හිටපු ප්‍රාදේශීය මන්ත්‍රී හුංගම පොලිසි‍ෙය්දී මැරුණාද...මැරුවාද... | සිළුමිණ

හිටපු ප්‍රාදේශීය මන්ත්‍රී හුංගම පොලිසි‍ෙය්දී මැරුණාද...මැරුවාද...

පොලිස් අත්අඩංගුවේදී මියගිය ප්‍රේමතිලක අමරවීර

* සිර මැදිරියේ ඇද වැටෙන ආකාරය සීසීටීවී කැමරාවේ සටහන් වේ 
* 2020 වසරේ අප්‍රේල් මාසයේ සිට මේ දක්වා පොලිස් බාරයට ගැනීමත් සමඟ මියගිය සැකකරුවන් 10කට අධිකයි
* මරණයට පත් හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන තිබුණේ නීති විරෝධි මත්පැන් ජාවාරම නිසා
- පොලීසිය කියයි 
* ඥාති හිතෛෂීන් මාර්ග අවහිර කරමින් හුංගම පොලිසියට විරෝධය දක්වයි

කුත් 18 වැනි සෙනසුරාදා උඳුවප් පුන් පොහෝ දින බොහෝ දෙනෙක් විවේක සුවයෙන් පසුවූ දිනයකි. එහෙත් පොලිස් ස්ථානවලට පොහෝ දිනය තරමක් රාජකාරි අධික දිනයක් වන්නේ නීතිවිරෝධි මත්පැන් ජාවාරම්කරුවන් නිසාවෙනි. එම නිසා රටේ සියලුම පොලිස් ස්ථානවල බොහෝ ඒකකවල නිලධාරිහු පොහෝ දිනවලදී මත් ජාවාරම් වැටලීමට එක්වෙති. තංගල්ල පොලිස් කොට්ඨාසයේ හුංගම පොලිස් ස්ථානයේ අපරාධ විමර්ශන අංශය, දූෂණ මර්දන අංශය ඇතුළු තවත් ඒකකවල නිලධාරිහු පසුගිය පොහෝ දින ප්‍රදේශයේ මත් ජාවාරම්වල නිරත වූවන් සොයා විමර්ශන සිදු කළහ.

ඒ අතර හුංගම පොලිසියේ දූෂණ මර්දන ඒකකයේ නිලධාරින්ට තොරතුරක් ලැබී තිබුණේ රන්න ප්‍රදේශයේ තිස්ස මාර්ගයේ පිහිටි හෝටලයක නීතිවිරෝධි ලෙස රජයේ මත්පැන් අලෙවි කරන බවටයි.

ඒ අනුව හුංගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ක්‍රිෂාන්ත ජයසිංහ දැනුම්වත්කොට එදින දහවලේ එම වැටලීමට දූෂණ මර්දන ඒකකයේ නිලධාරිහු පිටත් වූහ. අදාළ හෝටලය වූයේ රන්න - තිස්ස පාරේ පිහිටි සුජීව හෝටලයයි.

එම හෝටලය සෝදිසි කළ නිලධාරිහු එහි තිබී මිලිලීටර් 750 මත්පැන් බෝතල් දෙකක් සහ මිලිලීටර් 180 හෙවත් කාලේ බෝතල් 10ක්ද පොලිස් බාරයට ගැනිණි.

ඒ සමඟ හෝටලයේ හිමිකරු 61 හැවිරිදි ප්‍රේමතිලක අමරවීර නමැත්තාද අත්අඩංගුවට පත් වූහ. ප්‍රේමතිලක අමරවීර එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කළ තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකි. ‘සුජීව පොඩි මාමා’ ලෙසින් කා අතරත් ප්‍රකට ප්‍රේමතිලක අමරවීර පොලිස් නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ත්‍රිරෝද රථයක නංවාගෙන හුංගම පොලිසියට රැගෙනවිත් තිබුණේ එදින පස්වරු 1.45ට පමණය.

අනතුරුව නීතිවිරෝධිව පොහෝ දින රජයේ මත්පැන් විකිණීමේ චෝදනාවට පොලිස් බාරයට ගැනුණු ප්‍රේමතිලකගෙන් ප්‍රකාශ සටහන් කරගත් පොලිස් නිලධාරින් ඔහුව පස්වරු 2.15ට පමණ හුංගම පොලිසියේ සිර මැදිරියට ඇතුළුකර තිබිණි.

