සේනකට ගයනා වෙරළේ කපුරු දර සෑයක්! | සිළුමිණ

සේනකට ගයනා වෙරළේ කපුරු දර සෑයක්!

 

අන්ක්ටෑඩ් සංවිධානයේ තාක්ෂණය හුවමාරුකිරීමේ අංශ ප්‍රධාන සුරේන්ද්‍ර ජේ. පටල් සේනකට ලිපි කීපයක් ම එවී ය. 1976 දෙසැම්බර් 16 වැනිදා එවූ ලිපියේ මෙසේ සඳහන් විය.

 

“සංවර්ධනය වෙමින් පවතින රටවල් ජාතික වශයෙන් සහ ජාත්‍යන්තර වශයෙන් අනුගමනය කළ යුතු ඖෂධවේදී ප්‍රතිපත්තිය කෙබඳු විය යුතු දැයි දැන් මහත් උනන්දුවෙන් සාකච්ඡා වෙනවා. මෙහි මුල් පියවරක් වශයෙන් අන්ක්ටෑඩ් සංවිධානය යුනිසෙෆ් සහ ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ සංවර්ධනය වන රටවල ආර්ථික සහයෝගිතාව පිළිබඳ සමුළුව එක් වී සංවර්ධනය වන රටවල ජනතාවගේ සෞඛ්‍යය ද ආරක්ෂා වන පරිදි කටයුතු කිරීමට උදව් කිරීමට කාර්ය බළකායක් පිහිටුවීමට දැන් සූදානම් වෙනවා. 1977 – 78 වසරවල අනුගමනය කළ යුතු වැඩපිළිවෙළ පිළිබඳව දැනටමත් මේ කාර්ය බළකාය පැහැදිලි අවබෝධයක් ලබාගෙන තිබෙනවා.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ඖෂධ සංස්ථාව පිහිටුවීම හා ජාතික ඖෂධ ප්‍රතිපත්ති සකස් කිරීමේ දී ඔබ ඉටු කළ කාර්ය භාරය සලකා මේ ක්ෂේත්‍රයේ කටයුතුවලදී අන්ක්ටෑඩ් සංවිධානය ඔබගෙන් ලැබෙන සහයෝගය ඉතා අගය කොට සලකනවා.

ඉතා ඉක්මනින් අප හා එක්වන මෙන් මා ඉතා ගෞරවයෙන් ඔබෙන් ඉල්ලනවා.”

* * * * * *

අන්ක්ටෑඩ් සංවිධානයේ ජ්‍යෙෂ්ඨ ඖෂධ විශේෂඥ තනතුරට සේනක පත් කිරීමේ ලිපිය ලැබිණ.

1977 මාර්තු 31 වැනිදා ඔහු විදේශගත වන බව ඇසූ අති විශාල පිරිසක් මහනුවර බහිරව කන්දේ ඔහුගේ නිවසට පැමිණ, හඬා දොඩා ගියහ. ඖෂධ සංස්ථාවේ සියලුම සේවකයෝ ද සිය පැරණි ස්වාමියා ගෙන් සමු ගැනීමට ගිය හ.

ඔහු මේ තනතුරට පත් වූ බව ඇසූ ස්පාඤ්ඤයේ දොස්තර පීටර් ඕ. බ්‍රයන් අනතුරු ඇඟවීමක් කෙළේ ය.

“නුඹ දිළිඳු රටවල ජනතාව සේවය කිරීමට යාම ගැන මා සතුටු වෙනවා. කවදා හරි නුඹගේ මළ සිරුර අප්‍රිකාවේ ගඟක පාවෙනවාය කියා මට ආරංචි වුණොත් මා පුදුම වන්නේ නැහැ. ඊට වගකිව යුත්තේ කවුදැයි මා දන්නවා.”

31 වැනිදා උදේ පිබිදුණ සේනකට කලෙකට පෙර කැරුණු ඉල්ලීමක් සිහිවිය. ඒ උපසේන ජයරත්න සඳහා චරිත සහතිකයක් ලිවීම ය. ඔහු ඒ සහතිකය ලීවේ ය.

