පුංචි සභා­වල අව­භා­වි­ත­යට එරෙ­හිව ආණ්ඩු­කා­ර­වරු හෙල්ල අතට ගනිති | සිළුමිණ

පුංචි සභා­වල අව­භා­වි­ත­යට එරෙ­හිව ආණ්ඩු­කා­ර­වරු හෙල්ල අතට ගනිති

වාරි­ය­පොළ ප්‍රාදේ­ශීය සභාව
වාරි­ය­පොළ ප්‍රාදේ­ශීය සභාව

බොහෝ පුද්ගලයන් දේශපාලන කරළියට පිවිසෙන්නේ සමුපකාර ඡන්ද සටනින් හෝ පුංචි ඡන්දය නමින් හඳුන්වන පළාත්පාලන ආයතන මැතිවරණවලිනි. දේශපාලනයේ ළදරු පාසල වන මේ ස්ථානයන්ගෙන් උගන්නා දේ අනාගත දේශපාලනයට ඔවුන්ට වැදගත් වන්නා සේම රටක අනාගතය ආර්ථිකය දූෂණයෙන් තොර රටක් බිහිකිරීමට හේතුවන්නේද ඒ තුළින් ලබන පන්නරයයි. එහෙත් අවාසනාවකට මෙන් ඇතැම් පළාත්පාලන ආයතනවලට පත්වන සභාපතිවරුන්ම දූෂිතයන් ලෙස කටයුතු කිරීම නිසා ඒ හරහා සිදුවන වංචා දූෂණ බොහෝ වන අතර මහජන මුදල්, අතයට ගනුදෙනු සඳහා ද අවභාවිත වේ.

මීට හොඳම උදාහරණය කොළඹ නගර සභාවයි. කොළඹ නගර සභාවට පත්වන විට පාපැදියෙන් එන නාගරික මන්ත්‍රීවරුන් වසර 4ක් 5ක් අවසානයේ ගමන් බිමන් යන්නේ අතිසුපිරි වාහනවලිනි. ඇතැම් අයට නාගරික මහල් නිවාසවල හිමිකම්ද ඇත. ඇතැම් අවස්ථාවල පක්ෂ විපක්ෂ සියලු දෙනාම එක්වී මේ දූෂණයට හවුල් වන අවස්ථාද වේ. වංචා ගැන ඉව වැටුණේ නම් විමර්ශන සිදු කර ඔවුන් එම තනතුරුවලින් ඉවත් කිරීමට ආණ්ඩුකාරවරුන් විසින් කටයුතු කරන ලදී. එහෙත් අප පෙර කීවා සේ ඇතැම් දේශපාලකයෝ දම්වැල් සේ එකට බැඳී සිටිති. එවන් එක් කතාන්දරයක් අපට අසන්නට ලැබුණේ වාරියපොළිනි. වාරියපොළ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා දූෂිත බවට කරුණු එළි වූ සැණින් පක්ෂයේ සෙසු මන්ත්‍රීවරු කලබල වන්නට විය.

ඔවුන් පැවසුවේ වාරියපොළ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ධුරයෙන් ඉවත් කළහොත් තමන්ද මන්ත්‍රී ධුරවලින් ඉල්ලා අස්‌වෙන බවයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් දහනව දෙනකු එවකට සිටි වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේට ඒ බව දැනුම් දුන්නේය.

ඔවුන් පසුව මාධ්‍ය වෙතද අදහස් දක්වමින් පැවසුවේ වාරියපොළ ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණු ප්‍රාදේශීය සභා සභාපති තිලකරත්න බණ්ඩාර දිසානායකට මූල්‍ය චෝදනාවක් එල්ල කරමින් ධූරයෙන් ඉවත් කිරීමට වයඹ ආණ්ඩුකාර රාජා කොල්ලුරේ සූදානම් වන බවත් ඊට විරෝධය පළ කිරීම සඳහා පොදුජන පෙරමුණු මන්ත්‍රීවරුන් දහනව දෙනෙක් පෙළ ගැසී සිටින බවයි. එම මූල්‍ය චෝදනාව කිසිසේත්ම පිළිගත නොහැකි අතර එය පරිපාලනමය ගැටලුවක් බව පැහැදිලිව පෙනී යන බැවින් සභාපතිවරයාගේ ගෞරවය රැකෙන පරිදි සාධාරණයක් ඉටුකරන ලෙස වාරියපොළ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් පිරිසක් ආණ්ඩුකාරවරයාගෙන් ඉල්ලීමක් කරන ලදී. එහෙත් විපක්ෂ මන්ත්‍රීවරුන් සභාපතිවරයාට එල්ල වී ඇති මූල්‍ය චෝදනා සත්‍ය බවත් ඊට එරෙහිව අනිවාර්යෙන්ම පරීක්ෂණ පැවැත්විය යුතු බවත් පවසන ලදී.

