
සමස්ත ජාතියම කැපවීම් කළ යුතුයි
1අපේ විදෙස් සංචිත වැඩි වුණාම විදේශයන් සමඟ කරන ගනුදෙනු පහසු වෙනවා. මොනවාද අපි විදෙස් එක්ක කරන ගනුදෙනු කියලා සලකා බැලීමේදී; අපි ලබාගෙන තියන ණය වාරික පොලි වාරික ගෙවීම සඳහා අවශ්‍ය කරන මුදල් අපි ළඟ තියනවා. එසේ හැකියාව තිබුණහොත් අදාළ ණය ගෙවීම පැහැර හැරි රටක් බවට අප පත් වෙන්නේ නැහැ. එසේම අපේ ගෞරවය ජාත්‍යන්තර වශයෙන් විනාශ වෙන්නේ නැහැ. යම් හේතුවකින් ණය ගෙවා ගැනීමට නොහැකි ලැයිස්තුවට වැටුණහොත් අපේ ආර්ථිකය ගැන ඇති පිළිගැනීම සම්පූර්ණයෙන් නැති වෙලා යනවා. මේ මඟින් ඒ තත්ත්වය වළකිනවා. අපි ළඟ සංචිත තියෙන කොට අපිට පුළුවන් තරගකාරී වෙළෙඳපොළවල්වලින් භාණ්ඩ ආනයනය කරන්න. දේශීය වෙළෙඳපොළේ අදාළ භාණ්ඩයේ මිල තීරණය වන්නේ ආනයනය කරන විට අදාළ රටේ පවතින ආනයනික මිල අනුවයි; එහිදී භාණ්ඩ හා සේවා මිල මට්ටම් තීන්දු කිරීම සම්බන්ධයෙන් මෙය බලපානු ලබනවා. එසේම විදෙස් සංචිත තියන විට ආනයනය සීමාවන් පැනවීම අනවශ්‍යයි. යම් යම් සීමා පනවා තිබීමට හේතුව භාණ්ඩ හා සේවා මිලදී ගැනීමට මුදල් නොමැති වීමයි. ඒ නිසා විදෙස් සංචිත පවතින විට විදෙස් විනිමය වෙළෙඳපොළ යම් ප්‍රමාණයකට පාලනය කර ගැනීමට හැකියි. වෙළෙඳපොළේ ඩොලර් හිඟය නිසා හුවමාරු වටිනාකම ඉහළ යනවා. එමෙන්ම අවිධිමත් ආකාරයට ඩොලර් වෙළෙඳපොළේ ගනුදෙනු සිදුවෙනවා. පොදුවේ ගත්තාම රටක විදෙස් සංචිත ස්ථාවර මට්ටමක පැවැතීම හරහා රටේ සාර්ව ආර්ථික ස්ථාවරත්වයක් සහ විශ්වාසයක් ඇති කරගත හැකියි. අදාළ ආර්ථිකය තුළ ඉදිරි ගමනත් තහවුරු වෙනවා.
2හැමදාම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ගැන කළු පාට පින්තූරයක් තියෙන්නේ. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කියන්නේ ලෝක බැංකුව. එය එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි ජාත්‍යන්තර සංවිධානයක්. අපිත් ඒ සංවිධානයේ සාමාජිකයෙක්. පසුගිය අවුරුදු 72ක කාලය තුළ 16වතාවක් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට අපේ රට ගිහින් තියනවා. රනිල් වික්‍රමසිංහත් අවස්ථා ගණනාවක් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින් ආධාර ලබාගත්තා. ඒ නිසා එතුමා නිතර කියන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට යන්න කියලා. ජාත්‍යන්තරයට අපි යනවාද නැද්ද කියන කාරණාව තීරණය කරන්න අවශ්‍ය වෙන්නේ රටක් ලෙසයි. එහි වාසි අවාසි ගැන සොයලා බලලයි. කවුරු හරි කියන පලියට එය කරන්න බැහැ. හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ කිව්වා කියලා එයට යන්න අපි තීන්දු කළ යුතු නැහැ.