බාලා තම්පෝගෙන් ගිලිහුණු අවිය අතට ගත් සිල්වෙස්ටර් ජයකොඩි | සිළුමිණ

බාලා තම්පෝගෙන් ගිලිහුණු අවිය අතට ගත් සිල්වෙස්ටර් ජයකොඩි

ලංකා වෙළඳ කාර්මික හා පොදු කම්කරු සංගමයේ ප්‍රධාන ලේකම්

බොහෝ දෙනකු ඔහු හඳුනන්නේ රටේ ප්‍රමුඛතම වෘත්තිය සමිතියක් වන ලංකා වෙළඳ කාර්මික හා පොදු කම්කරු සංගමයේ (CMU) ප්‍රධාන ලේකම් ලෙසිනි. 2014 වසරේදී ලංකා වෙළඳ කාර්මික හා පොදු කම්කරු සංගමයේ හිටපු ප්‍රධාන ලේකම් බාලා තම්පෝගේ අභාවයෙන් පසු එහි ප්‍රධාන ලේකම් ධුරයට පත්වන සිල්වෙස්ටර් ජයකොඩි, දෙවසරකට වරක් පවත්වනු ලැබූ නියෝජිත සම්මේලන 3කදීම ප්‍රධාන ලේකම් ලෙස තේරී පත්විය.

අසහාය වෘත්තිය සමිති නායකයකු පමණක් නොව ලේඛකයකු, ගත් කතුවරයකු, ගායකයකු, ඡායාරූප ශිල්පියකු ආදී වශයෙන් කලා ක්ෂේත්‍රයේ විවිධ ඉසව් ස්පර්ශ කළ ඔහු දීර්ඝ කාලයක් ඉතාලියේ අධිකරණ භාෂා පරිවර්තකයෙක් ලෙස ද කටයුතු කළේය. කම්කරු විනිශ්චය සභාවල කම්කරුවන් වෙනුවෙන් පෙනී සිටින ඔහු ජාතික කම්කරු උපදේශක සභාවේ උපදේශකයකු ලෙස ද කටයුතු කරයි. ඉතා පුළුල් වපසරියක් සහිත, වගකීම් බහුල ඔහුගේ ජීවිතයට විවේකය, විශ්‍රාමය තවමත් වලංගු නැති සෙයකි. ඉකුත් නොවැම්බර් 15වැනිදා ජීවිත ගමනේ 75 වැනි සැතපුම් කණුව පසුකළද සිය භූමිකා තුළ තවමත් සක්‍රීය චරිතයක් වන සිල්වෙස්ටර් ජයකොඩි නම් අපූරු මිනිසා දැන් අප හමුවේය.

“අපේ අම්මා ගාල්ලේ කොටුවේ, තාත්තා බද්දේගම මීපේ, දකුණේ සම්භවය ඇති අය වුණත් කොළඹට සංක්‍රමණය වුණාට පස්සේ අපිත් ‘කොළඹ කාක්කෝ’ වුණා” 

එසේ කියමින් ඔහු අපේ කතාබහට ප්‍රවේශ වූයේ සැහැල්ලු සිනාවකිනි. වයස අවුරුදු පහක නොදරුවකුව සිටියදී ඔහුගේ මවගේ වියෝව සිදුවන අතර, ඉන්පසු පියා තවත් විවාහයක් කරගන්නේ කුඩා සිල්වෙස්ටර් සහ ඔහුගේ නැඟණියන් දෙදෙනා රැකබලා ගැනීමටය. එකල සිල්වෙස්ටර්ගේ පියාට ‘විටෝ ප්‍රඩක්ට්ස්’ නමින් පැණි බීම නිෂ්පාදන ආයතනයක් තිබූ අතර දුෂ්කරතාවලින් තොර දිවියක් ගතකළ සිල්වෙස්ටර්, 3 වැනි ශ්‍රේණිය දක්වා දෙහිවල ශාන්ත මේරි විද්‍යාලයේ ඉගෙනුම ලබුවේය. පියාගේ ව්‍යාපාර නැවතීමෙන් පසු ජයකොඩි පවුල කඳානේ පදිංවියට එන අතර ඒ හේතුවෙන් කලක් සිල්වෙස්ටර් කඳානේ රජයේ රෝමානු කතෝලික විද්‍යාලයේ ඉගෙනුම ලැබූ අතර, 5 ශ්‍රේණියේ සිට උසස්පෙළ දක්වා කෝට්ටේ ක්‍රිස්තියානි විද්‍යාලයේ ඉගෙනුම ලැබීය.

