කොට­දෙ­නි­යාවේ දරු­වෝ හමු වෙති | Page 2 | සිළුමිණ

කොට­දෙ­නි­යාවේ දරු­වෝ හමු වෙති

දරු දෙදෙනා අධි­ක­රණ වෛද්‍ය නිල­ධා­රී­ව­රයා වෙත  ඉදි­රි­පත් කිරී­මට සූදා­නම් කළ අව­ස්ථාව
දරු දෙදෙනා අධි­ක­රණ වෛද්‍ය නිල­ධා­රී­ව­රයා වෙත ඉදි­රි­පත් කිරී­මට සූදා­නම් කළ අව­ස්ථාව

කුත් නොවැම්බර් 23 වැනිදා කොටදෙනියාව පොලිස් වසමේ අංක 136/03, වත්තේමුල්ල, බාදුරාගොඩදී අතුරුදන් වූ 12 හැවිරිදි ජයසේකර මුදලිගේ අකිල දේදුණු සහ 10 හැවිරිදි දිසානායක මුදියන්සේලාගේ කවීෂ සඳකැළුම් යන බාලවයස්කාර දරුවන් දෙදෙනා ඉකුත් 6 වැනිදා මීරිගම පොලිසියට බාර දීමෙන් අනතුරුව කොටදෙනියාව පොලිසිය විසින් දීර්ඝ විමර්ශනයක් ඇරැඹිණි.

එහිදී අනාවරණය වී ඇත්තේ එම දරුවන් දෙදෙනා මාසයකටත් වැඩි කාලයක් රඳවාගෙන සිට ඇත්තේ දරුවන් පොලීසියට බාර දීමට කටයුතු කළ කාන්තාවගේ නිවසේ බවයි.

මීරිගම නගර මධ්‍යයේ හෝටලයක් පවත්වාගෙන යන එකී කාන්තාව ඉකුත් 6 වැනිදා දවල් දරු දෙදෙනා මීරිගම පොලිසියට බාර දෙනු ලැබූයේ පෙර දින එනම් 5 වැනිදා රාත්‍රියේ තම හෝටලයට පැමිණි බව කියමිනි.

එසේ පැමිණි දරුවන් වැරහැලි ඇඳ සිටි හෙයින් තම නිවෙසට කැඳවාගෙන ගොස් තම දරුවන්ගේ ඇඳුම් අන්දා මීරිගම පොලිසියට ඉදිරිපත් කළ බව එම කාන්තාව පැවැසුවාය.

අනතුරුව මිරිගම පොලිසිය මඟින් දරු දෙදෙනා කොටදෙණියාව පොලිසියට බාර කරනු ලැබීය. දරුවන් දෙදෙනා මීගමුව නගරයේ රැඳී සිටි බවට කළ ප්‍රකාශ සම්බන්ධව කොටදෙණියාව පොලිසිය පෙරේදා 6 පස්වරුවේ එහි ගොස් සිදු කළ ස්ථානීය පරීක්ෂණාවේදී හෙළි වී තිබුණේ එක් දිනක් පමණක් ඔවුන් මීගමුව නගරයට ගොස් කල්ගත කර ඇති බවය. එම හෙළිදරව්ව මත සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීමේදී දරුවන්ගෙන් හෙළි වී ඇත්තේ ඔවුන් දෙදෙනා නොවැම්බර් 23 වැනිදා නිවසෙන් පලා ගොස් රෑ බෝවනතුරු බාඳුරාගොඩ පාසල් බිමේ සැඟවී සිටි බවයි. දස හැවිරිදි කවිෂ ඔහුගේ පියා හා පුංචි අම්මා සමඟ වත්තෙමුල්ලේ නිවසට පැමිණ ඇත්තේ ඉකුත් නොවැම්බර් මස 21 වැනි දින බවද පොලිසිය හෙළිකරගෙන ඇත.

රෑ බෝවන තුරු බාඳුරාගොඩ පාසල් බිමේ රැඳී සිට ගොටුකොළ කඩා මිටි අටක් සාදා ඒවා ගිනිදම්මන ප්‍රදේශයේ වෙ‍ෙළඳසැලකට විකුණා ලබාගත් මුදලින් මුව ආවරණ සහ කඩල මිලදී ගෙන පා ගමනින්ම මීරිගම දෙසට ගොස් ඇති බවත් හෙළි වේ. මීරිගමට යන අතර පැමිණි යතුරුපැදියක් නවතා එහි නැඟීි මීරිගම නගරයට ගොස් ඇති බවත් අනාවරණය වේ. අනතුරුව එදින රාත්‍රිය මීරිගම නගරයේ අදාළ කාන්තාවගේ වෙළෙඳසැලෙන් ආහාර ලබා ගෙන රාත්‍රී කාලය බස් නැවතුම්පොළේ ගත කර ඇති බවත්; පසුදින අලුයම යළි එම වෙළෙඳසැලට ම ගොස් උදේ ආහාර ඉල්ලා ඇති බවද එහිදී වෙළෙඳසැළේ හිමිකාරිය සිදුකළ ප්‍රශ්න කිරීමේදී ඔවුන් මිනුවන්ගොඩ ප්‍රදේශයේ බවත් ආච්චි අම්මා සමඟ නගරයට පැමිණි බවත් පවසා ඇතැයි සැල වේ. එම කාන්තාව දරුවන් දෙදෙනා ඇගේ ලින්දර ප්‍රදේශයේ පිහිටි නිවසට කැඳවාගෙන ගොස් නතර කරගෙන ඇතැයිද කොටදෙනියාව පොලිසිය සිදුකළ විමර්ශනවලදී මේ වන විට හෙළි වී තිබේ