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින් වඩා හොඳ පහසුකමක් ලබා ගන්න පුළුවන් නම් අපිට ඒ අය ඉදිරිපත් කරන කොන්දේසි ආර්ථික වැඩපිළිවෙළට බාධාවක් නොවෙයි නම් අපේ රටේ ආර්ථිකය පිළිබඳ අරන් තියෙන තීන්දුවලට බලපෑමක් නොවෙයි නම් අපි තීරණය කළ යුත්තේ. ණය කළමනාකරණය, විදෙස් සංචිත, භාණ්ඩ මිල, ඉන්දන මිල ඉහළ යෑම පාලනය කරගැනීම රටක් ලෙස අපි කළ යුතුයි. විදෙස් විනිමය අනුපාතික පාලනය කරගැනීම්, රජයේ වියදම් කළමනාකරණය කරන්නට අවශ්‍ය නම් කළමනාකරණය කළ යුතුයි. එමෙන් රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයට අනුපාතිකයක් ලෙස පහත මට්ටමක පවතී නම් වැනි කරුණු පිළිබඳ ගැටලුවක් තියනවා නම් අපි නිරාකරණය කරගත යුතුයි. එය ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කිව්වත් නැතත් රටේ ආර්ථිකය යහපත් තැනකට ගෙන යාමට කළ යුතු ප්‍රතිසංස්කරණ, ගත යුතු ප්‍රතිපත්ති තීන්දු තීරණ ගැනීම අපි කළ යුතුයි.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සාමාජිකෙයක් ලෙස අපිට ගනුදෙනු කරන්න පුළුවන් සේම ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට අපිට බලහත්කාරයෙන් මුකුත් කරන්න බැහැ. යම් යම් යෝජනා ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ යෝජනා පිළිගන්නවාද, නැද්ද කියලා අපේ රටේ ආර්ථිකය මෙහෙය වන්නන් තීරණය කළ යුතුයි. එක එක අය බොරුව සමාජගත කරන්න හැදුවට ඒ හැම බොරුවම බොරු බවට තහවුරු වෙලා තියෙනවා. මේ රටේ ඇතැමුන් ලබන්නේ වෘෂභ සතුටක්.
3සමස්ත ජාතියම කැපවීම් කළ යුතුයි. ලංකාව කියන්නේ සුබ සාධන රාජ්‍යයක්. නොමිලේ බෙහෙත් දෙනවා. පාසල් දහසක් සඳහා ප්‍රතිපාදන දෙනවා. රෝහල් නඩත්තු කරනවා. මිලියන එකයි දශම අටකට සමෘද්ධී සහනාධාර දෙනවා. ඇතැම් රෝගාබාධ ඇති අයට වකුගඩු ආබාධිත සහනාධාර දෙනවා. රාජ්‍ය ව්‍යසාය 300පමණ වෙනවා. මේ රාජ්‍ය ව්‍යයසාය ආරම්භ කිරීම සඳහා රුපියල් බිලියන හත්සියයක් ආයේජනය කරලා තියනවා. හැම වසරකටම බිලියන 75පමණ නඩත්තු කිරීමට වැය වෙනවා. මේ සියල්ල ගත්විට ආණ්ඩුවට ආයෝජනය කරන්න සල්ලි නැහැ.
ආණ්ඩුවට හැකියාව තියෙන්නේ එදිනෙදා වියදම් පියවා ගන්න මුදල් වෙන් කරන්න පමණයි. රජයේ වියදම් යම් ආකාරයට ජාතිකකරණයකට ලක් කළයුතුයි. දැනටමත් මුදල් ඇමැතිවරයා ප්‍රතිපත්ති සම්පිණ්ඩනයක් කරලා තියනවා. ඒ ඉදිරිපත් කළ ප්‍රතිපත්ති මාලාව තීරණාත්මක ප්‍රතිපත්ති මාලාවක්. සියලුම අංශ ආවරණය වන පරිදි ඉදිරිපත් කර තියනවා. රජයේ ආදායම වැඩි කරන්න සහ රජයේ වියදම ජාතිකකරණය කිරීම එහි යෝජනාව වෙනවා. මේ දෙකම නොකර අපිට තහවුරු කරගත යුතු අනාගතය තහවුරු කරගන්න බැහැ. ඒ නිසා රජයේ වියදම සැලසුම් සහගත ලෙස පාලනය කරන්න කටයුතු කරන්න ඕන. එමෙන්ම රජය දෙනු ලබන සුබසාධනයන් ඉලක්කගත කණ්ඩායම් වලට ලබා දිය යුතුයි. සමහරු සමහර කාලවලට ගේන සටන් පාඨ අදට ගැළපෙන්නේ නැහැ. කලින් කලට ගේන සටන් පාඨ අදට වලංඟු නැහැ. වෘත්තීය අයිතීන් ආරක්ෂා කරනවා කියන පාරමාර්ථයෙන් රටේ ව්‍යාපාරික සාමය විනාශ කරනවා; නම් ආයෝජන අධෛර්යවත් කරනවා නම් ආණ්ඩුව මීට වඩා දැඩිව ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය යුතුයි.