ඖෂධ සංස්ථාව ඇරැඹුණු දා සිට සේනක සමඟ එකට ජීවත් වූ කල්‍යාණ මිත්‍රයකු, සැබෑ සහෝදරයකු වූ ඔහු, සංස්ථාවේ වෘත්තීය සමිතියේ ලේකම් සහ සේවක කමිටුවේ සභාපති වශයෙන් සංස්ථාව රැක ගැනීමට පෙරමුණේ ම සිටි ඔහු, සඳහා චරිත සහතිකයක් ලියන මේ අවස්ථාවේ සේනක සිටියේ අතිශය උද්වේගතර හැඟීම්වලින් ඇවිස්සෙමිනි.

“මගේ ප්‍රේමණීය සහෝදරවරුන්ගෙන් කලකට වෙන්වෙමි. එහෙත් මම ලෝක සහෝදරත්වය සමඟ එක්වෙමි. සහෝදරවරුනි, අප කොතැන සිටියත් ජතාවට සේවය කරමු. ඒ තුළින් ලෝක සහෝදරත්වයට එක්වෙමු.”

ඔහු තොල මතුරමින් පෑන තබා රියට නැඟුණේ ය.

කටුනායක ගුවන් තොටුපළ අසල දී පයින් යන උපසේන ජයරත්න ඇතුළු සංස්ථා සේවකයන් කීප දෙනකු දුටු සේනක රිය නතර කෙළේ ය.

සේනක චරිත සහතිකය රැඳුණු ලියුම් කවරය උපසේනට දුන්නේ ය.

“හොඳට ලියවුණා කියල මට හිතන්න බැහැ” සේනක කී ය. එය ලංකාවේ දී සේනක ලියූ අවසාන ලිපිය බව උපසේන මෙන් ම සේනක ද දැන සිටියේ නැත.

ගුවන් තොටුපළේ ලංකා තේ මධ්‍යස්ථානයට ගොස් උපසේනලාට තේ පැන්වලින් සංග්‍රහ කළ සේනක මෙසේ කී ය.

“තාවකාලිකව අපේ රටත් ජනතාවත් පසුබසින බව ඇත්ත. ධනපති අධිරාජ්‍යවාදීන් ජය ලබන බව පෙනුණත් ස්ථිර ජය හිමි වන්නේ පොදු ජනතාවට. ඒක ඓතිහාසික සත්‍යයක්. දැන් මඳක් ඉවසිල්ලෙන් ඉන්න. ඔබට අපට යළි වේලාව එයි.

මා ජ්‍යෙෂ්ඨ ඖෂධ විශේෂඥයා ලෙස අන්ක්ටෑඩ් සංවිධානය පත් කරලා තිබෙනවා. දිළිඳු රටවල් දහතුනක (13) ඖෂධ ප්‍රතිපත්ති පිළිබඳ කටයුතු කිරීමට මට පැවරී තිබෙනවා. මගේ රටේ එය කිරීමට ඉඩ නැති නිසා මම මෙසේ යනවා. ඔබ හැමට සුබ පතනවා.”

* * * * * *

ජිනීවා නගරයේ පිහිටි අන්ක්ටෑඩ් සංවිධානයේ කාර්යාලයට ගොස් නව තනතුරේ වැඩ ඇරැඹු සේනකට ඒ කාර්යාලයට නුදුරින් වූ නිවසක් පදිංචිය සඳහා ලැබිණ. උදෑසන සිට රෑ වන තුරු සේනකට වැඩ තිබිණ. ලීලා නිවසේ තනිව සිටියාය.

වැඩෙහි යෙදෙන සේනකට ඇගේ තනිකම සිහිවෙයි. ඔහු විටින් විට ඇයට දුරකථනයෙන් ඇමතුවේ ඒ නිසා ය.

ඔහුට බාර දී ඇති රටවල් දහතුන පිළිබඳ තොරතුරු රැස් කරමින් ඔහු බොහෝ දිනවල මැදියම් රැය වන තුරු කාර්යාලයේ වැඩ කළේ ය.

ඖෂධ සංස්ථාවේදී ඔහු අවිවේකීව ගෙවූ ජීවිතය යළි ඇරැඹී ඇති බව ලීලාට පෙනිණ. ඇය සමඟ සුරතල් බස් කීමට ඔහුට ඉඩ නැත. ලීලා හුදකලාව ප්‍රංශ භාෂාව හදාරන්නට පටන් ගත්තා ය.