කෙසේ වුවත් වාරියපොළ ප්‍රාදේශීය සභාව විසින් 2022 වසර සඳහා ඉදිරිපත් කළ අයවැයද පරාජයට පත්විය. ඒ අතර සිදු කළ පරීක්ෂණයන්ගේ ප්‍රතිඵල අනුව වාරියපොළ සභාපතිවරයාගේ අවභාවිත හෙළි විය. සභාපතිවරයාගේම පක්ෂයේ මන්ත්‍රීවරුන්ද ඇතුළුව මන්ත්‍රීවරුන් 21 දෙනකු විසින් ඉදිරිපත් කර තිබූ චෝදනා පත්‍රයක් විභාග කිරීමෙන් පසුව ඔහු ඉවත් කිරීමට තීරණය කෙරිණි. සභාවේ විපක්ෂ මන්ත්‍රී සංයුතිය 18ක් වන අතර සභාපතිවරයාගේ පාලක පක්ෂ සංයුතිය මන්ත්‍රීවරුන් 23කි.

සභාපතිවරයාට එල්ල වී ඇති චෝදනා අතර වාරියපොළ ප්‍රාදේශීය සභාවට අයත් පර්චස් 182ක ඉඩමකින් අනවසරයෙන් බොරලු කියුබ් 1000ක් රැගෙන යාම, අනසරයෙන් පොල් ගස් හා කොස් ගස් කපා ගැනීම ප්‍රාදේශීය සභා ගිණුමේ මුදල් අනුමැතියකින් තොරව වියදම් කිරීම ද විය.

සභාවක පාලනය මෙසේ වූයේ නම් එම බල ප්‍රදේශයේ ජනතාවට දෙයියන්ගේම පිහිට ලැබෙනු ඇත. අවම වශයෙන් හිටපු ආණ්ඩුකාර රාජා කොල්ලුරේගේ සේයාරුව පවා නොහඳුනන තත්ත්වයක් ප්‍රාදේශීය සභාවෙන් පෙන්නුම් කෙළේ ඔහු මිය ගිය අවස්ථාවේදී ඊට යොදා තිබුණේ ඒ.ජේ.එම් මුසම්මිල්ගේ සේයාරුවක් වීම නිසාය.

මේ වන විට ආණ්ඩුකාරවරුන් සහ කොමසාරිස්වරුන්ට ලැබුණු පැමිණිලි මත තවත් පළාත් පාලන ආයතන රැසක සභාපතිවරුන් ඉවත් කර හෝ තාවකාලිකව ඉවත් කර හෝ තිබේ.

ඒ අතරින් අපට පළමුවෙන්ම පෙන්වා දිය හැක්කේ වැලිකන්ද ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා එම ධුරයෙන් ඉවත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් උතුරුමැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් විසින් නිකුත් කිරීමය.

වැලිකන්ද ප්‍රාදේශීය සභා සභාපති කවිදු අබේසූරිය කර ඇති වැරදි කිහිපයක් සම්බන්ධව කළ පරීක්ෂණයට අදාළව විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු සමන් වික්‍රමාරච්චිගේ ප්‍රධානත්වයෙන් විමර්ශනයක් කළ අතර, සභාපතිවරයා අදාළ වැරදි කර ඇති බවට එම විමර්ශන වාර්තාවට අනුව සනාථ වන බව ගැසට් නිවේදනයේම සඳහන් වේ.

