අවුරුද්දටම සුවසෙත උදාකරමින් ලග්න රැසකට සුබපල | සිළුමිණ

අවුරුද්දටම සුවසෙත උදාකරමින් ලග්න රැසකට සුබපල

 

 අජිත් ධර්මසිරි

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී

‍ෙජ්‍යා්තිෂය යනු විෂයය බැබළීම - ආලෝකය යන අරුත දෙයි. නව වසරේ බැබළීම ආලෝකය අපේක්ෂා කරන අය සැබවින්ම ජ්‍යොතිෂය අනුගමනය කළ යුතු වෙයි. ඊට සුදුසුම පසුබිම නව වසර යයි කීම අතිශයෝක්තියක් නොවේ. ජ්‍යොතිෂය බොරු යයි කියන ඇතැමුන් ළමයකු උපදින්නටත් පෙර කුස තුළදීම එම දරුවා සුබ වේලාවක මෙලොවට බිහි කිරීමට නව නැකැත් සකස් කර ගැනීමට ජ්‍යොතිෂවේදින් ළඟට එන්නේ හොර රහසේමය. එහෙත් දරුවා ඉපදුනාට පසුත් නමක් දැමීමට, හිසකෙස් කැපීමට, ඉඳුල් කට ගෑමට, අකුරු කියවීමට, දියණිය වැඩිවියට පත්වූ විට , විවාහ මංගල්‍යයට හා බොහෝ කටයුතුවලට එන්නේ නිරායාසයෙනි. නිවසක් තැනීම, ළිඳක් කැපීම, වෙළෙඳ ව්‍යාපාරයක් ඇරඹීමට යන සෙසු කරුණුවලදී ද ජ්‍යොතිෂවේදියා ළඟට එන පිරිස අඩු නොවේ.

එය අපේ සංස්කෘතියයි. අපේ සභ්‍යත්වයයි. මේ සියලු දේ ගානකට නොගෙන විවේචනයට ලක් කරමින් හෙළා දකින අතළොස්සක් පිරිස තුළින් වන්නේ මහත් විනාශයකි. ගොවිතැන ගත්තත් සහලින් ස්වයංපෝෂිත ශ්‍රී ලංකාව එදා ජ්‍යොතිෂයට අනුව සුබ හෝරාවට නැකතට මුල්තැන දෙමින් - ගොවිතැන් කර සරු පලදාවක් අත්පත් කර ගැනීමට උත්සුක වූහ. එදා සිය ගොවිතැන සරුපල ගන්වා ගැනීමට රසායනික පොහොරවලට යොමු වූවේ නැත. කාබනික පොහොර තමා විසින්ම සකසාගෙන විවිධ අත් බෙහෙත් ද උපක්‍රම ද භාවිතා කොට වල් පැළෑටි නැසූහ. විවිධ කෙම් ක්‍රම භාවිතා කර කෘමි උවදුර දුරු කළහ. නමුත් අද අමුඩය වෙනුවට දිග කලිසම අත් දිග කමිසය ඇඳගත් ගොවි පිරිස හුදු දේශපාලන වාසි කරපින්නාගෙන රසායනික පොහොරම ඉල්ලා දත කෑමෙන් වන්නේ කෘෂි කර්මාන්තයට පමණක් නොව මිනිස් ජීවිතවලට පවා තර්ජනයකි. එදවස සිංහල අවුරුදු සමය එළඹෙත්ම සිය ගොවිතැනට සරුපල ගන්වා ගැනීමට උපකාර කළ හිරු දෙවියාට කෘතගුණ සැලකීමට සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර ඉටු කළහ. ඒ තුළින්ම හිරු සඳු මුල් කරගත් ජ්‍යොතිෂයේ අභිමානය ලොවට පෙනෙනු ඇත. පසුගිය වසරේ පමණක් නොව ඊට පෙර වසරේ ද අපට අමිහිරි අත්දැකීම් රැසකට මුහුණ දීමට සිදුවිය. ජල ගැලීම්, කඳු කඩාවැටීම්, නායයාම්, රිය අනතුරු, ළමා අපචාර, කාන්තා හිංසන ඒ අතරම කෝවිඩ් වසංගතය පවා හිස ඔසවමින් අපට තර්ජන එල්ල විය. ඊට පෙර වසරවල ගත්තත් එබඳුම ආපදා අතරම සුනාමි, යුද ගැටුම්, විවිධ කලකෝලාහල වල අමිහිරි අත්දැකීම් අපට අත්විඳින්නට සිදු විය.