අන්ක්ටෑඩ් සංවිධානයේ මෙහෙයීමෙන් මැලේසියාවේ, ඇෆ්ගනිස්ථානයේ හා නේපාලයේ නව ඖෂධ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව සොයා බැලූ සේනක ඒ පිළිබඳ වාර්තා ප්‍රධාන කාර්යාලයට ඉදිරිපත් කෙළේ ය. ඒ වාර්තා සහ මූලික වශයෙන් අවධානය යොමු වූ රටවල් දහතුන පිළිබඳව සේනක ඉදිරිපත් කළ තොරතුරු අන්ක්ටෑඩ් සංවිධානයේ විශේෂ අවධානයට ලක් විය. වහා ක්‍රියාත්මක කළ යුතු වැඩ පිළිවෙළක් ද සේනක ඉදිරිපත් කොට තිබිණ.

කැරිබියන් දූපත්වල ද සංචාරය කොට විශේෂ වාර්තාවක් ඉදිරිපත් කරන මෙන් ඒ සංවිධානය සේනකගෙන් ඉල්ලීමක් කෙළේ ය.

ට්‍රිනිඩෑඩ්, ජැමෙයිකා, බාබේඩෝස්, ඩොමිනිකා, ග්‍රෙනාඩා, ඇන්ටිගා, පුවටොරිකෝ, සැන්ක්‍රාවා, ගයනා යන ඒ දූපත් රටවල ඖෂධ ප්‍රතිපත්ති සකස්කිරීම සඳහා සේනක ගේ ප්‍රධානත්වයෙන් හය දෙනකුගේ කණ්ඩායමක් සකස් කැරිණ.

ජැමෙයිකා දූපතේ කාපිරි අයකු වන ආචාර්ය රොල්ප් රිචඩ්ස්, ගයනා ඖෂධ සංස්ථාවේ සභාපති චීන ජාතික ගස් ලී, ගයනා ජාතික ජෝජ් බෙයිඩ්, කාපිරි අයකු වන හෙන්රි ලෝ, පකිස්තාන ක්‍රිකට් නායක ඉම්රාන් ඛාන් ගේ සහෝදරියක වන රුබීනා ඛාන් ඒ කණ්ඩායමට අයත් වූහ. ලීලා බිබිලේ ද ඔවුන්ට එකතු වූවා ය. ගමන පිළිබඳ සියලු සංවිධාන කටයුතු හා ලිපි කටයුතු ලීලා බිබිලේට පැවැරිණ.

ගයනා, ග්‍රැනඩා ජැමෙයිකා, දූපත්වල ඇවිද බාබෙඩොස් දූපතට 1977 අගෝස්තු 26 වැනිදා පැමිණි මේ කණ්ඩායම එහි දින කීපයක් නතර වූහ. ඒ දූපත්වල ජීවත්වන ජනතාව බහුජාතික

සමාගම්වල ග්‍රහණයට හසු වී ආර්ථික, සාමාජික, සංස්කෘතික අතින් පිරිහී ගෙවන දුක්ඛිත ජීවිතය පිළිබඳව සේනක මේ දිනවල ලීලා සමඟ සාකච්ඡා කළේ ය. “මේ රටවල ජනතාව අපේ රටේ ජනතාවටත් වඩා දුක්ඛිත ජීවිතයි ගෙවන්නේ. මරණ සංඛ්‍යාව වැඩියි. ළමා මරණ වැඩියි. මන්ද පෝෂණය, නූගත්කම පිරිලා. මේ ජනතාව වෙනුවෙන් කැප වී වැඩ කිරීම මනුෂ්‍ය ආත්මයක් ලබා ගැනීමේ විශාල ජයග්‍රහණයක්.” ඔහු කීවේ ය. සේනක විවේකයක් නොගෙන කරන කටයුතු ඔහු සිටි නගරයේ රෝහලේ වෛද්‍යවරුන්ට ද ප්‍රශ්නයක් විය.

“මොනවද ඔයා ගේ මහත්තය කරන්නේ?”

දිනක් එක් වෛද්‍යවරයකුගේ බිරිඳක් ලීලාගෙන් ඇසුවා ය. “එයා කැරිබියන් දූපත්වල ඖෂධීය තත්ත්වය ගැන වාර්තාවක් පිළිවෙළ කරනවා. දැන් එයා උත්සාහ ගන්නේ බාබෙඩෝස් හි සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් හමුවීමට” ලීලා පිළිතුරු දුන්නා ය.

“එයා නිකම් කාලය කනවා. ඔය වෑයමෙන් පලක් නැහැ. ඖෂධ සමාගම්කාරයෝ මෙහේ ඇමතිවරුයි, ලේකම්ලායි සල්ලිවලට අරගෙන. උන් කවදාවත් බහු ජාතික සමාගම්වලට විරුද්ධවන දේකට සහයෝගය දෙන්නේ නැහැ.”

