ලොව වටා | Page 2 | සිළුමිණ

ලොව වටා

පිළිගන්නෙත් නෑ ප්‍රතික්ෂේප කරන්නෙත් නෑ

තවත් ධූර කාලයක් සඳහා ජනවරමක් ඉල්ලමින් මීළඟ මැතිවරණය සඳහා තරග වැදීමට තමන් අපේක්ෂා කරන නමුත් ඒ පිළිබඳව තවමත් අවසන් තීරණයකට එළැඹ නොමැති බව ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් පවසා තිබේ. මේ වන විට ගතවෙමින් පවතින්නේ ඔහුගේ පළමුවැනි ධූර කාලයේ අවසන් දින කිහිපයයි. එළඹෙන අප්‍රේල් මාසයේදී ප්‍රංශ ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතය.

ඉතා ළාබාල වියේදී ප්‍රංශයේ ජනාධිපති ධූරයට පත් වූ එම්මානුවෙල් මැක්‍රෝන් එරට ජනතාවගේ විශ්වාසය දිනා ගනිමින් සාර්ථක පාලනයක් ගෙන යෑමට සමත් විය. පැතිර ගිය කොවිඩ් 19 වසංගතයට වුවද ඔහු ශක්තිමත්ව මුහුණ දුන් අතර ඒ හේතුවෙන්ම දෙවැනි ධූර කාලයක් සඳහා ජනතාව ඉදිරියට පැමිණෙන්නේ නම් ඔහුට ජනතා කැමැත්ත ලැබෙනු ඇති බව අනුමාන කළ හැකිය. එහෙත් මැක්‍රෝන් පවසා ඇත්තේ තමන් තවමත් ඒ පිළිබඳව තීරණය කර නොමැති බවයි.

 

--------------------------

ඇපල් මිල ඉහළට

සන්නිවේදන තාක්ෂණ උපකරණ සඳහා ලෝක ප්‍රසිද්ධියක් උසුලන ඇපල් සමාගමේ සම්පූර්ණ වටිනාකම ඩොලර් ට්‍රිලියන තුනක් දක්වා වර්ධනය වී ඇති බව එම සමාගම පසුගියදා ප්‍රකාශ කර තිබේ. මෙසේ සමාගමේ වටිනාකම ඉහළ යෑමට හේතුව වී ඇත්තේ පැතිර ගිය වසංගතයත් සමඟ සන්නිවේදන උපකරණ සඳහා ලෝකයෙන් අධික ඉල්ලුමක් ඇති වීමයි.

ලෝකයේ මෙතරම් වටිනාකම් වාර්තා කළ ප්‍රථම සමාගම ලෙස ද ඇපල් සමාගම ඉතිහාස ගතවී තිබේ. 2018 වසරේදී ඇපල් සමාගම ඩොලර් ට්‍රිලියනයක වටිනාකමක් වාර්තා කළ අතර පසුගිය වසරේදී එය ඩොලර් ට්‍රිලියන දෙක දක්වා වර්ධනය වී තිබේ. එමෙන්ම එය ඩොලර් ට්‍රිලියන තුන දක්වා වර්ධනය වීමට ගත වී ඇත්තේ ඉතා කෙටි කාලයක් වීම ද විශේෂත්වයකි.

 

-----------------------

හිමාලේ නඟින්න එන්න

වර්ෂ 1977න් පසු හිමාලය තරණය කිරීමට පැමිණි අවම සංචාරකයන් සංඛ්‍යාව මේ දිනවල වාර්තා වෙමින් පවතින බව නේපාල බලධාරීන් ප්‍රකාශ කර තිබේ. ඒ අනුව 2021 වසර වාර්තා වනු ඇත්තේ අවම සංචාරකයන් සංඛ්‍යාවක් හිමාලය තරණය කර වසර වශයෙනි.

කොවිඩ් ව්‍යප්තිය ආරම්භ වීමට පෙර වසරකට සංචාරකයන් ලක්ෂ 12ක් පමණ නේපාලයට පැමිණෙන නමුත් කොවිඩ් හේතුවෙන් එය වසරකට සංචාරකයන් ලක්ෂයකට මඳක් වැඩි අගයක් දක්වා පහත බැස තිබේ.

මේ හේතුවෙන් නේපාලය කිසියම් ආර්ථීක අර්බූදයකට යමින් සිටින බව ද එරට මාධ්‍ය වාර්තා කර තිබේ. නේපාලය ආදායම් උපදවන මාර්ග අතරින් ප්‍රධාන වන්නේ සංචාරක කර්මාන්තයයි.

---------------------------

දකුණු අප්‍රිකානු පාර්ලිමේන්තුව ඇවිළෙයි

පසුගියදා දකුණු අප්‍රිකාවේ පාර්ලිමේන්තු ගොඩනැඟිල්ලේ විශාල ගින්නක් පැතිර ගියා. වහාම ක්‍රියාත්මක වූ එරට ගිනි නිවන අංශ ගින්න නිවා දැමීමට කටයුතු කළත් ඒ වන විට ගින්නෙන් ගොඩනැඟිල්ලට විශාල වශයෙන් හානි සිදුවූ බවයි පැවසෙන්නේ.

ගින්න නිවා දැමීමෙන් පසුව මේ ගින්න ඇති වීමට හේතු සෙවූ දකුණු අප්‍රිකානු ආරක්ෂක අංශවලට දැන ගන්නට ලැබී ඇත්තේ මේ ගින්න කිසියම් පුද්ගලයකු විසින් හිතාමතා අවුළුවන ලද්දක් බවයි. එම පුද්ගලයා සැන්ඩිල් ක්‍රිස්මස් මාෆේ යනුවෙන් පසුව හඳුනා ගත් අතර ඔහු අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් ගත කරනු ලැබුවා. මේ පුද්ගලයා මීට පෙරද රජයේ ගොඩනැඟිලිවලට කඩාවැදීම් සහ සොරකම් කිරීම් සම්බන්ධව දඬුවම් ලැබූවකු බව ද ආරක්ෂක අංශ ප්‍රකාශ කර සිටියා.

Comments