
ලාංකේය වමේ ව්‍යාපාරයේ ඉතිහාසය ඇරඹෙන්නේ මීට වසර 86කට පෙරය. එහි සංවිධානාත්මක පක්ෂයක් ලෙස කරළියට ආවේ සමසමාජයයි. ඊට මූලික වූවන් අතර ආචාර්ය ඇන්. ඇම් ද ප්‍රමුඛයෙකි. ඔහු සමාජවාදී සමාජ ක්‍රමයක් අරමුණු කරගනිමින් දොරින් දොර ජනතා දුක නිවූ මානව හිතවාදියෙකි. මේ, ඔහුගේ දිවිසැරිය පිළිබඳ සිළුමිණේ පළවන සංක්ෂිප්ත කතා මාලාවේ පළමු වැන්නයි.
විසි වැනි සියවසේ පැවැති සමාජ වට පිටාව දෙදරුම් කැවූ මේ මිනිසා නානායක්කාර පතිරගේ මාටින් පෙරේරා ය. නොහොත් ඇන්.ඇම්. පෙරේරා ය. ඔහු උගත් දේ බොහෝ ය. ඒ ළපැටි අවධියෙහි දුගී පැල්පතක සිට පාසල් අවදියේ ලද අතිශය සංවේදී වූ අත්දැකීම් සමුදායකි.
අතිශය වෙහෙස මහන්සියක් විඳ දරා ගනිමින් තමන් ඇතුළු පවුලේ සාමාජිකයන්ගේ බඩ සාගිනි නිවන්නට තම පියා විඳි දුක් ගැහැට ඔහු හොඳින් දැන සිටියේ ය.
සමාජ යථාර්ථය තේරුම්ගත් මේ මිනිසා තමන්ගේ මරණය තෙක් වසර හැට හැත්තෑවක කාලයක් තුළදී තමන්ට කළ යුතු වූ මහ මෙරක් ඇති බව සිත තුළ පැළපදියම්ව සිටි හෙයින් එය පූර්ණය කළේය.
එහෙත් ඇන්.ඇම්. පෙරේරා එසේ මෙසේ තම උත්පත්ති ගත සිද්ධීන් පොදුජනයා අතරට ගෙන එනුයේ සුප්‍රසිද්ධ කථිකාවතකින් නොව අද පාර්ලිමේන්තුව එදා තිබූ ජාතික රාජ්‍ය සභාවේදී ය. හැන්සාඩ් ගත වී ඇති 1972 නොවැම්බර් මස 27 වැනිදා කළ එම ප්‍රකාශය මෙසේය.
“මගේ පියාගේ නම නානායක්කාර පතිරගේ ඒබ්‍රහම් පෙරේරා ය. තොටළඟ කවුරුත් මගේ පියා ගැන දන්නවා. විශේෂයෙන් අබරන් කීවාම කවුරුත් දන්නවා. මං ඉපදුනේ පොඩි පැල්පතක. මගේ තාත්තා පොඩි මිනිහෙක්. පරණ තාලෙ මිනිහෙක්. සතෙන් සතේ ආරම්භ කර දියුණුවෙන්න උත්සාහ කළා. ඔහු සම සමාජවාදියෙක් නෙමෙයි. තාත්තා, මැරෙන තුරාම කොණ්ඩෙ බැන්දා. පනාවකුත් ගැහුවා. මා පිටරට සිටි කාලයේ කටුකුරුන්දේ විශාල දුම්රිය අනතුරක් වූ අවස්ථාවේදී පනාවක් ඔළුවෙ ගැසූ මිනිහෙක් අනතුරකට පත්වූ නිසා අපේ තාත්තා පනා ගැසීම නතර කළා. ඉතින් මම ඔය විදියේ දුප්පත් පවුලකින් පැවත එන මිනිහෙක්. ඒ නිසා “මාටින් කියන එක මට නම්බුවක්. මම රිදී හැන්දක් කටේ තියාගෙන ඉපදුන මිනිහෙක් නෙමේ. දැදිගම මන්ත්‍රී තුමා (ඩඩ්ලි සේනානායක) ඉගෙන ගත්තෙ එංගලන්තෙ. උන්නැහේ “පෝලෝ” වලින් සමත් වුණා. පෝලෝ කියන්නෙ ධනපතියන් අශ්වයො පිට නැඟ කරන සෙල්ලමක්. මම පී.එච්.ඩී. විභාගය පාස්වුණා. අපි දෙන්න අතර වෙනස ඒකයි.”