“ මම හැමදාම පන්තියේ පළවැනියා හෝ දෙවැනියා වුණා. එකම සැරයක් පමණක් පස්වැනියා වුණේ විෂයන් දෙකකට විභාගේ ලිව්වෙ නැති නිසයි. කලා සංගීත කටයුතුවලදී හැම වසරකදීම තෑගි දිනාගත්තා. අදටත් මම ආසාවෙන් කියවන ‘හීන් සැරය’, ‘මඩොල් දූව’ පොත් පාසලේ තරගවලින් දිනූ ඒවා”

ඔහු ඒ අතීතය සිහි කරන්නේ මහත් අභිරුචියෙනි. 1966 වසරේදී සිල්වෙස්ටර් ග්‍රෑන්ඩ්පාස් පිහිටි කර්මාන්ත ශාලාවක රැකියාවට යන්නේ ශත 75 දිනක වැටුපටය. ඒ රැකියාවෙන් ඔහු ලත් පළමු වැටුප රුපියල් 55කි. ඒකල කාර්මික ජනපදයේ මදුරු දැල් හා ලේස් නිෂ්පාදනය කරන කම්හලක ද කලක් රැකියාව කළ ඔහු පසුව රත්මලාන රෙදි නිෂ්පාදන කම්හලක රැකියාවට බැඳුණේය.

“ඒ ආයතනයේ සිදුවන ආසාධාරණකම් දැකලා පළමු වතාවට මට ලොකු කලකිරීමක් ඇතිවුණා. එකම සේවයක යෙදෙන පිරිමින්ගේ දිනක වැටුප රුපියල් 3 යි. කාන්තාවන්ට රුපියල් 1.50 යි. ඒ කාලෙ මම එක්සත් ජාතික පක්ෂයේ තරුණ සංගමයේ සාමාජිකයෙක්. ඩඩ්ලි සේනානායක මහත්තයා අපිට සමහර දිනවල දේශපාලන සාකච්ඡාවලට කැඳවූවා. අදටත් මගේ හිතේ බලපාන ප්‍රධාන කාරණයක් ඩඩ්ලි සේනානායක මහත්තයාගේ පන්තියකදී දවසක් ඉගෙන ගත්ත. ඩඩ්ලි මහත්තයා අපෙන් ඇහුවා, “ළමයිනේ, ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ මොකද්ද?” කියලා. ඒ කාලේ අපේ පාසල් පන්තිවල ප්‍රජාචාරය කියලා විෂයක් තිබුණා. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදය, සමාජ වාදය, ඒකාධිපතිවාදය, ආදිය ගැන අපි ඉගෙන ගෙන තිබුණා. ඩඩ්ලි මහත්තයාගේ ප්‍රශ්නෙට එතන හිටපු පහළොස් දෙනා එක එක පිළිතුරු දුන්නා. ඒවා අහලා බොහොම ඉවසීමෙන් ඩඩ්ලි මහත්තයා මෙහෙම කිව්වා, “ඔය ළමයි කියපු ඔක්කොම හරි. නමුත් එක වැදගත් දෙයක් කිව්වේ නෑ. ඒ තමයි ලක්ෂ ගානක් හරි කියල කියන දෙයක්, වැරදි බව තමන්ට තේරෙනවා නම්, ඒක වැරදියි කියල කියන්න එක්කෙනෙකුටත් ප්‍රජාතන්ත්‍රවාදය අනුව අයිතියක් තියනවා. ඒක ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික අයිතියක්. ඩඩ්ලි සේනානායක මහත්මයා ඉගැන්වූ ඒ පාඩම අදටත් මම අකුරටම පිළිපදිනවා”

සිල්වෙස්ටර් ජයකොඩි නම් මානව හිතවාදී සටන් සගයා නිර්මාණය වීමේ පසුබිම සිහි කරමින් ඔහු එසේ කීවේය. රත්මලානේ රෙදි නිෂ්පාදන ආයතනයේදී පිහිටුවා ගත් එක්සත් ජාතික පක්ෂයේ වෘත්තීය සමිතිය පාලකයන්ගෙන් කළ පළමු ඉල්ලීම වූයේ සමාන වැඩට සමාන වැටුප් ගෙවන ලෙසයි.

