පේසාලේ තෙල් ඇමැති පුටු හොල්ලයි | Page 3 | සිළුමිණ

පේසාලේ තෙල් ඇමැති පුටු හොල්ලයි

 

“පේසාලෙන් තෙල් ලැබිලා” ගුවන් විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් කියවිණි. රට ප්‍රීති ඝෝෂාවෙන් පිරිණ. ඖෂධ සංස්ථාවේ සේවක කමිටුවේ ලේකම් උපසේන ජයරත්න මේ ප්‍රවෘත්තිය පිළිබඳව ඛනිජ තෙල් සංස්ථාවේ පිරිස් කළමනාකරු වෛද්‍යසේකරගෙන් විමසීය. ඔහු උපසේන සමඟ පේසාලේ තෙල් සෙවීම් බාර රුසියානු ඉංජිනේරුවා හමුවීමට ගියේය.

“ඒක බොරු ප්‍රවෘත්තියක්. ලංකා පොළොවේ පෙට්‍රල් තියෙනවා. නමුත් අද පේසාලේ පෙට්‍රල් ලැබීමේ පුවත බොරුවක්.” ඔහු කීවේය.

“තෙල් ලැබීමේ ප්‍රවෘත්තිය සැබෑ වී නම් බහු ජාතික සමාගම්වලින් මිදී රට නිදහස බාර ගැනීමට හැකියි” යන හැඟීම ඖෂධ සංස්ථාවේ සේවකයන් තුළ ඇති විය.

උපසේන ජයරත්න ඒ ප්‍රවෘත්තිය බොරු බව සිය සහෝදරවරුන්ට කීය. මේ අතර මේ ප්‍රවෘත්තිය නිසා රජයේ එක් ප්‍රබල ඇමැතිවරයෙක් කැලඹුණේ ය.

“තෙල් ලැබිලා නම් ඇන්.ඇම්. පෙරේරා සියලු ශිල්ප දක්වා මේ රට දෙකක් කරනු ඇති. ප්‍රශ්න සියල්ල විසඳා වීරයා වනු ඇති.”

ඔහු අනුර බණ්ඩාරනායක සමඟ අගමැතිනිය හමු වූයේ ය. ගෙවී ගිය අගෝස්තු 12 හර්තාල් සමරුවේදී “සමාජවාදයට අම්බලම් නැතැ” යි ඇන්.ඇම්. පෙරේරා ප්‍රසිද්ධ ප්‍රකාශයක් කර තිබිණ. එහිදී ඔහු බණ්ඩාරනායකලාට පහර දුන් බව ඒ ඇමැතිවරයා අගමැතිනියට කීය. මොහු තවදුරටත් මුදල් ඇමතිකමේ තබාගෙන ඉන්නේ ඇයි? ඔහු ඇසුවේ ය.

ඇගේ සිත නො සන්සුන් විය. ඖෂධ සමාගම්වල කම්හල් ජනසතු කරන ලෙස පැවති උද්ඝෝෂණය පසු පස ඇන්.ඇම්. ලා සිටි බව ද ඇසූ ඇය ඔහු පිළිබඳ කලකිරීමකින් පසු වූවා ය. ඇය ඇන්.ඇම්. කැඳවූවා ය.

“ඔබ මුදල් ඇමති කමෙන් ඉවත්වන්න. වෙන ඕනෑම ඇමැති කමක් ඔබට බාර දෙන්න කැමැතියි.”

“එපා. මට කිසිම ඇමැතිකමක් වුවමනා නැහැ...” සමඟි පෙරමුණ රජයෙන් ලංකා සම සමාජ පක්ෂය ඉවත් විය.”

“සමසමාජ, කොමියුනිස්ට් පක්ෂවල සම්බන්ධතාවය නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආ ප්‍රගතිශීලී මුහුණුවර ද, විටින් විට ගත් ජනතාවාදී පියවරවල් ද නිසා ධනපති ක්‍රමයට පහර ගසන ජනතාවගේ රජයක් ය යන හැඟීම දැන් දියාරු වෙලා. බහු ජාතික සමාගම්වලට අපේ සංස්ථාව පාවාදීමට කළ කුමන්ත්‍රණයට පසු මා වැඩ කළේ සිත් වේදනාවෙනි. දැන් ඉතින් මාත් ඇන්.ඇම්. ලා සමඟ පිට වී යා යුතුයි.”

සේනක සිය සගයන්ට කීය.