4වහා කළ යුතුව තිබුණේ විදෙස් සංචිත ආරක්ෂා කර ගැනීමයි. අපිට එයට අත්‍යවශ්‍ය භාණ්ඩ වෙළෙඳපොළොන් ඈත් කරලා තියන්න බැහැ. අත්‍යවශ්‍ය ආහාර ඖෂධ පොහොර ඇතුළු සියලු දේවල් ගෙන්නුවේ නැතිනම් අපේ ආර්ථිකය අකර්මණ්‍ය වෙනවා. ප්‍රතිඅපනයනයන් සහ භාණ්ඩ නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය සියල්ල අපි ගෙන්විය යුතුයි. ආනයනයන් සීමාව කියන්නේ දිගු කාලයක් පිටරටින් භාණ්ඩ ගේන එක නැවැත්වීම නොවෙයි. පවත්නා තත්ත්වය නිසා තාවකාලික පිළියමක් පමණයි. ආනයන ආදේශනයන් රටේ බිහි කරන්න පුළුවන් ද කියන කාරණාව පිළිබඳව සැලකිලිමත් විය යුතුයි. සමහර භාණ්ඩවලින් අපි ස්වංපෝෂිතව හිටියා. යහපාලන කාලයේදි මෙය සම්පූර්ණයෙන් අනික් පැත්ත පෙරළුණා.
පසුගිය අවුරුදු එකහමාරේ නොවෙයි; ඒ නිසා දැන් ආනයන ආනයන ආදේශන කියන්නේ එක් පිළිතුරක්. එසේ ම අපනයන ආදායම් වැඩි කරගැනීමයි දෙවැනි විසඳුම. දැන් විදෙස් වත‍්කම් උපයා ගන්න තිබුණ ප්‍රධාන මාර්ග ඇහිරිලා. විදෙස් ශ්‍රමිකයන් විදෙස් ආයෝජකයන් සංචාරකය කර්මාන්ත වැනි ක්ෂේත්‍රයන් නඟා සිටුවන්න අවශ්‍යයි. අපනයනය ප්‍රමාණාත්මක ලෙස විවිධාංගීකරණය වි නැතිනම් අපි අපනයනයන් විවිධාංගීකරණයට යා යුතුයි. අපිට සංචාරක ව්‍යාපාරය තවදුරටත් පුළුල් කරන්න පුළුවන්. අපිට උදව් උපකාර කළ හදිසි අවස්ථාවක පෙනී සිටි රටවල් තිබුණා. ඒ රටවල් ද ව්‍යයසනයත් සමඟ යම්කිසි කම්පනයනට ලක්වෙලා. මේ වෙද්දී ලෝක ආර්ථිකය යම් පිපිරීමකට ලක්වෙමින් පවතිනවා. එසේ වුවහොත් අපිට විශ්වාසය තබා ගැනීමට පුළුවන්. පුරුදු පරිදි අපේ රටේ සමාජ ආර්ථික තත්ත්වය යහපත් වන පසුබිමක් ඒ හරහා නිර්මාණය වෙයි.
