සාරිය පිළිගෙන වාටියට එරෙහි වීම හෙවත් සියයට දශම හයේ විරෝධය | සිළුමිණ

සාරිය පිළිගෙන වාටියට එරෙහි වීම හෙවත් සියයට දශම හයේ විරෝධය

ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවල පරිපාලනය සිදු කෙරෙන්නේ පාර්ලිමේන්තුවේ සම්මත වන අණපනත්හි එන රෙගුලාසි ප්‍රකාර ව බව කවුරුත් දනිති. ඒ අනුව කුලපති පත් කිරීම, උපකුලපති පත් කිරීම, පාලක සභාව පත් කිරීම වැනි විෂයයන්හි අධිකාරි බලය හිමිවන්නේ රජයට ය. දැනට ක්‍රියාත්මක රෙගුලාසි ඇතුළත් පනත ජේ.ආර්. ජයවර්ධන විධායක ජනාධිපතිවරයා විසින් හඳුන්වා දුන්නකි. ඒ අනුව කල් ඉකුත් වීමෙන් පුරප්පාඩු වූ පසුව හෝ නව රාජ්‍ය නායකයකු පත් වීමෙන් හෝ ඉහත කී පත් කිරීම් සිදු කිරීමට ජනාධිපතිවරයාට හෝ රජයට හැකියාව ඇත. එය රාජ්‍ය නිලබලයෙන් ලත් අධිකාරි බලයකි.

ජේ.ආර්.ජයවර්ධන සමයෙහි හඳුන්වා දුන් රෙගුලාසි ප්‍රකාර ව කුලපතිවරයා පත් කිරීම ජනාධිපතිගේ අභිමතය පරිදි සිදු වන්නකි. කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති පදවියට පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පත්වන්නේ ඒ අනුව ය. මේ වන විට ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලයවල කුලපති පදවියට පත් කරනු ලැබූ ස්වාමීන් වහන්සේලා හය නමක් පමණ වෙති. ඒ සියලුදෙනා වහන්සේ ම පාහේ පත් කරනු ලැබ ඇත්තේ ශ්‍රී ලංකාවේ වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂයන් විසින් නොවේ. ඉන් පෙර සිට ම ස්වාමීන් වහන්සේලා ද වෙනත් පූජකවරු ද විවිධ විශ්වවිද්‍යාලයවල කුලපති පදවියට පත් කරනු ලැබ ඇත. 

පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමිපාණන් වහන්සේ අතින් උපාධි ලබා ගැනීම ප්‍රතික්‍ෂේප කළ අතළොස්සක පිරිසකගේ සිදුවීම හැරුණු කොට මෙතුවක් කාලයකට එබඳු සිදුවීමක් ශ්‍රී ලංකාවෙන් උපාධි ප්‍රදානෝත්සවයක දී මා දන්නා පරිදි සිදු වී නැත. (උපාධි ප්‍රදානෝත්සවයක දී දෙන සහතිකය හුදෙක් උපාධි ප්‍රදානෝත්සව සහතිකයක් මිස උපාධි සහතිකයක් දීම නොවන බව අපි දනිමු) කලාකරුවන් වෙත සම්මාන පිදීමේ අවස්ථාවක දී එබන්දක් සිදු ව ඇති බව මතක ඇත. එහෙයින් මේ සිදුවීම විශ්ලේෂණය කර ගත යුතු ව ඇත.

