ආහාර අර්බුදයක් එයිද? | සිළුමිණ

ආහාර අර්බුදයක් එයිද?

පේ රටට ඉදිරියේදී ආහාර හිඟයක් සාගතයක් ඇති වෙන බවට මත පළ කර ඇත. නිසි විද්‍යාත්මක පදනමක් නොමැතිව දේශපාලන වාසි මත හා තම බලාපොරොත්තු ඉටු නොවීම හා ද්වේශ සහගත ලෙස සමහරුන් මෙම මත පළ කරන බවත් සාගතයක් ආවත් ඊට මුහුණ දීමට අපට හැකි බවත් ජ්‍යෙෂ්ඨ කෘෂි විද්‍යාඥයන්ගේ මතයයි.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අලුත්ම සංඛ්‍යා ලේඛන අනුව මෙම මහ කන්නයේ කුඹුරු ඉඩම් ප්‍රමාණයෙන් 95% ක් පමණ වගා කර තිබේ. කෘෂිකර්ම නිලධාරීන්ගේ අදහස අනුව ඉන් 75% කින් හොඳ අස්වැන්නක් ලැබේ.

මේ පිළිබඳව අපට අදහස් දැක්වූ සබරගමුව විශ්වවිද්‍යාලයේ පාරිසරික කෘෂි විද්‍යාව පිළිබඳව මහාචාර්ය ප්‍රියන්ත යාපා පැවසුවේ, හරියට කාබනික කෘෂිකර්මයට ගියොත් 3 වැනි ලෝක යුද්ධය ආවත් අපිට බය වීමට ඉඩක් නැති බවයි.

“මේ වනවිට ලෝකයේ රසායනික පොහොර මිල පුදුම විදියට වැඩි වෙලා. පසුගිය වසර ඇතුළත රසායනික පොහොර මිල 5 ගුණයකින් වැඩි වෙලා. මේ නිසා දුප්පත් රටවල පමණක් නොවේ. පොහොසත් රටවල් පවා යූරියා සහ රසායනිකපොහොර පාවිච්චිය අඩු කරලා. මේ නිසා ඉදිරි වසරේත් ලොව සමහර රටවලට සාගතයක් ඇති වෙන්න පුළුවන්. නමුත් කාබනික වගාව තරමක් හෝ තිබෙන අපේ රටට ලබන වසරේ ඔය කියන සාගතයක් ඇති වෙන එකක් නැහැ. දි.මු. ජයරත්න මහත්තයා කෘෂිකර්ම ඇමැති කාලෙත් සිරිමා බණ්ඩාරනායක අගමැතිතුමිය කාලෙත් සාගතයක් එනවයි කියලා කිව්වා. වගා සංග්‍රාම තිබුණා. ඒත් ඒවා ආවේ නැහැ. කොස් දෙල් අල බතල කාල අපි හිටියා. පසුගිය රජය කාලේ සාගතයක් එයි කියලා ක්‍රෝටන් කොළත් කන්න කීවා.

අපි කළ යුත්තේ ආහාර සුරක්ෂිතතාව නෙවේ ආහාර ස්වෛරීත්වයයි. ලොව ඕනෑම රටකට ආහාර සුරක්ෂිතතාව සිදු කළ හැකි ය. නමුත් ආහාර ස්වෛරී බව ඇති කළ හැක්කේ අපේ රටේ වැනි සරු පස ඇති හා හොඳින් හිරු එළිය ලැබෙන රටවලට පමණයි. එය අපට ලැබුණු දායාදයක්. කියුබාවට සම්බාධක පැනවූ විට ප්‍රධාන නගරවල, මහල් නිවාසවල PVC බටවල පොලිතින් බෝතල්වල, බෑග්වල, කෑන්වල, සිරස් අතට වගා කළා. ඒ ආහාරවලින් ඒ නගර ස්වයංපෝෂිත වුණා. අපේ අයටත් ඒක කරන්න පුළුවන්. ඒ අතරම විශේෂයෙන් අපේ ගෙවතුවල තිබෙන පෝර පස හා සූර්යාගේ හිරු එළිය උපයෝගී කරගෙන පුංචි වගාවක් හෝ කාබනික විදියට වගා කරගත්තොත් අපට කිසිම සාගතයක් එන්නේ නැහැ.

