ටික් ටොක් බිලි­ගත් ජීවි­ත­යක් | සිළුමිණ

ටික් ටොක් බිලි­ගත් ජීවි­ත­යක්

මර­ණ­යට පත් අබ්දුල් ලතීෆ්  ටික්ටොක් වීඩි­යෝ­වන්හි පෙනී සිටි අයුරු
මර­ණ­යට පත් අබ්දුල් ලතීෆ් ටික්ටොක් වීඩි­යෝ­වන්හි පෙනී සිටි අයුරු

හිරිමල් යොවුන් වියට පා තැබීමට සිටින දරුවන් කරන-කියන ඇතැම් දේ ගැන ඔවුනටද අනිසි අවබෝධයක් නැත. විටෙක දාමරිකය. විටෙක නොසන්සුන්ය. වැල්ලම්පිටිය, සේදවත්ත පාර, අංක 17/01 නිවෙසේ විසූ 17 හැවිරිදි අබ්දුල් ලතීෆ්ද තරුණ තරුණියන් අතර ජනප්‍රිය රැල්ලක් වන ටික්ටොක් (Tik Tok) සමාජ මාධ්‍යයට අසීමිතව ආසා කළ දරුවෙකි. ඩිලා ලෙසින් ටික් ටොක්හි පෙනී සිටි අබ්දුල් ලතීෆ් පසුගිය 3 වැනිදා සවස් යාමයේ ඝාතනය විය. ග්‍රැන්ඩ්පාස් පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ටී. ජේ. බී. හේරත් ප්‍රමුඛ කොළඹ උතුර කොට්ඨාස බුද්ධි නිලධාරින් සිදුකළ විමර්ශන මඟින් ලතීෆ් ඝාතනයට සැකපිට සයදෙනෙකු අත්අඩංගුවට ගැනුණේ ඉකුත් 4 වැනිදායි.

 

අවුරුදු 14, 15, 16 වයස්වල පසුවන සැකකරුවන් වැලිගොඩ, ෆර්ගියුසන් පාර සහ හේනමුල්ල කෑම්ප් අවට පදිංචිකරුවෝ වෙති.

සැකකරුවන් අතර මුස්ලිම් ජාතිකයන් දෙදෙනෙක් සහ සිංහල ජාතික හතර දෙනෙක් විය. අත්අඩංගුවට පත් බාල වයස්කාර සැකකරුවන් සයදෙනා ලබන 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජනී සිල්වා නියෝග කළාය. ඒ අනුව සැකකරුවන් 07 වැනිදා හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කරන තෙක් බන්ධනාගාර ආරක්ෂාව යටතේ මාකොළ ළමා නිවාසයේ රඳවා තබන ලෙසද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

අබ්දුල් ලතීෆ් ඒහැටි වත්කමක් නොමැති අහිංසක පවුලක දරුවෙකි. ලතීෆ්ගේ පියා මස් වෙළෙඳසලක සේවය කරන මොහොමඩ් ෆවුසර්ය. මව 39 හැවිරිදි සින්නි ෆස්මිලාය. එම දෙදෙනාට 17 හැවිරිදි ලතීෆ්ට අමතරව 22 හැවිරිදි අබ්දුල් රසාක්, 15 හැවිරිදි අබ්දුල් අෂීස් සහ එකම දියණිය 8 හැවිරිදි ෆාතිමා සෆා නමැති දරුවන් විය. ලතීෆ්ගේ වැඩිමහල් සොහොයුරු රසාක් පෑලියගොඩ ඩීඑච්එල් ආයතනයේ සේවය කරන්නෙකි.

කොටහේන මධ්‍ය මහා විද්‍යාලයෙන් 10 ශ්‍රේණිය දක්වා ඉගෙන ගත් ලතීෆ් මුලින් ත්‍රිරෝද රථ අලුත්වැඩියා කිරීමේ රැකියාවකට යොමු විණි. කඩවසම් පෙනුමැති ලතීෆ් මීට මාස එකහමාරකට පමණ පෙරදී ‘වන් ගෝල්ෆේස්‘හි රැකියාවකට ගියද එයද ඉකුත් දෙසැම්බර් 31 වැනිදායින් පසු නතර විණි.