සේනක ඇන්.ඇම්. හමු වූයේ ය.

“මාත් ඖෂධ සංස්ථාවෙන් ඉවත් වෙනවා.”

ඇන්.ඇම්. සේනකගේ අතින් අල්ලා ගත්තේ ය.

“සේනක ඔබ මේ රටේ දුප්පත් රෝගීන්ට පිහිටවීමට ආ බුද්ධිමත් මානව ප්‍රේමියෙක්. ඔබට මේ පසුබිමේ ඉඳගෙන තවත් ටික කලක් සේවය කළ හැකි ය. අන්තිම මොහොත දක්වා එය කරන්න. අපට ඉවත් නොවී සිටින්නට බැරි තරමටම වෙනස්කම් ආ නිසා අපි මේ තීරණය ගත්තා. ඔබ වැඩ කරගෙන ඉන්න.”

ඔහු ඇන්.ඇම්. ට හිස නැමුවේ ය.

“එහෙත් මා දන්නවා මට වැඩි කලක් වැඩ කරන්නට ලැබෙන්නේ නැහැ”කියමින් සේනක ඇන්.ඇම්. ගෙන් සමුගත්තේ ය.

 

**********************

ඉන්දියාවේ ද රාජ්‍ය ඖෂධ සංස්ථාවක් වෙයි. එය ඉන්දීය රාජ්‍ය වෙළෙඳ සංස්ථාව විසින් පාලනය කැරෙයි. සේනකට 1975 දෙසැම්බර් මාසයේදී ඉන්දියාවේ සංචාරයක් සඳහා ඒ සංස්ථාවෙන් ආරාධනයක් ලැබිණ.

ලංකාවේ ඖෂධ සංස්ථාවේ ගමන අඩාළ වී ඇති හෙයින් කලකිරීමෙන් සිටි සේනක ඒ සංචාරයට එකඟවූයේ එයින් තාවකාලික තෘප්තියක් හෝ ලැබිය හැකි හෙයිනි. එහෙත් ඒ ගමන ඔහු තුළ දීර්ඝ කාලීන බලාපොරොත්තු ඇති කෙළේ ය.

ඉන්දියාවේ ඖෂධ නිෂ්පාදන ආයතන රාශියක් ඔහු පරීක්ෂා කෙළේ ය. බොම්බායේ ද දිල්ලියේ ද ඖෂධ කම්හල් නැරඹූ ඔහු රිසිකේඩ් නගරයේ පිහිටි ඖෂධ කම්හලට වැඩි අවධානයක් යොමු කෙළේ ය.

ඒ කම්හල ඉදිකැරුණේ රුසියානු ආධාරවලිනි. ඉන්දීය වෛද්‍යවරු රුසියාවට ගොස් පුහුණුවී මේ කම්හලට ආහ. ඔවුහු එහිදී නිපදවූ ඖෂධ රුසියානු නිෂ්පාදනවලට ද වඩා උසස් විය. රුසියාවෙන් ලද දැනුම වඩාත් දියුණු කොට ආපසු රුසියාවට යැවීමට ඔවුන්ට හැකි විය. ප්‍රතිශක්තිය පිළිබඳ ඖෂධ වර්ග (ටෙට්‍රසයික්ලින්) ඒ කම්හලේ නිපදවිණි.

මේ කම්හලේ නව නිෂ්පාදන පිළිබඳව ඉන්දීය රජය දැඩි සැලකිල්ලක් දැක්වීය. එහි සේවය කළ වෛද්‍යවරුන්ට ධෛර්යය දුන්හ. වඩාත් නිපදවීම් සඳහා පෙලඹවීය. දේශීය කර්මාන්ත නඟා සිටුවීමට, විදේශීය නිෂ්පාදනයන්ගෙන් මිදීමට ඉන්දියාව ගන්නා වෑයම සේනක දුටුවේ ය.

ඔහු රිසිකේඩ් නගරයේ දී මහා ඍෂි ආශ්‍රමයට ද ගියේ ය. මහා ධනපතියකු වූ ඒ ඍෂිවරයාගෙන් විමුක්තිය පතන බැතිමතුන් ගැන සේනකට ඇති වූයේ අනුකම්පාවකි.

“මා ගරු කරන්නේ ඔය ඍෂි ආශ්‍රමයට නොවෙයි. අර ඖෂධ කම්හලටයි. ඖෂධ බලය ඍෂි බලයට වඩා බලවත්. අර ඍෂිවරයාගෙන් විමුක්තිය පතන බැතිමතුන් ගැන මට දුකයි” ඔහු කීය.