”ඒ කාලේ මැලිබන් ආයතනයේ සේවකයන් 450 ක් අසාධාරණ ලෙස අස්කිරීම නිසා ලොකු ආරවුලක් තිබුණා. අපි තවත් වෘත්තිය සමිති ගණනාවක් එක්ක මේකට විසඳුම් සාකච්ඡා කළා. ලංකා සම සමාජ පක්ෂයට අයිති වෘත්තිය සමිති එක්ක සාකච්ඡා කළාම ඔවුන් කිව්වේ සමගි පෙරමුණ ආණ්ඩුව ආවම ඔය සේරම ජනසතු කරන නිසා ඒ ප්‍රශ්නය විසඳෙනවා, ඒ නිසා කොන්දේසි විරහිතව ඔවුන් එක්ක එකතු වෙන්න කියලයි. අපි ඒකට කැමති වුණේ නැ. සී.එම්.යූ එකේ බාලා තම්පෝ සහෝදරයා හමුවෙන්න ගියාම “ උදව් ඉල්ලගෙන, ආරක්ෂාව ඉල්ලගෙන ආව නම් මේ එඩ්‍රස් එක වැරදියි, ඒත් තමන්ගේ හයියෙන් වැඩ කරන්න ලෑස්ති නම් මඟපෙන්වන්න මේ සංගමය ලෑස්තියි ”කියලා ඔහු කිව්වා. ඒ වචන ටික තදින්ම අපේ හිතට වැදුණා. අපි ජාතික සේවක සංගමයෙන් ඉවත් වෙලා සී.එම්.යූ එකේ සාමාජිකත්වය ලබා ගත්තා. බාලා තම්පෝ චරිතය තරුණ අපට නව ජීවයක් දුන්නා. අසාධාරණයට හා අයුක්තියට විරුද්ධව හඬ නඟන්නටත් වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් සඳහා කටයුතු කිරීමට මඟපෙන්වීමත් අපට ලැබුණේ CMU ක්‍රියා මාර්ගය තුළ බාලා තම්පෝ මහතාගෙන්” පිදිය යුත්තන් පුදන්නට මැළි නොවන ඔහු කෘතවේදීව එවදන් පැවසීය.

“1971 තරුණ නැඟීටීමත් සමඟ බොහෝ පාලකයන් කළේ ආයතනවල සමිති නායකයන් ත්‍රස්තවාදී සැකකරුවන් ලෙස පොලිසියට බාර කිරීමයි. මගේ වෘත්තීය සමිති කතාව පටන් ගත්තෙත් එතනින්”

කතාවට ජීවයක් දෙමින් සිල්වෙස්ටර් ජයකොඩි කීය. වෘත්තීය සමිති ක්‍රියාකාරීත්වය තුළ ඇතිවූ ප්‍රශ්න, බාධක සියල්ලට නොසැලී මුහුණ දෙන්නට ඔහුට තිබී ඇත්තේ විස්මිතම හදවතකැයි හැඟේ.

