
කජු මදයන්හී ප්‍රෝටීන් බහුල වන අතර බාල, මහලු, තරුණ කවුරුත් කජු මද රස විඳීමට ඉතා ප්‍රිය කරති. වසරකට එක් වරක් පමණක් ඵලදාව ලැබෙන කජු හී ඵලදාව සාමාන්‍යයෙන් සීමාසහිත වන අතර ඒ නිසා වෙළෙඳපොළ තුළ එම කජු සඳහා යම් තරගකාරී මිලක්ද හිමි වී තිබේ.
රසයෙන් මෙන්ම ගුණාත්මක බවින්ද පිරිපුන් ඉතාම අනර්ඝ හා උසස් තත්ත්වයේ කජු නිෂ්පාදනය වන රටක් ලෙස අප රටට ඉහළ පිළිගැනීමක්ද හිමි වී ඇති අතර ඒ හේතුව නිසාම ශ්‍රී ලංකාවේ කජු සඳහා ලෝකයේ ඉහළ ඉල්ලුමක්ද පවතී. අනුරාධපුර,පොළොන්නරුව, කුරුණෑගල, කුලියාපිටිය, පුත්තලම, හලාවත,මඩකලපුව, වැල්ලවාය, හම්බන්තොට හා කෑගල්ල ආදී ප්‍රදේශ රැසක අඩු වැඩි වශයෙන් කජු වගාව සාර්ථක ලෙස සිදු කෙරෙන අතර ගම්පහ දිස්ත්‍රික්කයේ බටලීය හෙවත් කජුගමද කජු වගාව හා කජු වෙළෙඳාම සඳහා ප්‍රසිද්ධියක් උසුලයි. අප රට තුළ කජු වගාව හා සෘජුවම සම්බන්ධ වෙමින් සිය ජීවනෝපාය පවත්වා ගෙන යන පිරිස ද අවම වශයෙන් ලක්ෂයක් පමණ වේ යැයි කර්මාන්තයේ නිරත වූවෝම පවසති.
පලතුරක් ලෙස ආහාරයට ගැනීමට අමතරව චොකලට්, පුඩින් හා ඇතැම් බිස්කට් වර්ග සඳහාද රසකැවිලි සඳහාද මෙම කජු යොදා ගන්නා අතර කජු මාළුවද ඉතා රසවත්, ප්‍රණීත ආහාරයක් ලෙස පරිභෝජනයට ගැනේ. මෙරටට පැමිණෙන බොහෝ විදේශිකයින් මෙම කජු ආහාරයට ගැනීමට ඉමහත් ප්‍රියතාවයක් දක්වන අතර ඒ නිසාම රටට විදේශ විනිමය ගෙනෙන සුවිශේෂි පලතුරක් ලෙස කජු සඳහා ප්‍රමුඛස්ථානයක් ලබා දීමට පුළුවනි.
කෙසේ වුවත් මේ වන විට අප රට තුළ කජු වගාවේ, කජු නිෂ්පාදනයේ හා කජු වෙෙළඳාමේ යම් පසුබෑමක් හා ගැටලුකාරී තත්ත්වයක් මතු වී ඇති බව දක්නට ලැබෙන අතර ඒ සඳහා බලපා ඇති ප්‍රධානතම හේතුව වන්නේ මේ වන විට එහි මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබීමයි. ඒ අනුව මේ වන විට හොඳ තත්ත්වයේ කජු කිලෝවක මිල රුපියල් පන්දහස දක්වා මිල වැඩි වී ඇති අතර එවැනි මිලකට අලෙවි වන විට මෙම කජු මිලදී ගැනීම සඳහා පාරිභෝගිකයන් එතරම් උනන්දුවක් නොදක්වන බව කජු කර්මාන්තයේ නිරත වී සිටින අයගේ අදහසයි.
කජු කර්මාන්තය ආශ්‍රිතව ඉස්මතු වී ඇති මෙම අර්බුදකාරී තත්ත්වය පිළිබඳව අප යම් සොයා බැලීමක් කළ අතර එහිදී කජු කර්මාන්තය ආශ්‍රිතව සිය ජීවනෝපායන් පවත්වා ගෙන යන පාර්ශ්ව ගණනාවකගේම අදහස්ද විමසුවෙමු. කජු පිරිසැකසුම් කරුවන්ගේ සංගමයේ සභාපති මානෙල් කරුණාවංශ පළමුව එම අදහස් දැක්වීමට එක්වූ අතර එහිදී ඔහු සඳහන් කර සිටියේ පසුගිය මාස කීපය තුළ අධික වර්ෂාවත් සමඟ ඇතිවූ අයහපත් කාලගුණ තත්ත්වයේ බලපෑමෙන් කජු වගාවේ ගැටලු ඇති වූ බවයි. අධික වර්ෂාවත් සමඟ ඵලදාව 50% කටත් වඩා අඩු වූ බව අනාවරණය කළ ඔහු මේ නිසා මේ වන විට කජු හිඟයක්ද ඇති වී ඇති බව අනාවරණය කළේය. ඒ සමඟ පසුගිය කාල සීමාව තුළ රුපියල් 1500 ත් 2000 ත් අතර මිල ගණන් වලට අලෙවි වූ හොඳ තත්ත්වයේ කජු කිලෝවක මිල රුපියල් 4500 ත් 5000 ත් දක්වා මිල වැඩි වී ඇති බවද ඔහු සඳහන් කර සිටියේය.