ඔය සාගතයක් එන බව කියන සමහරු ඒකට විසඳුමක් හෝ ජනතාවට කන දේ සපයා ගැනීමට විකල්ප කියා දෙන්නේ නැහැ. අම්පාරේ කෘෂිකර්ම ප්‍රධානීන් කියන විදියට දැන් යූරියා කිලෝ 50ක මිටියක් රුපියල් 30,000 යි. මේ විදියට කුඹුරු හෙක්ටයාරයක් වගා කිරීමට ලක්ෂ 2 ½ කට වඩා වැය වෙනවා. නමුත් හෙක්ටයාරයකට ගන්න පුළුවන් උපරිම වී අස්වැන්න කිලෝ 4500 යි. කිලෝ එකක් රුපියල් 60ටවික්කත් ලැබෙන ආදායම ලක්ෂ 3 ටත් අඩුයි. හෙක්ටයාරය සඳහා අනෙක් කටයුතුවලට ලක්ෂයකට වඩා වැය වෙනවා. එනිසා රසායනික ගොවිතැන කරලා ගොවි ජනතාවට ඉදිරි ගමනක් නැහැ. එවිට රසායනික පොහොර මතම යැපෙන්න සිටියොත් අපට ආහාර හිඟයකට ලක්වෙන්න පුළුවන්.

දැන් ලෝකයේ ඛනිජ තෙල් අර්බුදය ඉතා උග්‍රයි. මේ නිසා රසායනික පොහොර හදන්න හා වල් නාශක සඳහා අවශ්‍ය ඛනිජ තෙල් හා ගෑස් සපයා ගැනීම දුෂ්කර වෙලා තිබෙනවා. ඛනිජ තෙල් නිෂ්පාදනය කොරෝනා නිසාත් අඩුවෙලා. එනිසා රසායනික පොහොර නිපදවීමට බලපෑම් ඇතිවෙලා එන්න එන්න ඒවායේ නිෂ්පාදනය අඩුවෙමින් පවතිනවා. මේ නිසා යූරියා මත යැපෙන්න ගියොත් සාගතයක් එන්න පුළුවන්.

අපේ කැලේ කොළ, ජපන් ජබර, සැල්වීනියා කුණු කසළ හා කුස්සියේ අපද්‍රව්‍ය දමලා ගෙදරම කොම්පෝස්ට් ටිකක් හදාගෙන ගෙවත්තේ සිටුවන බටු ගහට මෑ ගහට මිරිස් පැළයට ඒවා දැම්ම නම් අපට මොන සාගතයක්වත් එන එකක් නැහැ.

අපේ රටට ආහාර හිඟයක් ඇතිවන බව තමා පවසන්නේ අපේ රටේ දැන් දක්නට ලැබෙන කුඹුරුවල දුර්වල තත්ත්වයත් එළවළු හා පලතුරු බෝග වගාව අනුව බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ හිටපු ලේකම් මහාචාර්ය උදිත් කේ. ජයසිංහ පවසයි.

“ආහාර සුරක්ෂිතතා විෂය මගේ පර්යේෂණවල මූලික අංගයක්. ඒ අත්දැකීම්, අධ්‍යයන පර්යේෂණ අනුවයි මම කියන්නේ ඉදිරියේදී ආහාර හිඟයක් එන්න පුළුවන් කියලා. මම මේවා කියන්නේ ජනතාවට ඊට මුහුණදීමට සූදානම් වීමට මිස රාජ්‍ය ප්‍රතිපත්ති උල්ලංඝනය කිරීමට නොවෙයි.

දැන් වවලා තිබෙන කුඹුරුවල ගොයම් ගස් දුර්වලයි. එළවළු, පලතුරු වගාව, තේ, පොල්, රබර් වගාව දුර්වලයි. ඒවාට පෝෂණය අඩු බවයි පෙනෙන්නේ. ඒ නිසා ඉදිරියේ අස්වැන්න අඩුවී ආහාර හිඟයක් ඇතිවෙන බවයි මම කියන්නේ.