බොම්බායේ පෞද්ගලික ඖෂධ නිෂ්පාදන ආයතන සහ ඖෂධ සමාගම් කීපයකට ගිය සේනක ඒ ආයතන රජයේ දැඩි පාලනයකට යටත් වී ඇති සැටි දුටුවේ ය.

පෞද්ගලික අංශයට අවශ්‍ය ලෙස ඖෂධ නිෂ්පාදනය කළ නොහැකියි. මිල නියම කළ නොහැකියි. බෙදා හැරිය නො හැකියි. ඉන්දියා රජයේ ඖෂධ ප්‍රතිපත්තිය සමාගමෙන් සමාගමට වෙනස් නොවන, ආණ්ඩුවෙන් ආණ්ඩුවට වෙනස් නොවන ස්ථාවර එකක් විය. බහු ජාතික සමාගමකට හෝ ජාත්‍යන්තර සංවිධානයකට හෝ එය වෙනස් කළ නොහැකි ය.

අධිරාජ්‍යවාදයට සහ බහු ජාතික සමාගම්වලට ගැතිවන යටත් වන ලංකාවේ පාලකයන්ට ඉගෙනීමට බොහෝ පාඩම් ඉන්දියාවේ තිබේ. සේනක තුළ ලංකාව ගැන සංවේගයක් ඇති විය.

ඉන්දීය රාජ්‍ය ඖෂධ සංස්ථා නිලධාරීහු සේනක බිබිලේ ලංකාවේදී ක්‍රියාත්මක කළ ඖෂධ ප්‍රතිපත්තිය ගැන ප්‍රශ්න කළහ. සිවු වසරක් තුළ කළ කටයුතු පිළිබඳව අසා ඔවුහු සේනක පැසසූහ. අලුත් තත්ත්වය පිළිබඳව ඇසූ ප්‍රශ්නවලට ඔහු නිහඬව සිටියේ ය.

හයිද්‍රාබාද් නගරයේ රජයේ ඖෂධ නිෂ්පාදන ආයතනයට ද ඔහු ගියේ ය. ශල්‍ය කර්ම සඳහා අවශ්‍ය උපකරණ නිෂ්පාදනය කරන කම්හලක් මදුරාසියේ දී ඔහුට දක්නට ලැබිණ. ඒවා බටහිර රටවල උපකරණවලට සමාන ය. ඊට වඩා මිල අඩු ය. මේවා ලංකාවේ වෛද්‍යවරුන්ට හඳුන්වා දිය යුතු ය. සේනක සිතුවේ ය.

ලංකාවට ආ ඔහු ඒ උපකරණ ලංකාවේ වෛද්‍යවරුන්ට ඉදිරිපත් කළේ ය.

“ඉන්දියාවේ බඩු බාලයි...” ඔවුන්ගේ මතය විය.

සේනකට එය ඉවසිය නො හැකි විය.

“අපේ මිනිසුන්ගේ බටහිරට ඇති දීනකම, ගැතිකම ජාතියට සාපයකි. ඉන්දියාවේ ආදායමෙන් විශාල ප්‍රමාණයක් විද්‍යාව සඳහා යොදවනවා. පර්යේෂණවලට ධෛර්යය දෙනවා. අපේ රට එක තැන පල්වෙනවා.” ඔහු සංචාරය ගැන විමසූ අයට කීය.

 

**********************

ශ්‍රී ලංකා අගමැතිනියගේ නායකත්වයෙන් නොබැඳි ජාතීන්ගේ සමුළුව 1976 අගෝස්තු මාසයේදී ලංකාවේ දී පැවැත්වීමට නියමිත විය. ඒ සමුළුවට ශ්‍රී ලංකා ඖෂධ ප්‍රතිපත්තිය පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කර්මාන්ත ඇමැති ටී.බී. සුබසිංහ, සේනක බිබිලේට කීය.

දෙසතියක් පුරා වෙහෙසී ඒ වාර්තාව සකස් කළ සේනක ලීලා බිබිලේට මෙසේ කීය.

