අරගලය අවිය කරගත් සටන්කාමියා | සිළුමිණ

අරගලය අවිය කරගත් සටන්කාමියා

රන්ජන් සේනානායක 

ලංකා බැංකු සේවක සංගමයේ ප්‍රධාන ලේකම්

 

 

”බැංකු කියන්නේ එක් පැත්තකින් ව්‍යාපාරයක්. ඒ ව්‍යාපාරයේ පැවැත්ම ආරක්ෂා වන්නේ අනෙකුත් සියලු ව්‍යාපාරවල පැවැත්ම මතයි. තමන්ගේ පැවැත්ම රැකගනිමින් අනෙක් ව්‍යාපාර ආරක්ෂා කිරීමේ වගකීම බැංකුවලට තිබෙනවා. කොවිඩ් අර්බුදවලින් බැංකු රැකගැනීම සඳහා රජය ලබාදුන් සහනවලට අපේ ස්තුතිය හිමිවනවා. එහෙත් පවතින අභියෝග පිළිබඳ ගැඹුරින් සලකා බලමින් බැංකු ආරක්ෂා කරගැනීමේ විධිමත් ක්‍රමවේදයක් සැකසීම රජයේ වගකීමක්”

ඒ හඬ, මෙරට ප්‍රමුඛතම බැංකු 18කින් සමන්විත ලංකා බැංකු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් සේනානායක ගේය. රටේ ආර්ථිකයත් බැංකු ක්ෂේත්‍රයත් ගැන ජනතා අවදානය වැඩි වශයෙන් යොමුවී ඇති පසුබිමක් තුළ බැංකු ක්ෂේත්‍රය මුහුණ දෙන අභියෝග ගැන මෙන්ම එකී අභියෝග ජයගැනීම සඳහා සිය වෘත්තීය සමිති නායකත්වය හසුරුවන අයුරු විමසීමට අප ඔහු කතාබහට එක්කර ගතිමු.

කුලියාපිටියේ බිංගිරිය ආසනයට අයත් කොන්කඳවල ගමේදී 1968 වසරේ අප්‍රේල් මස 28 වැනිදා උපන් රන්ජන් සේනානායකගේ මවුපියෝ වෘත්තියෙන් ගුරුවරුන් වූහ. දරුවන් දෙදෙනකුගෙන් යුතු පවුලේ වැඩිමහල් දරුවා වූ රන්ජන් පස්වැනි වසර දක්වා කෝන්කඳවල මහා විද්‍යාලයේ අකුරු කළ අතර ශිෂ්‍යත්ව විභාගය සමත් වීමෙන් අනතුරුව කුරුණෑගල මලියදේව විද්‍යාලයට ඇතුළත් විය. පාසල් වියේ කා අතරත් ජනප්‍රිය සිසුවකු වූ රන්ජන්, පාසලේ විවිධ සංගම් නියෝජනය කළ අතර විද්‍යාලයීය සාමාන්‍ය දැනුම කණ්ඩායමේ කැපීපෙනෙන සාමාජිකයකු විය. 1986 වසරේ අපොස උසස්පෙළ විභාගයට පෙනී සිටි ඔහු ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යා අංශයට ඇතුළත් වීමේ භාග්‍යය ලැබුවද එවකට රටේ පැවතියේ කලබලකාරී වාතාවරණයකි.

“රටේ තිබුණු තත්ත්වය නිසා විශ්වවිද්‍යාල ආරම්භ වීම ප්‍රමාද වුණ නිසා 1990 වසරේ පැවැති තරග විභාගයකින් පසු මම මාණ්ඩලික සහකාරවරයකු ලෙස මහජන බැංකුවට බැඳුණා. විශ්වවිද්‍යාල නැවත ආරම්භ කළාම කැම්පස් යනවද දිගටම බැංකුවේ ඉන්නවාද කියලා තෝරාගැනීමක් කරන්න මට සිදුවුණා. ඒකට හේතුව අපිව බැංකුවට බඳව ගත්තේ අවුරුදු 5ක දිස්ත්‍රික්ක පදනමින් වීම නිසයි. ඒ වෙද්දි මම පදිංචි වෙලා හිටියෙ නාරම්මල නිසා කැම්පස් යන එක ගැටලුවක් වුණා. ඒ නිසා විශ්වවිද්‍යාල අධ්‍යාපනය පළමු වසරේදීම අත්හරින්න මට සිදුවුණා. දිගටම බැංකුවේ වැඩ කළ මම ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ විභාග 1996 වසරේදී අවසන් කළා. 2001 වසරේදී මම සහකාර කළමනාකාර තනතුරටත් 2008දී කළමනාකාර තනතුරටත් 2015 වසරේදී ජ්‍යෙෂ්ඨ කළමනාකරු තනතුරටත් උසස්වීම් ලැබුවා.”