“එවැනි සිදුවීම් රාශියක් අතරින් කීපයක් පමණක් කියන්නම්. 1968 ත්‍රිකුණාමල වරායෙ ප්‍රශ්නයකට සහයෝගය දක්වන්න වැඩ නවත්වලා ගල්කිස්ස හන්දියට ආපු අපට පොලිසිය දිගට හරහට පහර දෙන්න පටන් ගත්තා. ලේකම් ලෙස මම මැදිහත් වුණාම අපිව අල්ලාගෙන පහරදීලා 6 දෙනෙක්ම පොලිස් කුඩුවෙ හිර කළා. හේතුව අවසර නැතුව පෙළපාළියක් ගෙන යෑම කියලා අපි දැනගත්තෙත් පසුවයි. ඒ අසාධාරණය තදින් මගේ හිතට බලපෑවා. අපට නිදහසේ විරෝධය දක්වන්නටවත් නිදහසක් නැති බව පසක් වුණේ එදා. අපට එරෙහිව ගල්කිස්ස උසාවියේ නඩු දැම්මා. බාලා තම්පෝ සහෝදරයා නඩුකාරයාට හේතු පෙන්නලා අපිව නිදහස් කරගත්තත් පොලීසිය නිකරුනේ අපට පහරදීම, තුවාල කිරීම, පොලිස් කූඩුවේ දැමීම වැනි අසාධාරණ ක්‍රියා පිළිබඳ බරපතළ කලකිරීමක් හා ඒ තත්ත්වය වෙනස් කිරීමට අපට කළ හැකි දේ කිරීමට හිතේ විශාල ආවේගයක් ඇතිවුණා. 1971 අප්‍රේල් 19 වැනිදා මා සේවය කරමින් සිටි ආයතනයේ කළමනාකරු වැඩප­‍ෙළ්දීම ජවිපෙ සැකකරුවරු ලෙස මාව පොලිසියට බාර දුන්නා. මා සහ උපලේකම් ප්‍රේමසිරි සහෝදරයා එතැන් සිට දරුණු වධහිංසාවලට ලක්වෙමින් මම මාස 3ක්, ප්‍රේමසිරි සහෝදරයා අවුරුදු 1 1/2 ක් හිරබාරයේ සිටියා. අවසානයේ ජුලි 9 වැනිදා කිසිදු චෝදනාවක් නැතිව මාව නිදොස් කර නිදහස් කළා. නමුත් නීතිය අනුව පැය 24 ක් වැඩට ආවෙ නැති නිසා රැකියාව ලැබුණේ නැහැ. ඒ අසාධාරණය ගැන බලවත් කලකිරීමෙන් මම විදෙස්ගත වෙන්න උත්සාහ කරද්දි මා ගැන විශ්වාසය තැබූ අනිකුත් සාමාජිකයන්ට මොකද වෙන්නෙ කියලා බාලා තම්පෝ සහෝදරයා මගෙන් ඇසුවා. මගේ හිත වෙනස් වුණා. සංගමයට පූර්ණ කාලීනව සේවය කරන්න මම තීරණය කළා.”

“ඒ අනුව එදා පැවැති විධායක සභාවේ යෝජනාව අනුව 1971 සිට 1979 දක්වා රත්මලාන හා ජාඇල සංවිධායක ලෙසත්, විධායක සභාවේ සභිකයකු හා පසුව උප ලේකම් තනතුරත් දැරුවා. 1975 සිරිමාවෝ මැතිනිය අගමැති වශයෙන් සිටිය කාලය තුළ බාලා තම්පෝ සහෝදරයාට විදේශ ගතවීමට ඉඩ නොදීම නිසා දකුණු ආසියාවේ රටවල දේශපාලන සිරකරුවන් සම්බන්ධව, ජපානයේ හා හොංකොංවල තිබූ සම්මේලනවලට සංගමය වෙනුවෙන් මම සහභාගි වුණා. ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ සාමාජිකයෙක් වශයෙන් එදා අත්අඩංගුවේ සිටි දස දහස් ගණන් තරුණ තරුණියන් වෙනුවෙන්, අප මානව හා ප්‍රජා අයිතින් සංවිධානය ගොඩ නැඟුවා, ප්‍රින්ස් ගුණසේකර සහ බාලා තම්පෝ සමලේකම්වරු, මම උප ලේකම්. ඒ අතර කම්කරු දෙපාර්තමේන්තුවේ පඩිපාලක සභා 11ක් මම නියෝජනය කළා. රෙදි කර්මාන්තයේ අවම වැටුප තීරණය කිරීමට මම විශාල වෙහෙසක් දැරුවා. නීතිඥයකු වීමට පෞද්ගලික නීති පාසලක වසරක් පමණ ඉගෙන ගත්තත් රට අතහැර යෑමට සිදුවුණ නිසා එය ඉටු වුණේ නැහැ.”