ඔහු මීට වසර දෙක තුනකට පමණ පෙර සිට ටික්ටොක් සඳහා යොමු වී තිබේ. පසුගිය වසරක පමණ කලෙක සිට කලෙන් කලට අන්තර්ජාලය ඔස්සේ ජනප්‍රිය වන ගීත සඳහා විවිධාකාරයේ නර්තන ඉදිරිපත් කරමින් ලතීෆ් ටික් ටොක් ඔස්සේ ජනප්‍රිය වෙමින් සිටියේය.

ලතීෆ් පසුගිය දිනෙක මවට කීවේ,

“අම්මේ... ජනවාරි පළමුවැනිදා කට්ටිය සමඟ ට්‍රිප් එකක් යනවා... රුපියල් 1500 ගාණේ දාලා...“

මව ෆස්මිලා කීවේ, “හිතට බයයි පුතේ... හැමතැනම මිනිස්සු මේ දවස්වල බීගෙන ඉන්නවානේ... පරෙස්සමෙන්...“ කියායි.

නව වසර උදාවූ ඉකුත් පළමු වැනිදා ලතීෆ් පෙරවරු 7.30ට පමණ බෑගයක්ද රැගෙන නිවෙසෙන් පිටත් වූයේ ගාල්ල, මාතර, නුවර පෙදෙස්හි විනෝද චාරිකාවකට යන බව පවසමිනි.

දෙවැනිදා සවස 6ට පමණ නිවෙසට පැමිණි ලතීෆ් පැමිණි මොහොතේ සිටම නින්දට වැටුණේ ගමන් මහන්සිය බව කියමිනි.

අනතුරුව ලතීෆ්ට මාරයා කැන්දූ 3 වැනිදා උදා විණි. ලතීෆ්ගේ මව ෆස්මිලා පවසන්නේ 3 වැනිදා පෙරවරුවේ තමා නිවෙසින් යන විටත් ලතීෆ් නින්දේ පසුවූ බවයි. ඇය දියණියගේ පාසලට ගොස් 12.30ට පමණ නිවෙසට එද්දී ලතීෆ් නිවෙස අසල පාලම යට සිටියේ තවත් මිතුරන් දෙදෙනෙකු සමඟිනි.

වමේ සිට ලතීෆ්ගේ සොහොයුරු අබ්දුල් අෂීස්, අබ්දුල් රසාක්,  මව සින්නි ෆස්මි­ලා සහ නැඟණිය ෆාතිමා සෆා

ඒ මොහොතේ ලතීෆ් දුටු මව කීවේ, ‘පුතා... ඔයාට පුළුවන්ද අයියට කෑම එක ගිහින් දීලා එන්න...‘ කියාය. ෆස්මිලා අපිට කීවේ “මං තමයි හැමදාම ලොකු පුතාට කෑම එක ගිහින් දෙන්නෙ... ඒත් එදා මට කියවුණා... අනේ මං එහෙම ඇහුවේ නැතිව හිටියනම්...“ ලතීෆ්ගේ මව හඬා වැටෙන්නීය.

හැකි ඉක්මනින් කෑම පාර්සලය දෙන ලෙස මවට බල කර සිටි ලතීෆ් මිතුරන් දෙදෙනා සමඟ ත්‍රීරෝද රථයක නැඟී සිය වැඩිමහල් සොහොයුරාට කෑම පාර්සලය දීමට පෑලියගොඩ ඩීඑච්එල් ආයතනය අසලට ගියේය. කෑම පාර්සලය ගත් අයියා මල්ලීට කීවේ, “අම්මා කෝල් කළා... පරෙස්සමින් ඉක්මනට ගෙදර යන්න... මල්ලි...“ යනුවෙනි.