ඒ අනුව වැලිකන්ද ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රියන්ත කවිඳු අබේසූරියගේ කාර්යයන් ඉටු කිරීමට සහ එහි බලතල ක්‍රියාත්මක කිරීමට පොළොන්නරුව දිස්ත්‍රික් පළාත් පාලන සහකාර කොමසාරිස් ජුනයිඩ් මොහොමඩ් පත්කරන ලදී. ඊට අමතරව චෝදනා රැසක් එල්ල වූ රඹෑව ප්‍රාදේශීය සභාවේ සභාපති අජිත් ප්‍රසන්න තෙන්නකෝන් ද එම ධුරය දැරීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයා විසින් පසුගිය වසරේ නිකුත් කළ ගැසට් නිවේදනයක දැක්වුණි. මේ සම්බන්ධයෙන් මහීපාල හේරත්ගෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ පළාත්පාලන ආයතනයක මුල්පුටුව නිසි ලෙසින් ක්‍රියාත්මක විය යුතු බවත් ජනතා නියෝජිතයන් සැමවිටම අන් අයට ආදර්ශයක් විය යුතු බවයි. මීට අමතරව සබරගමුව පළාතේ ද සභාපතිවරුන් කිහිප දෙනකුට තනතුරු අහිමි විය. ඒ අතර බලංගොඩ නගර සභාවේ සභාපති චමික ජයමිණි විමලසේන සහ ඇඹිලිපිටිය නගර සභාවේ සභාපති ලලිත් ලියනගේ ද දූෂණ චෝදනා මත ඉවත් කිරීමට කටයුතු කරන ලදී. ් ආණ්ඩුකාරවරයාගේ අතිවිශේෂ ගැසට් නිවේදනය අනුවය. මේ සම්බන්ධයෙන් සබරගමුව ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුවගෙන් අපි විමසුවෙමු. ඔහු පෙන්වා දුන්නේ පක්ෂය කුමක් වුවත් නිවැරැදි තීරණය ගැනීමට තමන් කටයුතු කරන බවයි. ජනතාවට තමන් වගකිව යුත්තා වන බවත් පළාතේ ජනතා අවශ්‍යතා නිසි අයුරින් සම්පූර්ණ කිරීමට අදාළ පළාත්පාලන ආයතන කටයුතු කළ යුතු බවත්ය. මෙහිදී මාවනැල්ල නගර සභාවේද ගැටලුවක් තිබෙන බව පෙන්වා දුන් ඔහු කීවේ එහි අයවැය නිසි ලෙසින් ඉදිරිපත් කිරීමට සභාපතිවරයා මේ දක්වා කටයුතු කර නොමැති බවයි. එයින් ජනතාව දැඩි අපහසුතාවට පත් වන බවත් එසේ නොකරන අය සම්බන්ධයෙන් ඉදිරියේදී පවා නිසි ලෙසින් නීතිය ක්‍රියාත්මක කරන බවයි.

ඊට අමතරව 2021 ජනවාරි 29 තලවකැලේ ලිදුල නගරාධිපති අශෝක සේපාල ඉවත් කිරීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ විසින් කටයුතු කරන ලදී. අදාළ චෝදනාවන් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව පැන නැඟී ඇති සාක්ෂ්‍ය මත වෙනත් අයකු පත් කිරීමට කටයුතු කළද අධිකරණ වාරණ මත එය අත්හිටුවා තිබේ. එමෙන්ම ඊට අමතරව මාතලේ නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේද නගරාධිපති පදවියෙන් ඉවත් කරන්නට ආණ්ඩුකාරවරයා විසින් කටයුතු කරන ලද්දේද එල්ල වූ චෝදනා විභාග කිරීමෙන් අනතුරුවය. එසේම අයවැය දෙවරක් පැරදීම නිසා එජාප පාලනය යටතේ පවතින මහනුවර ගඟවට කෝරලය සහ හඟුරන්කෙත ප්‍රාදේශීය සභාවල සභාපතිවරු මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා විසින් එම ධූරයෙන් ඉවත් කර තිබේ. ඒ අනුව ගඟවට කෝරලය ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙස කටයුතු කළ සුභාෂ් යටවර සහ හඟුරන්කෙත ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙස කටයුතු කළ රණසිංහ දිසානායක ඉවත් කර ඇති අතර නව සභාපතිවරුන් පත් කර ගන්නා තෙක් වැඩ බැලීම උපසභාපතිවරුන්ට පවරා තිබේ. ඒ අනුව ගඟවට කෝරලය සභාපති ධූරයේ වැඩ බැලීමට රුවන් ප්‍රනාන්දුට හා හඟුරන්කෙත සභාවේ සභාපති ධූරයේ වැඩ බැලීමට ලක්ෂ්මන් බාලසූරිය පත් කර තිබේ. මේ සම්බන්ධයෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේගෙන් සිළුමිණ කළ විමසීමකදී ඔහු පැවසුවේ මේ සිදුවීම් දෙකම ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු විනිසුරු සරෝජනී කුසලා අබේවර්ධනගේ මූලිකත්වයෙන් විභාග කළ බවත් වැරැදිකරුවන්ට අනිවාර්යෙන්ම දඬුවම් ලබා දීමට කටයුතු කරන බවත්ය. මහජන සේවකයන් කටයුතු කළ යුත්තේ පූර්ණ විනයක් ඇතිව බවද ඔහු පැවසුවේය. අධිකරණ වාරණය අවසන් වූ විට ලිඳුල - තලවකැලේ සභාපති ගැටලුවද විසඳෙන බව ඔහු පෙන්වා දුන්නේය. එසේම දෙවරක් අයවැය පැරදුණහොත් අදාළ සභාපතිවරුන්ට බලයේ සිටීමට හැකියාවක් නොමැති බවද ඔහු පෙන්වා දුන්නේය.

