ගුව­නින් ලොව දින­න්නට යන සාරා | සිළුමිණ

ගුව­නින් ලොව දින­න්නට යන සාරා

 

යස අවුරුදු 19ක යුවතියකට ලොව වටා සවාරි ගසන්නට හැකිද? අපේ රටේ නම් ඒ වයසේ යුවතියක් උසස්පෙළ විභාගය අවසන් කළා පමණක් විය හැකිය. එහෙත් අප මේ කතා කරන 19 හැවිරිදි යුවතිය සැහැල්ලු ගුවන් යානයක නැඟී ලෝක වාර්තාවක් තියන්නට ලොව වටා යන්නීය.

ඇය සාරා රදර්ෆර්ඩ් ය. ඇගේ සැලසුම් සහගත ගුවන් ගමන කිලෝමීටර පනස් එක් දහසකි. සාරාගේ ඉලක්කය සැහැල්ලු ගුවන් යානාවක නැඟී ලොව වටා සංචාරය කළ ළාබාලතම ගුවන් නියමුවරිය වීමය. මීට පෙර මෙම වාර්තාවට හිමිකම් කියමින් තනිව ලෝකය වටා ගිය ළාබාලම ගුවන් නියමුවරිය වන්නේ තිස් හැවිරිදි අමෙරිකානු ජාතික ගුවන් නියමුවරියක වෙන ‘ශෙෂ්ටා වයිස් ’(Shaesta Wais) ය. ඇය මේ වාර්තාව තැබුවේ වර්ෂ 2017 දීය. පුංචි කොල්ලෙකුත් මීට පෙර ලෝකය වටා තනිවම පියාසර කළේය. වර්ෂ 2018 දී එම වාර්තාව තබන විට ඔහුගේ වයස අවුරුදු 18කි. ඔහු මේසන් ඇන්ඩෘස් (Mason Andrews) ය.

ශෙෂ්ටා වයිස් ගේ වාර්තාව බිඳ හෙළන අභිලාෂය සහිත සාරා සිය කිලෝමීටර 51000ක ගමනේදී මහාද්වීප පහක් තරණය කරන්නීය. එක්සත් ජනපදය, රුසියාව සහ කොලොම්බියාව ඇතුළු රටවල් 52 ක ගොඩබසින්නීය. දෙවරක් සමකය හරහා යෑමටත් බලාපොරොත්තුවන්නීය. අගෝස්තු 11 වැනි දා බටහිර බෙල්ජියමේ Kortrijk-Wevelgem ගුවන් තොටුපළින් ආරම්භ කෙරුණු මෙම ලෝක චාරිකාව මාස තුනක කාලයක් තුළදී අවසන් කිරීමට ඇය සැලසුම් කර තිබුණත් මේ වනවිට ඒ සැලසුම් වෙනස් වී ඇත. අයහපත් කාලගුණ තත්ත්වය මෙන්ම ගොඩබස්වන ලද රටවල ඇතිවූ වීසා ප්‍රශ්න ඇයගේ සැලසුම් සහගත කාලය තවත් දිගු කර තිබේ. ලෝකය වටා කිරිල්ලියක සේ සැරිසරන සාරා ගැන මේ තරම් අවධානය ලක්වන්නට හේතුව ඇය සිය ශාක්. යූ. එල් වර්ගයේ අති සැහැල්ලු ගුවන්යානය පදවාගෙන පසුගිය 28 දා චාරිකාවේ 40 වැනි නවාතැන ලෙස රත්මලාන ගුවන්තොටුපළට පැමිණීමය. ගුවන් තොටුපළ නිලධාරීහු ඇයව උණුසුම් ලෙස පිළිගත්හ.