“නොබැඳි ජාතීන්ගේ සමුළුව යනු තුන් වැනි ලෝකයේ අලුත නිදහස ලැබූ නැඟිටින්නට වෑයම් කරන රටවල හමුවීමකි. අපේ රටේ වගේ දුප්පතුන්, පීඩාවට ලක්වූවන්, බහු ජාතික සමාගම්වලට, අධිරාජ්‍යවාදයට ගොදුරුවූවන් තමයි මේ රටවල ඉන්නේ. ඒ රටවල ජනතාවට යහපතක් වන විදියේ වැඩපිළිවෙළක් ඒ රටවල නායකයන් ලවා ක්‍රියාත්මක කරවීමට මා මේ වාර්තාවෙන් බලාපොරොත්තු වෙනවා.” ඔහුට සවන් දී සිටි ඇගේ ගෙලෙහි එවේලේ රන් මාලයක් දිලෙනු පෙනිණ.

“ලීලා - රත්තරන් පැලඳගෙන ඉන්න එපා. නිකම් ඇඟට ඇඳුමක්වත් දා ගන්න බැරි අය අපේ රටේ, තුන් වැනි ලෝකයේ කොපමණ ඉන්නවද? තරහවෙන්න එපා. රත්තරන් පලඳිනවට මා කැමැති නැහැ.”

ලීලා ඒ මොහොතේ මාලය ගලවා අතට ගත්තා ය.

“මා තවත් රත්තරන් පලඳින්නේ නැහැ. ඔබ කියන්නේ ඇත්ත.”

මාලය විකුණූ ලීලා ශීතකරණයක් මිලට ගත්තා ය.

“ඒක හොඳයි... කෑම හදන්න යන වෙලාවත් ඉතුරු වෙනවා...”

 

**********************

1976 අගෝස්තු මාසයේ දෙසතියක් පුරා නොබැඳි ජාතීන්ගේ සමුළුව කොළඹ දී පැවැත්විණි. ඒ සඳහා මහාචාර්ය සේනක බිබිලේ ඉදිරිපත් කළ ඖෂධ ප්‍රතිපත්තිය පිළිබඳ වාර්තාව නොබැඳි ජාතීන්ගේ විශේෂ අවධානයට ලක් විය. මේ වාර්තාවේ අරමුණ වූයේ සංවර්ධනය වන රටවල ඖෂධ පිළිබඳ කටයුතු කළමනාකරණයේදී රජයට අයත් සංවිධාන ගොඩනැඟීමෙන් ලබාගත හැකි වාසිදායක තත්ත්වය පෙන්වාදීම ය. බහුජාතික සමාගම්වල ඒකාධිකාරයේ අතපල්ලෙන් නොවැටී ඍජුව සිට ගැනීමට තිබෙන විකල්පයක් ලෙස මහාචාර්ය බිබිලේ මේ මාර්ගය හැඳින්වූයේ ය.

ඖෂධ ජාවාරමෙන් මිනිස් සංහතියට විඳින්නට සිදුවී තිබෙන පීඩනය ජාත්‍යන්තර අවධානයට යොමු කළ වාර්තාගත පළමු වන අවස්ථාව එය බව පසුකලෙක මහාචාර්ය කාලෝ ෆොන්සේකා හෙළි කළේ ය.

සිවු වසරක් තුළ බහුජාතික ඖෂධ සමාගම්වල ගසා කෑමෙන් ලංකා ජනතාව බේරා ගැනීමට, රටට අවශ්‍ය ඖෂධ පහසු මිලට ජනතාවට සැපයීමට සංස්ථාව කළ කටයුතු ඔහු එහිදී හෙළි කෙළේ ය. ඒ කටයුතු පිළිබඳ තවදුරටත් දැන ගැනීමට අවශ්‍ය අය ඖෂධ සංස්ථාවට පැමිණෙන්නැයි නොබැඳි රටවල නායකයන්ට ආරාධනා කෙළේ ය.

ඔවුහු ඖෂධ සංස්ථාවට පැමිණියහ.

සිය රටවල ජනතාව සූරා කෑමට බහු ජාතික ඖෂධ සමාගම්වලට දොර කවුළු ඇර දී ඇති සැටි ඔවුහු එහිදී වටහා ගත් හ.

“අපි අපේ ජනතාවටත් මේ අන්දමේ ඖෂධ ප්‍රතිපත්තියක් හඳුන්වා දෙනවා. අපට ඔබේ සහාය අවශ්‍යයි.” එක් රටක නායකයෙක් කී ය.

“සහාය දීමට මා සූදානම්. ජනතාවට සේවය කිරීමේ වුවමනාව ඇති පාලකයන් ඇති තැනකට සේවය කිරීම සතුටකි.”