වෘත්තීය ගමන් මඟේ පිය සටහන් එසේ සිහි කළ රන්ජන් සේනානායක වෘත්තීය සමිති වෙත නැඹුරු වූයේ කෙසේදැයි අප ඔහු විමසීමු.

“මහජන බැංකුවේ සේවයට බැඳිලා සේවය ආරම්භ කරද්දිම ආධුනිකයන් වූ අපව එවකට තිබූ එජාපයේ ජාතික සේවක සංගමයට බඳවා ගත්තා. කුඩා කාලයේ ඉඳලම අප්පච්චි නිසා අපේ ගෙදර තිබුණේ වාමාංශික දේශපාලන පසුබිමක්. ඒ නිසාම නිරායාසයෙන් මටත් ඒ දේශපාලන ආභාසය ලැබුණා. 88,89 භීෂණ කාලයේ ඒ නැඹුරුව තවත් වැඩිවුණා. ඒ නිසාම බැංකුවට ඇවිත් වැඩි දවසක් යන්න කලින් මම ලංකා බැංකු සේවක සංගමයට බැඳුණා.”

රන්ජන් සේනානායක 1992දී සිය වෘත්තිය සමිති ගමන් මඟ ආරම්භ කරන්නේ ශාඛා සංගමයේ නියෝජිතයකු ලෙසටය. 1997 වසරේ සිට සංගමයේ මධ්‍යම කාරක සභිකයකු , 1996 වසරේ සිට කුරුණෑගල දිස්ත්‍රික් සංවිධානයේ නිලධාරියකු ලෙස කටයුතු කළ රන්ජන් සේනානායක, 2006 වසරේ සිට ශාඛා සංගමයේ ලේකම් ඇතුළු විවිධ තනතුරු ගණනාවක් හොබවා ඇත. 2004දී ඔහු කොළඹ ප්‍රධාන කාර්යාලයේ සේවය සඳහා පැමිණෙන්නේ මහජන බැංකුවට පරිගණක තාක්ෂණය හඳුන්වා දීමේ වැඩසටහනේ පුහුණුකරුවකු ලෙසටය. ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ යාවජීව සාමාජිකයකු වන ඔහු කැලණිය විශ්වවිද්‍යාලයේ වාණිජපති පශ්චාත් උපාධිධාරියෙකි. 2017 වසරේ සිට මවු සංගමයේ ප්‍රධාන ලේකම් ධුරය හොබවන රන්ජන් සේනානායක සංගමය නියෝජනය කරමින් විදේශීය සමුළු, සම්මන්ත්‍රණ ගණනාවකට සහභාගි වී ඇති අතර මේ වන විට මහජන බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකරුවකු ලෙස කටයුතු කරයි.