5මෙය අර්බුදය ඇතිවූ කාලසීමාමේ ඇතිවූ දෙයක් නොවෙයි. මෙය සනාථන ලෝක සත්‍යයක්. විවෘත ආර්ථිකයත් සමඟ මෙරට නිෂ්පාදනයන්ට වඩා පහසු මිලට වඩා අඩුවෙන් පිටරටින් ගෙන්වා ගැනීමට හැකිවුණා. මේ නිසා මෙය ප්‍රතිපත්ති ගැටලුවක් බවට පත් වුණා. එක් ආණ්ඩුවක් එනවා හදන්න; අනෙක් ආණ්ඩුව එනවා වහන්න. මේ තියෙන්නේ ප්‍රතිපත්ති අඛණ්ඩතාව පිළිබඳ ප්‍රශ්නයක්. ඉන්දියාවේ කවුරු බලයට ආවත් ඒ අය ඒ රටේ ප්‍රතිපත්ති වෙනස් කරන්නේ නැහැ. විරෝධාකල්පවලට මේ රට ඉස්සරහට අරන් යන්න බැහැ. වචනවලින් හරබ කරලා මේ රට විනාශ කරන කණ්ඩායමක් ඉන්නවා. එය මේ රටේ මිනිස්සු තේරුම් ගන්න ඕන. සටන් පාඨවලින් මුසාවාද සමාජගත කිරීම මගින් මිනිසුන් පීඩනයට පත් කරලා රාජ්‍ය බලය ලබාගන්න හදන අයගෙන් මේ රට බේරගන්න අවශ්‍යයි.
මේ ආණ්ඩුව රටේ අනාගතයත් විකුණලා
1අපේ විදෙස් සංචිතයන් ඩොලර් බිලියන 3.6 දක්වා ඉහළ ගොස් තියෙනවා කියලා මහ බැංකු අධිපති කියලා තියනවා. එහිදී මතුවෙන ගැටලුව මේ වැඩිවීම කොහොමද වුණේ කියන එකයි. එය පැහැදිලි කරන්න අවශ්‍යයි. ඉදිරිය ගැන මහ බැංකුවේ අධිපති ආර්ථික සැලසුමක් මාර්ග සිතියමක් ඉදිරිපත් කළා. පසුගිය අවුරුද්ද අන්තිමට ඩොලර් බිලියන හතක් ලැබෙනවා කියලා කිව්වා. ඒ මාර්ග සිතියම් වැඩක් නැහැ කියලා අද තේරෙනවා. මේ ආණ්ඩුව තව බොරුවක් කළා සිතියම් ඉදිරිපත් කරලා. මේ ගැටලු ගිණුම් එහෙට මෙහෙට දාලා විසඳන්න පුළුවන් දෙයක් නොවෙයි. මේ ප්‍රශ්නය විසඳිලාම නැහැ;
ගොවියාගේ පෝර ටික ගෙන්වන්න බැරි ඩොලර් නැති නිසා. සුද්දගේ ණය ගෙවන්න ඕන නිසා.
රසායනික පොහොර කාබනික පොහොර කරන්න ඕන කියලා කතාවක් හදලා සුද්දගේ ණය ගෙව්වා. ජනතාවට ඉදිරියේදී කන්න නැතිවෙලා සාගතයකට එනවා.
මේ වසරේ පළමු කාර්තුව වෙන කොටම. අස්වැන්න අඩු වුණාම ආහාර ගේන්න වෙනවා පිට රටින්. කොහොමද කෑම ගේන්නේ. ඩොලර් වැය කරන්නේ කොහොමද? එයටත් ක්‍රෙඩිට් ලයින් ගන්නවා. ඒ ක්‍රෙඩිට් ලයින් එක දෙන මිනිසුන්ට අපි ණය ගැති වෙනවා. ඒ ණය ගැතිවෙන්නේ ඩොලර් වලින් විතරක් නොවෙයි. ඒ අයගේ බලයට අපි යටත් වෙනවා. ඕනෑම වෙලාවක ගනුදෙනුවක් කරද්දි ශක්තිමත් තැනක අදාළ රටවල් ඉන්න අවශ්‍යයි.
සාමාන්‍ය යෙන් ගනුදෙනුවකදි දෙපැත්තම දිනන්න ඕන. අපේ රටට වෙන්නේ ඒ අයගෙන් ණය අරන් ඒ රටවලට යටත් වෙන්නයි. එසේ ගනුදෙනු කරනවා නම් අපි ශක්තිමත් තැනක ඉන්න අවශ්‍යයි. අපි අනවශ්‍ය ගැතිකමක් ඇති කරගෙනයි ඉන්නේ.