ලීලා ඇගේ පිළිතුර රාත්‍රියේ දී සේනකට කීවා ය.

ඔවුහු ඉන්පසු ඩොමිනිකා දූපතට ද, ඇන්ටිකා දූපතට ද ගිය හ. ඇන්ටිකා දූපතේ ආදායම් බදු නොගෙවන නැව් හිමියෝ වූ හ. බාපියා සංවිධානයට අයත් හෝටල් විය. ඇමරිකානු ධනපතීහු එහි සුඛෝපභෝගී ජීවිත ගත කරති. බහුජාතික සමාගම්වලට එරෙහිව බසකුදු නැඟීම එහි අපහසු ය. පාලකයා ඇමරිකානු ගැත්තෙකි.

එක් වෛද්‍යවරියක් ලීලාට මෙසේ කීවා ය.

“රාජ්‍ය දෙපාර්තමේන්තුවල ලේකම්ලා හමු වී සාකච්ඡා කරන්න බැහැ. ආරාධනා කළාට එන්නේ නැහැ. උන් බහු ජාතික සමාගම්වල ඇම ගිලලා. ඔබේ මහත්තයට කියන්න නිකම් අමාරුවේ නොවැටී වෙනත් දෙයක් කරන්න කියල.”

ජැමෙයිකා දූපතේ සෞඛ්‍ය ලේකම් සේනකට හමුවිය. ඔහුට නව ඖෂධ ප්‍රතිපත්තියක්වත් බහු ජාතික සමාගම්වලින් මිදීමට සහ ජනතාවට සාධාරණ මිලට ඖෂධ ලබාදීමට වුවමනාවක්වත් නොවීය. ප්‍රශ්නවලට ඔහු පිළිතුරු දුන්නේ ද උදාසීන ව ඈණුම් අරිමිනි.

සැප්තැම්බර් 13 වැනි දා සමීක්ෂණ කණ්ඩායම දෙකට බෙදිණ. දූපත් දෙකකට ගිය හ. පෞද්ගලික ඖෂධ ශාලා හිමියන් සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තු නිලධාරින් හමු වූ ඔවුහු සමීක්ෂණ වාර්තාව සඳහා අවශ්‍ය කරුණු රැස් කළහ. දිළිඳු බවේ පත්ලේ සිටි දූපත් වැසියන්ගේ ආදායම් මාර්ය කුමක්දැයි සිතීම පවා අපහසු විය. ඔවුහු නිරතුරු රෝගා පීඩාවන්ගෙන් පෙළුණ හ. එක් දූපතකට ඇත්තේ එක රෝහලකි. එබඳු දූපත් රැසක සංචාරයකළ ඔවුහු පොට්රිකෝ නමැති දූපතට ද ගිය හ. ඒ දූපත අයිති ඇමෙරිකාවට ය. එහි ඇමරිකානු ව්‍යාපාර තිබිණ. සෞඛ්‍ය අංශයේ නිලධාරින් සමඟ සාකච්ඡාවට එහි දී ඉඩක් නොලැබිණ.

ඔවුහු ගයනාවට පැමිණිය හ.

සේනක ලීලා සමඟ ගයනා මුහුදු වෙරළේ ඇවිදින්නට ගියේ ය. මුහුදු දියේ පෙනුණේ මුස්පේන්තු මඩ පාටකි. එසකී බෝ ගඟ මුහුදට වැටුණේ ඒ අසලිනි.

“අනේ, අපේ රටේ මුහුද කොපමණ ලස්සනදැ”යි ඔහු ඇසී ය.

කැරිබියන් දූපත්වලට අලුත් ඖෂධ ප්‍රතිපත්තියක් සකස්කොට ඉන් පසු තුන්වැනි ලෝකයේ අනෙක් රටවලට ද එය ගෙනයන්නට නො ඉවසිල්ලෙන් සිටි සැප්තැම්බර් 28 උදේ සිය සගයන් අමතමින් “අපි ඉක්මනින් වැඩ ටික ඉවර කරමු” යි කීය.