ඒ ආහාර හිඟයට මුහුණ දෙන්න කාබනික වගාවෙන් බැහැ. හෙක්ටයාර් අට ලක්ෂයක් පමණ අපේ රටේ වගා කරනවා. ඒ අනුව ඒ හෙක්ටයාර අට ලක්ෂයට කාබනික පොහොර හදන්න අපේ රටේ තිබෙන ගොමත් මදි. කොළත් මදි. කැලෑවත් මදි. ඒ අනුව අපි එක් වරම මේකට යන්න බැහැ.” මහාචාර්ය උදිත් කේ. ජයසිංහ පවසයි.

 වමේ සිට,රුහුණු විශ්ව­වි­ද්‍යා­ලයේ  හිටපු උප­කු­ල­පති  සම්මා­නිත මහා­චාර්ය  ගාමිණි සේනා­නා­යක, කෘෂි­කර්ම අමා­ත්‍යාං­ශයේ හිටපු ලේකම් මහා­චාර්ය උදිත් කේ. ජය­සිංහ, පේරා­දෙ­ණිය විශ්වවිද්‍යා­ලයේ කෘෂි­කර්ම විද්‍යා පීඨයේ මහා­චාර්ය පාලිත වීර­ක්කොඩි, ශ්‍රී ජය­ව­ර්ධ­න­පුර විශ්ව­වි­ද්‍යා­ලයේ ව්‍යව­හා­රික විද්‍යා­පී­ඨයේ ස්වභා­වික සම්පත් පිළි­බඳ මහා­චාර්ය මෙත්තිකා විතා­නගේ,  සබ­ර­ග­මුව විශ්ව­වි­ද්‍යා­ලයේ පාරි­ස­රික කෘෂි විද්‍යාව පිළි­බ­ඳව මහා­චාර්ය ප්‍රියන්ත යාපා

පොහොර හිඟකම නිසා අපේ රටේ ආහාර බෝග වගාවත් හරියට වැවී නැති නිසා අපේ රටේ ඉදිරියේදී ආහාර හිඟයක් ඇතිවීමට ඉඩ ඇතැයි මේ පිළිබඳව කරුණු දක්වන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ ස්වාභාවික සම්පත් පිළිබඳ මහාචාර්ය මෙත්තිකා විතානගේ පවසන්නීය.

ආහාර හිඟයෙන් මිදීමට මෙන්ම රටට සුදුසු පොහොර ප්‍රතිපත්තියක් ඇති කිරීමට මෙරට කෘෂිකර්ම විද්‍යාඥයන්ගේ උපදෙස් ලබා ගත යුතු බව ද ඒ සඳහා ඔවුන් කැමැත්තෙන් සිටින බවත් ඇය පවසන්නීය.