“මගේ අප්පච්චිගෙන් මම දැක්ක ප්‍රධානම ගුණාංගය ඔහු අසාධාරණය හමුවේ නැඟී සිටින චරිතයක්. අපේ ගෙදර තිබුණු දේශපාලන පසුබිම නිසා කුඩා කාලේ ඉඳලම මටත් ඒ ගැන උනන්දුවක්, ආශාවක් ඇතිවුණා. ඡන්දෙ දවස්වලට මමත් නිදි වරාගෙන ප්‍රතිඵල අහනවා, ලියනවා. අප්පච්චි ගෙනත් දෙන දේශපාලන පොත්පත් කියවනවා. අප්පච්චිගේ ආභාසය නිසාම මටත් අසාධාරණයට විරුද්ධව කතාකරන, නැඟී සිටින පුරුද්ද නිරායාසයෙන් ලැබුණා. රටේ තිබුණු කලබලකාරී වාතාවරණය තුළ ඒ ස්වාභාවය තවත් වැඩි වුණා. බැංකුවේ සේවයට ඇවිත් වෘත්තිය සමිතියට බැඳුණට පස්සේ මා තුළ තිබුණු ඒ ගතිලක්ෂණ ජ්‍යෙෂ්ඨයන්ගේ අවධානයට යොමු වුණා වගේම ඔවුන් මාව එවැනි අවස්ථා සඳහා යොමු කළා. වෘත්තිය සමිති ජීවිතය පෝෂණය වෙන්න ඒ කාරණාත් බලපෑවා. වෘත්තිය සමිතියකට බැඳිලා වැඩකරන්න එක්තරා ‘උණක්’ තියෙන්න ඕනේ කියලයි මම හිතන්නේ. ඒකට හේතුව සාමාන්‍ය කෙනෙකුට වැඩිය කැපකිරීමක් කරන්න වෙනවා, අවදානමක් ගන්න වෙනවා. මා තුළ පාසල් වියේ සිටම ඒ උණ ටිකක් වැඩිපුර තිබුණා කියලා මට හිතෙනවා. මගේ වෘත්තීය සමිති ජීවිතයට පූර්වාදර්ශයක් වුණේ ශාඛා සංගමයේත් මවු සංගමයේත් දීර්ඝාකාලීන සභාපතිත්වය දැරූ පී. බණ්ඩාර සහෝදරයා. ඔහුගේ නායකත්වය, පෞරුෂත්වය නිසා මම වෘත්තිය සමිති ජීවිතයට වඩාත් ආකර්ෂණය වුණා. වෘත්තිය සමිති නායකයෙක් විදිහට මම සංවර්ධනය වුණේ නිවෙස, පාසල සහ ලංකා බැංකු සේවක සංගමය නිසයි”

ඔහු ඒ අතීතය සිහි කරන්නේ උද්යෝගයෙනි.

“ලංකා බැංකු සේවක සංගමයේ ස්වාධීන බව නිසා වගේම කම්කරුවාගේ සිට විධායක ශ්‍රේණියේ නිලධාරියා දක්වා සංගමයේ සාමාජිකත්වය දැරීමට අවස්ථාව සලසා තිබීම නිසා හත් දහසක් පමණ වන බැංකු සේවකයන් ගෙන් හය දහසක් පමණ ලංකා බැංකු සේවක සංගමයේ සාමාජිකත්වය දරනවා. වසර 2කට වරක් නිලවරණයකින් නිලධාරින් තෝරාගන්නා නිසා මෙහි යාවජීව නායකයෝ නැහැ. පෞද්ගලිකව අපි කුමන දේශපාලන මත දැරුවත් අපේ සංගමය කිසිදු දේශපාලන පක්ෂයක වල්ගයක් නෙවෙයි. ඒ වගේම වසර 3කට වරක් අපේ සංගමයට අයත් බැංකු 18 සමඟම වෙන වෙනම සාමුහික ගිවිසුම් අත්සන් කිරීමත් අප විසින් සිදු කරනවා ”

වෘත්තීය සමිති ක්‍රියාකාරීත්වය තුළ සිය ඉල්ලීම් දිනාගැනීමට සංගමය මැදිහත් වූ අවස්ථා රැසක් රන්ජන් සේනානායකගේ මතකයේ වේ. දිස්ත්‍රික් මට්ටමේ නායකයකු ලෙස කටයුතු කරමින් සිටියදී 2000 වසරේ මුල්භාගයේ පැවති රාජ්‍ය බැංකු පෞද්ගලීකරණය කිරීමේ වැඩපිළිවෙළට විරුද්ධව සංගමයේ නායකත්වය සමඟ එක්ව රට පුරා ගෙන ගිය විරෝධතා සහ වැඩ වර්ජන තුළින් එකී යෝජනාව ආපස්සට හැරවීමට ලැබීම විශාල ජයග්‍රහණයක් බව ඔහු පැවසීය. එමෙන්ම බැංකු සේවක විශ්‍රාම වැටුප් අයිතිය අහෝසි කිරීමට විරුද්ධව 2000 වසරේ සිට ගෙන ගිය අරගලය 2005 වසරේදී තීව්‍ර වූ බවත් එය වසර කිහිපයක් දුරට ඇදී ගිය අයුරුත් රන්ජන් ආවර්ජනය කළේය.