ඇන්. ඇම් ගැන කියද්දී ඔහු මෙරටට බිහි කළ මාතාව වූ රන්වලගේ ජොහානා පෙරේරා මහත්මියත්, පියාණන් වූ ඒබ්‍රහම් පෙරේරා මහතාත් ගැන සඳහන් කළ යුතුය. 1905 අවුරුද්දේ ජූලි මස 5 වැනිදා මෙම දෙමහල්ලන්ට බලගතු ගැටලුවකට මුහුණ දෙන්නට සිදුවිය. බඩදරුව සිටි ජොහානා හදිසියේ ගෙමිදුලේ ඇද වැටුණේ පය ලිස්සා යමිනි. දරු ගැබට මාස 7ක් පසුවී තිබිණ. විලිරුදාව ඇතිවිය. වින්නඹුවන්ගේ උදව්වෙන් ගෙමිදුලේම උපන් දරුවාට මවුකිරි උරන්නට තරම් ශක්තියක් නොපැවතිණ. එහෙත් මවුකිරි කෝප්පයකට පුරවා, පාන්කඩකින් තෙමා ලේන් පැටවකුට කිරි පොවන අයුරින් තම දරුවා රැක බලා ගන්නට ඒ මාතාව දහදුක් වින්ඳේ වසර කිහිපයක් පුරාවටය.
අනිකුත් ගම් වැසි දරු දැරියන් හා සමගාමීව දුවන පනින තම දරුවා දෙස දෙමාපියන් බැලුවේ හිත් තුළ ඉල්පගෙන එන දරු සෙනෙහස තුළින් පණ ලැබූවන් පරිද්දෙනි. ළාබාල කාලයේදී තම පවුලේ සහෝදර සහෝදරියන් සමඟ මෝදර ගල්පල්ලියේ ඉස්කෝලෙට ගිය ඇන්.ඇම්. ගල්කිස්සේ ශාන්ත තෝමස් විදුහලට ඇතුළු වූයේ 1909 අවුරුද්දේ ය. ඇන්.ඇම්. තම පූර්ව ළමා අවධිය ගැන මෙසේ සඳහන් කර ඇත.
“1909 දී මම ගල්කිස්සේ පිහිටි ශාන්ත තෝමස් විදුහලට ඇතුළත් වීමි. මා එහි යන විට වැඩිමල් සොයුරු ඇන්.ඇස්. පෙරේරා “කොපල්ස්ටන්” නේවාසිකාගාරයේ ශිෂ්‍ය නායකයා බව පත්ව සිටියේ ය. මගේ අනිත් සොයුරා නැවතී සිටියේ ද මෙම නේවාසිකයේය. එමනිසා මුල සිටම මා ද එයට ඇතුළු විය. සාමාන්‍යයෙන් මුලින් ‘වින්චෙස්ටර්’ වැනි කුඩා නේවාසිකාගාරවලට සිට ‘චැමියන්’ හා ‘කොපල්ස්ටන්’ වැනි නිවාසවලට බාලයන් යැවීමත් සිදුවිය. එහෙත් පැවැති එම ක්‍රමයෙන් ගැලවීගත හැකිවිය.