මේ දින කීපයේ උපාධි ප්‍රදානෝත්සවය සඳහා 2668 දෙනකු ඉදිරිපත් වී ඇති අතර ඉන් 173 දෙනකු උපාධි ලබා ගෙන ඇත්තේ අනුපස්ථිතියෙහි ය. ඒ අතරින් 15 දෙනකු උපස්ථිතියෙහි උපාධි ලබා ගැනීමට කැමැත්ත පළ කර පැමිණ කුලපති ස්වාමීන්ද්‍රයන් වහන්සේ උපාධි මංජුසා ප්‍රදානය සිදු කරද් දී ලබා ගැනීම ප්‍රතික්ෂේප කර ඇත. ඒ අතර නීති උපාධිලාභීන් නව දෙනෙක් ද කලා උපාධිලාභීන් හය දෙනෙක් ද වේ. උපාධි මංජුසා ලබා ගැනීම ප්‍රතික්ෂේප කළ පිරිස ඒ අනුව දශමස්ථානයකටත් අඩු සංඛ්‍යාවකි. එනම් 0.65% කි. සිදුවීමේ නීත්‍යනුකූලභාවයන් හා විනයානුකූලභාවයන් පිළිබඳ සාකච්ඡා කිරීම හා තීන්දු ගැනීම පාලක සභාව ඇතුළු විශ්වවිද්‍යාලයීය පරිපාලන අධිකාරියේ වගකීම වන්නේ ය. නිර්වචන ඉදිරිපත් කිරීම, විවේචනය කිරීම හා ඇගයීම සියලුදෙනාට ම කළ හැකි ය. එක් උපාධිලාභියෙක් තමාගේ උපාධිය තමා ම රැගෙන පැමිණ යනු සමාජජාලා වෙබ් අඩවියක විකාශය කරනු ලැබ දිටිමි. ඒ පිළිබඳ නෛතිකභාවය හා අභ්‍යන්තර විනයානුකූලභාවය පිළිබඳ ද පාලකසභාව හා පාලන අධිකාරිය සාකච්ඡා කළ යුතු කරුණක් වෙයි.

සිදුවීමේ කීර්තිය හෝ අපකීර්තිය හා අපහසුතාවයට හෝ පත් වූයේ කුලපති ස්වාමීන්ද්‍රයන් වහන්සේ ද අධ්‍යයන කාර්යමණ්ඩලය ද උපකුලපතිතුමිය ද කොළඹ විශ්වවිද්‍යාලය ද උපාධිලාභීන් ද යන්න ද විශ්ලේෂණාත්මක ව හැදෑරිය යුත්තකි.

කෙසේ වෙතත් පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන් කොළඹ විශ්වවිද්‍යාලය කුලපති ධූරයට පත් කිරීම පිළිබඳ අන් කවරදාකටත් වඩා මේ තනතුරේ පත් කිරීම පිළිබඳ සාකච්ඡාවක් ඇති කළ මාතෘකාවක් විය. උන්වහන්සේ සතු උගත්කම එහි දී ප්‍රශ්න කරනු ලැබ තිබිණි. විශ්වවිද්‍යාල උපකුලපති තනතුරක් සඳහා එය අත්‍යවශ්‍ය නිර්ණායකයක් නොවන බව පෙර ද සඳහන් කළෙමි. ස්වාමීන් වහන්සේ නමක් වීම මෙතෙක් කල් ගැටලුවක් වී නොතිබූ අතර එදින ද බෞද්ධ ස්වාමීන් වහන්සේ නමක් හෙයින් ප්‍රතික­්ෂේප කරනු ලැබ ඇතැයි සිතීමට ප්‍රමාණවත් සාධක නැත. සංවිධානාත්මක ව ප්‍රතික්ෂේප කිරීමක් ද දක්නට නොලැබුණේ 99% වඩා පිරිසක් උන්වහන්සේ වෙතින් උපාධි ලත් හෙයිනි. ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂයක මෙහෙයවීමෙන් එය සිදුව ඇතැයි සනාථ කිරීමට තරම් සාධක අප සතුව නැත. ඒ අනුව මෙය විග්‍රහ කර ගත යුත්තේ පෞද්ගලික විරෝධයක් හෝ දේශපාලනික ව ඔද්දල් මනෝභාවයක ප්‍රකාශනයක් වශයෙන් හෝ පොදුවේ රටේ පැන නැඟී ඇති වර්තමාන ආණ්ඩුවට ඇති විරෝධයේ ප්‍රකාශනයක් වශයෙන් හෝ තමා සතු විශේෂතාව ප්‍රදර්ශනය කිරීම උදෙසා ලද මනරම් අවස්ථාවක් භාවිතයට ගැනීමේ බොලඳ මානසික තත්ත්‍වයක ක්‍රියාකාරකමක් වශයෙන් හෝ පමණි.