සාරා දින දෙකක් ශ්‍රී ලංකාවේ රැඳී සිටියාය. පසුගිය 30 වැනිදා උදෑසන ඇය ඉන්දියාවේ කොයිම්බතූර් බලා පිටත්ව ගියාය. මෙරට ගත කළ දෙදින සාරා ගෙවුවේ විවේක සුවයෙන් සහ සතුටිනි. පැය පහක ගුවන් ගමනකින් අනතුරුව ඇයට විවේකය අවශ්‍ය විය. සිවිල් ගුවන් අධිකාරිය, රත්මලාන ගුවන්තොටුපළ කාර්ය මණ්ඩලය හා ගුවන් හමුදාව ඇයව පිළිගත් ආකාරයත් ඇයට ලබා දුන් සමරු තිළිණ පිළිබඳත් ඇය සිය අසීමිත සතුට පළ කළාය.

“ඔබ කවරෙක් හෝ ලෝක චාරිකාවක යෙදෙනවා නම් අනිවාර්යයෙන් ශ්‍රී ලංකාව ස්පර්ශ කළ යුතුමයි!” සාරා ලෝකයටම ඒ පණිවිඩය දීමටත් අමතක නොකළාය. ලංකාවේ තේවල රසය මෙන්ම ලංකාවේ විඳි සුන්දර මතකයන් ද ස්පර්ශ කළාය.

සාරා ඉපදුණේ 2002 වසරේය. දැන් ඇයට වයස අවුරුදු 19කි. එංගලන්තයේ වින්චෙස්ටර්හි උපත ලද සාරා දැන් පදිංචිය බෙල්ජියමේය. සාරාගේ පියා ද බ්‍රිතාන්‍ය බෙල්ජියම් ජාතික ගුවන් නියමුවෙකි. ඔහු සෑම් රදර්ෆර්ඩ්ය. අම්මා බියට්‍රිස් ඩි ස්මෙට් ය. ඇය ද ගුවන් නියමුවරියක මෙන්ම ලෝකයේ අභියෝග රැසක් ජයගැනීම සඳහා ජීවිතය පරදුවට තැබූ ජවසම්පන්න කාන්තාවකි. බෙල්ජියමේ උපත ලැබූ සාරාගේ අම්මා බියට්‍රිස් නීතිඥවරියක ලෙස වෘත්තීය ජීවිතය ආරම්භ කර තිබිණි. අනතුරුව ගුවන් නියමුවරියක ලෙස පුහුණුවීම් ලැබූ ඇය ඉතාලිය, ප්‍රංශය, බොට්ස්වානා සහ එක්සත් රාජධානිය වැනි රටවල් කිහිපයක ජීවත් වූවාය. සැහැල්ලු ගුවන් යානාවකින් විටෙක තනිවත් විටෙක කණ්ඩායම් වශයෙනුත් අප්‍රිකාවේ පියාසර කළාය. සහරා කාන්තාරය හරහාත් බටහිර සහ දකුණු අප්‍රිකාව පුරාත් ‘ෆෝ වීල්’ ජිප් රථ පැදෙව්වාය. එම සියලුම ගමන්වල ඡායාරූප එක්කාසු කර පුළුල් ඡායාරූප වාර්තාකරණයක නිරත වූවාය. සාරා ඒ අම්මාගේම දුවය. යන්තම් වසර 14ක් පිරෙද්දි සාරා සිය පළමු ගුවන් නියමු අත්දැකීම ලබාගත් අතර ගුවන් නියමු බලපත්‍රය ඇය විසින් ලබා ගන්නේ 2020 දීය. ඒ වනවිට ඇයගේ වයස අවුරුදු 17 කි.