“මිදි ඇපල් ගෙන්වීම නතර කර අනවශ්‍ය උත්සව සැමරීම් ආදිය දැන් නැවැත්විය යුතුයි. ඔය උත්සවවලට වියදම් කරන මුදලෙන් දුප්පත් පිරිසකට කන්න දෙන්න පුළුවන්. දැනට වුවත් වියළි කලාපයේ සමහර අය කන්නේ එක වේලයි. මේ ආහාර හිඟයෙන් මිදීමට අපි සේරම පුළුවන් විදියට තම ගෙවතුවල වගා කළ යුතුයි. මිනිසුන්ට කන්න නැති වෙද්දී හොරකම් වැඩි වෙන්න පුළුවන්. දියර පොහොර පමණක් යෙදීමෙන් රටට අවශ්‍ය ප්‍රමාණවත් අස්වැන්නක් ලැබෙන්නෙ නැහැ. ආහාර හිඟයක් එන්න ප්‍රධාන හේතුව හරියට ගොවි ජනතාවට පොහොර ටික දීපු නැති එකයි. ඒ අනුව රජය කළ යුත්තේ ප්‍රමිතිගත පොහොර, ක්‍රමවත් නියමිත විදියට ගොවි ජනතාවට ලබාදීමයි. ඒ සමඟම පොහොර නැතිව වගා කරන්න පුළුවන් අල, බතල, මඤ්ඤොක්කා, කිරි අල, අල වැඩිපුර වගා කළ යුතුයි. අපේ රටේ ගොවින්ට ලබාදෙන පොහොර ගඳ ගහන පරණ ඒවා නොවිය යුතුයි” මහාචාර්යවරිය පවසන්නීය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම විද්‍යා පීඨයේ මහාචාර්ය පාලිත වීරක්කොඩි පවසන්නේ ලංකාව දැනට වී වගාවෙන් ස්වයංපෝෂිත මට්ටමට ආසන්න මට්ටමේ තිබෙන නිසාත් රටපුරා කොස්, දෙල්, අල, බතල වැනි වගාවන් තිබෙන නිසාත් අපේ රටට ඉදිරියේදී සාගතයක් ඒමට ඉඩක් නැති බවයි.

කෙසේ වුවත් පිටරටවලින් ගෙනෙන මුං, කවුපි, පරිප්පු, සීනි, කිරි වැනි දේවල්වල මිල ඉහළ යාම නිසා හා ඒවායේ නිෂ්පාදනය අඩුවීම නිසා ඒ ආහාර පිළිබඳ යම් අර්බුදයක් ඇතිවිය හැකියි. ඒවායේ මිල ඉහළ ගිය විට ඒවා මිලදී ගැනීමට අපට ඩොලර් නැති වුණත් දියුණු රටවල් ඒවා වැඩි මිලට ගන්න පුළුවන්. ඒවාගේ ම ඉන්ධන අර්බුදය නිසාත් රසායනික පොහොර නිපදවීම අඩුවන නිසාත් අපේ බෝගවලට රසායනික පොහොර වැඩි මිලට ගැනීමට සිදුවෙනවා. මේ නිසා රසායනික පොහොර මත යැපෙන දෙමුහුන් බෝගවල අස්වැන්න අඩුවෙන්න ඉඩ තිබෙනවා. ඉස්සර අපේ රටේ අපේ ගොවි ජනතාව තමන්ට අවශ්‍ය බීජ තමන්ම සකසා ගත්තා. නමුත් දැන් ඒවාත් බහුජාතික සමාගම්වලින් තමයි ලබාගන්නේ. ඒ නිසා ඒ බීජවලින් බෝග වර්ධනය කරගන්න රසායනික පොහොර අත්‍යවශ්‍යයි. නමුත් අපේ පාරම්පරික බීජ වවනවා නම් කාබනික පොහොර දමල හොඳ අස්වැන්නක් ගන්න පුළුවන්. එවිට ආහාර අර්බුදයක් ඇතිවන්නේ නැහැ. 1970 – 77 කාලයේ දේශීය ආහාර නිෂ්පාදනය ඉහළම මට්ටමකට ඇවිත් තිබුණා.

අපේ බීජවලින් අපේ පෝෂකවලින් අපි වැඩි අස්වැන්නක් ලබාගත්තා. නිෂ්පාදන වියදමත් අඩු වුණා. මේ තත්ත්වය දිගටම තිබුණා නම් අපේ ආහාර නිපදවීමට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අපේ රටේ ආහාර හිඟවීමට ප්‍රධාන හේතුවක් වන්නේ පසු අස්වනු අපතේ යාම හා සතුන්ගෙන් වන හානියයි. පසු අස්වනු අපතේ යාම නිසා මුළු නිෂ්පාදනයෙන් 30% ක් පමණ අඩුවන බව පසු අස්වනු තාක්ෂණික ආයතනය කළ පර්යේෂණවලින් හෙළිවෙලා තිබෙනවා.

