400 ඇමැතීමෙන් ඔබටත් ඒ සඳහා දායක විය හැකිය. එසේම ඔහුගේ වකුගඩු සැත්කමට මූල්‍යාධාර කිරීමට කැමැති අයෙක් වෙත් නම් සම්පත් බැංකුවේ, මරඳගහමුල ශාඛාවේ 118353861389 දරන ගිණුම් අංකයට යොමු කළ හැකිය.
----------------------------------
අමරසේකර විදුහල ගැනත් අවධානය යොමු කරන්න
කළුතර අධ්‍යාපන කලාපයේ, කළුතර අධ්‍යාපන කොට්ඨාසයට අයත් කුඩා ප්‍රාථමික පාසලක් වන අමරසේකර ප්‍රාථමික විදුහල පිහිටා ඇත්තේ ඉතා සුන්දර මෙන්ම ආකර්ෂණීය පරිසරයක් තුළයි. කළුතර නගරයේ සිට කටුකුරුන්ද මංසන්දිය පසුකොට පයාගල ඈතගම ගාලු පාරට සමීපව සුමනාරාමය මාර්ගය ඔස්සේ පැමිණෙන විට මෙම කුඩා පාසල හමුවේ .
1896 සැප්තැම්බර් මස 01 වැනිදා දරුවන් කිහිප දෙනෙකුගෙන් ආරම්භ කළ බවට සඳහන් වන මෙම පාසලේ මුල්ම විදුහල්පති හැටියට සේවය කර ඇත්තේ ඒ.බී.එම්.අමරසේකර ගුරුතුමාය. එසේම විදුහල ආරම්භ කර ඇත්තේ ද ඔහුට අයත් ඉඩමක් පරිත්‍යාගයෙනි.
මූලාරම්භයේදී කනිටු විදුහලක් ලෙස පැවැති මෙම පාසලේ එක ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා පන්ති පැවැතියත් නොයෙක් හේතු නිසාවෙන් ශිෂ්‍ය සංඛ්‍යාව අඩු වී කළුතර කලාපයේ ශිෂ්‍ය සංඛ්‍යාව අඩුම පාසලක් වශයෙන් පරිවර්තනය විය. පාසල් වර්ගීකරණයට අනුව මේ වන විට එය ශිෂ්‍ය සංඛ්‍යාව 200ට අඩු 1 c ශ්‍රේණියේ පාසලකි. එක වසර සිට පහ වසර දක්වා පමණක් පන්ති පැවැත්වෙන මෙම ප්‍රාථමික පාසලේ දරුවන් වෙනුවෙන් ඉතාම උනන්දුවෙන් හා කැප වීමෙන් සිය සේවය ඉටු කරන ගුරු මණ්ඩලයක් ද සිටී.
මේ පාසල කෙරෙහි නිසි බලධාරීන්ගේ එතරම් සැලකිල්ලක් හෝ අවධානයක් යොමු නොවන බවත් පාසලේ අඩුපාඩු පිළිබඳව වගකිවයුත්තන් සොයා නොබලන බවත් ඈතගම ප්‍රදේශවාසීහු නඟන චෝදනාවයි.
ජගත් පෙරේරා, කළුතර
------------------------------
සිංහල ජාතියේ ප්‍රෞඪත්වය ලොවට හෙළි කළ ගයිගර්
“සිංහල ජාතිය අතර සමඟිය තිබිය යුතුය. සිංහල බෞද්ධ අනන්‍යතාව අමතක නොකළ යුතුය. සිංහල ඉතිහාසයට මා තුළ තිබෙන උනන්දුව ඔබටද තිබිය යුතුය. ජර්මනියේ සිට පැමිණ මම සිංහල ජාතියට හා ශ්‍රී ලංකාවට මහත් ගෞරවයක්, භක්තියක් දක්වන්නෙමි. බුදුදහමට දිවි හිමියෙන් ගරු කරමි. එහෙත් අද වන විටත් මා බෞද්ධාගම වැලඳගත් අයෙකු නොවන බවද මතක තබාගන්න”
මේ ජර්මන් ජාතික විල්හෙලම් ගයිගර්ගේ ප්‍රකාශයකි. ගයිගර් තරම් සිංහල ජාතියට හා බෞද්ධාගමට සේවාවක් කළ වෙනත් විදේශිකයකු ඇත්තේම නැතැයි මම විශ්වාස කරමි.