කොපල්ස්ටන් නිවාසය විදුහලට අයත් භූමි භාගයෙන් පිටත ඉදිකර තිබුණක් විය. පාසල් බිම තුළ නේවාසිකාගාර පහසුකම් සැලසීම මූලික අවස්ථාවේ පවතින්නක් වූ හෙයින් ඒ සඳහා පෞද්ගලික නිවසක් කුලියට ගෙන තිබිණ. එය පැරණි තරමක අබලන් වූ නළ ජල පහසුකම් රහිත ගොඩනැඟිල්ලක් විය. එම නිවසට අයත් ළිඳ වෙත යාමට අපට සිදුවූ අතර උදෑසන මුහුණ කට සෝදා ගැනීම සඳහා තදබදයක් පැවතිණ. බිමට සිමෙන්ති පවා නොයෙදූ මේ අබලන් ගොඩනැඟිල්ල තුළ අප 40 දෙනකු පමණ සිටියහ. උදේ තේ බීම සඳහා අප කෑම කාමරයට යා යුතු විය.
කලිසම් කමිස ඇඳ හිසවත් නොපීරා මූණ සෝදා හෝ නොසෝදා ආදී ලෙසින් කෑම ශාලාවට ළමයින් දුවයනු දැක්ම බලා සිටීමට තරම් වූ දර්ශනයක් විය. සමහරකු යන අතර මඟ සපත්තු ලේස් ගැට ගසමින් ගිය අතර, තවත් සමහරු ඇඳුම්වල බොත්තම් දමමින් ගියහ. කෙතරම් අපිළිවෙළකින් පිටත්වුවද, ශාලාව අබියසට එනවිට සියල්ලෝ ම හොඳින් සැරසී සිටියහ.
මගේ පාසල් ජීවිතයේ ප්‍රීතිමත්ම අවදිය ශාන්ත තෝමස් විදුහලේ ගත කළ කාලයයි. ඒ නිසා එය සිහිපත් කළ හැක්කේ, කාන්සියෙන් යුතු හැඟීමෙනි. අධ්‍යාපන කටයුතු මට ඉතා පහසු විය. ඒ සඳහා මා පෙළඹවීමක් අවශ්‍ය නොවීය. පන්තිය භාර ගුරුතුමා බලාපොරොත්තු ප්‍රමාණයට පමණක් වැඩ කළ මම කිසිවිටක පන්තියේ ඉහළ තැනකට යා යුතු යයි නොසිතුවෙමි. පන්තියේ මුල් දහ දෙනා තුළ රැඳී සිටීම මට ප්‍රමාණවත් විය.
පාසල අවසන් වූ විගස අප කෑම සාලාවට රැස්වූයේ යම්තම් බටර් පෙන්වන ලද පාන්පෙත්තක් කා නීරස හෝ තේ කෝප්පයක් භුක්ති විඳීමටය. සමහර විට නීරස කෙසෙල් ගෙඩියක් ද ඊට එක්වූවාදැයි මට මතක නැත. කෙසේ වෙතත් අපි කෑම එතරම් ගණන් නොගත්තෙමු. තිබෙන ඕනෑ දෙයක් ගිල දැමූ අපි කෙළින්ම ගියේ ක්‍රිකට් පිටියට ය.
ක්‍රිකට් අප කාගේත් සිත් ගත් එකම ක්‍රීඩාව විය. අපි ඒ පිළිබඳව කථා බහ කළෙමු. සිහින මැව්වෙමු. කොටින්ම අපි ජීවත් වූයේ ක්‍රිකට් වෙනුවෙනි. ක්‍රිකට් සමාජ දෙකක් පාසල තුළ විය.
ඒ කුඩා සමාජය හා විශාල ක්‍රීඩා සමාජය යනුවෙනි. කුඩා සමාජය කුඩා ළමුන් සඳහා වෙන්වූ අතර එය අංශ හතරකින් සමන්විත විය. කුඩාම ළමයින් ක්‍රිකට් ක්‍රීඩාව ඇරඹිය යුතු වූයේ එහි පහළ අංශය වූ “ඩී” අංශයට ඇතුළත් වීමෙනි. ඉඳහිට ක්‍රිකට් ක්‍රීඩාවේ වඩා බලාපොරොත්තු තැබිය හැකි ළමයින්ට “සී” අංශයට ඇතුළු විය හැකිවිය. මා ක්‍රිකට් ක්‍රීඩාවේ දක්ෂතා දැක්වූ බැවින් “සී” අංශයට ඇතුළුවීමට හැකි විය. “සී” අංශයේ දස්කම් පෑවුන් “බී” අංශයට උසස් කරන ලදී. ඊළඟ පියවර වූයේ “ඒ” අංශයට ඇතුළු වීමටය. “ඒ” අංශයට ඇතුළුවීම විශාල ක්‍රීඩා සමාජය වෙත එළඹීමට අවස්ථාව විය.