“2008දී අපි 10,000ක් පමණ බැංකු සේවකයන් කොළඹට ගෙනාවා. ස්ථාන පහකින් ආව සාමාජිකයන් විහාරමහාදේවි උද්‍යානයට රැස්කරලා දැවැන්ත විරෝධතා රැලියක් පැවැත්වුවා. ඒ වෙනුවෙන් ගෙන ගිය අඛණ්ඩ අරගලයේ ප්‍රතිඵලයක් විදිහට 2014දී විශ්‍රාම වැටුප් අයිතිය නැවත ස්ථාපිත කරගන්න අපිට හැකිවුණා. ඒ වගේම යහපාලන ආණ්ඩුව 2015 ඔවුන්ගේ පළමු අයවැයෙන් ගෙන ආ බැංකු පද්ධතියට අහිතකර යෝජනා ගණනාවකට විරුද්ධව අපේ සංගමට ඇතුළු වෘත්තීය සමිති ඒකාබද්ධ අරගලයක් කළා. 2015 දෙසැම්බර් 15 වැනිදා අපි ඒ වෙනුවෙන් වැඩවර්ජනයක් කිරීමට සූදානමින් හිටියත් ඉල්ලීම් දෙනවා කියන ආණ්ඩුවේ පොරොන්දුව මත සියලුම වෘත්තීය සමිති වර්ජනයෙන් ඉවත් වුණා. නමුත් ලංකා බැංකු සේවක සංගමට විදිහට අපි ඒ පොරොන්දු පිළිනොගෙන දිගටම වර්ජනයේ නිරත වුණා. කොටුවේ දුම්රිය ස්ථානය ඉදිරිපිටට සාමාජිකයන් 10,000ක් පමණ රැස්කරලා කළ ඒ උද්ඝෝෂණය නිසා අයවැය යෝජනා සියල්ල ඉවත් කරගන්න ආණ්ඩුව කටයුතු කළා . මංගල සමරවීර මුදල් ඇමතිවරයා ඉතිහාසයේ පළමු වතාවට ඔහුගේ අයවැය යෝජනාවලට රාජ්‍ය බැංකුවල කොටස් සියයට 10ක් විකුණන යෝජනාව ගෙන ආ අවස්ථාවේත් අපි නැවත අරගලයට ගියා. වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය විදිහට අපි පොදු දේපළ හා මානව හිමිකම් සුරැකීමේ සන්ධානය හදලා ‘රට කොයිබටද’ නමින් රට පුරා දැවැන්ත විරෝධතා රැලි මාලාවක් සංවිධානය කළා. එවකට පැවති ආණ්ඩුව පළාත් සභා කිහිපයකින් පරාද වීම නිසා ඒ අයවැය යෝජනා ක්‍රියාත්මක වීම නැවතුණා වගේම වැඩි කාලයක් යන්න කලින් ආණ්ඩුවත් පෙරළුණා. නමුත් රාජ්‍ය බැංකු පෞද්ගලීකරණය කිරීමට එරෙහි අරගලය තුළ අපේ සංගමය දිගටම ඉන්නවා”

එසේ කී රන්ජන් සේනානායක රාජ්‍ය බැංකු පෞද්ගලීකරණය කළ යුතු බවට ඇතැමුන් දරන අදහස ගැන ද පැහැදිලි කිරීමක් කළේය.

“අපේ රටේ රාජ්‍ය ආයතන විශාල ප්‍රමාණයක් මහාභාණ්ඩාගාරය මත යැපෙද්දි රාජ්‍ය බැංකු බදු සහ ලාභාංශ ලෙස බිලියන ගණනාවක් අණ්ඩුවට වාර්ෂිකව උපයා දෙනවා. රටේ අධ්‍යාපනය, සෞඛ්‍යය සහ යටිතල පහසුකම් සඳහා දායක වන බැංකු පෞද්ගලීකරණය කළොත් බැංකු උපයන ලාභයෙන් සතයක්වත් ආණ්ඩුවට ලැබෙන්නෙ නැහැ. පෞද්ගලික බැංකු හා සැසඳීමේදී රාජ්‍ය බැංකුවලින් යම් යම් අඩුපාඩු සිදුවන බවට මහජනතාව චෝදනා කරනවා. ඊට හේතුව පෞද්ගලික බැංකු වලට සාපේක්ෂව රාජ්‍ය බැංකු විශාල පරාසයක් තුළ විහිදී තිබීමයි. රටේ පොලී අනුපාතිකය තීරණය කිරීමේදී එය ජනතාවට දැරිය හැකි සාධාරණ මට්ටමක පවත්වාගෙන යා යුතු බවත් බැංකුවල ලාභය උපරිම කරනවා වෙනුවට ජනතාවට සලසන සේවය වැඩි කළ යුතු බව අපේ සංගමයේ අදහසයි. අපට තිබෙන එකම සංවර්ධන බැංකුව ප්‍රාදේශීය සංවර්ධන බැංකුව පමණයි. නමුත් රටට තවත් සංවර්ධන බැංකුවක අවශ්‍යතාව තිබෙන බව අපි ආණ්ඩුවට යෝජනා කර තිබෙනවා. ඒ වෙනුවෙන් උපරිම සහයෝගය ලබාදීමට අපි සංගමය සූදානම්”

