
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාව වර්තමාන ශ්‍රී ලංකාවේ අගනුවර කේන්ද්‍රස්ථානය කරගත් සංඝ සභාවයි. වසර 156 ක් පැරැණි එම සංඝ සභාව පහත රට බිහිවූ පළමු වැනි සංඝ සභාවයි. කෝට්ටේ රජ මහා විහාරය කේන්ද්‍ර කරගෙන මෙම සංඝ සභාව ආරම්භ වී තිබේ. කෝට්ටේ රජමහා විහාරය ආරම්භ වී ඇත්තේ මහා පරාක්‍රමබාහු රජතුමාගේ කාලයේදී ය.
යටත් විජිත සමයේ කොළඹ සිටි නායක හා ප්‍රධාන හාමුදුරුවරු යුරෝපීන්ගේ විවිධ අභියෝගවලට මුහුණ දුන්හ. ඒ නිසා උන්වහන්සේ ධර්මයෙන් සන්නද්ධ වී අභියෝගවලට පිළිතුරුදීමට සූදානමින් සිටියහ. උන්වහන්සේ ධර්මය හා බුද්ධ ශාසනය රැකගැනීමට මෙන්ම ක්ෂේත්‍රයේ ගැටලු ඇතිවූ විට සිදු කළේ මල්වතු විහාරයට ගොස් ඒ පිළිබඳව විසඳුම් සෙවීමයි. නමුත් එයට නිසි විසඳුම් නොලැබිණි.
එක්වරක් ගැටලුවලට විසඳුම් වෙනුවට එකල ක්‍රියාකාරී හිමි නමක් වූ බෙන්තොට අත්ථදස්සී හිමියන්ට මල්වතු මහා විහාරයෙන් අනුනායක පදවියක් දීමට ආරාධනා කර ඇත. මහනුවර ඒජන්ත හරහා දුන් ඒ පණිවිඩය ප්‍රතික්ෂේප කළ අත්ථදස්සී හිමියෝ සිදු කළේ තවත් හිමිවරු කිහිප නමක් සමඟ එක්වී පහත රට ප්‍රථම සංඝ සභාව ලෙස අප සංඝ සභාව ස්ථාපිත කිරීමයි.
මහාවිහාරවංශික ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාව වර්තමාන ශ්‍රී ලංකාවේ අගනුවර කේන්ද්‍රස්ථානය කරගත් මහා සංඝ සභාව වෙයි.
එම සංඝ සභාව ගණාචාර්ය බෙන්තර අත්ථදස්සී මාහිමිපාණන් වහන්සේ, කොළඹ නව කෝරලයේ ප්‍රධාන නායක ධූරය දරමින් මහත් කීර්ති ඇතිව පහත රට සංඝයාට නායකව වැඩසිටි කෝට්ටේ රාජමහා විහාරාධිපති මලිගස්පේ ධර්මකීර්ති ශ්‍රී මංගලාභිධාන මහාස්වාමීන්ද්‍රයන් වහන්සේ, අරුග්ගොඩ ඉන්ද්‍රරසාරාරාමයේ වැඩ විසූ පානදුරේ සුමංගල හිමි, පානදුර ගල්ගොඩ ශ්‍රී මහා විහාරයේ වැඩ සිට පැපිලියානේ සීලවංශ මාහිමි, රත්මලානේ පරමධම්මචේතිය විද්‍යාස්ථානාධිපති සාර්වභෞම පණ්ඩිත වලානේ සිද්ධාර්ථ මහාස්වාමින්ද්‍රයන් වහන්සේ හා සමඟ එක්ව පහත රට උපසම්පදාව ඇති කිරීම සඳහා රාජ්‍ය වර්ෂ 1855 පොසොන් මස ආරම්භ කරන ලද සංඝ සභාව යි.