එදා රාත්‍රී සමීක්ෂණ කණ්ඩායමේ චීන ජාතික ගස්ලී ගේ නිවසේ භෝජන සංග්‍රහයක් තිබිණ. කණ්ඩායමේ සියලු දෙනා ඊට සහභාගි වූහ. සේනක ගස්ලි ගේ දරුවන් වඩාගෙන සුරතල් කළේ ය. ඔහු දරුවන්ට ඉතා ප්‍රිය ය. වැරහැලි ඇඳගත්, දිළිඳු කැරිබියන් දූපත්වාසී දරුවන් සමඟ ද ඔහු මිතුරු විය. ඔහුට පුතුන් දෙදෙනා ද සිහිවිය.

හිරංජන් බිබිලේ ඔහුගේ දෙටු පුතු ය. ඔහු එයාර් ලංකා ගුවන් සමාගමේ කපිතාන්වරයෙකි. කනිටු පුත් රනිල් බිබිලේ සීෂෙල් දූපතේ ප්‍රධාන හෝටල් සමාගමක සාමාන්‍යාධිකාරිවරයෙකි.

ජෝජ් ටවුන් හි රෝහලේ වෛද්‍යවරු ද ඒ රාත්‍රි භෝජන සංග්‍රහයට සහභාගි වූහ. එළිමහනේ අඩ අඳුරෙ තැන තැන කුඩා මේස වටා හිඳගෙන සිටි අමුත්තෝ රෑ දහය වන තුරු මත් පැන් පානය කරමින් සුහද කතාවේ යෙදුණ හ. සේනක ඉතා ස්වල්ප මත්පැන් ප්‍රමාණයක් පානය කළේ ය. ඔහුගේ මත්පැන් බඳුන අසල රොල්ප් රිචඩ්ස් ද පෙනිණ.

හෙට ඉදිරිපත් කළ යුතු සමීක්ෂණ වාර්තාවේ අවසන් ඡේදය ලිවීම මඳකට කල්තබා පැමිණි සේනක වේලාසනින් සාදයේ සගයන්ගෙන් සමුගත්තේ ය.

ඔහු සමුගන්නා විට ඔහුට ළං වූ ජෝජ් ටවුන් රෝහලේ වෛද්‍යවරයෙක් මෙසේ කීය.

“නුඹ කරන දේවල් ගැන බොහෝ අය බලා ඉන්නවා. ඒවා ඖෂධ සමාගම්කාරයන්ට අහිතකර නිසා පරෙස්සමෙන් වැඩ කරන්න.”සේනක ඔහු රැඳී සිටි හෝටල් කාමරයට ගියේ ය.

“ලීලා වාර්තාවේ අන්තිම ඡේදය ලියන්න තිබෙනවා. ඒත් මට අපහසුවක් දැනෙනවා. හුස්ම ගන්න අමාරුයි. කොට්ට ගොඩ තියාගෙන හාන්සි වුණොත් හොඳයි.”

ලීලා කොට්ට පිළියෙල කොට දුන්නාය. ඔහු ඇඳේ හාන්සි විය.

ඔහු දෙස බලා සිටි ලීලා “ඔයාට සනීප නැහැ” යි කොඳුළාය.

සිනාසෙන්නට වෑයම් කළ ඔහු,

“නැහැ - මට ටිකක් හුස්ම ගැනීම අපහසු වුණා, එපමණයි. මෙහෙම ඉන්න කොට ඒ අපහසුව ඇරිල යාවි.”

ඔහුගේ මුහුණ අඳුරු වනු ඔහුට පෙනිණ.

හෘදය රෝග විශේෂඥයකු වූ ආචාර්ය රොල්ප් රිචඩ් සිටියේ ඒ හෝටලයේ පස්වැනි තට්ටුවේ ය. ඔහු වහා කැඳවිය යුතුයැයි ඇයට සිතිණ.

සේනක එයට ඉඩ නොදුන්නේ ය.

“ඔයාගේ ඇඟ ගැහෙනවා.”

“අද මම ඉන්දියානුවෙක් එක්ක වැඩ කළා. එයාට සෙම්ප්‍රතිශ්‍යාව තිබුණා. මටත් ඒක බෝවෙලා. මට ඇස්ප්‍රින් පෙත්තක් දීල ඔයා නිදා ගන්න.”

ඇස්ප්‍රින් පෙත්ත ගත් ඔහු දෑස පියා ගත්තේ ය. එහෙත් ලීලා ඔහුගේ අත හා හිස පිරිමදිමින් ළඟට වී සිටියා ය.

ඇයට බියක් ඇතිවිය. වේලාව අලුයම තුනයි. ඇය රොල්ප් හමුවීමට ගියාය. රොල්ප් සේනක පරීක්ෂා කළේ ය.