එදින සිට අකිල දේදුණු සහ කවිෂ සඳකැලුම් දෙදෙනා එම නිවසේ කල් ගත කර ඇතත්; හෝටල් හිමිකාරිය දරුවන්ගෙන් නිවසේ වැඩ කරවාගෙන නැති බවද පොලිසිය හෙළිකරගෙන ඇත. එසේ මසක පමණ කාලයක් ගත කළ දරුවන්ට හෝටල් හිමිකාරිය විසින් රුපියල් 700 ක මුදලක් ලබාදී නැවතීමට තැනක් සොයා ගන්නා ලෙසට දන්වා පිටත් කළද දරුවන් දෙදෙනා නැවත නිවසටම පැමිණ ඇති බව ද හෙළි වේ.

දරු දෙදෙනාගේ අතුරුදහන්වීම පිළිබඳව මාධ්‍ය මඟින් ප්‍රචාරය වීමෙන් පසු ඇය දරුවන් නිවසින් පිටත් කර යැවීමට පියවර ගන්නට ඇතැයි පොලිසිය සැක කරයි. ඉන් අනතුරුවද දොළොස් හැවිරිදි දරුවා විවිධ අවශ්‍යතාවන්වලට කියමින් එම නිවසෙන් පිටව ගොස් ඇතැයිද එසේ කල් ගත කරන ඉකුත් 6 වැනිදා පෙරවරුවේ මෙම කාන්තාව පොලීසිය නොමඟ යවන තොරතුරු පවසමින් දරු දෙදෙනා පොලිසියට බාර දී ඇති බවද මූලික පරීක්ෂණවලදී හෙළි වී තිබේ. මෙම දරු දෙදෙනා නිවසේ රඳවා ගැනීම සම්බන්ධයෙන් තවත් කිසිවකු දැනුවත්ව සිටියේදැයි හෙළි කර ගැනීම සඳහා ද පොලිසිය පරීක්ෂණ පවත්වන අතර; එම දරුවන්ට පැමිණිලිකාරියගේ හා ඇගේ පවුලේ අයගෙන් යම්කිසි ආකාරයක හිරිහැර සිදු වූ බවට කර ඇති ප්‍රකාශ හේතුකොටගෙන දරු දෙදෙනා ඉකුත් සිකුරාදා දින පස්වරුවේ මීගමුව අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කිරීමට පොලිසිය පියවර ගෙන තිබිණි. මෙකී යුවළ දරු දෙදෙනා නිවසේ රඳවාගෙන සිටීම සම්බන්ධයෙන් හා ඒ ගැන පොලිසියට දැනුම් දීමට පියවර නොගැනීම පිළිබඳව 7 වැනි සිකුරාදා පස්වරුව වන විටත් එම යුවළගෙන් ප්‍රශ්න කරමින් තිබිණි.

පසුගිය සිකුරාදා මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරිනිය වෙත ඉදිරිපත් කළ දරුවන් දෙදෙනා පසුව වැඩිදුර වෛද්‍ය පරීක්ෂණ සහ නේවාසික ප්‍රතිකාර සඳහා මීගමුව රෝහලට ඇතුළත් කෙරුණේ පොලිස් ආරක්ෂාව මධ්‍ය යේයි.

බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, බස්නාහිර පළාත් උතුර දිසා බාර නියෝජ්‍ය පොලිස්පති මහින්ද දිසානායක, මීගමුව කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමන් සිගේරාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරී පාලිත අමරතුංගගේ අධීක්ෂණයෙන් කොටදෙණියාව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පී එන් පුෂ්පකුමාරගේ මෙහෙයවීමෙන් එහි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ලියනගේ සහ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි උපපොලිස් පරීක්ෂිකා රන්දුනු ඇතුළු පොලිස් සැරයන් 53167 මනෝරත්න, කාන්තා පොලිස් කොස්තාපල් 10420 සොනාලි යන නිලධාරීහු පරීක්ෂණ සිදු කරති.

 

Comments