බිරිය පුලුස්සා මැරූ සැමියාට කළ කම් පල දුන් හැටි | Page 2 | සිළුමිණ

බිරිය පුලුස්සා මැරූ සැමියාට කළ කම් පල දුන් හැටි

හම්බන්තොට පළාත්බද මහා­ධි­ක­ර­ණය
හම්බන්තොට පළාත්බද මහා­ධි­ක­ර­ණය

මේ අභාග්‍යසම්පන්න සිදුවීම වාර්තා වන්නේ හම්බන්තොට ප්‍රදේශයෙනි. 26 හැවිරිදි තුවාන් අනුෂ්ට 16 හැවිරිදි සිත්ති නිසාර් අතර ඇති වු ආදර සබඳතාව කෙළවර වූයේ විවාහයෙනි. වසර දෙකකට ආසන්න කායක් ඉතා සතුටින් පවුල් කෑ අනුෂ්ටත් සිත්ති නිසාර්ටත් පුංචි දරු පැටවකු ද ලැබුණේ ආදර කැදැල්ල තවත් එළිය කරමිනි. අනුෂ් ලේවායේ වැඩට වගේම විවිධ කුලී වැඩට ද ගොස් උපයාගත් මුදලින් පවුල් ජීවිතය නඩත්තු කරගෙන ගිය ද වැඩි කල් දෙදෙනාට සතුටින් පවුල් කෑමට නොහැකි වීය. ඊට ප්‍රධාන හේතුව වූයේ නිවෙසේ වූ මුදල් හදල් අගහිඟකම්ය.

 

මෙය කොතරම් දුරදිග ගියේද කියතොත් සතුටින් ගෙවූ පවුල් ජිවිතය දෙදෙනාටම මහා අපායක් බවට පත් විය. නිතර නිතර දෙදෙනා අතර ආරවුල් රණ්ඩු වැඩි විය. මේ දෙදෙනාගේ නිවසට පිටුපසින් පිහිටි නිවසේ ජීවත් වූයේ සිත්ති නිසාර්ගේ පුංචි අම්මා වු සිත්ති යසීරාය.

අනුෂ්ගෙත් සිත්තිගේත් රණ්ඩු නිතර නිතර බේරීමට සිදුවූයේ යසීරාටය. දිගින් දිගටම දෙදෙනා අතර පවුල් ආරවුල් ගුටි කෙළි සිදුවෙද්දී යසීරාද ඒ දෙස නොබලා සිටීමට වග බලා ගත්තේ දෙදෙනාට කොතරම් අවවාද උපදෙස් දුන්නත් ඒවා කිසිදු පලක් නොවුණු නිසාය.

දිනය 2004.04.08 ය. වේලාව රාත්‍රි 9.00ට පමණය. අසල නිවසේ වූ යසීරාට සිත්ති හා අනුෂ් ගේ නිවස දෙසින් මහා රණ්ඩුවක් ඇසුණි.දෙදෙනා සුපුරුදු පරිදි රණ්ඩු වෙන බව දුටු යසීරා එය එතරම් කනකට නොගෙන පාඩුවේ සිටියේය.

එහෙත් එදින ඇයටද මේ රණ්ඩුව දෙස බලා සිටිය නොහැකිය. යසීරා නිවසින් එළියට බැස්සේ සිත්තිගේ නිවස දෙසට යන්නය. ඒ වන විට සිත්තිගේ කෑ ගැසිම අඩු වීය.

නිවස දෙසින් පුළුටු ගඳක්ද යසීරාට වහනය වීය. අඩි ඉක්මන් කර ඒ දෙසට ගිය යසීරාට දැකගත හැකි වුයේ ඇස් අදහාගත නොහැකි දෙයකි. සිත්ති පිලිස්සුම් තුවාල සහිතව කෙදිරිගාමින් බිම වැටී සිටියේය.