තමන්ගේ අගනා සංස්කෘතිය දිවිහිමියෙන් රැකගත යුතු බවත් උසස් අභිමානයෙන් උද්දාමයට පත්විය යුතු බවත් ගයිගර් සිංහලයින් අමතා ප්‍රකාශ කළේය. ගයිගර්ගේ චරිතාපදානය ලියා හයින්ස් බෙෂර්ට් ඔහුගේ ප්‍රකාශයන් මෙසේ දක්වා ඇත.
'ඉදිරියේ ඇති අන්තරාය අවබෝධකර එයින් ගැලවීමට තවමත් අවස්ථාව තිබේ. මම ඔවුන්ට ආදරය කරමි. එක් පරම්පරාවක් පුරා නැතහොත් ඊටත් වඩා දීර්ඝ කාලයක් මා ඔවුන්ගේ භාෂාවට ආදරය කර තිබේ. තමන් තමන් හැටියට විසීමේ හා අතීතය හා සමඟ විසීමේ අභිමානයෙන් බිඳක්වත් ඔවුන් කෙරෙන් පහ නොවේවා යන ප්‍රාර්ථනයක් ද එතුමා කිරීම අතිවිශිෂ්ටය.'
විල්හෙලම් ගයිගර් ජර්මනියේ නියුරන්බර්ග්හිදී 1856 ජුලි මස 21 වැනිදා උපත ලද්දෙකි. පියා ක්‍රිස්තියානි ලුතර නිකායේ පූජකවරයකු වූ ජොහැන්නස් ලියෝනාඩ් ගයිගර් විය. මම එම්මා පෞර් නම් වූවාය. පවුලේ හතරවැනියා වූ ගයිගර් සංස්කෘත, පර්සියානු භාෂා, පාලි වාග්විද්‍යාව හා ඉතිහාසය මෙන්ම බෞද්ධ දර්ශනය අතින් ද ජර්මනියේ මහ උගතෙකු වූ පෙඩ්රිෂ් වොන් ස්පීගල්ගේ ශිෂ්‍යයකු ලෙස මෙකී විෂයයන් ගැඹුරින්ම හදාළ අයෙකි.
1891 වන විට ගයිගර් එර්ලංගන් විශ්වවිද්‍යාලයේ ඉන්දු යුරෝපීය තුලනාත්මක වාග්විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයා විය. ඒ අතරතුර ඔහු බෞද්ධ දර්හනය, සිංහල භාෂාව හා සංස්කෘතිය පිළිබඳව පර්යේෂණ කරන්නට විය. ඔහු ලන්ඩන්, රෝමය, ඔස්ලෝ, වියානා, කෝපන්හේගන් හා හැම්බර්ග් වැනි නගරවල පැවැති ජාත්‍යන්තර සමුළුවලදී සිංහල භාෂාව ගැන ඓතිහාසික දේශන රැසක්ම පවත්වා ඇත. සිංහලයා ලෝකයාට හඳුන්වා දීමේ උත්තුංග කාර්යයක නිරත වූවෙකු ලෙස ගයිගර් සැලැකිය හැකිය. ශ්‍රී ලංකාද්වීපය වෙනුවෙන් කිසිදු විදේශිකයකු නොකළ සේවයක් කළ මහාචාර්ය විල්හෙල්ම් ගයිගර් 1943 දෙසැම්බර් මස 01 වැනි දින දිවංගත වූහ.
විමල් බී. ලියනගේ, බෙම්මුල්ල.