එහෙත් ලතීෆ් සිය මිතුරන් සමඟ පෑලියගොඩ සිට තොටළඟට පැමිණියේ පා ගමනිනි. ඒ වන විට වේලාව පස්වරු 1.30ට ආසන්න වෙමින් තිබිණි.

ලතීෆ්ගේ මිතුරන් දෙදෙනා වන අබ්දුල් රසාක් සහ මොහොමඩ් මාහිර් සම වයස් මිතුරන්ය. රසාක් සේදවත්තේමය. මාහිර් ඒ අවට වූවත් වර්තමානයේ වෙසෙන්නේ තිහාරියේය. එහෙත් ඔහුගේ පුංචි අම්මා මාදම්පිටියේ රන්දිය උයනේ විසුවාය.

කෑම පාර්සලය දී තොටළඟට පැමිණි ලතීෆ් නිවෙසට යන්නට ගියේය. මිතුරන් දෙදෙනා මාදම්පිටිය හන්දියට පැමිණ මහවත්ත පාරේ පිහිටි ශාන්ත අන්තෝනි දෙමළ විද්‍යාලයට දෙසට ගියේය. කෙසේවුණත් ලතීෆ් නිවෙසට යාම නතරකොට ධවල සින්නා පාරට පැමිණ කැඳ තට්ටුවකින් කැඳ පානය කරන්නට විය. මාහිර්ද පැමිණ කැඳ පානය කළේය. අනතුරුව රසාක්ද පාසලට ගොස් පැමිණ එම ස්ථානයෙන් කැඳ පානය කළේය. තිදෙනාම එම ස්ථානයේ කැඳ පානය කරමින් සිටියේය.

කැඳ පානය කළ තිදෙනා හේනමුල්ල රන්දිය උයනේ විසූ මාහිර්ගේ පුංචි අම්මාගේ මහල් නිවාසයට යමින් සිටියදී පිටුපසින් දෙදෙනෙක් එමින් සිටියේය. ඒ පසුපස තවත් සිවුදෙනෙක්ද අවේය. පැමිණි අයෙක් ‘ටික්ටොක් නපුංසකයා‘ යැයි කියමින් ලතීෆ්ගේ බෙල්ලට පහරක් ගැසීය.

ඊට ලතීෆ් ඇතුළු තිදෙනාද ඉනේ බැඳි බෙල්ට් පටි ගලවා පහර දෙන්නට සූදානම් විය.

ඒ අවස්ථාවේ ලතීෆ්ට පහර දුන් අයකු අතේ පිහියක් විය. ඔහු ක්ෂණයෙන් ලතීෆ් අසලට පැමිණ පිහි පහරක් එල්ල කර තිබුණේ බඩ පසාරු කරගෙන යන්නටයි.

පිහි පහර එල්ල කළ පිරිස හේනමුල්ල කෑම්ප් (ජනාවාස) දෙසට දුවන්නට විය. රසාක් සහ මාහිර්ද ඔවුන් පසුපස පන්නන්ට වූයේය.

නැවත ලතීෆ් අසලට දිව ආ දෙදෙනා අසලින් ගිය ත්‍රිරෝද රථයක් නතරකොට ලතීෆ් නංවාගෙන රෝහල් ගත කිරීම සඳහා තොටළඟ හන්දිය අසලට රැගෙන ආවේය.

ඒ වන විට එහි විශාල වාහන තදබදයකි. රථවාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියෙක්ට ලතීෆ්ට වූ කරදරය කී පසු 1990 ගිලන් රථයකින් ලතීෆ් රැගෙන ගියේ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයටයි. ලතීෆ් සමඟම 1990ට නැඟි මාහිර් සහ රාසාක් ලතීෆ්ට වූ අපරාධය ඔහුගේ මවටද දැන්වූයේ දුරකථන ඇමැතුමක් ගෙනයි.