“මොකද්ද දරුවෝ මේ කරගත්ත අපරාදේ“ කියා යසීරා බිම වැටි සිටි සිත්තිගෙන් විමසීය. එහිදී බිම වැටී සිටි සිත්ති “මට අනූ....අනූ....“ කියා පමණක් යසීරාට වචන මිමිණුවාය.

ඒ වන විටත් සිත්තිගේ සැමියා වූ අනුෂ් ඒ අසල කාමරයේ වීය. සිත්ති බරපතළ තුවාල ලබා සිටි නිසා වහා ක්‍රියාත්මක වූ යසීරා සිත්තිගේ සැමියාගේ ද උදව් ඇතිව ත්‍රී රෝද රථයකින් හම්බන්තොට රෝහලට ඇතුළත් කෙරුණි.

ඇයගේ තත්ත්වය බරපතළ වීම හේතුවෙන් මුලික ප්‍රතිකාර පමණක් ලබාදීමෙන් පසු තුවාල කාරිය ගිලන් රථයකින් මාතර මහ රෝහල වෙත මාරුකර යැවුණු (එවකට මුලික රෝහලකි).

සිත්ති නිසාර් පිලිස්සුම් තුවාල හේතුවෙන් ජිවිතයත් මරණයත් අතර පොරබදමින් සිටි නිසා මාතර රෝහලේ වෛද්‍යවරුන් විසින් ඇය වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලේ පිලිස්සුම් ඒකකය වෙත ඇතුළත් කෙරුණි. ඒ 2004.04.09 වැනි දින පෙරවරු 9.30ට පමණය.

කොළඹ ජාතික රෝහලේ පිලිස්සුම් ඒකකයට ඇතුළත් කෙරුණු සිත්ති නිසාර් වෙත ප්‍රතිකාර සිදු කෙරුණු අතර එම අවස්ථාවේ වාට්ටුවේ සේවය කළ වෛද්‍යවරියක වූ වෛද්‍ය. පී.එච්.ඉනෝකා ද සිල්වා විසින් සිත්තිගෙන් සිද්ධිය පිළිබඳව විමසා ඇති අතර එහිදී දැඩි පිළිස්සුම් තුවාල ලබා සිටි සිත්ති වෛද්‍යවරයාට පවසා ඇත්තේ සැමියා වු අනුෂ් විසින් තමන්ගේ සිරුරට භූමිතෙල් දමා ගිනි තැබූ බවයි.

වෛද්‍යවරිය විසින් තුවාලකාරියගේ අදාළ ප්‍රකාශයද ඇයගේ ඇද ඉහපත් සටහන් පොතෙහි සටහන් කළාය. ඒ වනවිටත් තුවාලකාරියගේ සිරුරෙහි 70%ක් පමණ ගැඹුරු තුවාල නිරික්ෂණය කළ බව වෛද්‍යවරයා විසින් සටහනක්ද දමා තිබුණි. දිනෙන් දින ඉතා බරපතළ තත්ත්වයේ සිටි සිත්ති කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී 2004.04.11 දින පෙරවරු 09ට පමණ මිය ගියාය. පසුව සිද්ධිය පිළිබඳව කොළඹ ජාතික රෝහලේ රෝහල් පොලිසිය විසින් දුරකතන මාර්ගයෙන් හම්බන්තොට පොලිස් ස්ථානය වෙත වාර්තා කෙරුණි.

ඒ අනුව ක්‍රියාත්මක වූ හම්බන්තොට පොලිසියේ එවකට අපරාධ අංශයේ ස්ථානාධිපති වරයා වූ උප පොලිස් පරික්ෂක ප්‍රසන්න කුමාර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් සිද්ධියට සැකපිට පිලිස්සුම් තුවාල සහිතව මියගිය සිත්ති නිසාර්ගේ සැමියා වූ තුවාන් අනුෂ් යූනූස් පොලිසිය විසින් අත්අඩංගුවට ගැණුනි.