--------------------------------
සෑම පාසලකටම පුස්තකාලයක් ලබා දෙන්න
මෙරට සමස්ත පාසල් පද්ධතිය අතුරින් පාසල් පුස්තකාලයක් පරිහරණයට අවස්ථාව සැලැසී ඇත්තේ පාසල් කීයෙන් කීයක දූ දරුවන්ටද යන්න කිසිවකුගේ නිසි අවධානයට ලක් නොවන කරුණකි. තොරතුරු කුසලතා පදනම් කරගත් වත්මන් අධ්‍යාපන ක්‍රමයේදී පුස්තකාලයට හිමි වන්නේ ඉහළම ප්‍රමුඛතාවකි. එසේම 'කියවීම මිනිසා සම්පූර්ණ කරයි' යන්න යථාර්ථයක් කරගැනීමට නම් සෑම දූ දරුවකුටම කුඩා අවදියේ සිටම කියවීමට අවැසි වටපිටාව සලසා දීම වැඩිහිටියන්ගේ යුතුකමයි.
එලෙස කියවීමට අවශ්‍ය වටපිටාව සලසා දීමෙන් මේ වන විට පැන නඟිමින් පවතින දරුවා ජංගම දුරකථනයට හෝ පරිගණකයට 'ඇබ්බැහි' වීමේ ප්‍රවණතාව ද මඟහරවා ගැනීමට තිබෙන මහඟු කාර්යයකි. කුඩා දරුවන් කියවීමට බොහෝ කැමැත්තක් දක්වති. එහෙත් ඒ දරුවන්ට ඊට සම්පත් නොමැති වීම තිබෙන බාධාවයි.
නගරබද පාසල්හි දූ දරුවන්ට සැම පහසුකමක්ම හිමි වෙද්දී කියවීමට පුස්තකාල ද බොහෝ පාසල්හි පිහිටා තිබෙන්නේ සියලුම පහසුකම්ද සහිතවය. එහෙත් ගමේ පාසලේ දරුවාට එම වරප්‍රසාදය හිමිවන්නේ අතළොස්සකට පමණි. මේ නිසා ගමේ පාසල්හි දූ දරුවන්ට සිදුවන අසාධාරණය සුළුපටු නොවේ. නගරබද මෙන්ම ගම්බද සියලු පාසල්වලට පුස්තකාල ඉඩපහසුකම් සලසා පරිත්‍යාගශීලින් ද එක්කොටගෙන පුස්තකාලයක් ස්ථාපිත කිරීම එතරම්ම අපහසු කර්තව්‍යයක් ද නොවේ. මෙය අධ්‍යාපන බලධාරින්ගේ අවධානයට වහා යොමු විය යුතු කරුණකි.
ඒ අනුව සියලු පාසල් සඳහා පුස්තකාල ස්ථාපිත කිරීමේ වැඩපිළිවෙළක් කඩිනමින් අරඹන ලෙස අධ්‍යාපන ඇමැතිවරයා ඇතුළු සියලු බලධාරින්ට අවධාරණය කර සිටිමු.
වසන්ත එදිරිවීර, කෑගල්ල
-----------------------------------
ළමා අපචාරකරුවන්ට කඩිනමින් දඬුවම් දිය යුතුයි
පසුගිය කාලයේ අහිංසක දරු පැටවුන්ට සිදුවන හිංසන හෙවත් ළමා අපචාර සිදුවීම් බොහෝ සේ වාර්තා විණි. විශේෂයෙන් ම ගල්කිස්ස ප්‍රදේශයේදී බාල වයස්කාර දැරිවියක් අපහරණයට 40කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් විය.
ඇමැතිවරයකුගේ නිවෙසකදී දැරියක් පිලිස්සී මියයෑමක් ද වාර්තා වූයේ ඉකුත් දිනවලදීයි.
මල් කැකුළු වන් අහිංසක දරු පැටවුන් දූෂණය කිරීම, කෲර වධහිංසාවට ලක්වීම, මෙහෙකරුවන් ලෙස යොදා ගැනීම මෙන්ම අමානුෂික ක්‍රියාවන් සඳහා යොදා ගැනීම දිනෙන් දින අසන්නට ලැබීම ඉතාම ඛේදනීය තත්ත්වයකි.