අපි දුර්වල තැනක ඉදලා ගනුදෙනු කළාම ඩොලර් වලින් ණය ගැතිවෙනවා පමණක් නොවෙයි; අනවශ්‍ය බලයටත් ගැති වෙනවා. ලොක්කො වගේ කියවලා වැඩක් නැහැ.
ක්‍රමසම්පාදන සහ ක්‍රම විධි තියනවා. ඒවා අනුගමනය කරන්න ඕන. පවතින තත්ත්වය භයානකයි. බලාගාරය විකුණනවා විතරක් නොවෙයි. අපේ අනාගතයේ මේ රටට අවශ්‍ය එන් එන් ජී වායුවත් විකුණනවා. අනාගතයටත් දැනටමත් ගිවිසුම් ගහනවා. මේ රටේ අනාගතයත් විකුණලා තියෙන්නේ
2 රටක ආර්ථීකය නඟා සිටුවීමට නම් හරි ප්‍රතිපත්ති අනුගමනය කරන්න අවශ්‍යයි. රටක තිබිය යුතුයි නිසි කළමනාකරණයක්. රටේ ආදායම වැඩි කරන්න අවශ්‍යයි. වියදම අඩු කරන්න අවශ්‍යයි; එයයි සරල සිද්ධාන්තය. මේ රටේ දුප්පතාගේ ආර්ථිකයටයි මේ ආණ්ඩුව ගැහුවේ.
රැකියා ලක්ෂ ගණනින් දෙනවා කියලා කියනවා. බඳවා ගන්නවා, සේවකයන්ට ඡන්ද පොරොන්දු දෙනවා. රාජ්‍ය සේවයට ගත්තා කියලා වැටුප් ගෙවන්න සල්ලි කොහෙන්ද? රටේ මිනිසුන්ට කන්න නැහැ; දේශපාලඥයන් රට සවාරි යනවා. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින් ණය ගත්තත් හම්බ වෙන්නේ පොඩි ඩොලර් ප්‍රමාණයක්. ඒත් ඒ අයගේ ප්‍රතිපත්ති අනුගමනය කරන්න වෙනවා. ඒවාට එකඟ වෙන්න වෙනවා. ආයෝජකයන් ශ්‍රේණිගත කරන රටවල්, සමාගම ධනාත්මක ද කියලා මේ අය බලනවා. ශ්‍රේණිගත කරන සමාගම් අපේ රට මේ වන විට පහළට දාලා තියනවා. ඒ නිසා අපි විශ්වාසය බිඳගෙන තියෙන්නේ.
3 රටම වළේ වැටිලා තියෙන්නේ. කවුරු වැරදි කළත් රටක් විදිහට අගාධයට යන්නේ මුළු රටමයි. ගෑස් එක ගන්න ගියත්, තෙල් එක ගන්න ගියත්, විදුලි බලය, බෙහෙත්, අත්‍යවශ්‍ය භාණ්ඩ සියල්ලේ අර්බුද. රටේ මිනිස්සු අද කැපකිරීම් කරලා තියනවා. ඒත් රට ගොඩගන්න මේ දූෂිත පාලකයන්ට බැහැ. රුපියල අද අවප්‍රමාණය වෙලා. අපිට ගොඩඑන්න බැහැ. විදෙස් ශ්‍රමිකයන් ඩොලර් එවන්නේ නැහැ. අපනයනයන් කරන්නට ප්‍රමුඛතාව දෙන්න ඕන. විදෙස් ශ්‍රමිකයන්ට යම් සහනයක් ඩොලර් එවීමේදි දිය යුතුයි. වැරදි ප්‍රතිපත්ති අනුගමනය නොකළ යුතුයි. සුළු මධ්‍ය ව්‍යාපාරිකයන් ගැන කතා කරලා වැඩක් නැහැ; දිරිදීම් කරන්නයි ඕන.