මෙම ක්‍රියාව කොන්ද පණ තියන උපාධිලාභීන්ගේ ප්‍රශංසනීය ක්‍රියාවක් ලෙස අගය කිරීම මඟින් ප්‍රකාශ වන්නේ කුමක් ද? මෙබඳු ක්‍රියා දිගටම සිදුවිය යුතු ය, මෙබඳු දේ කිරීමෙන් පූජාර්හ වන්නේ ය යන නිගමනයක් ඉන් ලැබේ. මෙබන්දන් කොන්ද පණ තියන උන් යැයි පවසන්නේ නම් එදා උපාධිලාභීන්ගෙන් 99% ක් වූ කොන්ද පණ නැත්තෝ වෙති. මේ 15 දෙනා අගය කළ යුත්තෝ නම් සෙසු සියලුදෙනා ගර්හාවට ලක් විය යුත්තෝ වෙති. මේ ක්‍රියාව ප්‍රශංසනීය නම් මින්පසුව ද මෙය, කළ යුත්තක් ම වෙයි. එසේත් නැතහොත් මෙච්චර වෙලාත් ආණ්ඩුවට විරුද්ධත්‍වය ප්‍රකාශ කරන්නෝ 3% වඩා අඩු වී ඇතැයි යන නිගමනය ගත යුතු වෙයි.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මානව නිදහස භුක්තිවිඳිනා ඕනෑම අයෙකුට තමාගේ උපාධිය කැමති අයුරකින් ලබා ගැනීමට හා භුක්ති විඳීමට නිදහස ඇත. යමෙක් අකමැති නම් අනුපස්තිථියෙහි උපාධි ලබා ගත හැකි අවස්ථාව ලබා දී ඇත්තේ ඒ අනුවයි. උපස්තිථියෙහි හෝ අනුපස්තිථියෙහි උපාධිය ලබා ගැනීමට සිය කැමැත්ත කලින්ම විමසන්නේ ද ඒ නිදහස භුක්ති විඳීමට ඉඩ දීමට හා උපාධි ප්‍රදානෝත්සවයක ගාම්භීරතාව රැකගැනීමට ය. ගෞරවනීය හා ගාම්භීර උපාධි ප්‍රදානෝත්සවයක් නින්දාවකට පත් කිරීමට හෝ ඊට අපහාස කිරීමට හෝ ඇති නෛතික නිදහස භුත්තිවිඳීම පිළිබඳව ද වඩාත් ම දන්නේ ඉහත කී නීති පීඨවල හා නීති ක්ෂේත්‍රයේ විද්වතුන් ම ය. කෙසේ වෙතත් සිද්ධිය නීතියෙන් නීත්‍යනුකූල වූව ද නොවූව ද සරසවි විනයෙන් නම් විනයානුකූල නොවෙයි. සම්මතයෙන් සම්මත නොවෙයි. ක්‍රියාවෙන් සම්භාව්‍ය ද නොවෙයි. එබන්දක් තමා විසින් දරා ගන්නේ කෙසේද යන්න විශ්වවිද්‍යාලයීය පාලක සභාව සහිත පාලන අධිකාරිය විසින් තීරණය කළ යුත්තකි.