මිල වැඩි වීමත් සමඟ කජු එක් රැස් කර ගත් අතරමැදියන් වාසි ලබන බවද පැවසූ ඔහු කජු කර්මාන්තය තුළ නිරතවී සිටින බොහෝ අය අඩු ආදායම්ලාභී දුප්පත් අය වන බැවින් එම සියලු දෙනා මේ වන විට සිය ජීවනෝපාය මාර්ගය පවත්වා ගෙන යාමට නොහැකිව අසරණ වී සිටින බවද සඳහන් කළ අතර මෙරට තුළ වගා කෙරෙන දේශීය කජු ප්‍රභේදයන් වලින් ලැබෙන ඵලදාව අඩු නිසා ඵලදාව වැඩි අලුත් ප්‍රභේද හඳුන්වා දීමට කටයුතු කළ යුතු බවද කීවේය.ඉන්දියාව,වියට්නාමය වැනි රටවලද මේ වන විට අලුත් කජු ප්‍රභේද වගා කෙරෙන බවත් සාම්ප්‍රදායික ලෙස කටයුතු නොකර වැඩි ඵලදාවක් ලැබෙන අලුත් ප්‍රභේද හඳුන්වා දීමට කටයුතු කළහොත් ඉදිරියේදී මෙරට කජු කර්මාන්තය පිළිබඳව බලාපොරොත්තු තබා ගත හැකි සුබදායී යුගයක් උදා වන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
දේශීය කජු පිරිසැකසුම්කරුවන්ගේ සංගමයේ භාණ්ඩාගාරික එම්. නවරත්න ලීලානන්ද ද ඇති වී ඇති මෙම වාතාවරණය පිළිබඳව අදහස් දක්වා සිටි අතර ඔහුගේද අදහස වූයේ අයහපත් කාලගුණය මෙරට කජු වගාවට බලපා ඇති මෙම අපලකාරී කාල සීමාවට සෘජුවම හේතු වී ඇති බවයි. තම ව්‍යාපාරය තුළ පවුල් 50 ක පමණ පිරිසක් සම්බන්ධව සිටින බව පැවසූ ඔහු කජු මිල එක් වරම ඉහළ ගොස් ඇති නිසා එම සියලුම දෙනා මේ වන විට දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දෙමින් සිටින බවද සඳහන් කළේය.දැනට දේශීය වෙළෙඳපොළ තුළ දක්නට ඇති කජු හිඟය අවම හැරීම සඳහා පිටරටින් හෝ කජු ආනයනය කළ යුතු බවද පැවසූ ඔහු ඉතා ඉක්මනින් රජය ඒ සඳහා අවශ්‍ය කටයුතු යෙදිය යුතු බවද ප්‍රකාශ කළේය.
උඩුගම්පල කෙහෙල්බද්දර සඳුනි කජු ව්‍යාපාරයේ සමන් ප්‍රදීප් කුමාර පවසන්නේ අධික වර්ෂාවත් සමඟ කජු මල් විනාශ වී යාමෙන් මේ වන විට ඵලදාව අඩු වී ඇති බවයි. ඵලදාව අඩු වීමත් සමඟ ඇති වූ කජු හිඟය මිල වැඩිවීමට බලපා ඇති බව පැහැදිලි වන්නේ යැයි කී ඔහු මේ නිසා දැනට වෙළෙදපොළ තුළ දේශීය කජු අලෙවි වන්නේ අමු කජු කිලෝ එක රුපියල් 4200, අමු පියලි කජු රුපියල් 4100,කෑලි කජු රුපියල් 3500 හා අවන් කජු රුපියල් 4200 ආදී මිල ගණන්වලට බවද අනාවරණය කළේය.
මෙලෙස කජු මිල ඉහළ යාම නිසා එම කජු යොදා ගෙන සකස් කෙරෙන චොකලට්, බිස්කට් හා තවත් රසකැවිලි රැසක නිෂ්පාදනයන්ද අඩු වී ඇති බව හෙතෙම පෙන්වා දුන් අතර මෙම වාතාවරණය තුළ කජු මිලදී ගනු ලබන්නේ අත්‍යවශ්‍යම කෙනෙකු පමණක් බවද සඳහන් කළේය.