හිරු සඳු මුල් කරගත් විවිධ ග්‍රහ වස්තූන්ගේ බලපෑම් අනුව එසේ වූ බව අපට අත්දැකීමෙන් ම කීමට පුළුවන. ග්‍රහලොව වැඩිම කාලයකට පසු රාශි වෙනස් කරන සෙනසුරු, රාහු, කේතු වැනි ග්‍රහයින් විශ්වයට කරන තදබල බලපෑම් නිසා එබඳු ග්‍රහයින් හා ග්‍රහ ගමන් බිමන් පිළිබඳව පොදු ජනතාව අවදානයෙන් සිටින බව අප කවුරුත් දන්නා කරුණකි. විටෙක සෙනසුරු මාරුව, තවත් විටෙක රාහු කේතු මාරුව පිළිබඳ අසන්නට ලැබුණු විට අපට එන දුරකථන ඇමතුම් සංවාද හා අදහස් විමසීම් කෙතෙක්දැයි බලන විට වැටහෙනු ඇත.

2021 වසර එබඳු ග්‍රහ මාරු ග්‍රහ යුද්ධ එතරම් නොවූවත් 2022 වසර විවිධ ග්‍රහ යුද්ධ රාශි මාරුවීම් රැසක් සිදුවන වසරකි.

ඒ අනුව 2022 අප්‍රේල් 12 දහවල් 01.56ට රාහු ග්‍රහයා මේෂ රාශියට ඒමද එවිටම කේතු ග්‍රහයා තුලාවට ඒමද අප්‍රේල් 13 දා අලුයම 03.50ට ගුරු ග්‍රහයා මීන රාශි ගතවීමද අප්‍රේල් 29 දා උදේ 7.52ට සෙනසුරු ග්‍රහයා කුම්භ රාශිගත වීම ද මෙහිදී කැපී පෙනෙන විශේෂත්වයකි. රාහු මේෂයට අසුබ වුවද සෙනසුරු කුම්භයට ස්වක්ෂේත්‍රවීම ද ගුරු මීනයට ස්වක්ෂේත්‍රවීම ද මෙහිදී සුවිශේෂී වෙයි. ඒ අනුව 2022 වසරේ මුල් කාර්තුව ඉක්ම යාමත් සමඟ රටට ජනතාවට, රජයට සිදුවන යහපත් බලපෑම මහත් සතුටට කරුණකි.

2022 වසර එළඹීමත් සමඟ 2022 ජනවාරි 01 දින තත්කාල ග්‍රහ සටහනට අනුව ද එනම් 2022 ජනවාරි 01 සෙනසුරාදා හිරු උදාව පවතින 6.22ට නියමවූ පරිදි ග්‍රහ තත්ත්වයට අනුව ධනු රාශිය උදාවන අතර ලග්නයේ රවි සිකුරු ද 02 වැන්නේ බුධ සෙනසුරු ද 3 වැන්නේ ගුරු ද 06 වැන්නේ රාහු ද 12 වැන්නේ චන්ද්‍ර කුජ කේතු ද වෙයි. ඒ අනුව වසර ආරම්භයේදීම, නිරෝගී බව, මහජනතාවගේ ගැටලු වලට විසඳුම්, කෘෂි කර්මානතය නව මුහුණුවරකින් කළඑළිවීම රටට ආයෝජන ගලා ඒම රටේ ජනතාව නිර්මාණශීලී වීම හා පිටරටවලින් අප රටට ආධාර උපකාර සැලසීම යන කරුණු රැසකින් සන්නද්ධ වෙයි. ඒ නිසාම නව වසර උදාවත් සමඟ ඒ ග්‍රහ චලිතය අපට සුබ වන අතර සිංහල අලුත් අවුරුදු උදාවත් සමඟ පවතින තත්කාලයට අනුව එනම් 2022 අප්‍රේල් 14 දින උදේ 8.45ට නව අවුරුදු උදාවත් සමඟ එළඹෙන ග්‍රහ තත්ත්වය අනුව වෘෂභ රාශිය උදාව පවතින අතර 4 වැන්නේ චන්ද්‍රයා ද 06 වැන්නේ කේතු ද 9 වැන්නේ සෙනසුරු ද 10 වැන්නේ කුජ, සිකුරු ද 11 වැන්නේ ගුරු ද 12 වැන්නේ රවි, බුධ, රාහු ද වෙයි. ඒ අනුව ද රටට පිටරටවලින් ලැබෙන ආධාර උපකාර ආර්ථික දියුණුව රැකී රක්ෂා ගැටලුවට විසඳුම් නව කර්මාන්ත බිහිවීම, මං මාවත් අලුත්වැඩියාව ඇතුළු යටිතල පහසුකම් දියුණු වීම, පෙර පිං මහිමයෙන් අපට ලැබීමට ඇති මහපොළොවෙන් හිමි වන මැණික් - මිණිරන් හා තෙල් නිධි ආශ්‍රිත ලැබීම් නිසා රටට ධනය ද ජනතාවට සුබවාදි අනාගතයකට ද හේතු වනවා ඇත.