ඊට අමතරව නාවලපිටිය නගර සභාපතිවරයාද 2021 ජූලි මස 15 වැනිදා ඉවත් කිරීමට සමගි ජන බලවේග විසින් කටයුතු කරන ලදී. නාවලපිටිය නගර සභාවේ බලය හිමිව තිබුණේ සමගි ජන බලවේගය පක්ෂයට වන අතර එම ඉවත් කිරීමත් සමඟ නාවලපිටිය නගර සභාවේ බලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමි විය. නාවලපිටිය නගර සභාවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ සමගි ජන බලවේගයේ සසංක සම්පත් සංජිව ව සභාපති ධුරයෙන් සහ මන්ත්‍රි ධුරයෙන් ඉවත් කරන ලද්දේ ඔහුට එල්ල වූ විනය චෝදනා විභාග කිරීමෙන් පසු පක්ෂය විසින් ගත් තීන්දුවක් නිසාය. ඒ අනුව සමගි ජල බලවේගයට සභාපති පදවියද අහිමි විය.

මීට අමතරව ආන්දෝලනාත්මක පුද්ගලයකු බවට පත් වූයේ දිවුලපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති නන්දසේන සකලසූරියයි. ඔහු ප්‍රාදේශීය සභා වාහන හා සේවකයන් යොදා භාණ්ඩ අලෙවි කිරීම ගැන දිගින් දිගටම පැමිණිලි එන්නට විය. විශේෂයෙන්ම කොවිඩි 19 අවදානම හේතුවෙන් ඇඳිරි නීති කාල සීමාවේ දිවුලපිටිය ප්‍රාදේශීය සභාව මඟින් සභාපති නන්දසේන සකලසූරිය විසින් ප්‍රාදේශීය සභාවේ වාහන හා සේවකයින් යොදා ගනිමින් වැඩි මිලට භාණ්ඩ විකිණීම පිළිබඳව ජනතා පැමිණිලි ගම්පහ පාරිභෝගික අධිකාරි කාර්යාලය විසින් ලැබුණි. භාණ්ඩ වැඩි මිලට විකිණීම සහ පාරිභෝගික භාණ්ඩ විකිණීමට පළාත් පාලන ආයතනයකට බලයක් නොමැති බව පවසමින් පාරිභෝගික අධිකාරිය මඟින් දිවුලපිටිය ප්‍රාදේශීය සභාපතිවරයාට එරෙහිව නීතිමය පියවර ගන්නා ලදී. ඒ අනුව බස්නාහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලය ද පරීක්ෂණයක් ආරම්භ කරන ලද අතර එහි ප්‍රතිඵල ලැබෙන තෙක් ඔහුගේ සභාපති ධූරය තාවකාලිකව ඉවත් කිරීමට කටයුතු කරන ලදී. පරීක්ෂණය අවසන් වනතුරු උප සභාපති ඉන්දික ජයසිංහ සභාපති ලෙස පත් කරන ලදී. මීට අමතරව මේ වන විට කොවිඩ් ආසාදනය නිසා අලව්ව හා පඩුවස් නුවර සභාපතිවරුන් ද වවුනියා (දෙමළ කොට්ඨාසය) හා වැල්වැටිතුරේ උප සභාපතිවරුන්ද මියගොස් තිබේ. එමෙන්ම අන්තර්ජාලය හරහා 15 හැවිරිදි දැරියක් ලිංගික ජාවාරමේ යෙදවීමේ අදාළ සිද්ධියට අත්අඩංගුවට පත් වූ මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ උප සභාපති අයි. එම්. ලලිත් එදිරිසිංහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වයෙන් පවා ඉවත් කරන ලදී. බරපතළ දූෂණ ක්‍රියාවක් සිදු කිරීම සම්බන්ධයෙන් අදාළ උප සභාපතිවරයා අත්අඩංගුවට පත් වීම සැලකිල්ලට ගනිමින් එම තීරණය ගත් බව පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ සාගර කාරියවසම් මහතා විසින් එම දිනවල නිකුත් කළ නිවේදනයකින් පැවසුණි. එසේම කින්නියා නගර සභාපතිවරයාද අත්අඩංගුව පත් වූයේ පාලම්වරුවක් පෙරළීමේ සිද්ධිය සම්බන්ධව නිසි අවධානය යොමු නොකිරීම නිසාය. මේ කරුණු දෙස බැලූ විට අපට පැහැදිලිව පෙනෙන යමක් තිබේ. ඒ වෙනදා කරනා සෙල්ලම් කරන්නට පළාත්පාලන ආයතනවලට හැකියාවක් නොමැති බවයි. ආණ්ඩුකාරවරුන් තම බලය අවශ්‍ය විටක භාවිත කරනු පෙනේ.

Comments