පසුව සිද්ධිය පිළිබඳව හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු දැක්වීමෙන් පසු හම්බන්තොට මහේස්ත්‍රාත්වරයා විසින් ස්ථානීය පරීක්ෂණයක්ද සිදුකිරීමෙන් අනතුරුව සිරුර පිළිබඳ මරණ පරීක්ෂණයක් සිදුකර එහි වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඒ. දයාගල වෙත නියෝගයක්ද නිකුත් කෙරුණි.

දැඩි පිලිස්සුම් තුවාල ලබා රෝහල්ගත කර ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස මිය ගියේ 18 හැවිරිදි එක් දරු මවක වූ සිත්ති නිසාර් නිෂාඩීන් නැමති කාන්තාවයි.

සිද්ධියට අදාළව සැක පිට සැකකාර සැමියා වූ තුවාන් අනුෂ් යූනිෂ් නැමති අය හම්බන්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මහේස්ත්‍රාත්වරයා විසින් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

ඔහු කලක් බන්ධනාගාරගතව සිට පසුව සැකකරු ඇප මත නිදහස්ව පැමිණියේය. පසුව සැකකරුට එරෙහිව හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවති මුලික නඩු විභාගයෙන් පසු නිතිපතිවරයා විසින් 2006.07.13 වැනි දින එවකට හම්බන්තොට මහාධිකරණ විනිසුරු පී. කේ. ඩබ්ලිව්. විජේරත්න ඉදිරියේ චුදිතට අධිචෝදනා පත්‍ර බාර දුණි.

හම්බන්තොට මහාධිකරණය හමුවේ නඩුව විභාග වෙමින් තිබියදි සැකකාර සැමියා වෙනත් විවාහයක්ද සිදුකරගනු ලබැ අතර එම විවාහයෙන්ද චුදිතට දරුවන් සිවු දෙනෙකු ලැබුණි.

සිද්ධියට අදාළ ව පැවති දීර්ඝ නඩු විභාගයෙන් පසු පැමිණිල්ල විසින් චුදිතට එරෙහිව නඟා තිබූ අධිචෝදනාව සාධාරණ සැකයෙන් ඔප්පු කිරීමට සමත්වීම හේතුවෙන් හම්බන්තොට මහාධිකරණ විනිසුරු රෂන්ත ගොඩවෙල පසුගිය 17 වැනි දින සිය නියෝගය නිකුත් කෙරුණි.

එහිදි නියෝගය නිකුත් කිරීමට මත්තෙන් චුදිතට නිදහසට යමක් කීමට ඇත්දැයි අධිකරණය විමසූ පසු චූදිත විත්ති කූඩුවේ සිට හඩා වැලපෙමින් “ගරු ස්වාමීනි මම මේකට කිසි සම්බන්ධයක් නැතැයි“ ප්‍රකාශ කරන ලදී.

ඉන් අනතුරුව වුයේ තීන්දුව ප්‍රකාශ කිරිමයි. සිය තීන්දුව ප්‍රකාශ කිරීම සඳහා මහාධිකරණ විනිසුරු රෂන්ත ගොඩවෙල විනිශ්චය ආසනයෙන් නැඟී සිටි අතර අධිකරණ ශාලාවේ සියලු දොරවල් වැසුණි.

විදුලි පහන් හා විදුලි පංකා නිවා දැමුණි. මහාධිකරණ විනිසුරු විසින් චුදිත සිදු කළ වරදට දඬුවම ලෙස මරණීය දණ්ඩනය නියම කරන බව ප්‍රකාශ කෙරුණි.

ඒ අනුව චෝදනාව සඳහා වරදකරු වු චූදිත ශ්‍රි ලංකා ජනාධිපතිවරයා විසින් නියම කරන දිනකදී වේලාවකදී ගෙල සිරකර මරණයට පත්කරන තෙක් වැලිකඩ බන්ධනාගාරයේ රඳවා තබන ලෙසට ද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කෙරුණි.

නීතිපතිවරයා වෙනුවෙන් රජයේ අධිනීතීඥ ගෙවිදු සෙනෙවිරත්න පැමිණිල්ල මෙහෙයවන ලදී.

 

Comments