නව වසර උදාවත් සමඟ අහස් වියනේ මැවෙන ග්‍රහ සිත්තමට අනුව ලග්නාධිපති - ගුරු 3 වැන්නේය. එය ලංකා මිහිතලය මත සුවිශේෂ උරුමකම් අනුව මහපොලොවේ සම්පත් මතුවන සුලුය.

2 වැන්නාධිපති සෙනසුරු ඥානකාරක බුධ සමඟ දෙවැන්නේම වාසස්ථානය කොට ඇති බැවින් ධනය උතුරා යන ඥානාන්විතව ධනය එක් රැස්වන තත්ත්වයකි. එය මත්පැනට, හොරකමට, සූදුවට ගිය පුද්ගලයා එම අගතියෙන් මිදෙන්නාක් බඳුය.

3 අධිපති ද සෙනසුරු වන බැවින් එය ද උරුමයෙන්ම හිමි වියය යුතු සියල්ල තවදුරටත් තහවුරු කෙරෙන නිසා රටේ සම්පත් සුරක්ෂිත වන සුලු වෙයි.

තවද 4 වැන්නාධිපති ගුරු ද 3 වැන්නේ ඊටම සාධක සපයයි. ඒ අතර 5 අධිපති කුජ ද 12 වැන්නේ වීම පිටරට සහ සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් වෙමින් සඳු කේතු සමඟ ගොඩනගා ගන්නා ශක්තිය හුවා දැක්වේ.

6 වැන්නාධිපති සිකුරු හෙයින් ඔහු ද රජ සමඟ ලග්නගත වීම මෙහිදී කැපී පෙනෙන ලක්ෂණයක් ලෙස සිත් ප්‍රබෝධය නිර්මාණශීලී බව සමඟ සැනසුම් සුව විඳීමට සුදුසු ග්‍රහ සංයෝගයක් මිනිස් සිතුවිලි ප්‍රබෝධමත් කෙරෙන මෙම ග්‍රහ රටාව හරියට නිදහසේ සුබ සිත්වලට දැනෙන්නට පටන් ගැන්මකි. 7 වැන්නාධිපති බුධ හෙයින් ඔහු ද ධනස්ථානය වන 02 හි සෙනසුරු සමඟ නිසා නිරපරාදේ බෝවන රෝග සඳහා වැයවන සෞඛ්‍ය අමාත්‍යාංශය වැනි අංශවල මුදල් ඉතිරි කර ගැනීමට නව වසර උදාවත් සමඟ හැකිවනු ඇත. උදාහරණයක් ලෙස කියන්නේ මේ වසරේ කොවිඩ් වසංගතයට මර්දනය කිරීමට හැකිවීමකි. ඒ අතර 8 වැන්නාධිපති චන්ද්‍රයා 12 වැන්නේ තවදුරටත් රටට විදේශාධාර විදේශ විනිමය ඉපයීමට සමත් වීමකි.

9 වැන්නාධිපති රවි සිකුරු සමඟ ලග්නගතව හිඳීමද සෞන්දර්ය ස්වභාදහම ප්‍රබෝධමත් කෙරෙන පිහිටීමක් වන අතර එය සෑම පුද්ගලයෙකුගේම අනාගත බලාපොරොත්තු ඉහළ නැංවෙන රජය හා සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට යහපත් පරිසරයක් ගොඩගොඩනැඟෙන සමයකි.

10 වැන්නාධිපති බුධ වන අතර ඔහු ද සෙනසුරු සමඟ සංයෝගව 2 වැන්න වන ධනස්ථානයේ වීම රටේ සුරක්ෂිත බව වත්පොහොසත්කම පිළිබඳව තවදුරටත් තහවුරු කෙරෙන්නකි. රටේ ජනතාවගේ රැකියා සුරක්ෂිත වීමට නව රැකියා උත්පාදනය වීමට මෙය මහත්සේ සුබවාදි ලෙස බලපායි.