සේනක ගේ වචන තුළ ඇති කලකිරීම වැටහුණේ සංස්ථාවේ සේවකයන්ට පමණි.

1973 වර්ෂයේ දී ඖෂධ වර්ග 47 කින් ඩොලර් 3,62,000 ක් ද 1974 දී ඖෂධ වර්ග 71 කින් ඩොලර් 4,63,000 ක් ද විදේශ විනිමයවලින් ඉතිරි කර දුන් ඖෂධ සංස්ථාව 1973 දී අමුද්‍රව්‍ය 11 කින් පමණක් ඩොලර් විසි ලක්ෂයක් ශ්‍රී ලංකාවට ඉතිරි කැර දුන්නේ ය.

බහුජාතික ඖෂධ සමාගම්වලට ලැබෙන්නට තිබුණු විශාල ධනස්කන්ධයක් රටේ ජනතාව අතර බෙදී යාම නොබැඳි රටවල නියෝජිතයෝ අගය කළහ.

1976 දී ම එක්සත් ජාතීන්ගේ වෙළෙඳාම හා සංවර්ධනය පිළිබඳ සංවිධානය (අන්ක්ටෑඩ්) කළ ආරාධනයක් අනුව ලිපියක් ඉදිරිපත් කළ සේනක ශ්‍රී ලංකාවේ ඖෂධ සංස්ථාවේ ක්‍රියාමාර්ගය හා එහි සාර්ථකත්වයත් බහුජාතික සමාගම්වලට එරෙහිව ගෙන ගිය අරගලයත් එයින් විස්තර කළේ ය. එයින් පසු නොබැඳි රටවල් කීපයක ඖෂධ සංස්ථා ඇති විය.

 

**********************

මුදල් ඇමති තනතුරෙන් ඇන්.ඇම්. ඉවත්වීමෙන් පසු පත් වූ නව මුදල් ඇමැති පිලික්ස් ඩයස් බණ්ඩාරනායක ඖෂධ සංස්ථාවේ කටයුතු අඩාළ වන සේ ඖෂධ සමාගම් සමඟ සම්බන්ධකම් පවත්වන බව ප්‍රකට විය.

කර්මාන්ත ඇමැති ටී.බී. සුබසිංහ ඖෂධ සංස්ථාව රැක ගැනීමට, ඖෂධ සමාගම්වලට එරෙහිව ඇමැති මණ්ඩලය තුළ ගෙන ගිය සටනින් පලක් නොවී ය.

ඇමතිවරු වැඩි දෙනෙක් සමාගම්වලින් හීලෑ කොට ඇති බව පෙනිණ.

සේනක බිබිලේ නොබැඳි සමුළුව පැවැති දිනවල අන්ක්ටෑඩ් සංවිධානයේ සුරේන්ද්‍ර පටල් හා ඔක්ස්ෆඩ් විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය සංජය ලාල් සමඟ මිතුරු විය. ලංකාවේ ඖෂධ සංස්ථාවට ඇති බාධක ඒ දෙදෙනාට පෙනිණ. “ජනතාවට සේවය කිරීමට මවුබිමේ ඉඩ නැති ජනතා ප්‍රේමීන් දුරු රට සිට මවුබිමේ සහ අනෙක් රටවල ජනතාවට සේවය කරන අවස්ථා තිබෙනවා. ඔබටත් දැන් ඇත්තේ ඒ මඟ. අන්ක්ටෑඩ් සංවිධානය ඉතා සාදරයෙන් ඔබ පිළිගනීවි.” සුරේන්ද්‍ර පටල් කීය.

සේනක ඔහුට පිළිතුරක් දුන්නේ නැත.

 

**********************

එක්සත් රාජ්‍ය සංස්ථා සහ වෙළෙඳ සංස්ථා සංගමයේ ඖෂධ සංස්ථා ශාඛාවේ පස්වැනි සංවත්සරය ශාඛා සභාපති ග.සෝ. පොන්සේකා ගේ ප්‍රධානත්වයෙන් ඇරැඹිණ.

ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා, බැටී වීරකෝන්, පර්සි වික්‍රමසේකර සහ මහාචාර්ය සේනක බිබිලේ ද ඊට සහභාගි වූහ. මෙය සංවිධානය කරනු ලැබූයේ ශාඛා ලේකම් උපසේන ජයරත්න විසිනි.