මෙම ප්‍රතික­්ෂේප කරනු ලැබ ගස්සා ගෙන ගිය එක් උපාධිලාභිනියක් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු නායකයකුගේ පෙම්වතියක් යැයි කියවෙන සටහනක් අන්තර්ජාලයේ දිටිමි. එක් උපාධිලාභියෙක් කුලපති ස්වාමීන්ද්‍රයන් වහන්සේට තර්ජනාංගුලිය පෙන්වන ඡායාරූපයක් ද අන්තර්ජාලයේ දිටිමි. මින් ධ්වනිත වන ප්‍රකාශය කුමක් ද? තව ද තම ලෝගුවේ සඟවාගත් උපාධි මංජුසාවක් ගෙන එන උපාධිලාභියකුගේ ඡායාරූපයක් ද දිටිමි. එය කවර නම් ප්‍රකාශනයක ධ්වනියක් ද? හුදු ආණ්ඩු විරෝධයක් ප්‍රකාශ කිරීම අරමුණ වී ද? කතෝලික පියතුමකු ඉවත් කොට බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් පත් කිරීම පිළිබඳ විරෝධයක් ද? කිසියම් බමුණු කුලයක දුර්ගන්ධයක් ද? වෘත්තීය සමිති නායකයකුට විශ්වවිද්‍යාලවල පය ගැසීමට ඉඩක් නැතැයි යන උපකල්පනය මත සිදු වූවක් ද? ඒ සඳහා ආයතනික සහායක් හෝ අනුබලයක් හෝ අනුමැතියක් හෝ මෞනවෘත සහායක් හෝ වෙන්ඩ ඉඩහැර බලා සිටීමක් හෝ වී ද? යන්න අපැහැදිලි ය. වෘත්තීය සමිති නායකයින්ට කැබිනට් අමාත්‍ය තනතුරු, ආණ්ඩුකාර තනතුරුවල සිට බොහෝ තනතුරුවලට පත් වීමට හැකියාව ඇත්නම් මෙම තනතුරට පත්වීමට ඇති නොහැකියාව කුමක් ද?

මේ අතර ප්‍රථම උපාධිලාභීන් එසේ හැසිරෙද්දි රජරට විශ්වවිද්‍යලයීය ජාත්‍යන්තර කීර්තිධර පශ්චාද් උපාධිධර මහාචාර්යවරයකු එහි කුලපති ස්වාමීන්ද්‍රයන් වහන්සේට දෙදණ බිම ඔබා වැඳ සහතිකයක් ගනු දිටිමි. භික්‍ෂූන් වහන්සේට වන්දනා කිරීම වනාහි ශ්‍රී ලංකාවට සංගතව සභ්‍යත්‍ව ලක්‍ෂණ ප්‍රකට කොට කීර්තිමත් වීමක් මිස බයාදු කමේ ලක්‍ෂණයක් නොවන බව දත යුතුය.

අතිබහුතරයක් ඉහළ තනතුරු පත් කිරීම් දේශපාලනික ම වන්නේ ය. එකී තනතුරුලාභීහු විෂය ප්‍රවීණයෝ ම පමණක් වෙත්ද? ඒ සියල්ල දැන මුවින් නොබැන ඉවසා දරා සිට විරෝධය නොදක්වා කිසිවෙකුගෙන් පළිනොගන්නා වූ ද කිසිවෙකුගේ සිත් නොරිදවන්නා වූ ද අහිංසක හාමුදුරු නමකගෙන් මෙම පළිය ගැනීම ලොකු චණ්ඩිකමක් ද? පොලීසිය එන විට බෝක්කුව යට රිංගා පණ බේරාගන්නා බයගුල්ලෝ පන්සලේ හාමුදුරුවන්ට සරම උස්සා කුණුහරුපයෙන් බැණ වැදීමට තරම් නිර්භීත වනු මම දැක ඇත්තෙමි. එහෙත් එය ද සිදු වන්නේ හාමුදුරුවන් හෝ අඩුගාණේ ඇබිත්තයෙක් හෝ පෙරළා නොබණිනා බව ෂුවර් ම නම් පමණි.