ඒ අතරේ ප්‍රේමතිලකගේ හිතෛෂින් ඔහුට ඇප ලබා ගැනීම සඳහා පොලිස් ස්ථානය වෙත පැමිණ සිටියහ. එහෙත් ප්‍රේමතිලක මීට පෙරද එනම් ඉකුත් නොවැම්බර් මස 15 වැනිදාද බලපත්‍ර රහිතව රජයේ අරක්කු විකිණීම මත පොලිස් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දඩ නියම කොට මුදාහැර තිබිණි. ඊට අමතරව ප්‍රේමතිලකගේ ගෝලයෙක්ද 2021 දෙසැම්බර් 04 දා මත්පැන් විකිණීම නිසා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කොට රුපියල් 5000ක දඩයක් නියම කෙරිණි.

එම නිසා හුංගම පොලිස් ස්ථානාධිපතිවරයා හිටපු මන්ත්‍රීවරයා පොලිස් ඇප මත මුදා හැරීමට එතරම් කැමැත්තක් දක්වා නැත. මේ අතරේ පස්වරු 3.19ට පමණ සිර මැදිරියේ සිටගෙන සිටි ප්‍රේමතිලක එක්වරම බිම ඇද වැටුණේ කිසිවකුටත් කිසිවක් සිතා ගැනීමටවත් නොහැකි ලෙසිනි. ඒ මොහොතේ සිර මැදිරියේ වූ තවත් සැකකාර සිරකරුවකුගෙන් යමක් විමසමින් පොලිස් නිලධාරියෙක් ඒ අසල සිටියේය.

පොලිස් ස්ථානය තුළ ඇද වැටුණු ප්‍රේමතිලක ක්ෂණයෙන් රෝහල්ගත කිරීමට හුංගම පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරිහු කටයුතු කළහ. ඒ වන විටත් මන්ත්‍රීවරයාගේ හිස බිම වැදීමෙන් රුධිරය වහනය වී ඇඳ සිටි සුදු පැහැති කමිසයේද රුධිරය පැල්ලම් දක්නට විය.

රන්න රෝහලට ඇතුළත් කළ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා ඒ වන විටත් මෙලොව හැර ගොස් තිබුණේ අවාසනාවන්ත ලෙසිනි.

ඒ සමඟම ප්‍රේමතිලකගේ ඥාතිහු ආවේගශීලීව හැසිරෙමින් චෝදනා කරන්නට වූයේ පොලිස් නිලධාරීන්ගේ පහර දීමෙන් ප්‍රේමතිලකගේ ජීවිතය නැති වූ බව පවසමිනි.

අනතුරුව රන්න ප්‍රදේශයේ ජනතාවද කතරගම - මාතර මාර්ගය ගල්ගොඩැලි තබා රන්න ග්‍රාමීය රෝහල ඉදිරිපිටින් අවහිරකොට විරෝධතාවක නිරත වූයේ හුංගම පොලිස් නිලධාරින්ට විරෝධය දක්වමිනි.

“අපට මේ මරණය සැකයි... පොලිසියේදී මැරුණ නිසා පොලිසිය වගකිව යුතුයි... වහාම මේ ගැන සාධාරණ පරීක්ෂණයක් සිදුකළ යුතු“ යැයි පවසමින් විරෝධතාවේ නිරත වූවන් විලාප දෙන්නට වූයේය. එසේම ප්‍රේමතිලකගේ ඥාතිහු චෝදනා කළේ ඔහුව පොලිසියට රැගෙන ඒමට පෙරදී හෝටලය තුළදී දණ ගස්වා පහර දුන් බවටයි.

එම විරෝධතාකරුවන්ගේ විරෝධතාව නිසා කතරගම - මාතර මාර්ගයේ දැඩි රථවාහන තදබදයක්ද ඇති විය. විරෝධතාකරුවන් ඉදිරියට පැමිණි හුංගම පොලිස් ස්ථානාධිපති ක්‍රිෂාන්ත ජයසිංහ සහ තංගල්ල සහකාර පොලිස් අධිකාරි රත්නවීර අඩස්සූරිය ඇතුළු පොලිස් නිලධාරින් මන්ත්‍රීවරයා පොලිස් ස්ථානය තුළදී මියයාම පිළිබඳව සාධාරණ පරීක්ෂණයක් සිදුකරන බවට පැවැසීමත් සමඟ විරෝධතාකරුවන් පාලනය කරගැනීමට හැකි විණි.