පාසලේ සිටි දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයන් මුල් 11 දෙනා සහ පාසල වෙනුවෙන් ක්‍රීඩාවට බැසීමට අපේක්ෂා කළ සෙස්සන් අයත් වූයේ විශාල ක්‍රීඩා සමාජයට ය. කුඩා ක්‍රීඩා සමාජයට අයත් අපි විශාල ක්‍රීඩා සමාජයට උසස් කරන්නේ කවදා ද යන්න හා පාසලේ වර්ණ සහිත කබාය පැලඳීමට හිමිකම් ලබන්නේත් මුල් 11 දෙනාට අයත්වන්නේත් කවදාදැයි සිහින දකිමින් පසුවුනෙමු.
ශාන්ත තෝමස් විදුහලේ කුඩා ක්‍රිකට් සමාජයේ සිටියදී විදුහලේ ඉතිහාසයේ ලියවෙන නමක් ඇතිකර ගැනීමට මා සමත් වී යැයි මම සිතමි. මා “සී” අංශයේ සිටියදී ඊට ඉහළින් වූයේ අපට වඩා වයසින් වැඩි, අපට වඩා ක්‍රිකට් ක්‍රීඩාව ගැන ශූරතාවයක් ඇති අයයි. එහෙත් මාස කීපයක් තුළදී කිසිදිනක නෑසූ විරූ නොදුටු වික්‍රමයක් කිරීමට අපට හැකි විය. “බී” අංශයට අභියෝග කළ අපි ඔවුන් පහසුවෙන් ම පැරැද්දුවෙමු. අපේ ජයග්‍රහණය තකා පන්දු යැවීමෙන් මා කළ මෙහෙය ප්‍රධාන තැනක් ගත් බව සඳහන් වීම මා තුළ අභිමානයක් ඇති කළේය. අපි ලැබූ කීර්තියෙන් සෑහීමකට පත්ව නොසිටියෙමු. “ඒ” අංශයට අභියෝග කළ අපට නියත විකට්ටුවක ක්‍රීඩා කළ හැකි විය. මේ තරගයේ ප්‍රතිඵලය කුමක්ද යන්න මා මනසින් ගිලිහී ගොස් තිබුණ ද අප එතරම් නරක නොවූ බව පමණක් කිව හැකිය. පසු කලක විදුහලේ ක්‍රිකට් ක්‍රීඩාවේ කැපී පෙනුන හොඳ ක්‍රීඩකයන් කීප දෙනෙක් ම අපේ කණ්ඩායම සතු වූහ. ඉන්පසු වැඩි කලක් යාමට පෙර මා ඉහළ ක්‍රීඩා සමාජයට උසස් කළත් පාසල් කණ්ඩායමේ මුල් එකළොස් දෙනාට ඇතුළු වීමට තරම් කාලයක් මම එම පාසලේ නොරැඳුනෙමි. 1922 මම ශාන්ත තෝමස් විදුහලෙන් ආනන්ද විදුහලට පැමිණියෙමි.
මගේ අධ්‍යාපන කටයුතු සකස් කර ගැනීමේ ලා ස්ටොන් පියනම මට අත හිත දුන්නේය. විද්‍යා විෂයන්ගෙන් ශාස්ත්‍රීය කටයුතු වෙත මා යොමු කළේ ඔහු විසිනි. ඒ වන විටත් විද්‍යා ශිෂ්‍යයන්ව සිටි මගේ සොහොයුරන් දෙදෙනා මෙන් විද්‍යාවට නැඹුරුවී මා ලතින් හෝ ග්‍රීක භාෂාව උගත යුතු බව කීවේ ඔහු ය. ඒ වන විට හතරවැනි පන්තියේදී අපට ලතින් භාෂාව උගන්වීමට සූදානම්ව තිබිණ.