4 විදේශ ආනයනයන්ගෙන් 80% අපේ නිෂ්පාදන කාර්ය සඳහායි. අපේ අපනයනය සඳහා භාණ්ඩ නිෂ්පාදනය කිරීමටයි; මේ අමුද්‍රව්‍ය ගෙන්වීම කරන්නේ. අපේ පරිභෝජනය එයින් 20%යි. සුඛෝපභෝගී වාහන වගේ දේවල් සිමා කළාට අපිට විරෝධයක් නැහැ. සියයට 80ක්ම තියෙන්නේ අත්‍යවශ්‍ය අමුද්‍රව්‍ය. බෙහෙත් හේත් හැරුනු කොට අනෙක් සියලු දේවල් අමුද්‍රව්‍ය. ඒවා ගෙන්වීම නතර කිරීම ඉතාමත් හානි කරයි. මේ නිසා මේ ඇතැම් ව්‍යාපාරිකයන් කරන්නේ වෙනත් රටවල්වල ගිහින් තමන්ගේ කර්මාන්ත විවෘත කිරීමයි. මේ රටේ වෙළෙඳපොළෙන් පමණක් අපිට හිස ඔසවන්න බැහැ. ආණ්ඩු කරන මේ කරන දෙයින් මේ සමාගම් දැනටමත් අපිට නැති වෙලා තියනවා.
5දේශීය නිපැයුම් අනිවාර්යෙන්ම තරගකාරී ඉහළ ප්‍රමිතියෙන් නිෂ්පාදනය කරන්න අවශ්‍යයි. අනෙක් රටවල්වල විකුණන්න හැකි භාණ්ඩ නිපදවිය යුතුයි. දේශපාලන කතා නොවෙයි වැදගත් වෙන්නේ. යමක් කිරීමයි වැදගත් වෙන්නේ. දේශීය පරිභෝජනය පමණක් නොවෙයි; අපිට පුළුවන් වෙන්න ඕන වෙන රටවල්වලට නිපැයුම් විකුණන්න. අපේ කුරුඳු, තේ, තැඹිලි, රබර්, පොල්, හාල් සියල්ලට අගය එකතු කරන්න හැකිවිය යුතුයි. ඒ සඳහා ඉපැයුම් වලට යා යුතුයි. බුද්ධිය පාවිචිචි කරලා දැනුම භාවිත කරලා ආර්ථිකය ගොඩනඟන්න ඕන. තොරතුරු තාක්ෂණ අංශය වැඩි දියුණු කළ යුතුයි. ආහාර සුරක්ෂිතතාව තිබිය යුතුයි. දේශීය නිපැයුම් ශක්තිමත් කිරීමෙන් පමණක් නොවෙයි; අගය එකතු කර පිටරට වෙළෙඳපොළ අපි විවෘත කරගත යුතුයි.
ජනතා පුපුරා යෑම් අත ළඟයි
1 සංචිත වැඩි වීම කෙසේ වෙතත් විදෙස් ණය උඟුලේ නම් අපේ රට තවත් හිර වෙනවා. සංචිත වැඩි කර ගන්නේ ණය අරන් මිසක අපි දේශය නිෂ්පාදනවලින් ඩොලර් උපයාගෙන නොවෙයි. මේ ලැබෙන කිසිඳු මුදලක් මේ රටේ අර්බුදවලින් ගොඩඑන්න ප්‍රමාණත් වෙන්නේ නැහැ. අනිවාර්යේම චීනයට ගෙවන්න අවශ්‍ය ණය ප්‍රමාණය වැඩිවෙනවා; ඒ හරහා චීනයෙන්ම තමයි අපිට සියලු දේවල් කරන්න වෙන්නේ. තාවකාලිකව විදෙස් සංචිත වැඩිවුණා කියලා උදම් අනන්න පුළුවන් එහෙත් එයින් වෙන්නේ තවත් විදෙස් ණය වැඩිවෙන එකයි.එයින් වෙන්නේ ආර්ථිකය තවත් කඩා වැටීමයි. විදෙස් ණය වැඩි වුණාම ආර්ථිකයට සහනයක් නොවෙයි තවත් අනතුරක් වැඩිවෙන එකයි වෙන්නේ. චීනයත් සමඟ කරන ගනුදෙනුවලදී අපිට මෙය යොදාගන්න පුළුවන්. නමුත් අවසානයේ දී නැවත චීනයටමයි වැඩි කොටසක් යන්නේ. නියමිත කාලයට දෙන ණය නිසා අපි ගෙවන්න අවශ්‍යයි. ඉන් ආර්ථිකය කඩා වැටීම මිසක නඟාසිටුවීමක් වෙන්නේ නැහැ. ඒ නිසා රටේ ආර්ථීකය මේ හරහා කොහෙත්ම ශක්තිමත් වෙන්නේ නැහැ.