ඒ අතර හුංගම පොලිස් ස්ථානයේ සීසීටීවී කැමරාවක ප්‍රේමතිලක සිර මැදිරිය තුළදී එක්වරම ඇද වැටෙන ආකාරය සටහන්ව තිබුණේය. පොලිසිය විසින් එම සීසීටීවී වීඩියෝව ප්‍රසිද්ධ කෙරුණේ ජනතාවටද ප්‍රේමතිලකට පොලිසිය තුළදී වූයේ කුමක්ද යන්න මනා ලෙස දැනගැනීමේ අටියෙනි. පොලිසිය විසින් ප්‍රේමතිලකගේ මරණය පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කිරීමත් සමඟ අඟුණකොළපැලැස්ස මහේස්ත්‍රාත් දර්ශිමා ප්‍රේමරත්න හුංගම පොලිස් ස්ථානයට පැමිණ ස්ථානීය පරීක්ෂාවක් සිදු කෙරුණේ පොලිසිය තුළ වූ සීසීටීවී කැමරාද පරීක්ෂාවට ලක්කරමිනි.

ප්‍රේමතිලකගේ මරණය සම්බන්ධව පශ්චාත් මරණ පරීක්ෂණය හම්බන්තොට රෝහලේදී පැවැත්විණි. හම්බන්තොට අධිකරණ වෛද්‍ය නිලධාරිනිය විසින් ප්‍රේමතිලකගේ මරණයට හේතුව ලෙස හෘදයාබාධයකින් රුධිරවාහිනි අවහිරතාවක් නිසා සිදුවූ මරණයක් ලෙස වාර්තා කෙරිණි. එසේම ප්‍රේමතිලක මරණයට පත්වන මොහොතේදී අධික ලෙස බීමත්ව සිට ඇති බවත් පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී තිබිණි. මේ අතර ප්‍රේමතිලක පොලිස් අත්අඩංගුවට පත්වීමට දින කීපයකට පෙර හෘදයාබාධයක් වැලඳි හම්බන්තොට රෝහලේ දැඩි සත්කාර ඒකකයටද ඇතුළුව ප්‍රතිකාර ලබා නිවෙසට පැමිණ ඇත්තේ දින තුනකට පෙරදියි.

මේ පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව සඳහන් කළේ දකුණු පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නියෝග සහ උපදෙස් මත තංගල්ල දිස්ත්‍රික් 1 බාර සහකාර පොලිස් අධිකාරිවරයා යටතේ අම්බලන්තොට පොලිස් ස්ථානාධිපතිවරයා විසින් පරීක්ෂණයක් සිදුකරන බවයි.

පොලිස් සිර මැදිරය තුළදී වූ සැකකරුවකුගේ මරණයක් ඉකුත් නොවැම්බර් 17වැනිදා පනාමුර පොලිස් සිර මැදිරිය තුළදීත් සිදු විණි. සිර මැදිරිය තුළදී ඉන්දික ජයරත්න නැමැති සැකකරු හැඳ සිටි කමිසයෙන් ගෙළ වැළලාගෙන මියගිය බව වාර්තා වීමත් සමඟ අවට ගම්වාසීහු පනාමුර පොලිස් ස්ථානය වටලමින්, මාර්ග අවහිර කරමින් දැඩි විරෝධතාවක් දැක් වූහ.

ඉකුත් 2020 වසරේ අප්‍රේල් මාසයේ සිට මේ දක්වා පොලිස් බාරයට ගැනීමත් සමඟ මියගිය සැකකරුවන් සංඛ්‍යාව 10කට අධිකය.