මෙරට තුළ දරුවන් රැක ගැනීමට කොතෙක් නීති පනවමින් නොයෙක් ආකාරයේ වැඩසටහන් ක්‍රියාත්මක වුවද බලාපොරොත්තු වන තරමේ ප්‍රගතියක් තිබේද යන්න වෙනම කතා කළ යුත්තකි.
තරුණ වියේ පසුවන්නාගේ සිට වැඩිහිටි වයෝවෘද්ධ පුද්ගලයා දක්වා විවිධ තරාතිරම්හි පසුවන්නන් විසින් දරුවන් කෙලෙසීම, කෲරත්වයට පත් කිරීම සිදු කරති.
කෙසේ හෝ දරුවන්ට වධහිංසා පමුණුවන අපරාධකාරයන්ට කෙටි කලක් තුළදී නීතිය ක්‍රියාත්මක කොට වැරැදිකරුවන් වන්නේනම් නිසි දඬුවම් උපරීමව ලබාදීම නීතිය කරවන්න උදවියගේ පරම වගකීම විය යුතුය. එසේ නොමැති වුවහොත් මෙරට ළමා පරපුරට අත්වන ඉරණම ඛේදනීය තත්ත්වයක් බව සඳහන් කරමු.
වසන්ත තෙන්නකෝන්, කුරුණෑගල
-----------------------------
මේ ගැනත් ඔබම සිතන්න
ලෝකය පුරා හමාගිය තවමත් නිමා නොවුණ වසංගත රැල්ල ද අපේ රටේ මෙන්ම ලෝකයේම ආර්ථිකයට කළ බලපෑම සුළුපටු නොවේ. රටේ ආදායම් තත්ත්වය මෙන්ම පුද්ගලයන්ගේ කඩා වැටීමටද වසංගතය කළ බලපෑම විශාලය. ඉදිරියේ එන සාගතයක්, ආහාර අහේනියක් පිළිබඳවව මේ දිනවල බොහෝ දෙනෙක් අනාවැකි පළ කරති.
මේ වන විට ගෙදරදොර පවත්වාගෙන යෑම මෙන්ම රට කරගෙන යෑම ද එකසේ අසීරු වී ඇත.
ඉතින් මෙවන් අවස්ථාවන් ජයගන්නට අපට කළ හැකි යමක් ඇත්තේම නැද්ද? අතීතයේද මෑතකාලීනව ද වර්තමානයේ මෙන් එළවළු හා මාළු මිල ගණන් ඉහළ ගිය අවස්ථා ඕනෑතරම් අප පසුකර ඇත.
සුළු කාලයකට බලපෑ ඒ මිල ගණන් නැවත සාමාන්‍ය තත්ත්වයට පත්විණි. අමු මිරිස්වල මිල ගණන් රුපියල් දහසකට වඩා ඉහළ ගිය අවස්ථා මීට පෙරද පැවැතිණි. එහෙත් ඒ සෑම අවස්ථාවකම මිරිස් පැළයක්, එළවළු පැළයක් සිටුවා ගැනීමට කොපමණ පිරිසක් ඉදිරිපත් වූවා ද...?
එවැනි දේකට උනන්දු නොවන්නට කියන්නට උත්තර ද ඕනෑතරම් ඇත.
වගාවන් සඳහා පොහොර ප්‍රශ්නය ගෙනහැර පාන්නට කී දෙනෙක් සිටිනවා ද? නිවෙසක මල් පෝච්චියක මිරිස් පැළයක් පුංචි ඉඩක එළවළු ගස් කීපයක් හිටවන්නට මොන පෝරක්ද? මොන කෘමිනාශකයක්ද?
නිවෙසේ මුළුතැන්ගෙයින් ඉවතලන දේ එක්කොට කෘමිනාශකයක් සාදාගන්නට විශේෂඥ දැනුමක් අවශ්‍යද? එහෙත් මේ හැම දේටම ප්‍රශ්නයක් වන්නේ සැමටම තිබෙන වේලාව නොමැතිකම නැතිනම් කම්මැළිකමයි.