බරපතළ තුවාල ලබා සිටි ලතීෆ් පස්වරු 3.10 වෙද්දී ජාතික රෝහලට ඇතුල කළත් වෛද්‍යවරු ඔහුගේ ජීවිතය බේරා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරුවද සවස 4.20ට පමණ ලතීෆ් මෙලොව හැර ගියේ තවත් එක් අවාසනාවන්ත මරණයක් සනිටුහන් කරමිනි.

ලතීෆ් දැඩි සේ ආසා කළ චීන සමාගමක නිපැයුමක් වන ටික්ටොක් පරිශිලකයන් මේ වන විට බිලියන දෙක ඉක්මවා සිටි.

2017 සහ 2018 වසරවලදී රැල්ලක් සේ උපන් ටික්ටොක් යනු විනාඩියකට අඩු කාලයකදී වීඩියෝ මඟින් විවිධ ඉදිරිපත් කිරීම් සිදුකරන ජංගම දුරකථන යෙදුමකි. එහි ජනප්‍රියම ඉදිරිපත් කිරිම් වන්නේ විවිධාකාර ගීත සඳහා නර්තන ඉදිරිපත් කිරීම්ය. ටික්ටොක් ඉන්දියාව, ඇමෙරිකාව, බ්‍රසීලය, ඉන්දුනීසියාව, කුවේට් ඇතුළු රටවල් රැසකම තහනම් කර ඇති ජංගම යෙදුමකි. (Mobile app)

කෙසේ හෝ ටික් ටොක් සඳහා උන්මාදයෙන් සිටි ලතීෆ්ගේ ටික්ටොක් හොඳම මිතුරා සම වයස්හි පසුවන නාගලගන්වීදියේ වෙසෙන ටික්ටොක්හි කස්සා (Kassa) ලෙස පෙනී සිටින කසුන්ය. ඉකුත් නත්තල් දා දෙදෙනා එක්ව සිදුකළ අවසාන වීඩියෝව කළ දිනයයි. හේනමුල්ල මහල් නිවාස සංකීර්ණය ලතීෆ්ලා බහුල ලෙසම ටික්ටොක් වීඩියෝ පටිගත කරන ස්ථානය බව කීවේ කසුන්ය. කසුන් සිය හොඳම මිතුරා ගැන අපට කීවේ,

“ලතීෆ් මගේ පොඩි කාලේ ඉඳන්ම යාළුවා... අපි දෙන්නා ටික්ටොක්වලට සම්බන්ධ වුණේ අවුරුද්දකට කලින්... අපි දෙන්නා කාලෙන් කාලෙට ජනප්‍රිය වන සින්දුවලට නටනවා... වැඩිපුරම වීඩියෝ කරන්නෙ හේනමුල්ල මහල් නිවාසවලට ගිහින්... අන්තිමට කළේ දෙසැම්බර් 25 දා...

ලතීෆ් ටික්ටොක්වලට හරිම ආස කෙනෙක්. ඔහුට ඕනම ‘ලයික්‘ ගන්නමයි. වීඩියෝවකට මිලියනයක් දෙකක් ලයික් ගන්න හරිම ආසාවකින් හිටියේ... මම ලතීෆ්ට ටික්ටොක්වලින් ජනප්‍රිය වෙන්න සෑහෙන්න උදවු කළා... ඇත්තටම කිව්වොත් මගේ පණ වගේ හිටපු යාළුවා ගැන හරිම දුකයි. නොහිතපු දෙයක්නේ වුණේ...

ලතීෆ්ගේ ඝාතනයේ සැකකරුවන් සිදුකළ පාපෝච්චාරණ අනුව මීට මාස දෙකකට පමණ පෙරදී මෝදර වෙරළ තීරයේදී වූ බහින්බස් වීමක් ලතීෆ්ගේ ඝාතනයට හේතු වී ඇති බවට හෙළි වේ. අනතුරුව ලතීෆ් සහ ඔහුගේ මිතුරන් දෙදෙනා පසුගිය 3 වැනිදා රන්දිය උයන මහල් නිවාසයට යන අතරතුර සැකකරුවන්ට මුණ ගැසී ඇත්තේ අහම්බෙන් මෙනි. අනතුරුව සැකකරුවන්, තිදෙනාට පහර දීමට පැමිණ ඇත්තේ තවත් පිරිසක් සමඟ සැලැසුම් සහගතවයි.