මෙහිදී සභාව ඇමතූ ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා මෙසේ කීය. “සමඟි රජය යටතේ මාත්, කර්මාන්ත ඇමති ටී.බී. සුබසිංහ සහෝදරයාත් සංස්ථාවේ කටයුතුවලට අකුල් හෙළන ඖෂධ සමාගම් රජයට පවරා ගන්නැයි කැබිනට් මණ්ඩලයේදී ඉල්ලුවා. ඒ ඉල්ලීම පස්සට දැමීමට වර්තමාන මුදල් ඇමතිකම කරන පුද්ගලයා ජාවාරම්කාරයන් සමඟ එකතුව කටයුතු කළා. ඉදිරි කාලය ඉතා භයානකයි.”

මහාචාර්ය සේනක බිබිලේ නැඟී සිටියේ සිය අවසාන දෙසුම කරන්නට යයි සංස්ථා සේවකයෝ නොසිතූහ. මඳ සිනාවක් සහිතව දෙසුම ඇරඹුව ද ඉක්මනින් ම එය අතුරුදන් විය. ඔහු සිය සේවක සහෝදර සහෝදරියන් දෙස නිහඬව බලා සිටියේ ය.

“මා සභාපති තනතුරෙන් අස්වෙනවා.” ඔහු මඳ වේලාවකට පසු කීය.

“ඔව්, මා ඒ තීරණය ගන්නට හැදුවේ ඇන්.ඇම්. සහෝදරයලා මේ රජයෙන් ඉවත් වුණු දවසේමයි. එහෙත් මට ඊට මේ සහෝදරවරු ඉඩ දුන්නේ නැහැ. මට එදාම පෙනුණා රට ආපස්සට ගෙන යන්නට පාලකයන්ට අවශ්‍ය බව. තවදුරටත් මෙහි සිටීමෙන් පලක් නැහැ. අපේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න අපහසු තැනක රැඳෙන්නේ කුමකටද?

විදේශීය හා දේශීය ප්‍රතිගාමීන්ට අපේ රජය අද වහල් වෙලා. අපි මේ සතුරන් මර්දනය සඳහා ඒ සමාගම් රජයට ගන්නැයි කීවා. රජය අප දණ ගස්සන්න කටයුතු කළා. මට දණ ගහන්න බැහැ. සංස්ථාවේ මූලික ප්‍රතිපත්තිවලට පටහැනිව රජය ක්‍රියාත්මක වෙනවා. මේ නිසා මා සභාපති තනතුරෙන් ඉල්ලා අස්වෙනවා.”

සභාව ගොළු විය. ඉවසුම් නොදෙන ගැඹුරු නිශ්ශබ්දතාවයක් මඳ වේලාවක් පැවැතිණ.

සේනක ඔහුගේ අවසන් වැකි කීපය ද ඉදිරිපත් කෙළේ ය. “ප්‍රතිගාමීත්වය ජනතා ව්‍යාපාර යටපත් කරනවා. ඒත් එය තාවකාලිකයි. යළි තිබුණාට වඩා හොඳින් එය හිස ඔසවනවා. ඖෂධ සංස්ථාව ද එහෙමයි. මිනිසුන් හැමදාම අඳුරේ අතපත ගාන්නේ නැහැ. බලය හැමදාම තබා ගන්නට කිසිම පාලකයකුට බැහැ. කවදා හෝ ජනතාව නැගිටිනවා. අසාධාරණය විනාශ කොට සාධාරණය රජ වෙනවා. ජනතාවට රට හිමි වෙනවා. එය වළක්වන්නට බැහැ. එය ඉබේටම සිදුවන්නේත් නැහැ.

අප වඩාත් සංවිධානාත්මකව ජනතාව සමඟ එක්ව වැඩ කළ යුතුයි. ඖෂධ සංස්ථාවෙන් ඉවත් වුවත් මා ජනතාව නමැති සංස්ථාවෙන් ඉවත්වන්නේ නැහැ.”

එදා රැස්වීම අවසන් වී හැන්දෑවේ සිය නිවෙස්වලට ගිය සංස්ථා සේවක සේවිකාවන්ගේ සිත් දරා ගත නො හැකි ශෝකයකින් හා පාළුවකින් වෙළී තිබිණ.

“සංස්ථාවෙන් ඉවත් වුව ද මා ජනතාව නමැති සංස්ථාවෙන් ඉවත්වන්නේ නැහැ.” යන ප්‍රකාශය ඔවුන්ගේ සිත් තුළ දෝංකාරය දුනි.

 

අවසන් කොටස ලබන සතියේ

 

Comments