“බය වෙන්න එපා. මෙයාට අමාරුවක් නැහැ. ලීලා නිදාගන්න.” රොල්ප් කීය.

“හෙට රැස්වීමට වැඩසටහන හැදුවේ නැහැ. වාර්තාවේ අන්තිම ඡේදය ලියන්නත් තියෙනවා. අද මට නින්ද ගියේ ම නැහැ. මං දැන් නිදා ගන්නවා - මහන්සියි. මට ඒ වැඩවලට පැයක් තිබුණාම ඇති.”

සේනක රොල්ප්ට කී ය.

අසනීපයක් නැතැයි රොල්ප් පැවසුවද වෙන කිසිදු දිනෙක නොවූ කායික අපහසුවක ඔහු ගිලී ඇති බව ඇයට දැනිණ.

යළි ලීලා රොල්ප් කැඳවූවාය.

“බය නැතිව ඉන්න” රොල්ප් ඇයට කී ය. “ලීලා ඔයා හිතන්න එපා මා ඉක්මනට මැරෙයි කියා. මට මැරෙන්න බැහැ. ඉදිරිකාලයේ මා කළ යුතු වැඩ කොපමණ තිබෙනවාද? අර දූපත්වල දුක් විඳින මිනිස්සු බහුජාතික සමාගම්වල සූරා කෑමෙන් මුදා ගැනීමට කළ යුතු වැඩ රාශියක් තිබෙනවා. අර වැරහැලි ඇඳගත් දරුවෝ...”

“ඔයාට කතා කරන්න අමාරුයි”

“නෑ ලීලා කවදාහරි මට මේක කියන්න වෙනවා. බය වෙන්න එපා. සමහරවිට හෙට මා ඔබ තනිකර දාලා යන්න පුළුවනි. ඒක තව අවුරුදු දහයකින් වෙන්නත් පුළුවන්. මා මළොත් මගේ සිරුර ලංකාවට ගෙනියන්න වෙහෙසෙන්න වියදම් කරන්න එපා. මේ රටේ ම ආදාහනය කරන්න. අවශ්‍ය නම් අළු ටික ලංකාවට ගෙන යන්න. අම්මටයි, මගේ පුතාල දෙන්නටයි දන්වන්න”

ලීලා ඉකිගසා හඬන්නට වූවා ය. වහා සන්සුන් වූ ඇය යළි රොල්ප් කැඳවූයේ ය. රොල්ප් සේනක පරීක්ෂා කළේය. “මේ ලෙඩේ තියෙන්නෙ ලීලාගේ හිතේ” ඔහු කීවේ ය.

ඇගේ දෙතොල් වෙවුලුවේ ය. රොල්ප් නිසා ඇය තුළ කෝපයක් ඇති විය.

“ලීලා රොල්ප්ට කෝපි හදලා දෙන්න” සේනක කීය.

රොල්ප් කෝපි බී යන්නට සැරසිණ.

“රොල්ප්, ගස්ලීට කියන්න උදෙන්ම එන්න කියල”

සේනක ඉල්ලීමක් කළේය. රොල්ප් ගියේය.

උදේ හයට සීනුව නාද විය. ලීලා දොර අරින්නට නැඟිට්ටා ය. දොර ඇරගෙන ආවේ ගස්ලි ය.

“මගේ පෙනහැල්ලේ සෙම එකතු වෙනවා මට දැනෙනවා”

සේනක අපහසුවෙන් හීන් හඬින් කී ය.

“සේනක රෝහලට ගෙන යමු” ලීලා කීවා ය.

“මම ගිලන් රියක් සොයාගෙන එන්නම්”

ගස්ලී පිටතට ගියේ ය.

වෙනදා මේ අසල ගිලන් රිය කීපයක් තිබුණ ද එදා ඒ සියල්ල අතුරුදන් වී තිබිණ. පැරණි මෝටර් රියක් සොයා ගත් ගස්ලි ආපසු පැමිණියේ ය.

ඔහු ලීලා සමඟ එකතුව සේනක ඔසවා ගති.

ලීලා ගේ උකුළේ හිස තබා ගත් සේනක දෑස පියා ගත්තේ ය. රිය ඇදුණේ අලස ගමනිනි. ඊට වඩා වේගයෙන් එයට ගමන් කිරීම අපහසු ය.