1979 වසරේදී මිතුරකුගේ ඇරයුම මත ඉතාලියට ගිය සිල්වෙස්ටර්, 1981දී නාවිකයෙකු ලෙස නැවක රැකියාවට එක්විය. 1984 දී නැවත මවුබිමට පැමිණ සංගමයේ උප ලේකම් ලෙස කටයුතු කරන අතරතුර ස්විට්සර්ලන්තයේ ජාත්‍යන්තර කම්කරු සම්මේලනයේ සැසිවාර ද නියෝජනය කළේය.

“1989 භීෂණ කාලයේදී නැවතත් පොලිස් තර්ජන එල්ල වීම නිසා ජීවිතාරක්ෂාව සඳහා මම නැවත ඉතාලියට පැනගොස් පසුව බිරිය හා දරුවන් තිදෙනාත් ගෙන්වා ගත්තා. ඉතාලි වෘත්තීය සමිති සම්මේලන දෙකක් මා කලින් සිට හඳුනා ගෙන තිබූ නිසා එම සම්මේලන දෙකම මට ඉතා සහෝදරාත්මක ලෙස සැලකුවා. විජාතිකයන් සඳහා පාඨමාලා කිහිපයක් පිළියෙල කර එහි සම්බන්ධීකරන ප්‍රධානියා ලෙස මා පත්කළා. ඉතාලිය පුරාම යෑමට මට ඒ නිසා පහසුකම් සැලසුණා වගේම විශාල පිරිසක් හඳුනා ගන්නටත් හැකි වුණා. එහි භාෂා විශ්වවිද්‍යාලයේ වසර 2ක් ඉගෙනගත් මම ලංකාවේ අයට ඉතාලි භාෂාව උගන්වන්න පළමු ඉතාලි භාෂා පොත මුද්‍රණය කළා. වසරක් වැනි සුළු කාලයක් තුළ එහි පිටපත් 16,000ක් අලෙවි වුණා. ඉතාලියේ ස්වයං රැකියා කිරීම සඳහා පළමු අනුමැතිය ලබාගන්නටත් මට හැකිවුණා. ඒ අනුව නගර සභාවේ නේවාසිකාගාරයක් බාර අධ්‍යක්ෂක වරයකු ලෙස වසර 14 ක් මම කටයුතු කළා.මා ඉතාලියේ සිටියදී විටින් විට ස්විට්සර්ලන්තයට පැමිණි බාලා තම්පෝ සහෝදරයා තමාගෙන් පසු සංගමයේ කටයුතු කරගෙන යෑමට කෙනෙකු නොමැතිකම ගැන කිහිප වතාවක්ම කතා කළා. එහි මගේ නිල නිවෙසට අමතරව නිවෙසක් මිලට ගෙන තිබීම හා වෙනත් හේතු ගණනාවක් නිසා මට නැවත ලංකාවට ඒමට සිතක් තිබුණේ නැහැ.

2006 ස්විට්සර්ලන්තයේ සම්මේලනයට පැමිණි බාලා තම්පෝ සහෝදරයා ලංකාවට එන ලෙස යළිත් මගෙන් ඉල්ලා සිටියේ ඒ වන විට මගේ දරුවන් තිදෙනාම විවාහ වී මා වගකීම්වලින් නිදහස් බව දැනගත් පසුවයි. නමුත් මා සේවය කළ නගර සභාවේ ගිවිසුම අනුව සේවය නිම කිරීමට තවත් දෙවසරක කාලයක් තිබුණා. 2008 මා ලංකාවට පැමිණ සංගමයේ නියෝජ්‍ය ලේකම් ධූරය බාර ගත්තා. 2014 බාලා තම්පෝ සහෝදරයාගෙන් අභාවයෙන් පසුව ප්‍රධාන ලේකම් ධූරයට පත්වුණා.”

බාලා තම්පෝ, බෲනෝ ත්‍රෙන්තින් (ඉතාලි වෘත්තීය සමිති සම්මේලන ප්‍රධාන ලේකම්) සහ ෆ්‍රැන්කෝ ජෝර්ජි (ඉතාලි වෘත්තීය සමිති ලේකම් සිය ජීවිතයේ පරමාදර්ශී චරිත බව ද ඔහු කීවේය.