කනිෂ්ඨ කේම්බ්‍රිජ් විභාගය සඳහා ප්‍රාරම්භක පන්තිය වූ පස්වැනි පන්තියට සමත් වූ පසු ග්‍රීක භාෂාව ඉගෙනීමට ද මට සිදුවිය. එහෙත් ඊට එරෙහි වීමට සිතක් මට පහළ නොවීය. මගේ වැඩිමල් සොහොයුරු ඇන්.ඇස්. පෙරේරා මා ග්‍රීක භාෂාව තෝරා ගැනීම අනුමත කළ නිසා මට එය ඉගෙනීමට සිදුවිය. ග්‍රීක හෝඩියෙන් තවම මට මතකයේ ඇති එකම පොත වන්නේ “සෙනේෆොන් ඇන බෙස්ස” යන්නයි. එහෙත් මගේ වාසනාවට මෙන් මේ මළ භාෂාව හැදෑරීමට මත්තෙන් මා ශාන්ත තෝමස් විදුහලෙන් අස්කර ගන්නා ලදී.
ශාන්ත තෝමස් විදුහලෙන් කොළඹ ආනන්ද විදුහලට පැමිණි ඇන්.ඇම්. නව ලොවකට පිළිපන්නේය. ළමා මනස නව ප්‍රබෝධයකට පත්වන්නට විය. මෙය ජාතික අභිමානය ප්‍රකට කරන යුගයක ආරම්භයකි. විදුහල්පතිවරයා ද අමුතුම මිනිසකු විය. ඔහු තම පාසල් දරුවනට ආදරණීය තාත්තා කෙනෙකු මෙන් තම ශිෂ්‍යයන් රැක බලා ගත්ත ද වරද දුටු තැන සැරපරුෂව ශිෂ්‍යයන් නොමගින් සුමඟට පත් කරන්නට දැඩි වෙහෙසක් ගත්තේය.
ශාන්ත තෝමස් විදුහලේ සිටියෝ දිග කලිසම කබාය ඇඳ පිළිවෙළකට පාසලට පැමිණ කාලවේලාව ඉක්මවායත් ම තම කාර්ය භාරය හමාර කොට ඉවත්ව යාම සිරිතක් වුව ද ආනන්දයේ මුල් පුටුව හෙබවූ පී. ද එස්. කුලරත්න විදුහල්පතිතුමා ජාතික ඇඳුම හැඳගෙන සිටි පුද්ගලයකු වූ නමුත් හැම පන්තියක් පාසාම ගමන් ගනිමින් ක්‍රියාශීලීව ආනන්දය යළි රටම දෙදරුම් කවන විද්‍යා පීඨයක් බවට පත්කර ලන්නට වෙර දරන බව ළපටි වියේදීම ඇන්.ඇම්. හොඳින්ම දැක බලා ගත්තේ ය.
ගුරු මඬුල්ල, කුලරත්න මහතා විසින් තම අරමුණු ඉටු කෙරුම සඳහා සකස් කෙරුණක් විය. ඒ ජාතික අනන්‍යතාව මුළු රටටම එක්කර ගනු සඳහා සැකසුනක් විය. ඩී. වීර මන්ත්‍රී, ටී.බී. ජයා, ගුණපාල මලලසේකර, සී. සුන්දරලිංගම්, ඩී.එස්. ට්‍රෙයින්, සී. ටී. රණවක, විලියම් පෙරේරා, ජේ.එස්. ජිනේන්ද්‍රදාස, එල්.එච්. මෙත්තානන්ද, ජී.සී. එදිරිසිංහ යන ගුරු පියවරු ආනන්දය එකලු කරමින් ජාතික ප්‍රබෝධය තම ශිෂ්‍ය ප්‍රජාවට එක්කර ලීමට දැඩි වෙහෙසක් ගනිමින් සිටියහ.