සංඝ සභාව බැබළවූ හිමිවරු
ලබුගම ලංකානන්ද මහානාහිමි, බෙල්ලන්විල විමලරතන නාහිමි, වල්පොල රාහුල හිමි, කොටගම වාචිස්සර හිමි, මාදුළුවාවේ සෝභිත හිමි වැනි සංඝ පීතෲවරුන් වහන්සේලා අප කෝට්ටේ පාර්ශ්වයේ ගෞරවය හා අපක්ෂපාතී බව සුරැකෙමින් එඩිතර ලෙස කටයුතු කළහ. දැනට අප සංඝ සභාවේ ප්‍රධාන නිලතල දරන හිමිවරු ද කටයුතු කරන්නේ එලෙස ය. අපේ සංඝ සභාව හිටපු නා හිමිවරු මෙන්ම හැමදාම ගමන් කරන්නේ මැද මාවතකයි.
අප සංඝ සභාවට අයත් උපෝසථාගාරය මුලින්ම ඉදිකර ඇත්තේ පරාක්‍රමබාහු රජතුමාගේ කාලයේදී ය. එකල ඒ රජතුමා පිහිටුවූ සීමාව තුළ අපි අපේ උපෝසථාගාරය දැනටත් පවත්වාගෙන යන්නෙමු.
භික්ෂූන් වහන්සේ විනය කර්ම කරන නීත්‍යානුකූල භූමිය වන්නේ උපෝසථාගාර සීමාවයි. ඒ සීමාව තුළ ඉදිකරන විනයානුකූල ගොඩනැගිල්ල උපෝසථාගාරය ලෙස නම් කෙරේ. අප පාර්ශ්වයට අයත් භික්ෂූන් වහන්සේ නමක් උපසම්පදා කරනවා නම් අනිවාර්යෙන් කළ යුත්තේ මේ උපෝසථාගාරය තුළ පමණයි. මේ අනුව උපෝසථාගාරය යනු නීත්‍යානුකූල, විනයානුකූල ගොඩනැගිල්ලකි.
අප කෝට්ටේ පාර්ශ්වයට අයත් කෝට්ටේ රජමහා විහාර භූමිය පිහිටා ඇති රජසමයට අයත් උපෝසථාගාරය. එය අවසන් වරට ප්‍රතිසංස්කරණය කර ඇත්තේ 1964 දී විලියම් ගොපල්ලව ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ සමයේදී ය.
දැනට වසර ගණනාවක් තිස්සේ කෝට්ටේ මහා සංඝ සභාව මෙම උපෝසථාගාරය ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස විවිධ රජයන්වලින් ඉල්ලා සිටියත් එය ඉටු නොවිණි. පසුව වත්මන් ජනාධිපතිතුමාට මේ පිළිබඳව අප පැවසූ විට එය ඉටුකර දීමට නොපැකිළිව කටයුතු කළේ ය.
නමුත් මෙවර එතුමා ජනාධිපති ධූරයට පත්වූ පසු නාවික හමුදාවේ සහ රජයේ සහාය ඇතිව අපේ උපෝසථාගාරය පෞරාණික හා සාම්ප්‍රදායික බව සුරැකෙමින් සම්පූර්ණයෙන් ප්‍රතිනිර්මාණය කරනු ලැබීය. නාවික හමුදාවේ ශිල්පීන්ගේ දක්ෂතා අනුව නව උපෝසථාගාරයේ ගෘහ නිර්මාණ ශිල්පය, සංඝ සභාව පිහිටුවූ කාලයේ තිබූ ගෘහ නිර්මාණ කලාව අනුවම සකස්කර තිබීම විශේෂත්වයකි.
භික්ෂූන් වහන්සේ යනු අපේ රටේ සංවර්ධනයේ ප්‍රධාන සාධකයකි. විහාරස්ථානයක උපෝසථාගාරය යනු මහා සංඝරත්නයේ තිර පැවැත්මට බලපාන ප්‍රධාන දෙයකි. උන්වහන්සේ ගේ විනය රකින්නේ එම ස්ථානය මඟිනි. භික්ෂුවක්, භික්ෂුවක් විදියට රටට දායාද කරන්නේ උපෝසථාගාරය ආභාසයෙනි. ඒ අනුව බලද්දී මේ ආකාරයට උපෝසථාගාරයක් ප්‍රතිනිර්මාණය කරමින් ජනාධිපතිතුමා දුන් දායකත්වය භික්ෂු ශාසනයේ අනාගතය වෙනුවෙන් එතුමා කළ අනගි මෙහෙවරකි.