කජු හා අශ්‍රිත කර්මාන්ත නියෝජනය කරන පිරිස් සිය කර්මාන්තය මුහුණ දී සිටින ගැටලු පිළිබඳ මෙලෙස අදහස් දක්වද්දී කජු සංස්ථාවේ සභාපතිනී නීතිඥ සාරංගා රත්නායකගෙන්ද අප මේ සම්බන්ධව විමසා සිටියෙමු. එහිදී ඇය ප්‍රකාශ කළේ මෙවර කජු අස්වැන්න අනෙකුත් වර්ෂවලට සාපේක්ෂව සියයට 60 කින් පමණ අඩු වී ඇති බවයි. කජු සංස්ථාව හා වයඹ විශ්වවිද්‍යාලය ඒකාබද්ධව පැවැත්වූ සමීක්ෂණයකදී මෙවැනි අස්වැන්න අඩුවීමක් සෑම අවුරුදු පහකටම වරක් ඇති වන බව අනාවරණය වූ බවද කී ඇය අධික වර්ෂාපතනය සහ සුළං සමඟ ඇති වූ අයහපත් කාලගුණය මෙවර තත්ත්වය වඩාත් තීව්‍ර කළ බවද පැවසුවාය.
මේ වසරේ මෙවැනි තත්ත්වයක් ඇති වුවද ඉදිරි වසර කීපය තුළ කජු වලින් අප රට ස්වයංපෝෂිත කිරීමට හැකිවනු ඇති බව කී කජු සංස්ථාවේ සභාපතිනිය මේ වන විට වෙළෙඳපොළ තුළ ඇති වී ඇති කජු හිගය මඟ හැරවීම සඳහා දේශීය කජු ව්‍යාපාරිකයින්ගේ ඉල්ලීම මත යම් කජු ප්‍රමාණයක් විදේශ රටවලින් ආනයනය කිරීමට පියවර ගන්නා බවද පැවසුවාය.
මෙරටට අවශ්‍ය කජු ප්‍රමාණය වසරකට මෙට්‍රික් ටොන් 25,000 ක් වන නමුත් මේ වන විට ඉන් සපුරාලීමට හැකියාව ලැබී ඇත්තේ මෙට්‍රික් ටොන් 12,000 ක් පමණ වන බවද පැවසූ ඇය ඉතිරි මෙට්‍රික් ටොන් ප්‍රමාණය මෙලෙස ආනයනය කරන බවද කීවාය.
ඉදිරි වසර කීපය තුළ මෙරට කජු වගාව දියුණු කිරීම සඳහා දැනටමත් පියවර රැසක් ගෙන ඇති බවත් 2020 වසරේදී අලුතින් කජු අක්කර 7000 ක් වගා කිරීම ඉන් ප්‍රධානතම වැඩසටහනක් වූ බවද පැවසුවාය.2022 වසරේදීද තවත් අක්කර 7000ක් වගා කිරීමට සැලසුම් කර ඇත.
ඊට අමතරව කජු කලාප හා කජු ගම්මාන ඇති කිරීමේ නව වැඩසටහනක්ද මේ වන විටත් ක්‍රියාත්මක අතර පුත්තලම, අනුරාධපුර, කිලිනොච්චිය හා මන්නාරම යන ප්‍රදේශවල එය ක්‍රියාත්මක කර ඇත. පසුගිය 2021 වසරේදී හම්බන්තොට ප්‍රදේශයේ ගොවීන් තෝරා ගනිමින් කජු පැළ ලක්ෂයක් බෙදාදීමටද කටයුතු කළ අතර විෂය බාර අමාත්‍ය ජානක වක්කුඹුරගේ උපදෙස් හා නායකත්වය යටතේ මෙම සියලුම වැඩසටහන් ක්‍රියාත්මක වේ.එසේම අක්කර භාගයකට වැඩි භූමිය යොදා ගනිමින් කජු වගා කිරීමට බලාපොරොත්තු වන ඕනෑම අයකුට කජු පැළ ලබා දීම,අවශ්‍ය දැනුම හා උපදෙස් ලබා දීම, ණය පහසුකම් ලබා දීම ආදියද සිදු කරන අතර මේ වන විට දිවයින පුරා අක්කර 150,000 ක පමණ වගා කර ඇති කජු වගාව මේ අනුව ශීඝ්‍ර වර්ධනයක් කරා ගෙන යාමට හැකිවනු ඇතැයි අපේක්ෂා වී තිබේ.
කජු සංස්ථාවේ සභාපතිනී නීතිඥ සාරංගා රත්නායක වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කර සිටියේ දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීම සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවළේ ප්‍රමුඛ අංගයක් වන බැවින් මෙරට කජු වගාව ක්‍රම ක්‍රමයෙන් වැඩි දියුණු කිරීමේ තවත් වැඩසටහන් රැසක් කජු සංස්ථාව ද මූලිකව ඉදිරි කාලය තුළ ක්‍රියාත්මක කිරීම සඳහා බලාපොරොත්තු වන බවයි. එම වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී දැනට ඇති වී තිබෙන පසුබෑම් පිළිබඳ ව ද දැඩි අවධානය යොමු කරන බව පැවසූ ඇය කජු වගාව හා කර්මාන්තය දියුණු කිරීමට පියවර ගැනීමෙන් මෙරටට වැඩි විදේශ විනිමය ආදායමක් උපයා ගැනීමට හැකියාව ඇති බවද පැවසුවාය.