ඒ අතර 2020 වසරේ ඔක්තෝබර් මාසයේදී පූගොඩ, පොල්ගස්ලන්ද පදිංචිව සිටි 21 හැවිරිදි තරුණයකු මත්ද්‍රව්‍ය චෝදනාවකට අත්අඩංගුවට ගෙන සිටියදී මරණයට පත්වීම තවත් ආන්දෝලනාත්මක සිදු වීමක් විය. තවද පාතාල අපරාධකාරයන් වන මාකඳුරේ මධුෂ්, ඌරු ජුවා, ගෝනාකෝවිලේ රොහා, ටින්කර් ලසන්ත සහ තවත් පාතාල අපරාධකාරයන් කිහිප දෙනෙක්ම මෑත කාලයේදී පොලිස් අත්අඩංගුවේ සිටියදී පලා යාමට තැත් කිරීමේදී පොලිස් වෙඩි පහරින් මිය ගියහ.

පොලිස් නිලධාරින්ගේ බාරයට ගෙන සිටියදී සැකකරුවන් මියයෑම නිසා මේ වන විට පොලිසියට එල්ල වන චෝදනා එතරම්ම හොඳ මට්ටමක නොමැත. එය රටක් ලෙසද ශ්‍රී ලංකාවට මහත් හානියක් ගෙන දෙන බව පසුගියදා පැවැසුවේ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස්ය. නීතිඥ සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් කීවේ,

“ඇත්තටම පොලිස් විමර්ශනවලදී ඇතැම් අවස්ථාවලදී විත්තිකරුවන්ට රළු ආකාරයෙන් කටයුතු කරන්න සිදු වෙනවා. සමහරවිට විත්තිකාරයකුට පහර දෙන්නේ නැතිව විමර්ශන සිදු කරන්න බැහැයි කියන ස්ථාවරයේ ඇතැම් පොලිස් නිලධාරින් සිටිනවා. නමුත් යම් ආකාරයකින් නීතියේ රැහැනට හසු වූවාම ඒ නිලධාරින් බේරන්න කවුරුත්ම ඉදිරිපත් වෙන්නේ නැහැ.

හැබැයි පොලිස් අත්අඩංගුවේ පසුවන සැකකරුවන් ආරක්ෂා කිරීමේ වගකීමක් පොලිසියට තියෙනවා. ඒ බව ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දු ගණනාවකින්ම දක්වා තිබෙනවා.

මෑත කාලයේ SCFR 577/2010 කියන නඩුවේ ඇඹිලිපිටිය පොලිස් අත්අඩංගුවට ගැනීමක් ගැනයි.

රාත්‍රී කාලයේ ආයුධ පෙන්වන්න කියමින් සැකකාරයව ගෙනියනවා විවෘත ජීප් රථයක. මාංචු කිසිවක් නොදාමින්. ඒ සැකකරු එක්වරම පොලිස් නිලධාරින්ගේ තුවක්කුව පැහැරගන්න හදනවා කියලා වෙඩි වැදෙනවා එම සැකකරු මිය යනවා. වසර 10කට පසුව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරනවා මෙය වෙන්න බැරි සිද්ධියක්. මේක පිළිගන්න බැහැ. අනතුරුව පොලිස් නිලධාරින්ට තම පෞද්ගලික මුදලින් රුපියල් 250,000 ගානේ හතර දෙනෙකුට නියම කරනවා ගෙවන්න.

එතැනදී තුරෙයිරාජන් විනිසුරුතුමා කියනවා තමුන් බාරයේ ඉන්නා සැකකරුවන් ආරක්ෂා කරන්න පොලිස් නිලධාරින් බැඳි ඉන්නවා කියලා. මා මේ පණිවිඩය දෙන්නේ පොලිස් අත්අඩංගුවේ පසුවන සැකකරුවන්ගේ ආරක්ෂාව තහවුරු වෙන්නෙ නැත්නම් ඒක අවසන් වශයෙන් මේ රටට ඇතිවන ප්‍රශ්නයක්. දැනටමත් මේ රටේ මානව හිමිකම් පිළිබඳ විවිධ තැන්වල ප්‍රශ්න කරනවා. නීතියේ ආධිපත්‍යය මානව හිමිකම් ආරක්ෂා වෙන්නේ නැත්නම් අවසානයේ සිදුවන්නේ මේ රටට පාඩමක් වගේම හානියක්.“




ඡායාරූප - මැදමූලන සමූහ 
එච්. ඒ. පී. සමරවික්‍රම

Comments