ලතීෆ්ගේ නිවෙස ඉදිරිපිට අසල්වාසීන් රැස්ව සිටී අයුරු

අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් අතර අයෙකු ළඟ තිබූ පිහියකින් ලතීෆ්ගේ බඩ ප්‍රදේශය පසාරු කරගෙන යන්නට ඇණ ඇති බව හෙළිවේ. පිහිපහර එල්ල කළ 16 හැවිරිදි සැකකරු එම පිහිය මිලදී ගෙන ඇත්තෙ ඉරටු සුද්ද කිරීමට ඉකුත් 31 වැනිදා පිටකොටුව වෙළෙඳසලකින් බවටද අනාවරණය වේ.

ඉකුත් දිනෙක සේදවත්තේ පිහිටි ලතීෆ්ගේ නිවෙස සොයා ගිය අප හට ඔහුගේ මව ෆස්මිලා කීවේ මෙවන් කතාවකි.

“ලතීෆ් නැතිවුණ දා ලතීෆ්ගේ ෆෝන් එකට කෝල් එකක් ආවා... එයා ඇහුවා... අනේ අම්මේ... යාළුවෝ කියනවා ලතිෆ් නැතිවුණා කියලා... ඒක ඇත්තක්ද කියලා... මං ඇහුවා ඔයා කවුද කියලා... ඊට පස්සෙ ඒ ළමයා කීවා, ‘මම තමයි එයා යාළුවෙලා ඉන්නෙ... ඔහු ගෙදරට ට්‍රිප් එකක් යනවා කියලා ආවේ අපේ ගෙදර කිව්වා...

මං කිව්වා ඇත්තද දුව... මගේ පුතා නැතිවුණා... ඔයාලගේ පැත්තෙන් හෝ මොනවාහරි විරෝධයක් පෑවද කියලා... මගේ පුතා ඒ සම්බන්ධය ගැන මටත් කියලා තිබුණා... ඇය ක්‍රිස්තියානි... පාණදුර පැත්තෙ ළමයෙක් කියා... එ්ත් මං ලතීෆ්ට කිව්වා... ඒ දුව අපට හරියන්නෙ නෑ... තවම අයියා බැඳලත් නෑනේ කියලා... අනේ දෙයියනේ මම දන්නෙ නෑ මගේ දරුවට මොනවද වුණේ කියලා... ටික්ටොක් ප්‍රශ්නයක් ද? නැතිනම් වෙන ප්‍රශ්නයක් ද කියලා... මං ඉල්ලන්නේ මගේ ළමයට කරපු දේ වෙනුවෙන් සාධාරණයක් ඉටුකර දෙන්න කියලා...“

අබ්දුල් ලතීෆ්ගේ ඝාතනය පිළිබඳව කොළඹ උතුර කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අමල් එදිරිමාන්නගේ උපදෙස් මත උතුර 1 සහකාර පොලිස් අධිකාරි නලින් ජයසුන්දරගේ අධීක්ෂණයෙන් කොට්ඨාස බුද්ධි ඒකකය ද ඇතුළුව ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ වැඩබලන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශ්ශංකගේ මෙහෙයවීමෙන් එහි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ටී. ජේ. බී. හේරත් ප්‍රමුඛ උපපොලිස් පරීක්ෂක රාජරත්න, සැරයන් 29514 සමරසිංහ, කොස්තාපල්වරුන් වන 70234 රුවන්ජීව, 93683 රත්නායක, 30441 රත්නායක සහ 24233 අෂාන් ඇතුළු නිලධාරිහු එක් වූහ.

ඡායාරූප - කැලුම් ලියනගේ

Comments