2ජාත්‍යන්තර මුල්‍ය අරමුදල එකම උත්තරය වෙන්නේ නැහැ. ලොකු කඩා වැටීමකයි අපි ඉන්නේ. ඒ අය දාන කොන්දේසි කොයි වගේද යන කාරණාව ගැනත් සැලකිලිමත් වෙන්න ඕන. ඒ අය දාන කොන්දේසි විශ්ලේෂණය කළ යුතුයි. ඒ වගේම ප්‍රතිව්‍යුහගත කරන යෝජනා එන්න පුළුවන්. ඒ නිසා මේ රජය කොහොමත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හරහා ණය ගන්නේ නැහැ.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් එන කොන්දේසි සැලකිල්ලට ගෙනයි ඒ වගේ තැනකින් ණයක් ගන්නවාද යන්න තීරණය කරන්න වෙන්නේ. රාජ්‍ය වියදම් අඩු කරන්න නම් මැති ඇමැතිවරුන්ගේ අනවශ්‍ය, නාස්තිකාර වියදම් අඩු කරන්න ඕන. අයිඑම් එෆ් එකට යන එක පිළිතුරත් නොවෙයි; අයිඑම් එෆ් එක හරහා ණය ගත් රටවල් ගැන ලෝකයේ අත්දැකීම් තියෙනවා. තවත් ඒ රටවල් ණයවල හිරවෙලා කඩා වැටිලා තියෙනවා. ඒ නිසා ඒ ගැනත් සැලකිලිමත් වෙන්න ඕන. ග්‍රීසිය වැනි රටවල්වලට ණය දුන්නා; ඒ රටවල්වලට ඒ ණය ගෙවන්න තව ණය ගන්න වුණා. ණය හිරවෙලා අර්බුදයට ගියා. දිගින් දිගටම අයිඑම්එෆ් උගුලේ හිර වුණා. අපේ රටත් පහුගිය කාලයේම ඒ උඟුලේ හිරවෙලා ලොකු කඩා වැටීමකට ගියා . ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය නිසා එකම පිළිතුර ලෙස අපි දකින්නෙත් නැහැ.
3ජාතියට කලින් දේශපාලඥයන් කැප කිරීම කළ යුතුයි. ජනතාවට කැප කරන්න දේවල් නැහැ. මුදල් නැහැ; මුදල් තිබුණත් ගන්න බඩු නැහැ; ගේ ඇතුළේ ගෑස් එක පුපුරනවා; හාල් ටික ගන්න බැහැ; එළවළු ටික ගන්න බැහැ. මිනිස්සු බඩගින්නේ. රට අද වැටිලා තියන තත්ත්වයත් සමඟ ජනතාව පාරට වැටිලා තියෙන්නේ. දේශපාලඥයන් මිලියන ගණන් වියදම් කරලා ඩොලර් නැහැ කියලා ඒ අය අවුරුද්ද අන්තිමට රට සවාරි ගිහින් ඩොලර් වියදම් කරනවා. මුළු රටේම ආර්ථිකය වැටිලා ජනතාව බඩගින්නේ ඉන්නේ. මේ රටේ ජනතාවගේ බදු මුදලින් ඒ අය සැප විඳින ගමන් කියනවා ජනතාවට කැපවීම් කරන්න කියලා.
ජනතා පුපුරා යෑම් අත ළඟයි. පාර්ලිමේන්තුව වටලන දවස අත ළඟයි. මේ රටේ පාලකයන් යම් කැප කිරීමක් කරලා පෙන්නන්න ඕන. ඒ අය ආදර්ශවත් වෙන්න ඕන. ජනතාවට කැපවීම් කරන්න කියලා වැඩක් නැහැ. ජනතාව මේ ආණ්ඩුවට ගෙදර යවන්න බලන් ඉන්නවා. රාජ්‍ය වියදම අඩු කරන්න කියලා රාජ්‍ය සේවය කප්පාදු කරලා හරියන්නේ නැහැ. කොරෝනා වසංගතය වෙලාවේ රාජ්‍ය සේවකයන් විශාල කැපවීමක් කළා. හෙද හෙදියෝ වෛද්‍යවරුන් ආරක්ෂක අංශ මේ රටට බරක් නොවෙයි.