රත්මලානට සාරා පැමිණි මොහොතේ පිළිගත් අයුරු

මේ හුරුබුහුටි කෙල්ල තරම්ම ඒ ගුවන් යානයත් හුරුබුහුටිය. ශාක්. යූ. එල් වර්ගයේ අතිසැහැල්ලු ගුවන් යානාව වන එය සැහැල්ලු ගුවන් යානා අතර තිබෙන වේගවත්ම ගුවන් යානාවක් ලෙස විශේෂයෙන්ම සැලසුම් කළ එකකි. පැයට කිලෝමීටර 320ක් දක්වා වේගවත්ය. එම යානයේ ගුවන් අත්දැකීම සාරා විටෙක සී.එන්.එන් සේවයට රස කරමින් පවසා තිබිණි. රුසියාවේ සිට පසුගිය 11 වැනිදා කොරියාවේ සෝල් නුවර බටහිර අන්තයේ පිහිටි ගිම්පෝ ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත ගොඩ බට සාරා, සිය ලෝක චාරිකාවේදී මුල්ම වරට ආසියාව ස්පර්ශ කළාය.

බටහිර බෙල්ජියමෙන් ගුවන්ගත වන්නට පෙර ඇය මේ ගමනේ නිමිත්ත ලෝකයට කීවාය. ඒ නිමිත්ත සිය flyzolo.com වෙබ් අඩවියේ මෙසේ සටහන් කර තිබිණි.

“මම සාරා. මට වයස අවුරුදු 19 යි. 2021 අගෝස්තු 18 වැනි දින මම කුඩා ගුවන් යානයක් සමඟ තනිව ලොව වටා පියාසර කිරීමට උත්සාහ කරමින් දීර්ඝ ගමනක නිරත වෙනවා. මගේ ගමන සාර්ථක වුවහොත්, ලෝකය වටා ගිය ලොව ළාබාලම කාන්තාවගේ ගිනස් වාර්තාවට හිමිකම් කියන්නේ මමයි.”

මේ ගුවන් ගමන සමඟ මට අවශ්‍ය වන්නේ ගැහැනු ළමයින් සහ තරුණියන් ඔවුන්ගේ සිහින හඹා යෑමට දිරිගැන්වීමයි. අපි පුංචි කාලෙ අහන සුරංගනා කතාවල ඉන්නේ වීරෝධාර කුමාරවරු. ඒ එක් සුරංගනා කතාවක කුමාරයා අනේක බාධක බිඳගෙන ඇවිත් ‘ස්ලීපින් බියුටි’ නිදහස් කරගන්නවා. කුමාරයා ඇවිත් තමා නිදහස් කරගන්නකම් කුමරිය බලාගෙන ඉන්නවා. පුංචි කාලෙදි අපිට බෝනික්කො ලැබෙන විට පිරිමි ළමයින්ට ගණිතය විද්‍යාව සහ තාක්ෂණය පිළිබඳ දැනුම කුළුගන්වන සෙල්ලම් බඩු ලැබුණා. මට හිතුණා මේ ආකල්ප වෙනස් වෙන්න ඕන කියලා. මේ ලෝකය වටා යන ගමනින් මා අපේක්ෂා කරන්නේ ගුවන් සේවාවල මෙන්ම විද්‍යාව, තාක්‍ෂණය, ඉංජිනේරු විද්‍යාව සහ ගණිතය යන ක්ෂේත්‍රවලට යොමුවන්න කාන්තාව දිරිමත් කිරීමයි. ඒ හරහා එම ක්ෂේත්‍රවල වෘත්තිකයන් අතර ස්ත්‍රී පුරුෂ පරතරය අඩු කිරීමයි.”

මේ පුංචි කෙල්ල ඒ මහා පණිවිඩයත් රැගෙන ලෝකය වටා ඉගිල්ලෙන්නීය. අනතුරුව ඇය උසස් අධ්‍යාපනය සඳහා සරසවියට ප්‍රවේශ වන්නීය. ග්‍රහලෝකය වටා කරක් ගැසූ ඇයගේ ඊළඟ අභිලාෂය විශ්වය ජයගැනීම සඳහා ගගනගාමියකු වීමය. එවැනි මහා අපේක්ෂා සහිත කෙල්ලන් ද මේ ලෝකයේ විරල නැත.

Comments