සිල්වෙස්ටර් ජයකොඩි ලොවෙන් එකකු එක දෙයකට වෙයි සමත යන කියමන බොරු කළ අයෙකි. විවිධාකාර ක්ෂේත්‍ර ගණනාවක පුළුල් පරාසයකට විහිදී ඇති ඔහුගේ වතගොත සියල්ල මේ සටහනට ලඝු කිරීම අසීරුය.

ඉතාලියේදී ‘ Les Culture’නම් ජාතීන් 46කින් සමන්විත සංස්කෘතික සංවිධානය ගොඩ නඟමින් එහි ආරම්භක උපසභාපතිවරයා බවට පත්වන සිල්වෙස්ටර්, පවුලේ අය සහ හිතමිතුරන් සමඟ සංස්කෘතික කටයුතු ආරම්භ කළේය. සංස්කෘතික සංගීත සංදර්ශන 70ක් සමඟ ඉතාලිය, ප්‍රංශය, ජර්මනිය, ඔස්ට්‍රියාව සහ ස්විට්සර්ලන්තය ආදී රටවල සැරිසැරූ ඔහු. ‘සමාජ චින්තන’ නමින් සඟරාවක් ද ප්‍රකාශයට පත් කළේය. මිතුරන් වූ ගුණදාස කපුගේ, සනත් නන්දසිරි වැනි ප්‍රවීණ ගායකයන්ගේ සංගීත වැඩසටහන් ඉතාලිය හා අවට රටවල සංවිධානය කරන්නට කටයුතු කළ අතර ‘ඔත්තුකාරයා’, ‘රෝමය ගිනි ගනී’ වැනි නාට්‍ය පෙන්වීමට ද ආධාර කළේය.

අරගලකරුවකු ලෙස බොහෝ දෙනා හඳුනන සිල්වෙස්ටර්

ජයකොඩි නම් අපූර්වතම සෞන්දර්යවේදියාගේ චරිතය බොහෝ මටසිලුටුය; සුන්දරය. සංගීතයට ඔහු තුළ ඇත්තේ දැඩි රුචියකි.

“මම අපේ සාරාංගී සංදර්ශන ආරම්භ කළේ අමරදේවයන්ගේ ‘සසර වසනතුරු ගීතය’ මා යන රටේ භාෂාවෙන් තේරුම්කර දීමෙන්. මා අමරදේවයන් හමුවූ විටක අපේ නිවසේදී ඔහුගේ ගීයට තව පදමාලා දෙකක් එකතු කර ගායනා කර පෙන්නුවා. ඒ පද දෙක, ‍‍‍ “මිහින්තලය ශ්‍රීපාදය සිත පහදන්නේ, කළු මහවැලි කැලණි නදී රට සරු කෙරුවේ”. ඒක අහලා අමරදේවයන් කිව්වා, ඒ ඩෝල්ටන් අල්විස් මහතාට අමතක වූ පද දෙකක් කියලා.”

සිය සෞන්දර්ය චාරිකාවේ මතක අතරින් බිඳක් ඔහු අප හමුවේ දිග හැරියේ එලෙසිනි. තිරසර, අව්‍යාජ, එඩිතර හදවතක් සහිත මානව හිතවාදී මේ මිනිසාගේ ජීවිත චාරිකාවට අත්වැල වූ සොඳුරිය, ප්‍රිය බිරිය බ්‍රිජට් උර්සුලා ය.

“රත්මලානේ මම වැඩ කළ ආයතනයේ තරුණියන් 500 කට වඩා සිටියා. ඒත් මගේ හිත නැවතුණේ ඒකල කම්හලේ ගබඩා පාලක තනතුර දැරූ තරුණියක් ළඟයි. ඇය බිරිය බවට පත්කරගනිමින් 1968දී අපේ විවාහය සිදුවුණා. එදත් අදත් මගේ ජීවිතයේ හැම දුෂ්කර අවස්ථාවකදීම ඇය මා ළඟ රැඳී සිටිනවා. මා සිරබාරයේ සිටියදී දරුවන් තිදෙනා සමඟ අපමණ දුෂ්කරතා විඳිමින් මගේ ජීවිතයේ සෙවණැල්ල මෙන් මා රැකගත්තේත් ආරක්ෂා කළේත් බ්‍රිජට් බව නොකීවොත් මේ කතාව අසම්පූර්ණයි. අපේ ජීවිත ආදර්ශයෙන් අපේ දරුවන් ද ඔවුන්ගේ ජීවිත යහපත් ලෙස ගොඩනඟාගෙන තිබීම අපට අපමණ සතුටක්; සැනසීමක්.”