වදුරන්, රිලවුන්, වල් ඌරන්, ඉත්තෑවන් වැනි සතුන් නිසාත් ආහාර බෝගවල අස්වැන්න විශාල ලෙස අඩු වෙනවා. මේවාට අපි ඉක්මන් පිළියම් යෙදිය යුතුයි. එවිට ආහාර සුරක්ෂිතතාව වැඩි වෙනවා. ප්‍රවාහනයේදී එළවළු හා පලතුරු 30% - 40% ක් තැලී පොඩිවී අපතේ යන බව සොයාගෙන තිබෙනවා. ඒ සඳහා විකල්ප ලෙස ප්ලාස්ටික් පෙට්ටි දුන්නත් එය හරියට ක්‍රියාත්මක වන්නේ නැහැ.

ඉදිරියේදී ආහාර හිඟයක් ඇතිවන්නේ නම් ඊට පිළියම් යෙදීමට රජය දේශීය කෘෂි විද්‍යාඥයන් පාරම්පරික ගොවියන් හා ගොවි සංවිධාන එක්වී ක්‍රමවත් විධිමත් කාර්යක්ෂම වැඩපිළිවෙළක් වහාම සකස් කළ යුතුයි.” යනුවෙන් මහාචාර්ය පාලිත වීරක්කොඩි පැවසීය.

අපේ රටට සාගතයක් හෝ ලොකු ආහාර හිඟයක් ඒමට වැඩි ඉඩකඩක් නැති වුවත් මේ කන්නයේ අපගේ අස්වැන්න සියයට 25% - 30%ක් අතර අඩුවීමට ඉඩ තිබෙන බව රුහුණු විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති හා සම්මානිත මහාචාර්ය ගාමිණී සේනානායක පවසයි.

“දැනට අපේ රටේ කුඹුරු සියයට 90ක් විතර වගා කරලා තිබෙනවා. නමුත් ඒවායේ අස්වැන්න අඩු වෙන්න පුළුවන්. ඒත් කාබනික ගොවිතැන, පරිසරය සුරැකීම වගේ කටයුතු වලින් දිගුකාලීනව ආහාර නිපැයුම වැඩි දියුණු කරන්න පුළුවන්. එවිට අපට ආහාර හිඟයක්, සාගත ඇති වෙන්න ඉඩක් නැහැ.

මේ ගැටලුවලට මුහුණ දීමට රජය විධිමත් ක්‍රියාමාර්ග ගත යුතුයි. ජනතාවත් සුළු සුළු කැපවීම් කර පරිසරය සුරැකීමට කටයුතු කළ යුතුයි.

රසායනික ගොවිතැන හැම එකටම නොගත යුතුයි. අත්‍යවශ්‍යම අවස්ථාවලදි කෘෂිකර්ම විද්‍යාඥ උපදෙස් අනුව රසායනික ගොවිතැන භාවිත කළ යුතුයි. ඒ සමඟම කාබනික ගොවිතැනත් හැකි සියලු තැන්වල භාවිත කළ යුතුයි. අපේ රටේ කෘෂිකර්මයේදි මැදුම් පිළිවෙත අනුගමනය කළ යුතුව තිබෙනවා. මෙවැනි ආහාර හිඟවලින් සුරැකීමට අපේ ජනතාව ගත කරන සුඛෝපභෝගි අධි පරිභෝජන ජීවන රටාව තරමකට හෝ අඩු කළ යුතුයි. ඒ සමඟම කොස්, දෙල්, පොල් වැනි ගස් ආරක්ෂා කළ යුතුයි. අල, බතල, මඤ්ඤොක්කා වැඩිපුර වගා කළ යුතුයි.”

මේ අනුව ඉදිරියේදි යම් අස්වැන්න අඩුවීමක් සිදුවෙනවා. ඒකට මුහුණ දීමට රාජ්‍ය නිලධාරින්, ගොවි සංවිධාන සමඟ දේශපාලනඥයන් හා පොදු ජනතාව එක්වී කාර්යක්ෂම වැඩපිළිවෙළක් වහාම සකස් කළ යුතු බවද මහාචාර්ය ගාමිණි සේනානායක පවසයි.


 

Comments