විදුලි සෝපානය බිලිගත් පිළිමතලාවේ තරුණිය | Page 3 | සිළුමිණ

විදුලි සෝපානය බිලිගත් පිළිමතලාවේ තරුණිය

- කර්මාන්ත ශාලාවෙන් වන්දියක් ලබා දෙන්න එකඟ වෙලා
- විදුලි සෝපානයේ තත්ත්වය හා ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් රස පරීක්ෂක වාර්තාවක් කැඳවීමට පොලීසිය පියවර
- ඇද වැටී තිබුණේ අඩි 40 ක් පමණ උසකින්
- අනෙක් තරුණියගේ ජීවිතය බේරී ඇත්තේ අනූනවයෙන්; ඇය තවමත් ඇඳ උඩ

විදුලි සෝපානයක් යනු වෙහෙසක් නොමැතිව ඉක්මනින් උස් ස්ථානකට යාමටත් එහි සිට පහළට ඒමටත් සකස් වූවකි. මිනිසුන් මෙන්ම භාණ්ඩද රැගෙන යාමට සකස් වූ විදුලි සෝපාන වල ප්‍රමිතිය හා ආරක්ෂිතභාවය ඉහළින්ම සැලකිය යුත්තේ සුළු අතපසුවීමකින් මරණය කරා ද වේගයෙන් ගමන් කිරීමට මඟ පෑදෙන බැවිනි. මේ ආකාර අවාසනාවන්ත සිදු වීමක් පසුගියදා වාර්තා වූවේ මහනුවර පිළිමතලාවේ ප්ලාස්ටික් නිෂ්පාදන ආයතනයකිනි. එහි භාණ්ඩ ප්‍රවාහනය කරන විදුලි සෝපානය කඩා වැටීම නිසා විසිහය හැවිරිදි තරුණියකට දිවි අහිමි විය. එහි සිටි තවත් තරුණියකගේ ජීවිතය බේරුණේ අනූනවයෙනි. මේ ආකාර අනතුරක් 2020 වසරේ ඔක්තෝම්බර් මාසයේදීද මහනුවර ලේවැල්ලේ නිමි ඇඳුම් අලෙවි සැළක සිදුවූ අතර ඉන් දෙදෙනෙකුට ජීවිත අහිමි වූහ. මිනිස්සුන්ට ගමන් කිරීම සඳහා ඇති විදුලි සෝපාන වල ආරක්ෂාව සම්බන්ධව දක්වන සැලකිල්ල භාණ්ඩ ප්‍රවාහනය කරන විදුලි සෝපාන සඳහා නොදක්වන බවට මෙම අනතුරු දෙකම කදිම උදාහරණය.

පිළිමතලාවේ සිදුවීමෙන් මියගිය අරේෂා ජයමාලි කුලරත්න 26 හැවිරිදිය. ඇය කඩුගන්නාව බලන දෙකිඳ ප්‍රදේශයේ පදිංචිකාරියකි. අනතුරින් තුවාල ලැබ දිවි බේරාගනු ලැබූ අචිනි දිල්හානි එගොඩවිට ගේ පදිංචිය කඩුගන්නාව බලන මොටන ය.

වසර හයක පමණ කාලයක් අදාළ කර්මාන්ත ශාලාවේ සේවය කළ මොවුන් දෙදෙනා සේවයට එක්වන්නට පෙර සිටම මිතුරියන්ය. දෙදෙනාම එහි සේවය කර ඇත්තේ ජුකී මැෂින් ඔපරේටර් වරියන් ලෙසිනි. මොවුන් දෙදෙනා විදුලි සෝපානයට භාණ්ඩ පටවමින් සිටියදී ඇද වැටී තිබුණේ අඩි 40 ක පමණ උසකිනි.

තුන්වන තට්ටුවේ ජයමාලියි මායි ලිෆ්ට් එකට පොලිතින් කවර පටවමින් හිටියා. අපි සාමාන්‍යයෙන් ඒකට බඩු පටවනවා. එදා බෑග් සෑහෙන ප්‍රමාණයක් පැටෙව්වා. එකපාරටම ලිෆ්ට් එක කඩාගෙන වැටුණා. මට මතක අපි දෙන්නම ඒකත් එක්කම පහළට එනවා විතරයි. සිහිය එනකොට මම හිටියේ පේරාදෙණිය රෝහලේ වාට්ටුවක...දිල්හානි සිද්ධිය විස්තර කළේ එසේය.

කර්මාන්ත ශාලාවේ සේවයේ නියුතු ගීතිකා ධනංජනී මෙසේ කීවාය. මම පහළ තට්ටුවේ වැඩ කරමින් හිටියේ.එකපාරටම ඩෝං ගාලා ශබ්දයක් ආවා.මට හිතාගන්න බැරිවුණා මොකක්ද වුණේ කියලා. බලනකොට බඩු ගෙනියන ලිෆ්ට් එක කඩාගෙන වැටිලා.

ඒකෙ මිනිස්සු යන්නේ නැහැ.අපේ නිෂ්පාදන වලට අවශ්‍යය භාණ්ඩ තමයි උඩට පහළට ගෙනි යන්නේ.අරේෂයි දිල්හානියි උඩ බඩු පටවවිමින් ඉද්දී තමයි මේක කඩාගෙන වැටිලා තියෙන්නේ. දිල්හානි ලිෆ්ට් එකෙන් එළියට විසි වෙලා බිමට වැටිලා හිටියේ. අරේෂා ලිෆ්ට් එක උඩ එල්ලිලා වගේ හිටියේ. එයාගේ ඇඟේ ලේ තිබුණා...