ඔහු කියන්නේ සැනසුණු සිතිනි. සිල්වෙස්ටර්- බ්‍රිජට් යුවළගේ වැඩිමහල් දියණිය ආශා සුමුදිගේ සැමියා ගැලක්සීස් සංගීත කණ්ඩායමේ ඕගන් වාදක ප්‍රදීප් ග්‍රේරෝ ය. පුතු ශෂී, බිරිය මධූ සහ දෙදරුවන් සමඟ එංගලන්තයේ පදිංචිව සිටී. නැටුම් විශාරදවරියක වන බාල දියණිය මාෂෙන්කා (මාෂා)ගේ සැමියා, අතුල ජයසූරිය වයලින් විශාරදයෙකි. ප්‍රදීශා, සදීශ්, අවීශා, සවිධ්‍ය, ශහිඳු සහ රුශිඳු නමින් සිල්වෙස්ටර්- බ්‍රිජට් යුවළට මුනුපුරු මිනිබිරියන් 6 දෙනකි. දක්ෂ ඡායාරූප ශිල්පියකු වන සිල්වෙස්ටර් ජයකොඩි ඔහුගේ තෙවැනි ඇසට හසුවූ ලෝකයේ විශේෂ ස්ථාන ඇතුළත් ඡායාරූප ප්‍රදර්ශනයක් පැවැත්වීමට සූදානමින් සිටී. සිය ගෙවත්තේ වවාගත් වස විස නැති දෑ ආහාරවේලට එක්කර ගන්නා ඔහු ජීවිතයට සොබාදහමින් ලැබෙන ආශිර්වාදය හදවතින්ම අගයයි.

“විදේශගතව ජීවත්වන දරුවන් හා මගේ ඉතාලි මිතුරන් අදටත් මා සහ බිරිය ගැන කනගාටු වන්නේ, කිසිදු ගැටලුවක් නැතිව, නිදහසේ ජීවත්වීමටත් සැපවත් ලෙස සිටීමටත් සියලු හැකියාව තිබියදී, ලංකාවේ තිබෙන ආර්ථික, සමාජීය, වෘත්තීයමය කරදර ගැටලු සමඟ මා ජීවත් වන්නේ ඇයි කියන ප්‍රශ්නයට පිළිතුරක් නැතිවයි. සැපවත් ලෙස මා විදේශයක ගත කරද්දී මා සිතන්නේ අපමණ දුක් විඳින, රැකියාවෙන් ලැබෙන සොච්චම් වැටුපෙන් දිවි ගැට ගසා ගැනීමට උත්සාහ දරන අයට යම් පිටුවහලක් වීමට මගේ දැනුම පාවිච්චි කළ යුතු බවයි. ඒත් අද ලංකාවේ පවතින දේශපාලන හා සමාජීය තත්ත්වය තුළ, ජනතාව නිසි මඟට නොපැමිණ අඳුරේ අතපත ගෑම තුළ කොපමණ කලක් එම මානසිකත්වයෙන් පීඩිත ජනයාට සේවය කළ හැකිද යන ප්‍රශ්නයට මම අද මුහුණ දී සිටිනවා”

වෙනස් විදිහට සිතන ඔහු වැනි සුළුතර මිනිසුන් ලෝකය වෙනස් කිරීමට කෙතරම් කැපකිරීම් කළද බහුතර ජනතාව වෙනසක් අපේක්ෂා නොකරන තාක් කල් ලෝකය සැමට සුවදායී තැනක් නොවනු ඇත. ඒ ගැන මේ මානවහිතවාදී මිනිසාගේ හදවතේ ඇති රිදුම දුටිමි.

ඡායාරූප - දුෂ්මන්ත මායාදුන්නෙ

Comments