ඔහු දෑස විවෘත කළේ ය. මුලින් ම කඳුළු පිරුණු ලීලාගේ මුහුණ ද ඉන්පසු රිය කවුළුවෙන් එබී සිටින උදෑසන හිරු මඬල ද ඔහුට පෙනිණ. දෑසේ හිරු රැස් නැටුවේ ය. එහි අලුත් පිබිදීමක් පළවුවද දැඩි වේදනාවකින් ඔහු පෙළෙන බව ඔහු ගේ මුහුණෙන් පෙනිණ. දෑස් පියාගෙන වේදනාව ඉවසූ ඔහු ‘ඇමයිනොපිලින්’ ඉන්ජෙක්ෂන් එක දෙන්න’ යි ඉල්ලුවේ ය. (එය හෘදය අක්‍රියවීම වළක්වන එන්නතකි)

“මා ගිලෙනවා වගේ මට දැනෙනවා ලීලා” ඔහු ඇය දෙස බලා කීය.

රිය රෝහල් බිමේ නතර කළ පසු ද ඒ ඉල්ලීම කළේය.

රෝහලේ නිලධාරිහු ඔහුගේ නම, වයස අසන අතර ඔහුට සිහි නැති විය.

ලීලා සහ ගස්ලි ඔහු ගිලන් ඇඳක තැබීමට රෝහල් සේවකයන්ට උදවු වූහ. හෘදරෝග විශේෂඥ රොල්ප් රිචඩ් ද පැමිණියේය.

ඇඳේ වැතිර සිටින ඔහු ගේ ආශ්වාස ප්‍රාශ්වාස වේගය වැඩි වූ අතර ළයෙහි උස් පහත් වීම ද ඒ අනුව සිදුවිය.

එය ක්‍රමයෙන් අඩු වී දුබල වී ගොස් එක් මොහොතක දීර්ඝ ප්‍රාශ්වාසයක් නිකුත් විය.

ඒ සමඟම කඳට හා පපුවට ඍජුව පැවැති හිස පහතට කඩා වැටිණ. වේලාව පෙරවරු 9.30 විය. රෝහලේ වෛද්‍යවරු කෘත්‍රිම ශ්වසනය දී යළි ඔහු පණ ගැන්වීමට ගත් වෑයමෙන් පලක් නොවිණ. රොල්ප් ලීලා දෙසට හැරිණ. “මට සමාවෙන්න...” ඔහු කීවේ ය. “සේනක ගේ නැති වූ පණ නැවත ලබා දුන්නොත් මා නුඹට සමාව දෙනවා...” ඇයට කියැවිණ.

* * * * * *

සුදු රෙද්දකින් වැසී තුබුණු ඒ මළ සිරුර දෙස බැලූ ජෝජ් ටවුන් රෝහලේ වෛද්‍යවරයෙක්, “ඔහු කළේ ගලේ හිස ගසා ගැනීමක් - හිස කුඩු වුණා - ගල තියෙනවා” කී ය.

“ඔය ගල කවදා හෝ පිපිරී යනවා” කියා සේනක විටින් විට කී හැටි ලීලාට සිහිවිය.

මඩ පාට දිය පිරුණු මුස්පේන්තු මුහුදු වෙරළක් සේ සේනකට පෙනුණු ගයනා මුහුදු වෙරළේ ඔහුගේ අවමඟුල් කටයුතු සිදුවිය. මේ අවස්ථාවට සහභාගි වූ ගයනාවේ ජෝජ් ටවුන්හි පදිංචි ලාංකිකයකු වූ ආචාර්ය ආර්.ඕ.බී. විජේසේකර එහිදී සිදු වූ දේ මෙසේ විස්තර කළේය.