එවැනි කැපකිරීමක් තිබුණද වෘත්තීය සමිති ජීවිතය සුමුදු, සරල වූවක් නම් නොවේ. එවැනි රළු පරළු අත්දැකීම් ගැන ද අප ඔහුගෙන් විමසුවෙමු.

“2016 දී මහජන බැංකු ශාඛා ලේකම් ලෙස සිටියදී සභාපති ලෙස කටයුතු කළේ හේමසිරි ප්‍රනාන්දු. බැංකුවේ නව ඩිජිටල්කරණ ව්‍යාපෘතියට මෘදුකාංග මිලදී ගැනීමට කැඳවූ ටෙන්ඩරය වංචාවක් සිදුවන බවට තොරතුරු ලැබුණාම අපි ඒ ගැන සොයා බැලුවා. ඒ තොරතුරු සාමාජිකයන්ට දැනුම් දෙන්නේ විවර්ණිකාවක් මඟින්. අපි ඒ කරුණු හෙළිකරළා විවර්ණිකා පත්‍රිකාවක් සැකසුවත් ඊට අත්සන් කිරීම සභාපති ඇතුළු කිහිපදෙනකු විසින් ප්‍රතික්ෂේප කළා. එවකට අපේ ශාඛා සංගමයේ සිටි 6 දෙනාගෙන් මම ඇතුළු තිදෙනකුගේ අත්සන් සහිතව අපි ඒ විවර්ණිකාව නිකුත් කළා. එයින් පසු සංගමය දෙකට කැඩුණා. කොටසක් කළමනාකාරීත්වයට පක්ෂ වෙද්දි අනිත් කොටස කළමනාකාරීත්වයේ මර්දනයට ලක්වුණා. විවර්ණිකාව පදනම් කරගනිමින් බැංකුව විනය පරීක්ෂණයක් පවත්වලා අපේ වැඩ තහනම් කළා. ඊට අමතරව අපෙන් මිලියන 50ක වන්දියක් ඉල්ලා නඩු පැවරුවා. ඒ අවස්ථාවේ ලංකා බැංකු සේවක සංගමය අපිත් එක්ක හිටියා. අතුරු තහනමක් අරගෙන අපේ වැඩ තහනම නවත්වගන්න හැකිවුණත් බැංකුව අපේ නිදහස අහෝසි කරලා නැවත රාජකාරියට කැඳෙව්වා. අපට දී තිබුණු සියලු පහසුකම් අහෝසි කළා. මරණ තර්ජනවලටත් මුහුණ දුන්නා. නමුත් අපි දිගටම සටන ගෙනගියා. ඒ සමඟම ශාඛා සංගමයේ නිලවරණයත් ආවා. එයට තරග කරලා අපි නැවත බලයට ආවා. ඒ ප්‍රශ්නය වැඩවර්ජනයක් දක්වා දුරදිග යද්දි වර්ජනය පැවැත්වීමට නියමිත දිනට පෙර දින සභාපතිතුමා සහ කළමනාකාර මණ්ඩලය අප සමඟ එකඟතාවකට පැමිණියා. ඒ නිසා වර්ජනය නතර කළා. බැංකුව අපට විරුද්ධව ගොනුකර තිබූ නඩු ඉල්ලා අස්කරගෙන අපට යළි පහසුකම් ලබාදුන්නා. ඒ අතර සභාපතිතුමත් බැංකුවෙන් ඉවත් වුණා. අවුරුද්දයි මාස 5ක් අඛණ්ඩව පැවති ඒ අරගලය තමයි මෙතෙක් මුහුණ දුන් බරපතළම මර්දනය”