ඉදිරියේ එන සාගතයක් පිළිගන්නට තොරණ බැඳ පාවඩා එළා සූදානම් වන අපට තමන්ගේ ගෙදරදොර ආහාරයට පලාවක්, එළවළුවක් වවාගන්නට තවමත් සිතාබලා සූදානමක් නැද්ද? ඕනෑකමක් නැද්ද? සාගතයකට අත වනමුද? බඩගිනි නිවාගන්නට අතක්-පයක් සොලවමු ද? මේ ගැන ඔබම සිතා බලන්න.
--------------------------------------
සංචාරක ක්ෂේත්‍රය ගැන සේම සේවකයන් ගැනත් සොයා බලමු
මෙරට තුළ සිදුවූ පාස්කු ප්‍රහාරය මෙන්ම ගෝලීය කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මහත් බලපෑමක් වූ ක්ෂේත්‍රයක් ලෙස සංචාරක ව්‍යාපාරය හැඳින්විය හැකිය. අප රටට විදේශ විනිමය ලබා දෙන ප්‍රධානතම ආදායම් මාර්ගයක් වන්නේ ද සංචාරක ව්‍යාපාරයයි. ඒ තුළින් රට තුළට ඩොලර් ගලා එනවා සේම ඍජු සහ වක්‍ර ආකාරයෙන් ලැබෙන රැකියා ප්‍රමාණය ද අතිවිශාලය. මෙරට තුළ සංචාරක ක්ෂේත්‍රයේ නියුතු වූවන් ප්‍රමාණය ද ලක්ෂ තුනක් පමණ වේ.
සංචාරක ව්‍යාපාරයේ නියුතු වූවන් මේ වන විට අපාදුක් විඳිමින් සිටින්නේ ආදායම් තත්ත්වය බින්දුවටම වැටීමෙනි. සංචාරක ව්‍යාපාරයේ රැකියාවන්හි නියුතුව සිටි බොහෝ සේවකයෝ මේ වන විට රැකියාවන් හැර ගොසිනි. එසේ සංචාරක ව්‍යාපාර ක්ෂේත්‍රයේ රැකියාවන්හි නියුතු වූවන් එම ක්ෂේත්‍රයෙන් නික්ම යාමට සංචාරක හෝටල්හි ක්‍රියාකලාපයන් ද හේතු වී තිබේ. විශේෂයෙන්ම අවම වැටුප් පිරිනමමින් සේවකයන්ගේ ශ්‍රමය ලබා ගැනීමට උත්සාහ දැරීම නිසා සේවකයෝ බොහෝ අසරණව සිටිති. ඒ අතර ආහාර ගැටලු සහ දීර්ඝ වැඩ මුර මෙන්ම සුබසාධනයන්ද නිසි පරිදි සිදු නොවන බව මෙකී ක්ෂේත්‍රයේ රැකියාවන්හි නියුතු වූවන් නඟන මැසිවිලිය.
එම නිසා බලධරයිනි, සංචාරක ක්ෂේත්‍රය නඟා සිටුවීමටනම් සංචාරක හෝටල් ගැන මෙන්ම සංචාරකයන්ට අවැසි යටිතල පහසුකම් ගැන සොයා බලනවා සේම සංචාරක ක්ෂේත්‍රයේ රැකියාවන්හි නියුතු වූවන් පිළිබඳවත් සොයා බැලිය යුතුය. එසේ නොමැති වුවහොත් මේ ක්ෂේත්‍රයේ පැවැත්ම ඉතාම කෙටි කාලීනය. වගකිවයුතු බලධරයිනි සංචාරක ව්‍යාපාරයේ නියුතු සමස්ත සේවකයන් පිළිබඳව මීට වඩා 'ඇස්' ඇර බලන ලෙස ඉල්ලා සිටිමු.
ගාමිණි හෙට්ටිආරච්චි, හික්කඩුව