අනාගතයේදී රට පිබිදේවි
මෙම උපෝසථාගාරය මේ අයුරින් පුරාවිද්‍යානුකූලව ප්‍රතිනිර්මාණය කර ඉදිකිරීමට පෞද්ගලිකවම උනන්දු වූ ජනාධිපතිතුමාට සංඝරත්නයේ ආශිර්වාදය පිරිනැමීමට ජනවාරි 02 වැනිදා සවස කෝට්ටේ පුරාණ රජමහා විහාර භූමියේදී මහා සංඝරත්නයේ ආශිර්වාද පිරිත් දේශනාවක් පැවැත්වීමට කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාව තීරණය කළහ. ඒ අනුව ජනාධිපතිතුමාට ආශිර්වාද කිරීම චිර ජීවනය හා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් ජනවාරි 02 වැනිදා මෙම මහා පින්කම උපෝසථාගාරය අසලදී පැවැත්වීමට සියලු කටයුතු යොදා ඇත.
වර්තමානයේ රටේ සමහර මැති ඇමැතිවරු කරන විවිධ කටයුතු පිළිබඳව ගැටලු තිබේ. නමුත් ජනාධිපතිතුමා පිළිබඳව අපට තිබෙන්නේ ලොකු පැහැදීමකි. එතුමා බුදු දහමටත් මහා සංඝරත්නයටත් සලකන්නේ සුවිශේෂී අයුරිනි. රාමඤ්ඤ නිකායේ මහා නායක හිමියන්ගේත් කොටුගොඩ ධම්මාවාස නාහිමියන්ගේත් ආදාහන උත්සවවලට පැමිණි එතුමා බිම දණ ගසා එම හිමිවරුන්ගේ දේහයන්වලට ගෞරව දැක්වූහ.
එවැනි කටයුතු නිසා මෙන් ම මහා සංඝරත්නය යම් ශාසනික කටයුත්තක් පිළිබඳ දැන්වූ නිසා එය නොපැකිළිව ඉටුකර දීම නිසා ජනාධිපතිතුමා සිදු කරන බොදු සේවාව අපි අගය කරමු. එතුමාගේ චරිතයේ ගුණාංග මෙන් ම ආදර්ශවත් ජීවිතය බුද්ධ ශාසනයේ ප්‍රගතියට පිටුබලයකි.
මේ කාලය අපේ රටේ මෙන් ම ලෝකයේම ආර්ථිකය වැටුණු අවදියකි. අපට ඇති ලොකුම ප්‍රශ්නය මූල්‍ය සංචිත හිඟකමයි. නමුත් එකතු කරගත් සංචිත නැති එකට වත්මන් ජනාධිපතිතුමාට පමණක් දොස් කියා ඵලක් නැත. මෙතෙක් රජය කරගෙන ගිය හැමෝටම ඒ වගකීම තිබේ.
ලොව දියුණු රටවල්වලත් නැති අයුරින් ‘බූස්ටර්’ එන්නත් පවා ලබාදෙමින් ජනාධිපතිතුමාගේ මෙහෙයවීමෙන් සිදු කරන කාර්යභාරය නිසා විශාල මරණ ගණනක් අඩු කර ගැනීමට අවස්ථාව ලැබිණි.
මේ දරුණු අභියෝග මත රට යම් විදිහක පසුබෑමක් යටතේ ගමන් කළත් ඉදිරියේදී ලෝකයේ ප්‍රශ්නත් අඩු වනවිට අපේ රටට යම් පිබිදීමේ ජයග්‍රහණයක් ලබාගත හැකි බව අපේ විශ්වාසයයි. ඔළුව හරියට පාවිච්චි කළොත් අප සේරම එකතුවී මේ අභියෝග ජයගෙන රටට සුබ අනාගතයක් උදා කිරීමට අපටම අවස්ථාව තිබේ.