“ඒ ශ්‍රේෂ්ඨ මිනිසා ගේ මෘත දේහය සමඟ මෝටර් රියකින් ජෝජ් ටවුන්හි සිට සැතපුම් 15ක් පමණ දුරින් පිහිටි මුහුදු වෙරළට ගියෙමි. මේ දයාබර මානව ප්‍රේමියාගේ වචනවලින් ම පවසනවා නම් කාබන්ඩයොක්සයිඩ්, ජල වාෂ්ප, කැල්සියම් කාබනේට් සහ පොටෑසියම් කාබනේට් ආදිය බවට ඔහු ගේ දේහය පත්වූයේ මෙහිදී ය. ජෝජ් ටවුන් දක්වා දිවෙන විශාල තාප්පයකට සහ මහ මුහුදට මැදි වූ බිම් තීරුවේ ඔහු ගේ දර සෑය ඉදිවී තිබිණ. එය නිකම් ම දර ගොඩකි. යෝධ දකුණු අමෙරිකානු වෘක්ෂයන්ගේ මුල් අවුස්සමින් උස් රළගෙඩි වෙරළට කඩා වැදී ආපසු පලා ගියේ ය. යළි ආවේ ය. පලා ගියේ ය. ඒ කටුක ඝෝෂාව කන් රිදවී ය. බෞද්ධ භික්ෂුන් වහන්සේ නමක් සොයා ගැනීම අපහසු විය. ඒ සුසාන භූමියේ හින්දු සොහොන් පල්ලෙක් සිටියේ ය. ආදාහන කටයුතුවල දී කියැවෙන ආගමික පාඨ කීපයක් දැන සිටි ඔහු ඒවා හඬ නඟා කීමෙන් පසු සේනක ගේ මිතුරකු වූ ගයනා වැසියකු සමඟ එක්ව දර සෑයට ගිනි තැබුවෙමි.

කපුරු දරවලින් සෑදුණු දර සෑය මුඳුනින් උස් ගිනි දලු නැඟිණ. ගයනාවේ දර සෑයවලට වත් කරන්නේ එළඟි තෙල් ය. සේනක ගැන ඇසූ අසල්වැසියන්ගෙන් එළඟිතෙල් ලැබිණ. පැය කීපයකින් මුළු දර සෑයම දැවී අවසන් විය.

අපගේ ආදරණීය සේනක ගේ රූපකාය අතුරුදන් විය. නාමකාය පමණක් සිත් හි නැවතිණ.

සේනක ගේ සගයකු වන ගස්ලිගෙන් ඒ දුක්මුසු පණිවුඩය ලැබුණු මොහොතේ ඇතිවුණු කම්පනය මේ මොහොතේත් මා තුළ පවතී. එය තව කොපමණ කල් පවතීදැයි මට කිව නොහැකිය.

* * * * * *

ගයනාවෙන් සමුගත් ලීලා බිබිලේ 1977 ඔක්තෝබර 04 වැනි දා සේනක ගේ භෂ්මාවශේෂ ද රැගෙන ලංකාවට ආවා ය. සේනක ගේ පුත්තු දෙදෙනා හිරංජන් සහ රනිල් ‘පියා’ පිළිගැනීමට කටුනායක ගුවන්තොටුපළට පැමිණ සිටිය හ. ඔක්තෝබර 08 වැනි දා භෂ්මාවශේෂ කොළඹ ජාවත්ත සුසාන භූමියේ තැන්පත් කැරිණ.

ඉතා සුළු පිරිසක් ඊට සහභාගි වූහ. සේනක ගේ සමීපතම ආදරණීය ශිෂ්‍යයකු වන ආචාර්ය කාලෝ ෆොන්සේකා එහි දී සිය මාර්ගෝපදේශකයාණන් ගේ ගුණ සිහි කළ හ. “ඔව්, මගේ මිතුරනි, ඔහු වැන්නකු යළි කවදා බිහිවේ දැයි මම නොදනිමි. මම දනිමි ඔහු කිසි කලෙක ධනය හෝ බලය පැතුවේ නැත. ජීවිත කාලය තුළ ඔහු රැස් කළේ සුහද මිතුරන් ය. ඔහු බොහෝ දෙනාගේ සිත් දිනා ගත්තේ දැක් වූ පවිත්‍ර සුහදතාව නිසා ය.

සුහදතාව පිරුණු ඒ සිනා හඬ යළි කිසිදු කලෙක අපට නො ඇසෙනු ඇත. ඒ හඬ නතර කළේ කවුද? යම් කිසිවකු විසින් එය සිදු කැර තිබේ.

එහෙත් මතකය පවත්නා තුරු ඒ හඬ අපගේ සිත් තුළ දෝංකාරය දෙනු ඇත. ඔහුගේ ජීවිතය මෙහෙය වූ බලවේගය කුමක් ද? හැමවිටම එය ජනතාවාදී විය. මිනිස් වර්ගයා කෙරෙහි ඔහු අසීමිත ආදරයක් දැක්වූයේ මිනිසාගේ බිඳ වැටුණු වීර්යය නඟා සිටුවීමට ඔහු කටයුතු කළේ ය.

(නිමි)

 

Comments