ඊළඟට 11 වැන්නාධිපති වන සිකුරු ද යළි රවි ග්‍රහයා සමඟ ලග්නයේ වීමද සුබවාදි බලාපොරොත්තු ඉහළ නැංවෙන තත්ත්වයකි. එය තවදුරටත් රටේ ආර්ථිකය යහපත් කෙරෙන නව මං ඔස්සේ රටට ධනය ගලා එන නව සංවර්ධන ක්‍රියාදාමයක් අලුත් මුහුණුවරකින් පැමිණ අපට රටට සුබවාදි පියවරකට අවතීර්ණ වීමකි. රටේ සම්පත්, විදේශ ආධාර යහපත් ලෙස ක්‍රියාවට නැංවීම තුළ පැහැදිලි පිරිසිදු ආර්ථික ස්ථාවර භාවයකට රට කැඳවාගෙන යාමකි. රටේ සියලු දෙනා ඒ සඳහා සහයෝගය - රජයට අත දීම තහවුරු කෙරෙන ග්‍රහ තත්ත්වයකි.

12 වැන්නාධිපති කුජ මේ සියල්ලටම වඩා ශක්තිමත් වෙමින් කේතු - සඳු සමඟ සහ සම්බන්ධව රටට නව ආයෝජන ගෙන ඒමට රටවලින් ලැබෙන ආධාර උපකාර ක්‍රමවත් ලෙස රටට ලැබෙන ඒවාට සුරක්ෂිත රැකවරණයක් ලබාදී කටයුතු කිරීමට ද පිටරටවලින් අපට කළ අනිසි බලපෑම් සියල්ල ව්‍යවර්ථ කිරීමට සමත්වීම විශේෂත්වයකි. ඒ අනුව පිටරටවලින් එන කිසිඳු බලපෑමකට රට යටත් නොවන තත්ත්වයකට මෙන්ම රටේ සිදුවන කිසිඳු අනිසි වැඩවර්ජන ගර්ජන තර්ජනවලට රටේ නායකත්වය රජය කිසි විට හිස නොනමන ජනතා පරමාධිපත්‍යය සුරක්ෂිත කර රට පෙරට ගෙනයාමට සමත් වන කිසිඳු ලෙසකින් අසාධාරණයට ඉඩ නොතබන ඍජු ප්‍රජාතන්ත්‍රවාදි ඍජු පාලනය තවදුරටත් ශක්තිමත් කෙරෙන ග්‍රහ තත්ත්වයක් වන බව පවසමි. ලංකා කේන්ද්‍රය එසේම පැවතෙද්දී ජනරජ කේන්ද්‍රයේ ද පවතින ප්‍රබල ග්‍රහ රටාවට අනුව ලග්නාධිපති දෙවැන්නාධිපති තෙවැන්නාධිපති ආදි ලෙසින් විග්‍රහ කර බලද්දි 3 අධිපති සඳු 4 හි වීම 2 අධිපති 9 අධිපති 5 අධිපති 12 හි වීම 9 – 10 අධිපති සෙනසුරු 9 හි වීම 6 – 7 අධිපතිවරු 10 හි වීම මෙන්ම 8 – 11 අධිපති ගුරු 11 හි වීම ලංකා කේන්ද්‍ර සටහනටම අනුව සමාන විග්‍රහයක යෙදීමට හැකිවන පිහිටීමකි. ඒ කොයි අතින් බැලුවත් රටට ආදායම් පහළ වන රටේ සම්පත් සුරක්ෂිත වන අනාදිමත් කාලයක සිට පැවත එන ක්‍රමවලට අනුගතව අපට අපේකම සුරක්ෂිත කරදෙන - කෘෂිකර්මාන්තය - නව තාක්ෂණය - පිටරට සබඳතා තවදුරටත් ඔප් නැංවෙන කාටත් එකහා සමාන අයිතිවාසිකම් සුරක්ෂිත කෙරෙන ආගමට දහමට ලැදි පිරිසක් වෙසෙන අධ්‍යාපනයෙන් ඉහළට යන සංස්කෘතිමය උරුමකම් සුරැකෙන රැකියා අපේක්ෂාවන් සුරක්ෂිතතාව තවදුරටත් තහවුරු කෙරෙන නිර්මාණශීලී පිරිසක් බිහිවන සොරකමට - දුරාචාරය - වංචනික ක්‍රියාවලට වැට බැඳෙන ස්වයංපෝෂිත රටක් යහපත් ආර්ථිකයක් පිරටට ණය නැති අභිමානවත් රටක් ගොඩනඟා ගත හැකි නිරෝගිමත් ජනතාවක් වෙසෙන රටක් ලෙස ශ්‍රී ලංකාව පත්වීමේ අභිලාෂය මල්පල ගැන්වෙන බවක් එළඹෙන නව වසර සමඟ උදාවන ලංකා කේන්ද්‍ර සටහනෙන් ද ජනරජ කේන්ද්‍ර සටහනෙන් ද තහවුරු වෙයි.

Comments