ලංකා බැංකු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ධුරයේ වගකීම් සම්භාරයට අමතරව රන්ජන් සේනානායක, වෘත්තිය සමිති 26කින් සැදුණු පොදු දේපළ හා මානව හිමිකම් සුරැකීම් මධ්‍යස්ථානයේ කැඳවුම්කරු ලෙසත් වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණේ විධායක සභිකයකු ලෙසත් කටයුතු කරයි. රන්ජන් සේනානායකට සිය ජීවන සහකාරිය ලාලනී අධිකාරි හමුවන්නේ ද මාණ්ඩලික සහකාර නිලධාරින් ලෙස හෙට්ටිපොළ මහජන බැංකුවෙන් බැංකු රැකියාව ආරම්භ කරද්දීය. එහිදී ඇතිවූ සුහදතාව මල්ඵල දරමින් 1996දී විවාහ වන ඔවුන් දෙපළට දරුවන් තිදෙනකි. වැඩිමහල් දියණිය චමෝදි නෙරංජනා ජයවර්ධනපුර සරසවියේ විද්‍යා අංශයේ තෙවැනි වසර සිසුවියකි. දෙවැන්නා පුතු තමිඳු අකලංක කැලණිය විශ්වවිද්‍යාලයට ප්‍රවේශ වරම් ලබා ඇත. බාල පුතු ඉඳුසර රවිඳු මලියදේව විද්‍යාලයේ ගණිත අංශයෙන් උසස්පෙළ හදාරයි.

“වෘත්තීය සමිතියක වැඩ කරද්දි විවේකය ඉතාම අඩුයි. බිරියත් අපේ ශාඛා සංගමයේ සාමාජිකාවක් නිසා එයාට වෘත්තීය සමිති කටයුතු ගැන අවබෝධයක් තියෙනවා. ඒ නිසා අපි අතර ඒ සම්බන්ධයෙන් ගැටලුවක් නැහැ. වෘත්තීය ජීවිතයට බිරියගෙන් ලැබෙන සහයෝගය වගේම මේ වෙද්දි වයස අවුරුදු 86ක් වන මගේ අම්මගෙන් ලැබෙන සහයෝගයත් විශේෂයෙන් මතක් කළ යුතුමයි.”

වෘත්තීය වගකීම් වෙනුවෙන් කාර්යබහුල වුවද පවුල සහ ආදරණීයයන්ට ප්‍රමුඛස්ථානය ලබාදීම රන්ජන් සේනානායකගේ ජීවිතයේ සාර්ථකත්වයේ ප්‍රබල සාධකයක් යැයි හැඟේ.

“කොයිතරම් කාර්යබහුල වුණත් මාසෙකට සැරයක් හරි පවුලේ අය එක්ක විනෝද ගමනක් යන එක පුරුද්දක්. අවිවේකී වුණත් පොත් කියවන්න මම කොහොමහරි කාලය හොයාගන්නවා. කියවීම පුංචි කාලේ ඉඳලා මට තියෙන පුරුද්දක්. ඒ වගේම සතියකට එක චිත්‍රපටයක්වත් බලනවා. ඒකෙන් දැනුම විනෝදය ලැබෙනවා වගේම මානසික පීඩනය නිදහස් කරගන්නත් පුළුවන්. හැමදේම උපේක්ෂාවෙන් බාරගන්න තරමට ජීවිතය සැහැල්ලුයි. ඒ සතුට, සරල බව මම අත්විඳිනවා. මම සතුටින් ඉන්නවා වගේම මම හැමවිමටම උත්සාහ කරන්නේ මා එක්ක ඉන්න හැමකෙනාම සතුටින් ඉන්නවා දකින්නයි. ජීවත් වෙන කෙටි කාලයේදී මානසික සුවතාව අපි හැම දෙනාටම වටින බව මගේ හැඟීමයි“ ඒ දර්ශනය ඔහුගේ ජීවිතයේ සාර්ථකත්වයේ රහස යැයි හැඟේ.

ඡායාරූප - දුෂ්මන්ත මායාදුන්නෙ

 

Comments