නූතන විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන් විසින් ප්‍රතික්ෂේප කළ යුත්තේ කුමක් ද? නූතන ශ්‍රී ලංකාවේ උපාධිලාභීන්ගේ හා උපාධි අපේක්ෂකයන්ගේ විරෝධතා එල්ල වීම හා එල්ල විය යුතු තැන් දීර්ඝ ව සාකච්ඡා කළ යුතු තරමේ මාතෘකාවකි. මහපොළ, නේවාසිකාගාර ආදි පහසුකම් ඉල්ලා කරන සටන් ද විනය හා නීති ක්‍රියාමාර්ග ගත් සියසගයන් නිදහස් කර ගැනීම සඳහා වන අරගල ද හුරු අපට සිය පාඨමාලාවේ ගුණාත්මකභාවය වැඩි කරන ලෙස ඉල්ලා කරන අරගල පිළිබඳ තොරතුරු නැත. තමාට ලබා දෙන ඥානය හා ශික්ෂණය ප්‍රමාණවත් නැතැයි මැසිවිලි නඟනා විද්‍යාර්ථීහු නැත. නව ලොවට සරිලන පර්යේෂණ සඳහා වන දායකත්‍වයන්ට අදාළ ඉල්ලීම්, ව්‍යාපෘති හෝ වෙනත් යෝජනා පිළිබඳ කරන සාමූහික අරගල නැත. ජාතික අනන්‍යතා හා ප්‍රජා සුරක්‍ෂිතතාව උදෙසා කැපවීමට කරනා අරගල දකින්නට නැත. තම උපාධිය උදෙසා රැකියාවක් ද රැකියාවට සරිලන වැටුපක් ද ඉල්ලා කරන සටන්වල අඩුවක් නැත. තමා ඉගෙන ගන්නේ තම රටේ භාෂාවන් වන සිංහල හා දෙමළ භාෂාවෙන් නොව එංගලන්තයේ ඉංග්‍රීසියෙන් බව ප්‍රසිද්ධ ව කියා දේශීය හා ජාතික භාෂාවන්ගෙන් ඉගෙනීමට ඇති අයිතිය උදෙසා උද්ඝෝෂණය කරන ශිෂ්‍ය නායකයන් නැත. තමා ප්‍රායෝගිකව කරන්නේ රෝම-ලන්දේසී නීතිය බව දැන දේශීයේ අනන්‍ය නීතියක් ද හැදෑරීමට ඉල්ලා සටන් වදිනා නීති ශිෂ්‍යයන් නැත.

දේශීය තාක්ෂණයේ හොඳ හෝ නරක නොදැන උපකල්පිත කෘත්‍රිම විරෝධයන් පෑම හැර ඒවා තමාට උගන්වන්න යැයි කරන ඉල්ලීම් නැත. ඉතිහාසයේ ප්‍රෞඪභාවය අගයනු කෙසේ වෙතත් ඊට නින්දා අපහාස කරනු මිස තම භාෂාවට ද අතීතයට ද පර්යේෂණාත්මක අභිමානයක් එක් කරනා විද්වත්හු හෝ විද්‍යාර්ථීහු සුලබ නැත. විශ­්වවිද්‍යාල ක්ෂේත්‍රයේ ම වෙනත් කිසිදු දේශපාලන අත පෙවීමටකට ද සංවිධානාත්මක ව විරුද්ධත්වය ප්‍රකාශ කරන්නෝ නැත. පවත්නා අධ්‍යාපන රටාව වෙනස් කළ යුතු යැයි කියන්නේ නැත. නිරර්ථක අධ්‍යාපනයක් වෙනුවට අර්ථ සම්පන්ත අධ්‍යාපනයක් වෙනුවෙන් පෙනී සිටින්නෝ නැත. අයිවර් ජෙනිංන්ස්ගේ අනුකාරක දැනුම් ආධිපත්‍යය වෙනුවට අභයගිරි මහාවිහාර සම්ප්‍රදාය ඉල්ලා පිකට් කරන්නෝ නැත. එහෙයින් මේ විරෝධය වනාහි සාරිය පිළිගෙන වාටියට එරෙහි වීමකි.

Comments