මෙතෙක් තමන් අඳුරකට මුවාවී ගත කළ සෙයක් ඔහුට වැටහිණ. පෙර උගත් පාසල තුළ සිටි ශිෂ්‍ය ප්‍රජාව මෝහනයට පත්කර අඳුරු ලොවකට රැගෙන ගිය අයුරු ඔහුට සිහිපත් විය.
අපූරු ප්‍රියශාන්ත ගුරු හිමිනමක් එකල ආනන්දයේ වැඩ සිටියහ. එතුමෝ නමින් බළංගොඩ ආනන්ද මෛත්‍රීය හිමි වූහ. හිමියෝ හැම සිසුවකුම තම ආකර්ෂණයට යොමු කරගත්හ.
පොහෝදා ආනන්දය පන්සලක ස්වරූපයක් ගෙන තිබුණි. සුදුවතින් පෙළ ගැසී එන තම සහෝදරයන් සමඟ අට සිල් සමාදන් වී බණ භාවනා කිරීමට ඇන්.ඇම්. ට ද සිදුවිය. සිත් පහන් වූවන් සමඟ එක්ව පසුදින සිදුවන්නේ කුමන බාහිර කටයුත්තකට දැයි සියල්ලෝ ම බලා සිටියහ.
මේ වනවිට මහත්මා ගාන්ධි, මෝතිලාල් නේරු, සප්රුමළවියා, සී.ආර්. දාස් යනාදීන්ගේ නායකත්වය යටතේ ඉන්දීය මහාද්වීපය තුළ අතිමහත් ජනතා පිබිදීමක් මතුවන්නට විය. විදුහල්පති පී. ද එස්. කුලරත්න මහතා සිය ගුරු මඬුල්ලගේ කැමැත්ත ගෙන ආනන්දයේ දරුවන් තුළ ජාතික උද්ධාමය ඇති කරන්නට වැඩපිළිවෙළක් යෙදී ය.
නියමිත කාල සටහන අනුව පන්ති පැවැත්වුව ද ඉන් පසුව විශේෂ දේශන පැවැත්වූහ. එයට එක්වූවෝ මෙරටින් පරිබාහිර ව පැමිණියෝ ය. සරෝජනී නායිදු මැතිනිය ආනන්දයේ වේදිකාවේ සිට ඉන්දීය නිදහස් අරගලය ගැන කළ දේශනය ඇන්.ඇම්. ගේ ගත සිත පුබුදු කළේ ය. ලක්ෂ සංඛ්‍යාත ජන සමූහයක් කුසගින්නේ සිටිය ද තම දේශය අධිරාජ්‍යවාදීන්ගෙන් මුදාගැනීමට දේශයේ අනන්‍යතාව සුරක්ෂිත කිරීමට ඇප කැපවී සිටින බවට උදාහරණ දක්වමින් එතුමියගේ දේශනය අසා සිටි ඇන්.ඇම්. තමා සිටි අසුනෙන් නැගිට දුව ගෙන ගොස් එතුමියගේ පාද නමස්කාර කළේ ය.
ආනන්ද විදුහල නියමිත කාල සටහනකට අනුව ශිෂ්‍යයන්ට ඉගැන්වීම කළ ද කාල වේලාවෙන් පසුව එතැන නේවාසික ශිෂ්‍යයනට ජාතික දේශපාලනය ගැන උගන්වෙන තැනක් ද විය. පැමිණෙන්නේ දේශීය අයට වඩා විදේශික බුද්ධිමතුන් ය. ඒ අයුරින් පැමිණි පුද්ගලයන් අතර ආචාර්ය ඉවාන් වෙන්ත්ස් අමුතුම ආකාරයේ පුද්ගලයකු විය. ඔහුගේ මූලික කථිකාවත වූයේ නැතිව යන බෞද්ධ ප්‍රබෝධය යළි උට්ඨාපනය කිරීමට මුළු මහත් ශ්‍රී ලාංකිකයන්ම එකමුතු විය යුතු බවය.
ලබන සතියේ තවත් කොටසක්