4ජාතික නිෂ්පාදනය අනිවාර්යෙන් වැඩි කරන්න අවශ්‍යයි. එයට විධිමත් වැඩපිළිවෙළක් තිබිය යුතුයි. අපේ රටේ නිෂ්පාදනය කරන්න පුළුවන් සියලු නිෂ්පාදන කළ යුතුයි. සීනි, ටයර් කර්මාන්ත, කොහු කර්මාන්ත, රබර් ආශ්‍රිත නිෂ්පාදන, පෙහෙකම්හල් වැනි කර්මාන්ත, පොත්, පෑන්, පැන්සල් වගේ ඒවා නිෂ්පාදනය කරන්න පුළුවන්.අර්තාපල්, කහ, මුං, මිරිස්, ඇට වර්ග ඇතුළු සියලු වගා මෙන්ම අපේ රටේ වගා කරන්න අපිට හැකියාවක් තියනවා. එහෙත් එක් පාරටම ආනයන සීමා කිරීමෙන් අපිට මොකක්ද වුණේ. ආදේශන භාණ්ඩ නොවෙයි; අන්තර් භාණ්ඩ ටිකත් නැතුව කර්මාන්ත ශාලා වහන්න සිදු වුණා. කාබනික පොහොර හදන්න යම් කාලයක් ගත වෙනවා. සැලකිය යුතු කාලයක් තුළ යම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න ඕන. විසිහතර පැයෙන් කරන්න හැකියාවක් නැහැ.
අද වෙලා තියෙන්නේ නිෂ්පාදන වැඩි කරන්න විධිමත් වැඩ පිළිවෙළක් හෝ ක්‍රමවේදයක් නැතිව ආනයන සීමා කරලා. අපේ කර්මාන්තශාලා මුළුමනින්ම වැටිලා. අන්තර් භාණ්ඩ ගෙන්වීම නවත්තලා අමතර කොටස් නැතුව කොහොමද කර්මාන්තශාලා පවත්වා ගෙන යන්නේ. කළ යුතු වන්නේ දිගුකාලීන ක්‍රියාමාර්ගයක් ලෙසයි. දේශීය නිපැයුම් ආදේශනයන් වැඩි කරන්න අවශ්‍ය වෙන්නේ. මේ ඩොලර් අර්බුදයට එය විශාල පිටුවහලක් වෙනවා. එකපාරට මේ දේවල් කළාම ව්‍යාපාරිකයන් හා ජනතාව අමාරුවේ වැටෙනවා.
5 අපිට ආනයනයන් කරන්න වෙන අත්‍යවශ්‍ය දේවල් තියනවා. මේ රටේ නිෂ්පාදනය කරන්න පුළුවන් දේ තියනවා. ඒ දේවල් දේශීයව නිෂ්පාදනය කළ යුතුයි. ඒ සඳහා මැදිහත්වීමට පෞද්ගලික අංශයට ඉලක්ක දිය යුතුයි. මේ සඳහා රජය මැදිහත් විය යුතුයි. බදු සහන යටිතල පහසුකම් ලබා දිය යුතුයි. ඒ ආකාරයට වසරක දෙකක වැඩපිළිවෙළක් තුළ දේශීය නිෂ්පාදන වැඩි කිරීමට මැදිහත් විය යුතුයි.
ආනයනික සීමා පැනවීම කළයුතු වන්නේ එසේ කිරීමෙන් පසුවයි. එසේ නොවීමෙන් එක්වර මේ දේවල් කිරීමට යෑමෙන් ආර්ථිකයත් කඩා වැටෙනවා. මිරිස්, අර්තාපල්, බී ලූනු, සීනි නිෂ්පාදනය කරන්න පුළුවන් අපිට. හැමදේම පිටරටින් ගේනවා; ගොවියාට පොහොර නැහැ; බෙහෙත් නැහැ; කිරිපිටි 83% පිටරටින් ගේනවා; නමුත් අපිට මේවා දේශීය නිෂ්පාදනය කරන්න පුළුවන්. ක්‍රමානුකූලව ඒතැනට යන්න ඕන. ආණ්ඩුවේ තියන අවිඥානික ප්‍රතිපත්ති නිසා අපි අද රටක් ලෙස කඩා වැටිලා තියෙන්නේ.