සිද්ධියෙන් මියගිය අරේෂාගේ නිවසට අපි ගියත් ඇය පිළිබඳව හෝ අනතුර සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කරන්නට ඇගේ දෙමව්පියෝ අකමැති වූහ. කර්මාන්ත ශාලාවේ හිමිකරු ඇතුළු පිරිස අවමංගල්‍යය කටයුතු සියල්ල ඔවුන්ගේ වියදමින් සිදුකර තිබිණි. අරේෂාග් මරණය වෙනුවෙන් වන්දියක් ලබා දීමට ඔවුන් එකඟතාව පළකර තිබූ බැවින් සිද්ධිය පිළිබඳ විස්තර කතා කිරීම ඇගේ මව හා පියා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබූහ.

මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට නිවසට පැමිණ සිටි දිල්හානි දරුවන් තිදෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමලාය. පියා දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවයේ නියුක්තව සිට මේවන සිටින්නේ විශ්‍රාමිකවය. දුවට අනතුරක් වෙලා කියලා කොම්පැනියෙන් කතා කරලා කිව්වා. අපි හිතුවේ නැහැ මෙහෙම දෙයක් කියලා.

අපි යනකොට දුවව රෝහලට අරන් ගිහින්. දවස හතරක් විතර දුව රෝහලේ ප්‍රතිකාර ලැබුවට පස්සේ ටිකට් කපලා ගෙදර එක්කගෙන ආවා. මාසයක් විතර විවේක ගන්න කියලා දොස්තර මහත්තුරු කිව්වා. තාම කවුරුවත් අපි ගැන බලන්න ආවේ නැහැ...

අනතුර සම්බන්ධයෙන් කඩුගන්නාව පොලීසිය පරීක්ෂණ පවත්වන අතර දැනට අනාවරණය වී තිබෙන තොරතුරුවලට අනුව තරුණියන් දෙදෙනා විදුලි සෝපානයට භාණ්ඩ පටවා ඇත්තේ එක කකුලක් විදුලි සෝපානයේදි අනෙක් කොටස තුන්වන මහලේ කොන්ක්‍රීට් තට්ටුව මතද තබා ගෙනය. එක්වරම විදුලි සෝපානය කඩා වැටෙත්දී තරුණියන් දෙදෙනාද එ් සමඟ බිමට ඇද වැටෙන්නට ඇතැයි පොලීසිය අනුමාන කරයි. මහනුවර දිස්ත්‍රික්කයේ පමණක් නොව රටේම මේ ආකාර භාණ්ඩ ප්‍රවාහනය කරන අනාරක්ෂිත විදුලි සෝපාන ඕනෑ තරම් තිබේ.

ලේවැල්ලේදී දෙදෙනෙකුට මරු කැඳවමින් කඩා වැටුණේද එවැනි එකකි.දැනට ක්‍රියාත්මක මධ්‍ය පරිමාණයේ කර්මාන්ත ශාලා අති බහුතරයක අවධානම් රාජකාරි වල නිරත සේවකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම පිණිස ක්‍රියාමාර්ග ගෙන නොමැත.

සේෆ්ට් ෆර්ස් යන්න වචනයකට පමණක් සීමා කරමින් ක්‍රියාත්මක මෙම කර්මාන්ත ශාලා දෙස ඇස් ඇර බලන්නට බලධාරීන්ට සිත් පහළ වන්නට නම් මේ ආකාර ඛේදවාචකයක් විය යුතුමය.

කඩුගන්නාව පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රෝහණ කරුණාරත්නගේ උපදෙස් මත අපරාධ අංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක දයාපාල, උප පොලිස් පරීක්ෂක රූපසිංහ හා පොලිස් කොස්තාපල් 95807 ගුණසේකර යන නිලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා අධිකරණයට කරුණු වාර්තා කළහ. කිලෝ ග්රැම් 1000 ක බරක් ගෙනා යා හැකි අදාළ විදුලි සෝපානය නියම ප්‍රමිතියෙන් තිබුණේද යන්න දැන් මතුව ඇති ප්‍රශ්නයයි.

කර්මාන්ත ශාලා හිමිකරුවන් පවසන්නේ මෙම විදුලි සෝපානය ස්ථාපිත කර වසර 06 ක් පමණ වන බවයි. මාස 06 කට වතාවක් එය ග්‍රීස් කරන බවත් දැනට සිවු මසකට පෙර එම කටයුතු සිදු කළ බවත් ඔවුන් පොලීසියට පවසා තිබේ.

විදුලි සෝපානයේ තත්ත්වය හා ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් රස පරීක්ෂක වාර්තාවක් කැඳවීමට පොලීසිය පියවර ගෙන තිබෙන්නේ කර්මාන්ත ශාලවේ හිමිකරුවන්ගේ ප්‍රකාශ සත්‍යද අසත්‍යද යන්න තහවුරු කර ගැනීමටය.

ඡායාරූප -මධ්‍යම පළාත් සංචාරක 
එල්.එස් එගොඩවිට

Comments